IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


යුද බිමේ සහකාරිය ගිනි අවිය පමණයි


       (පසුගිය සතියේ ඉතිරි කොටස) අවි ගැටුණු යුද බිමේ නොකී කතා - 5 කොටස

සාමාන්‍ය බංකර් රාජකාරිවලදී මුර වාරයක් ආවරණය කිරීම සඳහා එක් සෙබළෙකු බැගින් යොදවන නමුත්, ක්‍රියාන්විත අවදානම මත ඒ සඳහා වරකට දෙදෙනා බැගින් (Dubble Laentre) යොදවන්නට සිදුවන අවස්ථාද යෙදේ. කෙසේ නමුත්, කලාතුරකින් තැනක එම අවදානම මඳක් පහවූ සැණෙකින් එලෙස මුර රාජකාරියේ නිරත සෙබළු දෙදෙනාගෙන් අයෙකු අනෙකාට දන්වා රහසේම මුරයේ යෙදී සිටින අතරේ ඇස් පියාගන්නා අවස්ථාද නැත්තේ නොවේ. ඒ අතර මුර පරීක්ෂා කිරීම සඳහා කිසිවෙකු පැමිණෙන්නේ නම් වහාම ඔහුව ඇහැරවීමටද අනෙකා වග බලාගනී.

මුර පරීක්ෂාව, නොඑසේ නම් බංකර් පරීක්ෂාව ක්‍රියාන්විතයන්හි ස්ථාපිතව තිබූ සෑම කඳවුරකම සිදුකළ අනිවාර්ය කටයුත්තකි. බංකර් රාජකාරි සඳහා වෙන් කළ පිරිස මෙන්ම එම බංකර් රාජකාරි පරීක්ෂා කිරීමේ පිරිසක් එකල සෑම කඳවුරකම දිනපතා ලිඛිතව පත්කරනු ලබයි. මේ සඳහා කඳවුරේ සිටින සෙසු නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ කොනොනිවරු නම් කෙරේ. මීට අමතරව නම් නොකරන ලද ජ්‍යෙෂ්ඨයින්ද කඳවුර වටා ඇති බංකර් පරීක්ෂා කිරීම සඳහා එක්වෙනුයේ පවතින ආරක්ෂක තත්ත්වය අනුවය. යුද බිමේ කඳවුරුවල තිබූ සෑම බංකරයකම පාහේ අත්පොතක් ද එල්ලා තිබූ අතර මුර පරීක්‍ෂාවේ යන අය තමාට පැවරී තිබූ කාලසීමාවේ අදාළ බංකර් නිසි පරිදි පරීක්‍ෂා කළ බව වේලාව සමග එහි සටහන් කළ යුතු විය. කඳවුරු භාර නිලධාරී හෝ වෙනත් වගකිවයුතු නිලධාරියෙකු විසින් එලෙස රාත්‍රියේ බංකර් පරීක්‍ෂා කළ යුතු වේලාවන් හා පුද්ගලයින් නම් කරනු ලබන අතර, එහි අරමුණ වූයේ අවදානම් අවස්ථාවල රාත්‍රියේ සෙබළුන් අවදියෙන් හා උපරිම සූදානමින් තබා ගැනීමය. 

එහෙත් ඇතැම් අවස්ථාවල එසේ බංකර් පරීක්ෂාවට යාමට නියමිත සමහර ජ්‍යෙෂ්ඨ කොනොනිවරු හෝ කනිෂ්ඨ නිලධාරීන් අලසකමට එසේ නොගොස් පසුදින බංකර්වල තිබූ සටහන් පොත්වල කලින් වේලාවල් යොදා අත්සන් තබන අවස්ථාද හොර රහසේ සිදුවේ. බොහෝ විට එවැනි සටකපට වැඩ සඳහා මුර පරීක්‍ෂාවේ යෙදෙන සමීප අයෙකුගේ රහසිගත සහයෝගයද ලැබේ. උදාහරණයක් ලෙස කිසියම් අයෙකු අලුයම 01 සහ 02 අතර කාලයේ බංකර් පරීක්‍ෂා කළ යුතු අවස්ථාවක ඔහු එහි නොයා ඊට පසු පැය (02 සහ 03) මුර පරීක්‍ෂාවට යාමට නියමිත අය තමාගේ සමීපතම හිතවතෙකු නම් ඔහු ලවා අදාළ සටහන් පොත්වල පසු දින අත්සන් තබන්නට ඉඩක් තබා ගැනීමට ක්‍රියා කිරීමය. 

කෙසේ නමුත් එම කපටි ක්‍රියාව කඳවුරු භාර නිලධාරී හෝ වෙනත් වගකිවයුත්තෙකුට දැනගැනීමට ලැබුණු අවස්ථාවල ඔවුහුද ඊට උපක්‍රම යොදා එලෙස මුර පරීක්‍ෂාව මගහරින පුද්ගලයා හසුකර ගැනීමට කටයුතු කරති. එහිදී, සිදුකෙරුණේ එම මුර පරීක්‍ෂාව මගහරින පුද්ගලයා කවුරුන් දැයි හඳුනාගත් පසු ඔහු මුර පරීක්‍ෂාවේ යෙදිය යුතු කාලයේ දී අදාළ බංකර්වල සියලු පොත් ඊට පෙර සටහන් තැබූ අයට පසු ඉඩක් ඉතිරි නොවන ලෙස අත්සන් කිරීමය. එහිදී, පසුදින අදාළ පුද්ගලයා සුපුරුදු ලෙසම එම පොත් අත්සන් කිරීමට යෑමේදී ඔහුගේ අත්සන් යෙදීමට නියමිත තැන ඉඩක් ඉතුරු නොවන ලෙස අතරමැද්දෙන් කිසිවෙකු අත්සන් කර ඇති ආකාරය දැකීමත් සමග සිදු කළ වංචාව කඳවුරු භාර නිලධාරි හෝ වෙනත් වගකිවයුත්තෙකුගේ අතට හසුවී ඇති බව තේරුම්ගනී. එහිදී, එම වගකීම් විරහිත වංචනික ක්‍රියාවට සම්බන්ධ වූ පුද්ගලයාට දඬුවම් ලෙස තම නිවාඩුව කැපකිරීමට හෝ කඳවුරෙන් පිටත අඛණ්ඩව රාජකාරිවල නිරතවීමට හෝ විනයානුකූල දඩුවමකට මුහුණදීමට පවා සිදුවේ.  

යුද්ධය පැමිණි සමයේ කඳවුරක හෝ ආරක්ෂක වළල්ලේ රාත්‍රී මුර රාජකාරි කිරීමේ දී සෙබළුන් නිදාවැටීමට බලපාන හේතු කාරණා රැසකි. බොහෝ විට එය හිතාමතා වගකීම් පැහැර හැරීමේ වුවමනාවෙන් සිදුවන්නක් නොවේ. පෙර දිනවල දී දිගින් දිගටම නිදිවැරීම නිසා මෙන්ම දහවල් කාලයේ කායිකව අසීමිත ලෙස වෙහෙසීමට සිදුවීමද එලෙස සෙබළු රාත්‍රී මුරයේ දී නිදාවැටීමට ප්‍රධාන හේතු වේ. එලෙස පෙර දිනවල නිදිවැරීමට බලපාන හේතුද රැසකි. දිගින් දිගටම කඳවුරට හෝ ආරක්ෂක වළල්ලට සතුරු තර්ජන එල්ල විය හැකි බවට ඉහළ මූලස්ථාන මගින් නිරන්තරව දැනුම්දීම් සිදුකිරීම හේතුවෙන් සෑම රාත්‍රියකම පාහේ භටපිරිස්වලට අවදියෙන් හා සූදානමින් තැබීමට සිදුවේ. හමුදා බුද්ධි තොරතුරු ඔස්සේ භූමියේ සිදුවන වෙනස්කම් හමුවේ ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ලවීමේ අවදානම ගුවන්විදුලි රහස් පණිවුඩ මගින් එහිදී කඳවුරුවලට දැනුම් දෙනු ලබයි.  නමුත් එලෙස එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ නිතර නිතර දැනුම්දීම නිසාම ඇතැම් විට ඒ වෙනුවෙන් තබන බරතැබීම් අඩුවන අවස්ථාද තිබිණ. එම පණිවුඩවල පැවති ඒකාකාරී බවද බොහෝ විට ඒ අයුරින්ම ත්‍රස්ත ප්‍රහාර සිදුනොවීම ද හේතුවෙන් යුද බිමේ එම තත්ත්වයන් සාමාන්‍යකරණය වී තිබිණ. නමුත්, මෙහි තිබූ විශේෂ කාරණය නම් ඇතැම් අවස්ථාවල පෙර දැනුම් දී තිබියදීත්, නිසි සූදානමක් නොමැතිවීම හේතුවෙන් ත්‍රස්ත ප්‍රහාර සිදුව හමුදාවට බොහෝ විනාශයන් සිදුවූ අවස්ථාද තිබිණ. කෙසේ හෝ එකල ඉහළ මූලස්ථාන වෙතින් ත්‍රස්ත තර්ජන පිළිබඳ කඳවුරු දැනුම්වත් කිරීම, “බය පැකට් බෙදීම” නොඑසේ නම්, “බය බෙදීම” ලෙස පොදු ව්‍යවහාරයේ දී භටපිරිස් අතර හැඳින්විණි. 

ක්‍රියාන්විත බිමේ කඳවුරු ජීවිතයේ වඩා දුෂ්කරතා ගෙනදුන්නේ එම කඳවුරු අලුත්වැඩියා කිරීමේදීය. එහිදී බංකර් සෑදීම, යුද අගල් කැපීම, භටනිවහන් සෑදීම, කඳවුර පිටත එළිපෙහෙළි කිරීම සෑම කඳවුරකම කිසිදා නිමනොවූ කටයුතුය. ආරක්ෂක වළල්ල පිළිසකර කිරීමද ඒ අතර වේ. නිවාඩු වාරයක් ගෙවා මීළඟ නිවාඩු වාරය පැමිණෙන තෙක්ම කඳවුරු තුළ ඒකාකාරී ජීවිතය ඇතැම් විට වසර දෙක තුනක්, නොඑසේ නම් වසර පහ හයක්, එසේත් නොමැති නම් වසර දහයක් පහළොවක් තිස්සේම එක ලෙස සිදුකිරීමට සෙබළුන්ට සිදුවිය. දිවා කල එම කටයුතු හේතුවෙන් සිදුවන අසීමිත වෙහෙස, පෙර කියූ පරිදි සෙබළුන්ට රාත්‍රියේ නිදාවැටීමටද ප්‍රධාන හේතුවකි. කෙසේ හෝ බොහෝ කඳවුරුවල දිවා ආහාරයෙන් පසුව පැය කිහිපයක් නිදාගැනීමට ඉඩ සැලැස්වීම, ඇතැම් කඳවුරු භාර නිලධාරීන් තම භටපිරිසට අනිවාර්ය කළ අවස්ථාද තිබිණ. නමුත්, බොහෝ තැන්වල 24 පැය පුරා අධික ලෙස ක්‍රියාන්විත රාජකාරි පැවරී තිබීම නිසාම එවැනි ක්‍රියාමාර්ග ගැනීමට වුවමනාව පැවතියද ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොලැබුණු තැන් බොහෝය. 

අධික වැසි සහිත කාලවලදී නිරන්තරව වැස්සට හා පින්නට නිරාවරණය වීම නිසා සෙබළු රෝගී වීම එකල සුලබ විය. එනිසා විශේෂයෙන්ම එම වකවානුවල අමතර රාත්‍රී තේ හා කොත්තමල්ලි වේල් කිහිපයක්ම සෙබළුන්ට ලැබිණ. යුද සමයේ බංකර් රාජකාරිවල නිරත භටපිරිස් වෙත රාත්‍රී 10, 12, 02 ආදී කාලවල එලෙස කොත්තමල්ලි සලාකය යහමින් සැපයුණු අතර, සෙබළුන්ගේ අසනීප සුවවීම සේම අඳුර පහවන තෙක් හැකි උපරිමයෙන් ඔවුන් අවදියෙන් තබාගැනීම එහි අරමුණ විය. 

යුද සමයේ බොහෝ සෙබළු අත කුඩා පොකට් රේඩියෝවක් තිබිණි. එකල අද මෙන් ගුවන්විදුලි නාළිකා රැසක් නොතිබිණ. එබැවින් ඒ සැමට කැමති හෝ අකමැති පැවති නාළිකාවට සවන්දීමට සිදුවිය. ඒවා භටනිවාසයේ කොනක, බංකරයේ තැනක, නොඑසේ නම් කඳවුරේ ශ්‍රමදාන කටයුතුවල දී අසල වූ ගසක හෝ එල්ලා කාටත් ඇසෙන්නට සැලැස්වීම සිරිතය. එසේම, එකල අසන්නන්ගේ ඉල්ලීම් සඳහා ඔවුහු නිරන්තරව පෝස්කාඩ් යොමුකිරීම පුරුද්දක් ලෙස සිදුකළහ. එලෙස ගීත ඉල්ලන වැඩසටහන් සඳහා ඇතැම් රණවිරුවන් දිගින් දිගටම පෝස්ට් කාඩ් යොමුකිරීම නිසා ඔවුන් එම වැඩසටහන්වල යාවජීව සාමාජිකයින් බවට පත්ව බොහෝ දෙනෙකුට ඔවුන්ගේ නම් පවා මතක තිබිණ  (“ගාමා ගාමිණී සුබසිංහ” එලෙස අදටද මතක නමකි). 

එසේම, රණවිරුවන්ට සුබපතා ආශීර්වාද කරන වැඩසටහන්ද එකල ශ්‍රී ලංකා ගුවන්විදුලිය ඔස්සේ නිරතුරු විකාශය විය. ඒවා රණවිරුවන්ගේ හදට කතාකරන ළෙන්ගතු වැඩසටහන් වීම නිසා දහස් ගණන් රණවිරුවෝ ඒ වටා රොදබැඳගත්හ. හුදෙකලා, කර්කෂ පරිසරයේ ජීවිත සමග සටනක නිරත රණවිරුවන් එමගින් ලද සැනසීම හා අස්වැසිල්ල කියා නිමකළ නොහැකි තරම්ය.

යුද බිම තුළ කුමන දුෂ්කරතා, අපහසුතා අතරේ වුව අත්නොහැරි එකම දෙය පුද්ගලික අවියයි. (මෙය බොහෝවිට T-56 වර්ගයේ විය). තැනකින් තැනකට ගමන් කරද්දීත්, කෑම කනවිටත්, දියනාන විටත්, වැසිකිළියට ගියත් එය අතපොවන මානයේ තබාගැනීම එකල අනිවාර්ය විය. සාමූහිකවද, තනි තනිවද ජීවිත රූකුණේ ඒ නිසාමය. එලෙස ගිනි අවිය තම සමීපතම සහකරු බවට පත්කර ගැනීමට ඕනෑම යුද භටයෙකුට හුරු කරවනුයේ සිය පුහුණු කාලයේ සිටය. අවිය අමතකවීම, නිසි පරිදි ශුද්ධ පවිත්‍ර නොකිරීම, නිවාඩු යනෙන අවස්ථාවල එය නිවැරදි ආකාරයට භාරදීම් කරගැනීම සිදුනොකිරීම, අනාරක්ෂිත පරිහරණය, ඊට නිසි ගෞරවය නොදැක්වීම ආදී විවිධ හේතු අරබයා දඬුවමක් නොවිඳි අය හමුදාවක නොමැති තරම්ය. මෙහි උච්චතම දඬුවම් හිමිවෙන අවස්ථාව වෙනුයේ ආධුනික වෙඩි තැබීම් සිදුකරද්දීය. එනිසාම පෞද්ගලික අවිය ළඟ තබා ගැනීම, බූට් පැලඳීම, හෙල්මට් දැමීම ආදිය අධි ක්‍රියාන්විත පෙදෙස්වල එකල අනිවාර්ය අවශ්‍යතාවක් වූ අතර, ඇතැමෙකුට එය එකල වදයක් සේ පෙනුනද විශ්‍රාම ලබන තෙක්ම යුද බිමේ යහතින් දිවි ගෙවීමට එම දැඩි කොන්දේසි සැමටම උපකාරී වූ බව අත්දැකීම් ඇත්තෝ දනිති. 

යුද පිටියේ දී අවිය හා බිරිඳ අතර ඇත්තේ අසීමිත බැඳීමකි. හමුදා පුහුණුවේ දී අවිය තම බිරිඳ සේ සුරැකිය යුතු බවට උගන්වයි. එසේම, බිරිඳ සේම අවියද තනි නොකිරීමටත්, අන්සතු නොකිරීමටත්, ආරක්ෂා කිරීමටත් වැඩිදුරටත් උගන්වයි. එනිසාම, ක්‍රියාන්විත පරිසරයේ යුද සෙබළෙක් රැයක් පහන්කරන ලද්දේ තම බිරිඳ සේම අවිය තුරුලු කර ගනිමිනි. ඇඳක, ලී අට්ටාලයක, කැළෑවක හෝ ඕනෑම බිමක නිදාගත්තද තම අවිය පපුව මත හෝ අත ගෑවෙන තැනක තබාගැනීමට කිසිවෙකුත් කිසිවිටකත් අමතක නොකළහ. අවිය තම බිරිඳ මෙන් ළඟ තබාගත යුතු යැයි කියමනක් සැදී තිබුණේද ඒ නිසාමය. සමස්තයක් ලෙස අවිය හා බිරිඳ යන දෙකම පන සේ සුරැකි රණවිරුවෝ බහුතරයක් අතර අවිය පමණක් රැක බිරිඳ නොරැකි රණවිරුවන්ද, රණවිරු ස්වාමියා නොතැකූ බිරින්දෑවරු ද එකල යුද සමයේ නොසිටියා නොවේ. 

(ඉතිරි කොටස ලබන කලාපයේ)

 



අදහස් (0)

යුද බිමේ සහකාරිය ගිනි අවිය පමණයි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

මරදානේ පරණ පොත් කඩ වීදියේ දවසක්
2024 සැප්තැම්බර් මස 24 46 0

ඉඩෝරයක් අවසන් වී මහ වැස්සක් ඇදහැලෙන තෙක් ගොවියෝ ආසාවෙන් බලා සිටින්නේ ඊළඟ කන්නයේදී කුඹුරක් හෝ වගාවක් කරගෙන අස්වැන්නක් ලබා ගැනීම සඳහාය.


තරුණ හා ළමා පරපුරේ කියවීමේ රුචිය නැංවීම
2024 සැප්තැම්බර් මස 24 26 0

පොත් අපේ හොඳම මිතුරෝ ය. එනිසා හොඳම මිතුරන් ඇසුර නරක මිතුරන් ඇසුරට වඩා හැමතින් ම යහපත් ය. මේ යහපත්කම කෙමෙන් සමාජයෙන් අඩු වෙමින් පවතින බවට චෝදනාවක් පවතී.


නිවැරදි දැක්මක සාර්ථක අස්වනු
2024 සැප්තැම්බර් මස 21 35 0

“ටෙස්ට් තරගයකදී ගොඩක් වෙලා පන්දු රැක්කොත් කඩුලු‍ රකින්නා කියන්නේ ලොකු වගකීමක් තියෙන තැනක්. වැඩි වෙලාවක් පන්දු රැක්කොත් අංක තුන බැට් කරන්න හරි අමාරුය


ලේඛිකාවන් තිදෙනෙකුගෙන් පොත් පොකුරක්
2024 සැප්තැම්බර් මස 21 43 0

තනූජා ලුම්බිණි තඹවිට රචිත ‘‘ ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද’’ නමින් කවි පොතක් ඉකුත්දා එළිදැක්වූ අතර මෙහි ආදරය, විවාහය, කූටුම්භ ජීවිතයේ ස්ත්‍රී පුරුෂ භූමික


2023 දී පාඨක රැල්ලක් හදපු පොතක්
2024 සැප්තැම්බර් මස 21 22 0

‘විෂාදය ඇතුළු මානසික රෝගවලින් නිහඬව තැවී පීඩා විඳින සියලු නිහඬ සටන්කරුවන්ට ඒ සුන්දර මිනිසුන්ට මේ පොතේ පිදුම වෙන් කර තබමු”...


යුද බිමේ සහකාරිය ගිනි අවිය පමණයි
2024 සැප්තැම්බර් මස 21 60 0

සාමාන්‍ය බංකර් රාජකාරිවලදී මුර වාරයක් ආවරණය කිරීම සඳහා එක් සෙබළෙකු බැගින් යොදවන නමුත්, ක්‍රියාන්විත අවදානම මත ඒ සඳහා වරකට දෙදෙනා බැගින් (Dubble Laentre) යොදවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site