නිස්සරණ අහසක් 'තරුණ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. මීට පෙර 'මකර දේශයේ සිට' නමින් චීනය සම්බන්ධ සංචාරක කෘතියක් පළ කළ උපුල් එමගින් චීනයේ ඔහු දුටු සුන්දරත්වය අපට ගෙන හැර පෑවේය. නිර්මාණාත්මක සාහිත්‍යයේ දිගු ගමනක් යෑමේ අපේක්ෂාවෙන් පසුවන උද්‍යේගිමත් තරුණයෙකු වන උපුල් වික්‍රමසිංහ සමග ලංකාදීප මතුමහල මෙවර සංවාදය ගෙන එන්නෙමු.
*කවියෙක් වෙන්න උපුල්ට උත්තේජනය ඇතිවන්නේ කොතනින්ද?
හැඟීමක් ආවහම ෆේස්බුක් එකට කවියක් ලියලා දාන පුරුද්දක් මට තිබුණා . ඒක දිගටම කරගෙන ඉන්නකොට කවි කියවන යාළුවෝ තමයි මාව උනන්දු කළේ දැන් පොතක් කරන්න කාලේ හරි කියන එක. මෙතනදි විශේෂයෙන්ම අනුරාධපුර ප්‍රවෘත්ති නිලධාරි ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර, ශානිකා ජයසේකර මාධ්‍යවේදිනිය වගේ මිතුරන් කීපදෙනෙක්ම පොතක් කිරීමේ වැදගත්කම මට මතක් කළා. මගේ විසිරුණු කවි ටික එක තැනකට ගැනීමේ වුමනාව මටත් තිබුණා. ඒ වුමනාව තමයි නිස්සරණ අහසක් නමින් පොතක් විදියට බිහිවෙන්නේ.
* ෆේස්බුක් එක හරහා අලුතින් කවි, කිවිඳියො දවසින් දවස බිහිවන බවක් පේනවා. ඒක හොඳ ප්‍රවණතාවක් ලෙස ඔබ දකිනවද?
ඒ කුලකයේම කවියෙක් විදියට එහි යහපත් පැත්තක් මම දකිනවා. ඉස්සර අපි කවියක් ලිව්වහම එක්කෝ පොත් අස්සෙ තියාගෙන ඉන්නවා. එහෙම නැතිනම් පුවත්පතකට යොමු කරනවා. ඒ කාලේ අපිට කවියක් පළකර ගන්න තිබුණු එකම මාධ්‍ය පුවත්පත පමණයි. පසුකාලීනව සමාජ මාධ්‍ය හරහා කවියන්ට විශාල අවකාශයක් නිර්මාණය වුණා. මේ නිසා නිර්මාණකරුවන්ට තමන්ගේම වූ පාඨක පිරිසක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව තිබෙනවා. පහුගිය කාලේ සමාජ මාධ්‍ය ඔස්සේ කවි කිවිඳියෝ ගොඩක් මතුවුණා. ඒ අතරින් සමහරු සම්මානිත කවියන් බවටත් පත්වුණා. ඔබ කියන කාරණයේ පොසිටිව් වගේම නෙගටිව් පැත්තකුත් තියෙන බව අප මතක තබා ගත යුතුයි. කව්‍යාත්මක ගුණයෙන් අඩු සමහර නිර්මාණත් හොඳ නිර්මාණ ලෙස හුවා දක්වන්න සමහරු උත්සාහ කරනවා. ඒවට කමෙන්ට් දාන්න වෙනමම දායක සභාවක් සිටිනවා. මං හිතන්නේ භාෂාව තමයි කවියක ප්‍රබලතම මෙවලම. කවියක් ඇත්තටම හොඳ නම් විතරයි අපි ඒක අගය කරන්න ඕන. ලියපු කෙනා අපට හිතවත් කියලා බොරු වර්ණනා කළොත් එයින් ආපස්සට යන්නේ කාව්‍ය ක්ෂේත්‍රයමයි.
*' නිස්සරණ අහසක්' පොතේ තේමා ඔබට ඒ මොහොතේ පිරිසිඳ ගැනුණු කවි සිතුවිලිද? නැතිනම් කලින් සැලසුම් කළ තේමාද?
සැලසුම් සහගතව කවි ලියන්න පුළුවන් කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. කෙනෙකුට ඒ මොහොතේ ඇති වෙන සංවේදනා තමයි කවි නිර්මාණ බවට පත්වන්නේ. මගේ පොතේ නමම නිස්සරණ අහසක්. නිස්සරණ කියන්නේ හිස්, ශුන්‍ය බව එහෙම නැත්නම් මිදීම කියන අදහස ගෙන දෙන වචනයක්. මගේ පොතේ ගොඩක් කවි මේවාට ගොඩක් සමීපයි. ඒ වගේම මගේ පොත පිළිබඳව සියුම් නිරීක්ෂණයක යෙදුණොත් පොතේ තියෙන කවිවලින් වැඩි ප්‍රමාණයකට වස්තු විෂය වෙලා තියෙන්නෙ ප්‍රේමය සහ සොබාදහම. ප්‍රේමයේදී අපි හැමෝටම රිදෙන වැටෙන තැන් තියෙනවා. මම ස්වභාව සෞන්දර්ය සමඟ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉර එළිය වැටෙන්න කලින් දුරට පේන කඳු දිහා බලන් ඉන්න ආසයි. ඒ කඳුවටා වෙළිලා තියෙන මීදුම ඉර එළියට දියවෙන දර්ශනය ඊටත් වඩා අපූරුයි. රෑට අහසේ දකින හඳ තාරකා පවා මගේ කවිවල අත්දැකීම් බවට මම පත් කරගන්නවා.
* නිස්සරණ අහසක් එළි දක්වන මොහොතේ තිඹිරියාගම බණ්ඩාර හා ප්‍රියන්ත කොඩිප්පිලි යන කවියන් ඔබේ කවිවල අර්ථය මතු කරන්න ලොකු උත්සාහයක් ගත්තා. ඔබ මාතෘකා කිහිපයකට කොටුවීම එතන සාකච්ඡා වුණා නේද?
එම විචාරකයන් දෙදෙනාම ඔබ කියන ප්‍රශ්නය මතු මතු කළා. කොඩිප්පිළි මගේ කවියේ ප්‍රමෝදය නැති වීම පිළිබඳව ප්‍රශ්න කළා. කවියෙක් එකම වස්තු බීජවලට සීමා වී නිර්මාණ කළ යුතුයි කියලා මම හිතන්නේ නැහැ. අපට තිබෙන පොදු චින්තාවක් තමයි සොබාදහම. මගේ පොත කියවන කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ තිබෙන වස්තු බීජ ප්‍රමාණය සීමිතයි කියලා. ආධුනික කවියෙක් විදියට එහි සත්‍යතාවක් තිබෙනවා. මට මුලින්ම ඇතිවුණු සංකල්පනා තමයි මම කවි විදියට නිර්මාණය කළේ. මට ඒවා බොහෝ සමීපයි. මම ලබන ජීවිත අත්දැකීම් එක්ක මගේ වස්තු බීජ වපසරිය තවදුරටත් ප්‍රාසාරණය කරගන්න මට ඉදිරියේදී අවස්ථාව ලැබේවි. එතනදි තේමා එකකට දෙකකට සීමා නොවී සමාජය දෙස පුළුල් දෘෂ්ටි කෝණයකින් බලන්න මම බලාපොරොත්තු වෙනවා.
* අද දවසේ වෙනත් පොතක් පළ කරනවට වඩා කවි පොතක් පළ කිරීම මොනතරම් අභියෝගයක්ද?
මේ පොත එළිදකින්නේ කර්තෘ ප්‍රකාශනයක් හැටියට. අපි වගේ ආධුනික නිර්මාණකරුවන්ට අද දවසේ ප්‍රකාශකයෙකු සොයා ගැනීම තරමක් අපහසුයි. ඒ වගේම ප්‍රකාශකයෝ පොතක් කරන්නෙත් ගොඩක් අභියෝග මැද්දෙ. අපි අද ජීවත් වෙන්නේ පොතක් පළ කිරීම තබා ජීවත්වීමත් අසීරු කාලයක. මගේ පළමු පොත මකර දේශයේ සිට මම පළ කරන්නේ පසුගිය වසරේදි. ඒ රුසියානු ප්‍රකාශනයක් විදියට. ඒ පොත නිසා මට මගේම පාඨක පිරිසක් ඇති කරගැනීමට හැකිවුණා. කර්තෘ ප්‍රකාශනයක් ලෙස කරන එක හොඳයි කියලා මම හිතුවා. මම මේකෙන් මූල්‍යමය ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවි පොතක් කිරීම මට ආත්ම තෘප්තියක්. පොතක් පළ කිරීමේදී ලේඛකයා ලාභයම ඉලක්ක කර ගත යුතු නැහැ කියලයි මට හිතෙන්නේ.
* මකර දේශයේ සිට කෘතිය ඔබ ලියන්නේ චීනයේදී ඔබ ලැබූ අත්දැකීම් එක්ක. ඒ අත්දැකීම් ලංකාවේ පාඨකයා සමග බෙදා ගත යුතුයි කියල ඔබ හිතුවෙි ඇයි?
මම චීනයට ගියේ 2018 වසරේදි. ඒ මාධ්‍ය හුවමාරු වැඩසටහනකට. මාස දහයක් මම චීනයේ ජීවත් වුණා. ප්‍රාන්ත 13 ක ඇවිදලා මට අත්දැකීම් රාශියක් ලබාගන්න හැකි වුණා. ඒ වගේම විවිධ රටවලින් පැමිණි මාධ්‍යවේදීන් පිරිසක් ඇසුරු කිරීමටත් ලැබුණා. මම චීනයේ ඉඳලා ඇවිල්ලා අවුරුදු හතරකට පස්සේ තමයි මේ පොත පළ කරන්නේ. චීනය කියන්නෙත් අපේ කලාපේ අපේ රටට ගොඩක් සමීප රටක්. මා ලැබූ අත්දැකීම් සංචාරක සටහන් පොතක් ලෙස එළිදැක්වීම සුදුසුයි කියලා මම කල්පනා කළා. විශ්වවිද්‍යාලවලත් චීන භාෂාව හදාරන සිසුන් බොහෝ ප්‍රමාණයක් දැන් සිටින නිසා නිසා ඒ සිසුන්ටත් මේ පොත බොහෝ ප්‍රයෝජනවත් වේවි. මේ පොතින් මට ඕන වුණේ චීනය හොඳ රටක් එහෙම නැත්නම් මාර රටක් කියන්න නෙවෙයි. චීනයේ සංස්කෘතිය මම හඳුනාගත්තු විදිය මේ පොත හරහා එළියට දාන්න මට වුවමනා වුණා.
* ඔබ වෘත්තීයෙන් ප්‍රවෘත්ති සහ විශේෂාංග මාධ්‍යවේදියෙක්. යම් සිදුවීමක ප්‍රවෘත්තිමය ගුණය සහ සාහිත්‍යමය ගුණය වටහා ගැනීමේදී පටලැවෙන්නේ නැතිද?
මේ දෙක අහසට පොළොව වගේ වෙනස්. ප්‍රවෘත්ති රචනයේදී මට සිදුවීම් දිහා දේශපාලනිකව හෝ කාලීනව බලන්න සිදු වෙනවා. එහෙත් සාහිත්‍ය නිර්මාණ අභ්‍යාස කරන්න වෙන්නේ අපට වෙන තැනක ඉඳලා. ප්‍රවෘත්ති හොයන කාර්යබහුල ජීවිතය ඇතුළේ දෙයක් නිර්මාණාත්මකව බලන්න මම වෙලාව කොහොමහරි වෙන් කරගන්නවා.
* සංචාරක පොතක් ලිව්වා,කවි පොතක් ලිව්වා, තවත් අත්හදා බලන්න කැමති සාහිත්‍ය ශානරයන් තිබෙනවද?
මේ වෙනකොටත් මම තව පොත් දෙකක් ලියලා තියෙන්නේ. ඒවා තවම මුද්‍රණයෙන් පළ කරලා නැහැ. දේශපාලන වචනවල අර්ථ පිළිබඳව මාධ්‍යවේදීන්ට වටහා දීමට හැකිවන ආකාරයේ කෘතියක් තමයි මම රචනා කර තිබෙන්නේ. ඒ වගේම නවකතාවක් ලියන එකත් මගේ ජීවිතේ තියෙන හීනයක්. මගේ ජීවිතයේ තිබුණු සොඳුරුතම ඉසව්වක් ගැන ඉදිරියේදී මා අතින් නවකතාවක් බිහිවේවි. මොන කාර්ය බහුලතා මැද වුණත් නිර්මාණකරණය අත්හරින්න මං කැමති නැහැ. අපි කැමැත්තෙන් කරන දේවල් දිගටම කළ යුතුයි .පුළුවන් තරම් නිර්මාණාත්මක දේවල් සාහිත්‍යයට එකතු කිරීම තමයි මගේ අදහස.
* ඔබේ කවි පොතේ පිට කවරයත් ආකර්ෂණීයයි. ඒ සඳහා ලේඛකයා විදියට ඔබ මැදිහත් වුණේ කොහොමද?
නිස්සරණ අහසක් කියන පොතට නම යෙදුවෙත් මම. ඒ නමින් කවි පන්තියක් පොත ඇතුළේ තිබෙනවා. පොතටම ගැළපෙන පිටකවරය නිර්මාණය කළේ ධනුෂ්ක විජේසුන්දර. මගේ අදහස ඔහුට කිව්වහම ඔහු ඒ දේ තේරුම් ගෙන ලස්සන කවරයක් නිර්මාණය කළා. මෙහි විශේෂත්වය තමයි ඔහුගේ පළමු කවර නිර්මාණය වන්නෙත් මෙයයි . බොහෝ අය මෙය ප්‍රශංසාවට ලක් කළා.
ඇය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දබරැල්ල මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා පහ වසර ශිෂ්‍යත්වය සමත්ව මාතර සුජාතා විද්‍යාලයට ඇතුළත් වුවාය. එහිදී වාණ
ඇය මුලින්ම සාහිත්‍ය කලාවේ හොඳ රසිකාවියකි.එසේම කලාව හා සාහිත්‍යය පිළිබඳ අධ්‍යයනයට කැමති කෙනෙකි.
ගමේ නම ඉදිරියට දමා ගනිමින් තම නාමය සන්නාමයක් කරගත් ලේඛකයෝ, මාධ්‍යවේදීහු බොහෝ දෙනෙක් කලා ක්ෂේත්‍රයේ සිටිති.
නිස්සරණ අහසක් ’තරුණ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. මීට පෙර ’මකර දේශයේ සිට’ නමින් චීනය සම්බන්ධ සංචාරක කෘතියක් පළ කළ උපුල් එමග
වෘත්තීයමය වශයෙන් මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරන ලකිදු වික්‍රමසිංහගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය ’’ගුරු පාට ඇස්’’ නමින් පාඨකයා අතට පත්කෙරිණි. ස
පුවත්පත් කලාවේදියකු සේම ලේඛකයකු වන කුසුම්සිරි විජයවර්ධන පොඩි කාලේ සිටම ඔහුගේ ලෝකයේ වීරයන් ලෙස සැලකුවේ ලේඛකයන්ය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිතට බල කරලා කවි ලියන්න බැහැ