IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


සබරගමුවේ උසම කන්දේ කඳවුරු රාත්‍රියක්

රෝන්දේ ගහන්න තැනක් කල්පනා කරද්දී, එකපාරටම ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ මතකයට ආවේ, හාවාගල කන්දය.  බෙලිහුල්ඔය පිහිටි මනරම් කඳු පන්ති අතර සබරගමුව පළාතේ සශ්‍රීක හරිත පරිසරයේ විස්මිත දසුන් සපයන හාවාගල - බෙලිහුල්ඔයට ආසන්නව පිහිටි මනරම් කඳු පංතියකි.  

 

ආදර කන්ද, නන්පේරියල් වතුයාය සහ හෝර්ටන් තැන්න, බඹරකන්ද යකාගේ පඩිපෙළ ,දෙතනගල ඇතුළු  ජනප්‍රිය බිම් සලකුණු වලින් වටවී තිබෙන සුන්දර බෙලිහුල්ඔය දිශාවට - මේ සුන්දර කඳු පන්ති ගෙන දෙන්නේ, ගින්දර වූ මනරම් සෞන්දර්යක්ය .



ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ බෙලිහුල්ඔය අසල පිහිටි දර්ශනීයම කඳුපන්තියක් වන අතර මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් මීටර් 
1300 ක් උසින්ය.

හාවාගල , ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ බෙලිහුල්ඔය අසල පිහිටි දර්ශනීයම කඳුපන්තියක් වන අතර මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් මීටර් 1300 ක් උසින් පිහිටි මෙම කන්ද මුදුනට පෙනෙන සුන්දර දර්ශන පථය -  කඳු නගින්නන් සහ සොබාදහමට ආදරය කරන්නන් සඳහා ජනප්‍රිය ගමනාන්තයකි. හාවාගල කඳුපන්ති තරණය තරමක් දුෂ්කරය. නමුත් - කඳු මුදුනේ දර්ශනය අතිශය විස්මයජනකය. මේ භූමිය සුන්දරත්වයෙන් වෙළා ගත් වෙල්යායත්, වනයත් , කඳුකරයත්, සුන්දර දියඇලිත්, නිතර නිතර හෙමිහිට ඇද හැලෙන පොද වැස්සේ සීතලත්, මහා වනාන්තරේ පතාක ගස් අතරින් හමා එන සුළඟත්, වැහි වලාකුළින් වෙලා ගත් අහසත්, ක්ෂණිකව විද්‍යමාන වෙන  මීදුමත්,   හාවාගල කඳු පන්තිය ආශ්‍රිතව මවා ඇති චිත්‍රය- විටෙක අතිශය මනරම් ය. විටෙක ගුප්තය. තවත් විටෙක අව් රශ්මිය දරාගත නොහැකි තරම් කර්කශය . ගමනේ විඩාව සංසිඳ වූ බොහෝ තැන්වල සිට මේ කාලගුණ විපර්යාසයන් දෙස වසඟ වූ දෙනෙතින් මම ඒ දෙස බලා සිටියෙමි. 

බදුල්ල කොළඹ බස් මාර්ගයේ පිහිටි බෙලිහුල්ඔය යටත් විජිත සමයේ පටන්  සංචාරකයන් අතර ප්‍රකටව පවතින සුන්දර පළාතකි. උඩරට කඳුකරයේ සබරගමු පළාතේ පිහිටා තිබෙන බෙලිහුල්ඔය ලෝකාන්තයේ බෑවුම් කොටසකි. පඹහින්නේ සබරගමු විශ්වවිද්‍යාලය ඇරඹීමත් සමග අවට ඇති විශ්වවිද්‍යාල සිසුන්ගේ  පා පහස  මේ කඳු මුදුන්වල වැඩිවෙන්නට විය.  පොදු ප්‍රවාහන සේවයෙන් එනවා නම්, කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඇවිත් බෙලිහුල්ඔය තානායම (Belihuloya Rest House) ගාවින් බැස බලංගොඩ - ලඳුයාය බසයකින් ගොස් ලඳුයාය පාසල අසලින් බැස අවට ගැමියෙකු ගෙන් හාවාගලට යන මග අසා  කියා ගත හැක.  කොහොමින් කොහොම හරි අපේ ගමන ද කොළඹින් ආරම්භ කළේ  99 බදුල්ල-කොළඹ බස් රථයකිනි. හැමදාම කෝච්චියෙන් උඩරට දුම්රිය මාර්ගයේ සොබා සෞන්දර්යයේ චමත්කාරය විඳිමින් යාමට හුරුවී සිටි අපට, කෝච්චි ගමන වෙනුවට මෙවර බස් එකේ ගිය ගමනද - වෙනස්ම අත්දැකීමක් විය. පැය හතරහමාරක පමණ ගමනාන්තයකින් පසු බෙලිහුල්ඔයට ළඟා විය. කොන්ක්‍රිට් වනාන්තරෙන් මිදී, ටිකෙන් ටික සීතල මීදුම් පරිසරයේ පහස ගෙනදෙන සතුට වචනවලින් කියා ගැනීමට නොහැකි තරම්ය.  

බෙලිහුල්ඔය රිසෝට් එක අසලින් බැස ගත්තාම පහන් තුඩාවට  ඇත්තේ 2km දුරකි.  අපි හෙමින් හෙමින්  පහන් තුඩාව ළඟා වුණෙමු. එතැන් සිට හාවාගලට කිලෝමීටර් .  පහන් තුඩුවාවෙන් නික්මුණු අපගේ ඊළඟ අදියර වූයේ,  හාවාගලට යාමට පාර සොයාගැනීමය.

හාවාගල කඳු රාජිනියට අපේ කණ්ඩායම කෝඩුකාරයෝය. පාරවල් ගණනාවකි. අතරමං වීමට ඇති ඉඩකඩ බොහෝය. ඒ නිසාම ගමේ ඇත්තන්ගේ සහාය පතන්නට සිදු වුණි. 

කෝඩුකාරයෙකු නොවුණත් - කඳු තරණය කරන ඕනෑම අවස්ථාවක, ගමේ උදවියගෙන්- ගමන ගැන, කන්ද ගැන, තොරතුරු විමසීම ඉතා හොඳ පුරුද්දක් වන්නේ ඒ ගමට පරිසය අනුව හැඩගැසීමට අපට උදව් වන නිසාය. ගමේ මාමා කෙනෙකුගේ පිහිටෙන් අපි හාවාගල කන්ද පාමුලට සේන්දු වුණෙමු.

 “උඩහට යන්න යන්න පාරවල් ගොඩයි. ඒ නිසා පරිස්සමෙන්. ඔය දරුවෝ රෑ බෝ වෙන්ට කලියෙන් උඩහට ගෑටුවනන් තමයි හොඳ. මුදුනට කිට්ටු කරලා - හූවක් තියන්ටකෝ. මං මූකලාන කිට්ටුව එළවළු කොටුවේ පැලේ ඉන්නේ...,” 

හරි පාර කියන මාලිමාව අතට අරන් යායුතු දිශාව මතක තියන් වැඩේට බැස්සේ පාර කිවූ මාමාගේ 
ආශීර්වාදයත් ඇතුවය. 

ගමන නම් කියන තරම්ම සුන්දර නැත. දැන් ඇත්තේ අති දුෂ්කරම කොටසය. කන්දේ පිහිටේ හැඩය අනුව, කන්ද තරණය ඉතාම අසීරුය. අතිදුෂ්කර මාවත් ඔස්සේ, ගල් මුල් එක්ක පොබඳිමින්, කළුවර වැටෙන්න ඔන්න - මෙන්න තියා කුඩාරම අටවා ගත හැකි තැනට ආ විට දැනුනේ- පුදුමාකාර සතුටකි. අව්රශ්මියත් සමග දහවල තිබූ විඩාබර මනසට හීනියට වැටෙන පොද වැස්ස ඒ සන්ධ්‍යාවට මිහිරක් බව අමුතුවෙන් කිවයුතු නැත. එය සැබෑවටම දෑස මානයේ ඇඳුන චිත්‍රයකි.  වනය මැදින් වැටී ඇති අඩිපාර මුදුනත දක්වාම තිබෙන අතර කිලෝ මීටර හතරක් පමණ වනය මැදින් අඩි පාරේ ගමන් කළ යුතුය. දිය උල්පත් වලින් ද වනයේ අඩුවක් නැත. පැය හතරකින් පමණ අප කඳු මුදුනට ළඟා වුනෙමු.  කූඩැල්ලන්ගේ රාජධානියක්. හාවාගල සංචාරය කිරීමේ දී කූඩැල්ලන්ගෙන් ප්‍රවේසම් විය යුතුය. තවද මෙහි සැණෙකින් වෙනස් වන කාලගුණයක් ඇති බැවින්, නිතරම මෙම ප්‍රදේශය මීදුමෙන් බරව පවතී. එබැවින් ඒ පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්ය. කන්ද තරණය කිරීමේ දී ආරම්භක පැය කිහිපයේ දී පැය 2 ඇතුළත හාවාගල පළමු View Point එකට ළඟා විය හැකිය. හාවාගල උසම ස්ථානය පිහිටා ඇත්තේ - තවත් පැය තුන හතරක දුරකිනි. එම ස්ථානයට ළඟා වීමට තරමක් දුෂ්කර වන නමුත්, කන්ද මුදුනට ගිය විට දැනෙන සැහැල්ලුව, සුන්දරත්වය, වචනයෙන් කිව නොහැකි 
තරම් ආස්වාදජනකය. 

කඳු මුදුනට සුළං පාර සැරය . සුළං පාරත් සමග කූඩාරම අටවාගන්නට හිතන තරම්ම ලේසි වූයේ නැත. ඒ රාත්‍රිය අපට එක් කළේ අමුතුම සුන්දරත්වයකි. මීදුමයි, පින්නයි ඒ රාත්‍රිය නින්දට ඉඩක් දුන්නේම නැත. මීදුමෙන් මුළු පරිසරයම වෙළාගෙන ඇත. ඉර උදාව විචිත්‍රවනු ඇතැයි සිතින් මවා සිටි අයුරින්ම ලස්සනම ඉර උදාවක් වලාකුළුවලටත් උඩින් මනස්කාන්ත දර්ශනයක් දැක ගත හැකි විය. 


අසල ඇති කඳුයායවල් මනරම්ව පෙනෙන මෙම කඳු මුදුණේ වීව් පොයින්ට් කිහිපයකි. ඒවා සියල්ලටම මනරම් භූමි දර්ශනය. හාවාගල කඳු මුදුනෙහි සිට එහි දර්ශන පථය විමසිල්ලෙන් නිරීක්ෂණය කරන විට සමනල වැව, නන්පෙරියල් වතුයාය, හෝර්ටන් තැන්න, ගලගම ඇල්ල, ආදර කන්ද ආදිය මනාව නෙතට හසු කර ගත හැක. සැබෑවින්ම හාවාගල සොබා දම සිත්තම් කළ සොඳුරු නිමැයුමක් වන අතර කඳු ශිඛර දිය දහරා නිම්නයන්ගෙන් සැදුම්ලත් රමණීය ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. 

“Rabbit Rock” යන්න සිංහලෙන් “හාවාගල” ලෙස පරිවර්තනය වී ඇති මෙම කඳු පන්තිය සමනලවැව ජලාශය සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය වැනි අනෙකුත් ආකර්ෂණ ස්ථාන සමඟ බොහෝ දෙනෙකුගේ සංචාරයට හසුවන ස්ථානයක් වුවත් මෙහි සුන්දරත්ව නම් අත්විඳිය හැක්කේ කඳු තරණය කරන්නටම පමණය. පේරාදෙණිය සිසුන් හන්තානට පෙම් බඳිනවා සේම සබරගමු විශ්වවිද්‍යාල සිසුන් වැඩිපුරම පෙම් බඳින්නේ ආදර කන්දට සහ හාවාගලටය. 


හවාගල ජනප්‍රවාදයේ කතා බොහෝ කඳුවලට වගේම හාවාගලට ද රාවණා රජුට අයත් ජනප්‍රවාදයන් පවතී. රාවණ රජ සමයේදී රජු දඩ කෙළියේ නිහැළෙන අතරතුර ‘පටුපාවකහින්න’ කන්දේ සිට විදිනු ලැබූ හීයක් මෙම කන්ද පසාරු කරමින් ගමන් කළ බවත් එනිසා කන්ද ‘හා ගල’ ලෙස හැඳින් වූ බවත් ගම්වාසීන් අතර ප්‍රචලිත මතයයි. පසුව ‘හා ගල’ යන්න ‘හාවාගල’ බවට පරිවර්තනය වූ බව ද කියවේ. 

 තවද ශක්‍ර දෙවිඳුන්ගේ කුස ගින්න වෙනුවෙන් හාවෙකු ගල මුදුනේ සිට ගින්නට පැනීමේ කතාව තවත් එකකි. එහිදී හාවා මරණයට පත් නොවු අතර හාවා ශක්‍ර දෙවිඳුන් සමඟ දෙව්ලොව වැඩි බවද ජනප්‍රවාදයේ කතා තුළ සඳහන් වේ. මෙම වනයේ හාවුන් බහුලව ජීවත්වන බවට සාක්ෂිද බොහෝය. නමුත් අවාසනාවකට අපිට එකම හාවෙකුවත් දකින්නට ලැබුණේ නැත. ගමන අතිශය දුෂ්කර වූත් අතිශය සුන්දරය. මොහොතකට හෝ ජීවිතය ඒ මිහිරියාව තනිවීම අවශ්‍යමය.

 හාවාගලට සමුදුන් අප හපුතලේ දුම්රිය ස්ථානයට ළඟා වුණ අප බදුල්ල - කොළඹ රාත්‍රී තැපැල් දුම්රියේ නැවත කොළඹ රට බලා ඒමට පිටත් විය. ඒ අතරතුරේ ඉදල්ගස්හින්න ,පට්ටිපොළ ඔහිය දකින්න විඳින්න ආස කරන තැන් බොහොමයක් පසුකලේ කෑලි කපන ඝන අඳුරේමය. ආරක්ෂිතව නැවතත් කොළඹට ළඟා වූයේ කිසිදා නොමැකෙන මතකයන් සමුදායක් පොදි බැඳගෙනය. සොබා දහමේ අපූර්වතම නිර්මාණයක් වන මෙම පාරාදීසයේ පහස විඳින්නට පැමිණෙන ඔබ, පිය සටහන් පමණක් ඉතිරි කොට මතකයන් හා සේයා රූ පමණක් ම රැගෙන නික්ම යාමට සිහි තබා ගැනීම අගනේ ය..


නදීශා අතුකෝරළ


 



අදහස් (0)

සබරගමුවේ උසම කන්දේ කඳවුරු රාත්‍රියක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

කොදෙව් බල බිදීම
2024 ඔක්තෝබර් මස 16 33 0

විස්සයි20 තරග 3 ක් සහ එක්දින තරග 3කට සහභාගී වීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි20 ත


හරි වෙලාවට තනතුරුවලින් යන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 16 37 0

ජ්‍යෙෂ්‍ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (SLADA) සේවයෙන් ඉකුත්දා සමු ගත්තේය.


කාම්බෝජ යුද අතීතය ලොවට කියන සියම් රියප් කෞතුකාගාරය
2024 ඔක්තෝබර් මස 15 24 0

ලෝක ඉතිහාසය ගැන දන්නා බොහෝ දෙනෙකුට කාම්බෝජය යැයි කියූ සැනින් මතක් වෙන්නේ ලොවම බලා සිටි කාම්බෝජයේ සිවිල් යුද්ධයයි.


අපේ රටේ නවසීලන්තය
2024 ඔක්තෝබර් මස 15 33 0

අප රටේ ඇති බොහෝ දෙනෙකු වැඩිපුර නොයන තැන් ගැන අපටත් වඩා බොහෝ විට දන්නේ විදේශීය සංචාරකයින්ය.


මරණීය අත්දැකීම් පොදියක් ලද මීමුරේ ලකේගල තරණය
2024 ඔක්තෝබර් මස 15 48 0

ලංකාව කියන්නෙම සුන්දර පරිසර පද්ධතියක් උරුම වූ රටක්. මේ සුන්දරත්වය එකිනෙකට වෙනස්.


සබරගමුවේ උසම කන්දේ කඳවුරු රාත්‍රියක්
2024 ඔක්තෝබර් මස 15 38 0

ආදර කන්ද, නන්පේරියල් වතුයාය සහ හෝර්ටන් තැන්න, බඹරකන්ද යකාගේ පඩිපෙළ ,දෙතනගල ඇතුළු ජනප්‍රිය බිම් සලකුණු වලින් වටවී තිබෙන සුන්දර බෙලිහුල්ඔය දිශාවට - මේ සු


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 632 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site