ආදරේ ඇයි පොඩි හඳ මාමේ - ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ
කිරියි පැණියි මට ගෙනැවිත් දෙන්කෝ.. හීන් සැරේ හඳ මාමේ
ගී කියා ඔබටයි අමතන්නේ... මේ පුංචි නංගා ඔබගේ
සරත් විමලවීරයන් ගේ කාව්‍යමය සංකල්පය, වින්සන්ට් සෝමපාල සංගීත වේදියාගේ සුලලිත තනුවක දැවටී, චන්ද්‍රා කබ්රාල් දෝණියගේ මියුරු සරින් ගුවන් තරංගයන්ට මුසුවූ තත් ගීතය, ශ්‍රවණය නොකළ බාල, තරුණ, සැඳෑ යුග පියමන් කළ කිසිදු පුද්ගලයෙක් මෙරට තුළ සිටිය නොහැකි යැයි හැඟේ. සඳ ගුවන් තලයේ මෝදු වන්නේ, සුදු සුමුදු කිරණින් මුළු මහත් පරිසරය පහන් කරමිනි. ගත සෞම්‍ය සිහිලස ගල්වමිනි. සිත් සතන් චමත්කාරයෙන් ප්‍රභාශ්වර කරමිනි. දිවියට මෙවන් සොම්නසක් ලැබ දෙමින්, සිය ගෙමිදුලට පායා එන පුන් සඳ, දරුවන් දකින්නේ, තම ජීවිතයට බෙහෙවින් ම සමීප, ළබැඳි සජීවී හඳ මාමා විලසිනි.
මෙවන් අර්ථ පූර්ණ සොඳුරු නාමයක්, සිරස ලෙස යොදා ගනිමින්, හඳ මාමා ළමා වැඩසටහන 1963 දෙසැම්බර් මස 14 වැනි දින සැඳෑ යාමයේ මුල් වරට ගුවන් විදුලියේ වෙෙළඳ සේවය ඔස්සේ විකාශය විය.
ගුවන්විදුලියේ හඳ මාමා සිය දිවියේ 58 වැනි පරිනත ඉසව්වට සමීපවන මෙම සුවිශේෂී අවස්ථාව තේමා කර ගෙන ලියැවෙන මෙම ලිපිය, ළමා දිවිපෙවෙත එකලු කරමින් හඳ මාමා පැමිණි ගමන් මග විමසා බැලීමේ ප්‍රයත්නයකි.
ගුවන් විදුලියේ මුලින්ම ළමා වැඩසටහනක් විකාශනය වූයේ 1935 වසරේදීය. බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ ළමා වැඩසටහන් ආකෘතියකට අනුගතව, නිෂ්පාදිත එම වැඩසටහන විකාශනය වූයේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. එම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ආන්ටි කර්ක් විසිනි. 1936දී ගුවන්විදුලියෙන් ප්‍රථම වරට සිංහල ළමා වැඩසටහනක් විකාශනය කිරීම ආරම්භ විය. සිරියලතා නැන්දා නම් අන්වර්ථ නාමයෙන් පෙනී සිටි කැතරින් හපුගල මෙම වැඩසටහන තුළින් ළමුන් ඇමතීය. පසුව ආරියරත්න මාමාත්, ඉනික්බිතිව දමයන්ති අක්කා වූ චන්ද්‍රා රන්හොටී ත් වැඩසටහන් මෙහෙයවීය. අනතුරුව එකල ප්‍රකට කවියෙකු හා අධිනීතිඥවරයෙක් වූ යූ.ඒ.එස්. පෙරේරා මහතා වෙත ළමා උයන වැඩසටහන මෙහෙයවීම බාර විය.
සුමනා ජයතිලක සහ බණ්ඩාර විජේතුංග
ළමා වැඩසටහනට නැවුම් බවක් ලබා දීම පිණිස සිරි අයියා. ‘සොමි අක්කා’ නමින් අලුත් චරිතයක් ළමා පිටියට එක් කළේය. ඇය ට්‍රිලීෂියා (ගුණවර්ධන) අබේකෝන්ය. පසුව සොමි අක්කාගේ චරිතය සජීවීමත් කරනු වස්, ඊවා ද සිල්වා සහ නන්දා (ජයවර්ධන) කෙවිටියාගල එක්වූ බැව් ගුවන්විදුලි ඉතිහාසයෙහි සනිටුහන්ව ඇත. සිරි අයියාගේ ළමා වැඩසටහනේ “මුනි නන්දන සිරි පාද වඳිම්” ආරම්භක තේමා වාද්‍ය ඛණ්ඩය ගුවන්විදුලි තරංග ඔස්සේ සිය සවන්පත් වැකෙත්ම, එදා ළමා ළපටීහු ගුවන් විදුලි යන්ත්‍ර අබියස රොද බැඳ ගත් බැව් පැවසේ.
“සුරතල් නංගියෙ අපේ අම්මා” වන් ජනප්‍රිය, ගුණාත්මක ළමා ගීත සමුදායක් නිර්මාණයට නිබන්ධකයින් යොමුවූයෙත්, නන්දා මාලනී, සනත් නන්දසිරි වන් අමරණීය ගායක ගොමුවක්, කරුණාරත්න අබේසේකර වන් ව්‍යක්ත නිවේදක පරපුරක් මෙන්ම රිජ්වේ තිලකරත්න වන් කෘතහස්ථ පරිපාලන වේදීන් පිරිසක් බිහිවූයේත්, ගුවන්විදුලි ළමා වැඩසටහන්වල ආභාෂයෙනි. සිරි අයියාගේ ළමා වැඩසටහන් මගින් බිහි කළ කරුණාරත්න අබේසේකර මෙන්ම සරත් විමලවීර, මඩවල එස්. රත්නායක, චිත්‍රානන්ද අබේසේකර, අශෝක තිලකරත්න වන් ප්‍රවීනයන් පසුකාලීන ගුවන් විදුලි ළමා වැඩසටහන් මෙහෙයවන්නට පිළිපන්හ. පණහ දශකයේ මුල්භාගයේ සිට හැටේ දශකය දක්වා ළමා පිටියට පැමිණ සිය ගායන කුසලතා ඔපවත් කර ගත් ගායක ගායිකාවන් රාශියකි. චන්ද්‍රා කබ්රාල්, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර, මල්ලිකා කහවිට, නාලනී රණසිංහ, චන්ද්‍රානි ගුණවර්ධන, රෝහිණී ජයසිංහ, රෝහණ සිරිවර්ධන, නොයෙලින් ලියනගේ, එස්. ලියනගේ, අමිතා වැදිසිංහ, මල්කාන්ති පීරිස්, විජිත කුසුම් ලියනගේ වන් ගායක ගායිකාවන් ඒ අතර ප්‍රමුඛ ස්ථානයක රැඳේ.
සම්ප්‍රදායක් ලෙසින්, 1960 වසරේ මුල් භාගය දක්වා, ළමුන් වෙනුවෙන් සිංහල වැඩසටහන් විකාශනය වූයේ ගුවන් විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ පමණි. වෙළඳ ප්‍රචාරණය ප්‍රමුඛ ස්ථානයෙහිලා සැලකූ පිළිවෙත වෙනස් කිරීමේ කාලීන අවශ්‍යතාව එළඹෙමින් පැවතිණි. එම කාල වකවානුවේ, සිංහල වෙෙළඳ සේවා අධ්‍යක්ෂ ලිවී විජේමාන්න සහ වැඩසටහන් සම්පාදක කේ.ඒ.ඩබ්. පෙරේරා යන විධායක සංනිවේදකයින් දෙපළ සිංහල ළමා වැඩසටහනක් වෙෙළඳ සේවයට එක් කිරීමට පුරෝගාමීව කටයුතු කළහ. ඒ අදින් වසර 58 කට පෙරය. මෙම නවමු ළමා වැඩසටහනේ නිෂ්පාදනය පවරන ලද්දේ සුමනා ජයතිලක වෙතය. සුමනාවන් ළමා පරපුර ආකර්ෂණය කර ගත හැකි නව්‍ය, වැඩසටහන් රාමුවක් සැකසීමට යුහුසුලු වූවාය. වැඩසටහන සඳහා “හඳමාමා” යන නම යෝජනා කරන ලද්දේ ද ඇය විසිනි.
එම වැඩසටහනේ පළමු මාස කීපය තුළ කමලා ලියනගේ සහ ආරියසේන මිල්ලවිතානච්චි දෙපළ හඳ නැන්දා සහ හඳ මාමා චරිතයන්ට සමවැදී වැඩසටහන ඉදිරිපත් කළහ. පසුව වැඩසටහනේ නිෂ්පාදිකා සුමණා ජයතිලක, නිෂ්පාදනයට අමතරව හඳ නැන්දා ලෙසින් වැඩසටහන මෙහෙයවීමට පිළිපන්නාය. 1963 දෙසැම්බර් 14 වන දින සන්ධ්‍යාවේ, නිරන්තරයෙන් වෙළෙඳ දැන්වීම්වලට සීමා වූ ගුවන් විදුලියේ වෙෙළඳ සේවයෙන්, ළමා සිත් අභිනන්දනයට පත් කරවන සුලු, අර්ථවත් ගීතමය ආයාචනයක් ගුවන් තරංග ඔස්සේ විකාශනය වන්නට විය. මෙම අනුස්මරණීය නිමේෂය, එවකට පාසල් සිසුවකු වූ මගේ මතකයේ මේ දක්වා රැඳී තියේ.
“ලොව ගනඳුරු දුරු කරන්න
ගුණ නුවණට මඟ පෙනෙන්න
පුංචි අපට දැනුම දෙන්න
‘හඳ මාම’ ට සවන් දෙන්න”
පී.එල්.ඒ. සෝමපාල සංගීතඥයාගේ තනුවකින් රිද්ම ගත වූ මෙම තේමා ගීතය ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගේ හෘදයාංගම ස්වරයෙන් ගුවනට මුසු විය. හඳ මාමා ගුවන් විදුලි ළමා වැඩසටහනේ පූර්වෝක්ත තේමා ගීතයේ නිර්මාණ කීර්තිය ද උරුම කර ගන්නේ සුමනා ජයතිලකය. ඇය හඳ නැන්දා ලෙසින් ළමා වැඩසටහන සැලසුම් කරමින්, මෙහෙයවමින් ළමා පරපුර අමතද්දී, මුල් යුගයේ හඳ මාමා ලෙසින් ඇයගේ සහයට පැමිණියේ, හැඟුම්බර වාග් විලාශයක අනන්‍යතාවක් ප්‍රකට කළ ප්‍රවීන නිවේදකයෙකි. හේ ආරියසේන මිල්ලවිතානච්චිය. එදා මෙදා තුර, මෙම ළමා වැඩසටහනට ගුණතුංග කේ. ලියනගේ, බණ්ඩාර කේ. විජේතුංග, කේ.එස්. වික්‍රමරත්න යන නිවේදකයින්, හඳ මාමා ලෙසින් සිය දායකත්වය ලබා දුන්හ. වැඩසටහනේ හඳමාමාගේ චරිතය වාග් කෞශල්‍යයෙන් හරවත් කරලන්නට නිවේදක ලැම්බට් පෙම්මාවඩු වෙත අවස්ථාව උදා වූයේ 1968 අගෝස්තු 02 වන දිනය. වැඩිම කාල පරාසයක් එම චරිතයට බද්ධව සිටී නිවේදකයා ලෙසින් ඔහුගේ නම ගුවන් විදුලි ඉතිහාසයට එක්වේ. මෙපරිද්දෙන් වැඩසටහනේ හඳ මාමාගේ භූමිකාව සපුරා ලන්නට නිවේදකයින් කිහිප දෙනෙක්ම සහභාගී වුවද, වැඩසටහන ආරම්භයේ පටන් වත්මන දක්වාම හඳ නැන්දාගේ භූමිකාව ඉටුවූයේ සුමනා ජයතිලක වෙතිනි. වර්තමානයෙහි හඳ මාමා වැඩසටහනෙහි නිෂ්පාදන කාර්ය භාරය මැනවින් ඉටුකරනු ලබන්නේ තුෂාරි පෙරේරා නිෂ්පාදක වරිය විසිනි.
හඳ මාමා වැඩසටහන පටිගත කිරීම ගුවන්විදුලි මැදිරියට පමණක් සීමා නොවීය. විහාර මහා දේවී උද්‍යානය, කැලණි ගං ඉවුර වන් පාරිසරික වැදගත්කමක් සහිත ස්ථානයන්හි මෙන්ම, දෙහිවල සත්තු වත්ත, කෞතුකාගාරය වන් ස්ථානයන්හි ද ළමයින් පිරිවරා ගෙන වැඩසටහන් පටිගත කරනු ලැබිණි. එවන් අධ්‍යාපනික වැදගත්කමක් සහිත ස්ථාන, පැමිණ සියැසින් දැක ගැනීමට වැඩි අවස්ථාවක් හිමි නොවන, ඈත එපිට ගම්මානයන්හි දරුවන්ට තම දැනුම, අවබෝධය පුළුල් කරලන්නට හඳ මාමා වැඩසටහන ඇසුරෙන් සැලසුණු අවකාශය සුළුපටු නොවේ. මෙහිදී හඳ මාමා ළමා වැඩසටහනේ විකාශනය පිළිබඳව සවිස්තරව සාරගර්භ කෘතියක් නිර්මාණය කළ මාධ්‍යවේදී චන්දන තිලකරත්නයන් ද අපගේ මතකයට නැගේ.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සේවයට දෙසැම්බර් 16 වැනි දිනට 96 වසරක් පිරුණි. ගුවන් විදුලියේ එවක් පටන් මේ දක්වා විකාශය වූ ළමා වැඩසටහන්වලට අමතරව, ළමුන් වෙනුවෙන්ම කැපවූ ගුවන් විදුලි සේවාවක් ආරම්භ කිරීමේ අනුස්මරණීය අවස්ථාව ද මෙහිදී අපට සිහිපත්වේ. 2006 මාර්තු 28 වන දින විදුල නමින් වූ මෙම ළමා ගුවන් විදුලි විකාශනය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළේ සුනිල් සරත් පෙරේරා ශුරීන් විසිනි.
යුග යුග ළමා පරපුර, ජාතික මෙහෙවරට උර දිය හැකි සංවේදී, පරිකල්පන ශක්තියෙන් පිරිපුන් යෞවන යෞවනියන් විලසින් සමාජ තලයට ප්‍රවිෂ්ට කළ ප්‍රවේශයක්, සේතුවක් ලෙසින් හඳ මාමා වැඩසටහන මුළු මහත් ජාතියේම ප්‍රණාමයට බඳුන්වේ.
ආචාර්ය ගාමිණී කාරියවසම්
ගුවන්විදුලියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්
විනෝදාංශයක් යනු යම් අයෙක් නිතිපතා කරන කියන වැඩවලින් බැහැරව විවේකය ගත කිරීමට හා විනෝදාස්වාදය පිණිස සිදුකරන යම් ක්‍රියාකාරකමකි.
සැරයන් උපාලිගේ නුවර මැදවල පිහිටි නිවසේ සිට ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් තුනක පමණ දුරක් තිබුණි. බස් රථයට ගොඩවීම සඳහා ඔහු ඒ දුර පසුකරන්නේ පා ගමනිනි.
ශ්‍රී ලංකාව මේ දිනවල ආසියානු කුසලාන (කාන්තා) තරගාවලි දෙකකට සහභාගිවී සිටියි. මෙයින් ඉන්දියාවේ බැංගලෝර් නුවර දී අද (27) නිමාවීමට නියමිතව තිබූ 13 වැනි ආසියාන
එය විලාසිතා ලෝකයේ කිසිවකු අපේක්ෂා කළ දෙයක් නොවීය. ඒත් ‘ප්‍රාඩා’ එය කිරීමට සමත් වූයේ කවුරුත් මවිත කරමිනි. ‘ප්‍රාඩා’ යනු ඇඳුම් ආයිත්තම් විලාසිතා අතින් ල
ජයන්ත කහටපිටිය බහුවිධ කුසලතා සහිත ලේඛකයෙකි.සාහිත්‍ය කලා විචාරය,ළමා කතා ,යොවුන් කතා,තිර රචනා යනාදී ක්ෂේත්‍ර කිහිපයක සුලකුණු තැබූ අපූරු රසවතෙකි.
පුවත්පත් පිළිබඳව කතා කරන විට තීරු ලිපියට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. පුවත්පත කලාවක් බවට පත් කිරීමට තීරු ලිපිය දායක වූවා යැයි කිව හැකිය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
58 වැනි විය සපිරූ ගුවන්විදුලියේ හඳ මාමා