IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මොහොතකට ලොව නතර කළ පරිගණක තාක්ෂණ දෝෂය ’ක්‍රවුඩ්ස්ට්‍රයික් ’ අවලංගුයි


තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාලයේ පිහිටෙන්, මුළු ලොවම විශ්ව ගම්මානයක් වී අවසන්ය. දෛනික කටයුතු සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමයටය. තොරතුරු තාක්ෂණයේ උදව්වෙන්, සියල්ල පරිගණක ජාල මගින් එකිනෙක හා සම්බන්ධ වී ඇත. මේ සියලු‍ කටයුතු සිදු කරන්නේ ලොව ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් කිහිපයක් මැදිහත් වීමෙනි. එය එක්තරා ආකාරයක ඒකාධිකාරීත්වයකි. තොරතුරු තාක්ෂණය කොතරම් අප ජීවිත හා බැඳී තිබෙනවාදැයි කිවහොත්, මේ සියල්ල සැණෙකින් අඩපණ වී ගිය විට කුමක් වේවිද? අප දෛනික ජීවිත උඩු යටිකුරු වෙනවා නිසැකය. හේතුව අප ඒ තරමටම තොරතුරු තාක්ෂණය සමග ජීවත් වීමය. 

පසුගිය 19 වැනිදා, ඉතිහාසයේ කිසි දිනෙක සිදු නොවුණු දෙයක් සිදුවිය. පරිගණක මෙහෙයුම් පද්ධති අක්‍රිය වී, පැය ගණනාවක් ලොව රටවල් රැසක කටයුතු අඩපණ විය. එය ලෝක ඉතිහාසයේ සිදුවුණු දරුණුතම තොරතුරු තාක්ෂණ දෝෂයයි. එය පරිගණක දත්ත සොරු හෙවත් හැකර්වරු එල්ල කළ සයිබර් ප්‍රහාරයක් නොවීය. එය හුදෙක් තොරතුරු තාක්ෂණ දෝෂයකි. එය සියල්ල උඩු යටිකුරු කළේ සිතාගැනීමටවත් නොහැකි ආකාරයටය. 

ලොව වැඩියෙන්ම භාවිතයට ගන්නා පරිගණක මෙහෙයුම් පද්ධතිය වන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියයි. 19 වැනිදා, ග්‍රිනිච් වේලාවෙන් රාත්‍රි 7 ට මෙම පරිගණක මෙහෙයුම් පද්ධති හිටිහැටියේ බිඳවැටුණි. සියල්ල උඩු යටිකුරු වූයේ එහෙයිනි. මෙහෙයුම් පද්ධති බිඳවැටුණේ නිල් තිරය පෙන්වමිනි. පරිගණක භාවිතයට ගන්නා අයට ‘නිල් තිරය’ යනු කුමක් දැයි අමුතුවෙන් කිව යුතු නැත.

‘නිල් තිරයක්’ පරිගණකයේ දිස්වන්නේ නම් ඒ, යම් දෝෂයක් හටගෙන ඇති බව පෙන්වා දීමකි. පසුගිය19 වැනිදා දකින්න ලැබුණු නිල් තිරය ‘බ්ලූ ස්ක්‍රීන් ඩෙත්’ යැයි පැවැසෙයි. ‘ඔබේ පරිගණකය දෝෂයකට ලක්විය. එය නිවැරදි කිරීමට පරිගණක පද්ධතිය යළි පණ ගැන්විය යුතුය.’ යනුවෙන් සිදුවුණු අකරතැබ්බ ගැන පැහැදිලි කරන පණිවුඩය නිල් පැහැති තිරයේ දිස්වීම, ‘බ්ලූ ස්ක්‍රීන් ඩෙත්’ යනුවෙන් හැඳින්වෙයි.

‘බ්ලූ ස්ක්‍රීන් ඩෙත්’ තිරය දිස්වී, පරිගණක පද්ධති බිඳ වැටී හටගත් මෙම තොරතුරු තාක්ෂණ ගැටලු‍වට බරපතළ ලෙස මුහුණ දුන්නේ  බටහිර රටවල්ය. ඒ අතරින් ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව කැපීපෙනෙයි. ගුවන්තොටුපොළ, රෝහල්, බැංකු, මාධ්‍ය ආයතන, පොලිස් ස්ථාන, රූපවාහිනී මාධ්‍ය ආයතන, වෙළෙඳසැල් පමණක් නොව ප්‍රංශයේ පැරිස් අගනුවර ඩිස්නිලන්තයේ කටයුතු පවා අඩපණ විය. ගුවන් ගමන් ඇණහිටියේ ගුවන්තොටුපොළ සහ ගුවන් සමාගම්වල පරිගණක පද්ධති යවත්කාලීන නොවුණු බැවිනි. ඒ අනුව, ගුවන් ගමන් පැය ගණනක් අවලංගු කෙරුණේ දස දහස් ගණනක් ගුවන් මගීන් අතරමං කරමිනි. මෙවැනි දෙයක් මීට පෙර සිදුවී නැත. ‘බ්ලූ ස්ක්‍රීන් ඩෙත්’ නිල් පාට තිරය බොහෝ දෙනෙකුට දකින්නට ලැබුණේ ද ප්‍රථම වතාවටය. ගුවන් යානයට ගොඩවීමට ලබා දෙන ‘බෝඩිං පාස්’ සියල්ල අවලංගු වෙද්දී ඉන්දියාවේ නවදිල්ලි ගුවන්තොටුපොළේ පවා අර්බුදයක් නිර්මාණය විය. 

නවදිල්ලි ගුවන් තොටුපොළ බලධාරීන් අතින් ලියන ලද විස්තරවලින් සමන්විත ‘බෝඩිං පාස්’ නිකුත් කළ බව පැවසේ. ඇමෙරිකාවේ පමණක් අවලංගු කිරීමට සිදුවුණු ගුවන් ගමන් දහස් ගණනකි. ‘ඇමෙරිකා එයාර්ලයින්ස්’, ‘ඩෙල්ටා එයාර් ලයින්ස්’ සහ ‘යුනයිටඩ් එයාර්ලයින්ස්’ යනු ඇමෙරිකාවේ ප්‍රධාන අභ්‍යන්තර ගුවන් සමාගම්ය. ඒ සියලු‍ ගුවන් සමාගම්වල ගුවන් ගමන් කටයුතු නවතා දැමීය. 

නෙදර්ලන්ත ගුවන් සේවය කේ.එල්.එම්. ඔවුන්ගේ මෙහෙයුම්වලින් වැඩි ප්‍රමාණයක් තාවකාලිකව නවත්වා දැමීය. ජර්මනියේ බර්ලින් ගුවන්තොටුපොළ සියලු‍ම ගුවන් ගමන් නවත්වා දැමූ අතර ස්විට්සර්ලන්තයේ ගුවන් ගමන් පමණක් නොව, සෙසු ප්‍රවාහන කටයුතුද සියයට 30 කින් අඩු කෙරුණි.

ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල් වසා දැමුණි. බඩු භාණ්ඩ තෝරා, කූඩවලට දමා මුදල් කවුන්ටර් ළඟට ආ පාරිභෝගිකයන්ට මුදල් ගෙවා ඒවා මිලදී ගැනීමට නොහැකි විය. ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් ආදියට පවා ප්‍රවේශ විය නොහැකි තත්ත්වයක් උදා වී තිබුණි. බැංකු කටයුතු අඩපණ වී බැංකුවලින් මුදල් ලබාගැනීම ගැටලු‍වක් විය. පැරිසිය ඔලිම්පික් උළෙලට ලහි ලහියේ සූදානම් වෙයි. තොරතුරු තාක්ෂණ දෝෂය හේතුවෙන් ආරක්ෂක කටයුතු තහවුරු කරද්දී ඔලිම්පික් බලධාරීහු ගැටලු‍වලට මුහුණ දුන්හ. පරිගණක පැත්තකට දමා, සියල්ල අතින් කිරීමට සිදුවිය. මහා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය පද්ධති අඩපණ වී ගියේ රෝහල්වල සැත්කම් පවා ප්‍රමාද කරමිනි. ඔසුසල්වලින් ඖෂධ නිකුත් කිරීම කළ නොහැකි වී රෝගීහු අසරණ වූහ. ගිලන් රථ රෝගීන් වෙත යැවීම කළ නොහැකි විය. දුම්රිය ගමන් බිමන් ද මුළුමනින්ම පාහේ අඩපණ විය.

මයික්‍රොසොෆ්ට් සමාගම පසුව පැහැදිලි කළ ආකාරයට ඔවුන්ගේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගින් ක්‍රියාත්මක පරිගණක පද්ධති මිලියන 8.5 ක් ලොව පුරා ඇනහිටියේය. දෝෂය නිවැරදි කිරීමට පැය ගණනක් ගත වුණු අතර ව්‍යාපාරික ක්ෂේත්‍රයට සිදුවුණු පාඩුව තවමත් හරිහැටි ගණන් බැලීමක් කර නැති බව පැවැසෙයි. මෙය සැබැවින්ම බරපතළ තත්ත්වයක් විය. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති මෙසේ බිඳවැටීමට හේතුව කුමක්ද? වරදකරු කවුරුද? මුළු ලෝකයටම බලපෑමක් කළ මෙම දෝෂය හටගත්තේ ‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ නමැති සමාගම නිසාය. 

‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ යනු ඇමෙරිකන් පරිගණක සහ තොරතුරු තාක්ෂණ සමාගමකි. ‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ යනුවෙන් සමාගමක් ඇති බව ලෝ වැසියන් බොහෝ දෙනා දැනගත්තේ ද මෙම පරිගණක දෝෂය නිසාය. ‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’, සයිබර් ආරක්ෂක සමාගමකි. එනම් පරිගණක සහ පරිගණක පද්ධති සයිබර් ප්‍රහාරවලින්, පරිගණක වයිරසවලින්, කඩාකප්පල්කාරී ක්‍රියාවලින් ආරක්ෂා කිරීමට උපදෙස් සපයන, මෘදුකාංග සපයන, තාක්ෂණික දැනුම සහ සහය සපයන සමාගමකි.

සයිබර් ප්‍රහාර වැළැක්වීම පමණක් නොව, සිදුවීමට ඉඩ ඇති සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා, සයිබර් ප්‍රහාර එල්ල කරන පරිගණක හැකර්වරුන් සොයා ගන්නා උදවු කරන රහස් පරීක්ෂකයන් ලෙස කටයුතු කරන්නේ ‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ය. උපහාසය නම්, පරිගණක මෙහෙයුම් පද්ධති සඳහා ආරක්ෂාව සැපයූ ‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ සමාගම විසින්ම පරිගණක මෙහෙයුම් පද්ධති අඩපණ කරනු ලැබීමය.

‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ මෙලෙස මුළු ලොවටම බලපෑමක් කළ හැකි අර්බුදයක් නිර්මාණය කළේ කෙලෙසද? ‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ සමාගම ලොව ප්‍රමුඛ පෙළේ වෙනත් පරිගණක සමාගම් හා සම්බන්ධ වී සිටී. ඔවුන්ගේ එක් සේවාදායකයෙකු වන්නේ මයික්‍රෝසොෆ්ට්ය. 19 වැනිදා සවස ‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ සමාගමට සිය ආරක්ෂක විධිවිධාන යාවත්කාලීන කිරීමට සිදුවිය. ඒ, ග්‍රිනිච් වේලාවෙන් සවස 7 ටය. මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති අඩපණ වූයේ ‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ සමාගමේ ෆෝල්කන්’ නමැති එම ආරක්ෂක විධිවිධාන ස්වයංක්‍රීයව යාවත්කාලීන වෙද්දීය. 

යාවත්කාලීන ක්‍රියාවලිය සාර්ථක වූයේ නැත. ඒ, මයික්‍රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සහ එය හරිහැටි පෑහීමක්’ සිදු නොවුණු නිසාය. දෝෂයක් ඇති බව පෙන්වා දෙමින්, වින්ඩෝස් මෙහෙයුම් පද්ධති, ‘බ්ලූ ස්ක්‍රීන්’ පරිගණක තිරය දිස්වීම ආරම්භ කළේ ඉන් අනතුරුවය.

‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ සමාගමේ ප්‍රධානී ජෝර්ජ් කෲට්ස් වහා සිදුවුණු දේ සම්බන්ධයෙන් පැහැදිලි කළේය. සමාව ඉල්ලු‍වේය. දෝෂය වහා නිවැරදි කරන බව පැවැසීය. මෙම සිද්ධිය සිදුවන තුරුම, ‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ සමාගමට තිබුණේ හොඳ කීර්ති නාමයකි. පැය කීපයකින් සියල්ල කඩා වැටුණි. බිලියනපති ඉලොන් මස්ක් පවා පැවසුවේ, තම සියලු‍ තාක්ෂණික සමාගම් ‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ සමග පවත්වන සබඳතා සියල්ල නැවැත්වීමට තීරණය කළ බවය. 

ලොකු ලොකු සමාගම්වල මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති අඩපණ වුවත්, නිවෙස්වලත් කුඩා ව්‍යාපාරික ස්ථානවලත් පරිගණකවලට මෙම දෝෂය බලපෑවේ නැත. ඊට හේතුව, ඒ, සාමාන්‍ය නිවෙස්වල සහ කුඩා ව්‍යාපාරවල ‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ මෘදුකාංග කිසිවක් භාවිතයට නොගන්නා බැවිනි. 

‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ සමාගම, ඔවුන්ගේ සේවා සැපයීම කර තිබුණේ මහා පරිමාණයේ ගෝලීය සමාගම්වලට පමණි. අවසන් වශයෙන් තවත් එක් දෙයක් කීමට ඇත. මෙම තොරතුරු දෝෂය මුළු ලොවටම බලපාද්දී එක් රටකට එයින් කිසිදු බලපෑමක් එල්ල වූයේ නැත. එම රට චීනයයි. ඊට හේතුව, චීන සමාගම් කිසිවක් ‘ක්‍රවුඩ්ස්ට්‍රයික්’ සමග ගනුදෙනු නොකිරීමය.


විදෙස් මාධ්‍ය ඇසුරිනි.

  • ලු‍සිත ජයමාන්න

 

 



අදහස් (0)

මොහොතකට ලොව නතර කළ පරිගණක තාක්ෂණ දෝෂය ’ක්‍රවුඩ්ස්ට්‍රයික් ’ අවලංගුයි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

මිතුරු වෙස් ගත් සතුරු උවදුර මයික්‍රෝ ප්ලාස්ටික් වසංගතය
2024 සැප්තැම්බර් මස 03 27 0

අපට ඒවා පෙනෙන්නේ නැහැ. අපට ඒවා දැනෙන්නේ නැහැ. ඒත් ඒවා හැමතැනම. මේ කියන්නේ ත්‍රාසජනක, බිහිසුණු විද්‍යා ප්‍රබන්ධයක් ගැන නොවේ.


ඕවල් පිටියේ ටෙස්ට් ජයක්
2024 සැප්තැම්බර් මස 02 30 0

එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ගෞරවණීය පරාජයක් ලැබීය. ඒ අනුව මැන්චෙස්ටර් පිටියේ අතීත අභිමානය රැක ගැනීමට එංගලන්තයට හැකියාවක් ලැබු


පැරිස් දෙවෙනි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් 25 ක්
2024 සැප්තැම්බර් මස 02 19 0

පැරිස් ඔලිම්පික් උළෙල නිමාවට පත්ව දින 17 කට පසුව එහිදීම ආරම්භ වූ ගිම්හාන පැරලිම්පික් උළෙලට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රහස්පතින්දා (29) සිට ආරම


ගුවනින් බර අදින්නන්ට 67 යි
2024 සැප්තැම්බර් මස 02 69 0

එදින අගෝස්තු මස 28 බදාදා දිනයයි. කටුනායක ගුවන් හමුදා මූලික කඳවුර වෙත මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් ඒ වෙනවිටත් පැමිණ සිටියේ ගුවන් හමුදාවේ අංක දෙක ප්‍රවාහන බල


ලොව නිදි යාමේ බංකර් ඇතුළේ
2024 සැප්තැම්බර් මස 02 70 0

යුධ බිමේ බංකර් සෑදීම අමුතුම කලාවකි. එසේම එය බොහෝ දුෂ්කර කටයුත්තකි. ඒ සඳහා සටන් බිමේ සිටින ඕනෑම සෙබළෙකුට ශ්‍රම දායකත්වය ලබාදිය හැකි මුත්, නිසි ප්‍රමිතිය


දෙලොවක් අතර තනිවූ රණවිරුවෝ
2024 අගෝස්තු මස 27 111 0

උතුරු පළාතේ ස්ථාපිතව තිබූ ප්‍රධානතම මාර්ග බාධකය හා මුරපොළ පිහිටා තිබුණේ ඕමන්තේ ය. ඉන් ඔබ්බෙහි වන උතුරේ මුදා නොගත් ප්‍රදේශ වෙත යන සෑම වාහන සහ පුද්ගලයින


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site