IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ලොව විශාලතම සැප නැව

 

අතමිට සරු නම්, අත දිගහැර විසි කිරීමට මුදල් ඇති නම්, සැප නැවක නැගී, ලෝකය වටා සංචාරය කිරීම තරම් තවත් අපූරු දෙයක් නැත. සැප නැව්වල නැගී දින ගණනක් හෝ මාස ගණනක් හෝ මුහුදේ ගත කිරීමට ජීවිතයේ සැඳෑසමය ගතකරන බටහිර රටවල වැඩිහිටියන් පමණක් නොව, තරුණ තරුණියෝ පවා ප්‍රිය කරති. සංචාරක නැව් Cruise Ships  කර්මාන්තයෙන්, ගෝලීය ආර්ථිකයට ඇමෙරිකන් ඩොලර් බිලියන 75 කට වඩා වැඩි මුදලක් හිමිවෙයි. සංචාරක ක්ෂේත්‍රයේ, ඉතාමත් වේගයෙන් වර්ධනය වෙන අංශයක් ලෙස සංචාරක නැව් කර්මාන්තය හැඳින්විය හැක.


ලොව විශාලතම සැප නැව, එසේත් නැතිනම් ලොව විශාලතම සංචාරක නෞකාව, ‘අයිකන් ඔෆ් ද සීස්’ (Icon of the Seas)  පසුගිය දා සිය මංගල ගමන ආරම්භ කළේය. ඒ, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ මියාමි නුවරිනි. අයිකන් ඔෆ් ද සීස් යනු, රෝයල් කැරිබියන් ගෲප් සමූහයට අයත්, රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් (RCI ) සංචාරක නැව් සමාගමේ, නවතම සුඛෝපභෝගී සංචාරක නෞකාවය. අයිකන් ඔෆ් ද සීස් නෞකාව ලොව විශාලතම සුඛෝපභෝගී නෞකාව වෙන්නේ එහි දිග මීටර් 365 ක් සහ බර ටොන් 250,800 ක් වීම නිසාය. ගිල්ලන්න බැරි යැයි පුරසාරම් දෙඩූ, අයිස් කන්දක හැපී 1,500 ක පිරිසක් සමඟ මුහුදේ ගිලී ගිය ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක් විශාලය.
නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගණන 2,350 කි. සාමාන්‍යයෙන් සංචාරක මගීන් 5,610 කට ඉඩ පහසුකම් ඇත. අවශ්‍ය නම් එම ප්‍රමාණය 7,600 ක් දක්වා ඉහළ දැමිය හැක. මහල් එසේත් නැතිනම් තට්ටු 20 කින් සමන්විත, අයිකන් ඔෆ් ද සීස්, පිහිනුම්තටාක හතකින් සමන්විතය. ජල ක්‍රීඩාංගන හයකි. මීටර් 16 උස කෘත්‍රිම දිය ඇල්ලක් ද නැව තුළ ඇත. ඊට අමතරව, අවන්හල් සහ තැබෑරුම් 14 කි.

 


අයිකන් ඔෆ් ද සීස් නෞකාව ඉදිකිරීමට වැයවී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක් යැයි පැවැසෙයි. අයිකන් ඔෆ් ද සීස් නැව, මියාමි නුවරින් දියත් කිරීමේ අවස්ථාව පුවත් මැවීය. නැව දියත් කිරීමේ අවස්ථාවට ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සහභාගී විය. මංගල ගමන කැරිබියන් දූපත් ආශ්‍රිතව සිදුවෙයි. ඇමෙරිකාවට අයත් වර්ජින් දූපත්, ශාන්ත කීට්ස්, නෙවිස්, චාලොට් අමාලි යන කුඩා දූපත් ආශ්‍රිත මුහුදේ අයිකන් ඔෆ් ද සීස් නෞකාව මේ වෙනවිට යාත්‍රා කරමින් සිටී.
අයිකන් ඔෆ් ද සීස් නැවත් ඇතුළත්ව රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගම සතු සංචාරක සැප නැව් ගණන 28 කි. ඉදිරි වසර කීපයේ දී තවත් නැව් හතරක් දියත් කිරීමට ද රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සූදානම් වෙයි. රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් අතීතයේ හැඳින්වූයේ රෝයල් කැරිබියන් කෲස් ලයින් (Royal Caribbean Cruise Line (RCCL) යනුවෙනි. රෝයල් කැරිබියන් කෲස්ලයින් ආරම්භය සිදුවූයේ 1968 වසරේදී නෝර්වේ රාජ්‍යයෙනි. අද රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගමේ මූලස්ථානය ඇත්තේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ මියාමි නගරයේයි.


අයිකන් (Icon) යන නාමය යටතේ, සුඛෝපභෝගී සංචාරක නැව් දෙකක් ඉදිකිරීමේ කටයුත්තට, සුප්‍රකට රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගම යොමුවූයේ ෆින්ලන්තයේ මෙයියර් ටුර්කු  Meyer Turkuනැව් තනන්නන් සමඟ හවුලේය. එක් නැවක් 2023 වසරේ තුන්වැනි කාර්තුවේදී සාදා අවසන් කිරීමටත් අනෙක් නැව 2025 වසරේ දී සාදා නිමකිරීමටත් ගිවිසුම් අත්සන් කෙරුණි. ඒ අනුව, අයිකන් නාමය යටතේ පළමු අධි සුඛෝපභෝගී නෞකාව එළිදැක්වීම සිදුවිය. අයිකන් ඔෆ් ද සීස් නෞකාව ඉදි කිරීමේ දී, විල්සන් බට්ලර් ආකිටෙක්ස් ත්‍රීඩ්‍යුලක්ස්,  සහ ස්කයිලැබ් ආකිටෙක්චර් යන වාස්තු විද්‍යා සමාගම් ද සිය දායකත්වය සපයා ඇත.

 


අයිකන් ඔෆ් ද සීස් නෞකාව සම්බන්ධයෙන් ගැටලු‍ සහගත තත්ත්වයක් ද මතු වී ඇත. ඒ, නෞකාව, ඉන්ධන ලෙස භාවිතයට ගන්නේ, සාමාන්‍ය නෞකාවල භාවිතයට ගන්නා ඉන්ධන නොවීම ගැටලු‍වක් වී තිබේ. අයිකන් ඔෆ් ද සීස් නෞකාව, ඉන්ධන ලෙස භාවිතයට ගන්නා LNG ස්වභාවික වායු සම්බන්ධයෙනි. නෞකාව මෙම LNG ස්වභාවික වායුවලින් බල ගැන්වෙද්දී, හරිතාගාර වායුවක් වෙන මීතේන්, වාතයට මුදා හැරෙන බවත් එය අහිතකර තත්ත්වයක් බවත් පරිසරවේදීන් පෙන්වා දී ඇත. මීතේන් වායුව, කාබන්ඩයොක්සයිඩ්වලට වඩා තීව්‍ර හරිතාගාර වායුවකි. රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් නැව් සමාගම දිගින් දිගටම පැහැදිලි කර ඇත්තේ, පරිසරවේදීන් බිය පළ කරන තරමට පරිසරයට හානියක්, නෞකාව LNG  ස්වභාවික වායු භාවිතය හරහා සිදු නොවනු ඇති බවය. කෙසේ නමුත්, 2035 වසරේ දී එළිදක්වන නෞකා සියල්ලටම භාවිත කෙරෙන්නේ පරිසර හිතකාමී ඉන්ධන වර්ග පමණක් බව රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් නැව් සමාගම පැහැදිලි කර ඇත.

 

 

■ ලු‍සිත ජයමාන්න
බීබීසී ඇසුරිනි



අදහස් (0)

ලොව විශාලතම සැප නැව

ඔබේ අදහස් එවන්න

තක්සලාව

මිතුරු වෙස් ගත් සතුරු උවදුර මයික්‍රෝ ප්ලාස්ටික් වසංගතය
2024 සැප්තැම්බර් මස 03 27 0

අපට ඒවා පෙනෙන්නේ නැහැ. අපට ඒවා දැනෙන්නේ නැහැ. ඒත් ඒවා හැමතැනම. මේ කියන්නේ ත්‍රාසජනක, බිහිසුණු විද්‍යා ප්‍රබන්ධයක් ගැන නොවේ.


ඕවල් පිටියේ ටෙස්ට් ජයක්
2024 සැප්තැම්බර් මස 02 30 0

එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ගෞරවණීය පරාජයක් ලැබීය. ඒ අනුව මැන්චෙස්ටර් පිටියේ අතීත අභිමානය රැක ගැනීමට එංගලන්තයට හැකියාවක් ලැබු


පැරිස් දෙවෙනි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් 25 ක්
2024 සැප්තැම්බර් මස 02 19 0

පැරිස් ඔලිම්පික් උළෙල නිමාවට පත්ව දින 17 කට පසුව එහිදීම ආරම්භ වූ ගිම්හාන පැරලිම්පික් උළෙලට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රහස්පතින්දා (29) සිට ආරම


ගුවනින් බර අදින්නන්ට 67 යි
2024 සැප්තැම්බර් මස 02 69 0

එදින අගෝස්තු මස 28 බදාදා දිනයයි. කටුනායක ගුවන් හමුදා මූලික කඳවුර වෙත මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් ඒ වෙනවිටත් පැමිණ සිටියේ ගුවන් හමුදාවේ අංක දෙක ප්‍රවාහන බල


ලොව නිදි යාමේ බංකර් ඇතුළේ
2024 සැප්තැම්බර් මස 02 70 0

යුධ බිමේ බංකර් සෑදීම අමුතුම කලාවකි. එසේම එය බොහෝ දුෂ්කර කටයුත්තකි. ඒ සඳහා සටන් බිමේ සිටින ඕනෑම සෙබළෙකුට ශ්‍රම දායකත්වය ලබාදිය හැකි මුත්, නිසි ප්‍රමිතිය


දෙලොවක් අතර තනිවූ රණවිරුවෝ
2024 අගෝස්තු මස 27 111 0

උතුරු පළාතේ ස්ථාපිතව තිබූ ප්‍රධානතම මාර්ග බාධකය හා මුරපොළ පිහිටා තිබුණේ ඕමන්තේ ය. ඉන් ඔබ්බෙහි වන උතුරේ මුදා නොගත් ප්‍රදේශ වෙත යන සෑම වාහන සහ පුද්ගලයින


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site