ජීවන පහන් තිළිණ තරුණ පරම්පරාවේ නවකතාකරුවෙකි.ඔහු මේ වන විට විවිධ කෘති කීපයක් පළ කළත් ඔහුගේ වැඩි නැඹුරුතාව තිබෙන්නේ නවකතාවට බව නවකතා තුනක් එළිදක්වා අපට පෙන්වා දී ඇත.පත්තරකාරයකු ලෙස සිය වෘත්තිය ගමන අරඹන ජීවන අද ගුරුවරයකු සේම සාහිත්‍යකරුවකු ලෙසද සිය භූමිකා ඉටු කරමින් සිටින මොහොතේ ලංකාදීප මතුමහල සාහිත්‍ය සංවාදය සදහා ඔහු කැඳවා ගතිමු.
* ජිවන පහන් තිළිණ කියන පත්තරකාරයා ගැන කියලා ඔබේ සාහිත්‍ය භූමිකාවට ඊළගට එමු.
මම ඇත්තටම පත්තරකාරයෙක්. මම මගේ වෘත්තිය ජිවිතේ පටන් ගන්නෙම පත්තර කාරයෙක් විදියට. ඒ මව්බිම පත්තරයෙන්. අදත් මම පත්තරකාරයෙක්. මම හිතන්නෙ මට ලැබුණ හැම දේම ලැබුණෙ පත්තර නිසා. මගේ තාත්තා මා ලොකු මහත් කළේ පත්තර රස්සාවෙන් හම්බ කරපු දේ නිසා. ලංකාදීප පත්තරේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් විදියටයි එයා පටන් ගත්තෙ. අදත් එයා පත්තරකාරයෙක්. අපිට පත්තරකාරයන් නිසා ලැබෙන ඇසුර වැඩියි. රට පුරාම ඇවිදින්න ලැබෙන ප්‍රමාණය වැඩියි. අත්දැකීම් ප්‍රමාණයත් වැඩියි.සාහිත්‍යකාරයෙක් හැදෙන්න අවශ්‍ය නිසි පෝෂණය පත්තර රස්සාව නිසා ලැබෙනවා.තුෂාර ගුණරත්න , උපුල් ජෝෂප් ප්‍රනාන්දු වගේ සුන්දර ප්‍රධානීන් යටතේ මම හැදුණේ. තුෂාර ගුණරත්න කියන්නෙ අංකුර කාලේ මා නොතළා හදපු කෙනා. අනූ එදිරිසිංහ තමයි අතින් අල්ලගෙන ලෝකෙට එක්ක ගිහිල්ලා, පාර පෙන්නුවෙ. තිස්ස කොරතොට, අනුර බණ්ඩාර රාජගුරු , උදේනි සමන් කුමාර, හිමේෂා රාජපක්ෂ , සජිත් රෝහිත , සංජක ප්‍රසාද් දොළොවත්ත වගේ නිර්ලෝභී මිනිස්සු අප පෝෂණය කළා. පස්සෙ චාමින්ද වාරියගොඩ ,රමේෂ් වරෙල්ලගම , ගයාන් කුමාර වීරසිංහ
වගේ අය මුණගැහුණා. දිලංක ගුණතිලක , චන්දන පොන්නම්පෙරුම, ඉඳුනිල් සින්දු ,සුභාෂිණී ගුණරත්න ,වාසනා සුරංගිකා විතානගේ , ශාලික විමලසේන , නදීෂ නිර්මාණ හේරත් ,තිළිණ කෞෂල්‍යා ,චාමිකා මුණසිංහ වගේ සහෝදර සහෝදරියෝ විවිධ විදියට මාව පෝෂණය කළා:
ක්ෂිතිජ මධුෂාන් කියන්නෙ අදත් මගේ ඕනැම දේකට සහාය වෙන කෙනෙක්. මගේ එක පොතක කවරයට අවශ්‍ය උදව් කළේ එයා. අනිත් කෙනා ඉන්දික රාමනායක. මේ දෙන්නම පත්තර කන්තෝරුවෙ දි මුණගැහුණෙ.
තව හිටියා අංචි අදින , බාල්දි පෙරළන , කේළම් කියන පෞද්ගලික දේවල්වලට පවා ඇඟිලි ගහපු අය. එයාලටත් හුඟාක් ස්තූතියි .
*ඔබ මාධ්‍ය පරිසරයක හැදී වැඩෙන කෙනෙක්.පුංචි කාලේ පොත පත කියවීමට ඒ ආභාසය බලපෑවද?
අනිවාර්යයෙන් ඔව්. කියවන එක පිස්සුවක් වෙලා තිබ්බා මට. මම බොඳ මීදුම්
කියෙව්වෙ අටේ පන්තියේ දී. ගෙදර ලයිට් වත් නොතිබ්බ කාලේ සමහර පොත් කියෙව්වෙ ලයිට් කණු යට හිටගෙන.
*ඔබ ලියන මුල්ම නවකතාව ගිජුළිහිණි.ඉන් පස්සේ වර්ජින්.අලුත්ම නවකතාව රටඹෑකන්ද. මේ හරහා තේමාත්මකව සමාජ කණ්ඩායම් තුනක් ඔබ ස්පර්ශ කරන්න උත්සාහ දරනවා.ඒ ගැන කතා කරමු.
මේ තුනම ස්ත්‍රීවාදී නවකතා. ගිජුළිහිණි එක්ක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියන මාතෘකාව ගැනත් , වර්ජින්වලින් කන්‍යාභාවය ගැනත් , රටඹෑකන්ද හරහා නිරුවත් පින්තූරයක කතාවත් කියනවා. හැබැයි මේ ගැන සමාජයෙ තියෙන කතිකාව හරි වෙනස්. බහුතරය කාන්තාවෝ ඉන්න රටක කාන්තාව වෙනුවෙන් ලියපු නවකතා සහ මේ සමාජ ප්‍රශ්න ගැන කතා කරන්නෙ හැංගි හොරා. සම්මාන වේදිකාවල එහෙම මේ ගැන කතා කරන්නෙ බයෙන්. අම්මෝ ඕවා ගැන පොත් ලියන්න හොඳ ද කියලා හුඟ දෙනෙක් හිතන්නෙ.
*ඔබ ලියපු පොත්වලින් බහුතරයක් නවකතා.නවකතාවට ඔය තරම් කැමති ඇයි?
නවකතාවලට විශේෂ කැමත්තක් අකමැත්තක් නැහැ.ලංකාවෙ විකුණන්න ලේසි නවකතා. ඒක හරියට රොටී එක්ක ඌරුමස් වගේ.පට්ට කොමන්. ඊළඟට මම වැඩියෙන් ලියන්නෙ පර්යේෂණ පොත් සහ විෂය පොත් වේවි. නවකතාත් ලියනවා. කොහොමත් වැල්ලෙ ඉපදුන එකා මූදෙ යනවා වගේ, මම ලියනවා.
*ලංකාවේ නවකතා කලාවේ පිරීහීමක් ඇතැයි සමහරු කියනවා.සම්මාන ලබන කෘති පවා කියැවීමට අපහසු යැයි කියනවා.මේ අදහස ගැන අදහසක් තියෙනවද?
ඔව් , ඒක සහතික ඇත්ත.ලංකාවෙ සාහිත්‍ය පිරිහෙන්න එක හේතුවක් ඕක. මිනිස්සුන්ට කියවන එක එපා කෙරෙන්නෙ සම්මාන ලබන පොත්. සමහර සම්මානලාහී පොත් කියනවට වඩා ලේසියි අන්නාසි ගාලක සරම උස්සගෙන දුවනවා.
ඒ තරම්ම්
කර්කෂයි භාෂාව. නොතේරෙන වචන ටිකක් ලියලා, මොකක් හරි එකක් ගැන ලියලා, නම ගිය ප්‍රකාශකයෙක්ගෙන් පොතක් කළාම , වාරෙං වාරෙය සම්මාන දෙනවා. මේ පාර මට , ඊළඟ පාර එයාට කියලා. එයාල බෙදාගෙන කනවා. ඒ නිසා රණ්ඩු වෙන්නෙ නෑ.හැබැයි සමහර පිරියක් තියෙන පොත් නැත්තෙත් නෑ.කැලුම්
වැලිගමගේ පොත් හෝ ගාලා විකිණෙනවා.මොහාන් රාජ් මඩවලට කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ සිහින කුමාරයා.ඒත් ප්‍රධාන සම්මාන එයාට ලැබිලා නෑ.සෞම්‍ය සඳරුවන්ගේ ලෝටස් වගේ පොත් මම හිතුවා නිර්දේශ වෙයි කියලා.අපි සම්මාන දෙන්නෙ පෝය කතාවලට. උපදේශාත්මක සන්දේශ ජනයම නෙමෙයි නවකතාවලින් වෙන්න ඕනෙ. විනෝදාස්වාදය සඳහා කියවීම කියන්නෙ වෙනම එකක්.
*නවකතා කලාව සම්භාව්‍ය හා ජනප්‍රිය ලෙස බෙදා වෙන් කිරීම ගැන මොකද හිතන්නේ?
ඒක මහ ගොං වැඩක්. මට කිව්වොත් මම ආසවෙන් කියවපු පොත නම් කරන්න කියලා, ඒ තමයි බොඳ මීදුම්. යෞවන සමීන්ද්‍රගේ පොතක් කියවලා බලන්න. ඒ ලිවිල්ල
පිස්සුවක්.සන්නස්ගල සර් පරම්පරාවකට කියවීම උගන්නපු කෙනා.චන්දි කොඩිකාරගේ පොත් කියවලා බලන්න. නර්මදා රංගොඩගේ වගේ අය අයිති කොයි කුලකයට ද? මට ඒක තේරෙන්නෙ නැහැ. මම මොන ජාතියේ ද? මම සම්භාව්‍ය ගණයේ කෙනෙක් ද? නැද්ද? අපේ රටේ තරම් බෙදිල්ලක් ලෝකෙ කොහෙවත් නැහැ. ජාති වශයෙන් ආගම් වශයෙන් කුල වශයෙන් ගම් නගර දිස්ත්‍රික්ක ඉස්කෝල හැම විදියකටම බෙදිලා , අන්තිම ට නවකතාවත් බෙදලා.
*රටඹෑකන්ද ගැහැනියකගේ කතාවක කොටසක් කියලා ඔබ කියනවා. ඇයි නවකතාකරුවන් ගැහැනියම තේමාකර ගන්න මේ තරම් කැමති?
අනිත් අය ගැන මම දන්නෙ නැහැ. අනිත් අය එහෙමත් නැහැ මං හිතන්නේ. සිටුවර පුවත , දයාබර නෝටි වගේ පොත්වල පිරිමි තේමා වෙනවා මට මතක හැටියට .එහෙම එකක් නැහැ. කොහොමත් ලෝකෙ ඉන්නෙ එක්කො ගෑනූ එක්කො පිරිමිනෙ. ඉතිං මම ගෑනූ ගැන ලියනවා. ඉස්සරහට මම පිරිමි ගැන ලියයි. සීගිරියෙත් පන්සිය ගාණක් ගෑනූ රූප ඇඳලා තියෙන්නෙ.
*පරිවර්තන නවකතාවලට ඔබෙි තියෙන කැමැත්ත කොහොමද?ඒ ආභාසය ලේඛකයකුට මොන තරමි වැදගත් වෙනවද?
පරිවර්තනය නිවැරැදි නැත්නම් ඒක භයානකයි. ඔබේ ප්‍රශ්නය විදෙස් නවකතා ගැන නම් , ඇත්තටම අන්‍ය භාෂා ලේඛකයෙක්ගේ මුල් කෘති කියවන එකයි හොඳම දේ.මොක ද ලියන කෙනෙක්ට කියවීම අත්‍යවශ්‍යයි . හොඳ පොත් ටිකක් කියවීම ලියන්නකුට උත්තේජනයක්.
*ඔබ අලුත් පරම්පරාවට දැනුම බෙදන කෙනෙක්.ගුරුවරයෙක් විදියට අලුත් පරම්පරාවේ කියවීමේ රුචිය දැනෙන්නේ කොහොමද?
මගේ පන්තිවල ඉන්නවා මට වඩා හොඳට ලියන අය.
පවනි වාසනා මගේ පන්තියේ හිටියෙ. එයාගේ පොත "කල්පයක් දිග සිහිනයක්" .ඒක හරිම විශාල පාඨක ආකර්ෂණයක් සහිත පොතක්.
ළමයි කියවනවා. ලියනවා.මම හුඟාක් තරුණ තරුණියන් ඇසුරු කරන කෙනෙක්. හැබැයි තවදුරටත් ජාතක කතා පොත ආභාසයෙන් ලියලා හරි යන්නෙ නෑ. ළමයි ඉන්නෙ නෙට්ෆිලික්ස් බලන ගමන්.ඒ නිසා මොඩ්න් ලිවීම් අවශ්‍යයි. මුහුණු පොතේ තියෙන සමහර නවකතා එක දවසකට නැරඹුම් වාර 5000 ඉක්මවනවා. සමහරු දවසට වචන 2000 ගානෙ ලියනවා හැමදාම.
*නවකතාවට,වාර්තා සටහන් කලාවට,තීරූ ලිපියට යොමු වුණා.තවත් අත්හදා බලන්න කැමති සාහිත්‍ය ශානර තියෙනවද?
ඔව් මම හිතන්නෙ මම කෙටිකතා , කවි වගේම විෂය පොත් ටිකක් ශාස්ත්‍රීය පර්යේෂණය ටිකක් එහෙමත් කරයි. ඔය මොනවා කළත් මම ඔරිජිනල් පත්තරකාරයාම තමයි.
වෘත්තියමය පුවත්පත් කලාවට සමුදුන්නත් කලාව තවමත් ඇගේ තියෙන වග ඔහුගේ නිර්මාණවලින් අපට වටහා ගත හැකිය.
වර්තමානයේ සිනදුවක් දෙකක් ලියා එය ලක්ෂ ගණන්වලට අලෙව් කරනවා යැයි කියන නිර්මාණකරුවෝ අපට හමුවෙති.එසේම දශක ගණනක් පුරා සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා කටයුතු
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි. මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදා
සචී සේනානායක මවක්, බිරිඳක්, ලෙස යුතුකම් ඉටුකරමින් සිටියත් කුඩා කාලයේ පටන් සිහින දුටුවේ ලේඛිකාවක් ලෙස තමාගේම කෘතියක් පොත් සාප්පුවක රාක්කයක් මත තිබෙනු
කියැවීම ජීවිතය කරගත්තෝ පසුකාලීනව නිරායාසයෙන් ම ලිවීමට පෙලඹෙන්නෝය. දිශනී වීරරත්නද මුල් කාලයේ කියැවීමට තිබු ආසාවේ ප්‍රතිඵලයක් ලෙස පොත් කතුවරියක් බව
දරුවන් වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන්න මං හරි කැමතියි. මගේ පුංචි කාලේ මම ලබපු, විඳපු අත්දැකීම් රස මතක සාගරයක්.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සම්මාන බලාගෙන පොත් ලියන්නේ පිස්සෝ