නර්මදා රංගොඩගේ ගේ ගම් ප්‍රදේශය මාතර හක්මනය.පාසල් කාලයේ පටන් සාහිත්‍යයට නැඹුරුව කටයුතු කළ ඇය මේ වන විට නවකතා 08 ක් පාඨකයන්ට තිළිණ කර හමාරය. ඇය වඩාත්ම කැමති ලේඛිකාවක් ලෙස හඳුන්වනවාටය. මෙවර ලංකාදීප මතුමහල සාහිත්‍ය සංවාදය වෙන්වන්නේ ඇය වෙනුවෙනි .
* නවකතාකාරියක් වීම අහම්බයක්ද?නැතිනම් පුංචි කාලේ ඉදන් සාහිත්‍යයට කැමැත්තක් තිබුණාද?
නවකතාකාරියක් වීම පැහැදිලිවම අහම්බයක්. එහෙත් මගේ ගෙදර කුඩා කාලයේ පටන් තිබුණේ සාහිත්‍යයට සම්බන්ධ පරිසරයක් සහ අධ්‍යාපනයට නැඹුරු පසුබිමක්. ගුරුවරයෙක් වුණු මගේ පියා, පුංචි කාලේ ඉඳලා මටත් මගේ අනෙක් සහෝදර සහෝදරියන්ටත් පොතපත කියවන්න හුරුපුරුදු කළා. කුඩා කාලයේ පටන් අපි පාසල් පුස්තකාලය වගේම මහජන පුස්තකාල ඇසුරෙහි කාලය ගත කළා. මගේ මව අපි ඉතා කුඩා කාලයේ දී, නිවසේ වැඩකටයුතු කරන අතරේ ඉතාමත් මිහිරි තාලයෙන් සැලළිහිණිය, යශෝධරාවත, සුභාෂිතය වගේ කවි ගායනා කළා. එවන් පරිසරයක හැදුණු වැඩුණු මම, පුංචි කාලේ ඉඳලම සාහිත්‍යයට කැමතියි. මඩොල්දූව, ටාසන්, කොරල් දූපත, මොන්ත ක්‍රිස්තෝ, වදරින් හයිට්ස් වගේ කතා පුංචි කාලේ කියෙව්වා මට අදටත් මතකයි.
එහෙත් ලිවීමට ඇති හැකියාව සහ සිංහල භාෂාවට ඇති කැමැත්ත මම හඳුනාගත්තේ මගේ පාසල් කාලය තුළදී. ඒ කාලේ මම, පොඩි පොඩි එක්සයිස් පොත්වල කතා ලියලා පන්තියේ මිතුරියන් අතරේ බෙදා දුන්නා. මගේ පළවෙනි පාඨක පිරිස බිහිවුණේ මගේ පාසලෙන්. ඒ ගමන නවකතා කතුවරියක් වීම දක්වා මේ තරම් දුරක් ඒවි කියලා මම ඒ දවස්වල නිකමටවත් හිතුවේ නැහැ. එහෙත් අද මම අහම්බෙන් මෙන් එතැනට ඇවිල්ලා ඉන්නවා.
* පළමුවෙන්ම නවකතාවක් පොතක් විදියට පළ කරන්න ඕන කියන සිතුවිල්ල ආවේ ඇයි ? ඒ නවකතාව මොකද්ද ?
මම පළමුවෙන්ම ෆේස්බුක් අවකාශයට තමයි නවකතාවක් ලිව්වේ. කොටස් දහයක් පහළොවකින් අවසන් කරන්න හිතුවට ඒ කතාව, face book අවකාශයේ දැඩි පාඨක ප්‍රතිචාර මැද, කොටස් එකසිය හැටක් දක්වා දීර්ඝ වුණා. වසර දෙකකට වැඩි කාලයක් ඒ නවකතාව ෆේස්බුක් අවකාශයේ කොටස් වශයෙන් පළ වුණා. ඒ කතාවේ අතර මැදක් යනකොට මගේ පාඨකයන්ගෙන්ම ලැබුණු ඉල්ලීමක් තමයි මේ කතාව අනිවාර්යයෙන් නවකතාවක් විය යුතුමයි කියන අදහස.
ඒත් එක්කම නොහඳුනන්නී ප්‍රකාශන ආයතනයෙන් මට මේ කතාව නවකතාවක් බවට පත්කරමු කියන යෝජනාව ලැබුණා. ඒ අනුව මගේ පළවෙනි නවකතාව විදියට 2021 වසරේ දී "බාඳුරා" නවකතාව නිකුත්වුණා.
* ඔබේ නවකතා කීපය ගත්තොත් ඒවා එකිනෙකට වෙනස්. නවකතාවක් සඳහා තේමාවක් තෝරා ගැනීමේ දී සැලකිලිමත් වන කරුණු මොනවාද ?
මා විසින් මෙතෙක් රචනා කරන ලද නවකතා අට ලියවිලා තියෙන්නේ තේමා අටක් ඔස්සේ. උදාහරණ කිහිපයක් සඳහන් කළොත්, පළවෙනි නවකතාව බාඳුරා. ඒකෙ තියෙන්නේ කොළඹ අගනුවර සමාජයට ලංකාවේ ඈත පළාතකින් පැමිණෙන තරුණියකගේ ජීවිත අත්දැකීම්. දෙවැනි කතාව ඓතිහාසික වගේම මනස්කල්පිත තේමාවක් ඔස්සේ ලියවුණු අග රැජින නවකතාව. එහිදී මම වැඩි අවධානයක් යොමුකළේ නූතනයේ වැඩිපුර භාවිත නොවන අපේ පැරණි සිංහල භාෂාවේ ඇති රසවත් යෙදුම් උපමා සහ අලංකාර වචන, අධිරාජ්‍යයක් තේමා කරගත්. නවකතාවක් තුළින් පාඨකයාට සමීප කරවන්න. තුන්වැනි නවකතාව උතාරා. එහි සඳහන් වෙන්නේ ලංකාව ඇතුළේ තියෙන ප්‍රාදේශීය උප සංස්කෘති දෙකක් වන මාතර සහ මහනුවර ප්‍රදේශ දෙක අතර සිදුවන විවාහ සම්බන්ධතාවක්. එය තමන්ගේ ස්වාමිපුරුෂයා ක්‍රියාන්විත රාජකාරියේ නිරත වන නිසා, විවාහයෙන් පසු නැන්දම්මා සමඟ නිවසේ හුදෙකලා වෙන, ජීවිත අත්දැකීම් අඩු තරුණ බිරිඳකගෙ කතාවක්. මගේ සිව්වන නවකතාව පරිචාරිකා නමින් රචනා වුණේ. ඒ කතාවේ තේමාව ශ්‍රී ලංකාව සහ කාම්බෝජය කියන රටවල් දෙකෙහිම ජීවත් වූ තරුණ යුවළකගේ එ රට සහ මෙරට ජීවිත අත්දැකීම් ඇසුරින් ලියවිලා තියෙන්නේ. සාෂා නවකතාවේ දී , බහු ලිංගිකත්වය [bisexual) සහිත රුසියන් ජාතිකයෙකු සමග ප්‍රේමයක පැටලෙන ශ්‍රී ලාංකික තරුණියකගේ සංකීර්ණ ජීවිත කතාව ලියවිලා තියෙනවා. මේ ආකාරයෙන් ගත්තොත් මගේ නවකතා සියල්ලම එකිනෙකට වෙනස්.
නවකතාවක තේමාව තෝරාගැනීමේ දී මම බොහෝ දුරට කැමති වර්තමාන සමාජයේ අපිට අහන්න දකින්න ලැබෙන සිදුවීම් සහ පුද්ගල මනෝභාව පිළිබඳව විස්තරාත්මකව සිදුවීම් ගොඩනැගිය හැකි ආකාරයේ නවකතා ලියන්න. මගේ නවකතා කියවන බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මේ සිදුවීම අපට හරි හුරු පුරුදුයි, මේක මගේ කතාව වගේ, මේ සිදුවීම කවදා හරි සිද්ධ වෙලා තියෙනවා.වගේ අදහස්. පාඨකයාට ආයාස කර නොවන වෙහෙසක් නොදක්වා කියවාගෙන යා හැකි ආකාරයේ සරල තේමාවන් තුළින් සමාජයට ප්‍රබල පණිවිඩ ලබා දිය හැකි බව කතුවරියක් වශයෙන් මම විශ්වාස කරනවා. ඉතින් මම හැමවිටම නවකතාවක තේමාවක් තෝරා ගන්නේ, එයින් පිළිගත හැකි විශ්වාසනීය වෘත්තාන්තයක් ගොඩනගන්නට හැකි වනවා සේම සමාජයට යම්කිසි පණිවිඩයක් ලබාදීම අරමුණු කරගෙනයි.
* පුවත්පත් ආශ්‍රිතව ගොඩනැගුණු නවකතා කලාවක් අපේ රටේ තිබුණා .ඒ බලපෑම නිර්මාණකාරිනියක් විදියට ඔබට දැනුණේ කොහොමද?
ඇත්ත වශයෙන්ම මම ක්ෂේත්‍රයට පිවිසෙන කොට පුවත්පත් ආශ්‍රිත නවකතා කලාව යම්තාක් දුරකට "අතීත කාලයට අයිති" දෙයක් බවට පත්වෙලා. එහෙත් මම පාසල් යන කාලයේ දී, පුවත්පත්වල කොටස් වශයෙන් නවකතා ලියපු, ඒ කතා කොටස් වශයෙන් සතිපතා පුවත්පත්වලින් කියවූ ලේඛක ලේඛිකාවන් රැසක් වර්තමානය වනවිට, ශ්‍රී ලාංකික නවකතා ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත බවට පත් වී තිබෙනවා. උදාහරණ කිහිපයක් සඳහන් කළොත්, උපුල් ශාන්ත සන්නස්ගල, චන්දි කොඩිකාර, ශාන්ත කුමාර විතාන, මංජුල සේනාරත්න, ගංගා ශයිනි ගමගේ, මනෝරි සිලිකා වික්‍රමාරච්චි, සුජීව ප්‍රසන්න ආරච්චි, මධාරා වඩුගේ මහත්ම මහත්මීන් සඳහන් කළ හැකියි.
පාසල් යන නව යොවුන් වියෙහි දී පුවත්පත්වලින් කියවූ නවකතාවල තිබුණු ආකර්ෂණීයභාවය, රසවත් බව සහ අර්ථවත් බව, සතියක් ඇතුළත අදාළ නවකතාවේ ඒ කොටස කියවා ඊළඟ සතිය වන තෙක් ගත කළ නොඉවසිලිමත් හැඟීම, පසුකාලීනව කතුවරියක් බවට පත්වූ පසු මගේ නිර්මාණ සඳහා යොදා ගන්නට මම නිරන්තරයෙන් උත්සාහ කරනවා. ඕනෑම පාඨකයෙක් අපේ නවකතාවක් කියවන්නේ ඔහුගේ ජීවිතයේ වටිනා මිනිස් පැය ගණනින් යම් කිසි කාලයක් වෙන්කරලා. ඒ වගේම යම්කිසි මුදලක් ඒ සඳහා ගෙවලා. ඒ නිසා මගේ හැම නිර්මාණයකින්ම මම උත්සාහ කරන්නේ, ඉහත සඳහන් කාලය සහ මුදල් මගේ නිර්මාණයක් වෙනුවෙන් කැප කරන පාඨකයා වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නයි.
* අද වන විට සමාජ මාධ්‍යයේ නවකතා ලිවීම රැල්ලක් බවට පත් වී තිබෙනවා.ඔබත් එහි කොටස් කාරයෙක්ද?ඒ ගැන ඔබේ අදහස කුමක්ද ?
සමාජ මාධ්‍යයේ නවකතා ලිවීම ලංකාවේ වගේම ලෝකයේ බොහෝ රටවල්වල සිද්ධ වෙනවා. face book අවකාශය වගේම instagram, whatsap වැනි අවකාශ ඒ සඳහා භාවිත වෙනවා. මමත් ක්ෂේත්‍රයට පැමිණියේ ෆේස්බුක් හරහා නවකතාවක් ලිවීමෙන්. මම ඒ කාරණය ඕනෑම තැනක මහත් අභිමානයෙන් යුතුව සඳහන් කරන්නේ. මේ ප්‍රශ්නයේ තියෙන විදියටම මමත් එහි කොටස්කාරියක්.
ඒ ගැන මගේ අදහස තමයි සමාජ මාධ්‍ය කියන්නේ ගින්දර හා සමාන දෙයක් බව. ගින්දරවලින් දන්නා තැනැත්තා බත් පිස ගන්නා අතරේ නොදන්නා කෙනා අත පුච්චා ගන්න බව සිංහල සමාජයේ ප්‍රසිද්ධ කියමනක්. බොහෝ සමාජ මාධ්‍ය අවකාශ ලේඛකයන්ට මෙන්ම පාඨකයන්ටත් නොමිලයේ සේවය ලබාගන්න පුළුවන් ඒවා නිසා, ඒවායින් තමන්ට අවශ්‍ය ඕනෑම අදහසක් සැනෙකින් සමාජ ගත කරන්නට හැකියාව ලැබෙන නිසාත්, කතුවරුන් විසින් තමන් සමාජයට ලබා දෙන්නේ කුමක්ද යන්න පිළිබඳව අවදියෙන් සහ තමා විසින් දින ලද නවකතාවේ සෑම අංශුවක් කිරීම අවධානයෙන් යුතුව නිර්මාණකරණයේ යෙදීම වඩාත් යහපත් බවයි මගේ පෞද්ගලික හැඟීම.
උදාහරණයක් වශයෙන් කිව්වොත් පුවත්පතක ලිපියක් හෝ නවකතාවක් කිසිවෙක් විසින් ලියනවා නම් සංස්කරණ මණ්ඩලයක් වෙත එය යොමුවන අතර, සංස්කරණ කටයුතු සිදුවීමෙන් අනතුරුව තමයි එය මාධ්‍ය වෙත නිදහස් වෙන්නේ. එහෙත් සමාජ මාධ්‍ය හරහා අපි ලියන කරුණු සංස්කරණය වීමක් සිදුවනවානම් සිදුවන්නේ ලියන අපි අතින්ම මිස තවත් කිසිවෙක් අතින් නොවේ.
ඒ නිසා, ලියන්නට නිදහස් අවකාශයක් ලැබුණ පළියට සමාජයට සෘණාත්මක ආකල්ප, ජාතිවාදී ආගම්වාදී ආකල්ප, නවකතාවකට නොගැළපෙන තරම් ලිංගිකත්වය සම්බන්ධ අනවශ්‍ය උලුප්පා දැක්වීම්, පාඨකයා නොමඟ යවන කාරණා ඉස්මතු කරන්නට යන්නේ නැති, ස්වයං වාරණයකින් යුතුව ලියන වඩාත් යහපත් ලේඛක ප්‍රජාවක් සහ, උසස් රස වින්දනයක් සහිත පාඨක පිරිසක් සමාජ මාධ්‍ය හරහා බිහිවෙනවා නම් එය රටේ අනාගතයට ඉතා වැඩදායී යහපත් ප්‍රවණතාවක් ලෙස මා දකිනවා.
* ඔබ ලියපු නවකතා අතරින් කැමතිම නවකතාව කුමක්ද ?
මම වඩාත්ම කැමති මම ලියපු නවකතා අතරින් නීලෝත්පලා නවකතාවට. පළමුවැනි දේ එය අතීතයේ බ්‍රිතාන්‍ය පාලන සමයේ පළමු අවුරුදු සියය ඇතුළත ලංකාවේ සමාජය තුළ සිදුවූ මන:කල්පිත සිදුවීමක්. මම අතීත කතා සහ ඉතිහාස කතාවලට පෞද්ගලිකව විශාල කැමැත්තක් දක්වනවා. දෙවැන්න නම් මම වඩාත් වෙහෙස මහන්සි වී රචනා කරපු නවකතාව වශයෙන් නිලෝත්පලා හඳුන්වා දිය හැකියි. ඒ නවකතාව රචනා කිරීම සඳහා පසුබිම් ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් වගේම නොයෙක් ආකාරයේ අතීත සිද්ධි අධ්‍යයන කටයුතු මා විසින් සිදු කළා. වර්තමාන සමාජයේ වැඩිපුර භාවිතයට නොගන්නා ආහාර වර්ග, සිරිත් විරිත්, කෙම්ක්‍රම, ඇදහිලි සහ විශ්වාස, කිතුල් කැපීම, තෙතඟු කවි වගේ දේවල් ගැන අධ්‍යයනය කරනවා වගේම, බුද්ධගජ්ජ, මගුල් ලකුණ, ගණදෙවි හෑල්ල වැනි පැරණි සාහිත්‍යමය වටිනාකමකින් යුතු ග්‍රන්ථවල සඳහන් ඇතැම් කරුණු මම මේ නවකතාව සඳහා යොදාගත්තා.
* සමහර නුතන ලේඛක ලේඛිකාවන් තම නිර්මාණවලින් ලිංගිකත්වය හුවා දැක්වීමට උත්සාහ දරනවා.ඔබ ලියද්දී ස්වයං වාරණයක් දා ගන්නවද.නැතිනම් නිදහසේ ලියනවාද?
ඒක අඩු වැඩි වශයෙන් නවකතාවෙන් නවකතාවට, අදාළ සිද්ධිය සහ අවස්ථාව අනුව වෙනස් වෙනවා. බොහෝ විට මම නිදහසේ නිර්මාණය ලියාගෙන යන නමුත් අවශ්‍ය යැයි හැඟෙන තැන්වල දී ස්වයං වාරණයක් ඉදිරිපත් කරගන්නවා. ඇතැම් ලේඛක ලේඛිකාවන් තම නිර්මාණ ප්‍රසිද්ධ කර ගැනීමට සහ වාණිජ අරමුණු ඔස්සේත් මෙවැනි කරුණු වැඩි වශයෙන් අන්තර්ගත කොට තම නවකතා රචනා කරන අවස්ථා දකින්නට පුළුවන්.
කලාව සහ ලිංගිකත්වය යනු එකිනෙකට බැඳුණු, එකිනෙකා සමග එක්ව ගමන් කරන සංකල්පයන් දෙකක්. ඉතා ඈත අතීතයේ බිහිවූ සාහිත්‍ය නිර්මාණවල පවා ලිංගිකත්වය පිළිබඳව කරුණු සඳහන් වුණා. වත්ස්‍යායනගේ කාම සූත්‍රය, පන්සිය පනස් ජාතක පොතේ නලිනී ජාතකයේ පවා ලිංගිකත්වය පිළිබඳව කරුණු සඳහන් වෙනවා.
ලිංගිකත්වය යනු කිසිවකු විසින් අනවශ්‍ය තරම් පහත් කළ යුතු හෝ අසීමිත ලෙස උත්කර්ෂයට නැංවිය යුතු කාරණාවක් නොවන බවයි මගේ අදහස. එය සාමාන්‍ය මනුෂ්‍ය ක්‍රියාකාරකමක්.
නමුත් අපේ රට වසර දහස් ගණනක් තිස්සේ සකස් වී පැමිණි සංස්කෘතික හර පද්ධතියක් තිබෙනවා. නිර්මාණකරුවන් වශයෙන් අප ඒ හර පද්ධතිය කඩා බිඳ දමන්නේ නැතිව, ඉතා සූක්ෂම ලෙස මේ ගමන ඉදිරියට යා යුතු බවයි මම විශ්වාස කරන්නේ. උදාහරණයක් වශයෙන් ප්‍රංශය වැනි බොහෝ යුරෝපීය රටවල ප්‍රසිද්ධියේ ලවන් හාදු ලබාදීම් සිදුවෙනවා. ඔවුන්ට එය ඉතා සාමාන්‍ය දෙයක්. එහෙත් අපේ රටේ ප්‍රසිද්ධ ස්ථානයක තරුණයෙක් සහ තරුණියක් වැලඳ ගැනීම පවා සමාජයේ වැඩි දෙනෙක් දකින්නේ නුහුරට සහ වපර ඇසින්. මෙවැනි තැන්වලින් අප දියුණු මනසින් යුතු පුද්ගලයන් වශයෙන් ඉදිරියට යා යුතු වනවා. එහෙත් එය එක්වරම හෝ ක්ෂණිකව කළ හැකි දෙයක් නොවන බවයි මගේ අදහස. ඒ නිසා ඕනෑම නිර්මාණකරුවකු ස්වකීය නිර්මාණයේ දී ලිංගිකත්වය කියන කාරණය පිළිබඳව ලිවීම ඉතා සැලකිල්ලෙන් කළ යුතු දෙයක් විදියට මා දකිනවා.
* ඔබේ අලුත්ම නවකතා තුනක් පසුගිය දවසේ නිකුත් වුණා.එහෙම එකපාර ආප්ප බානවා වගේ නවකතා ලියනවා කියලා ඔබට චෝදනා එල්ල වෙලා නැද්ද ?
මෙතනදි මම ඉස්මතු කරන්න කැමතියි ලිවීමේ වේගය එකිනෙකාට සාපේක්ෂයි කියන කාරණය. සමහර අය ඉතා වේගයෙන් ලියන අතරේ සමහර අය ඉතාමත් සෙමෙන් ලියනවා. මම මෙතන දී ජාත්‍යන්තරයෙන් උදාහරණයක් ගන්නම්. ලෝක ප්‍රසිද්ධ එනිඩ් බ්ලයිටන් නමැති ලේඛිකාව ගත්තොත්, ඇය තම ජීවිත කාලය ඇතුළත පොත් හත්සියයකට ආසන්න ප්‍රමාණයක් ලියලා තියෙනවා. එහෙත් සුළඟේ ගිය දිවිය නමින් ජාත්‍යන්තරයේ අතිශය ප්‍රසිද්ධියට පත් නවකතාව රචනා කළ ඇමෙරිකානු ලේඛිකා මාග්‍රට් මිචෙල්, තම ජීවිත කාලය තුළ ලියූ එකම කෘතිය එයයි.
ඒ වගේ, එකිනෙකා ලියන වේගය කතුවරයාගෙන් කතුවරයාට වෙනස්.
ඔතනදී මම සම්බන්ධයෙන් කතා කළොත් සමහර කාලවල, මම කිසිම දෙයක් ලියන්නේ නෑ. කොච්චර උත්සාහ කළත් කිසිම දෙයක් ලියන්න බැරි වෙන කාලවල් මටත් තියෙනවා. ඒක ඕනෑම ලේඛකයෙකුට පොදු විය හැකි තත්වයක්. එහෙත් ලියන්න පටන් ගත්තට පස්සේ මම දිගටම ලියනවා. ඒකට හේතුව මම ලිවීම විනෝදාංශයක් වගේම ආත්ම තෘප්තියක් වශයෙන් කරගෙන යන දෙයක් නිසා. එතකොට පහුගිය සැප්තැම්බර් මාසයේ මගේ පොත් තුනක් එකවර මුද්‍රණයෙන් පිටවුණා.
සාමාන්‍යයෙන් මගේ ලිවීම් ගැන දන්න පාඨකයෙක් නම් මට ඔය ප්‍රශ්නයේ තිබෙන ආකාරයේ චෝදනාවක් කිසි විටෙක කරන්නේ නැහැ. මොකද එක් එක් නිර්මාණය සඳහා වෙන් වෙන් වශයෙන් මම විසින් පෞද්ගලිකව දරන කැප කිරීම සහ හැදෑරීම් පසුබිම් අධ්‍යයන පිළිබඳව මගේ පාඨකයන් දන්නවා. උදාහරණයක් වශයෙන් පසුගිය සැප්තැම්බරයේදී නිකුත් වුණු මගේ නීලෝත්පලා, ප්‍රේමාරම්මණ සහ ලියතඹර කියන නවකතා තුන, තුන් ආකාරයක තේමාවන් ඔස්සේ ලියවුණු කතා තුනක්. නීලෝත්පලා නවකතාව කියන්නේ මගේ අවුරුදු හතරක පහක වෑයමකින් සිදුකළ නිර්මාණ කාර්යයක්. ප්‍රේමාරම්මණ නවකතාවට මම පසුබිම සකස් කරගත්තේ කොළඹ ප්‍රසිද්ධ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය ඉදිකරන්නට කලින් "රෙදි මෝල" නමින් එම ස්ථානය සහ ඒ අවට තිබූ රෙදි මෝල වත්ත ආශ්‍රය කරගෙනයි. ඒ ප්‍රදේශවලට ගිහින් එහි ජීවත් වන මිනිසුන් සමග කතාබස් කොට, විශේෂයෙන්ම අත්දැකීම් බහුල පැරැණි වැඩිහිටියන් සමඟ සාකච්ඡා කර, තොරතුරු ලබාගෙන ඒ ඔස්සේ කතාවක් ගොඩනගන්නට මට විශාල කාලයක් ගත වුණා. ලියතඹර නවකතාවත් වසර දෙකක පමණ පරිශ්‍රමයක ප්‍රතිඵලයක්.
* ලංකාවේ නවකතාව මීට වඩා ඉස්සරහට යායුතු යැයි ඔබ කල්පනා කරනවා ද ?
ලෝකය තාක්ෂණයත් සමඟ ඉතා වේගවත් ඉදිරි ගමනක් යමින් පවතින මෙවැනි වකවානුවක පොතපත අතින් ඉවත්වෙලා ඒ වෙනුවට ඉලෙක්ට්‍රොනික් උපකරණ තරුණ පරම්පරාවේ වැඩි දෙනෙකුගේ අතට පත්වෙමින් පවතින කාලයක් මේක. ඒ නිසා නව තාක්ෂණයත් එක්ක, පොතපත කියවීම, කඩදාසි පිටුවලට පමණක් සීමා නොවී ඩිජිටල් සහ විද්‍යුත් අවකාශයේදීත් කළහැකි අන්දමින් තාක්ෂණික කරුණු අතින් ඉදිරියට යා යුතු බව මගේ හැඟීමයි. විද්‍යුත් පුස්තකාල, ඕඩියෝ බුක්ස්, ඊ බුක්ස් වැනි දේවල් හරහා කතුවරයාටත් ප්‍රකාශන ආයතනයටත් පාඨකයාටත් අසාධාරණයක් සිදු නොවන පරිදි බොහෝ දෙනෙකුට පොතපත කියවීමේ අවස්ථාව ලබා දිය හැකි නම්, එය වඩා වැඩි පාඨක පිරිසකට පොත් කියවීමට අනුබලදීමක් විය හැකියි.
අනෙක් අතට සිංහල නවකතාවේ අති විශිෂ්ට නිර්මාණ ඕනෑ තරම් තිබෙනවා. එහෙත් සිංහල භාෂාවෙන් පිටත ලෝකයට එම නිර්මාණ ගිහින් නැහැ කියන එකයි මගේ පෞද්ගලික හැඟීම. ඉන්දියාවේ චේතන් භගවත් වැනි සාර්ථක ලේඛකයන් අපි අතරත් ඉන්නවා. එවැනි අයගේ නිර්මාණ ලොව බොහෝ දෙනකු කියවන පොදු භාෂාව වන ඉංග්‍රීසි වැනි භාෂාවකට පරිවර්තනය වූවා නම්, අපේ ලේඛක ලේඛිකාවනුත් ජාත්‍යන්තර මට්ටමින් ජනප්‍රියවන්නට මීට වඩා ඉඩ ප්‍රස්ථා ලැබෙනු ඇති. සිංහල පොතපත ඉංග්‍රීසි බසට පරිවර්තන කාර්යය වඩාත් විධිමත් වනවා නම්, ජාත්‍යන්තරයේත් අපේ රටේ ලේඛක ලේඛිකාවන් සඳහා පාඨකයන් රැසක් ගොඩනැගේවි.
* මේ දිනවල ඔබ යෙදී සිටින සාහිත්‍ය ක්‍රියාකාරකම් මොනවාද..?
මේ දිනවල මම මගේ පෞද්ගලික එකතුවේ තියෙන, මා විසින් මෙතෙක් නොකියවූ නවකතා කියවන්නට වැඩිපුර කාලය ගත කරනවා. සාර්ථක ලේඛකයෙකු වන්නට නම් ඊට පළමුව තමා ඉතා හොඳ පොත් කියවන්නකු විය යුතුයි කියන එකයි මගේ පෞද්ගලික අදහස. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයට ඉතා වටිනා අපූරු නිර්මාණ රැසක් අලුතින් නවකතා වශයෙන් ඉදිරිපත් වුණා. මේ දවස්වල ඒ පොත් කියවනවා.
ඒ වගේම කොටස් වශයෙන් ලියා ඇති, තවම සංස්කරණය නොකළ ආකෘති කටු සටහන් කීපයක් මා සතුව තිබෙනවා. ඉදිරියේ දී ඒවාට අදාළ බාහිර තොරතුරු සොයාගෙන, ලියා අවසන් කොට, සංස්කරණ කටයුතු සිදුකර, අලුත් නවකතා වශයෙන් පාඨකයා වෙත ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා.
වෘත්තියමය පුවත්පත් කලාවට සමුදුන්නත් කලාව තවමත් ඇගේ තියෙන වග ඔහුගේ නිර්මාණවලින් අපට වටහා ගත හැකිය.
වර්තමානයේ සිනදුවක් දෙකක් ලියා එය ලක්ෂ ගණන්වලට අලෙව් කරනවා යැයි කියන නිර්මාණකරුවෝ අපට හමුවෙති.එසේම දශක ගණනක් පුරා සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා කටයුතු
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි. මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදා
සචී සේනානායක මවක්, බිරිඳක්, ලෙස යුතුකම් ඉටුකරමින් සිටියත් කුඩා කාලයේ පටන් සිහින දුටුවේ ලේඛිකාවක් ලෙස තමාගේම කෘතියක් පොත් සාප්පුවක රාක්කයක් මත තිබෙනු
කියැවීම ජීවිතය කරගත්තෝ පසුකාලීනව නිරායාසයෙන් ම ලිවීමට පෙලඹෙන්නෝය. දිශනී වීරරත්නද මුල් කාලයේ කියැවීමට තිබු ආසාවේ ප්‍රතිඵලයක් ලෙස පොත් කතුවරියක් බව
දරුවන් වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන්න මං හරි කැමතියි. මගේ පුංචි කාලේ මම ලබපු, විඳපු අත්දැකීම් රස මතක සාගරයක්.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලේඛකයාට වල්බූරු නිදහසක් නෑ