මේජර් ලලිත් බුද්ධදාසගේ භෂ්මාවශේෂ සුසානභූමිය කරා රැගෙන ආ අවස්ථාව
අලිමංකඩට එළැඹි යක්ෂයාගේ හෝරාව අවසන් කොටස |
දින සති මාස ගත වුවද නිවසේ තනි වූ කුමාරිට සිය දියණියගේ මුහුණ දකින වාරයක් පාසා තම සැමියා පිළිබඳ වූ මතක මතුවන්නට වූයේ නිරායාසයෙනි. මේ අතර කාලසීමාව තුළ මේජර් බුද්ධදාසගේ දෙමව්පියෝ තම ලේළියගේ අස්වැසිල්ල වෙනුවෙන් උපරිම බරක් තබන්නට අමතක නොකළහ. දරුවෙකු ද සමග වැන්දඹුවක් ලෙස ජීවිතයට මුහුණ දෙන ඇයගේ මානසික තත්ත්වය තේරුම් ගැනීමට තරම් එම දෙපළට අපහසු නොවූයේ විශ්‍රාමික ගුරු යුවලක් ලෙස ඔවුන් තුළ වූ ජීවිතාවබෝධය හා පරිණත බව නිසාමය. එසේම, තරුණ වයසේදීම තම සැමියා අහිමි වෙන රණවිරු බිරිඳකට ස්වාමියාගේ පාර්ශ්වයෙන් සුලබව එල්ල වෙන පොදු බලපෑම් හා පීඩන කිසිවකට ලක්වන්නට තරම් කුමාරි අවාසනාවන්ත නොවූවාය. තම පුතුගේ දයාබර බිරිඳ ලෙසම ඇයට නිරන්තරව රැකවරණය හා සෙනෙහස පුදන්නට එම දෙමව්පියන් සේම සැමියාගේ පවුලේ සෙසු ඥාතීහු ද වගබලාගත්හ. විශේෂයෙන්ම තම ලේළිය සිය දියණියද කැටිව ඇගේ මහගෙදරට යාවිදෝ යන දෙගිඩියාවෙන් පෙළුණු ඔවුහු ඇයව එම නිවසේම රඳවා ගන්නට සෑම පියවරක්ම ගත්තේ එය තමන්ගේ අනිවාර්ය වගකීමක්ද ලෙස සිතමිනි.
මෙලෙස කාලය ගතවෙද්දී අලිමංකඩ කඳවුරෙහි භටපිරිස්වලට තවදුරටත් කඳවුරට සීමා වෙන්නට සිදුවිය. විශේෂයෙන්ම ජූලි 10 හා 14 දින ඇති වූ සටන්වල උණුසුම මැකී යත්ම යළි ජූලි 28 දින ඔවුනට සිදුවූයේ ඊටත් වඩා දරුණු ප්‍රහාරයකට මුහුණදීමටය. කපිතාන් ජයන්ත ෆර්නැන්ඩු අණදුන් “සී” කණ්ඩායම දෙසින් එල්ල වූ එම ප්‍රහාරය එතෙක් එම කඳවුරට එල්ල වූ බරපතළම ප්‍රහාරය විය. කෙසේ නමුත් එහිදීද සිදුවූ මරණ හා තුවාල අතරේ වුව නිර්භීතව සටන් වැදි භට පිරිස් කඳවුර රැකගැනීමට සමත් වූහ. මෙලෙස දිගු කාලයක් තිස්සේ අඛණ්ඩව පැවති සටන් හමුවේ අලිමංකඩ කඳවුරෙහි අණදෙන නිලධාරිගේ සිට අවසන් සෙබළා දක්වා පසුවූයේ ඉමහත් පීඩනයකිනි. දිගින් දිගටම තම නිවෙස්වලින් හා හිතෛෂීවන්තයින්ගෙන් දුරස්ව ක්‍රියාන්විත භූමියෙහි ගෙවන ඒකාකාරි දිවිය හේතුවෙන් වැඩි දෙනෙකුගේ පෞද්ගලික ජීවිත තුළ විවිධ හැලහැප්පීම් මතුව තිබිණ. අණදෙන නිලධාරී මේජර් සනත් කරුණාරත්නට ද ඒ වෙනවිට ඍජුව බලපෑ නොඉවසිලිමත් හේතුවක් පැනනැගී තිබිණ. එනම්, ඔහුගේ බිරිඳ දෙවන දරු ප්‍රසූතිය සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත්ව සිටීමය. එවන් සුවිශේෂී අවස්ථාවක ඇය සමීපයේ රැඳෙන්නට ඇත්නම් ඈට ඉමහත් අස්වැසිල්ලක් බව දනිතත් අණදෙන නිලධාරී ලෙස ඔහුට වුව ඒ සඳහා කිසිදු ඉඩක් නොවූයේ ක්‍රියාන්විත රාජකාරියේ ස්වභාවය පෙන්නුම් කරමිනි. එසේම, පවතින වාතාවරණය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් පසුවූ ඔහු ප්‍රමුඛත්වය ලබාදුන්නේ තම පෞද්ගලික අවශ්‍යතාවට වඩා කඳවුරේ හා සෙබළුන්ගේ ආරක්ෂාව පිළිබඳවය.
අණදෙන නිලධාරි මේජර් සනත් කරුණාරත්න (වම), මේජර් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමග 1991 ජූලි 4 දින අලිමංකඩ කඳවුරේදී
|
මේ සියල්ල අතරේ තවත් සුවිශේෂී යමක් සිදුවෙමින් තිබිණ. එනම්, අලිමංකඩ කඳවුර හා සම්බන්ධ වීමේ අරමුණින් යුද හමුදාව, නාවික හමුදාවේ සහයද ඇතිව “බලවේගය” නමින් දැවැන්ත ක්‍රියාන්විතයක් ඇරඹීමය. මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ නායකත්වයෙන් 1991 ජූලි 15 වන දින ක්‍රියාත්මක වූ එම මෙහෙයුම මගින් මුහුදු මාර්ගය ඔස්සේ යාබද වෙත්තිලකර්නි වෙරළට ගොඩබට භට පිරිස් ප්‍රදේශයේ සතුරු බලය බිඳ හෙළමින් අලිමංකඩ දෙසට ඇදෙන්නට වූහ. ඒ වෙනවිට අලිමංකඩ කඳවුරේ සිටි සැමද අදාළ ක්‍රියාන්විතය පිළිබඳව දැනුම්වත්ව සිටි බැවින් ඔවුන් එහි පසුවූයේ වෙනදාට වඩා ඉහළ චිත්ත ධෛර්යකින් යුතුවය. තම සහෝදර සගයින් එහි ළඟාවූ වහාම පවතින අවදානම මගහැරී එහි කටයුතු සාමාන්‍ය වෙනු ඇති බවට සෑම අයෙකු තුළම වූයේ බලාපොරොත්තු සහගත බවකි.
තම බිරිඳ ජූලි 30 වන දින කළුබෝවිල රෝහලේදී පුතෙකු බිහි කළ පුවත අණදෙන නිලධාරී මේජර් සනත් කරුණාරත්නට දැනගන්නට ලැබෙනුයේ මේ අතරය. ඒ වෙනවිට කොළඹ රැඳී සිටි 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු උපකරණ පාලක නිලධාරී වූ ලුතිනන් සේනානායක අණදෙන නිලධාරිගේ උපදෙස් මත එම රෝහලට ගොස් අදාළ කටයුතු පිළිබඳ සොයා බලා ඒ බව ගුවන් විදුලි පණිවිඩයක් මගින් අලිමංකඩ කඳවුරට දැනුම් දී තිබිණ. එම සුබ පණිවිඩය ලද සැණින් මේජර් සනත් ඉමහත් ප්‍රීතියට පත් වූ අතර, තම පවුලට එකතු වූ කුලුඳුල් පුතු දකින තෙක් ඔහුට ඉස්පාසුවක් නොවීය. නමුත්, පැවති ක්‍රියාන්විත වටපිටාව හමුවේ ඔහුට සිදුවූයේ තම හැඟීම් සිරකොට තබාගැනීමටය. කෙසේ හෝ එතැන් සිට දින හතරක පමණ ඇවෑමෙන් එනම් 1991 අගෝස්තු 04 වන දින “බලවේගය” මෙහෙයුමේ නිරන භට පිරිස් සතුරු ප්‍රතිරෝධතා මැඬලමින් අලිමංකඩ කඳවුරෙහි භට පිරිස් හා එක් වූ ඓතිහාසික මොහොත උදාවිය. තවත් විශේෂත්වයක් වූයේ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා බ්‍රිගේඩියර් විජය විමලරත්න ඇතුළු එම මෙහෙයුමේ නිරත භට පිරිස් සමග එවකට යුද හමුදාපතිව සිටි ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහද එහි පැමිණීමය.
මෙලෙස අලිමංකඩ කඳවුරේ තත්ත්වය සමනය වී ගුවන් ගමන් ඇරඹීමෙන් පසුව අණදෙන නිලධාරි වෙත ඒ මොහොතේම නිවසට යාම සඳහා පැය 72 ක කෙටි නිවාඩුවක් ලැබුණි. තම දරුවා දැකගැනීම සඳහා ඔහු නොතිත් ආසාවෙන් පසු වුවද කඳවුරේ එතෙක් පැවති සටන්වලින් තුවාල ලැබූවන් හා වෙනත් අත්‍යවශ්‍ය හේතු මත පිටත්කර හැරීමට නියමිත භටපිරිස් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් ඔහු සිය අවශ්‍යතාව මඳකට පමා කළේ අණදෙන නිලධාරිවරයෙකු ලෙස තම වගකීම හා කැපවීම පිළිබිඹු කරමිනි. අනතුරුව දින තුනක කෙටි නිවාඩුවක් ලැබ ඔහු නිවසට ගියද බිරිඳ හා දරුවා සමග පැය 48ක් ගතකොට පැවති ක්‍රියාන්විත අවශ්‍යතාව මත යළි අලිමංකඩ කඳවුර වෙතට පැමිණීමට ක්‍රියා කළේය. එතැන් පටන් සිදුවූ තවත් සිදුවීම් සමුදායකින් අනතුරුව කෙටි කලක් ගතවෙද්දීම අලිමංකඩ කඳවුරෙහි රාජකාරි වෙනත් බළඇණියකට භාරදී 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බළඇණිය අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධස්ථානයේ ස්ථාපිත විය.
කුමාරි බුද්ධදාස සිය එකම දියණිය
|
මේ අතර කාලය එසේ ගෙවී යද්දී මේජර් බුද්ධදාසගේ අභාවයෙන් තෙමසක් සපිරෙන්නට විය. ඒ නිමිත්තෙන් නිවසේ තුන්මාසයේ දානමය කටයුතු සූදානම් කරන්නට බිරිඳ කුමාරි උත්සුක වූවාය. ඒ අනුව 1991 ඔක්තෝබර් 11 වන දින රාත්‍රී නිවසේ තම සැමියා වෙනුවෙන් පිරිත් දේශනයක් පවත්වා 12 වන දිනට එළඹුණු සෙනසුරාදාවේ සංඝයා වහන්සේලා විෂයෙහි සාංඝික දානයක් පිරිනැමීමටද කටයුතු යෙදුවාය. එලෙස දෙමාපියන් ඇතුළු ඥාතීන්ගේ එකමුතුවෙන් එම කටයුතු සිදුවෙද්දී මේජර් බුද්ධදාසගේ භෂ්මාවශේෂ එදින දහවල් එම නිවසට රැගෙන ඒමට නියමිතව තිබිණ. ඊට පෙර ඒ පිළිබඳව කුමාරි බුද්ධදාසව දැනුම්වත් කොට තිබූ අතර, ඒ අනුව එදින දහවල් දානමය කටයුතු හමාර වූ සැණින් ජයරත්න මල්ශාලාවට අයත් වාහනයක අදාළ භෂ්මාවශේෂ නිවසට රැගෙන එන ලදී. එය වූ කලී තෙමසකට පසුව තම ස්වාමියා පිළිබඳ වූ පැහැදිලි සාක්ෂියක් දිස්වූ එකම අවස්ථාව ලෙස බිරිඳ කුමාරිගේ හදවතට වඩාත්ම සංවේදීව දැනුණු මොහොතක් විය. එසේම, ඒ වෙනවිට අදාළ භෂ්මාවශේෂ යුද හමුදා චාරිත්‍රානුකූලව කුරුණෑගල පොදු සුසාන භූමියේ තැන්පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබූ අතර, ඒ සඳහා යුද හමුදා භට පිරිස් හා නිල රථ කිහිපයක්ද එහි පැමිණ තිබිණ. අනතුරුව ජාතික කොඩියකින් ආවරණය කරන ලද මේජර් බුද්ධදාසගේ භෂ්මාවශේෂ ඒ සඳහා නියමිත කාලතුවක්කු හමුදා රථයක තබා හමුදා පෙළපාළියකින් නිවසේ සිට කනත්ත දක්වා රැගෙන ගිය අතර, එම අවස්ථාවට බිරිඳ කුමාරි මෙන්ම මේජර් බුද්ධදාසගේ දෙමාපියන්, පවුලේ ඥාතීන් හා අසල්වැසියන් ඇතුළු සැලකිය යුතු පිරිසක් ද එක්ව සිටියහ.
කුරුණෑගල පොදු සුසානභූමි පරිශ්‍රය තුළ ඒ වෙනවිටත් ආචාර වෙඩිමුර පැවැත්වීම ඇතුළු කටයුතු සඳහා හමුදා භට කණ්ඩායමක්ද රැස්ව සිටි අතර, සටනෙහි දිවි පිදූ රණවිරුවෙකුගේ මෘත දේහය මිහිදන් කෙරෙන ආකාරයෙන්ම කිසිදු අඩුපාඩුවක් නොමැතිව උපරිම හමුදා ගෞරව සහිතව එදින සවස් වරුවේ මේජර් බුද්ධදාසගේ භෂ්මාවශේෂ එම සොහොනේ තැන්පත් කෙරිණ. එලෙස තම දෙවැනි අණදෙන නිලධාරියාට බුහුමන් පිදෙන අවසන් අවස්ථාවට 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අණදෙන නිලධාරි මේජර් සනත් කරුණාරත්න ද එක්ව සිටි අතර මේජර් ලලිත් බුද්ධදාසට හිමි පදක්කම් සමූහය බිරිඳ කුමාරි බුද්ධදාස වෙත පිරිනමන ලද්දේද ඔහු අතිනි. අනතුරුව එදවස අලිමංකඩ සටන් භූමියේ තමන් හා උරෙනුර ගැටුණු වෘත්තීය සගයා වෙනුවෙන් අවසන් වතාවට තම සුරතින් ආචාරය පුදන්නට හෙතෙම අමතක නොකළේ කඳුළක් වැටෙන්නට පෙර හදවතේ උපන් අසීමිත වේදනාව බලහත්කාරයෙන් යටපත් කරගනිමිනි. එදින හිරු බැසයන්නට ආසන්න සැඳෑවක අහසට එල්ල වූ ආචාර වෙඩිමුරද පවනට මුසු වූ බියුගල් නළා හඬද අතරේ රට වෙනුවෙන් දිවිපිදූ තවත් විරුවෙකුගේ භෂ්මාවශේෂ මිහිදන් වූයේ එහි සිටිවුන්ගේ කඳුළුබිඳු වැටී එම සොහොන් බිම තෙත්ව යද්දීය.
කුරුණෑගල පොදු සුසාන භූමියේ මේජර් ලලිත් බුද්ධදාස රණවිරුවාගේ භෂ්මාවශේෂ තැන්පත්ව ඇති ස්ථානය අද දිස්වන අයුරු
|
මේජර් ලලිත් බුද්ධදාස
|
කාලය ගෙවී ගොස් ඇත්තේ ඇසුරු සැණෙකිනි. වර්තමානය වෙනවිට ඉහත සිදුවීමට වසර 33 ක් ගෙවී අවසන්ය. අලිමංකඩ සිදුවීමට ඉතිහාස රණබිම තුළ තවත් එක් සිදුවීමක් ලෙස වියැකෙද්දී ඊට මුහුණදුන් සෙබළ පිරිසද විශ්‍රාමයට ළඟාවෙමින් සිටිති. උතුරට යන සෑම අයෙකුම පසුකරන සුන්දරම භූමිභාගය අලිමංකඩය. හිරු බැසයාම ද හිරු නැඟඒමද එකම තැනක සිට නැරඹිය හැකි අති දුර්ලභ තැනක් වූ එය සොබාදමේ අපූරු තෝතැන්නකි. දහස් ගණන් ජනයා අදද එහි මඳක් නැවතී හිරු නැග එන මොහොතද හිරු බැසයන මොහොතද චමත්කාර ජනකව අත්විඳිද්දී එදවස අලිමංකඩ සටන් බිමෙහි දිවිපිදූ මේජර් බුද්ධදාස වැන්නන් පිළිබඳ වූ මතකය, ඔවුන්ගේ සමීපතමයින්ගේ හදවත් තුළද හිරු නැග එන මොහොතේ ද හිරු බැසයන මොහොතේ ද යළි යළිත් අවදි වෙන බැව් කිසිවෙකු නොදනිති.
නිමි
අභ්‍යවකාශ වික්‍රම ගැන කතා කරද්දී අපට නිතැතින්ම මතක් වෙන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. නාසා ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අපූරු වික්‍රමයකට සම්බන්ධ ව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසන් කරන්නේද ඊළඟ වසර ආරම්භ කරන්නේද නවසීලන්තයේ දීය. මේ වනවිට නවසීලන්තයේ සිටින ඔවුන් ඔබ මේ සටහන කියවන දිනයේ දී පළමු
මෙම ජනවාරි මස පළමුවැනි බදාදා දින උදාවන නව වසරේ මුල් සිව් මස තුළ හෙවත් අප්‍රේල් මස 15 තෙක්, ඉදිරි කාලය තුළ ග්‍රහගමනේ හැසිරීම් රටාව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැ
ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2025 නව වසර ලංකාවේ සමජ ආර්ථක දේශපාලනයටත්, රටේ ජීවත් වෙන රට වැසියන්ටත් අලුත් ආරම්භයක් සිදුවෙන්නේ අප
2006 අප්‍රේල් 27 වන විට නෙලීකා රෝහල්ගතව දින 10 කට ආසන්න වී තිබිණ. එම කාලසීමාව තුළ මේජර් සමීර රාජකාරී අතර වූවද, දිනකට දෙවරක් ඈ බලන්නට නොවරදවාම පැමිණියේය .
‘ජීවිත සුරැකීම සහ මිතුදම් පවත්වාගැනීම’ යන තේමාව යටතේ මානුෂීය මෙහෙයුම්වල නියැළෙන ‘ඩයිෂාන් ඩාඕ’ චීන රෝහල් නෞකාව, චීන ඉන්ජිනේරු විස්මයක් යැයි කීවොත් එහ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
’’ යුද බිමේ ආදාහනය කළ විරුවාගේ භෂ්මාවශේෂ නිවසට ’’