IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


සුද්දත් මවිත කළ ’’දළදා වතුර’’

1828 දළදා දැක්ම දැක්වෙන සිතුවමක්
 
ඉංග්‍රීසීහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1815 පෙබරවාරි 18 වැනිදා මැදමහනුවර බෝමුරේ උඩුපිටිය පෙදෙසේ වලව්වක සැඟවී සිටියදී අල්ලා ගත්හ. ඒ සමඟම ලංකාවේ රාජ වංශයට ද තිත වැටිණ. කන්ද උඩරට රාජ්‍යයේ බලය අත්පත් කර ගැන්මට ලැබීමත් සමඟම මුළු ලංකාවේම පාලනය කිරීමේ බලය ඉංග්‍රීසින්ට ලැබිණ.
 
ඉංග්‍රීසීහු කන්ද උඩරට සිංහල නායකයන්ට 1815 මාර්තු 2 වැනිදා සෙංකඩගල නුවර මඟු‍ල් මඬුවේදී ගිවිසුමක විස්තර ඉදිරිපත් කළහ. ගිවිසුම ඉදිරිපත් කර ටික දිනක් යන විට සිංහල නායකයන්ගේ අස්සන් ගිවිසුමට ලබාගන්නට ක්‍රියාකෙරිණ. ඇතැම් සිංහල නායකයන්ගේ අස්සන් තමන්ට රිසි අයුරින් හොරෙන් යෙදුවාද විය හැකිය. එම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉංග්‍රීසින්ට ගැටලු‍වකින් තොරව උඩරට පාලනය කරන්නට නීතිමය අවස්ථාවක් උදා විය. 
 
ගිවිසුමේ වගන්ති අතරේ ආගම සම්බන්ධ වගන්තියක්ද ඇතුළත්ව තිබිණ. එම වගන්තියේ සඳහන්ව තිබුණේ බුද්ධ ශාසනය , දෙවගම , සංඝයා, විහාරස්ථාන, දේවාල ආරක්ෂා කරන බවය. ටික කලක් යන විට උඩරට සිංහල නායකයන්ටත් සාමාන්‍ය මහ ජනයාටත් කෙමෙන් කෙමෙන් වැටහෙන්නට වූයේ කන්ද උඩරට රාජ්‍යය පාලනය කළ රජවරුන්ගේ පාලනයට වඩා වෙනස් ආකාරයේ පාලනයක් ඉංග්‍රීසින් ගෙන යන බවය. ඉංග්‍රීසින්ගේ පාලනය නොරිස්සූ සිංහල පිරිසක්ද ඒ අතරේ සිටියහ. ගිවිසුමේ සඳහන් වගන්තිවල ඇති දෑ කඩ කරමින් ඉංග්‍රීසින් පාලනය ගෙන යන බව සිංහල බෞද්ධයන්ට වැටහෙන්නට විය. සිංහල බෞද්ධයන්ට නිසි අයුරින් නොසලකා ඉංග්‍රීසින් ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කරමින් සිටින බව උඩරැටියනට තේරුම් යමින් තිබිණ. 
 
ඉංග්‍රීසි පාලනය ආරම්භ වී වසර 2 ක පමණ කාලයක් ඉක්ම යද්දී ඉංග්‍රීසින්ගේ පාලනයට විරුද්ධව උඩරැටියන් පිරිසක් නැගී සිටින්නට වූවෝය. 1817 ඔක්තෝබර් මාසය පමණ වන විට සිංහලයෝ පිරිසක් ඉංග්‍රීසින්ට විරුද්ධව කටයුතු කරන්නට පටන් ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ ඉංග්‍රීසින් හා සිංහලයන් අතර සටන් ඇති වීමය. දළදා වහන්සේ ආරක්ෂා කරමින් එහි භාරකාරත්වය ලබාගෙන සිටින්නන් තමන්ගේ පාලකයන් ලෙස පිළිගැනීම එකල උඩරැටියන්ගේ සිරිත වී තිබිණ. කන්ද උඩරට වැසියන්ගේ එම සිතුවිල්ල තේරුම් ගෙන සිටි ඉංග්‍රීසිහු දන්ත ධාතූන් වහන්සේ ඉතා හොඳින් ආරක්ෂා කරන්නට වූහ. මහා සංඝයා වහන්සේලා ද දළදා වහන්සේගේ ආරක්ෂාව පිළිබඳව නිතර විමසිල්ලෙන් පසුවූහ.
 
සිංහල බෞද්ධයෝ ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කරන අතරතුරේ සෙංකඩගල නුවර දළදා මාලිගාවේ වඩා හිඳුවා තිබූ දළදා වහන්සේ ඉතාමත් උපක්‍රමශීලීව තම භාරයට ගන්නට ක්‍රියා කළෝය. දළදා වහන්සේ සිංහල සටන්කාමීන් අතරට පත්වීම ඉංග්‍රීසින් මහත් භීතියකට පත් කරන්නක් විය. සිංහලයෝ තමන් භාරයට ගත් දළදා වහන්සේ සාමාන්‍ය රට වැසියන්ට දැක බලා ගන්නට අවස්ථාව ලබාදුන්නෝය. සිංහල නායකයන් දළදා වහන්සේ තම භාරයට ගැනීමත් සමඟම සාමාන්‍ය රට වැසියෝ සිංහල සටන්කාමීන් තමන්ගේ පාලකයෝ යැයි දැඩි සේ විශ්වාස කරන්නට වූහ. විශාල අරගලයකින් පසු සිංහලයන්ගේ නිදහස් සටන නිමාවට පත් විය.
 
සිංහලයන් සඟවාගෙන සිටි දළදා වහන්සේ තමන්ගේ භාරයට ගන්නට ඉංග්‍රීසිහු ක්‍රියා කළහ. භාරයට ගත් දළදා වහන්සේට විශේෂ ආරක්ෂාවක් යොදන්නටද අමතක නොකළහ. සටනින් ජය ලැබීමෙන් පසුව තමන්ට ඕනෑ ඕනෑ හැටියට කන්ද උඩරට පාලනය කරන්නට ඉංග්‍රීසින්ට හැකියාව ලැබිණ. සිංහල බෞද්ධයන්ට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලකි. දළදා පෙරහර පැවැත්වීම සම්පූර්ණයෙන්ම නවතා දැමූහ. සිංහල බෞද්ධ නායකයන් මෙන්ම සාමාන්‍ය වැසියන්ද දළදා පෙරහර පැවැත්වීම නවතාදැමීම නිසාත් දළදා වහන්සේ දැක බලාගන්නට අවස්ථාව ලබා නොදීම නිසාත් සිටියේ දැඩි කනස්සල්ලකිනි.
 
ඒ අතරේ තද නියඟයක් ඇති විය. මිනිසුන්ට මෙන්ම සතා සීපාවටත් ජල හිඟකම නිසා පීඩා විඳින්නට සිදුවිය. ගොවිතැන් විනාශ වී ගියේය. ආහාර හිඟ විය. ජලය හිඟවීම ඉංග්‍රීසි පාලකයන්ටද මහත් ප්‍රශ්න රැසක් ගෙන දෙන්නක් විය. 
 
දළදා පෙරහර පවත්වා සාමාන්‍ය මහජනයාට දළදා වහන්සේ දැක බලා ගන්නට අවස්ථාවක් ලබාදුණහොත් නියඟය නිමා වී වර්ෂාව ලැබෙන බව සිංහල බෞද්ධයන්ගේ අදහස විය. දළදා පෙරහර පවත්වා දළදා වහන්සේ දැක බලා ගන්නට අවස්ථාවක් ලබාදෙන ලෙසට වැසියෝ දිගින් දිගටම ඉංග්‍රීසි පාලකයන්ගෙන් ඉල්ලා සිටියහ.
 
ඉංග්‍රීසින් සිතාගෙන සිටියේ මාලිගාවේ වඩා හිඳුවා තිබෙන දන්ත ධාතුවේ විශේෂ බලයක් නැතැයි යනුවෙනි. දළදාවකට ගෞරව කරන්නට පෙලැඹී සිටින සිංහල බෞද්ධයන් මිථ්‍යා විශ්වාස කරපින්නාගත් පිරිසක් ලෙසින් සිතන්නට ඉංග්‍රීසිහු පෙලඹී සිටියහ. එහෙත් ඉතා තද නියඟයක් පවතින මේ අවස්ථාවේ සිංහල බෞද්ධයන්ගේ ඉල්ලීම් ඉවත දමන්නට හැකියාවක්ද ඉංග්‍රීසින්ට නොවීය. අකැමැත්තෙන් වුවත් සිංහල බෞද්ධයන්ගේ ඉල්ලීම්වලට කන් දෙන්නට ඉංග්‍රීසින්ට සිදුවිය.
 
දළදා පෙරහරක් පැවැත්වීමටත් මහ ජනතාවට දළදා වහන්සේ දැකබලා ගන්නට අවස්ථාවක් ලබාදීමටත් ඉංග්‍රීසි පාලකයෝ කැමැත්ත පළ කළෝය. ආණ්ඩුකාර එඩ්වර්ඩ් බාන්ස් 1828 මැයි 29 වැනිදාට යෙදී තිබූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී දළදා පෙරහැර පැවැත්වීමට කැමැත්ත පළ කළේය.
 
දළදා පූජාව වෙනුවෙන් පත්තිරිප්පුවට ඉදිරියෙන් මහ මළුවේ මණ්ඩප තුනක් ඉදිකෙරිණ. එක් මණ්ඩපයක් ඉදිකළේ දළදා වහන්සේ වඩා හිඳුවීමටත් දළදා වහන්සේට නුදුරෙන් භික්ෂූන් වහන්සේලාට රැස් වී සිටින්නටත් හැකි අයුරින්ය. තවත් මණ්ඩපයක් ඉදිවූයේ ඉංග්‍රීසි ආණ්ඩුකාර එඩ්වර්ඩ් බාන්ස්ටත් ඉංග්‍රීසි ජාතිකයන්ටත් රැස් වී සිටීම පිණිසය. ඉතිරි මණ්ඩපය ඉදිවූයේ උඩරට පහතරට රදලවරුන්ට රැස් වී සිටීම සඳහාය.
 
මහ මළුවේ කොඩි කුඹු සතරක සතර කෝරළේ, සත් කෝරළේ, මාතලේ හා දළදා මාලිගාවේ කොඩි නැංවූහ. මහ මළුවේ සුදු වැලි ඉස්සවූහ. නොයෙක් සැරසිලිවලින් මහ මළුව අලංකාර කළහ. 
 
1828 මැයි 29 වැනිදා බ්‍රහස්පතින්දා උදේ කාලයේ කිහිප දෙනකු සමඟ එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා දළදා වහන්සේ වැඩ සිටින ධාතු මන්දිරය අසලට ගියේය. ඒ අවස්ථාවේ දෙහිගම නවරත්න අතපත්තු වාසල මුදියන්සේ රාළහාමි දියවඩන නිළමේවරයා ඉතා වටිනා ලේන්සු තුනක් ආණ්ඩුකාරවරයාගේ දෙඅත්ලෙහි එළා ඒ මතට දළදා වහන්සේ වඩා හිඳුවා තිබෙන කරඬුව වැඩමවීය. ඒ මොහොතේ කාලතුවක්කු හා කොඩි තුවක්කුවල වෙඩි හඬින් පරිසරය දෙදරුම් කන්නට විය. හක් ගෙඩි හා වෙනත් තූර්ය වාදන භාණ්ඩවලින් නැඟු‍ණු හඬ පරිසරය පුරා විහිදී යන්නට වූයේය. රැස්ව සිටියෝ මහා හඬින් සාදු කාර පවත්වන්නට පටන් ගත්හ. 
 
ආණ්ඩුකාර එඩ්වර්ඩ් බාන්ස් දළදා වහන්සේ වඩා හිඳුවා තිබෙන කරඬුව වැඩමවා ගෙනැවිත් දළදා වහන්සේ පෙරහරේ වැඩමවීමට නියමිත හතළිස් පහේ නමැති ඇතා ළඟ සිටි පල්ලේ ගම්පහේ මහ නිලමේගේ දෙඅත්ල මතට වැඩමවීය. හතළිස් පහේ ඇතාගේ උඩ සිටි මාතලේ දිසා මහතා හා උඩ පළාතේ දිසා මහතා දළදා කරඬුව රන්හිළිගේ ඇතුළේ වඩා හිඳුවා ඇතාගේ උඩින් බිමට බැස්සෝය.
 
කසකාරයෝ, කොඩි රැගත් පිරිස්, සිංගාරක්කාරයෝ, නැට්ටුවෝ, බෙරකාරයෝ, තලිකාරයෝ, තම්බෝරුකාරයෝ, පුරම්ජේත්තුකාරයෝ, නාගසින්නම්කාරයෝ, සක්දුරකාරයෝ, නීලපන්දම්කාරයෝ, කවිකාර මඩුවේ පිරිස් ඇතුළු නෘත්‍ය කණ්ඩායම් පෙරහරේ ගමන් කළේ රැස්ව සිටි මහ ජනයාගේ නෙත් සිත් පිනවමින්ය.
දියවඩන නිලමේවරයා ඇතුළු විවිධ නිලතල දරන්නෝ පා ගමනින් පෙරහරේ ගමන් ගත්හ. තවත් නිලතල දරන්නෝ ඇත්තු උඩ ගමන් කළෝය. ඇඳුම් ඇන්දවූ හතළිස් පහේ ඇතා, යහලේතැන්නේ ඇතා, කෙන්ගල්ලේ ඇතා, රජවැල්ලේ ඇතා, කිරිඔරුවේ ඇතා , වල්ලියා ඇතා, බුලත්ගමයා ඇතා, ඇම්බැක්කේ ඇතා, නැලිගමයා ඇතා, ගෝඹරයා ඇතා පෙරහැරේ ගමන් ගත්තේ දනන්ගේ සිත් සතුටු කරමින්ය. 
 
පෙරහැර ගමන් ගත්තේ ස්වර්ණ කල්‍යාණ වීදිය, යටිනුවර වීදිය, රිදී වීදිය, නාගහ වීදිය, උඩුනුවර වීදිය ඔස්සේය. පෙරහර අවසන් වීමෙන් පසු දිනවල සාමාන්‍ය මහජනතාවට ද දළදා වහන්සේ දැකබලා ගන්නට අවස්ථාවක් ලැබුණේය. ඒ අතරේ ඉංග්‍රීසින් මහත් විමතියකට පත් කරමින් නියඟය නිමා කරමින් මහා වැසි ඇද හැළෙන්නට පටන් ගත්තේය. ඇළ දොළ ගංගා පිටාර ගලන්නට වූයේය. දළදා වහන්සේගේ මහත් වූ බලය ඉංග්‍රීසින්ට හොඳ හැටි තේරුම් යන්නට වූයේය. එදා මහා වැස්සෙන් ගලා ගිය වතුරට වැසියෝ ‘දළදා වතුර ‘ යනුවෙන් පවසන්නට වූවෝය.
 
එදා මහ වැස්සේ ගලා ගිය වතුරට ‘දළදා වතුර ‘යනුවෙන් පවසන්නට වැසියන් පෙලැඹී ඇත්තේ නිතැතින්මය. දළදා දැක්මක් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම ‘දළදා වතුර’ පිළිබඳ කතා කරන්නට වැසියන් පෙලඹෙන්නේද නිතැතින්මය.
 
(තොරතුරු ලබාගැනීමට සහාය දුන් මහනුවර දළදා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ පුස්තකාලයාධිපති අජන්ත සමරකෝන් මහතාට කෘතඥ වෙමි).
හුන්නස්ගිරියේ 
පාලිත මඩුගල්ලේ



අදහස් (0)

සුද්දත් මවිත කළ ’’දළදා වතුර’’

ඔබේ අදහස් එවන්න

 

 
 

තක්සලාව

දළදා මාලිගාවේ කාර්යමණ්ඩලය
2025 අප්‍රේල් මස 24 106 0

දළදා මාලිගාවේ පාලනය පවතින්නේ ‘දියවඩන නිලමේ’ නමැති ගිහි භාරකාරයකු යටතේය. බ්‍රිතාන්‍යයන් මෙරට ඈඳා ගන්නට පෙර සිංහල රජවරු දළදා තේවාවට ගියහ. එකල රජ්ජුරුව


සුද්දත් මවිත කළ ’’දළදා වතුර’’
2025 අප්‍රේල් මස 20 96 0

ඉංග්‍රීසීහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1815 පෙබරවාරි 18 වැනිදා මැදමහනුවර බෝමුරේ උඩුපිටිය පෙදෙසේ වලව්වක සැඟවී සිටියදී අල්ලා ගත්හ. ඒ සමඟම ලංකාවේ රාජ වංශ


දළදා මැදුරේ වතගොත
2025 අප්‍රේල් මස 20 73 0

වත්මන් සෙංකඩගල මාළිගා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ දී 1815 වසරේ දී උඩරට ගිවිසුම අත්සන් කොට අධිරාජ්‍යවාදීන් විසින් උඩරට රාජධානිය අත්පත් කරගන්නා විට තිබූ බ


දළදා දැක්මට පෙර
2025 අප්‍රේල් මස 20 45 0

සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේ ගේ මහජන දැක්ම දැන් පැවැත්වේ. වසර 16ක් තරම් වූ දීර්ඝ කාලයකට පසු උදාවුණ එම අසිරිමත් මොහොතේ


විශ්වයෙන් ආ පණිවුඩය
2025 අප්‍රේල් මස 20 47 0

හවායි දූපත්වල පිහිටි ජෙමිනි දුරේක්ෂය ආධාරයෙන්, විශ්වය ගවේෂණය කරන තාරකා විද්‍යාඥයන්ට පසුගිය දා සංඥාවක් ලැබුණි. මෙය ගුවන් විදුලි සංඥාවකි. එම සංඥා සම්බන


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 20 84 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රි.ව. 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1041 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 444 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site