IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


කවියේ ආත්මය භාෂාව යි

තුරුණු මඬල - 2

 

 

කවියකු සේම පුවත්පත් කලාවේදියකු ලෙස ද දීර්ඝ කාලීන අත්දැකීම් තිබෙන රඹුක්කන කීර්ති එස්.කුමාර  පසුගියදා අලුතිත්ම කාව්‍ය සංග්‍රහ තුනක් පාඨකයා අතට පත් කළේය.එම කාව්‍ය කෘති තුන වන්නේ "මිනී කපන්නාගේ දියණිය","උඹට වඩා මං රතුයි","ඇඩ්‍රස් නෑ අම්මේ අපට" යන්නයි.දීර්ඝ කාලයක් තිස්සේ කවි වැඩ බි⁣මේ උපරිම සැරිසරමින් මටසිලුටු කරන ලද කාව්‍ය අනුභුතීන් රාශියක් මෙම කාව්‍ය කෘති තුනේ ඇතුළත්ය.මෙවර ලංකාදීප මතුමහලින් අපි කීර්ති එස්.කුමාර නම් වූ ඒ සොඳුරු කවියාගේ  හදවතට එබී බලමු.

 

කවි පොතක් කරන්න දැන් කාලෙ හරි කියලා ඔබ හිතුවේ ඇයි?

1983 මගෙ මුල්ම කවි පොත නිකුත් කළා. සිව් ඈඳුතු කෘතියක් විදියට.එහි අනෙක්  පංගුකාරයන්  වුණේ මංජු විජේකෝන්,ජයසේන බෙලිගල,නිශාන්ත කුමාර පීරිස්. පසුවදන ලිව්වේ කපිල එම් ගමගේ ප්‍රවීණ සාහිත්‍යවේදියා.ඉන් පස්සේ අධ්‍යාපන කටයුතුවලට දැඩිව යොමු වුණා.වාණිජ විද්‍යා ඩිප්ලෝමාවක් සඳහා මහනුවර බහුතාක්ෂණික  උසස් අධ්‍යාපන ආයතනයට ගියා.ආර්ථික අපහසුතා නිසාම එය අතරමඟ නතරවුණා.ඉන් පස්සේ විදේශගත වුණා. එතකොට මට අවුරුදු 21යි.1985දී කාව්‍ය නිර්මාණ සඳහා යෞවන සම්මාන හිමිවුණා.  (කවිය තමයි  සොහොන්පල්ලාගෙ රාත්‍රිය ) හැමදේටම වඩා සාහිත්‍ය ක්ෂේත්‍රය හොඳයි කියලා දැනුණා. ඉක්මනින්  ලංකාවට ආවා.1988දී යුවති නමින් පළවු යොවුන් පත්තරේ ප්‍රධාන සංස්කාරක බවට පත්වුණා.ඒ වෙනකොට නවලිය,රැජින වගේ පත්තර වල කෙටිකාලීනව විශේෂාංග ලියපු හින්දා මට රස්සාව ලේසි වුණා.

.ඉන් පස්සේ පත්තර ආයතන කීපයකම වැඩකළා.නළු නිළියන් ගායක ගායිකාවන් දේශපාලනඥයන් දේවාල කෝවිල් පන්සල් ජීවිතය දිනන්න වෙහෙසෙන මිනිස්සු විශේෂයෙන්ම දිරිය කතුන් හා විදේශගතව දුක්විඳින කතුන් ගැන මතක තියාගන්න බැරි තරම් ලිපි ගණනාවක් ලිව්වා  ( මැදපෙරදිග රස නීරස..සහරාවේ සෝ සුසුම්  )

ලියන රස්සාවෙන් මිදිලා අප්පච්චි ගෙ බලකිරීමට .බැංකු ක්ෂේත්‍රයට එක්වුණා

ටික කලක් යද්දී  තේරුණා ආයෙමත් පූර්ණ කාලිනව පත්තර රස්සාවට  යන්න  ඕන කියලා.මට නියම තෘප්තියක් ලැබුණේ  ලේඛන කලාවෙන්  පමණයි .

ලේක්හවුස් එකේ විශේෂාංග ලේඛකයෙක් වුණා..2022 කොරෝනාත් එක්ක ආපහු ගෙදරට සීමා වුණා.ඊට පස්සේ තමයි ලිපි ලිවීමටම  කාලය යොමුකිරීම නිසාම මට   අමතකව ගිය  කවිය ආයෙත් පපුවේ පණ ගැහුනේ.

ගෙදර ඉඳන් රැකියාවක් ලෙස මල් වවන ගමන් ම පත්තරවල කවි පිටුවලට ලියන්න පටන් ගත්තා. කවි විශාල ගණනක් එකතු වුණා .2023 දී හිතුනා දැන් කවි පොතක් කරන්න කාලේ හරි කියලා.

 

එක්වරම කවි පොත් 3 ක් එළිදැක්වීමට ඔබට විශේෂ හේතුවක් තිබුණද .?

ඔව්,එක කවි පොතක් මුද්‍රණයකර ජනගත කරද්දි යන වියදම ගණන් බැලුවා.එක පොතක් මුද්‍රණයට යන වියදමත් ගණන් බැලුවා ප්‍රකාශන ආයතන කිහිපයකින් පිටු 72  කවි පොත් තුනක් කරනව නම්   මිලගණන් කෙසේදැයි  විමසුවා.එහිදී  කඩුල්ල ප්‍රකාශන ආයතනයෙන්  සහනදායී පිළිතුරක් ලැබුණා.  පිටකවරත් මම ම ඇන්දා .මොළ සෙනෙවිරත්න ගේ කවර නිර්මාණයට හිත ගියා.වසර ගණනාවක් තිස්සේ ලබපු කටුක අති දුෂ්කර රසවත් මිහිරි දේ හා අත්දැකීම්   කවි බවට පත්කළ විශාල ප්‍රමාණයක් එක්රොක්වී තිබුණා .  මට හිතුණා කවි පොත් තුනක්ම එකවර එළි  දක්වන්න. 

මම ධර්මසිරි ගමගේ සුලවතාණන්ගේ යොවුන් පහන් වැටේ මුල් කාලීන සාමාජිකයෙකු වූ නිසාම එහි බොහෝ ආදි හිතවතුන්ගෙන් මගේ අදහසට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.ඒ නිසාම ගමගේ සර්ගේ 19වැනි ගුණානුස්මරණය ද සමරමින් යොවුන් පහන් වැටේ වර්තමාන  සභාපති,බණ්ඩාර ඇහැලියගොඩ,එහි ජාතික සංවිධායක, අනුර බී සෙනෙවිරත්න සොඳුරු මිතුරා  ආදී හිතවතුන් ගෙන් ලැබුණු සහයෝගය සමග  2023 අගෝස්තු 29 අඟහරුවාදා කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ආයතනයේ දී මගේ කවි පොත්  තුන  උත්සවාකාරයෙන්  එළි දැක්වුවා.

 

ඔබ කවියකුට අමතරව පත්තර කාරයෙක්,ඒ අතීතය ගැන සඳහන් කරමු?

උසස් පෙළට ඉගෙනගන්න   ගමන් ලිව්වේ ලේක්හවුස් එකට, කවි හා විශේෂාංග ලිපි.යොවුන් ජනතා  තරුණි,නවයුගය,ජනතා පත්තර වලට.ධර්මසිරි ගමගේ,සුමනා සපරමාදු,අජන්තා රණසිංහ,සෝමවීර සේනානායක ආදි ගුණවත්කම් පිරුණු  අය ඊට නොමසුරුව සහාය ලබා දුන්නා. තරුණි.පුවත්පතේ හිතක පිපුණු මල් කවි පිටුවට චිත්‍රත්  ඇන්දා.ඊට පස්සේ නවලිය පුවත්පතේ ප්‍රියංගනී ගුණවර්ධන,පුෂ්පා ඉලංගන්තිලක වැනි මහත්මීන් ගේ සහයෝගය මත කෙටි කලක් විශේෂාංග ලිව්වා.

දවස ආයතනයේ රිවිරැස ශ්‍රී සඟරාව ආදියට ලිව්වා .

 ඒ අතර තුර ඉරිදා දිවයින පත්තරේ ගාමිණී සුමනසේකර,චන්ද්‍රසිරි දොඩන්ගොඩ ආදි වියතුන්  මගේ කවි අගය කරමින් ඉරිදා දිවයින පුවත්පතේ  පළකළා .

ඉන් පසු රස ප්‍රකාශන ආයතනයේ අර්නස්ට් වඩුගේ සමග   පත්තර කීපයකම.බිරිඳ,සුවඳ,රස,

සම්පත,  සුමියුරු ඈ ජීවිතය වැනි පත්තර වල අවුරුදු දහතුනක  පමණ කාලයක් ඉතාමත් අවිවේකීව මුත් තෘප්තිමත්ව සේවය කළා ,සහකාර සංස්කාරකවරයකු විදිහට.විෂේෂාංග පත්තර කලාවට හිත ගිය නිසාම ජාතික පුවත්පතකට යන මඟ ඇහිරුණා. 

.1999දී තනිවම පත්තරයක් කළා  සුමිතුරු නමින්.1988 කොළඹ පදිංචියට ගිය මං 2006 වෙනකන් පත්තර රස්සාවෙන් දුක සතුට මැද ජීවත් වුණා .කොටින්ම බැංකු රස්සාව ස්ථීර උනත් ඒකට හිත ගියෙත් නෑ.

බැංකු සේවයේ හිටියෙ වසර දෙකක් වැනි කාලයක්.

පත්තර කලාවෙන් තාවකාලික සමුගනිමින් 2006 දී  රඹුක්කන උපන් ගමට ආවා. 2011 සිට  2023 ජූනි මාසය දක්වා වසර 11ක්  ලේක්හවුස් ආයතනයේ  ආරෝග්‍යා, සුබසෙත, මිහිර පුවත්පත්වල  විශේෂාංග ලිපි ලිව්වා..

 

මේ කවි පොත් තුනේම දිගු කවි ආරත් කෙටි කවි ආරත් ඔබ භාවිත කරනවා,ඔබ වඩාත් කැමති දිගු කවියට ද? කෙටි කවියටද  ?

කවිය නිර්මාණයට බලපෑම් කරන අනුභූතිය අනුව එහි ප්‍රකාශනය කෙටිද දිගුද යන්න තීරණය වන බව මගේ හැඟීමයි.වත්මන් සමාජයේ පවතින බොහෝ දේශපාලන හා සමාජ අසම්මතයන්  විචාරය කිරීම සඳහා  කෙටි කවි භාවිතයට ගන්න මං කැමතියි.කිව යුතු දේ  ස්වභාවෝක්තියෙන් හා වක්‍රෝත්තියෙන්  දෙයාකාරයටම කෙටි කවියකින් ඉදිරිපත්  කරන්න  පහසුයි.හැබැයි ඒ සඳහා භාෂාව තෝරා ගැනීම ඉතා සූක්ෂමව කළ යුතුයි.සමාජයේ විවිධ ක්ෂේත්‍රයන්වල  කාව්‍ය  රස විඳින්නන් වෙනුවෙන් මා තෝරා ගන්නා අනුභූතිය අනුව එය දිගු කවියක්ද කෙටි කවියක්ද යන්න තීරණය වනවා.කිසියම් ප්‍රස්තූතයක් පිළිබඳව ඍජු විචාරයක් කිරීමේ ගැටලු පැන නගින අවස්ථාවලදී හා රිද්මයානුකූලව,වර්ණනාත්මකව  නිර්මාණයකරණයේ  යෙදෙන්න  අවැසි වූ විට දිගු කවියෙන් ඊට මනා සහයෝගයක් ලබාගන්නවා.

 

රිද්මය යනු කවියේ ආත්මය යැයි සමහරු ප්‍රකාශ කරනවා,මේ කතාවට ඔබත් එකඟද ?

කවියේ ආත්මය යන්නෙන් මා විශ්වාස කරන්නේ කවි බසයි.කවියක් සඳහා තෝරා ගන්නා අනුභූතිය භාෂාව හා කවියක් සඳහා තෝරාගන්නා වදන් ගැළපීම් අනුව බොහෝ කවි රිද්මයකට ලියවෙන බවත් ඇත්ත. නිදහස්  කවියත් රිද්මයක් ඇතුව රචනා කරන්න පුළුවන්.  සඳැස් කවියක තිබෙන්නේ රිද්මය නොවෙයි  තාලයයි.සඳැස් කවියක් ලියන්නෙ නිශ්චිත මාත්‍රා ගණනකට  අනුව නිශ්චිත විරිතකට අනුව එළිසමය එළිවැට  යොදමින්.  එවිට  එම කාව්‍ය නිර්මාණය තුළින් නිරායාසයෙන් ම තාලයක්, රිද්මයක් මතුවෙනවා.

 නමුත්  නිදහස් ආරේ කවියක් කියන්නෙ බොහෝ දුරට ගද්‍යයට ආසන්න නිර්මාණ විශේෂයක්.එවිට  ඒවා ගද්‍යයෙන් වෙන්කරන්න  තිබිය යුතු මූලික ගුණාංගය තමයි රිද්මය කියන්නෙ.

 බොහෝ නිදහස් කවි සඳහා නිරන්තරයෙන්ම  රිද්මයක් බිහිවෙන.අවස්ථා  සුලබයි.

 එහෙත් කිසිදු රිද්මයක් නැති දරදඬු කවි ලියන්නත් මං කැමතියි.මේ අනුව කවියේ ආත්මය ලෙස වඩාත් නිවැරදි වන්නේ කවි බස බව මගේ විශ්වාසයයි.

 

කාව්‍ය කේෂ්ත්‍රය  තුළ කවි කුලක තිබෙන බව සමහරු ප්‍රකාශ කරනවා,ඔබත් යම් කවි කුලකයකට අයත්ද ?

කවියට පමණක් නොවෙයි දේශපාලනය ගත්තත් විවිධ කුලක තිබෙනවා එය සාමාන්‍ය තත්වයක්.

සිනමාවේ වුණත් විවිධ මතිමතාන්තර දරන කණ්ඩායම්,කුලක සිටිනවා.

ඔවුන්ගේ නිර්මාණ සඳහා තෝරා ගන්නා නළු නිළියන් ගායක ගායිකාවන් සංගීතඥයන් පවා යම් යම් කුලකවලට අයත් අය.

 කාව්‍ය ක්ෂේත්‍රය තුළද යම් යම් ආකාරයේ  කුලක පැවතීම අරුමයක් නොවේ.දිගු කාලයක් පුවත්පත් කලාවේ රැඳී සිටීම නිසාම  විවිධ තරාතිරමේ පුද්ගලයන් ඇසුරුකරමින් හඳුනාගන්නට ලැබීමත් නිසාදෝ  විවිධ වර්ගයේ නිර්මාණකරුවන් සමඟ ඉතාමත් සුහදව කටයුතු කිරීම නිසා සමහරුන් දකින  සත්‍ය වශයෙන්ම දැනටමත් පවතින  කුලකවලින්  කිසිදු අයහපත් බලපෑමක් මට සිදුවුණේ  නැහැ.මගේ කවි පොත් තුනට පෙරවදන් සැපයූ ආචාර්ය  රත්න ශ්‍රී විජේසිංහ,ප්‍රවීණ ගෙය පද රචිකා හා කිවිඳිය යමුනා මාලිනී පෙරේරා, ප්‍රවීණ සාහිත්‍යවේදී හා විචාරක චූලානන්ද සමරනායක යන අයත් කවි පොත් සඳහා පසුවදන් සැපයූ ප්‍රවීණ පුවත්පත් කලාවේදී රුවන් ජයවර්ධන .ප්‍රවීණ ලේඛිකා සුනිලා විජේසිංහ,ප්‍රවීණ සාහිත්‍යවේදී අනුර බී සෙනෙවිරත්න වැනි අයත් පොත් එළිදැක්වීමේදී ප්‍රවීණ ගේය පද රචක බණ්ඩාර ඇහැළියගොඩ,ප්‍රවීණ  ලේඛක කුමාර සිරිවර්ධන,ප්‍රවීණ ලේඛක සුනිල් පොරමඬල,ප්‍රවීණ ගීත රචක හා නිර්මාණවේදී වසන්ත දුක්ගන්නාරාල මෙන්ම චූලානන්ද සමරනායක,අනුර බී සෙනෙවිරත්න වැනි අයත් මට උපරිම සහයෝගය ලබා දුන්නේ ඔබ කියන කුලක කිසිවක් පිළිබඳ තැකීමක් නොකර.

කොටින්ම 1982/85  කාලයේ තරුණි.පුවත්පතේ  සතිපතා කවි තේරීම් කළ බුද්ධදාස ගලප්පත්ති  සාහිත්‍යවේදීයා  මගේ පොත් එළි දැක්මේ  පොල්තෙල් පහන දැල්වුයේ කීර්ති ගෙ පොත්දැක්මට නෑවිත් කොහොම ද කියා ඉතාමත් නිරහංකාර අයුරින්.

මා පත්තර්කාරයෙක්ව සිටි කාලයේ  සෑම තරාතිරමකම මිනිසුන්ට දැක්වු ගෞරවය නිසා කුලකවලින් කිසිදු ගැටලුවක් මට ඇති වුණේ නෑ.

 ඉදිරියේදී මමත් කවිය මගේ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍ය ලෙස තෝරාගත්තත් කිසිම කවි කුලකයකට අයත් නොවී ඉතාම නිදහස් කවියෙක් ලෙස සෑම කුලකයක් සමඟම සර්වත්‍රයක් ලෙස කටයුතු කිරීමයි මගේ ඒකායන ප්‍රාර්ථනාව.

 

7) ඔබේ කවි පොත් තුනේම ස්ත්‍රිය පිළිබඳව දක්වා ඇති අවධානය කැපී පෙනෙනවා.ස්ත්‍රිය කියන්නේ හොඳ කවි නිමිත්තක්ද ?

ඕනෑම පුද්ගලයෙක් ඉස්තරම්ම වර්ගයේ සුවඳ විළවුනක් ගත තවරාගෙන අනුන්ට සුවඳ පෙන්නුවාට මලක් තරම් ලස්සන මලක් තරම් පියකරු සුවඳක් දෙන්න ඒ කිසිම විළවුනකට බෑ. ස්ත්‍රියත් හරියටම සුවඳ ලස්සන මලක්. ලෝකයේ කිසිම ස්වාභාවික නිර්මාණයකට,හැඩතලයකට,රසයකට විඳීමකට දසුනකට සීමා නොවන වචනයෙන් කිව නොහැකි අගයක් ලාලිත්‍යයක් හැඩතලයන් සුන්දරත්වයන් සහිත ස්ත්‍රිය කවියකින් පමණක්  නොවෙයි කිසිම කලා නිර්මාණයකින් ඉවත් කර කතා කිරීම යුක්ති සහගතද?

 

කවිය හෝ කුමන කලා නිර්මාණයක වුවත් මුල මැද අග කිසියම්ම හෝ තැනක ලලනාවක් හෝ ඔවුන් කීප දෙනෙක්  ඉස්මතු වීම් වළක්වන්න පුළුවන්ද?

ලෝකයට උපත දෙන ස්ත්‍රිය විසින්ම මතු කරන විවිධ සමාජීය මානව භූමිකා අප්‍රමාණයි.පුරුෂ කේන්ද්‍රීය සමාජයක ආසියාතික අප මනසින් ජීවත් වුවද මනස විවර කර බලන කල සෑම නිර්මාණයකටම සමාජ ධර්මතාවයකටම ස්ත්‍රිය සෘජුවම බලපෑම් කරනවා. එහෙත් මගේ කවියට වැඩියෙන්ම නිමිති වී ඇත්තේ  ගැහැනු පිරිමි දෙපිරිස  මතුකර තිබෙන සමාජීය ගැටලු මිස ස්ත්‍රිය නොවේ.

 

8) ප්‍රකාශකයකුගෙන් තොරව කර්තෘ ප්‍රකාශන ලෙස කවි පොත් තුනක් මුද්‍රණය කිරීමේදී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද ?

මා සොයා ගිය ප්‍රකාශකයන් මට පැවසූ කරුණු අනුව කවි පොත් තුනක් එකවර නිකුත් කළත් වියදම් කළ මුදලවත් මා අතට යළි නේන බව මට වැටහුණා.ඔවුන් විසින් ඉදිරිපත් කළ කරුණු ඉතාම කපටියි.උපක්‍රමශීලීයි. මන්ද මේ පොත් තුන සඳහා ඉතා විශාල පිරිවැයක් (මගේ හැටියට) දරමින් මා මෙතෙක් ඉතාමත් වැර වීරියෙන් එක්කාසු කරගත් මුදල් නිරපරාදේ නාස්ති කර ගන්න මට වුවමනාවක් තිබුණේ නෑ.කවියෙක් ලෙස  ඉදිරියටත් කවි පොතක් දෙකක් කළ හැකි මට්ටමින් ලාභයකින් තොරව හෝ මා වියදම් කළ මුදලවත් උපයා ගැනීම සඳහා මම ම මගේ පොත්වල ප්‍රකාශකයා බවට පත් වුණා.

 

කවියකු වගේම ඔබ සිතුවම් නිර්මාණකරුවෙක්. ඔබේ කවියට ඔබේ සිතුවමකින් ලැබෙන සහාය මොන වගෙද ?

කවියක් නොලියන බොහෝ වෙලාවල්වල මගේ විවේකය ගත වෙන්නේ මල්පැළ බලාකියා ගැනීමට  හා චිත්‍ර ඇඳීමට.පැන්සල අතට අරන් පළමු ඉරි කෑල්ල සුදු කඩදාසිය මත ඇඳී යද්දී කොහේදෝ සැඟවී තිබුණු සිතුවිල්ලක් ඒ චිත්‍රයේ නිමාව කෙරෙහි ඉබේම බලපෑමක් කරනවා.ඒ විඥානය අනුව මට ලැබෙන සංඥාවලට ගැළපෙන ලෙස ඇඟිලි තුඩු ක්‍රියාත්මක වෙනවා. චිත්‍රයේ එළිය තැන් අඳුරු තැන් එය දකින්නාට එකවර තේරුම් ගැනීමට අපහසු කඵ යුතු තැන් ඒ අනුව නිර්මාණය වනවා.අඳින චිත්‍ර පිළිවෙළට එකතු කර ලියන මේසය මත රඳවා තබනවා.යළි ඒවා පෙරළා බලද්දී ස්වභාවිකව ඇති වන සිතිවිලි කවි ලෙස බිහිවන අවස්ථා බහුලයි. එය හරියට තනුවකට අනුව ගීතයක් ලියනවා වගේ.

 ඒ වගේම තමයි   කවියක් ලියා නිමකර මා ඒවාට චිත්‍ර අඳින වාරද අනන්තයි. මේ නිසා කවියත් සිතුවමත් ගසට පොත්ත වගේ මට සම්බන්ධයි.මේ මාධ්‍ය දෙක තරම් මා කැමති මාධ්‍ය තිබෙනවා නම් ඒ සිනමාව හා ගීතයයි.

 

ඔබ මෙහි ගෙන එන්නේ දීර්ඝ කාලයක සිට ලියූ නිර්මාණ,එම නිර්මාණ  නූතනයට ගළපා ගත්තේ කොහොමද  ?

ඕනෑම නිර්මාණයකට වස්තු වන අනුභූතිය සර්වකාලීන විය යුතුයි .අතීත නිර්මාණ නූතනයට ගෙන ඒමට සිදු වුණේ බොහෝම අඩුවෙන්.වර්තමාන  දේශපාලන හා සමාජීය තත්වය තේරුම් කරන්න අලුතින් ලියන්න සිදුවු  අවස්ථාද තිබුණා.

උපන්දා සිටම මා අත්දුටු සමාජය දකින්නට පෙළඹුණු කාලයේ සිටම මගේ හිතේ කැකෑරුණු දුක,වේදනාව,විමතිය,ප්‍රශ්නාර්ථවලට හෙටත් ස්ථීරසාර විසඳුමක් ලැබේද ?

2024 අගදී  මාතෘභූමිය තුළ ආරම්භ වීමට නියමිත නව දේශපාලනික පාලනයට නතුවන  වසර 5 ගැන වුණත් මට පමණක් නොවෙයි ඕනෑම වර්ගයේ ඕනෑම  නිර්මාණකරුවකු දැඩිව  ඇස පෙවිය යුතු බවයි මගේ හැඟීම. එසේ නැතුව මගේ කවියෙන් සමාජයට කුමන ඵලයක්ද.සමාජ ප්‍රගමනය සඳහා සමාජය විනිවිද දකිමින්  අවැසි වුණොත්  දරදඬු  නිර්දය  විවේචන සහිත තවත් බොහෝ  නිර්මාණ කිරීම  ලිවීම හා ජනගත කිරිම තුළින් ජන මනස පිබිදවීම  මගේ ඉදිරි අරමුණයි.



අදහස් (0)

කවියේ ආත්මය භාෂාව යි

ඔබේ අදහස් එවන්න

තුරුණු මඬල

සාහිත්‍යයෙන් පිරුණු නාට්‍යය පොත් විකුණන්න අමාරු නැහැ
2024 සැප්තැම්බර් මස 10 16 0

එඩ්වඩ් චන්ද්‍රසිරි නාට්‍ය ලෝකයේ අය පළමුව හඳුනාගන්නේ සාර්ථක නාට්‍ය සංවිධායකවරයකු ලෙසය.ආර්.ආර් සමරකෝන්ගේ ’’ජේලර් උන්නැහේ’’ නාට්‍යයේ සිට ලාංකීය වේදි


මගේ පොත් අත්පිටපත් රැසක් සුනාමියෙන් වැනසුණා
2024 සැප්තැම්බර් මස 03 25 0

ලොව ප්‍රකට ඇමෙරිකානූ මනෝ විද්‍යාඥයකු වන මහාචාර්ය බ්‍රයන්.එල් වයිස්ගේ many Lives many masters නැමති කෘතිය අශෝක කුමාරසිරි නොනිමෙන භව ගමන නමින් සිංහලට පරිවර්තනය කර පා


මෙි රටෙි කාටවත් වෘත්තිය ලේඛකයෙක් වෙන්න බැහැ
2024 අගෝස්තු මස 20 95 0

අයෝමා සමරසිංහ ජීවිතේ සමහර අත්දැකීම් සීරූ මාරුවට නිර්මාණ බවට පෙරළා ගන්නට සමත් වූ ලේඛිකාවකි.ඒ බව ඇය මේ වන විට ඉදිරිපත් කර තිබෙන නිර්මාණ සමුච්චය තුළින් ප


එදා ගිහියන්ට වඩා උගත් යතිවරුන් හිටියා - මහගම සීලානන්ද හිමි
2024 අගෝස්තු මස 13 64 0

අතීතයේ සිටම භික්ෂුව සහ සාහිත්‍ය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි.1988 දී ’’සින්දු බින්දු මල්’’ ළමා ගීත සංග්‍රහය එළි දක්වමින් සාහිත්‍යය ක්ෂේත්‍රයට පිවිසෙ


මම සම්මාන බලාගෙන පොත් ලියන්නේ නැහැ
2024 අගෝස්තු මස 06 55 0

රංගන ශිල්පිනියක්, හඬ කැවීම් ශිල්පිනියක්, සහ ලේඛිකාවක් ලෙස මාධ්‍ය ත්‍රිත්වයක ම හැකියාව විහිදුවමින් සිටින කුමුදු කුමාරසිංහ පසුගිය කාලයේ වඩා සමාජ අවධාන


බස මරා පොත් ලියන්න එපා
2024 ජුලි මස 30 73 0

වාසනා බාලසූරිය මෑත පරපුරේ ජනප්‍රිය ලේඛිකාවකි.මේ වන විටත් නවකතා කීපයක්ම පළ කර තිබෙන ඇය ළඟදීම තවත් අලුත් කෘතියක් හරහා පාඨකයා හමුවීමට සූදානම්ය.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site