IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ලොව නිදි යාමේ බංකර් ඇතුළේ


   (පසුගිය සතියේ ඉතිරි කොටස)  අවි ගැටුණු යුද බිමේ නොකී කතා 

යුධ බිමේ බංකර් සෑදීම අමුතුම කලාවකි. එසේම එය බොහෝ දුෂ්කර කටයුත්තකි. ඒ සඳහා සටන් බිමේ සිටින ඕනෑම සෙබළෙකුට ශ්‍රම දායකත්වය ලබාදිය හැකි මුත්, නිසි ප්‍රමිතියට - තාක්ෂණය හා කලාව මුසු කොට බංකර් සෑදීම හැමෝටම කළ නොහැක. ඒ සඳහා ඕනෑම කඳවුරක විශේෂ නිපුණතා සහිත සෙබළෙකු හෝ කිහිපදෙනෙක් වූහ. තල්, පොල්, තේක්ක හෝ වෙනත් සුදුසු දැව හා වැලිකොට්ට යොදා - පොතේ හැටියට බංකර් සාදන්නට, ඔවුහු දක්ෂයෝ වූහ. එසේම, සිල්පර කොට හා රේල්පීලි ද එකතුකොට, ඕනෑම සතුරු ප්‍රහාරයකට ඔරොත්තු දෙන ආකාරයෙන් සවිශක්තිය හා ආරක්ෂාව උපරිම ලෙසට වන බංකර් හදන තාක්ෂණය ඔවුන් සතුය. එනිසාම, කඳවුරක හෝ ඉදිරි ආරක්ෂක වළල්ලක, යුද අගල් හෝ බංකර් ඉදිකිරීමේ කටයුතුවලදී ප්‍රමුඛත්වය ගත්තේ, පෙරකී විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත සෙබළුන්ය.

ඇතැම් කඳවුරු ආශ්‍රිතව තිබූ රේල්පාරවලින්, ඉඳහිට සිල්පර කොට හා රේල්පීලි ගැලවීම ද එකල සිදුවිය. දුම්රිය ධාවනයන් සිදුනොවූ එම කාලවකවානුවේ, එම රේල්පාරවල් පැවතියේ අබලන්ව පාළුවට ගොසිණි. බොහෝ තැන්වල එම මාර්ග විනාශ වී තිබූ අතර, ඒවා සම්පූර්ණ අලුත්වැඩියාවකින් තොරව එහි දුම්රිය ධාවනයක් සිදුකළ හැකි නොවීය. එවැනි රේල් පාරවල් වල තැන තැන ඉතිරිව තිබූ සිල්පර හා රේල්පීලි බංකර් ඉදිකිරීම සඳහා එකල හමුදා පාර්ශ්වයෙන් මෙන්ම එල්ටීටීඊය විසින් ද යොදාගනු ලැබීය. රේල්පාරේ සිල්පර ගැලවීම ද අමුතු කලාවකි. ජැක් එකක් මගින් රේල්පීල්ල මඳක් ඔසවා, මිටියකින් තට්ටු කරමින්, එකවර සිල්පර කොට කිහිපයක් ගලවා ඉවත් කිරීමේ අපූරු තාක්ෂණය, ඇතැම් සෙබළු දැනසිටියහ. එවැනි කටයුතු නීත්‍යානුකූල නොවූව ද, පැවති ක්‍රියාන්විත වටපිටාව හමුවේ - ජීවිත රැකගැනීම වෙනුවෙන්, අන් විකල්පයක් එම භූමියේ ඉතිරිව නොතිබිණ.

   පෙට්ටි කැන්ටින්

එකල ක්‍රියාන්විත ප්‍රදේශවල ස්ථාපිත කඳවුරුවල භටපිරිස්වලට තම පුද්ගලික අවශ්‍යතාවකට හෝ, බඩුවක් මුට්ටුවක් මිලදී ගැනීමේ අවස්ථාවක් නොතිබිණ. විශේෂයෙන්ම මිනිස් පුළුටක් නොමැති කැලෑබද හුදෙකලා ප්‍රදේශවල, පෙනෙනතෙක් මානයක වෙළඳසැලක් හෝ නොවීය. එබැවින් සෑම අවශ්‍යතාවක්ම, ඔවුන්ට සිය නිවාඩු වාරයකදීම සපුරාගත යුතුව තිබිණ. ඇතැම් ගම්මාන ආශ්‍රිත ප්‍රදේශවල පවත්වාගෙන ගිය සිල්ලර කඩ තිබුණ ද, පැවති ආරක්ෂක තත්ත්වය හේතුවෙන් - සෙබළ සාමාජිකයින්ට, ඒවායින් බඩුභාණ්ඩ මිලදී ගැනීමට අවසර නොවීය. නියමිත අයුරින් කැන්ටිමක් පවත්වාගෙන යාමට තරම් භටපිරිසක් ද නොවූ කුඩා අනුඛණ්ඩවල, එම අවශ්‍යතාවන් සපිරුණේ වෙනම ක්‍රමයකටය. එනම්, කිසියම් සෙබළෙකු විසින් කුඩා පෙට්ටි කැන්ටිමක් පවත්වාගෙන යාමය. එහිදී, සිදුකරන ලද්දේ - ට්‍රන්ක පෙට්ටියක හෝ කුඩා ලී පෙට්ටියක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පුරවා, කඳවුරේ සෙබළුන්ගේ අවශ්‍යතා අනුව, මුදලට විකිණීමය. මෙම ක්‍රමය යටතේ මදුරුකොයිල්, සිගරැට්, සබන්, ටූත්පේස්ට්, දත්බුරුසු, බිස්කට්, ආදී සීමිත ද්‍රව්‍ය අලෙවි කෙරුණු අතර - ඇතැමුන් එම විකිණීම් සබැඳිව පොතක සටහන් තැබීමටද කටයුතු කළහ. ක්‍රියාන්විත අවශ්‍යතාව මත භටපිරිස් තැනින් තැනට මාරුවීමේදී, අදාළ පෙට්ටි කැන්ටිම රැගෙන යාමට අදාළ සෙබළු කටයුතු කළහ.

  ළිඳෙන් බවුසරයට 
  බවුසරෙන් ළිඳට


එවක ක්‍රියාන්විතයන්හි නියැළි භට පිරිස්වලට, ත්‍රස්ත තර්ජනවලට අමතරව - ජලය වෙනුවෙන් ද, වෙනම සටනක් දීමට සිදුවිය. බොහෝ කඳවුරුවල වතුර කඳුළක් හෝ නොවීය. සියලු ජල අවශ්‍යතා පිටතින් සැපයුණු අතර, ඇතැම් මුහුදුබඩ කඳවුරුවල හාරාගත් ළිං පැවතිය ද, ඒවා කිවුල් ජලය බැවින්, බීමට ගත නොහැකි විය. ජල පහසුකම් නොවූ කඳවුරුවල, සිමෙන්තියෙන් බඳින ලද ටැංකි ඉදිකොට, ඒවාට බවුසර් මගින් ජලය සැපයිණ. දිනකට දෙතුන්වරක් හෝ දින කිහිපයකට වතාවක් ලෙස, ඒවාට ජලය සැපයිණ. ඒ ඒ කඳවුරුවල සිටින භටපිරිස් ප්‍රමාණය අනුව, ජල සැපයුම් ප්‍රමාණය  තීරණය විය. 1990 දශකයේ මුල් භාගයේ, මා රාජකාරි කළ නැගෙනහිර ප්‍රදේශයේ පූනානි ආශ්‍රිත කඳවුරුවල පැවතියේ එවැනි තත්ත්වයකි. දිනපතා පූනානි ප්‍රධාන කඳවුරු මූලස්ථානයේ සිට, බවුසරයක් මගින්, මඩකලපු පොළොන්නරු ප්‍රධාන මාර්ගයට යාව පිහිටා තිබූ සෑම කඳවුරකටම ජලය රැගෙන යන ලදී. එම වතුර බවුසරය එන තෙක් මාර්ගය අද්දරට වී පෙරමග බලා සිටීම, ප්‍රදේශයේ සෑම කඳවුරකම දැකිය හැකි සුලබ දසුනක් විය.

එසේම, පොළොන්නරුවේ සිට වාලච්චේන ප්‍රදේශයෙන් කිරි එකතු කිරීමට යන සිවිල් බවුසරයක් මගින් ද, මාර්ගය දෙපස කඳවුරුවලට එකල ජලය සැපයීම පුරුද්දක් ලෙස සිදුවූ කටයුත්තකි. එලෙස සිවිල් බවුසරයකින් හමුදා කඳවුරුවලට වතුර බෙදාදීම, යුද වැදී සිටි අප සැමගේ ඉමහත් ප්‍රසාදයට හේතු විය. එලෙස වතුර රැගෙන එන බවුසරයේ රියැදුරුට හා ගෝලයාට සෑම කඳවුරකින්ම පාහේ කෑම වේලක් හෝ තේ කෝප්පයක්  එකල වැරදුණේ නැත. 

මේ අතර තවත් අපූරු සිදුවීමක් මෙම වතුර බෙදාහැරීම සම්බන්ධව කිව යුතුව තිබේ. 

ඇතැම් කඳවුරුවල ජලය එක්රැස්කර තබාගැනීම සඳහා වතුර ටැංකි නොමැති වූ අවස්ථාවල, ඒ සඳහා කඳවුරේ ඇති දිය සිඳී ගිය ළිං පවා භාවිතයට ගැනුණි. එවන් අවස්ථාවල සිදුවනුයේ, බවුසර් මගින්  ජලය ළිඳට මුදාහැරීමකි. එවිට එම වතුර සිඳී යාමට මත්තෙන්, නෑමට හෝ වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට භටපිරිස් කටයුතු කරති. ළිඳෙන් බවුසරයට ජලය පිරවීම සාමාන්‍යයෙන් සිදු වුව ද, මෙහිදී සිදුවනුයේ බවුසරයෙන් වතුර ළිඳට පිරවීමයි. පසුකාලීනව හමුදාවේ කතාබහේදී ජ්‍යෙෂ්ඨයින් හා කනිෂ්ඨයින් අතර ඇතිවන මතභේදවලදී - දැන් ඉතින්, “ළිඳෙන් බවුසරයට ගහනව වෙනුවට, බවුසරයෙන් ළිඳට ගහන්න වෙලා තියෙන්නෙ”  යනුවෙන් වූ ප්‍රස්තාව පිරුළක් නිර්මාණය වී භාවිතයට ගැනුණි. 

‘‘ළි​ෙඳන් බවුසරයට බවුසරයෙන් ළිඳට’’ යුද බිමේ වතුර බෙදූ හැටි


 

ඇතැම් අවස්ථාවල එලෙස ජලය සපයන යුද හමුදා බවුසර් ආබාධවලට ලක්වන අවස්ථා කොතෙකුත් යෙදේ. එසේම සිවිල් බවුසර් ද පොහොය වැනි නිවාඩු දිනවල කඳවුරු සීමාවල ධාවනය නොවේ. එවන් අවස්ථාවල, කඳවුරුවල උග්‍ර ජල හිඟයක් මතුවන අතර, වතුර පනිට්ටුවකින් දෙකකින් සෙබළෙකුට තම සියලු අවශ්‍යතා ඉටුකර ගැනීමට සිදුවේ. නොඑසේ නම්, විකල්පයක් ලෙස කඳවුරුවලට පිටත තදාසන්න දුරක පිහිටි ළිඳක් හෝ ඇළ මාර්ගයක් වෙත ගොස්, දිය නෑමේ හෝ පවිත්‍රතා කටයුතු සිදුකර ගතයුතු අවස්ථා ද යෙදේ. නමුත්, පැවති ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන්, එලෙස හුදෙකලා තැන්වල එකවර සැලකිය යුතු භට පිරිසක් දිය නෑම හේතුවෙන්, ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක බවට පත්වීමේ අවදානමක්ද පැවතිණ. එහෙයින්, එලෙස දිය නාන තැන්වල අමුතුවෙන් අමතර සෙබළු යොදවා, ආරක්ෂා කිරීමටද සිදුවිය. 

  කැවිලි පෙවිලි 
  බෙදාගැනීම


කැවිලි පෙවිලි බෙදාහදා ගැනීමද එකල යුදබිම තුළ සිදුවූ අත් නොහැරි පුරුද්දකි. නිවාඩු ගොස් නැවත කඳවුර වෙත පැමිණෙන සෑම සෙබළෙක්ම, මොනවා හෝ රස කැවිලි පාර්සලයක් කඳවුරෙහි තම යහළුවන් වෙනුවෙන් රැගෙන ඒමට අමතක නොකළේය. එහිදී අලුවා, වැලිතලප, කිරිටොපි, ආස්මි, මුංගුලි යනාදිය වැරදුණේ නැත. ඇතැම් සෙබළු එකම වර්ගයේ කැවිලි පෙවිලි දිගින් දිගටම රැගෙන ඒම නිසාම, ඔවුන් ඒ නම්වලින්ම හැඳින්වූ අවස්ථාද තිබිණ. එම සෙබළුන්ගේ දෙමාපියන් හෝ බිරින්දැවරුද තම පුතා, ස්වාමියා වෙනුවෙන්, මහත් ආදරයෙන් යුතුව එලෙස කැවිලි පෙවිලි සාදා දෙන්නේ, මහත් උනන්දුවකිනි. තම සහෘදයින් යුද බිමෙහි විඳින දුෂ්කර දිවිය පිළිබඳව ඉමහත් අවබෝධයකින් පසුවූ ඔවුහු, මානසික වශයෙන් රණවිරුවන්ට නිබඳ ශක්තියක්ම විය. ඒ අතරම, නිවසින් සාදා දෙන කිසිවක් ගෙනඒමට උනන්දු නොවන ඇතැම් සෙබළු - අතරමග  දී  වෙ​ෙළඳසලකින් මිල දී ගන්නා කේක් හෝ බිස්කට් වැනි යමක් රැගෙන ඒමට කටයුතු කළහ. ඒ අයුරින් ගෙනෙන යමක් කඳවුරේ සෑම අයෙකු සමග බෙදා හදා ගැනීමට එකිනෙකා කටයුතු කරන ලද්දේ, යුද බිමේ අන්‍යෝන්‍ය සුහදත්වය, ළෙන්ගතුකම, එකමුතුකම පිළිබඳ සංකේතාත්මක පණිවිඩයක්ද ලබාදෙමිනි. 

  කෙළි සෙල්ලම්

කුමන අවදානම මධ්‍යයේ කුමන දුෂ්කරතා අතර වුව, ක්‍රියාන්විත බිමෙහි කඳවුරු ජීවිතය තුළ කිසියම් ආස්වාදජනක බවක්ද නැතුවා නොවේ. එවැනි බොහෝ තැන්වල සවස් කාලයේ ක්‍රීඩා කිරීමටද, සෙබළු අමතක නොකළහ. එහිදී, ක්‍රිකට් හා වොලිබෝල් එසේ සුලබව පැවති ක්‍රීඩාය. ඇඳිරි වැටෙන්නට ආසන්න වෙන තෙක් එලෙස ක්‍රීඩා කොට, ඇඟපත සෝදාගත් සැණින් යළි රාත්‍රී බංකර් රාජකාරි හෝ වෙනත් සීමිත ක්‍රියාන්විත සඳහා එක්වීම, සෙබළුන්ගේ දින චර්යාව විය. සවස් කාලයේ ඇසුණු කතාබස්, සිනා හඬවල් වෙනුවට, රාත්‍රියේ කඳවුරු පුරා පවතිනුයේ දැඩි නිහඬ බවකි. ඇතැම් අඳුර රජයන දිනවල, එසේත් නොමැති නම් වර්ෂා අධික කාලවල, කඳවුරක හෝ ඉදිරි ආරක්ෂක වළල්ලේ රැයක් පහන් කිරීම අතිශය අවිනිශ්චිතය. ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමේ වැඩි සම්භාවිතාවක් පැවති එවන් අවස්ථාවල, සමස්තයක් ලෙස කඳවුරක් තුළ කිසිවකුත් නිදා ගත්තේ නැති තරම්ය. 

නොනිදා පහන් කිරීමේ උපක්‍රමයක් ලෙස කාඩ් සෙල්ලම් කිරීම, එකල සෑම කඳවුරකම පාහේ සිදුකළ කටයුත්තකි. රාත්‍රියේ ඇරඹෙන එම කාඩ් ක්‍රීඩා සඳහා රාජකාරියෙන් තොර සෑම නිලයක්ම පාහේ එක් වූ අතර, එය අලුයම වන තෙක්ම සිදුකෙරිණ. ඒ අතර කාලය තුළ තේ, කෝපි, කොත්තමල්ලි ආදී පානයන්ද කඳවුර පුරා බෙදාහැරුණු අතර, කඳවුරෙන් පිටත රාජකාරියන්හි නිරත භට පිරිස්වලට එම අවස්ථාව හිමි නොවුණි. කෙසේ හෝ පැවති අවදානම හේතුවෙන්, අවම වශයෙන් අලුයම 2-3 පසුවන තෙක්ම එලෙස කඳවුරු තුළ නිදිවර්ජිතව සිටීමට සැවොම වගබලාගත්හ. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම්, රාත්‍රියේ එලෙස අඛණ්ඩව නිදි වැරුවද, ඊට හිලව්වට වැඩි දෙනකුට දහවල් කාලයේ නිදාගැනීමට නම් අවස්ථාව හිමි නොවීය. මාර්ග සෝදිසි කිරීම්, බංකර් - යුද අගල් ඉදිකිරීම්, කඳවුරු අවට සුද්ද කිරීම්, වැනි කටයුතු ද නිරන්තරව සිදුකෙරුණු බැවින්, යුද පිටියේ සිටි අයකුට සම්පූර්ණ විවේකයක් ලබාගැනීමට නම්, නිවාඩුවක්ම යායුතු විය. අඛණ්ඩව පැවති එම දුෂ්කර ජීවන රටාව හේතුවෙන්ම, යුද බිමෙහි සිටි වැඩි දෙනෙකු කෘශ සිරුරු සහිත වූවන් වූ අතර, බැලූ බැල්මට ඔවුනගේ මුහුණු තුළින් එම යුද වෙහෙස කදිමට කියාපෑවේය. 

(ඉතිරි කොටස ලබන සතියේ)

 



අදහස් (0)

ලොව නිදි යාමේ බංකර් ඇතුළේ

ඔබේ අදහස් එවන්න

තක්සලාව

හෙළ මියැසිය සොඳුරු කළ හියුබත් දිසානායක
2024 සැප්තැම්බර් මස 13 18 0

මෙවන් සොඳුරු රසාලිප්ත ගේය පද සමුදායක් 50/60 දශකයේ දී සිංහල මියැසියට හඳුන්වාදුන් කවියකු, ගත්කතුවරයකු හා හෙළ භාෂා විද්වතකු වූ හියුබත් දිසානායක සූරීන්ගේ යු


ශ්‍රී ලංකා නාමය රැව්දෙයි
2024 සැප්තැම්බර් මස 13 18 0

එංගලන්තයේ දී වසර 10 කට පසුව ටෙස්ට් ජයක් ලැබීමෙන් කීර්තිය දිනාගත් ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී එවැනිම කීර්තිමත් ක්‍රීඩා ජයග්‍රහණ දෙකක් අත් කර ගැනීමට සමත


සමාජ කියවීම කවිය තුලට ගෙනා තුරුණු කිවිඳිය
2024 සැප්තැම්බර් මස 13 9 0

මෙරට කාව්‍ය ඉතිහාසයට වඩා වර්තමානය තුළ කිවිඳියන්ගේ භූමිකාව ප්‍රබල හා කැපීපෙනෙන්නක් බවට පත්වී ඇත.


ඕවල් පිටියෙන් ගාල්ලට
2024 සැප්තැම්බර් මස 13 18 0

එංගලන්ත සංචාරය ආරම්භයේ දී ම අප කියූ පරිදි ඕවල් පිටියේ ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.


පතල් කුහරයෙන් හමුවූ ලවණ මිනිසා
2024 සැප්තැම්බර් මස 13 23 0

අතීතයේ පර්සියාව, අද ඉරානයයි. ඉරානයට ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයකි. මීට වසර 30 කට පමණ පෙර, ඉරානයේ ලු‍ණු කැණීම් කළ පතලකින් ස්වාභාවිකව මමීකරණය වුණු මිනිස් සිරුරක ක


රාත්‍රී බංකරයේ හොර ඩියුටිය
2024 සැප්තැම්බර් මස 11 72 0

යුද පිටියේ නිදි වැරීම යනු, වෙඩි සද්ද තරමටම සුලබ දෙයකි. අවදානම වැඩිවත්ම, නිදිවැරීම ද වැඩිය. එසේ නොවන තැන්වල - ගෙදරට වඩා හොඳින් නිදාගන්න අය ද නැතුවා නොවේ.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site