නිදහස් අධ්‍යාපනයේ මූලික කරුණ නම් ගාස්තුවක් අයකිරීමෙන් තොරව උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලැබීමේ හැකියාවයි. ලංකාවේ නිදහස් අධ්‍යාපන පනත සැකසුවේ පශ්චාත් උපාධිය මුදල් අය කර ලබාගැනීමේ ක්‍රමයටය. අප එසේ මූලික හැඳින්වීමක් කළ ද පාසල් පද්ධතිය වුව ජාත්‍යන්තර පාසල් දක්වා පරිණාමයක් වී ඇත.
2020 වනතෙක් රාජ්‍ය විශ්ව විද්‍යාල 15ක් විය. කැලණිය විශ්ව විද්‍යාලය යටතේ වූ වික්‍රමාරච්චි විද්‍යායතනය දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය බවට උසස්වීමෙන් ද වව්නියාව මණ්ඩපය හැටියට පැවැති මණ්ඩපය වව්නියා විශ්ව විද්‍යාලය බවට පත්වීමෙන් ද දේශීය විශ්ව විද්‍යාල සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගියේය.
මෙම විශ්ව විද්‍යාල 17ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නියාමනය වේ. කෙසේ වෙතත් මේ විශ්වවිද්‍යාල සියල්ල අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාලනය වන අතර ඊට වෙනස්ව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ද බුද්ධශ්‍රාවක හා පාලි බෞද්ධ විශ්ව විද්‍යාල බුද්ධශාසන අමාත්‍යාංශයෙන් ද තෘතියික අධ්‍යාපනය යටතේ යුනිවොටෙක් (වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලය) ද ධීවර අමාත්‍යාංශය යටතේ සාගර විශ්ව විද්‍යාලය ද පාලනය වේ.
මීට වෙනස්ම මුදල් අයකර උසස් අධ්‍යාපනය ලබාදෙන පෞද්ගලික ආයතන 23ක් තිබේ. එයින් කීපයක් රජය යටතේ පාලනය වේ. එසේ බලද්දී මෙරට උසස් අධ්‍යාපනයේ උපාධි මට්ටමේ මුදල් අය කර ලබාදෙන කොටසක් ද තිබේ. අප විමසිය යුත්තේ මෙසේ වී ඇත්තේ ඇයි ද කියාය.
ගිය වසරේ දී උසස් පෙළට පෙනී සිට සාමාන්‍ය සාමාර්ථ ලබාගත් සිසු පිරිස 180 000 ක් පමණ වේ. එහි අර්ථය උසස් අධ්‍යාපනය ලැබීමට මූලික සුදුසුකම් ලබා ඇති පිරිස යන්නයි. එහෙත් පෙර කී රාජ්‍ය විශ්වවිද්‍යාල 17ටම බඳවාගන්නේ සිසු සිසුවියන් 40,000 ක පමණ පිරිසකි. ඒ අනුව 1,40,000කට පමණ විශ්ව විද්‍යාල වරම් ලැබෙන්නේ නැත. රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල පද්ධතිය බිහිවෙන්නේ මෙම රික්තකය ඉලක්ක කරගෙනය.
අනෙක් අතට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ද බාහිර උපාධි නමින් වෙනම පිවිසුමක් තිබේ. එය නොමිලේම ලබාදෙන අධ්‍යාපනයක් නොවේ. එසේම අදාළ විශ්ව විද්‍යාල බාහිර උපාධි සිසුන්ට අභ්‍යන්තර සිසුන්ට දක්වන සම්බන්ධතාවම දක්වන්නේ ද නැත. එනිසා උපාධි මට්ටමේ දැනුම ලබාදීමට වෙනමම පෞද්ගලික ආයතන බිහි වී තිබේ. මේ තත්ත්වය නිසා බාහිර උපාධි හදාරන සිසුන් ගෙවන්නේ බාහිර උපාධියේ මිලම පමණකැයි කීම ඇත්ත නොවේ. යථාර්ථයේ දී ඔවුන් සමග උපාධි මට්ටමේ අධ්‍යාපනය ලබාදෙන ආයතන රැසක් සම්බන්ධ වේ. මේ බාහිර උපාධි ප්‍රවර්ගය යටතේ ලබාදෙන්නේ ද කලා, කළමනාකරණ හා තොරතුරු තාක්ෂණ උපාධි පමණකි.
ඊළඟ වැදගත් කරුණ නම් අප නිදහස් අධ්‍යාපනය ලැබේ යැයි කියන පාසල් පද්ධතිය වෙළෙඳපොළ හා දක්වන සම්බන්ධයි. බොහෝදුරට මේ පාසල් පද්ධතියේ සැලකිය යුතු දරුවෝ පිරිසක් උපකාරක පන්තිවලට යති. ලක්ෂ 44 ඉක්මවන පාසල් දරුවන්ගෙන් වැඩි දෙනකු 5 වසර ශිෂ්‍යත්ව විභාගය පවා සමත් වන්නේ උපකාරක පන්ති යෑමෙනි.
උසස් පෙළ විභාගය යනු තනිකරම ඛේදවාචකයකි. උසස් පෙළට පෙනී සිටිද්දී 12 වසරේ දරුවන් පාසල් යන්නේ මාස කීපයක් පමණි. එක දවසක්වත් පාසලට නොගිය උසස් පෙළ දරුවෝ වෙති. ඔවුන් වැඩිපුරම ඉන්නේ උපකාරක පන්තිවලය. නව සාමාන්‍යකරණ තත්ත්වය යටතේ වූ අපූරු දෙයක් නම් මේ සිසුන්ට ලංකාවේ ඕනෑම ජනප්‍රිය ගුරුවරයකුගෙන් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවීමය.
එවැනි ඇතැම් ගුරුවරුන්ට ළමයින් විසි දහසේ සිට පනස් දහස දක්වා පරාසයක වෙළෙඳපොළක් හිමිය. එහෙත් ඒ දරුවෝ කිසිවෙක් අන්තර්ජාල සම්බන්ධතා හෝ උපකරණ ගැන පැමිණිලි කරන්නේ ද නැත. මේ වසරේ නොවැම්බරයේ උසස් පෙළ විභාගය පැවැත්වීමට උත්සාහ කළත් මේ සිසුහු මාසයක් දෙකකට වඩා පාසල් ගොස් ද නැත. ඇතැම් පාසල්වල ගුරුවරුන් යම්කිසි මැදිහත්වීමක් කළත් මේ පිරිසේ උසස් පෙළ අධ්‍යාපනය රැඳී ඇත්තේ උපකාරක පන්ති ගුරුවරුන් හරහාය යන්න ඇත්ත කතාවයි. අනෙක් අතට පාසල්වල පවා අධ්‍යාපනය හිමිවෙද්දී මවුපියන්ට විවිධාකාරයේ පිරිවැය දැරීමට සිදුවේ.
අපේ විශ්ව විද්‍යාල පද්ධතියේ නිදහස් අධ්‍යාපනයට ඇති තවත් බාධකයක් නම් හිංසක සංස්කෘතියයි. නවක වදය වැනි අමානුෂික ක්‍රියාත් උපසංස්කෘතියකට පෙළඹවීම නිසාත් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට යොමුවීමට ඇති කැමැත්ත දරුවන්ගෙන් විශාල වශයෙන් ඈතට යමින් තිබේ.
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සමග මහා පරිමාණයෙන් ළමයින් සම්බන්ධ වීමට මෙය ප්‍රධාන හේතුවකි. කෙසේ වෙතත් කොරෝනා වසංගතය සමග ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, චීනය යන රටවල් තුනම සිසුන් බාරගත්තේ නැත. මේ නිසා ලංකාවේ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල පද්ධතියට යොමු වූ ඉල්ලුම්පත් සංඛ්‍යාව මේ වසරේදී අතිවිශාල ලෙස වැඩි වී තිබේ.
ප්‍රශ්නය නම් නිදහස් අධ්‍යාපනය ගැන සිතන ඇතැමුන් මෙවැනි කරුණු ගැන අවධානය යොමු නොකිරීමය. මා සිතන්නේ මේ ප්‍රසාරණය රටට අවශ්‍ය බවයි.
අපේ රටේ උසස් පෙළ සමත් වන සියලු දරුවන්ට උසස් අධ්‍යාපන වරම් ලැබිය යුතුය. සාමාන්‍ය සාමාර්ථ 3ක් ගත් පමණින් ඔවුන් දුර්වල යැයි නිගමනය කළ නොහැකිය. මන්දයත් අප ඔවුන්ගේ සමස්ත දැනුම මානය කරන්නේ පැය තුනක හෝ හයක විභාගයකින් වීමය.
අනෙක් අතට විශ්ව විද්‍යාල පිවිසුම මනින ඉසෙඩ් අගය නමැති මැනීම ද මුළුමනින් වැරැදිය. අප කොතෙක් කීවත් එයත් විවිධ තත්ත්ව මත වෙනස්කෙරෙන්නේ නැත. එසේ බලද්දී දැනට විශ්ව විද්‍යාලවලට දරුවන් බඳවා ගන්නේත් වැරැදි සමීකරණයකිනි.
අනෙක් කරුණ නම් දිස්ත්‍රික් කෝටාවයි. දිස්ත්‍රික්කවල සංවර්ධනයක් වුවද පැරැණි අර්ථයෙන් මැනීම් කිරීම නිසා කොළඹ, ගම්පහ, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල දක්ෂයන්ට අසාධාරණයක් සිදුවේ. අනෙක් අතට සමගි පෙරමුණු ආණ්ඩුව සමයේ බදියුදින් මොහොමඩ්ගේ ප්‍රමිතිකරණය නිසා සිදුවූයේ කුමක් ද?
දෙමළ භාෂා අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් පවසන ආකාරයට ඔවුන් මහත් වෙනස්කොට සැලකීමකට භාජන වීමය. අවසානයේ දී එය රටේ වාර්ගික ගැටුමක් දක්වා සමාජ ආතතිය තීව්‍ර කරන සාධකයක් විය.
සමස්ත ලංකා කුසලතා පදනම යටතේ යාපනයේ සිසු දරුවන් වැඩි දෙනකු අවස්ථා හිමිකර ගැනීමෙන් මේ යථාර්ථය අපට පසක් වේ. නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයේ නිදහස ද එකසේ වැදගත් බව අප අවබෝධ කොටගත යුත්තේ මේ නිසාය. සැබැවින්ම වෛද්‍ය අංශය හැර සෙසු විෂය ඉලක්ක කරගනිමින් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් වෙමින් පවතින්නේ ද මේ තර්කනයෙනි.
වෛද්‍ය අධ්‍යාපනයට අදාළව සිදුවන්නේ ලාංකික සිසු සිසුවියන් විශාල පිරිසක් විදේශ විශ්ව විද්‍යාලවලට යොමුවීමය. රුසියාවට බෙලරුසයට බංගලාදේශයට හා නේපාලයට මෙසේ ඇදී යන සිසු පිරිස අතිවිශාලය. මේ ලෙසින් විදෙස් විශ්ව විද්‍යාලවලින් වෛද්‍ය අධ්‍යාපනය ලබන ඔවුහු නැවතත් ලංකාවට පැමිණ අදාළ කඩඉම් විභාගයට මුහුණ දී වෛද්‍ය ක්‍ෂේත්‍රයේ රැකියා කරති. එහි අර්ථය නම් මුදලක් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබූවකුට පවා මෙරට වෛද්‍ය ක්‍ෂේත්‍රයෙහි ඉඩක් ඇති බවයි. එසේ බලද්දී වෙනස නම් අදාළ පෞද්ගලික විශ්ව විද්‍යාලය ලංකාවේ නොතිබීම පමණය.
ගුරු සහ හෙද යනු මෙම අධ්‍යාපන ක්‍රියාවලියෙහි විශාල වැදගත්කමක් ලැබිය යුතු තවත් ක්‍ෂේත්‍රය. නිදසුනකට පිලිපීනය යනු ගෝලීය පරිමාණයෙන් හෙදියන් සැපයුම් කිරීමෙන් විශාල වශයෙන් විදෙස් ඉපැයීම් කරන රටකි. අපටත් එම තත්ත්වය ළගා කරගත හැකිය. එහෙත් අදටත් අපේ හෙද පාඨමාලාවලට දරුවන් ඉල්ලුම් කරන්නේ අඩුවෙනි. දැනට පවතින ඩිප්ලෝමා පාඨමාලා උපාධි පාඨමාලා තත්ත්වයට ගෙනයෑම එහිදී අත්‍යවශ්‍යය. මෙය විශ්ව විද්‍යාල පද්ධතිය දියුණු කිරීමේ දී අපේ අවධානය යොමුවිය යුතුම කරුණකි.
රටකට මූලිකව විශ්ව විද්‍යාල අවශ්‍ය වන්නේ රටට අවශ්‍ය විධායක ශ්‍රේණි හා ව්‍යවසායකත්වය නිර්මාණය කරගැනීමටය. විශ්ව විද්‍යාල නොවන පද්ධතියකින් විධායකය නිර්මාණය කරන්නේ නම් එය සකස් කරගත යුත්තේ ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සමත්කම් දක්වන්නන්ගෙනි. විධායකය යනු තමන්ගේ දැනුම හා අත්දැකීම් භාවිත කර ඉක්මනින් තීරණ ගන්නා කණ්ඩායමයි. පළමු වැනි රාජ්‍ය සේවකයා වන ජනාධිපති ලේකම්ගේ සිට පහළම ස්ථර දක්වා මේ පද්ධතිය නියෝජනය කරන්නෝ විශ්ව විද්‍යාලයකින් උපාධියක් හැදෑරුවෝය.
ප්‍රශ්නය එන්නේ රැකියා වෙළෙඳපොළේ සියලු පුරප්පාඩු සඳහා මේ උපාධිධාරින් ගළපාගැනීමේදීය. ඊට හේතුව නම් පැරැණි අර්ථයෙන් සිතා තවමත් දියත් වන උපාධි පාඨමාලාය. විශ්ව විද්‍යාල රැකියා සඳහා නොවේය යන සම්භාව්‍ය අදහස ඊට බලපා තිබේ. මා කියන්නේ අවශ්‍ය නම් එම අදහස මත පිහිටා වුව රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගෙන නිර්මාණාත්මක ලෙස ඇතැම් පාඨමාලා වෙනස් කරගෙන ගමනක් යා හැකි බවය. එසේ නොවන තාක් රැකියා වෙළෙඳපොළේ දී රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට වැඩි අවස්ථා හිමිවීම නොවැළැක්විය හැකිය.
කොතලාවල විශ්ව විද්‍යාල ප්‍රශ්නය ආවේ මෙවැනි ප්‍රශ්නයක් තිබෙන අතරය. 1981 දී ආරක්ෂක ඇකඩමියක් හැටියට ආරම්භ වන කොතලාවල අධ්‍යාපන ආයතනය විශ්ව විද්‍යාල තත්ත්වය අත්පත් කරගත්තේ 1988දීය. එතැන් සිට 2021 දක්වා උපාධි ප්‍රදානය කළ අතර සියයට60ක් පමණ බිහිකළේ කැඩෙට් නිලධාරීන්ය. සයිටම් ආයතනය වසා දැමීම සමග එහි අධ්‍යාපනය ලබමින් සිටි දහසකට අධික සිසුන් යොමුකළේ කොතලාවල විශ්ව විද්‍යාලයටය. අද වනවිට 6000 ක් පමණ වූ අධ්‍යාපනය ලබන්නන්ගෙන් කැඩෙට් නිලධාරි පාඨමාලාවල සිටින්නෝ සියයට25 ක අගයට අඩු වී තිබේ. මේ අතර විදෙස් විශ්ව විද්‍යාල සිසුන්ගේ වැඩි ආකර්ශනයක් හිමි වූ විශ්ව විද්‍යාලයක් බවට ද එය පත්ව තිබේ. සිය ආයතනය පිහිටුවීමේ පනත සංශෝධනය කරන තැනකට එහි පාලනාධිකාරිය 2018 දී යොමුවූයේ මෙම සන්දර්භය අනුව විය යුතුය.
මෙහි සරල අදහස නම් සිවිල් ජනයාට වැඩි ඉඩක් එහි ලබාදීමය. එහිදී කොතලාවල උපාධිධාරියාට එරෙහිව නිශේධාත්මක අදහසක් එන්නේ ලංකාවේ තක්සේරුවෙනි.
එහෙත් ගෝලීය යථාර්ථය ඊට වෙනස්ය. ඊට හොඳම නිදසුන විශ්ව විද්‍යාලවල ජාත්‍යන්තර වෙබ් ශ්‍රේණිගත කිරීමේදී ඊට හිමි තැනයි. විශ්ව විද්‍යාල 31 000 ක් අතරේ කෙරෙන මෙම ශ්‍රේණිගත කිරීමෙහි පළමු දහස අතරට පැමිණෙන්නට අපේ විශ්ව විද්‍යාල කිසිවකට හැකිව නැත.
පළමු දෙදහස අතරේ අපේ රාජ්‍ය විශ්ව විද්‍යාල දෙකක් ඇති අතර ඒ මට්ටමට ආසන්නව තවත් විශ්ව විද්‍යාල දෙකක් ඇත. කෙසේ වෙතත් අලුතින් එක් වූ රාජ්‍ය විශ්ව විද්‍යාල දෙක අත්හළ විට ඉතිරි විශ්ව විද්‍යාල 15 අතරෙන් පිළිවෙළින් ගතහොත් දොළොස් වැනි තැන ලබාගෙන ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයයි.
දේශීය විශ්ව විද්‍යාල තුනක් පරදවමින් ඉදිරියට ඒමට කොතලාවල විශ්ව විද්‍යාලයට හැකිවෙද්දී 16 වැනි තැන ඇත්තේ ස්ලිට් ආයතනයයි.
මෙයින් කියවෙන්නේ කුමක්ද? උසස් අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය අතින් මෙම ආයතන ඉදිරියට පැමිණ ඇති බවයි. කොතලාවල විශ්ව විද්‍යාලයේ අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල ගත්තත් එහි සිවිල් වැසියෝ විශාල පිරිසක් නියෝජනය වෙති. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් විශ්‍රාම ලැබූවෝ සප්ත වාර්ෂික නිවාඩු ලැබූවෝ සැලකිය යුතු පිරිසක් ඊට අයත් වෙති. එසේ බලද්දී අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පැත්තෙන් විශාල විවාදයකට යාමට තරම් තත්ත්වයක් එහි ඇතැයි මා සිතන්නේ නැත.
ප්‍රශ්නය පැන නැග්ගේ විශ්ව විද්‍යාලයට අදාළව 2018 ගෙන ආ පනතේ වගන්ති ක්‍රියාත්මක කිරීමට ගිය විලාසයෙනි. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩලයට මෙම පනතින් අලුතින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළත් වේ. එවිට හමුදා පාලක සංඛ්‍යාව ප්‍රතිශතාත්මකව වැඩිවේ. අනිවාර්යයෙන්ම මේ තත්ත්වය වෙනස් වී සිවිල් විද්වතුන්ගේ ප්‍රතිශතය වැඩි විය යුතුය.
ආණ්ඩුවට කරන්නට තිබුණේ 2018 දී පනතට විරුද්ධ වූ පදනම පැහැදිලි කරමින් එහි අඩුපාඩු මගහරවාගෙන ඉදිරියට යෑමය. පනතක් තිබූ පමණින්ම එය ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත වන්නේ නැත. ගැසට් කර ඇතත් කාරක සභා අවස්ථාවක දී ඇත්තේ අවශ්‍ය සංශෝධනවලටය. කොතලාවල විශ්ව විද්‍යාලය රටට වැඩක් ඇති ලෙස ප්‍රතිසංස්කරණය කරගතහැක්කේ ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද ඊට අර්ථපූර්ණ ලෙස දායකවීමෙනි. එනිසා අප මේ අවස්ථාවේ කළ යුත්තේ පුළුල් මට්ටමින් ඒ ගැන සාකච්ඡාවට ගැනීමය.
මෙම සාකච්ඡාවේ දී වැදගත්ම කරුණක් නම් උසස් අධ්‍යාපන නියාමනයයි. රාජ්‍ය විශ්ව විද්‍යාල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නියාමනය වෙද්දී රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්කාකා කමිටුවෙන් නියාමනය වේ. එහෙත් අප මේ සාකච්ඡාව ආරම්භයේ දී කී කොතලාවල, බුද්ධශ්‍රාවක ආදී විශ්ව විද්‍යාල පහ එවැනි නියාමනයකට ලක්වන තත්ත්වයක් තවමත් දකින්නට නැත. ඒවායේ නියාමනය සිදුවන්නේ පිහිටු වූ පනතේ වගන්ති මගිනි. මා අවධාරණය කරන්නේ මෙම විශ්ව විද්‍යාල පහ ද ඉහත කී නියාමන ආයතන දෙකෙන් එකකට යටත් කළ යුතු බවය.
එහි දී උසස් අධ්‍යාපනය සමස්තයක් හැටියට වඩා නිරවද්‍ය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදනය කොමිසම යටතට ගැනීමෙන් බව මගේ පෞද්ගලික අදහසයි. වන් ඇඩ්මිෂන් පොලිසි හෙවත් ‘එක් ඇතුළත් කරගැනීමේ පිළිවෙතක්’ මැයෙන් වූ යෝජනා ද අපි ඒ සඳහාම ඉදිරිපත් කර තිබේ. එහි සරල අදහස නම් උසස් පෙළ සමත් වන පෙර කී 1,80,000 ක් වූ සමස්ත ශිෂ්‍ය වර්ගයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා උසස් අධ්‍යාපන අවස්ථාවලට යොමුකිරීමය. ප්‍රස්තුතගත විශ්ව විද්‍යාල ද ඇතුළුව උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතන 60ක් දැනට ලංකාවේ ක්‍රියාත්මකය.
විශ්ව විද්‍යාලවල ජාත්‍යන්තර වෙබ් ශ්‍රේණිගත කිරීමේදී ලංකාවෙන් ඉදිරියෙන්ම කොළඹ විශ්ව විද්‍යාලය සිටිද්දී අවසානයට (60) ඇත්තේ නාගානන්ද ආයතනයයි. මා මෙසේ ගෝලීය දර්ශකයෙහි අපේ ස්ථානගතකිරීම් දැක්වූයේ කවර මට්ටමේ විවාදයක් තිබුණත් අපට මුහුණ දිය යුතු යථාර්ථයක් මහ පොළවේ ඇති නිසාය. ඉතින් අවසාන විග්‍රහයේ දී අප සම්මුතියකට පැමිණ මේ අර්බුදය විසඳාගත යුතුව තිබේ. මක්නිසාද යත් මෙසේ අප වාද විවාද කරගනිමින් සිටින්නේ ජාතියේ දරුවන්ගේම අනාගතය සම්බන්ධයෙන් වන බැවිනි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ
සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධ්‍යාපනය ජනතාකරණය එකම විසඳුමද?
THILAK Wednesday, 04 August 2021 08:13 PM
මේ තත්තවය කැම්පස් ලෙක්චර්ස්ලටත් තියෙන්නේ නැති එකයි ගැටලුව
anura Thursday, 05 August 2021 08:52 AM
ඔබතුමාගේ ලිපියට ඌන පූර්ණයක් එකතු කිරීමට කැමැත්තෙමි. නිදහස් අධ්‍යාපනයේ පිහිටින් උපාධි දාරියෙක් බිහි කිරීමට රජය විශාල මුදලක් වැය කරයි. විශේෂයෙන් වෛද්‍ය උපාධි දාරියෙක් බිහිකිරීමට උපරිම මුදලක් වැය කරයි. නමුත් වාර්ෂිකව ලංකාවේ බිහිවන වෛද්‍ය උපාධි දාරීන් සංඛ්‍යාවත්, එම සංඛ්‍යාවන් එකතුවී දැනට ලංකාවේ සිටින වෛද්‍ය වෘත්තිකයන් සංඛ්‍යාවත් අතර විශාල වෙනසක් ඇත. මම හිතන විදිහට මෙයට හේතුව එම වෘත්තිකයන් ලංකාවට සේවය නොකර ලංකාව හැර යාමය. නිදහස් අධ්‍යාපනයට මොරගහන බොහෝ දෙනෙක් උපාධි දාරීන් වූ පසු ලංකාවෙන් පැන යයි. ඒ සමගම දුෂ්කර පාසැලක අධ්‍යාපනය ලබා උපාධි දාරියෙක් වූ පසු නැවැත ගම් පලාතට ගුරු පත්වීමක් ලබා ගැනීමට බොහෝ දෙනෙක් කැමැති නැත. ඔවුන් බලන්නේ කෙසේ හෝ නගරයේ පාසැලකට මාරු වී පසුව හොඳ ටියුෂන් පන්තියක් පටන් ගැනීමට ය. සිංගප්පූරුව වැනි රටවල උපාධි දාරීන්ට වසර 15ක් එම රටේ රැඳී සේවය කරන තෙක් පිටරට යාම තහනම් ය.මුදල් ගෙවා ඉගනීමට ආයතන බිහි කිරීමට විරුද්ධ වන අය වෙනුවෙන් ඇති සරල විසඳුම උපාධිය සඳහා වැයවූ මුදල රජයට ගෙවන තෙක් ලංකාවේ රැඳී සේවය කිරීමට අණපනත් ගෙන ඒමය.
KksThursday, 05 August 2021 08:22 PM
රටේ සියලුම උපාධිධාරීන් ට රට තුලම රැකියා ලබාදීමට ඕනම රජයකට අපහසුයි වගේම සියලුම උසස්පෙළ සමතුන්ට රජයේ විශ්ව විද්‍යාල උපාධි දීමටත් අපහසුයි. කල යුත්තේ වැඩි වැඩියෙන් ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවන ගමන් රටට විදේශ විනිමය ගෙන ඒමට හැකි පාඨමාලා රජයේ-පුද්ගලික අංශයේ විශ්ව විද්‍යාල තුල ඇතිකර ගිවිසුමකට යටත්ව අතිරික්ත උපාධිධාරීන්ට විදේශගත වීමට රජය මගින් උදව් කිරීමයි.
gundaThursday, 05 August 2021 10:39 PM
ඔව් අනුර ඔබගේ අදහසට මමත් එකඟ වෙනවා .උපකුලපති තුමන්ගේ පැහැදිලි කිරීමත් අගෙයි
MO77 Sunday, 08 August 2021 09:04 PM
විශ්වවිද්‍යාල මහාචාර්යවරයා පර්යේෂණ ලිපියක් ලිවිය යුතු අතර උසස් තත්ත්වයේ සඟරාවක් ප්‍රකාශයට පත් කළ යුතුය. අපේ සරසවි ඇදුරන් පුවත්පත් ලිපි ලියති. බුද්ධිමතෙකුට ප්‍රයෝජනවත් නොවේ.
sunil Monday, 09 August 2021 09:49 AM
අපගේ විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කල යුතු අතර ඒවායේ තත්ත්වයද දියුණු කලයුතුයි. ඒ සඳහා මුදල් ඇති ශිෂ්‍යයන්ගෙන් යම් මුදලක් අය කර ගැනීම වරදක් නොවේ. රටේ පවුල්වල ආදායම් නිවැරදිව ගණනය කිරීම ඉතා අවශ්‍යයි. විශ්ව විද්‍යාල වලට තෝරාගත් පසුව, අදායම අඩු ළමයිනට නොමිලෙත් අදායම් වැඩි අයගෙන් අදායම් මට්ටම අනුව යම් මුදලක් අයකිරීමේත් ක්‍රමයක් සුදුසුය. A /L ටියුෂන් වලට කොතරම් වියදම් කරනවාද ? කල යුත්තේ අදායම අනුව සිසුන් තේරීම නොව, සුදුස්සන් තේරීමෙන් පසුව, තෝරාගත් ළමයින්ගෙන් අදායම් මට්ටම් අනුව අයකිරීමයි. හාර්වර්ඩ් වැනි විශ්ව විද්‍යාල වලද පවතින්නේ මෙවැනි ක්‍රමයකි. විශාල ආදායම් ලබන ළමයින්ට නොමිලේ අද්‍යාපනය ලබාදී තවත් ආධාරද ප්‍රධානය කිරීම නිෂ්පල වන අතර, එම ආධාර මුදලද පිස්සු නැටීම සඳහා යෙදෙන අවස්ථාද විරල නොවේ.