IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වෙඩි වැදුණු කොටි සෙබළියට සෙබළෙකුගෙන් හුස්ම පොදක්

සෙබල ස්ටැන්ලි තිලකරත්න අලිමංකඩ කඳවුරේ

මේ ගෙවෙන්නේ විජයග්‍රහණ සැමරුම් දිනය පසුකොට පළමු සතියයි. පැවති එම ඓතිහාසික දිනය ඉලක්ක කොට සෑම පුවත්පතකම ද අන්තර් ජාලයේ හා සමාජ මාධ්‍ය තුළ ද රණවිරුවන්ගේ වීරත්වය, ගුණ සුවඳ, උත්තරීතර කැපකිරීම් පිළිබඳව අතොරක් නැති ලිපි නිර්මාණ හා ඡායාරූප පළ විය. වාර්ෂිකව උදාවෙන එම දිනය වෙනුවෙන් පොදුවේ ඉතා ඉහළ පිළිගැනීමක් හා ගෞරවයක් හිමි වුවද සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමෙක් විරුවන්ගේ එදවස මෙහෙවර හා යුද ජයග්‍රහණය පිළිබඳ අවතක්සේරුවෙන් අදහස් දක්වා තිබූ අවස්ථා ඉඳහිට තැනක නොතිබුණාම නොවේ. විශේෂයෙන්ම පැවැති යුද්ධය හමුවේ රණවිරුවන්ගේ උත්තරීතර කැපවීම කොතරම් ද යන්න පිළිබඳ අංශුමාත්‍රයක හෝ දැනුමක් අවබෝධයක් නොමැති ඇතැමෙක් කොටි ත්‍රස්තවාදීන් පිළිබඳ පහන් හැඟු‍මෙන් කතාකරමින් ඔවුනගේ සටන සාධාරණීකරණය කිරීමට උත්සාහ ගත් අවස්ථා ද දුටුවෙමි. එබැවින් හමුදාවේ මානුෂීය මුහුණුවර කොතරම් ද යන්න පැහැදිලි කරන්නට තවත් උදාහරණයක් සමගින් මෙම සටහන ගෙනහැර දක්වනුයේ යළිත් ඒ පිළිබඳ සමාජ කතිකාවතක් නිර්මාණය වන්නට එළඹෙන වසරේ මැයි මාසය තෙක් බලා සිටිය යුතු බැවිනි. 

මේජර් ජෙනරාල් කරුණාරත්න (එවක 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අණදෙන නිලධාරි

 

උතුරු භූමියෙහි හුදෙකලාව පිහිටි අලිමංකඩ කඳවුරට 1991 ජූලි මස මැද භාගය වන විට බරපතළ ලෙස ත්‍රස්ත තර්ජන එල්ල වන්නට විය. 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් භට පිරිස් රුඳී සිටි එම කඳවුරෙහි අණ දෙන නිලධාරී ලෙස කටයුතු කරන ලද්දේ මේජර් සනත් කරුණාරත්නය. සියලු‍ පාලන අවශ්‍යතා ගුවනින් පමණක් සිදු කෙරුණු එම කඳවුරෙහි භට පිරිස් නිරතුරු ජීවිත අවදානමක් සමග කල් ගෙව්වේ ත්‍රස්තවාදීන්ගේ ස්නයිපර් වෙඩි ප්‍රහාර මෙන්ම මෝටාර් ප්‍රහාරද අතරේය.
සාමාන්‍ය සෙබළ ස්ටැන්ලි තිලකරත්න 2 ස්වේච්ඡා ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායට අයත් වූවෙකි. 1988 වසරේ රියැදුරු වෘත්තිය සඳහා යුද හමුදාවට බැඳුණු ඔහු කලක් කිලිනොච්චි කඳවුරෙහි ද රාජකාරි කොට පසුකාලීනව අලිමංකඩ කඳවුරට අනුයුක්තව තිබුණි. එහි අණදෙන නිලධාරිගේ රාජකාරි ගමන් රථය ලෙස ස්ටැන්ලි විසින් පැදවූ 5191 දරන ලෑන්ඩ් කෲෂර් ජීප් රථය යොදා ගැනීම නිසා ඔහුට නිරතුරු අණදෙන නිලධාරී සමීපයේම රැඳෙන්නට සිදුවිය. පැවති ක්‍රියාන්විත තත්ත්වය මත දිවා රාත්‍රී කුමන මොහොතක හෝ එල්ල විය හැකි ත්‍රස්ත තර්ජන හේතුවෙන් ස්ටැන්ලි සේම අණදෙන නිලධාරීගේ ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාකරු හා ආරක්ෂකයින් ද රැඳී සිටියේ එකටමය. මේ අතර ස්ටැන්ලි විසින් පැදවූ ජීප් රථයට පැවැති ක්‍රියාන්විත අවශ්‍යතාව මත ස්වයංක්‍රීය   වර්ගයේ අවියක් සවි කරන්නට කටයුතු යෙදිණ. කඳවුරු පරිශ්‍රයේ කොහේ හෝ තැනක ඇතිවිය හැකි තීරණාත්මක සටනකදී ක්ෂණිකව උපරිම වෙඩි බලයක් සපයා දීම එහි අරමුණ විය. කෙසේ වුවද එලෙස එම අවිය සවිකිරීම හේතුවෙන් එහි ඉදිරිපස ගමන් ගැනීමේ දී අණදෙන නිලධාරි හට සැලකිය යුතු අපහසුතාවක් ද සිදුවිය. නමුත් ක්‍රියාන්විත අවශ්‍යතාව ඊට වඩා බලවත් බව ඔහු දැන සිටියේය.


අලිමංකඩ කඳවුරට අවස්ථා කිහිපයකදීම ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අතර එහි උච්චතම අවස්ථාව වූයේ ජූලි 14 වන දින රාත්‍රිය මුළුල්ලේ එල්ල වූ ප්‍රහාරයයි. එහිදී යකඩ තහඩුවලින් ආවරණය කරන ලද බුල්ඩෝසරයක් ද ඉදිරි ආරක්ෂක වළල්ල තුළින් කඳවුරට කඩා වදින්නට වූයේ ප්‍රහාර අතරතුරදීමය. ත්‍රස්තවාදීන්ගේ එවැනි සැලසුමක් පිළිබඳ භට පිරිස් කල්තියා දැනුවත්ව සිටිය ද එක්වරම එය නවතාලන්නට ඔවුනට අපහසු විය. ඒ කෙසේ වුවද ත්‍රස්තයින්ගේ එකී සියලු‍ උත්සාහයන් ව්‍යර්ථ කරලීමට එම සිංහ රෙජිමේන්තු භට පිරිස් සමත් වූයේ එසේ කඳවුරට ඇතුළු බුල්ඩෝසරය හා එහි රැඳී සිටි ත්‍රස්තයින් පිරිස ද විනාශ කර දමමිනි.
1991 ජූලි 15 වන දිනට පහන් වෙද්දී රාත්‍රිය මුළුල්ලේ පැවති ගැටුම ක්‍රමයෙන් තුනී වෙන සෙයක් පෙන්නුම් කළේය. පැය 6ක් තිස්සේ අලිමංකඩ කඳවුරට එල්ල වූ අඛණ්ඩ ත්‍රස්ත ප්‍රහාරය මැඩලූ භට පිරිස් පසු වූයේ ජයග්‍රාහී මානසිකත්වයකිනි. ඉදිරි ආරක්ෂක වළල්ල බිඳගෙන පැමිණ තිබූ සතුරු බුල්ඩෝසරය හමුදා ප්‍රහාර හමුවේ මීටර් 100ක් පමණ කඳවුර තුළ වූ තැනක ගොඩනැගිල්ලක් ආසන්නයේ සිරවී ඇති අයුරුද දැක ගත හැකි විය. එහිදී ත්‍රස්තවාදීන් සමග එම ඩෝසරය ද විනාශ කර තිබූ මුත් එම සිදුවීම අභිමුව වීරෝදාර ලෙස සෙබළෙකු ද දිවි පුදා තිබිණ. උදෑසන වන විට ද ඒ පිළිබඳ වූ උණුහුම පහව ගොස් නොතිබූ අතර ඒකක අණදෙන නිලධාරි මේජර් සනත් කරුණාරත්න ද එහි පැමිණියේ තවදුරටත් එම සිදුවීම පිළිබඳ විමර්ශනය කිරීම සඳහාය. ඒ වන විට රැයක් පුරා එහි ඇතිවූ සටන හමුවේ වැඩි අවධානයක් යොමු වූ තැන ද  එතැනය.

 

සෙබල ස්ටැන්ලි තිලකරත්න

එහිදී තැන තැන විසිරුණු මළ සිරුරු, ගිනිගෙන කැඩී බිඳී විනාශ වී ගිය පරිසරය තුළින් එහි ඇතිව තිබූ සටනෙහි බිහිසුණු ස්වභාවය මැනවින් පෙන්නුම් කළේය. විශේෂයෙන්ම එතෙක් කඳවුරු ආරක්ෂක වළල්ල ආසන්න සීමාවේ පැවති සටන් සම්පූර්ණයෙන්ම පාහේ අවසන්ව තිබූ නමුත් ත්‍රස්තවාදීන් සහ තුවාලකරුවන් හා මළ සිරුරු රැගෙන යාම සඳහා කුඩා කණ්ඩායම් ලෙස කඳවුර අවට රැඳී සිටිමින් හමුදා භට පිරිස්වල අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් විටින් විට වෙඩි ප්‍රහාර එල්ල කරන්නට විය. 
මේ සියල්ල අතරේ පෙරදින පැවති සටනේ ස්වභාවය පිළිබඳ විමසිලිමත් වෙමින් අණදෙන නිලධාරි තම ඒකක නිලධාරීන් සමග එම භූමියේ සිටම ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කරන්නට වූයේ ඒ වෙන විට තාවකාලිකව සටන නිමාවී තිබුනද ඉදිරියේ එල්ල විය හැකි අවදානම පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබු නිසාමය. මේ අතර පසෙක නවතා තිබූ අණදෙන නිලධාරිගේ ජීප් රථය අසල රැඳී සිටි රියැදුරූ ස්ටැන්ලි යාබද ආරක්‍ෂක වළල්ල සමීපයේ වූ බංකරයක් වෙත ගමන් කරන ලද්දේ විශේෂ හේතුවකින් තොරවය. එහිදී ඒ අවට විසිරී තිබු ත්‍රස්තවාදීන්ගේ මළසිරුරු පිළිබඳ විමසිලිමත් වුණු ඔහුට බංකරයට පිටතින් ඇසෙන්නට වූයේ ක්‍රියාත්මකව පැවති ගුවන්විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍රයක හඬය. සටන නිමාවී තිබූ පසුබිමක විශේෂයෙන්ම වැටී තිබූ මළසිරුරක් අසලින් එලෙස පණිවුඩ හුවමාරු යන්ත්‍රයක් ක්‍රියාත්මකව පැවතීම ඔහුගේ තිගැස්මට හේතු විය. එහිදී ඔහු ඒ පිළිබඳ තවදුරටත් විමසිලිමත් වීමේදී දුටුවේ ගෝනිවලින් සෑදු හිස්වැස්මක් පැලඳ මුනින් අතට වැටී සිටි LTTE සාමාජිකයෙකුගේ කරෙහි එය එල්ලා ඇති බවය. ඒ වෙන විට ද එහි ද්‍රවිඩ භාෂාවෙන් සංවාදයක් සිදුවෙමින් ඇති බව ස්ටැන්ලිට වැටහිණ. එහිදී වහා කලබල වූ ඔහු ඒ ආසන්න බංකරයේ රැඳී සිටි බාලසූරිය නම් 6 සිංහ රෙජිමේන්තු සෙබළාට මේ බව දැන්වූයේ යම් හෙයකින් එම වැටී සිටි LTTE සාමාජිකයා කඳවුර තුළ සිදුවන තොරතුරු එම පණිවිඩ හුවමාරු යන්ත්‍රය මගින් ලබාදෙන්නේ දැයි මතුවූ සැකයෙනි. 
නමුත් අදාළ LTTE සාමාජිකයා මුනින් අතට වැටී සිටි බැවින් ඔහුව පරීක්‍ෂා කිරීම අවදානම් විය. යම් හෙයකින් ඔහු අත්බෝම්බයක් සඟවා සිටින්නේ නම් අවසන් මොහොතේ හෝ එය පුපුරුවා හැරීමේ ඉඩක් පැවතීම ඊට හේතුවයි. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ සෙබළ අබේසිංහ දිග ලීයක ආධාරයෙන් එලෙස වැටී සිටි LTTE සාමාජිකයා අනික් පසට පෙරළන්නට ක්‍රියා කළේ තමන් සතු සියලු ආරක්‍ෂක උපක්‍රම භාවිත කරමිනි. එහිදී ඔවුන්ගේ උත්සාහය සාර්ථක වූ අතර බෝම්බ අවදානමක් ද එහි නොවීය. නමුත් ඔවුන් සිතූ පරිද්දෙන්ම එම කොටි සාමාජිකයා බරපතළ තුවාල ලැබ තිබුණද මියගොස් නොතිබිණ. 
අනතුරුව දෙදෙනා එකතුව ඔහුව තවදුරටත් බංකරය දෙසට අදින්නට වීමේදී සිදු වූයේ නොසිතු දෙයකි. එනම් තුවාල ලත් එම LTTE සාමාජිකයාගේ කමිස කොටස ඇඹරී ඉහළට ඇදී එක්වරම කළු පැහැති තනපටයක් නිරාවරණය වීමය. එය දුටු වහාම සෙබළ ස්ටැන්ලි හා අබේසිංහ පුදුමයට පත්වූයේ එලෙස තුවාල ලැබ තිබෙන්නේ කොටි සාමාජිකාවක බව දැනගැනීමෙනි. එසැණින් එම ක්‍රියාදාමය තවදුරටත් වේගවත් කළ ඔවුහු ඉක්මනින්ම ඇයට ජලය ස්වල්පයක් පොවන්නට උත්සහ ගත්හ. “ස්ටැන්ලි, අපි මේ කෙල්ල කොහොම හරි බේරගන්න ඕනෙ එකෙන් අපිට තොරතුරු දැනගන්නට ලැබෙන එකට වඩා මොනවා උනත් ජීවිතයක්නෙ”. අබේසිංහගේ බලාපොරොත්තු සහගත බව එම වදන් තුළ ගැබ්ව තිබුණි. එසැනින් ඔහු දිව ගියේ යාබදව තිබූ වෛද්‍ය මධ්‍යස්ථානය (MI Room) කරාය. අසුරු සැණින් ඔහු නැවත දිවආවේ සේලයින් බෝතලයක් ද රැගෙනය. අනතුරුව වහ වහා ඔහු දන්නා සියලු විධික්‍රම භාවිත කරමින් එම කොටි සෙබළියට ප්‍රතිකාර කරන්නට වූයේ නොඉවසිල්ලෙනි. 
මේ අතර අණදෙන නිලධාරි මේජර් සනත් කරුණාරත්න එහි පැමිණියේ ආරක්‍ෂක වළල්ලේ තත්ත්වය පරීක්‍ෂා කිරීම සඳහාය. එහිදී ඔහු දුටුවේ අනපේක්‍ෂිත දසුනකි. එනම් තම සෙබළු දෙදෙනකු තුවාල ලත් කොටි සාමාජිකාවකට ප්‍රතිකාර ලබාදෙමින් සිටින අයුරුය. එම සිදුවීම දැනගත් වහාම ඔහුගේ ද ඒකායන අභිලාෂය වූයේ කෙසේ හෝ එම කොටි සෙබළියගේ ජීවිතය රැකගැනීමය. තම නියෝගයකින් තොරව වුව ඒ වනවිටත් එම සෙබළු දෙදෙනා සිදු කරමින් තිබූ උතුම් මෙහෙවර පිළිබඳ ඔහු තුළ හටගත්තේ මහත් ප්‍රසාදයකි. 
තවත් ගත වූයේ මොහොතකි. ජීවිතයක් වෙනුවෙන් දැරූ ඔවුන්ගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් බරපතළ තත්ත්වයේ පසු වූ එම කොටි සාමාජිකාව එහිදී අවසන් හුස්ම හෙළුවේ අබේසිංහගේ සුරතේදීය. මෙහි විශේෂ කරුණ වී තිබුණේ ඇයට වෙඩි වැදී තිබුණේ ඇය එම සෙබළ අබේසිංහ සිටි බංකරය වෙත අඳුරේම බඩගාමින් තිබුණු අවස්ථාවකය. යම් හෙයකින් ඇයට වෙඩි වැදී නොතිබුණේ නම් බංකරයට ඇතුළු වූ සැණින් ඇයගේ පළමු ඉලක්කය වන්නට තිබුණේද සෙබළ අබේසිංහමය. නමුත් ඇයගේ ජීවිතය බේරා ගැනීමට අසීමිත උත්සහයක් දැරූ එම අබේසිංහගේ සුරතේම ඇය අවසන් හුස්ම හෙළීම දෛවෝපගත සිදු වීමකි. එසේම එය යුද බිම තුළ සැඟව ඇති දුලබ මිනිස්කමේ සංවේදී කතාවක් ද විය. 


මේ සියලු සිදුවීම් දෙස මහත් උනන්දුවෙන් බලා සිටි අණදෙන නිලධාරිට එම සෙබළු පිළිබඳ ඇති වූයේ අප්‍රමාණ ගෞරවයකි. රණකාමී වීරත්වය ද මිනිසත්කම පිරි හදවත් ද අලිමංකඩ කඳවුරේ ශක්තිය බව ඔහුට දැනුණේය. අවසානයේ සෙබළ අබේසිංහ සහ ස්ටැන්ලි මීළඟ නිලයට උසස් කිරීමට ද වීර පදක්කම් සඳහා නිර්දේශ කිරීමට ද අණදෙන නිලධාරි ලෙස ඔහු ක්‍රියා කිරීමට අමතක නොකළේ, යුද බිම යනු තුවක්කු බෝම්බ පමණක්ම නොවන බව පසක් කරමිනි. 
නිමි.

 



අදහස් (0)

වෙඩි වැදුණු කොටි සෙබළියට සෙබළෙකුගෙන් හුස්ම පොදක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

මිතුරු වෙස් ගත් සතුරු උවදුර මයික්‍රෝ ප්ලාස්ටික් වසංගතය
2024 සැප්තැම්බර් මස 03 27 0

අපට ඒවා පෙනෙන්නේ නැහැ. අපට ඒවා දැනෙන්නේ නැහැ. ඒත් ඒවා හැමතැනම. මේ කියන්නේ ත්‍රාසජනක, බිහිසුණු විද්‍යා ප්‍රබන්ධයක් ගැන නොවේ.


ඕවල් පිටියේ ටෙස්ට් ජයක්
2024 සැප්තැම්බර් මස 02 30 0

එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ගෞරවණීය පරාජයක් ලැබීය. ඒ අනුව මැන්චෙස්ටර් පිටියේ අතීත අභිමානය රැක ගැනීමට එංගලන්තයට හැකියාවක් ලැබු


පැරිස් දෙවෙනි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් 25 ක්
2024 සැප්තැම්බර් මස 02 19 0

පැරිස් ඔලිම්පික් උළෙල නිමාවට පත්ව දින 17 කට පසුව එහිදීම ආරම්භ වූ ගිම්හාන පැරලිම්පික් උළෙලට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රහස්පතින්දා (29) සිට ආරම


ගුවනින් බර අදින්නන්ට 67 යි
2024 සැප්තැම්බර් මස 02 69 0

එදින අගෝස්තු මස 28 බදාදා දිනයයි. කටුනායක ගුවන් හමුදා මූලික කඳවුර වෙත මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් ඒ වෙනවිටත් පැමිණ සිටියේ ගුවන් හමුදාවේ අංක දෙක ප්‍රවාහන බල


ලොව නිදි යාමේ බංකර් ඇතුළේ
2024 සැප්තැම්බර් මස 02 70 0

යුධ බිමේ බංකර් සෑදීම අමුතුම කලාවකි. එසේම එය බොහෝ දුෂ්කර කටයුත්තකි. ඒ සඳහා සටන් බිමේ සිටින ඕනෑම සෙබළෙකුට ශ්‍රම දායකත්වය ලබාදිය හැකි මුත්, නිසි ප්‍රමිතිය


දෙලොවක් අතර තනිවූ රණවිරුවෝ
2024 අගෝස්තු මස 27 111 0

උතුරු පළාතේ ස්ථාපිතව තිබූ ප්‍රධානතම මාර්ග බාධකය හා මුරපොළ පිහිටා තිබුණේ ඕමන්තේ ය. ඉන් ඔබ්බෙහි වන උතුරේ මුදා නොගත් ප්‍රදේශ වෙත යන සෑම වාහන සහ පුද්ගලයින


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site