IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


මගේ පළමු කෙටිකතා පොත උණු කැවුම් වගේ විකුණුනා

 

 

කවිය, කෙටි කතාව, පර්යේෂණය,නාට්‍ය කලාව,ගීතය ආදී සාහිත්‍ය ලෝකයේ ඉසව් රැසක් නියෝජනය කරන කසුන් කාරියවසම් ගමෙන් කොළඹට සංක්‍රමණය වන්නේ සාහිත්‍ය ලෝකයේ රටම දන්නා කියන චරිතයක් වීමේ සිහිනය පෙරදැරිකරගෙනය.ඒ අනුව කොළඹට පැමිණ ටික කලකින් අධිකරණ ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා ගත්තත් ටික කලකින් එයද අතහැර දමන්නේ සාහිත්‍ය ලෝකයේ  යන ගමනට එය බාධාවක් යැයි හැඟුණු නිසාය.අද වන විට වෘත්තීමය ලේඛකයකු ලෙස ගමනක් ආරම්භ කර තිබෙන ඔහු කලා ලෝකයේ සක්‍රීය චරිතයක් ලෙස හඳුනාගැනීම අපහසු නැත.නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළින් ද සාහිත්‍ය පිළිබඳ දැනුම හුවමාරු කරගැනීමට කටයුතු කරමින් සිටින ඔහු මෙවර ලංකාදීප මතු මහල සාහිත්‍ය  අතිරේක⁣යේ "තුරුණු මඬලට" එක් කර ගතිමු.


කසුන් කියන්නේ කෙටි කාලයක් තුළ සාහිත්‍ය ලෝකයේ නමක් දිනා ගත් තරුණයෙක්.මේ ජනපිුයත්වය ඔබට දැනෙන්නේ කොහොමද? 

ඔබ කියන ආකාරයෙන් එය එසේ නම් මම ඒක බොහොම ආදරණීයව පිළිගන්නවා. ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය අතර  විශාල වෙනසක් තියෙනවා. ඒ අතරින් යම් ජනප්‍රියත්වයක් මම ලබා තිබෙනවා නම් එය අයිති මගේ රසික,පාඨක සමාජයට. ඔවුන් මගේ නිර්මාණ පිළිගන්නෙ නැතිනම් මේ කියන නමක් දිනාගැනීම හෝ ජනප්‍රියත්වය හෝ ඒ සියල්ල මට නැහැ. මම බොහෝ විට සිතන කාරණයක් තමයි මොන යම් හෝ නිර්මාණකරුවෙක් තම නිර්මාණ මත තබන බර පිළිබඳව මුලින්ම ඒ නිර්මාණකරු තෘප්තිමත් විය යුතුයි. ඒ වගේම විශ්වාසය තබාගත යුතුයි. 
මගේ නිර්මාණ බාහිර සමාජයට නිරාවරණය කරද්දි මම පරෙස්සම් වෙනවා. මොකද නිර්මාණ හරහා ජන මනස උද්දීපනය කිරීම, බුද්ධි කලම්භනය, සුඛාන්ත හෝ දුඛාන්තම පමණක්ම නොවෙන වෙනත් මානයන් වෙත පාඨක,රසික සමාජය ගමන් කරවීම කලාකරුවකුගේ මුඛ්‍ය වගකීමක්. එවැනි අන්තර්ගතයක් සහිත නිර්මාණ තොග පිටින් නැතත් එකක් හෝ දැනේනනට සාමාජගත කළාට පස්සෙ ඒවා වැළඳගන්න උගත්, බුද්ධිමත් බොහෝ පිරිසක් ඉන්නවා.  ඒ අයගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක ගත්තම මම හිතනව මම අබැටක තරම් හෝ යම් වටිනා දෙයක් සාහිත්‍ය ලෝකයට දීලා ඇති කියලා. ඒ හරහා ඔබ කියන නමක් ඇතිවීම, හෝ ජනප්‍රියත්වය හෝ එවැන්නක් ලැබෙන්න ඇති. මගතොටදී, සමාජ මාධ්‍ය තුළින් සහ වෙනත් තැන්වලදී මට මුණගැහෙන   ආදරණීය මිනිස්සු එක්ක කරන ගනුදෙනුවලදි මට දැනෙනවා මම යම් ප්‍රගතියක්, හෝ එසැවීමක් සිදුවී තියෙන බව. ඒ ගැන මට තියෙන්නෙ නිහතමානී සතුටක්. 

 

*ඔබ පටන් ගන්නේ පර්යේෂණාත්මක කෘතියකින්.ඊට පස්සේ කවියට එනවා.ඊට පස්සේ කෙටි කතාව ස්පර්ශ කරනවා .එක ශානරයකින් තවත් පොත් නොකර වෙනත් මාධ්‍යවලට මාරු වුණේ ඇයි?

මගෙ කලා ජීවිතයට මේ වෙද්දි වසර 18ක්. පාසල් කාලයේ ඉදන්ම මම කවි ලියනවා. හැබැයි මම ලියපු මුල්ම කෘතිය බිහිවෙන්නෙ 2006 වසරේදී. ඇත්තටම ඒක පුංචි පර්යේෂණ කෘතියක්.  එවකට මම රජරට, කලාවැව ප්‍රදේශයේ හිටියෙ. ඒ ඉද්දි නිතර නිතර කලාවැව, බළලු වැව, රැස්වෙහෙර අවුකන වගේ වටිනා තැන් මගෙ ඇස ගැටුණා. එහෙම ඉද්දි තමයි හිතුනෙ අවුකන විහාරය ගැනත්, පිළිම වහන්සේ ගැනත් ලියන්න. ඒක මහ විශාල කෘතියක් නොවෙයි.එහෙත් එහි ඇතුළත් කරුණ හොයන්න මම නිතර කලාවැව ආශ්‍රිතව සැරිසැරුවා. ගැමියන්ගෙන් තොරතුරු ගත්තා.එහෙම අරන් තමයි " අවුකන විහාරය හා සෙල් පිළිමය" කෘතිය ලියැවුණේ. මේ කෘතිය ලියද්දි මගේ හයිය වුණේ  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් ගුරුතුමා. 

අධිකරණ ක්ෂේත්‍රයේ රැකියාවත් එක්ක ඉන් පස්සෙ තරමක නිහැඩියාකින් ගෙවන සමයක් මට තිබුණා. ජීවිතය ඇතුළේ වේදනාබර, රිදුම්දෙන මතකත් පිරුණු කාලයක්.  එයින් පස්සෙ මම කොළඹට  එනවා. කොළඹ ආවෙම මා ළග සිටින  කලාකරුවා ගොඩ ගත යුතුයි කියන දැඩි චේතනාවෙන්. උත්සාහය,ධෛර්යය වගේම වාසනාවත් එක්ක මට ලැබෙනව 2020 දී  මගෙ කුළුඳුල් කවි පොත එළිදක්වන්න. එතැනදි මම සිහිපත් කරනවා ප්‍රවීණ ලේඛක, කිවිවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්. ඔහුගේ ගුරුහරුකම් මැද තමයි මං කවියෙක් විදියට කල එළි බහින්නෙ. 
එයින් පස්සෙ තමයි මම කෙටි කතාවට එන්නෙ. මට අවශ්‍ය වුණා මං තුළ එවැනි හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවද කියන එක හදුනාගන්න. ඒ වෙනුවෙන් නිර්මාණ නොකර අදහසක් ගන්න බැහැ. ඒ නිසාම දන්නා තරමින්  මම මගේ පළවෙනි කෙටිකතා එකතුව ' කෝරළේ රාල නොහොත් කුසුමා"  ලෙසින් පිට කළා.
නුදුරේදී මගේ තවත් කවි පොතකුත්, තරමක් කල් අරගෙන නවකතා පොතකුත් එළිදක්වන්නයි මගේ අදහස.
මම කැමතියි එකම හැඩයකට කොටු නොවුණු නිර්මාණකරුවෙක් වෙන්න. ඒ ගැන මට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනව. ඒ නිසාම මම එකම ශානරයක නොරැඳී වෙනස් වෙනස් මානයන්වල නිර්මාණ කරන්න පෙළඹුණා..

 

ඔබේ පළමු කෙටි කතා පොතේ පළමු මුදුණය දවස් හතෙන් අවසන් වූ බව ඔබ කියනවා.ලංකාවෙි එහෙම පොත් විකිණෙනවද?

ඔව්.මගේ කෘතියේ පළමු මුද්‍රණය ඉතා ශීඝ්‍රයෙන්  අලෙවි වුණා. ඒකට හේතුව විදියට මම දකින්නේ මගෙ වටේ සිටි පාඨක ප්‍රජාව.  ඔවුන්ට ඕනෑ වුණා   මෙතෙක් හදුනාගෙන සිටි කවියාගේ අලුත් හැඩය පිරික්සීමට. පොදුවේ ගත්තම ලංකාවේ කෙටිකතා අලෙවිය වේගවත් නැහැ. එයට එක් හේතුවක් තමයි කෙටි කතා ලිවීම ඉතා පරෙස්සමෙන් කළ යුතු  මාධ්‍යයක් වීම. කෙටිකතාවේ රීති හරි සියුම්. ඒවා ග්‍රහණය කරගැනීම පහසු නැහැ. එයත් හේතුවක්. බොහෝ වෙලාවට සම්මාන ලත්, හොඳ යැයි සම්මතයක් තියෙන කෘති පමණයි වැඩි අලෙවියක් තියෙන්නෙ. ඒ හැර බහුතරයක් කෘති අලෙවි කරගැනීම අපහසුයි. නවකතා, යොවුන් නවකතා, සමාජයේ ජනපිුය කවියන්ගේ කවි පොත් වැනි දේවල් හැර පොත් ප්‍රකාශකවරුන් පවා කෙටි කතා පොත් භාර ගන්න මැලිකමක් දක්වනවා. ඒ නිසාම ලේඛකයන් කෙටි කතා ලිවීමට දක්වන උනන්දුව අඩුයි කියලයි මට හිතෙන්නෙ.

 

*මේ දවස්වල සාහිත්‍ය සම්මාන තරගය එහෙම නැත්නම් සමහරු කියන විදියට සම්මාන පොරය පටන් අරන් තියෙනවා.ඔබ සම්මාන උත්සව සාධනීය දෙයක් විදියටද දකින්නේ නැතිනමි බැහැර කළ යුතු දෙයක් විදියටද?

සම්මාන උත්සව පැවැත්වීම ලියන්නන්ට සාධනීය උත්තේජනයක්. 
එහෙත්  සම්මාන දෙන ආයතනවලට නිසි නියාමනයක් සහ රෙගුලාසි මාලාවක් වගේම රීතීත් තිබිය යුතුයි.හිතෙන හිතෙන කෙනා කුමක් හෝ ලේබලයක් යටතේ පොඩි සම්මාන කඩ අටවාගෙන, කැමති අය විනිශ්චය මණ්ඩලයක් ලෙසින් දාගෙන සම්මාන දෙන්න ගියාම කෘතියට හිමිවිය යුතු නිසි වටිනාකම ලැබෙනවද කියල හිතෙනවා.
සම්මාන පොරය බිහිවෙන්නෙ එතැනින් කියලයි මට හිතෙන්නේ. බොහෝ වෙලාවට අපිට ඇහෙන පෙනෙන දෙයක් තමයි ඒ පොතට වඩා මේක හොදයි නමුත් ඒකට දීලා නැහැ මේක පළිගැනීමක්. කපා හැරීමක් වගේ කතා. මේක ඒ ඒ කල්ලියේ නිසා දීලා. එක්කො සල්ලි දීලා අරගෙන තියෙන්නෙ වගේ කතා. 
අපි මෙතැනදී දෙයක් තේරුම් ගන්න ඕනෑ. ඒ තමයි තරගය යනු තරගයක්. අපි ඒකට නිර්මාණ ඉදිරිපත් කරන්නෙ ජය, පැරදුම දෙකමට ලෑස්ති වෙලා. ඒ සම්මාන දෙන ආයතනවල රෙගුලාසිවලට යටත් වෙලා. විනිශ්චය මණ්ඩලයේ තීරණ පිළිගන්න බැඳිලා. ඒක එහෙම නම් අපිට සිදුවෙනවා ඒ සතුට හෝ දුක භාරගන්න. ඒකට අභියෝග කිරීම සුදුසු දෙයක් නෙවෙයි. මොකද ඒ මතය,හෝ තීරණය විනිශ්චය මණ්ඩලය සතුයි. 

මම පෞද්ගලිකව සම්මාන ගැන දරන මතයක් තියෙනවා. ඒ තමයි ඔය කියන සියලු සම්මානවලට වඩා ජනතාව ඒ කෘතිය හෝ නිර්මාණය කෙරෙහි දක්වන අසීමිත ආදරයක් තියෙනව නම් ඒක තමයි හොඳම සම්මානය. එයින් පස්සෙයි ඔය හැම ලේබලයකම සම්මාන වැදගත් වෙන්නෙ.

 

*කෙටි කතාව ගැන අපි හැමෝම දන්න නිර්වචනය වන්නේ කෙටි කතාව යනු ජීවිතෙන් පෙත්තක් යන්නයි.ඒ නිර්වචනය අද දවසටත් වලංගුද?

කෙටිකතාවේ මහ ගෙදර රුසියාව. රුසියානු ලේඛක  ඇන්ටන් චෙකොෆ්ට අනුව කෙටි කතාව ජීවිතයේ පෙත්තක්. ⁣එහෙම නිර්වචනය කරන්න හේතු කිහිපයක් තියෙනව කියලයි මට හැඟෙන්නෙ.
එකක් තමයි කෙටිකතාවක සිදුවීම් සීමිත ප්‍රමාණයක් ඇතුළත්වීම තුළ  ජීවිතයේ සම්පූර්ණ හරස්කඩක් ගෙන හැර දැක්විය හැකිද යන ගැටලුව.

ඊළග කරුණ එක් චරිතයක් මූලීක කරගෙන චරිතාංගයක් නිරූපණය වෙන විදියට කෙටිකතාව රචනා වීමේ රීතිය තුළ සමස්ත ජීවිතයක්ම ගෙනහැර දැකීමට අපහසුවීම මත පෙත්තක් පමණක් හුවා දැක්වෙන ස්වරූපයක් තිබීම.

තෙවැන්න, ඒකීය ධාරණාවක් සහිත කතාවක් ඇතුළත් කරන්නට වීම තුළ සමස්ත මිනිස් ජීවිතයක් බන්දේසියක තබා කෙටිකතාවකින් විකාශනය කළ නොහැකිවීම.

ඊළග කරුණ අයකුගේ සිතට නැගුණු කිසියම් අවස්ථාවක් පමණක් විවරණය කරන්නට කෙටි කතාව උපයෝගී කරගැනීම.
මේ වගේ හේතු නිසා චෙකොෆ් සහ බහුතරයක් කෙටිකතාකරුවන් ජීවිතයේ පෙත්තක් ලෙස දකින්නට ඇති.  එය අදටත් වලංගුයි. මොකද පෙර කිව්වා වගේ සමස්ත ජීවිතයක්ම කෙටි කතාව තුළ අන්තර් ගත කරන්න ගියොත් ඒක කෙටි කතා ශානරය අභිබවා යන නවකතා හෝ වෙනත් දිගු ලේඛන ශෛලියකට නතු වෙනවා. ඒ තුළ කෙටිකතා ගුණාංග ගිලිහී යා හැකියි.
එහෙත් කාලානුරූපව කෙටිකතාව අලුත් මානයකට ⁣හැරුණොත් එය සුබවාදීව අප පිළිගත යුතුයි. මට සිහිපත් වෙනව සේකරයන්ගේ ' ප්‍රබුද්ධ' කෘතිය. එය කාව්‍ය හැඩය අතික්‍රමණය කළ ගද්‍ය හැඩය ගත්තක්. එවැනි වෙනසක් වුවක් කෙටිකතාවෙන් අනාගතයේ මතුවෙන්නට බැරි නැහැ.

 

*පොත් ලියනවා වගේම පොත් මාකටිං කර ගන්නත් සමාජ මාධ්‍ය හරහා ලොකු ට්‍රයි එකක් ඔබ දෙනවා අපි දකිනවා.ලේඛකයම එහෙම පොත් විකුණන්න ඕනද?

අපි ⁣අපේ නිර්මාණ ජනගත කළාට පස්සෙ  එතැනින් අපේ කාර්යය නිමාවෙන්නෙ  නැහැ. 
විශේෂයෙන් කර්තෘ ප්‍රකාශනකරුවන්. 
ලේඛකයාගේ මුඛ්‍ය කාරණය ලිවීම. ඒක අවිවාදාත්මකයි. එහෙත් තමන් ලියූ කෘතිය පාඨකයන් අතරට ගෙනියන්න ලේඛකයාට වගකීමක් තියෙනවා. ඒක ලේඛකයා විසින් පොත් විකිණීමම නෙවෙයි.

ලංකාවේ දැන් තියෙන තරගකාරී රටාවත් එක්ක අඩුම තරමේ පොතේ මුද්‍රණ පිරිවැයවත් සපුරාගන්න ඕනෑ. අන්න එතැනදි කර්තෘ ප්‍රකාශකයන් අසීරුතාවට පත්වෙනවා. ඔවුන් විසින්ම කෘති ජනගත කිරීම කළ යුතු නිසා.  ඒ වගේම ඉස්සර වගේ දැන් පොත්හල්වට ගිහින් පොත් ගන්න පාඨකයෝ අඩුයි. එක්කො Ebook කියවනවා. නැතිනම් online order කරවා ගන්නවා. එහෙම නම් ඒ ගැන පාඨකයා දැනුවත් වෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපිට සමීපතම මාධ්‍ය සමාජ මාධ්‍ය මම භාවිත කරනවා. එතැන තියෙන්නෙ අලෙවියම නෙවෙයි. පොත ජනගත කිරීමට හදුන්වාදීමක්. එහෙත් ලේඛකයකුට හැකිනම් පොත් විකිණීම කරන්න. ඔහු හෝ ඇය ලියන්නකුට එහා ගිය අයකු වෙනවා.

 

*ඔබ කරපු පොත් වලින් දෙකක්ම කර්තෘ ප්‍රකාශන ලෙස ඉදිරිපත් කළ පොත්.ලංකාවෙි ප්‍රකාශකයා ගැන ඔබට විශ්වාසයක් නැද්ද ?

  මගේ මුල්ම කෘතිය  2006  වසරේ පළකළේ. මම ඒ කෘතිය රචනා කරද්දි කිසිදු අවබෝධයක් තිබුණේ නැහැ  ප්‍රකාශන ආයතන සම්බන්ධව. මම හිතුවෙ පොතක් ලිව්වම, මමම සල්ලි දීලා මුද්‍රණය කරාම හරියි කියල. එකේ අලෙවි න්‍යාය ගැන අරමුණක් හෝ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. 
දෙවැන්න කරද්දි මම පරිස්සම් වුණා  ප්‍රකාශන ආයතනයක් හරහා යන්න.
ඒ හරහා පොත් බෙදාහැරීම, online අලෙවිය, අතිරේක මාධ්‍ය දැන්වීම්කරණයට පොත ලක්වීම වගේ දේවල් මහන්සියකින් තොරව සිදුවුණා.

මගේ තෙවැනි පොත මම ප්‍රකාශයට පත්කළේ මගේම ප්‍රකාශන ආයතනයක් හරහා. ප්‍රකාශන හැඩය ගැනත් අත්දැකීමක් ලබන ගමන්. මගේ ප්‍රකාශන ආයතනය 
" රුහාරා Publications"  විදියට මම ආරම්භ කරලයි තියෙන්නෙ. ලංකාවේ ප්‍රකාශන ආයතන ගැන විශ්වාසයක් නැතිනම් කිසිසේත් මම මගේ හෝ ආයතනයක් හරහා කෘති ප්‍රකාශය⁣ට පත් කරන්නේ නැහැ. මම ඉදිරියේදී ලියන කෘති අනිවාර්යයෙන් මගේ හෝ වෙනත් ප්‍රකාශන ආයතනයන්වලින් සිදු කරනවා. ඒ කරන මෙහෙවර කර්තෘ ප්‍රකාශකයෙක්ට කරන්න අපහසුයි. පොත් ප්‍රකාශකයන් ගැන ඇතැම් ලේඛකයන්ගේ තියෙන හැගීම යහපත් නැහැ.එහෙත් ප්‍රකාශකයෙක් පුංචි ලාභයක් වෙනුවෙන් කරන කැපකිරීම මුදලේ සිට දෝෂාරෝපණය දක්වා විශාල පරාසයකට විහිදෙනවා. මට ලංකාවේ පොත් ප්‍රකාශකයන් පොත් භාරගෙන ප්‍රකාශයට පත් කිරීම ගැන විශ්වාසයක් තියෙනවා. පොත්  ප්‍රකාශනයට භාරගැනීම ප්‍රතික්ෂේපවීමේදී ඒ වෙනුවෙන්  වර්ග කරන ඇතැම් මිණුම්දඬු ගැන  නම් පැහැදීමක් නැහැ.

 

*ඔබේ කෙටිකතා එකදිගට කියවාගෙන යා හැකි අඛ්‍යානයක් පෙන්නුම් කරනවා.ඔබේ කෙටිකතාවට ලංකාව ඇතුළේ ආභාසය ලැබුණු නිර්මාණකරුවෝ ඉන්නවද?

 රුසියානු කෙටිකතා පරිවර්තන කියැවීම කාලයක් මගේ පුරුද්දක්ව තිබුණා. ලියෝ තෝල්ස්තෝයිගේ කෘති.
 නිකොලොයි ගොගොල්ගෙ " හිම කබාය" 
ඇලෙක්සැන්ඩර් පුෂ්කින් වැනි ලේඛකයන්ගේ කෘති සිහිපත් වෙනව.

ලංකාව තුළ  ගුණදාස අමරසේකරයන්, 
( විල් තෙර මරණය, කතා පහක්, රතු රෝසමල,ජීවන සුවද) මාර්ටින් වික්‍රමසිංහ,ජී.බී සේනානායක,පියසීලී විජේමාන්න... ජයතිලක කම්මැල්ලවීර වැනි අයගේ කෘති මගේ නිර්මාණවලට පෝෂණය සැපයුවා. 
ඒ වගේම , නීතිඥ කපිල ගාමිණී ජයසිංහයන්ගේ, ආචාර්ය මහින්ද රත්නායකයන්ගේ, මහාචාර්ය ලියනගේ අමරකීර්ති වැනි ජ්‍යෙෂ්ඨයන්ගේ කෘතිත් මගේ ලිවීම්වලට හුස්ම සැපයූ බව නම් නිසැකයි.

 

*ඔබට සමීප තවත් මාධ්‍යයක් වන්නේ ගීතයයි.මං හිතන්නේ ඔබ ගීත විශාල පුමාණයක් නිර්මාණය කර තිබෙනවා.රචකයාටම මුදල් වියදම් කරලා ගීත කිරීම ගැන මොකද හින්නේ.?

 ගොඩක් අය මට කියන දෙයක් තමයි මගෙ කවි කලාවෙදි මගේ වැඩි නැඹුරුවක් පේන්නේ ගේය කාව්‍ය දිහාවට කියන එක.
ඒකට හේතුව විදියට මම දකින්නේ 
 මට හීනයක් තිබුණා කවදාහරි ලංකාවේ ජනප්‍රිය තලයේ නිර්මාණකරුවන් එක්ක නිර්මාණයක් කරනවා කියල. 
අද වෙද්දි මගෙ ඒ හීන සාක්ෂාත් වෙලා පුංචි ගමනක් යමින් ඉන්නව.
මෙතැනදි මම සිහිපත් කරනවා ප්‍රවීණ ගී පද රචක,  ජ්‍යෙෂ්ඨ කිවිවර ආචාර්ය රත්න  ශ්‍රී වි⁣ජේසිංහයන්ව.2007 මම ගියූ පද ගොන්නක් එතුමන්ට යොමු කරනව.එතැනදි එතුමන්ගෙන් ලැබුණු හයිය නොවෙන්න මම ආයෙ ගී පද නොලියන්න තිබුණා.
එතුමන්ගෙ තියෙන්නේ හරි පුදුමාකාර ආශිර්වාදයක්. 

මේ වෙද්දි ගීත කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනව.  වියලුවේ, ආල ට්‍රැක්ටර්, ජීවිතේ ගිරිකුළක්,වගේ ගීත ඒ අතර යම් මට්ටමකට ජනප්‍රිය  වෙලා තියෙනවා කියල දැනෙනවා.
තවත් නුදුරේදීම ගීත හතරක් හෝ පහක් විතර ජනගත වෙන්නත් නියමිතයි. මට වාසනාව ලැබුණා ආචාර්ය රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ , දර්ශන වික්‍රමතුංග ,
අනුරාධ අබේසිංහ, දීපති ජයසූරිය වැනි සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා නවකයන් සමගත්  කටයුතු කරන්න.

  ඇත්තටම ගී පද රචකයෙක් විදියට මමත් මුදල් වියදම් කරලා නිර්මාණ කරල තියෙනවා. මම හිතන්නෙ ඒක මම තුළ තියෙන නිර්මාණගාය කියලා. ලංකාවේ බොහෝ කලා ක්ෂේත්‍රයන්වල නිහඬව පාඩු ලබන, එහෙත් ආත්ම තෘප්තිය පිණිසම නැවතත් ඒ වලේම ආසාවෙන් වැටෙන පිරිසක් ඉන්නවා. 
⁣මම අයිති වෙන්නෙත් ඒ ගොඩට. මොකද බුද්ධිය වෙහෙසවලා පද රචනයක් ලිව්වට ඒක ඉබෙි  ගීතයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍යතාව තියෙන්නෙ මට නම් මට සිදුවෙනව මුදල් වියදම් කරලා සංගීතවේදියෙක්ගෙන් වැඩ ගන්න. ගායකයෙක්ට ඇතැම්විට ගෙවන්න. මොකද ඒක මගෙ අවශ්‍යතාවට කෙරුණු නිසා. එහෙත් මෙතැනදී ඇතිවෙන සදාචාරාත්මක ගැටලුව තමයි ගී පද රචකයාට ඉන් පස්සෙ ලැබෙන්නෙ මොනවද කියන එක. ආත්ම තෘප්තිය  විතරයි ලැබෙන්නේ. එයින් සැනසිලා ඉන්න වෙනව නේද කියල අවුල තියෙනවා. මෙතැනදි සංගීතවේදියාටත්, ගායකයාට හෝ ගායිකාවටත් යම් වගකීමක් තියෙනව ඒ ගීතය වෙනුවෙන් යමක් කරන්න. බොහෝ විට ඒක වෙන්නෙ හරි අඩුවෙන්. 
මුදල මතම පදනම් වෙලා නිර්මාණය කරලා එතැනින් අතහැරලා දානව.
 හැබැයි යම් විදියකින් ඒ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණොත්  පියවරු ඕනෑ තරම් සිටිනවා. මොකද එතනත් මුදල මූලිකවීමයි හේතුව. හැබැයි අර මුලින් වියදම් කරපු, මිල කළ නොහැකි පද රචනය ලියා දීපු පුද්ගලයා මගෑරෙනවා. අඩුම තරමින් ජන මාධ්‍යයකදීවත් රචකයාගෙ නම කියවෙන්නෙ නැති තරම්.

නූතනයේ ගත්තම ගීයකට හවුල් වෙන තිදෙනා සම දායකත්වය දක්වමින් බිහිවෙන ගීත හරි අඩුයි. ඒක හරි ඛේදවාචකයක්.
විශේෂයෙන්ම ගීතයක් සමාජගත කරන්න මූලිකම වගකීම කියෙන්නෙ ගායකයා හෝ ගායිකාවට. එහෙත් ඒක නූතනයේදී සිදු වෙන්නෙම නැති තරම්.
මේ සියල්ලට හේතුව මුදල. තමන්ගේ ගීත ඕනෑ තරම් තියෙද්දි ඒවා ජනගත නොකර, අනුන්ගේ ගීතවලට ලක්ෂ ගණනින් අය කරන ලංකාවේ නූතන ගායක ගායිකාවන් කොතෙක් ඉන්නවද
එක පැත්තකින් ඒ ගීතවල  මුල් අයිතිකරුවන්ට ලොකු අසාධාරණයක් වෙනව.
අනික් පැත්තෙන් ඒ පුද්ගලයා එක්ක නව නිර්මාණ කරපු කොටස්කරුවන් අධෛර්යයට පත් වෙනවා.
මේවා වෙනස් විය යුතු තැන්. පද රචනාවක් කිරීම සරල දෙයක් විදියට ගොඩක් අය දකිනවා. අවරගණයේ නිර්මාණ බිහිවෙන්න වෙන්න එහෙම දැනීම අරුමයක් නෙවෙයි.
එහෙත් ගී පද රචනය කියන්නෙ ඔය කියන මොනවා හෝ වචන ඇමිණීමම නෙවෙයි. 

මුදල් විදයම් කරලා ඉදිරියටත් ගීත කරනවාද කියන තැන ගැන මට නිශ්චිත පිළිතුරක් දෙන්න අමාරුයි. එහෙත් ගීතයකට සාධනීයව සම්මාදම් වෙන්න බැරි හවුල්කරුවන් එක්ක නිර්මාණ කරන එක නම් නවත්වන්න අදහස් කරනවා.

 

*ඔබ කොළඹ සාහිත්‍ය සමාජයේ සැරිසරලා එක පාරටම කොළඔ අතහැර නුවර යනවා.කොහොමද නුවරට සාහිත්‍ය උණුසුම මේ මොහොතේ දැනෙන්නේ?

 ඇත්තටම මම නුවර ඉඳලා කොළඹ ආව කෙනෙක්. කොළඹ ජීවිතයට මම හරි ආසයි. මගෙ අරමුණුවලට යන්න හරි පහසුයි. ඒත් ජීවිතයේ යම් යම් කඩඉම් එක්ක කොළඹ ජීවත් වෙන්න බැරි පරිසරයක් පහුගිය කාලයේ නිර්මාණය වුණා. ලංකාවේ මේ කාලකණ්ණි දේශපාලන ව්‍යුහය ඇතුළේ යහමින් හුස්ම ගන්න පුළුවන් හොරුන්ට, ජාවාරම්කාරයන්ට, බොරුකාරයන්ට සහ ඉහළ පැලැන්තියේ අයට විතරයි. මේ අපි පුංචි හැමෝම තැළිල මිරිකිල ඉන්නෙ. ඒත් ඒක කියන්නවත් කටක් ඇරගන්න බෑ. දුක කියන්න, අහන්න කෙනෙක් නෑ. ඇත්ත ඒකයි.  ඉතින් මමත් කෙටි විරාමයක් අරගෙන එකපාරම නුවරට ආයෙම ගියා. හැබැයි මම කොළඹ කිසිසේත් අතහැරියෙ නෑ.
මොකද මම අදටත් මායාදැල සහ අපි ඔක්කොම අළුපාටයි වේදිකා නාට්‍ය දෙකේ රංගනයන්ට සහ වේදිකා පරිපාලන කටයුතුත් එක්ක නිතරම කොළඹ පරිසරයේ ඉන්නවා. ඒ වගේම සාහිත්‍ය ක්ෂේත්‍රයේදි සාහිත්‍ය කතිකාවත්, දේශන වගේ කටයුතුත් එක්කත්, විවිධ ජනමාධ්‍යයන් එක්කත් නිතරම කොළඹ ඉන්නව.

නුවර සාහිත්‍ය උණුසුම ගැන පුංචි වේදනාවක් මට තියෙනවා. කොළඹින් බැහැර හැම තැනකදීම වගේ සාහිත්‍ය උණුසුමින් යම් තරමක් පසුගාමියි. නුවරත් එහෙමම තමයි. මම මේ වෙද්දිත් ආපහු ස්ථිරවම කොළඹ රැඳෙන්න සූදානමින් ඉන්නෙ. පාරිසරික සුන්දරත්වය, පැත්තෙන් නුවර ඉතාම හොද වුණත් නිර්මාණ කාර්යයන්වලදි අවශ්‍ය පහසුකම්, මානව සම්පත සොයාගැනීම, නුවරදි ටිකක් වෙහෙසකරයි. ඒ නිසාම නිර්මාණ ජවය නැතිවෙන්න ඉඩ තියෙනවා.

එහෙම බැලුවාම නුවර සාහිත්‍ය සමාජයේ ප්‍රවණතාව කෙසේ වෙතත්,  නිර්මාණකරණයේ ප්‍රවණතාවක් ලබා ගන්න තරමක් අපහසුයි. ඒ සාහිත්‍ය උණුසුම මට වැඩිපුර දැනෙන්නෙ කොළඹදි කියල මම හිතනවා.



අදහස් (1)

මගේ පළමු කෙටිකතා පොත උණු කැවුම් වගේ විකුණුනා

[email protected] Tuesday, 02 July 2024 12:42 PM

සුබපැතුම් ඔබට!

:       0       0

ඔබේ අදහස් එවන්න

තුරුණු මඬල

සාහිත්‍යයෙන් පිරුණු නාට්‍යය පොත් විකුණන්න අමාරු නැහැ
2024 සැප්තැම්බර් මස 10 16 0

එඩ්වඩ් චන්ද්‍රසිරි නාට්‍ය ලෝකයේ අය පළමුව හඳුනාගන්නේ සාර්ථක නාට්‍ය සංවිධායකවරයකු ලෙසය.ආර්.ආර් සමරකෝන්ගේ ’’ජේලර් උන්නැහේ’’ නාට්‍යයේ සිට ලාංකීය වේදි


මගේ පොත් අත්පිටපත් රැසක් සුනාමියෙන් වැනසුණා
2024 සැප්තැම්බර් මස 03 25 0

ලොව ප්‍රකට ඇමෙරිකානූ මනෝ විද්‍යාඥයකු වන මහාචාර්ය බ්‍රයන්.එල් වයිස්ගේ many Lives many masters නැමති කෘතිය අශෝක කුමාරසිරි නොනිමෙන භව ගමන නමින් සිංහලට පරිවර්තනය කර පා


මෙි රටෙි කාටවත් වෘත්තිය ලේඛකයෙක් වෙන්න බැහැ
2024 අගෝස්තු මස 20 95 0

අයෝමා සමරසිංහ ජීවිතේ සමහර අත්දැකීම් සීරූ මාරුවට නිර්මාණ බවට පෙරළා ගන්නට සමත් වූ ලේඛිකාවකි.ඒ බව ඇය මේ වන විට ඉදිරිපත් කර තිබෙන නිර්මාණ සමුච්චය තුළින් ප


එදා ගිහියන්ට වඩා උගත් යතිවරුන් හිටියා - මහගම සීලානන්ද හිමි
2024 අගෝස්තු මස 13 64 0

අතීතයේ සිටම භික්ෂුව සහ සාහිත්‍ය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි.1988 දී ’’සින්දු බින්දු මල්’’ ළමා ගීත සංග්‍රහය එළි දක්වමින් සාහිත්‍යය ක්ෂේත්‍රයට පිවිසෙ


මම සම්මාන බලාගෙන පොත් ලියන්නේ නැහැ
2024 අගෝස්තු මස 06 55 0

රංගන ශිල්පිනියක්, හඬ කැවීම් ශිල්පිනියක්, සහ ලේඛිකාවක් ලෙස මාධ්‍ය ත්‍රිත්වයක ම හැකියාව විහිදුවමින් සිටින කුමුදු කුමාරසිංහ පසුගිය කාලයේ වඩා සමාජ අවධාන


බස මරා පොත් ලියන්න එපා
2024 ජුලි මස 30 73 0

වාසනා බාලසූරිය මෑත පරපුරේ ජනප්‍රිය ලේඛිකාවකි.මේ වන විටත් නවකතා කීපයක්ම පළ කර තිබෙන ඇය ළඟදීම තවත් අලුත් කෘතියක් හරහා පාඨකයා හමුවීමට සූදානම්ය.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site