“මෙවන් පිටිසරේ - මේ දුගී පැලේ”
“මිහිකත නළවාලා - මඟ මල් ගන්වාලා”
”කෝකිලයන්ගේ - කෝකිල රාවේ”
“සුවඳ රෝස මල් නෙළා - මාලයක් ගොතාලා”
මෙවන් සොඳුරු රසාලිප්ත ගේය පද සමුදායක් 50/60 දශකයේ දී සිංහල මියැසියට හඳුන්වාදුන් කවියකු, ගත්කතුවරයකු හා හෙළ භාෂා විද්වතකු වූ හියුබත් දිසානායක සූරීන්ගේ යුග මෙහෙවර පැරණි රසවතුන්ට සදානුස්මරණීයය.
1916 ඔක්තෝබර් මස 14 දා ජාඇල වැලිගම්පිටියේ දී උපත ලදුව, වෑවල රෝමානු කතෝලික පාසලෙන් සහ කඳානේ ශා. සෙබස්තියන් විදුහලෙන් සිප්සතර හදාරා රාජ්‍ය සේවයට පිළිපන් දිසානායක තරුණයා හෙළ හවුලේ නියමුවර මුනිදාස කුමාරතුංගයන්ගේ ගුරු ඇසුරට ලොල් විය.
ජයන්ත වීරසේකර, අලෙව් ඉසි සැබිහෙළ, සුනිල් ශාන්ත, රැපියෙල් තෙන්නකෝන්, වෙල්ලාල ජයමහ, වෙ.වි. අබේගුණවඩු, අරීසෙන් අහුබුදු, ක. සූරසේන මෙන්ම දොස්තර නන්දදාස කෝදාගොඩ ඔහුගේ සමකාලිකයෝ වූහ.
දිසානායකයන් හෙළ බස නමැති සයුරෙහි නව අතු ඉති ගංගා පීරා යමින් ගැමි සංස්කෘතිය නමැති කෙම්බිමට පිවිස, එහි රස උරා බිව් කෙනෙකි. ඔහු සතු රස ජනන ශක්තිය සරල, සුගම, භාෂා විලාසයකින් සවන්පත් තුළට පිවිස නෙත් සිත් සනහාලීමට තරම් තීව්‍ර විය.
ගුණසේන ප්‍රකාශනයක් වූ මරු පහර (1945), නරි හිනාව (1947) යන ළමා කතා ඔස්සේ සාහිත්‍ය ලොවට පිවිසි ඔහු “කරුණාවට කරුණාවයි”, “කොණ්ඩ කිරිල්ලි”, “කපුටු හාමි” හා “ගලිවරය” යන කෘතිවලින් ළමා හදවත්හි ලැඟුම් ගත්තේය. ළමා ලෝකයට ඔහු තුළ වූ ආදරය අසීමිත විය.
එකිනෙකට වෙනස් අපූරු තේමා රැගත් ස්වතන්ත්‍ර, පරිවර්තන හා අනුවර්තන කෘති රැසකින් ද හියුබත් දිසානායකයන්ගේ සාහිත්‍ය කෝෂ්ඨාගාරය සපිරී ඇත. ඒ අතරින් “හිරෝශිමාවේ මල්”, “ඌව දනව්ව”, “සිංහල අත්පොත්”, “රවින්ද්‍රනාත් තාගෝර්” සහ “සුදු වත හැඳි කත” ආදී කෘතීන් කැපී පෙනෙයි. සරසවි ප්‍රකාශනයක් වූ “සමාජ පිළියම” සහ ගොඩගේ ප්‍රකාශනයක් වූ “නයිට්වරුන්ගේ වීර කතා”, “නල දමයන්ති”, “හැම්ලට්” යන කෘති අදටත් ජනප්‍රියතාවෙන් අනූනය.
තම ළමා කාලය සිහිගන්වමින් ඔහු ලියූ “ගිය මා ළමා කල” කෘතිය තුළ ලේඛකයාගේ ගැමි පසුබිම කැඩපතක සේ මනාව පිළිබිඹු වෙයි.
හෙළ බසේ වියරණ විධි හා ගත් වහරත් කට වහරත් සුසංයෝගීව යොදා ගැනීම පිළිබඳවත් අපූරු උදාහරණ ඔහුගේ නිර්මාණවලින් උකහා ගත හැකිය. කාව්‍යමය චින්තාවලිය මෙන්ම සංකේතාත්මක ගේය පද හරඹය පිළිබඳවත් ඔහු දක්වන කුසලතාව අනුපමේයය.
කොවුලා, සුළඟ, සිතිජය, සඳ, මල් සුවඳ, හිරු කිරණ වැනි සොබා සොඳුරු දායාදයන් පිළිබඳ හැඟුම් කලතා, පෙරා, නව ආරකින් ප්‍රණීත කර ඔහු සරල ගී, සිනමාව හා රෙදෙව්ව හරහා අප වෙත ජනනය කරයි.
“කෝකිලයන්ගේ කෝකිල රාවේ
හීන හඬින් හීන වගේ එයි නැගී”
ගත් වහර හා කට වහර සම්ශ්‍රව එහි දෙවැනි පෙළ එහි රසය තවත් තීව්‍ර කරයි.
“සමන් මලක් නෙළා මගේ බිසෝගේ
හිසේ ගසමි, අන්න මගේ විනෝදේ
එන්නැ අනේ, එන්නැ මගේ කුමාරි
සාදු කියා හාදු දෙකක් දෙන් සිරි
මගේ කිරිල්ලී, නදින් සුමීරි, ගයා අමා ගී”
ආනන්දයෙන් ප්‍රඥාව කරා රසිකයා ඔසවාලන නිර්මාණ සමුච්චයක් ඔහුගේ රචනා අතර වෙයි. ඒ සඳහා ඔහු යොදා ගත්තේ පරිසරයට ආදරය කරන භාවමය වාග් ශෛලියකි. “මෙවන් පිටිසරේ” ගීතයෙහි එන මෙම පදවල රැඳී ඇති “සෞන්දර්යවාදී ප්‍රේමය” පිළිබඳ වදන් බලන්න.
“සුවඳ තෙල් දමා
සමන් කැකුළු වළලු ලා
බෙදා වරල බැන්ද කලට
හඃ හහා හහා!”
ගැමි ලිය සොඳුරු වන්නේ පාරිසරික සොඳුරු බවද එක්වූ කලය. පරිසරය සුසැර වන්නේ පිවිතුරු ගැමි ලියන් නිසාය.
“ඕලු නෙළුම් නෙක මල් පිබිදෙන්නේ
අහෝ විලේ සිරියා
ජයම මලක් ඉන් නෙළාගනී ඈ...
හා... හා... කුමට ද ඒ?
සුරතලියේ ඔබෙ හදවත පතුලේ
පෙම්-මල-කා-සතු දෝ?”
හුදු පදමාලාවටම වහල් නොවී ඒ අතරින් ප්‍රහර්ෂණමය හැඟීම් උද්දීපනය කරන ශබ්ද හා නාද රටා යෙදීම හියුබත් නම් ගේය පද රචකයාගේ ලක්ෂණයයි.
අපූරු ගීත 85 කින් සමන්විත වූ සුනිල් ශාන්තයන් හා හියුබතුන් අතර තදනන්තර ඇසුර සම කළ හැක්කේ කාලිදාස කවියා හා කුමාරදාස කවියා අතර පැවති සමරිසි හැඟීම්වලට යැයි සිතෙන තරමටම ඔවුන්ගේ නිර්මාණ චින්තනය සොඳුරුය.
ඔවුහු එකම මලකට පෙම් කළ සොයුරන් තරමට ඒකමිතිකව සොඳුරු බවින් ලොව දෙස බලති.
“මිහිකත නළවාලා මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු ලිය – සැරදේ
ගෙල වට මුතු මාලේ
දෝතේ වළලු සැලේ
පිරියා සපුරා - සිරියා පතුරා
යන සුරතල් ලීලා”
හුරුබුහුටි ගැමි ගුරු ලියකගේ දේහ විලාසය, ඇඳුම, ගමන් ලීලාව, සොඳුරු ගති පැවතුම්වලින් කවියා කොතරම් වශීකෘත වූ වාදයත් මග දෙපස මල් පිපෙන්නේත්, ගඟ ගලන්නේත්, මිහිකත නැලවෙන්නේත් ඇයට උපහාරයක් ලෙස යැයි සිතයි.
හියුබත් දිසානායකයෝ දවස පුවත්පත් විශේෂාංග කර්තෘවරයාව පුවත්පත් කලාවට කළ සේවය ඉමහත්ය. හෙළ සාහිත්‍ය කලාවට සේවය කරන අතරේ ඔහුගේ ඇඳුම වූයේ බටහිර ඇඳුමයි.
“මම හදවතින් සිංහලයෙක් වුණත් හැම සංස්කෘතියම අගය කරමි.” නිර්ව්‍යාජ, සුහදශීලී සිනා පොදකින් නිරතුරු සැරසුණු මෙම සාහිත්‍යවේදියා පැවසීය.
ළමා මනසත්, යොවුන් ලොවත්, වියතුන් සභාවත්, නව නිර්මාණවාදයත් එක ලෙස දිනාගත් හියුබත් දිසානායකයන්ගේ යුග මෙහෙය කාලයේ වැලි තලාවට වැසී යා නොදී රැකගනිමින් තවත් පරිශීලනය කළ යුතු වෙයි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.
දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
තම සැමියා දෙගිඩියාවෙන් යුතුව වුවද රාජකාරියට වාර්තා කිරීමට සූදානම් වෙද්දී - දීපා තවදුරටත් ඔහුගේ ගමන වළකාලීමට උත්සාහ නොකළාය.
මානව පරිණාම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකකි. එම සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට චීන විද්‍යාඥයන්ට දැන් හැකි වී තිබේ.
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
හෙළ මියැසිය සොඳුරු කළ හියුබත් දිසානායක