යුද්ධය කොතරම් බිහිසුණු වුවද, ඒ කිසිවකින් සෙබළුන්ගේ හදවත් තුළ පැවති ආගමික භක්තිය අඩු නොවීය. ඇතැම් අයවලුන් තමන් රාජකාරි කරන ප්‍රදේශයන්හි කෝවිලක් හෝ වෙනත් ආගමික ස්ථානයක් නොතිබුණද, හුදෙකලා වූ නුග ගසක් හෝ කොහොඹ ගසක් මුල කළු ගලක් තබා - එය මත හුනු කැබැල්ලකින් හෝ වෙනත් පාෂාණයක් ආධාරයෙන් දේව රූපයක් ඇඳ, එයට වන්දනාමාන කිරීමටද පුරුදු වී සිටියහ. |
(පසුගිය සතියේ ඉතිරි කොටස) අවි ගැටුණු යුද බිමේ නොකී කතා - 6 කොටස |
යුදබිමේ බංකරයක රාජකාරි කිරීමේ දී වාසි - අවාසි දෙකම සැලසේ. හොඳ ශක්තිමත් නිවැරදි තාක්ෂණයට තැනූ බංකරයක, සතුරු වෙඩි හා මෝටාර් ප්‍රහාරවලට ඔරොත්තු දීමේ හැකියාව ඇත. එසේම අව්, වැසි, පිනි වැනි ස්වභාවික තත්ත්වයන්ට ද ඔරොත්තු දේ. යුද භටයෙකුට එහි සිට හොඳින් ආරක්ෂාව ඇතිව, සතුරු ප්‍රහාරයන්ට මුහුණදීමේ හැකියාව ඇතුවා සේම, තීරණාත්මක අවස්ථාවක දී පවා සටනක සෙසු කටයුතු සම්බන්ධීකරණය කිරීමේ හැකියාව ද පවතී. එසේම, බංකර රාජකාරියක අවාසි ද ඇත. බොහෝ විට එය පිටතට හඳුනාගත හැකිවනවා සේම, සතුරු ප්‍රහාරයන්ට ලක්වීමේ ඉක්මන් අවදානමක් ද සහිතය. එසේම අවධානය හා සූදානම නිසි පරිදි නොමැති අවස්ථාවල, සතුරාට බංකරය අසලටම පැමිණ පහරදීමේ හැකියාව ද පවතී.
නිරන්තරව බංකර් පරීක්ෂාව නොහොත් මුර පරීක්ෂාව සිදුකෙරෙනුයේ, ඉහත අවාසි මගහරවා ගැනීම පිණිසය. මුර පරීක්ෂාව සම්බන්ධ රසවත් කතාවක් ද එකල යුධ බිමෙහි පැවතිණ. බොහෝවිට එලෙස බංකර් පරීක්ෂාව සඳහා පැමිණෙනුයේ, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ය. ඔවුන් එසේ මැදියම් රැයේදී රහසේම පැමිණෙද්දී, කිසියම් සෙබළකු නිදිකිරාවැටෙමින් පසුවනු දුටුවහොත්, ඒ මොහොතේදීම ඔහුට දඬුවමක් ලබාදීමට පසුබට නොවෙති. විශේෂයෙන්ම බංකරයේ එක් සෙබළකුගේ නිදා වැටීම - කඳවුර තුළ සිටින සෙසු සියලු දෙනාගේ ජීවිත අවදානමකට ලක්වීමට තුඩුදිය හැකි බැවින්, එවන් අවස්ථාවලදී නිදිකිරා වැටෙන සෙබළාට රිදෙන තරමට මෙන්ම, මතක හිටින ආකාරයේ දඬුවමක් හිමිවේ. එය හිසට වැර යොදා එල්ලකරන ටොක්කක්, කම්මුල හරහා සාමාන්‍ය තරමින් එල්ලකරන පහරක්, ඩිෆ් ගැසීමක්, වතුර නැහැවීමක්, පිනුම් ගැස්සවීමක් වැනි යමක් විය හැකිය. මුහුද, කළපුවක හෝ ඇළ පාරක් අසල නම් - අවි රහිතව ඊට බස්සවා තෙත බේරෙද්දීම යළි රාජකාරියේ යෙදවීමක් විය හැක. මුර සෙබළකුගේ රාජකාරියේ ඇති බරපතළකම, වගකීම, එම සෙබළාට මුල් අවදියේදීම අවබෝධ කරවීම - එසේ දඬුවම් දීමට හේතුවයි. විශේෂයෙන්ම ඔහුගේ ජීවිතය ද, අන් අයගේ ජීවිත ද, අවියේ ආරක්‍ෂාව ද, පවතින්නේ - කුමන තත්ත්වයක් යටතේ වුවද, අවදියෙන් හා අවධානයෙන් සිටීමෙන්ම පමණි. යුදමය කාලසීමාවේ එවැනි රාජකාරියක දී නිදාවැටී දඬුවමක් නොවිඳි අයකු සොයාගත නොහැකිය.
රාත්‍රී බංකර් රාජකාරිවලදී, කිසිවෙකුගේ අවධානයට ලක් නොවී යහමින් නිදාගත් සෙබළුන්ට - තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවූ විරල අවස්ථා ද තිබිණ. ඝන අඳුරේ කැළෑබද හුදෙකලා ප්‍රදේශවල ස්ථාපිත කඳවුරුවල එවැනි තත්ත්වයන් එකල වාර්තා විය. අඳුර අතරේ භූමියේ ආවරණ ආධාරයෙන් බංකරය ආසන්නයට පැමිණෙන ත්‍රස්තවාදීහු මුර රාජකාරියේ යෙදී සිටින සෙබළා පිළිබඳ පැය ගණන් විපරමේ යෙදෙති. එවන් අවස්ථාවක ඔහු නිදා වැටී ඇත්නම්, ඒ වෙත බඩගා ගොස් රහසේම ඔහුගේ ගෙල සිඳ අවිය ද පැහැරගෙන ගිය අවස්ථා ද, එවක යුද බිමෙන් වාර්තා විය. පුනරින් කඳවුරෙහි (1993) ආරක්‍ෂක වළල්ල අතරින් ගලාගිය ඇළපාරක් අසල තනාතිබූ බංකරයක් එකල නම්කර තිබුණේ, “බෙලි බංකරය” ලෙසය. ඊට හේතුව වූයේ, එම බංකරයට රහසේම ඇතුළු වූ ත්‍රස්තවාදීන් මුර රාජකාරියේදී නිදාසිටි සෙබළුන්ගේ ගෙළ කපාගෙන ගොස් තිබූ අවස්ථා වාර්තා වීමය. බංකර් රාජකාරිවලදී නිදි වැරීම හෝ ඒ හා බැඳුණු අවදානම පිළිබඳ සෙබළුන් අතින් එවක යුදබිමේ අපූරු බංකර් කුරුටු ගීයක් ලියැවී තිබුණේ ද ඒ නිසාමය. එනම් “අඩ නින්ද කන පළයි - තද නින්ද බෙලි කපයි” යනුවෙනි.
යුද බිමේ බංකරය යනු - යුද භටයාගේ නිවහනයි. ඇතැම් තැන්වල එය දිවා රාත්‍රී මුර රාජකාරි සඳහා පමණක් භාවිත කළ ද, ඇතැම් කඳවුරුවල හමුදා සාමාජිකයින්ගේ සමස්ත ජීවිතයම ගෙවුණේ එහිය. විශේෂයෙන්ම ත්‍රස්තවාදී තර්ජන බහුලව පැවති හුදෙකලා කඳවුරුවලට නිරන්තරව ඔවුන්ගෙන් එල්ල වූ මෝටර් හා කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන්, කඳවුරේ ගත කරන සෑම මොහොතකදීම හිස් ආවරණයක් සහිත තැනකටම වී හිඳීම - අනිවාර්ය වී තිබුණේ, ඕනෑම මොහොතක ත්‍රස්තවාදීන්ගේ මෝටර් හා කාලතුවක්කු ප්‍රහාර එල්ල වීමේ ඉඩක් පැවති හෙයින්ය. එබැවින් එවැනි කඳවුරුවල ඔබ මොබ ගමන් කිරීමේ දී “හෙල්මට්” හා “ආරක්ෂිත කබා” (Body Armour) පැලඳීම ද අනිවාර්ය විය. එසේම කෑම - බීම ගැනීම, නිදාගැනීම, ඇතුළු සියලු දෛනික කටයුතු සිදුකරගත යුතු වූයේ ද බංකරය තුළදීමය. ඒ වෙනුවෙන් කඳවුරුවල භට පිරිස් වෙත දැඩි නීති පනවා තිබූ අතර, එය කොතරම් දුෂ්කර හා අපහසු වුව ද, ජීවිත රැකගැනීම වෙනුවෙන් අන් විකල්පයක් ද එහිදී නොවීය. මේ අතර - එම නියෝග නොපිළිපැද, හෙල්මට් හෝ ආරක්ෂිත කබා නොපැලඳ, කඳවුරු තුළ ගමන් කිරීමේදී මෙන්ම- අනවශ්‍ය පරිදි බංකර් වලින් පිටත රැඳී සිටි අවස්ථාවලදී, ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ මෝටර් හා කාලතුවක්කු ප්‍රහාරවලට ලක්ව ඉතා අවාසනාවන්ත ලෙස මියගිය සෙබළු ද සිටියහ.
සතුරු භූමියේ රැඳී සිටීම යනු, අවි ආයුධ බෝම්බ සමග කරන ගනුදෙනුවකි. ක්ෂණයකින් ජීවිතයක් විනාශ වී යා හැකි එම පරිසරයේ ජීවත්වීමේ හිමිකම රැඳුනේ, උපරිම පරිස්සම හා වාසනාව මතමය. එනිසාම සටනෙහි කොතරම් නිර්භීත සෙබළු වුව, තම ජීවිතය පිළිබඳ කටයුතු කරන ලද්දේ උපරිම තැකීමකිනි. විශේෂයෙන්ම තමන් ගෙන් යැපෙන, තමන් වෙනුවෙන් තැවෙන, තමන් එනතුරු මඟ බලා සිටින, හිතෛෂීවන්තයින් රැසක් සිටින බව - නිරන්තරව ඔවුනගේ සිත් තුළ පැළපදියම්ව තිබිණ. එනිසාම රාජකාරිය දේවකාරිය ලෙස සලකා කටයුතු කරන අතරතුරදීත් - තම ජීවිතය පරිස්සම් කරගන්නට ද, ඔවුහු වග බලා ගත්හ. ඒ නිසාමදෝ ලෙයට ලෙය ඉල්ලන භූමියක රැඳෙමින් වුව, එකිනෙකා නිරන්තරව තම ආගම - දහම වෙනුවෙන් කැපවෙන්නට ද, අතපසු නොකළහ. සටන් භූමියේ බොහෝ සෙබළුන්ගේ මුදල් පසුම්බිය තුළ හෝ නිල ඇඳුමේ සාක්කුවක තමන් අදහන ආගමට අනුව, කුමන හෝ යමක් තබාගෙන තිබුණි. ආගමික ශාස්තෘවරයකුගේ පින්තූරයක්, ආගමික ලාංඡනයක්, නොඑසේ නම් ඊට සම්බන්ධ වෙනත් සංකේතයක් වැනි කුමක් හෝ ඒ අතර විය. භට නිවාසයේ නිදාගන්නා තැන ද, බංකරයේ ඉහළ කොනක ද, නැතහොත් භූමියේ වූ ගසක් පාමුල හෝ - එලෙස තම ආගමික සැමරුම් සිදුකිරීම සඳහා තැනක් වෙන්කොට ගෙන තිබිණ. බිහිසුණු ක්‍රියාන්විතයන්ට එක්වීමේ දී පවා ඇරඹුමේදීම තම ආගමානුකූල වත්පිළිවෙත් සිදුකිරීමට ද කවුරු කවුරුත් වගබලා ගත්තේ රහසේමය.
ද්‍රවිඩ ජනතාව වාසයකළ උතුරු නැගෙනහිර ක්‍රියාන්විත පෙදෙස්වල වැඩිපුරම තිබුණේ කෝවිල්ය. යුද භටයන් බහුතරයක් බෞද්ධ හා කතෝලික වුවද, ඔවුනට වැඳුම් - පිඳුම් කිරීමට තබා, ඇහැට දකින්නටවත් පන්සලක් - පල්ලියක් බොහෝ පෙදෙස්වල තිබුණේ නැත. නමුත්, ද්‍රවිඩ ජනතාව විශාල වශයෙන් වැඳුම් - පිදුම් කළ කෝවිල් නම් එහි අඩුනොවීය. ඒවා ප්‍රදේශයේ වූ හන්දි අසබඩ, විශාල නුග ගස් සෙවනක, සුලබව දැකගත හැකිවිය. යුද සෙබළුද, බොහෝ භක්තියෙන් යුතුව - ඒවායේ වැඳුම් - පිදුම් කිරීමට එක් වූහ. ක්‍රියාන්විත රාජකාරියක් අරඹන මොහොතේද, නොඑසේනම් - එම පරිසරයේ ගතකරන සෑම දිනකම උදේ හවස හෝ ඉඩ ලද සෑම අවස්ථාවකදීම, කඳවුරු ආසන්නයේ වූ එවැනි කෝවිල්වලට යාම ඔවුන්ගේ පුරුද්දක් කොටගෙන තිබිණ. එසේම, රාජකාරියේ විශේෂ අවස්ථාවලදී, එවැනි කෝවිල්වල පූජාවට්ටි ආදිය පුදා භාරහාර වීමටද ඔවුහු පෙලඹුණහ.
යුද්ධය කොතරම් බිහිසුණු වුවද, ඒ කිසිවකින් සෙබළුන්ගේ හදවත් තුළ පැවති ආගමික භක්තිය අඩු නොවීය. ඇතැම් අයවලුන් තමන් රාජකාරි කරන ප්‍රදේශයන්හි කෝවිලක් හෝ වෙනත් ආගමික ස්ථානයක් නොතිබුනද, හුදෙකලා වූ නුග ගසක් හෝ කොහොඹ ගසක් මුල කළු ගලක් තබා - එය මත හුනු කැබැල්ලකින් හෝ වෙනත් පාෂාණයක් ආධාරයෙන් දේව රූපයක් ඇඳ, එයට වන්දනාමාන කිරීමටද පුරුදු වී සිටියහ. එසේ අඳින ලද දේව රූප අතර සුලබව දක්නට ලැබුණේ, ගණදෙවි රූපයයි. එකල සෙබළුන් අතරේ ගණදෙවි පිළිරුව “පුල්‍යාර අත්තප්පා” යන නමින්ද ව්‍යවහාර කළ අවස්ථා තිබිණ. සටනේ දී තමන් අතින් ජීවිතයක් නැසුණ ද, එය තම රට හෝ බහුතරයකගේ ජීවිත ජීවත් කරවීම උදෙසා රණවිරුවෙක් ලෙස තමා වෙත පැවරුණ අනුලංඝනීය වගකීමක් ඉෂ්ට කිරීමක් ලෙස විනා, අන් පටු පරමාර්ථයකින් නොවන බව ඔවුහු දැන සිටියහ.
එකල යුද බිමේ සිටි රණවිරුවන් අතර කලක් පැවිදිව සිට පසුව යුද හමුදාවට එක් වූ අයද වූහ. රට පිළිබඳ වූ අනුපමේය හැඟීමෙන්ම හමුදාව තෝරා ගෙන තිබූ එවැනි අය තුළ තම රාජකාරියේ දී පවා දක්නට ලැබුණේ දැඩි හික්මුණු බවකි. එකල යුද භූමියේ පැවැති බොහෝ කඳවුරුවල පොහෝ දිනට කඳවුරේ ඉතිරි වන සීමිත පිරිස එක්ව හැකි ආකාරයෙන් බෝධි පූජා පවා පැවැත්වූහ. එවන් අවස්ථාවල එම බෝධිපූජා මෙහෙයවන ලද්දේ, පෙර පැවිදිව සිට යුද හමුදාවට බැඳුණු සෙබළුන් විසින්ය. මෙහි ඇති විශේෂත්වයක් නම් එම සෙබළුන් කියන ගාථා, ඒවා දේශනා කරන විලාසය, බුදු දහම පිළිබඳ ඔවුන් තුළ වූ දැනුම හා අවබෝධය අදට ද පැවිදි වී සිටින ඇතැම් භික්ෂූන් වහන්සේලාට වඩා ඉදිරියෙන් තිබීමය. එහිදී, තවත් විශේෂත්වයක් නම් බෝධි පූජා මෙහෙයවන සෙබළාගේ ද, ඊට සහභාගී වන පිරිසේ ද, පුද්ගලික අවි ආයුධ පිංකම පැවැත්වෙද්දී - ඒ ආසන්නයේම හෝ අතපොවන මානයේ තැනක තබාගෙන සිටීමය. එලෙස බෝධිපූජා පැවැත්වෙන අතරේ පවා කඳවුරුවලට ත්‍රස්ත ප්‍රහාර එල්ලවූ අවස්ථාද, බෝධිපූජාව අතරමග නවත්වා අවිආයුධ රැගෙන එම ප්‍රහාරවලට මුහුණදීමට සිදුවූ අවස්ථාද කොතෙකුත් තිබිණ. යුද්ධයේ හැටි එහෙමය.
(තව කොටසක් ලබන සතියේ)
දුර්වල මිනිසුන් වාසනාව සොයා යද්දි බොහෝ දිරියවන්ත මිනිසුන් සොයා යන්නේ අවස්ථා පමණි, කියන වදන ඔබ අසා ඇති. ජීවිතය යන සිදුවීම් සමුදාය තුළ අවස්ථාවන් සොයා යම
කෙනෙකුට ජීවිතයේ නිශ්චිත ඉලක්කයක් සහ ඒ වෙනුවෙන් කැපවෙන්න හොඳ ආත්ම විශ්වාසයක් තිබේනම්, කුමන බාධක ආවත්, තමන්ගේ දිනුම ඇත්තේ තමන්ගේම අතේ බව සහතික කළ ජයග්‍ර
සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම ගැහැනියක් සිටිනවා සේම, සෑම සාර්ථක බිරිඳක් පිටුපසම ඇයව විශ්වාස කරන සැමියෙක් සිටීම කොතරම් අගනේ ද යන්න ලොවට පැවසීමට පසුගි
අපව සලිත කරමින්, අප සිටිනා මානයෙන් ඉහළට ඔසවා - මඳ වේලාවකට අපව පොළොවත්, අන්තරීක්ෂයත් අතරෙහි අතරමංකර දැමීමට සමත් නිර්මාණයන් විරලය.
ශ්රී ලංකාවට ලබා දෙන අරමුදල් හා ගෙවීම් අත්හිටුවීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් සභාව දෙසැම්බර් 10 වැනිදා තීරණය කළේය.
සුදු ජාතිකයන් විසින් 18 වැනි සියවස තුළ ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වාදීමේ සිට මේ දක්වා ගතව ඇති කාල සීමාව තුළ ඒ සඳහා විවිධ ආකාරයේ ආකෘතීන් බිහිවිය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
’’ අඩ නින්ද කන පළයි තද නින්ද බෙලි කපයි ’’