IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


රාත්‍රී බංකරයේ හොර ඩියුටිය


   (පසුගිය සතියේ ඉතිරි කොටස) අවි ගැටුණු යුද බිමේ  නොකී කතා - 4 කොටස

යුද පිටියේ නිදි වැරීම යනු, වෙඩි සද්ද තරමටම සුලබ දෙයකි. අවදානම වැඩිවත්ම, නිදිවැරීම ද වැඩිය. එසේ නොවන තැන්වල - ගෙදරට වඩා හොඳින් නිදාගන්න අය ද නැතුවා නොවේ. දහවල, රාත්‍රිය, අව්ව, වැස්ස, මීදුම, දුහුවිලි..... ක්‍රියාන්විතයේ නියැළි හමුදා සෙබළුන්ට වෙනසක් නොමැත. වෙනසක් දැනුණ ද සිය අරමුණ යටපත් කර පාරිසරික සාධක ගැන තකන්නට ඔවුනට ඉස්පාසුවක් ද අවසරයක් ද නොවිණි. කඳවුර තුළ හෝ ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරී හා ඉන් ඔබ්බෙහි සිදුකරන රාජකාරී අතර තිබුණේ තදබල වෙනසකි. 

අවදානම අතින් මේ දෙආකාරයේ රාජකාරි අවස්ථානුකූලව වෙනස් විය හැකි වුව ද, වඩා දුෂ්කරතා අත් විඳීමට සිදුවූයේ කඳවුරෙන් හෝ ඉදිරි ආරක්ෂක වළල්ලෙන් පිටත රාජකාරී කළ භට පිරිස්වලටය. අව්, වැසි, පිණි වැනි පාරිසරික පීඩනයන්ට ද, වනසතුරු බලපෑම්වලට ද, ඉඳුරාම ලක් වූ පිරිස ඔවුන්ය. යුද බිම තුළ මේ කුමන තත්ත්වයක් යටතේ ක්‍රියාන්විත කටයුතුවල නියැළුණ ද, ඇතැම් සෙබළුන්ගේ හැසිරීම් පිටුපස තිබුණේ රසවත් තොරතුරුය.

1990 දශකයේ මුල්භාගයේ පටන් මා රාජකාරි කළ මඩකලපුව ප්‍රදේශයේ උතුරේ මෙන් ඉදිරි ආරක්ෂක වළල්ලක් නොපැවති අතර භූමියේ තැන තැන ඉදිකළ හමුදා කඳවුරු එහි විය. ප්‍රධාන මාර්ගයෙන් දුරස්ව තොප්පිගල, වාකරේ ආදී කැලෑබද ප්‍රදේශවල ද, මඩකලපු පොළොන්නරු ප්‍රධාන මාර්ගයට යාවද එවක කඳවුරු රාශියක් පැවතිණි. එම ක්‍රියාන්විත බිමෙහි විවිධ අද්දැකීම්වලට මුහුණ දෙමින් මා ගත කළ කාලය විචිත්‍ර මතක සැමරුම් වලින් අනූනය. විශේෂයෙන්ම සෙබළුන්ගේ බංකර් රාජකාරි පිළිබඳව ද කඳවුරු ජීවිතය පිළිබඳව ද, ඇත්තේ රසවත් මතක එකතුවකි. (ඉන් බොහොමයක්, මා විසින් 2023 වසරේ රචනා කොට  එළි දැක්වූ “ආමරිය සීල්” නමැති කෘතියෙහි  ඇතුළත් කොට ඇත) 

එකල යුදබිමෙහි පැවති අවදානම හා දුෂ්කර බව නිසාම බංකර් තුළ දී මෙන්ම ඉන් පිටත රාජකාරිවල දීද, වැඩි දෙනකු මොහොතකට හෝ ඇස්පියා ගත්තේ නැත. ක්‍රියාන්විත රාජකාරි යනු ජීවිත සමග කරන ගනුදෙනුවක් බැව් එහි සෙබළු හොඳින් දැන සිටියහ. මොහොතකට ඇස් පියවීම ජීවිතේම ඇස් පියවීමක් විය හැකි බැවින් ඔවුන් නිරන්තරව අවදියෙන් හා අවධානයෙන් සිටීමට ද වගබලා ගත්තේය. එනිසාම බංකර් තුළ රාජකාරිවල දී මෙන්ම ඉදිරි ආරක්ෂක වළල්ලේ හෝ ඉන් පිටත රාජකාරිවල දීද රැය පුරා දෑස් දල්වා සිටීමට ඔවුහු වෙර දැරූහ.

යුදබිමේ සාමාන්‍ය බංකර් රාජකාරි යෙදෙනුයේ පැය දෙකෙන් දෙකටය. බංකරයක් සඳහා සෙබළු තිදෙනෙක් නම් කෙරෙන අතර සිටින භට පිරිස් සංඛ්‍යාව හෝ මතුවන අවධානම අනුව මෙම තත්ත්වයන් වෙනස් විය හැක. එහිදී එක් අයකු පැය දෙකක සේවා මුරයකින් පසු පැය හතරක් විවේක ගැනීම සාමාන්‍ය පිළිවෙතයි. බංකර් තුළ යකඩ ඇඳන් හෝ ලී වලින් තැනූ අට්ටාලයක් හෝ නොඑසේනම් බිමට එලන ලද සියෙස්ටා මෙට්ටයක් වැනි යමක් විවේක ගැනීම සඳහා භාවිත කරයි. මෙය ද සෑම කඳවුරකම සෑම බංකරයකම එක හා සමාන නොවූ අතර ක්‍රියාන්විත ප්‍රදේශ අනුව ද සාමාන්‍ය දුෂ්කර හා අති දුෂ්කර තත්ත්වයක් යටතේ එම කටයුතු වෙනස් විය. කඳවුරක බංකර් ද, දිවා රාත්‍රී ලෙස වෙන් කෙරේ. දිවා බංකර්වල පැය විසිහතර පුරාම මුර සෙබළු රැඳී සිටින අතර රාත්‍රී බංකර්වල රාජකාරි ඇරඹෙනුයේ සවස 6 හෝ ඊට ආසන්න වේලාවකය. එසේම පසුදින උදෑසන හය පමණ වෙද්දී ඒවායේ රාජකාරි අවසන් වීම සිරිතය. දිවා බංකර් රාජකාරි day guard ලෙස ද රාත්‍රී බංකර් රාජකාරි Night Guard ලෙස ද නම් කෙරෙන අතර කඳවුරේ විශාලත්වය අනුව ඒ වටා ඉදිකෙරෙන බංකර් සංඛ්‍යාව ද තීරණය කෙරේ.  

බංකරයක මූලික අරමුණ ආරක්ෂාව සලසා ගැනීමයි. ඒ අතරම ඒවා නිරන්තරව පිරිසිදුව, පිළිවෙළට තබා ගැනීමට ද සෙබළු වෙහෙස වූහ. කඳවුරක ඇති දිවා බංකර්වල - විශේෂයෙන්ම එම තත්ත්වය දැකිය හැකි විය. ක්‍රියාන්විත බිමෙහි වුවද, එතරම් අවදානම් නොමැති කඳවුරුවල ඇතැම් බංකර් බොහෝ අලංකාරය. දිවා කල එම බංකර්වල නිරන්තරව හඳුන්කූරු පවා දැල්වුණු අතර, අවි ආයුධ පතුරම් හා බෝම්බ වර්ගවලට අමතරව - ලියුම් ලියන්නට පොත් හා පෑන් ද, හොඳින් එළිය විහිදෙන විදුලි පන්දමක් ද, පිපාසයට වතුර බෝතලයක් හෝ කෑන් එකක්       ද, ඒවායේ වැරදුණේ නැත. එසේම ඇතැම් බංකර්වල මුල්ලක බුදුරුවක් තබාගැනීමට කටයුතු කළ සෙබළු ද සිටියහ. ඒ සඳහා වැඩි දෙනකු යොදා ගත්තේ, බුදුරුව සහිත කුඩා වෙසක් සුභ පැතුම් පතකි. එසේම, ඇතැම් අවස්ථාවල, ආහාර ගන්නා පිඟන් කෝප්ප ද, එහි කොහේ හෝ අස්සක සඟවා තිබිණ. යුද භූමියේ ආහාර පාන සැකසීම හා ගැනීම, අද මෙන් ඒ සඳහා වෙන් වූ විශේෂ නිවස්නයක සෞඛ්‍යාරක්ෂිත ලෙස සිදු නොවූ අතර කීප දෙනෙක් මුර රාජකාරියේ යෙදී සිටිය දී සෙස්සෝ එහි සිටම ආහාරපාන සැකසීම හා අනුභවය සිදු කළහ. පසුදින නිවාඩු යාමේ අපේක්ෂාවෙන්, ඒ සඳහා නියමිත වූ සෙබළු, පෙරදා රාත්‍රී මුර රාජකාරීන් හි යෙදෙනුයේ අප්‍රමාණ ප්‍රබෝධයකිනි. එවන් අවස්ථාවල, ඒ වනවිටත් ඔවුන් මනසින් තම නිවෙස් වෙත ගොස් හමාරය. නිවාඩුව තරම් යුදබිමේ සිටි කෙනකුගේ හද පිනවන තවත් දෙයක් නොවූ තරම්ය. ඒ කෙසේ වෙතත් “යුද බිමේ සෙබළකුට දිය හැකි ඉහළම සුබසාධනය පුහුණුවයි” යනුවෙන් සඳහන් පුවරු බොහෝ කඳවුරු තුළ සටහන් කොට තිබුණි. 

එකල සටන් භූමියෙහි සෙබලුන් වැඩිපුර පරිහරණය කරන ලද්දේ කළු පැහැති ඉලෙක්ට්‍රොනික් අත් ඔරලෝසුය. එහි පැත්තෙන් වූ කුඩා ස්වීචය එබීමෙන් දැල්වෙන කොළ පැහැති බල්බය ආධාරයෙන් අඳුරේ වුව ද වේලාව බලාගත හැකි විය. එය කළු පැහැයෙන් යුක්ත නිසා අඳුරේදී පිටතට දර්ශනය නොවීමද ක්‍රියාන්විත කටයුතුවල දී හමුදා සාමාජිකයන්ට ඉමහත් වාසියක් විය. එසේම හමුදා කැලෑ ඇඳුමේ පැහැයෙන් (LAMA) එවැනි ඉලෙක්ට්‍රොනික් අත් ඔරලෝසුවලට එකල රණවිරුවන් අතර පැවතියේ ඉහළ ඉල්ලුමකි. එසේම යුද බිමේ දී ඇතැම් බංකර්වල සෙබළු බැටරියෙන්  ක්‍රියා කරන කුඩා පොකට් රේඩියෝ පරිහරණය කළ අවස්ථා ද තිබිණ. බංකරයේ ඇතුළත කොහේ හෝ තැනක ඇහෙන නෑහෙන ගානට එය ක්‍රියාත්මක කළ ඔවුන් ඉන් විකාශය කෙරෙන ගීත ඔස්සේ මුර රාජකාරිවලින් බැහැර බොහෝ අවස්ථාවල මනසින්  සුන්දර සිතුවිලි සමග ගත කරන බවක් පෙනිණ. එම සෑම කුඩා පොකට් රේඩියෝවකටම ඒරියල් එක ලෙස දිගු කම්බියක් හෝ වයරයක් බංකරයේ වහලයට උඩින් ඇද තිබූ අතර එම ප්‍රදේශවල එකල සංඥා සබඳතා හිඟවීම හේතුවෙන් වැඩිපුර ඇසුණේ ගීතවලට වඩා “සෝ” ශබ්දයයි. කෙසේ හෝ එහි එක නාලිකාවක් හෝ පැහැදිලිව ශ්‍රවණය කර ගැනීමට සෙබළුන්ට සැලකිය යුතු පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. බංකරය යනු සෙබළුන්ගේ ස්ථාවර පුස්තකාලය ද විය. බොහෝවිට ඒවායේ නැති පත්තරයක් නොමැති තරම්ය. දිනමිණ, සිළුමිණ, සමුදුර, කුමරි, සඳ රේණු, සිත්තර, සතුට ආදී සෑම ආකාරයේ පුවත්පතක්ම ඒ අතර විය. බැලූ බැල්මට නොපෙනුන ද සෑම බංකරයකම පාහේ කොහේ හෝ තල් කොටයක් අස්සේ බිරිඳ, සීදේවී වැනි පුවත්පත් ද එකල වැරදුණේ නැත.

බංකර්වල ඉහත කුමන කටයුතු සිදුවුවද, එමගින් කඳවුරේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු හිඩැසක්, අඩුපාඩුවක් වන්නට, කිසිවකුත් ඉඩ නොදුන්නේය. විශේෂයෙන්ම ක්‍රියාන්විත බිමෙහි පැවති අවදානම අනුව ඒ වෙත එල්ල වියහැකි මෝටාර් කාලතුවක්කු හෝ RPG ප්‍රහාරවලට ඔරොත්තු දියහැකි ලෙස ඒවා ශක්තිමත්ව සාදන්නටත්, නිරතුරු එහි අලුත්වැඩියා කටයුතු සිදුකරන්නටත් කඳවුරු භාර නිලධාරීන්ගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ සෙබළු වගබලාගත්හ.

එකල ක්‍රියාන්විත බිමෙහි කඳවුරක බංකර් රාජකාරි සම්බන්ධව ද විවිධ වූ රසවත් කතා ගොන්නක් ඇත. ඇතැම් ජ්‍යෙෂ්ඨ සෙබළු කනිෂ්්‍ඨයන් හා රාත්‍රී මුර රාජකාරී කිරීමේ දී තම පැය දෙකේ සේවා මුරය නියමිත පරිදි නිම නොකර අනෙකාට පවරන අවස්ථා ද තිබේ. බංකර් රාජකාරි සඳහා බොහෝවිට යොදවනුයේ ලාන්ස් කෝප්‍රල්වරුන් හා සාමාන්‍ය සෙබළුන්ය. ඔවුන්ගේ රාජකාරි වේලාව මුරහල වෙත ලිඛිත නියෝගයක් මගින් නිලධාරියකුගේ අත්සනින් යුතුව නිකුත් කෙරේ. නමුත්, කලාතුරකින් තැනක ඇතැම් ජ්‍යෙෂ්ඨ සෙබළුන්, තම බංකරයේ මුර කාලසීමාව ඔවුනොවුන් කතාබස් කොට බෙදාගන්නා අවස්ථා ද වේ. එය බොහෝවිට, එම බංකරයේ සිටින ජ්‍යෙෂ්ඨයාගේ උපක්‍රමයක් ලෙස ද සිදුවේ. එහිදී, බංකරයේ නිදිවර්ජිතව සිටිය යුතු කාලය අඩුකර ගැනීම සඳහා ඇතැම් සෙබළු එලෙස කපටි ආකාරයෙන් කටයුතු කරති. 

එහිදී ඔවුන් සිදුකරනුයේ බංකරයේ ඇති පොදුවේ පාවිච්චි කරන ඔරලෝසුවේ වෙලාව තමාට අවශ්‍ය පරිදි කිසිවකුට නොදැනෙන්නට විනාඩි කිහිපයක් වැඩිපුර සිටින සේ වෙනස්කර මීළඟ සෙබළාට මුරය භාරදීමය. උදාහරණයක් ලෙස රාත්‍රී 12 ට අරඹා  අලුයම 2 ට තම සේවා  මුරය නිමකරන  අයකු තම මුරය අවසන් වීමට ප්‍රථම ඔරලෝසුවේ වේලාව වැඩිපුර විනාඩි ගණනක් ඉදිරියට කරකවා ඊළඟ සෙබළාට මුරය භාරදීමය. එනම්, සැබෑ වෙලාව අලුයම 1.30 හෝ 1.45 වෙද්දී අදාළ ඔරලෝසුවේ වෙලාව 2 ලෙස වෙනස්කොට එතෙක් නින්දේ පසු වූ අනෙක් සෙබළා ඇහැරවා ඔහුට රාජකාරිය භාරදීමය. ඇතැම්විට ඔහුද ඊළඟ සෙබළාට වඩා ජ්‍යෙෂ්ඨ නම් පෙර සෙබළා මෙන්ම ඔහු ද කපටි අයකු නම් අලුයම 4 ට තම මුර කාලය නිම කිරීමට තියෙද්දී කාටත් හොරා අනෙකාට මුරය භාර දෙනුයේ පෙර ලෙස මෙන් හෝ ඊටත් වඩා කාලයක් වෙලාව වෙනස් කරමිනි. අවසානයේ මේ කිසිත් නොදත් කනිෂ්ඨ සෙබළා සිය රාත්‍රී මුරයේ අවසන් පැය දෙක (4-6) ඔරලෝසුවේ සඳහන් පරිදි උදෑසන 6 ට නිම කළ ද  තවදුරටත් ප්‍රදේශය පුරා අඳුර පැවතීම හේතුවෙන් ඔහුට රාජකාරියෙන් මිදීමට ඉඩක් නොලැබේ. සැබැවින්ම එහි දී සිදු වනුයේ බංකරයේ ඇති ඔරලෝසුවේ වේලාව උදෑසන 6 වුවද සැබෑ වේලාව තවමත් අලුයම 5 හෝ ඊට ආසන්න වීමය. කලාතුරකින් තැනක සිදුවන එවැනි සිදුවීම් පිළිබඳව කනිෂ්ඨ සෙබළුන් තම බලධාරීන් වෙත රපෝර්තු කොට එලෙස වංචනික ලෙස රාජකාරී සිදුකළ සෙබළුන් දඬුවමක් ලෙස දිගින් දිගටම කඳවුරෙන් එළියේ ක්‍රියාන්විත රාජකාරීන් සඳහා යෙදවූ අවස්ථා ද තිබිණ. ඉහත තත්ත්වය එසේ වුව  ද තම සේවා මුරය අවසන්ව තිබියදීත් තමන්ට නිදිමතක් නොමැති අවස්ථාවල තම සහෝදර සගයාගේ මුරකාලයෙනුත් සැලකිය යුතු වේලාවක් ස්වේච්ඡාවෙන්ම ආවරණය කරන සෙබළු ද යුදබිමේ ඕනෑ තරම් සිටියහ.

තව කොටසක් ලබන සතියේ

 



අදහස් (0)

රාත්‍රී බංකරයේ හොර ඩියුටිය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

හෙළ මියැසිය සොඳුරු කළ හියුබත් දිසානායක
2024 සැප්තැම්බර් මස 13 33 0

මෙවන් සොඳුරු රසාලිප්ත ගේය පද සමුදායක් 50/60 දශකයේ දී සිංහල මියැසියට හඳුන්වාදුන් කවියකු, ගත්කතුවරයකු හා හෙළ භාෂා විද්වතකු වූ හියුබත් දිසානායක සූරීන්ගේ යු


ශ්‍රී ලංකා නාමය රැව්දෙයි
2024 සැප්තැම්බර් මස 13 27 0

එංගලන්තයේ දී වසර 10 කට පසුව ටෙස්ට් ජයක් ලැබීමෙන් කීර්තිය දිනාගත් ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී එවැනිම කීර්තිමත් ක්‍රීඩා ජයග්‍රහණ දෙකක් අත් කර ගැනීමට සමත


සමාජ කියවීම කවිය තුලට ගෙනා තුරුණු කිවිඳිය
2024 සැප්තැම්බර් මස 13 17 0

මෙරට කාව්‍ය ඉතිහාසයට වඩා වර්තමානය තුළ කිවිඳියන්ගේ භූමිකාව ප්‍රබල හා කැපීපෙනෙන්නක් බවට පත්වී ඇත.


ඕවල් පිටියෙන් ගාල්ලට
2024 සැප්තැම්බර් මස 13 27 0

එංගලන්ත සංචාරය ආරම්භයේ දී ම අප කියූ පරිදි ඕවල් පිටියේ ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.


පතල් කුහරයෙන් හමුවූ ලවණ මිනිසා
2024 සැප්තැම්බර් මස 13 32 0

අතීතයේ පර්සියාව, අද ඉරානයයි. ඉරානයට ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයකි. මීට වසර 30 කට පමණ පෙර, ඉරානයේ ලු‍ණු කැණීම් කළ පතලකින් ස්වාභාවිකව මමීකරණය වුණු මිනිස් සිරුරක ක


රාත්‍රී බංකරයේ හොර ඩියුටිය
2024 සැප්තැම්බර් මස 11 82 0

යුද පිටියේ නිදි වැරීම යනු, වෙඩි සද්ද තරමටම සුලබ දෙයකි. අවදානම වැඩිවත්ම, නිදිවැරීම ද වැඩිය. එසේ නොවන තැන්වල - ගෙදරට වඩා හොඳින් නිදාගන්න අය ද නැතුවා නොවේ.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2162 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site