මැයි මස 9 වැනිදා හෙවත් කළු සඳුඳා දින වූ සිදුවීම්වල සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තිබේ.
අඩුම තරමින් දිවයිනේ රූපවාහිනී නාළිකා 3 ක් වත් විරෝධාකරුවන්ට කළ පහරදීම් සජීවීව විකාශනය කිරීම නිසාම, රටේ ජනතාවට එතැන සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ඇතිකරගැනීමට හැකිවිය. එපමණක් නොව, වීඩියෝ දසුන් ඔස්සේ සියල්ල වාර්තා කිරීම නිසාත්, ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් හඳුනාගැනීමේ සිට වෙනත් කාරණා පැහැදිලි කරගැනීමටත්, ප්‍රශ්නවලට උත්තර ලබාගැනීමටත්, උද්ඝෝෂකයින්ට මෙන්ම විමර්ෂකයින්ටත් හැකිවිය.
ප්‍රධාන රූපවාහිනී නාළිකා හරහා විකාශනය කැරුණු වීඩියෝ දසුන්වලට අමතරව, උද්ඝෝෂණ භූමියේ සිටි පුද්ගලයින් මුදාහැරි විඩීයෝ දර්ශන ද විය.
මෙතැන් සිට දිගහැරෙන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක් හා සමව එදින සිදුවූ සිදුවීම්වල දාමයකි.
අරලියගහ මන්දිරයේ රැස්වීම් ශාලාව පිරෙන්නට කිටිකිටියේ රැස්ව සිටි පිරිස ඇමතූ පුද්ගලයින් අතර හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පවිත්‍රා වන්නිආරච්චි ප්‍රධාන වූහ. තමන්ව මහාමාර්ග අමාත්‍යධූරයෙන් ඉවත්කළ දිනයේ සිට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අප්‍රසාදයෙන් පසුවන ජොන්ස්ටන්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත් රටේ දේශපාලන අර්බුදයක් ඇතිවනු ඇතැයි කීවේ ය.
“මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වුණොත්, ඒ ඉල්ලා අස්වන මිනිත්තුවේදීම රටේ දේශපාලන අර්බුදයක් ඇතිවෙනවා. ඒ නිසා, අපි ජනපතිවරයාට කියනවා, ඉල්ලා අස්වන ලෙස ඔහු සිය වැඩිමහල් සහෝදරයාගෙන් ඉල්ලීමක් කළොත්, ඒක කිසිම විදිහකින් අපි නම් පිළිගන්නේ නැහැ කියලා” යයි ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයා කීවේය.
හිටපු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ද, දැක්වූයේ ඒ හා සමාන අදහස්ය.
රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමකින් පසුව තමාට හමුවී අදහස් දැක්වීමට අවස්ථාවක් නොදුන්නේ යැයි ඕ ජනපති ගෝඨාභය රාජපක්ෂ සමග උරණව සිටියාය. තමන් අනිසි ලෙස කටයුතු කර ඇතැයි පළව තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂට සිය පාර්ශවයෙන් කරුණු පැහැදිලි කිරීමට ඇයට අවශ්‍යව තිබිණ.
අගමැතිගේ කතාව
අනතුරුව අදහස් දැක්වූයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාය.
රැස්වී සිටි පිරිස් අතරින් ඔහු වේදිකාවට පිවිසියේ ආරක්ෂකයින් වළල්ලක් පිරිවරාගෙනය. පැමිණ සිටියෝ බලාපොරොත්තුවෙන් සිටියේ ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරනු ඇතැයි යන්න වුවද, රාජපක්ෂ මහතා එවැනි කිසිවක් සඳහන් නොකළේය. ගැහෙන හඬකින්, ඇතැම් විට ඇසෙන නොඇසෙන ලෙස, ඔහු කළ ඇමතීම ඉතා කෙටි එකක් විය. එහි සඳහන් වූ වැදගත් කොටස් පහත පරිදිය.
“ජනතාව පීඩනයට පත්කරවන විට, රට අර්බුදයක් කරා යනවා. 2009 වසරේදීත් මම මෙවැනිම ආර්ථික අර්බුදයකට මුහුණදුන්නා. කිසිම ප්‍රසිද්ධියක් පස්සේ යන්නේ නැතිව, ජනතාව පීඩාවට පත්කරන්නේ නැතිව, ඒ අර්බුදය විසඳාගන්නට අපට පුලුවන් වුනා”
“එදා අපි ගැටලු හඳුනාගත්තා. අපි විසඳුම්වලට සවන් දුන්නා. එහෙම සවන් දීලා, කාරණා ගැන දැනුම්වත් නිලධාරීන් ඒ විසඳුම් ඉදිරියට ගෙනියන්නට පත් කළා. අපි ගැටලුව විසඳාගන්නට එකට එකතුවෙලා වැඩ කළා. අර්බුදයක් කියන්නේ විසඳුම් නැති දෙයක් නෙවෙයි. මේ රටේ දේශපාලනය කරලා තියෙන මම, සතුට, දුක වගේම ජයග්‍රහණයත් අත්විඳලා තියෙන කෙනෙක්. එදා වගේම අද වුනත්, විරෝධතා සහ හර්තාල් ව්‍යාපාර කියන්නේ අපිට අලුත් දෙයක් නොවෙයි”
“ජනතාවගේ යහපැවැත්ම ගැන අපි සිතිය යුතු බව ඔබ මතක තබාගත යුතුයි. විශේෂයෙන්ම රට ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින විට එය වැදගත්. එවැනි තත්ත්වයක, ළඟ බලා ලබාදෙන දේශපාලන විසඳුම් නොවෙයි නියම විසඳුම කියන එක ඔබ මතක තබාගත යුතුයි.
ජනතාවට වගකිව යුතු තත්ත්වයක සිටින අප කළ යුත්තේ කරකියාගත නොහැකිව සිදුවෙමින් තිබෙන දේ දෙස ඔහේ බලාගෙන සිටීම නොවෙයි. ජනතාවගේ ගැටලු අස්සේ සැගවී සිටින ඇතැම් අය, ජනතාවගේ ඒ පීඩනය සහ ගැම්ම දඩමීමා කරගෙන රට ක්‍රියාවිරහිත කරන්නටත්, රට විනාශය කරා ගෙනයන්නටත්, කටයුතු කරමින් සිටින බව අප අමතක නොකළ යුතුයි. විරෝධතා පවත්වන්නට හැකියි. ඔවුන්ගේ ගැටලුවලට අපට විසඳුම් ලබාදෙන්නටත් ක්‍රමයක් තිබිය යුතුයි. ඒ ගැටලුවලට විසඳුම් ලබාදෙනකොට රටේ ව්‍යවස්ථාවට පිටුපාන්නට අපට කිසිම අයිතියක් නැහැ”
“ඒ නිසා, අපි අභියෝගවලට මුහුණ දිය යුතුයි - ඒ අභියෝග ජයගන්නට උත්සාහ කළ යුතුයි කියන එක තමයි මගේ ප්‍රතිපත්තිය. ඒවායින් පළා යෑමේ පුරුද්දක් මට නැහැ කියන එක මම ඔබට කිව යුතුයි”
“අප නරක පූර්වාදර්ශයන් ලබා නොදීමත් වැදගත්. ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයින්ට වගේම සිය ස්වෛරීභාවය ඔවුන් වෙත පවරා දෙන ජනතාවටත්, ඒ වගකීම තිබෙනවා. රට මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය ඔස්සේ විපක්ෂය දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් සිටිනවාය යන්නත් රහසක් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය බලය පමණයි. එකට එකතුවෙලා රට ගොඩගන්නට අපි කළ ආරාධනාවට ඔවුන් පයින් ගැසුවා. රජය භාරගන්න කියා අපි ඔවුන්ට කීවත්, ඔවුන් තවමත් සිටින්නේ ලෝක දෙකක් අතර හිරවෙලා”
“ඔවුන් එයට කැමතියි වගේම බයයි. ඔවුන් සිටින්නේ බලය ගන්නවා ද, නැති ද, යන දෙක අතර දෝලනය වෙමින්. පස්සට යන ජනතා නියෝජිතයන්ට, ජනතාව සහ රට වෙනුවෙන් වගවෙන්නට වගේම ඔවුන්ව ආරක්ෂා කරන්නට හෝ හැකියාවක් තියෙනවාය කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මහනායක හිමිවරුන්, අති උතුම් කාදිනල් හිමිපාණන් වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ඇතැම් දේශපාලකයින් සහ සිවිල් සමාජ සංවිධානත්, සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට යෝජනා කරනවා. ඒ අනුව, රට මුහුණදෙමින් සිටින අභියෝග ජයගන්න සියලු පක්ෂවල මැදිහත්වීමෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාවල වැදගත්කමත් අපි දකිනවා. ඒ නිසා, කිසිම බාධාවකින් තොරව මේ කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගන්නට ජනපතිවරයාට හැකියාව තිබෙනවා”
“අතරමැදි බලපෑම් නොමැති ඕනෑම පුද්ගලයෙක්, රටේ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් වනවා නම් එයට උදව් කිරීම වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට මම සූදානම්. කෙසේවුවත්, අපි එක් දෙයක් මතක තබාගත යුතුයි. අපි නියෝජනය කරන කඳවුර, ලක්ෂ 69ක ජනතාවක් නියෝජනය කරනවා. ඔවුන්ගේ අරමුණු සහ අපේක්ෂා පාවා දෙන්නට කිසිම කෙනෙකුට අයිතියක් නැහැ”
“පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිමය යන්න මම හැමවෙලාවකම කියන දෙයක්. ඒ නිසා, අපේ එකම අරමුණ සහ අභිප්‍රාය වන්නේ කුමන හෝ විසඳුමක් හරහා මේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමයි. අපි එකට එක්ව අනාගතයට මුහුණදෙමු. රට වෙනුවෙන් අපේ රාජකාරිය ඉටු කරමු. අනාගතයේ ඔබ අප සමග ශක්තිමත්ව නැගී සිටිනු ඇතිය යන්න මගේ විශ්වාසයයි” යයි හිටපු අගමැතිවරයා කීවේය.
උමතු වූ උදම් රළ
රූපවාහිනිය ඔස්සේ මේ සියල්ල සජීවීව නරඹමින් සිටි ශ්‍රී ලංකාවාසීහු ඉන් අනතුරුව තිරය මත දිගහැරෙන්නට ගත් දසුන් දැක තිගැස්මටත්, කම්පනයටත් පත්වූහ.
මහින්ද රාජපක්ෂ මහතාගේ කතාව අවසන් වූ වහාම දර්ශන මාරු වූයේ, ලී සහ පොලු මුගුරු අතින් ගත් මැරයන් අරලියගහ මන්දිරයෙන් පිටත් වන දසුන්වලටය. කිසිදු චකිතයකින් හෝ පැකිළීමකින් තොරව ඔවුන් මුලින්ම ගියේ ගාලු පාරට මුහුණලා පිහිටි අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව දෙසටය. මෙතැන සිට කොල්ලුපිටිය පොලිස් ස්ථානයට ඇත්තේ අඩි කිහිපයක් පමණකි. කොල්ලුපිටිය පොලිස් ස්ථානය යනු ඒ නිසාම අරලියගහ මන්දිරයේ ආරක්ෂක වැට බඳුය.
කූඩාරම්වල රැඳී සිටි අරගලකරුවන්ට ඔවුහු පහර දුන්හ. බෙදුම්වාදී යුද්දයට රට වෙනුවෙන් දායකත්වය දී අත්පා අහිමිව, කෘතිම අත්පා පැළඳගෙන සිටි ආරක්ෂක අංශයේ හිටපු සාමාජිකයන්ටවත්, අරගලකරුවන් සමගම බිම හිඳගෙන සිටි බෞද්ධ හිමිවරුන්ටවත්, මැරයන්ගෙන් ගැලවීමක් නොවීය. පොලිසිය ඒ දෙස කිසිත් නොකර බලා සිටිනු සජීවී රූපවාහිනී විකාශයක් හරහා දැකගැනීමට ලියුම්කරුට හැකිවිය. පොලිසිය කිසිත් නොකර නිකම් බලා සිටියේ, මැරයන් මර්දනය කිරීමට මැදිහත්වන ලෙස අරගලකරුවන් නැවත නැවතත් පොලිසියෙන් ඉල්ලා සිටි අතරවාරයේය.
“කදුලු ගෑස් ගහලා මේක නවත්වන්න” යයි කාන්තාවක් ඉල්ලා සිටියේ මහ හඩිනි. නමුත් පොලිසිය, ගැටුම නැවැත්වීමට ඇගිල්ලක් හෝ ඉස්සුවේ නැත. දිගු ඇඟලුමක් ඇගලාගෙන සිටි මැදිවියේ කාන්තාවකට, පොලු අතින්ගත් මැරයන් සිව් දෙනෙක් පහර පිට පහර දෙනු දැකීම හද කම්පාකරවූ දසුනක් විය. මෙම පහරදීම සිදුවූයේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව ආසන්නයේදීමය.
උදම් රළ අනෙක් අතට පෙරැළීමට ගියේ පැය දෙකකටත් වඩා අඩු කාලයකි.
අරලියගහ මන්දිරයට පැමිණි පිරිස් විරෝධතාකරුවන්ට පහර දෙන්නේ යැයි පුවත පතළවන්නට ගැනීමත් සමග, විරෝධතාකරුවන් වෙනුවෙන් ආධාරකරුවෝ වැඩි වැඩියෙන් අරලියගහ මන්දිරයට සහ ගාලු මුවදොර පිටියට ගලා එන්නට ගත්හ. ඔවුන්ට කොටුවූ මැරයින් කිහිපදෙනෙක්ට, පහර පිට පහර වැදුණේ කිසිම අනුකම්පාවකින් තොරව බව අමුතුවෙන් කිවයුතු නොවේ.
ඇතැමෙක් හිසෙන් හා සිරුරෙන් ලේ ගලන තුවාළ සහිතව මාර්ගයේ වැටී සිටියේය.
මේ අතර අරගලකරුවන්ගේ ආධාරයට පැමිණි කණ්ඩායමක් පෙරහැර මාවත ඔස්සේ අරලියගහ මන්දිරයේ පිටුපසට පිළිපන්නේය. අරලියගහ මන්දිරය වෙත පැමිණ සිටි පුද්ගලයින් එතැනට රැගෙන විත් තිබූ බස් ගාල්කර තිබුණේ මේ මාර්ගයේය. ඒවායින් ඇතමෙක් සිරුරේ ශක්තියෙන්ම ඔසවා අසළ පිහිටි බේරේ වැවට විසිකර දැමීමට රැස්වූ ජනතාව කටයුතු කළේය. අමාත්‍යවරයකුට අයත් සහචර රථයක් සහ තවත් රථ කිහිපයක් ද, එසේ බේරේ වැවට තල්ලු කර දැමිණ.
“හම්බන්තොටට යනකන්ම පීනන්න,.. මේක කොළඹ” යැයි එතැන සිටි එක් අයෙක් කියනු ලියුම්කරුට ඇසිණ.
අරලියගහ මන්දිරයට පිරිස් ගෙනා බස්රථවල අංක තහඩු ලැයිස්තුවක් අතැතිව සිටි තවත් කණ්ඩායමක් එම බස්රථ සොය සෙයා යනු දක්නට ලැබිණ. එවන් රථයක් හඳුනාගැනීමෙන් පසුව, ඇතැමෙක්ට අලාභ හානි සිදුකෙරිණ. තවත් ඒවායේ ටයර් පුපුරුවා හැරිණ. රාත්‍රිය එළැඹි විට, ඇඳිරි නීතිය පනවා තිබුණේ වුව, මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් කොළඹින් පිටතට ගෙනයමින් තිබෙන්නේ දැයි මාර්ගයේ ගමන් කළ බස්රථ පරීක්ෂා කිරීමේ යෙදී සිටි බොහෝ පිරිසක් විය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසළ ද, එවන් පිරිසක් විය. එසේ හඳුනාගත් ඇතැම් බස් සහ වෙනත් රථවල සිටි පුද්ගලයින්ට සිදුවූයේ ඔවුන්ගෙන් පහර කෑමටය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි පුවත් පළවන්නට ගත්තේ සඳුඳා සන්ධ්‍යාව වන විටය. දිනය සඳහන් නොවුණු ලිපියක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමුකර තිබුණු ඔහු එහි මෙසේ සඳහන් කර තිබිණ.
“කොවිඩ් වසංගත තත්ත්වය, යුරෝපය ආශ්‍රිතව මතුව ඇති යුදමය තත්ත්වය හා නිදහසින් පසු බිහිවූ විවිධ රජයන් විසින් ගනු ලැබූ සමහර ආර්ථික වශයෙන් දූරදර්ශී නොවන තීරණ මත මේ වනවිට රට මුහුණපා ඇති ආර්ථික අර්බුදය සහ ඒ මත පදනම් වූ දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ රටේ මහජනතාව මහත්වූ අසීරුතාවයන්ට මුහුණ දෙමින් සිටී. මේ තත්ත්වය අප රට මෑත කාලීන ඉතිහාසයේ මුහුණ දෙන අතිශය දුෂ්කර අවස්ථාව බව මා අමුතුවෙන් කිව යුතු නැත.”
“පවතින තත්ත්වයට වඩාත්ම යෝග්‍ය විසඳුම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ එකතුවී සර්වපාක්ෂික අන්තර්කාලීන රජයක් පිහිටුවීම බව ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා, අති උතුම් කාදිනල්තුමන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම ඇතැම් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් ද, පෙන්වා දී ඇති බව ද, සිහිපත් කරනු රිසියෙමි”
“එබැවින් 2022.05.06 දින පැවති කැබිනට් අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමේ දී, ඔබතුමන් විසින් කරන ලද ඉල්ලීම අනුව, පිහිටුවීමට යෝජිත අන්තර්-කාලීන සර්වපාක්ෂික ආණ්ඩුව ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සළසා ඇති ප්‍රතිපාදන යටතේ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ගවලට එළැඹීම පිණිස මාගේ පූර්ණ එකඟත්වය පළකරනු වස්, වහාම ක්‍රියාත්මක වන පරිදි මා අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි”
(විශේෂ සටහන - තමාගෙන් මෙවැනි ඉල්ලීමක් කෙරුණු බව අගමැති රාජපක්ෂ මහතා මීට පෙර අවස්ථාවක බැහැර කර තිබිණ)
“පොදුජන යහපත උදෙසාම කැපවූ මා ඒ වෙනුවෙන් ඉදිරියේ දී, මීටත් වඩා ඕනෑම පරිත්‍යාගයක් සිදුකිරීමට සූදානම් බවත්, යෝජිත කුමන හෝ ක්‍රියාමාර්ග මගින් අප රටත්, ජනතාවත් මුහුණදෙන දුෂ්කරතා ඉක්මනින් අවසන් වනු දැකීම මාගේ එකම අභිලාෂය බවත් ඉතා නිහතමානීව ප්‍රකාශ කරනු රිසියෙමි. එසේම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කළ සියලු පාර්ශව ඉදිරියේ දී, රටට මුහුණදීමට සිදුවන සියලු අභියෝග භාර ගැනීමට ද, එළෙසින්ම ඉදිරිපත් වනු ඇතැයි ද, දැඩි ලෙස බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් කරමි” යයි අගමැතිවරයාගේ ලිපියේ සඳහන්ව තිබිණ.
අරලියගහ මන්දිරයට ගිනිපෙනෙළි
සඳුඳා සන්ධ්‍යාව වන විට ආරක්ෂක බලධරයින් උද්ගතව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්වත් කරමින් සිටි අතර, අරලියගහ මන්දිරයේ තවදුරටත් රැඳී සිටීම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අතිශයින් අනාරක්ෂිත බව ඔව්හු කියා සිටියහ.
එදින රාත්‍රියේ පවා අරලියගහ මන්දිරයට පිවිසීමට විවිධ කණ්ඩායම් උත්සාහ ගත් අතර, එක් අවස්ථාවක ඔවුහු ගිනි පෙනෙලි විසි කළහ. එහිදී, කුඩා කොටසක් ගිනි ගැනීමට ද, ලක් විය. තවත් අවස්ථාවක ඔවුහු පළමු ආරක්ෂක වළල්ල බිඳගෙන ඉදිරියට පැමිණීමට සමත් වූහ. නමුත් පොලිසිය සහ ඔවුන්ගේ සහායට පැමිණි අමතර භට පිරිස් තත්ත්වය පාලනය කර, ඔවුන්ව එතැනම නවතා ගැනීමට සමත් විය.
අලුයම් යාමයේ දී, පමණ හිටපු අගමැතිවරයා සහ අරලියගහ මන්දිරයේ එතෙක් රැඳී සිටි ඔහුගේ පවුලේ සාමාජිකයන් හෙලිකොප්ටර් යානාවලින් ත්‍රිකුණාමලය බලා පියාසර කරවීමට ගුවන් හමුදාව පියවර ගත්තේය. එතෙක්, අරලියගහ මන්දිරයට පිටතින් රැස්ව සිටි භට පිරිස්, මිනිස් ආරක්ෂක වළල්ලක් තනාගෙන පරිශ්‍රය ආරක්ෂා කිරීමේ යෙදී සිටියහ.
දැනට අගමැතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නවාතැන් ගෙන සිටින්නේ නැගෙනහිර නාවික ආඥාපති දිසාවේ පිහිටි නාවික හමුදාපතිවරයාගේ සුවිසල් බංගලාවේය. මහින්ද ඇතුලු පිරිස අරලියගහ මන්දිරයෙන් නික්ම යන බව, එම වේලාවේ දී, අහසට තැබුණු වෙඩි කිහිපයකින් ඇඟවින. හිටපු අගමැතිවරයා දැන් සිටින්නේ කොළඹට පැමිණ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමේ අදහසිනි. සිදුවීම පිළිබඳව ඔහුගේ පාර්ශවයෙන් පැහැදිලි කිරීමක් ලබාදීම එහි අරමුණයි.
රටේ උද්ගතව තිබූ තත්ත්වය හමුවේ ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකිවූයේ අගහරුවාදා දින මධ්‍යම රාත්‍රියටත් ආසන්න වූ පසුවය. එහිදී, දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටා තිබූ දේශපාලකයින්ට අයත් නිවාස 38 ක් පමණ ගිනි තබා විනාශ කර තිබෙණ බවට ජනපතිවරයාව දැනුම්වත් කෙරිණ. මේ ඇතැම් නිවාසවල අයිතිකරුවන් උද්ඝෝෂකයින්ට පහර දීමට මැරයින් මෙහෙයවූවේ යැයි චෝදනා නැගුණු දේශපාලකයින්ගේ විය. රට පුරා ආරක්ෂාව තර කිරීමට මෙම රැස්වීමේ දී, තීරණය විය.
දේශීය වශයෙන්ම මෙන්ම අන්තර්ජාතිකවත්, විරෝධතාකරුවන්ට පහර දීමට මැරයන්ට අවස්ථාව සළසා දී, මෙවන් ගැටුමක් ඇතිවීමට මාර්ගය සාදා දුන්නේයැයි සෘජුවම ඇගිල්ල දිගුව ඇත්තේ රජය දෙසට යැයි කීම, කිසිසේත්ම අසත්‍යයක් නොවේ. රජයට එවැනි චෝදනාවකටත් ලක්වීමට සිදුව තිබෙන්නේ 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා සංහාරයටත් වගකිව යුතුව ඇතැයි දැනටමත් නොයෙක් පාර්ශවවලින් රජයට චෝදනා නැගෙමින් තිබෙන පසුබිමකය.
ඒ නිසාම, අපක්ෂපාතී විමර්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒම රජය අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය.
ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබෙන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී, මෙම සිදුවීම් සම්බන්ධව අවධානය යොමුවීමට ඉඩ ඇතැයි දැනටමත් ඉඟි පළව තිබෙන පසුබිමක, ගැටුමට මුල් වූ පුද්ගලයින් ආරක්ෂා කිරීමට රජයට කටයුතු කළහොත් එයින් රජයට මෙන්ම රටටත් සිදුවනු ඇති හානිය අති මහත්ය.
මෙවැනි ගැටුමක් ඇතිවූයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්වාර රජයක් පිහිටුවාගැනීම මූලික කරගෙන, විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වමින් සිටි අවස්ථාවකය. අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබා නොගැනීම නිසා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලනමය වශයෙන් සිදුව ඇති අලාභය විශාලය. ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ සාමාජිකයන් අතරත් විවේචන පවතින බව රහසක් නොවේ. නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ පක්ෂයේ මුල් පෙල සාමාජිකයෙක් මෙසේ කීවේය.
“එයා මේ දක්වාම හැම වෙලාවකම වැඩ කළේ පාට් ටයිම් නායකයෙක් හැටියට” යැයි ඔහු කීවේය.
සමගි ජනබලවේගයේ පරම තරගකරුවා වන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස තෝරාගෙන තිබීම ඔහුව කම්පනයට පත්කර තිබිණ.
මුලින්ම ප්‍රේමදාස මහතා අවධාරණය කර කියා සිටියේ ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතේ තමා අගමැතිවරයෙන් ලෙස කිසිඳු අවස්ථාවක කටයුතු නොකරන බවය. දැන් අනාවරණයව තිබෙන ආකාරයට ඔහු ඊටත් එහා පියවරක් තබා ඇත.
හිටපු කතානායක කරූ ජයසූරිය මහතාට එම අවස්ථාව ලැබේ යැයි සිතා, එම අවස්ථාව හිතාමතාම අවුරා දැමීමේ අදහසින් ඔහු කර ඇත්තේ කරූ ජයසූරිය මහතාට සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පත්වීමට තිබූ අවකාශය ඇහිරීමය. අසුන ලබාදීමට සිටි මයන්ත දිසානායක මහතා අමතා ඇති රාජපක්ෂ කඩිමුඩියේ කොළඹට පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි ඔහුට දන්වා තිබෙන බව සැළය. මයන්ත දිසානායක ඒ වන විට සිට ඇත්තේ කැනඩාවේය. ඔහු හිටපු ගාමිණී දිසානායක අමාත්‍යවරයාගේ පුත්‍රයාය.
නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම්දීමට නියමිත ඇතැයි දැනගත් පසුව, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවූ ප්‍රේමදාස මහතා, කොන්දේසි කිහිපයක් යටතේ අගමැතිධූරය පිළිගන්නා බවට තමන් එළැඹ සිටි තීරණයට ඔවුන්ගේ අනුමැතිය ලබාගත්තේය. අදාළ කරුණු ලිපියකට ඇතුළත් කැරුණු අතර, එය වට්ස්ඇප් ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යැවිණ. මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා එම ලිපිය ජනපති ලේකම් කාර්යාලය වෙත අතින් ගෙන ගොස් බාරදුන්නේය.
ප්‍රේමදාස මහතාට පිළිතුරු දෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් තීරණයක් ගෙන අවසන් බවය. පක්ෂයෙන් සාමාජිකයන් වෙන්වෙනු ඇතැයි ප්‍රේමදාස මහතා දැන් බියට පත්ව සිටී. ඔහු කෙරේ පක්ෂ සාමාජිකයන් අතර අප්‍රසාදය ගොඩනැගෙමින් පවතින පසුබිමක, ඉදිරි මාස කිහිපයේ කටයුතු හසුරුවාගැනීම සජිත් ප්‍රේමදාස මහතාට කිසිඳු අයුරකින් පහසු කටයුත්තක් නොවනු ඇත.
2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන්ගේ ද ඇතුලුව ආසන 152 ක් අහිමි කරගනිමින්, එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසි එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහුට එම අවස්ථාව හිමිවූයේ බෝනස් ආසන ක්‍රමය හේතුවෙනි.
එකල පාර්ලිමේන්තුවේ කියැවුණු විහිලුවක් විය. එය නම්, වික්‍රමසිංහ මහතා වැසිකිළියට ගිය විට, පාර්ලිමේන්තුවේ එකම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් හෝ නොමැති වන බවය.
ඒ කෙසේවෙතත්, පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සිටම ඔහු කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ප්‍රශංසාව සහ අවධානය දිනාගැනීමට සමත්විය. අදහස් දැක්වීමේ දී සහ ප්‍රකාශයන් නිකුත් කිරීමේ දී, හරි නාඩිය අල්ලාගැනීමට වික්‍රමසිංහ මහතාට නිසඟ හැකියාවක් තිබෙන බව කියැවේ.
එවන් හැකියාවක් වර්තමාන විපක්ෂ නායකයාට නොමැති බව පෙනෙන්නේ විපක්ෂයට ලැබුණු අවස්ථා ගණනාවක්ම ඔහු මගහැර ඇති නිසාය.
අගමැති තනතුර භාරගෙන පැය 24ක් ගතවීමට මත්තෙන්, ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිඩෙකි මිසුකොෂි සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චුන්ග් අතමැතිවරයා බැහැදැකීමට ආහ. ක්වොඩ් රටවල සාමාජිකයෙක් ද, වන එක්සත් ජනපදයේ තානාපතිනිය සමග නව අගමැතිවරයා පැවැති සාකච්ඡාවල අවධානය යොමුවූයේ ශ්‍රී ලංකාවට වහාම අවැසි අවශ්‍යතා සපුරාලීම සඳහා ආධාරක කණ්ඩායමක් පිහිටුවීමටයි.
බටහිර රටක් මැදිහත්ව මෙවැනි පියවරකට මුල පිරූ පෙර අවස්ථාවක, විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙක් එයට බාධා කළ ආකාරය මින් පෙර මෙම තීරුවෙන් අනාවරණය කෙරිණ. එසේ ආධාර කිරීමට ඉදිරිපත් වන රටවල් ශ්‍රී ලංකාවට මානව හිමිකම් කඩකිරීමේ චෝදනා නඟා ඇතැයි ඔහු සිය අප්‍රසාදය පළකර තිබිණ. කෙසේවුවත්, අගමැතිවරයා, එක්සත් ජනපද තානාපතිනියගේ අදහසට සිය එකගත්වය පළකර ඇත. ඇය සහ අගමැතිවරයා අතර පැවති හමුවට පසු වහාම වාගේ, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි සෙන්හොන්ග් ද, නව අගමැති වික්‍රමසිංහ මහතා බැහැදැකීමට පැමිණියේය.
මේ සියල්ල යහපත් වුව ද, රනිල් වික්‍රමසිංහ මහතා භාරගෙන තිබෙන කාර්යභාරය අතිශයින් බැරෑරුම්ය. ඔහුට ඇතැම් විට පාර්ලිමේන්තුවේ විශ්වාසය පළකිරීමේ යෝජනාවකට මුහුණදීමටත් සිදුවනු ඇත.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාවක් ලබන 11 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට මුහුණදීම සඳහා දැනටමත් පිඹුරුපත් සකස් කර අවසානය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙවුණු සෙනසුරාදා දිනයේ කැඳවූ අතර, අඟහරවාදා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී, නව අගමැතිවරයාට පක්ෂව කටයුතු කරන තැනට ඔවුන් එකඟ කරවාගැනීමට ජනාධිපතිවරයා සමත් විය.
ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර
(ඡායාරූප - ඩේලිමිරර් අනුග්‍රහයෙනි)
ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පැමිණීමට යොදාගත් පෞද්ගලික ගුවන්යානය සම්බන්ධයෙන් නිල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප
කොතෙක් ආරක්‍ෂක මුරකපොලු තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපතිවරයා වූද, දෙවරක් අගමැතිවරයා ද, වූ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේදී සන්ඩේ ටයිම්ස් කළ ආර
විරෝධතා රටපුරා නැගෙමින් පැවතිණ. ආර්ථික අර්බුදය පුපුරා යමින් තිබිණ. එවන් පසුබිමක, පසුගිය මැයි මාසයේ දී පර්සි මහින්ද රාජපක්ෂ මහතා ඔහු එතෙක් දරමින් සිටි
සිංගප්පූරුවට පළාගොස් සති දෙකක් ගතවී තිබෙණ තැන, හිටපු ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන්ට ආරක්ෂා සහිතව ජීවත්වීමට රැකවරණය ලබාදෙන රටක් සොයාගැනීමට
ආර්ථික සහ දේශපාලන අර්බුද මැද ගෙවෙන කාලයක පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරෙන බව ගෙවුණු බ්‍රහස්පතින්දා හදිසියේම නිවේදනය කෙරුණේ රටක් පුදුමයට පත් කරමිනි. ගැ
රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 45ක් සපිරුණු, පසුගිය බදාදා දිනයේ, වාසනාව දොර හැරගෙන ඔහු දෙස බලා සිටියේය. වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට පාර්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇතුළෙන්ම ආ ජනපති විරෝධයේ විනාශයක තරම