IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


2023 දී පාඨක රැල්ලක් හදපු පොතක්

චරිතා ප්‍රවර්ධි (වමේ) සහ චතුරි දමයන්ති (දකුණේ)

‘විෂාදය ඇතුළු මානසික රෝගවලින් නිහඬව තැවී පීඩා විඳින සියලු නිහඬ සටන්කරුවන්ට ඒ සුන්දර මිනිසුන්ට මේ පොතේ පිදුම වෙන් කර තබමු”...

ඒ හිත ලස්සනම මල් දෙකක් පොතක තබපු පිදුමක්....

මගේ ඇස් ගියේ ඊළඟ පිටුවට.... පිටුවෙන් පිටුව පිටු ගානක්...මම ඒ   Forget me not මල් ඇතුළේ මගේ කතාවේ අතීතයට ගියා...

ආදරණිය ඕල්යා ජීවිතේ අත් නොහැර ජීවත්වෙන්න  හිත හදාගත්ත විදිහත්, යුං මී සං ජීවිතේ අත්හරින්න තරම් ම සාධාරණ හේතු ගොන්නක් තියෙද්දිත් අත් නොහැර හුස්ම ගත්ත විදිහත්, අත්හරින්න ආසන්න වුණ ජීවිතයට ආයේ ආයෙත් හුස්ම ගන්න පපුවට තට්ටු කරපු  Forget me not කියන්නෙම හිත නිවන්න පුළුවන් මල්කිනිත්තක්... ඒ මට දැනුණ  විදිහ.  

සාහිත්‍ය විඳින මිනිස්සු එකට එක්වුණාම ඒක හරි අපූරු සාදයක්. 

ජීවත්වෙන්න හුස්ම ගන්න අහස පොළොව කඩන් වැටුණත් හැම දෙයක් දිහාම සර්ව සුබවාදී විදිහට දකින්න පුරුදු කරපු ඕල්යා, යුමී සං මේ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වාර්තාගත ඉල්ලුමක් හා අලෙවියක් පෙන්වූ කෘතියේ කතාව. මල් කිනිත්තක් පුරාවෘත්තය නැත්නම් Forget me not... මෙවර පොත් ප්‍රදර්ශනය ඇරඹෙන්නට පෙර,

ඒ  මල්කිනිත්තේ ජීවමාන හඬ ස්වරය Forget me not කෘතියේ කතුවරියන් දෙදෙනා වන චරිතා ප්‍රවර්ධි බණ්ඩාර – චතුරි දමයන්ති  සමඟයි මේ කතාබහ.  

බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැලඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. ඒත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැලඳගන්නා ආදරණීයයාට රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, "ආදරය කියන්නේ කැපකිරීමක්" වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැනියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැනියක්.”

Forget me not කෘතියේ යුං මී සංගේ චරිතය අකුරු කළ ඇය  32 හැවිරිදි චතුරි දමයන්තිය.  කුඩා කල සිටම ලේඛන කලාව තුළ තම  හැකියාවන් ඉස්මතු කරලූ ඇය කතාන්දර, කවි ලිවීමට සූරියකි.

"මගේ පවුලේ කවුරුත් ලේඛන කලාවට සම්බන්ධ නැහැ. මගේ පවුලේ ඉන්නේ අම්මායි තාත්තයි මල්ලියි. අම්මයි තාත්තයි කරන්නේ ගොවිතැන. පුංචි කාලේ ඉඳලා පොත්වලට වඩා මම හරියට පත්තර කියවනවා. පත්තර කියවන්න පුරුදු වුණේ ගෙදරින්. අම්මා මල්ලිටයි මටයි පුංචිකාලේ ඉඳලා ළමා පත්තර ඔක්කොම වගේ අරන් දුන්නා. මමයි මල්ලියි උසස් පෙළ ලියලා අවසන් කරලා ඉවර වෙනතෙක්ම ගෙදරට විජය පත්තරේ ගත්තා. පත්තර කියවලාම තමයි මට ලියන්න ආසාව ඇති වුණේ. මම ලියන ඒවා බලලා පාසලේ යාළුවෝ මාව තව දිරිමත් කළා. යාළුවෝ මම ලියන ඒවා ආසාවෙන් කියවන්න ගත්තාම මට තව තව ලියන්න උත්තේජනයක් ආවා. ඉස්කෝලේ යන කාලේ පොඩි පොඩි කතන්දර ලිව්වා. ලියලා යාළුවන්ට කියවන්න දුන්නාම එයාලා කිව්වා ලස්සනයි කියලා. 

ඊට පස්සේ 2006  දි පාසලේ 9 පන්තියේ ඉන්න කොට  ළමා අත් පිටපත් තරගයකින්  ‘පාළු ගෙදර බෝනික්කා’ කියලා ළමා නව කතාවක් මුද්‍රණය කළා.  ඊට පස්සේ 2017 දි  ‘බහිරව ගලේ නිධානය’ යොවුන් නව කතාවක් කළා.  ඒ විදිහට  හැම අවුරුද්දකම අගෝස්තු පාසල් නිවාඩුවට මම එක පොතක් වෙන්න ලිව්වා. පාසල් කාලේ පොත් කියෙව්වේ නැති වුණාට විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මම ගොඩාක් පොත් කියවන්න පටන් ගත්තා”. 

රත්නපුර, ගිලීමලේ සමනල මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන චතුරි විද්‍යා  අංශයෙන් උසස් පෙළ හදාරන්නට යොමුවන්නේ රත්නපුර ෆර්ගසන් විද්‍යාලයටය.   එතනින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වන ඇය මේ වනවිට වෛද්‍ය උපාධිය අවසන් කොට සීමාවාසික පුහුණුවට සූදානම් වෙමින් සිටී.  

පසුගිය වසරේ වෙනස්ම තැනකින් කරළියට ආව Forget me not කෘතිය   හරියට ඊර්සියා හිතෙන ජනප්‍රියත්වයක් කිව්වොත් හරි. කොටසක් බනිනවා, කොටසක් හොඳ කියනවා, කොටසක් ආදරය කරනවා. මේ හැම දෙයක්  එක්කම ගලාගෙන යන  Forget me not ලියවෙන්නේ හරි අපූරු තැනකදි. චරිතා - චතුරි මේ හාදකම ඇති වෙන්නේ කොතනින්ද? 

පිළිතුර ලැබුණේ චරිතා ගෙනි...

“අපි දෙන්නා හඳුනගත්තෙත් මුහුණු පොතෙන්. චතුරි අක්කා මුහුණු පොතේ දම් ඇහැල කියලා කතාවක් ලිව්වා. ඒ කතාවට මම පිස්සු වැටිලා හිටියේ ඒක ආදර කතාවක්. කතාවට ඇති වුණ ආසාව නිසාම  මම චතුරි අක්කාට මුහුණු පොතෙන් මැසේජ් කළා. 

ඊට පස්සේ මමත් උසස්පෙළ  ලියලා ඉවරවෙලා මුහුණු පොතේ කතා ලියන්න ගත්තා. චතුරි අක්කාත් මගේ කතා කියවන්න ගත්තා. ඒ විදිහට තමයි අපි දැනහඳුනගෙන මිතුරු වුණේ. අපි දෙන්නා වැඩිපුරම කතා කළේ වට්ස්අප්වලින්. එක දවසක් ක්ෂණික අදහසක් ඇවිත් මම චතුරි අක්කාට කිව්වා අපි පොතක් ලියමු කියලා. පොත ලියන්න කලින් සජීවිව මුණගැහිලා කතා කළේ දෙපාරයි. “

ඒ හාදකම ඇතුළේ  Forget me not මල් අතරේ දැකපු ජීවිතේ ගැන කතා කරන්න හොඳම කෙනත්  චරිතා කියලා මට සිතුණා..

“තලවකැලේ මගේ යාළුවෙක් ඉන්නවා එමී කියලා. එයා දවසක් Forget me not  මල්වල පින්තූරයක්  දාලා තියෙනවා දැකලා මට ඒ මල් වලට පුදුම ආසාවක් ඇති වුණා. එදා මම හිතා ගත්තා කවදාහරි 

Forget me not  කියලා පොතක් ලියනවා කියලා. චතුරිගෙයි මගෙයි හාද කමට ටික දවසක් ගියාට පස්සේ  Forget me not හීනය හිතේ දලුලෑවේ ලොකු ආසාවකින්. පොත ලියන්න කලින්ම අපි දාගත්තේ පොතට නම. මුදලට වඩා ඇත්තටම අපි දෙන්නාටම ඕන වුණේ ආසාවෙන් ආදරෙන් මිනිස්සුන්ට දැනෙන්න පොතක් ලියන්න. ඊට පස්සේ එමීට කියලා  Forget me not මලේ ඇට ටිකක් ගෙන්නගෙන චතුරි අක්කාගේ උපන්දිනේකට මම  ලියුමක් එක්ක ඒ මල් ඇට ටිකක් යැව්වා. මං මගේ මේ අදහස කිව්වාම එයාත් කැමති වුණා.  මාර්තු මුල තමයි අපි පොත ලියන්න පටන් ගත්තේ.  Forget me not ඇට ටිකකුත් පැළවෙන්න දාලා තමයි දෙන්නාම පොත ලියන්න පටන් ගත්තේ.  මේ කතාව යන්නේ ලියුම් හුවමාරුවක් විදිහට. මුලින්ම අපි චරිත දෙක බෙදාගත්තා. චරිතා ගත්තා ඕල්යා චරිතේ , මම ලිව්වා යුං මී සංගේ චරිතේ. යාළුවෙක් වගේ ළඟ තියාගෙන ඉන්න පොත් අඩුයි.  Forget me not කියන්නේ යාළුවෙක් වගේ ළඟ තියාගන්න පුළුවන් පොතක්.  Forget me not කියන්නේ ජීවිතේ හැම හැඟීමක්මක එකතුවක් කිව්වොත් හරි. 

"මම කියන කෙනාට සහ මම කරපු  කරන දේවල්වලට  මහා වටිනාකමන් නොදෙන කෙනෙක්.  “චරිතා හරි අපූරු කතාවක් කියනවා..

“ඊ ළඟ ප්‍රශ්නය පොත ගහන්න සල්ලි චතුරි අක්කාටත් මටත්  මේ මල් පැළය හදාවඩා ගන්න හිතන තරම්ම ලේසි වූයේ නැහැ. පිහිට වූයේ අම්මාගේ බැංකු පොතේ දුක් මහන්සියෙන් ඉතිරි කරගත් මුදල් ටික. පොත විකුණා නැවත මුදල පියවන පොරොන්දුව මතයි සල්ලි ඉල්ල ගත්තේ. පොතේ කවරේ ගැන, දාන පින්තූර ගැන ගොඩාක් කල්පනා කළා. අපි හරියට ජනප්‍රවාද කතා කියෙව්වා. 

ලස්සන රුසියානු නම් හෙව්වා. මල් වර්ග ගැන හෙව්වා කියෙව්වා. නිදිමැරුවා, මහන්සි වුණා. අන්තිමට පොත අතට ආවේ දරුවෙක් වගේ.  Forget me not චතුරි අක්කාගෙයි මගෙයි ජිවිතේ එක එක පරිච්ඡේදවල අපට මුණගැහුණ මිනිස්සුන්ගේ මතක, අපේ හීන, අපේ හැඟීම් ඔක්කොම මේ පිටු අස්සේ දාලා පොත ඉවර කළා.  

මහන්සියේ සතුට උපරිමයට ආපු මොහොතක්... "පොත විකුණන්න බැරි වුණොත් කඩල හරි ඔතමු...'”

Forget me not මලේ රසම තැන ආවෙ දැන්... මේ චතුරි  

“Forget me not ලියද්දි මේක විකුණගන්න පුළුවන් වෙයිද කියන බය අපි දෙන්නාට තදින්ම තිබුණා. අපි දෙන්නා මුලින්ම හිතුවේ පොත් 500 ක් විතරක් ප්‍රින්ට් කරන්න. දෙසීයක් ගියත් මොකද ඉතුරු ටික කඩල ඔතමු කියලා තමයි වැඩේ පටන් ගත්තේ. ලියලා ඉවර වුණාම මෙලෝ රහක් නෑ කියලා පොත ගහන්න ඕන නෑ අක්කේ කියලාත් චරිතා කිව්වා.  පොත් 500 ක් ගහනවනම් වියදම වැඩියි.  පොත් 1000 කට ගියොත් වියදම අඩුයි කියපු නිසා 1000 ක් ගැහුවා.  පළවෙනි  Forget me not පොත් ඕඩර් 100 ෆොගෙට් මී මල් ඇට පැකට් එක ගානෙත් අපි  බෙදුවා.

හරිම වෙහෙසකර කාලයක් අපි දෙන්නාම ගෙව්වා. කොයි තරම් වෙහෙස වුණත්  Forget me not නිසා අපි දාස් ගණන් ජීවිත කතා ඇහුව්වා. පොත් ගන්න අයට පොතත් එක්ක පුංචි තෑගි යැව්වා.  පොත් අස්සට සිප්පි කටු දැම්මා. පොත් ගත්ත පාඨකයෝ එයාලට තියෙන ලස්සනම වටිනා දේවල් පින්තූර අපිට එව්වා. අවසානයේ  Forget me not පොතක් නොවී සුන්දර එකතුවක් වුණා. පොත විකුණගන්න කියලා අපි කිසිම මාර්කටින් එකක් කළේ නැහැ. මාර්කටින් එක ලැබුණේ පොත කියවපු පාඨකයන්ගෙන්මයි. ඇත්තම කියනවනම් Forget me not පොතට රැල්ලක් හැදුණා. ඊට පස්සේ  සැපයුමක් දීගන්න බැරි තරමට ඉල්ලුම වැඩි වුණා. මුලින්ම අපි පොත මුද්‍රණය කළේ 2023 ජුනි තමයි පළවෙනි මුද්‍රණයේ පොත් 1000 නිකුත් කළේ. ඒක සතියකින් ඉවර වුණා. මේ වෙද්දි යන්නේ 12 වෙනි මුද්‍රණය.  දැනට පොත් හැටදාහකට වඩා විකිණිලා තියෙනවා. 

Forget me not කෘතියේ ඕල්යා ගේ චරිතයට පණ දෙන ඇය  27 හැවිරිදි වියේ පසුවන චරිතා ප්‍රවර්ධනී බණ්ඩාරයි. ඇය මේ වන විට  පේරාදෙණිය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන යොවුන් පරපුරේ ජනප්‍රිය ලේඛිකාවකි.

“රාජාංගණයේ යාය එක කියලා අනුරාධපුරේ පාසලක තමයි ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ. මම පවුලේ එකම දරුවා. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා විදුහල්පතිවරයෙක්. එයාලා දෙන්නා දුෂ්කර සේවය කළා. ඒ නිසා මම ඉපදුන දවසේ ඉඳලා අවුරුදු 10 ක්ම අපි හිටියේ රාජාංගණයේ ගුරු නිවාසවල. කුරුණෑගල මලියදේව බාලිකාව, ගම්පහ රත්නාවලිය පාසල් දෙකෙනුත්  ඉගෙන ගත්තා. මම  විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්වෙලා පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. 

පුංචි දෙයක් කියන්න ඕන...

Forget me not කියවපු අපි දෙන්නාට හැම වෙලාවෙම හයියක් වුණ සහ වැරදි කියපු වැරදි පෙන්නලු දීපු හැමෝටම ස්තූතියි. අපි දෙන්නාට දැනට ලියුම් සියයට වඩා ඇවිත් තියෙනවා.  අපි මේ තරම් දුරක් ආවේ ඒ පාඨක පිරිස නිසා. තාක්ෂණය කොච්චර දියුණු වුණත් අපි දෙන්නාට වැඩිපුරම අදටත් ප්‍රතිචාර ලැබෙන්නේ ලියුම්වලින්. ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉඳපු අය අපි දෙන්නාට කතා කරලා කියලා තියෙනවා Forget me not කියෙව්වාට පස්සේ  මමත් අලුතෙන් හීනයක් දකින්න අලුත් බලාපොරොත්තුවක් ඇති වුණා කියලා.  

අපේ ගොඩාක් අයට තියෙන්නේ හරිම ග්‍රෑන්ඩ් හීන.  කැම්පස් ගිහින් උපාධියක් ගන්න, හොඳ රැකියාවක් කරන්න, වාහනයක් ගන්න, ග්‍රෑන්ඩ් වෙඩින් එකක් ගන්න, හොඳ රැකියාවක් කරන මිල මුදල් තියෙන කෙනෙක්ව බඳින්න. 

එහෙම නැතුව තමන්ට ආදරය කරන මනුස්සයෙක්ව බඳින්න, ආදරය කරන්න,  සරලව පොතකින් සතුටුවෙලා ඉන්න ගොඩාක් දෙනා කැමති නැහැ. අපිට ගොඩාක් වෙලාවට වෙලා තියෙන්නේ ලොකු දේවල් පස්සේ යන නිසා කවදාත් අපිට ඕන කරන සතුට ගන්න අමාරුයි . අපි දෙන්නා තේරුම් ගත්ත එකම දේ ඒක. ඒක  තමයි අපි  Forget me not හරහා පාඨකයාට දෙන්නේ.


නදීශා අතුකෝරළ


 



අදහස් (0)

2023 දී පාඨක රැල්ලක් හදපු පොතක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

මරදානේ පරණ පොත් කඩ වීදියේ දවසක්
2024 සැප්තැම්බර් මස 24 46 0

ඉඩෝරයක් අවසන් වී මහ වැස්සක් ඇදහැලෙන තෙක් ගොවියෝ ආසාවෙන් බලා සිටින්නේ ඊළඟ කන්නයේදී කුඹුරක් හෝ වගාවක් කරගෙන අස්වැන්නක් ලබා ගැනීම සඳහාය.


තරුණ හා ළමා පරපුරේ කියවීමේ රුචිය නැංවීම
2024 සැප්තැම්බර් මස 24 26 0

පොත් අපේ හොඳම මිතුරෝ ය. එනිසා හොඳම මිතුරන් ඇසුර නරක මිතුරන් ඇසුරට වඩා හැමතින් ම යහපත් ය. මේ යහපත්කම කෙමෙන් සමාජයෙන් අඩු වෙමින් පවතින බවට චෝදනාවක් පවතී.


නිවැරදි දැක්මක සාර්ථක අස්වනු
2024 සැප්තැම්බර් මස 21 35 0

“ටෙස්ට් තරගයකදී ගොඩක් වෙලා පන්දු රැක්කොත් කඩුලු‍ රකින්නා කියන්නේ ලොකු වගකීමක් තියෙන තැනක්. වැඩි වෙලාවක් පන්දු රැක්කොත් අංක තුන බැට් කරන්න හරි අමාරුය


ලේඛිකාවන් තිදෙනෙකුගෙන් පොත් පොකුරක්
2024 සැප්තැම්බර් මස 21 43 0

තනූජා ලුම්බිණි තඹවිට රචිත ‘‘ ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද’’ නමින් කවි පොතක් ඉකුත්දා එළිදැක්වූ අතර මෙහි ආදරය, විවාහය, කූටුම්භ ජීවිතයේ ස්ත්‍රී පුරුෂ භූමික


2023 දී පාඨක රැල්ලක් හදපු පොතක්
2024 සැප්තැම්බර් මස 21 22 0

‘විෂාදය ඇතුළු මානසික රෝගවලින් නිහඬව තැවී පීඩා විඳින සියලු නිහඬ සටන්කරුවන්ට ඒ සුන්දර මිනිසුන්ට මේ පොතේ පිදුම වෙන් කර තබමු”...


යුද බිමේ සහකාරිය ගිනි අවිය පමණයි
2024 සැප්තැම්බර් මස 21 60 0

සාමාන්‍ය බංකර් රාජකාරිවලදී මුර වාරයක් ආවරණය කිරීම සඳහා එක් සෙබළෙකු බැගින් යොදවන නමුත්, ක්‍රියාන්විත අවදානම මත ඒ සඳහා වරකට දෙදෙනා බැගින් (Dubble Laentre) යොදවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site