IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අසීමිත බරක් : අනාගතය අවදානම්

ආර්ථික ගැටලු හේතුකරගෙන උද්ගත වූ සංකීර්ණ සිද්ධි බහුල කාලවකවානුවකි. මෙවැනි වාතාවරණයකට, මෑත ඉතිහාසයේ මුහුණ දී නැති ශ්‍රී ලංකාව මහත් කැළඹිලි ස්වභාවයක පවතී. ආර්ථික අර්බුදයක විපාක ජනතාවට දැනෙන්නට පටන්ගෙන තිබේ. මූලික අවශ්‍යතා සපුරා ගැනීම පවා අපහසු කාලසීමාවකි.

දුප්පත් ජන කොටස් අන්ත දුගී භාවයට පත්ව ඇති අතර මැදි ආදායම් මට්ටමේ සිටි පිරිසගේ ජීවන මට්ටම තවත් පහළට වැටී ඇත. මෙම වාතාවරණය හදිසියේ ඇති වූ තත්ත්වයක් නොවේ. කාලාන්තරයක් තිස්සේ නොවිසඳුණු, පිළිතුරු සොයාගැනීම මග හරිමින් තිබුණ අංශ ගණනාවක් එකවර පුපුරායාමෙන් ඇති වූ ව්‍යාකූල ස්වභාවයකි.

යම් යම් අවස්ථාවල අර්බුද ඇතිවේ. ප්‍රශ්න සමග ජීවත්වීම උත්තරය නොවේ. විසඳුම් සොයාගත යුතුය. සන්සුන්ව, ආත්ම ශක්තිය ඇතිව නැගී සිටීම අවශ්‍යය. සමාජය ඉල්ලන වෙනස්කම් ඇති කිරීම දේශපාලන නායකයන්ගේ වගකීමකි. ආගමික, සමාජ හා දේශපාලන නායකයන් රට තුළ පවතින විෂමතා සාකච්ඡා කර ඒවා නිරාකරණය කරන සැලැස්මකට එකඟවීම වැදගත්ය. විවිධ මතවාදවලින් ව්‍යාකූලත්වයක් ඇති කිරීම නුසුදුසු තත්ත්වයකි. පිළිගත් රාමුවකට අනුව තීරණ ගත යුතුව තිබේ. දේශපාලනඥයන් සහ දේශපාලන ක්‍රම පිරිහී ඇති බවට චෝදනා කර නායකත්ව කෙරෙහි ඇති බලාපොරොත්තු අත්හැරීම සුදුසු නැත. රට ගොඩනගන ප්‍රයත්නය පෝෂණය විය යුතු අප අතරින්ම වන අතර වෙනත් රටකින් නොවේ. අලුත් උත්පාදනයකින් සහ විශාල කැපවීමකින් පසු නැවතත් නැගී සිටින්නට අවස්ථාවක් ඇත.

අර්බුද හා ව්‍යසන අලුත් අත්දැකීම් නොවේ

අවශ්‍ය වෙනස්කම් හඳුන්වා දී, ක්‍රියාත්මක වුවහොත් රට නැවත ගොඩනැගීමට හැක. ලෝකයේ නොයෙක් රටවල් වරින් වර ආර්ථික හා සමාජ අර්බුදවලට මුහුණපා ඇත. ඉතිහාසය එයට සාක්ෂි දරයි. යුරෝපයේ ගිනිකොනදිග රටක් වන ග්‍රීසිය කඩා වැටීමකට ලක්විය. ඇමරිකානු බැංකු පද්ධතිය හා විශාලතම සමාගම් බංකොලොත්ව ආර්ථිකය බිඳවැටිණ. ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් වන ජෙනරල් මෝටර්ස්, සිටි බැංකුව වැනි සමාගම් වසා දමන තත්ත්වයට පත්විය. එවැනි ආයතන රජයට පවරා ගත් ඇමරිකානු රජය අවශ්‍ය වෙනස්කම්වලට පසු ප්‍රාග්ධනය සපයා නැවත පවරන ලදී. එයින් ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් විය. අග්නිදිග ආසියානු රටවල මූල්‍ය අර්බුදය ද පසුගිය කාලයේ උද්ගත වූ තවත් ප්‍රශ්නයකි. රටවල් ගණනාවක් නොසිතූ ප්‍රශ්නවලට මුහුණ පෑවේය.  

මෑත කාලය් දී පැතිරගිය කොවිඩ් වසංගතය ජාත්‍යන්තරයට ඇති කළ බලපෑම මහත්ය. එහි ආර්ථික සංකූලතා තවමත් ලෝකය පුරා පැතිරෙමින් පවතී. ශ්‍රී ලංකාව මුහුණපා ඇති තත්ත්වය ද එහි එක කොටසකි. අපනයන ආදායම අඩුවීම හා සංචාරක ආදායම පහත වැටීම සහ කෙටිකාලීන ණය සම්බන්ධව තත්ත්වය නරක අතට බලපා තිබේ. ඖෂධ, ආහාර, ඉන්ධන, විදුලිය වැනි අංශවලට සිදුවූ බලපෑම මත ජනතාව නැගී සිටි අතර ආණ්ඩු වෙනස් කරන අරගලයක් දක්වා ව්‍යාප්ත විය. මෑත භාගයේ කඩා වැටුණු රටවල් නැවත නැගී සිටීම සමග අලුත් ව්‍යුහයක් කෙරෙහි අවධානය යොමු විය. තාක්ෂණයට නැඹුරු වූ අතර කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ප්‍රධාන සාධක බවට හැරිණ. මානව සම්පත විශාලම ශක්තිය විය

ආර්ථික මූලධර්ම හා මනුස්සකම් අතර ගැටුමක්

ආර්ථිකයක් කඩාවැටුණු පසු නිවැරදි කිරීමට ක්‍රම ඇත. වියදම පාලනය කෙරේ. ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනේ. ප්‍රතිපත්ති සම්පාදකයන් මේවා යෝජනා කරන අතර වහාම ක්‍රියාවට නැංවුවහොත් ඉක්මනින් ආර්ථික පුනර්ජීවනයක් ඇතිවේ. ඇමරිකාව වැනි වෙළඳ පොළ කේන්ද්‍ර කරගත් ආර්ථිකය ඇති රටවල් මේ සඳහා තීරණ ඉක්මනින් ගනී. ආයතනවල පැවැත්ම සඳහා සේවකයෝ ඉවත් කෙරෙති.

වැටුප් කපාහරින අතර සුබසාධන සේවා පාලනය කෙරේ. එම තීරණ ගැනීමේ දී ජනතාවට සිදුවන හිරිහැර අවධානය ගැනෙන්නේ නැත. විසඳුම පමණක් ඉලක්ක කෙරේ. ශ්‍රී ලංකාව වැනි රටවලට එවැනි තද තීරණවලට යා නොහැක. ජනතාව දුෂ්කරතාවට පත්වන අතර ඔවුන්ට පිළිසරණක් නැත. හිරිහැර අවම කරන අතර මානුෂික පියවරකින් වැටී ඇති අර්බුදයට විසඳුම් සෙවිය යුතුය. සමාජ සංකූලතා වටහා ගන්නා අතර පිළියම් සහිත විප්ලවකාරී සැලසුම් අවශ්‍යය. ජනතාවගේ හද ගැස්ම වටහාගෙන, සැලසුම් යෝජනා කිරීම වැදගත්ය. 

උපදෙස් විශාල ප්‍රමාණයකට වඩා එක විසඳුමක් වැදගත්ය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා උපදෙස් සෑහෙන ප්‍රමාණයක් ලැබේ. දේශීය හා විදේශීය විද්වත් පිරිස් සහ සංවිධාන එයට පියවර ගෙන ඇත. අය වැය පරතරය පියැවීම, විනිමය පාලනය, පිරිවැය කළමනාකරණය වන පරිදි විදුලිය, ඉන්ධන, ජලය හා ගෑස් ඇතුළු අංශවල ගාස්තු නැංවීම, සහනාධාර අඩුකිරීම ඇතුළු දේ එහි ඇත. ක්‍රියාවට නැංවීමේ දී දුගී දුප්පත් ජනතාව ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. අනුගමනය කරන ක්‍රියාමාර්ග හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැනටමත් අසරණ වී ඇත. රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා අලුත් බදු ගණනාවක් පනවා තිබේ. ඉන්ධන, විදුලිය, ජලය හා ගෑස් මිල සංශෝධනය වේ. රජයේ සේවාවලට අය කරන ගාස්තු නැවත නැවතත් නංවා ඇත. කර්මාන්ත හා ව්‍යාපාරවලට ද අධික බදු නියම කර ඇත. මෙම බදු ගෙවන්නේ සාමාන්‍ය ජනතාව බව අමතක නොකළ යුතු කරුණකි.

රජයේ  කැපවීම ද මෙහි දී ප්‍රශ්න කළ යුතුය. ජාතික ආදායමෙන් සියයට අසූවකට වඩා රජයේ සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වැය කෙරේ. කාර්යාල නඩත්තුව, මැති ඇමැතිවරුන්ගේ හා නිලධාරීන්ගේ අධික පහසුකම් පාලනය කළ හැකිය. රජයේ ආයතනවල විදුලිය, ජලය හෝ ඉන්ධන පරිහරණය සීමාකරන උත්සාහයක් අවශ්‍යය. බ්‍රිතාන්‍යය ගණන් බලන පරිදි ඉදිරි වසර තුන තුළ රජයේ කාර්යාල ගොඩනැගිලිවල වටිනාකම සියයට තිස් අටකින් පහත වැටේ.

එයට හේතුව සේවකයන්ගෙන් කොටසක් නිවසේ සිට රාජකාරිවලට නැඹුරුවය. රජයේ වියදම කපාහැරීමේ දී මේවා අලුතින් අවධානයට ගත යුතුය. සුළු සේවකයන්ගේ අතිකාල දීමනා අඩු කර ඇති නමුත් ඉහළ ශ්‍රේණිවල දායකත්වය පැහැදිලි නැත. කැපවීම ඉහළ සිට අවශ්‍යය. ආදර්ශය ඉතාම වැදගත්ය. අරපිරිමැස්ම අවශ්‍යය. වියදම පියැවීමට ගන්නා දේශීය ණය උද්ධමනය තවත් වැඩිකරන අතර මෙහි අවසානය තවත් දරුණු තත්ත්ව ඇති කරනු ඇත.

2022 වසරේ ආර්ථික වර්ධනය ඍණ අගයක් බව ප්‍රකාශ වී ඇත. සියයට නමයකින් පමණ වර්ධනය අඩුවුවහොත් රජයේ ආදායම ද එපමණකින් පහත වැටේ. මෙහි ප්‍රතිඵල දැනෙන්නේ ලබන වසරේ දීය.  2023 අවුරුද්දේ දී ද, ආර්ථිකය ඍණ අගයක පවතිනු ඇති බව දැක්වේ. එම පිරිහීම පියවා ගැනීමට ඊළඟ අය වැය මගින් තවත් වටයකින් බදු අය කළ හැකිය. එවැනි යෝජනා කිසිසේත් ආර්ථිකය නංවන විසඳුම නොවේ. බදු වෙනුවට නිෂ්පාදනය වැඩි කරන, කර්මාන්ත හා ව්‍යාපාර බහුල කරන සමාජයක් සඳහා ගමන් කළ යුතු අතර ඒ සඳහා තීරණ ගැනීම අවශ්‍යය.

ප්‍රතිසංස්කරණ යන වචනයට ඇති භීතිය

ජීවන වියදම ඉදිරියේ සටන් කරන දුප්පත් ජනතාව ප්‍රතිසංස්කරණවල වටිනාකම දනී. අපහසු කාලයක ජීවත්වන ක්‍රමය ගැන අවබෝධයක් ඔවුන්ට ඇත. සහල්, එළවළු ගන්නට වත්කමක් නැති අවස්ථාවක පාන් ගෙඩියකින් ජීවත්වේ. අනවශ්‍ය වියදම පාලනය කරන අතර මුදල් සොයාගන්නට අතිරේකව වෙහෙසෙයි. අමාරුම අවස්ථාවක තමන් සතුව ඇති රන් භාණ්ඩයක් හෝ උකස් තබයි. තම දේපොල කොටසක් බදු දෙන්නට වෑයම් කරයි. දේපොළ විකුණා හෝ ආදායම සොයාගනී. එම තීරණ ගන්නේ කැමැත්තකින් නොවේ. මෙහි දී පවුලේ ප්‍රශ්න ඇතිවේ. එහෙත් දුෂ්කර කාල වකවානුවල අමාරු තීරණ ගන්නට අපට සිදුවේ. තීරණාත්මක අවස්ථාවක දී අවශ්‍ය වෙනස්කම් කළ යුතුය. ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන්නට අවශ්‍යය. අසීමිත බරක් දරාගෙන ඉදිරියට ගමන්කිරීමේ දී තවත් අනතුරුදායක අවස්ථා ඇති විය හැක. 

අනුගමනය කළ ප්‍රතිපත්තිවල වැරදි හේතුවෙන් දැනටමත් ගැටලු ඇති වී තිබේ. ජාත්‍යන්තර ණය ගෙවීම අත්හිටුවා ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් හදිසි ණයක් ගැනීමට හෝ අවස්ථාවක් නැත. වාණිජ බැංකු පොලිය ඉතාම ඉහළ මට්ටමකට පැමිණ ඇත. එම පොලී අනුපාත අනුව කර්මාන්ත හෝ ව්‍යාපාර කළ නොහැකි අතර ව්‍යවසායකත්වය අඩපණ වී තිබේ. ආර්ථිකය ප්‍රසාරණය කරන, ව්‍යවසායකත්වයකින් තොරව පිබිදීමක් බලාපොරොත්තු විය නොහැක. අලුත් අනාගතයක් සම්බන්ධයෙන් අපේක්ෂා තිබුණ සමාජයක් තවදුරටත් හැකිලී පීඩාවට පත්වීමට ඉඩ තිබේ. මෙකී පැති සලකා බලා අලුත් මානයකින් අවධානය අවශ්‍යය.

පොලී හා උද්ධමනකාරී වාතාවරණයෙන් මිදෙන අරමුණ ඇතිව වහාම ක්‍රමයේ වෙනස්කම් ඇති කළ යුතුය. විනිමය අනුපාත ස්ථාවර කෙරෙන ක්‍රියාමාර්ග අවශ්‍යය. ජනතාවගෙන් අය කිරීම වෙනුවට ධනය උත්පාදනය සඳහා පියවර ගැනීම ආණ්ඩුවක වගකීමකි. ජනතාවට සහන වශයෙන් බව ප්‍රකාශ කරමින් නඩත්තු කරන රජයේ ආයතන ඇති කරන පාඩු රටට උත්පාදනයක් ඇති කරන්නේ නැත. විදුලිය, ඛනිජ තෙල් හෝ රජයට අයත් වෙනත් ආයතනයකින් ඇති කරන පාඩු මහජනතාවට ගෙවන්නට සිදුවී ඇත. ජාතික සම්පත් ආරක්ෂා කරන බව මතුපිටින් ප්‍රකාශ කරන නමුත් එම මිථ්‍යාව සමග දැවැන්ත පරිහානියක් කරා ගමන් කරමින් සිටී.

අරගලය පුද්ගලානු බද්ධ එකක් නොවේ

අසාධාරණය හෝ අයුක්තිය ගැන පැන නැගෙන විරෝධතා වරින්වර ඇතිවේ. අවාසනාවකට පාහේ ඒවා එල්ලවෙන්නේ පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන බව සඳහන් කළ යුතුය. ක්‍රමය විකෘතිවීමට හේතුව පාලකයන් ගන්නා තීන්දු බව පැහැදිලිය. දුර්වල තීරණ ගැනීමට බලපාන සාධක ද අමතක කළ යුතු නැත. ප්‍රතිසංස්කරණ සඳහා බලකරන ආර්ථිකයක් ඇති අවස්ථාවක තීරණ නොගැනීම වරදකි. ක්‍රමය වෙනස් කරන සේ බලකිරීමට මහජනතාවට ද අයිතියක් ඇත. දේශපාලනඥයන් පත්කර ඔවුන්ගෙන් යැපෙන, ක්‍රමය වෙනස් කරන්නට සූදානම් විය යුතුය. 

ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකයෙහි ඇතිවන අර්බුද කෙළවර වෙන්නේ ආණ්ඩු වෙනස්වීමකින් වන අතර මුහුණු වෙනස් කිරීමෙන් ආර්ථිකය ගොඩනැගිය නොහැක. නිදහස ලැබීමෙන් පසු ගත වූ අවුරුදු හැත්තෑ පහ තුළ අර්බුදය පෙනි පෙනී පාලකයන් වෙනස් කරන ලද ජනතාව එයින් ඉලක්ක කළේ ක්‍රම වෙනසකි. බලයට පත්වන පාලකයෝ ජනප්‍රිය තීරණවලට කැමැතිය. මනාප අහිමිකර ගැනීමට අකමැති දේශපාලනඥයෝ ජනතාව ඉදිරියට ගොස් පොරොන්දු දෙන ලද අතර ආණ්ඩුවෙන් රස්සා, වැඩි වැටුප්, දුප්පත් ජනතාවට සහනාධාර, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් නොමිලේ යනාදී වශයෙන් දහසකුත් එකක් දේ ප්‍රකාශ කරති. ඒවායෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණේ නම් අද ශ්‍රී ලංකාව සුර පුරයකි. ක්‍රමය සම්බන්ධ වෙනස්කම් නොසිදුවූවා නොවේ. විරෝධතා මැද කරන ලද ප්‍රතිසංස්කරණවල වාසි අප හමුවේ ඇත. 

ටෙලිකොම් අංශයේ පෞද්ගලිකරණය හේතුවෙන් අද සන්නිවේදනයේ විශාල අවස්ථා ලැබී තිබේ. වරාය මෙහෙයුම් පෞද්ගලීකරණය හේතුවෙන් තරගකාරීත්වයක් ඇති වූ අතර එයින් රටට ආදායමක් හා අලුත් රැකියා උත්පාදනයක් සිදුවිය. නවීන තාක්ෂණික දැනුම රටට එකතු වී  ඇත. ඛනිජ තෙල් බෙදාහැරීම සම්බන්ධ පෞද්ගලීකරණය ද දැනෙන වෙනසක් ඇති කර තිබේ. එම ක්ෂේත්‍රයේ තවත් වටයකින් කළ යුතු වෙනස්කම් මෙයට වඩා ප්‍රතිලාභ රටට අත්කර දෙනු ඇත. මෙම ප්‍රතිසංස්කරණවල වාසි එදිනෙදා ජීවිතයේ දී දැනෙන නමුත් මේ හා සමාන අලුත් ව්‍යුහයක් අධ්‍යාපන, සෞඛ්‍ය, විදුලිය, ඛනිජ තෙල්, ගුවන් සේවා සහ ගුවන් තොටුපොළ හෝ පොදු ප්‍රවාහනයේ ඇති කිරීමට ඇතැම් පිරිස් එකඟ නැත. ඒවායේ ඇති කරන පරිවර්තනය සමාජය වෙනස් කරන්නට හේතුවේ.

බදු වෙනුවට ව්‍යවසාය දියුණු කරන අතර එයින් ආදායමක් හා රැකියා අවස්ථා සඳහා යා හැක. මෙවැනි ක්‍රම වෙනස් කිරීමට වැඩි පිරිසකට අවශ්‍යය. ඉගෙන ගන්නටත්, තමන්ගේ අනාගතය හැඩගසා ගන්නටත් විශාල වෑයමක් දරයි. වෙනත් රටකට හෝ ගොස් දියුණුවෙන්නට උත්සාහ කරති. මෙම පිරිස අපගේ ශක්තිය බව අමතක කළ යුතු නැත. පවතින දුබල ක්‍රමයෙන් වාසි ලබන, එයින් යැපෙන සුළු කොටසක් වෙනස්වීමට විරුද්ධය. රජයෙන් නඩත්තු වෙන, මහජනතාව බදු ගෙවා රජය නඩත්තු කරන පටු රාමුවෙන් ඉවත්විය යුතුය. ජනතාවාදී අරගලය රටට නිසි ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා පාලකයන්ට බලකිරීම සඳහා බව මෙහි දී පෙන්වා දිය යුතුය.

පවතින අසංවිධිත, නිසි කළමනාකරණයක් රහිත සහ අකාර්යක්ෂම ප්‍රතිපත්තිවලට විරුද්ධව ජනතාව සංවිධානය විය යුතුය. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ ඒවායෙන් යැපෙන පිරිස් පුද්ගලානුබද්ධ වෛරයකින් ඝෝෂා කරමින් සිටින අතර ඒවා ඉහළින්ම මතු කරන මාධ්‍ය ද මෙයට යම් පමණකින් වගකිව යුතුය. සමාජ මාධ්‍ය ප්‍රවාහය මෙහි බලය අතට ගෙන ඇති අතර අන්තවාදී අදහස් පතුරවමින් කෝලාහලයක් කරමින් සිටී.

මධ්‍යස්ථ මතධාරී බහුතරයක් නිහඬව සිටීමෙන් පටු අදහස් අනියම් ආකාරයකින් අනුමත කරන බව ද දැනගත යුතු කරුණකි. අපට අවශ්‍ය දුප්පත් ජනතාව මත තවත් බර පටවන සම්ප්‍රදායික ක්‍රමය නොවේ. රාමුව වෙනස් කිරීමෙන් එහි අවස්ථා සමාජයට දෙන පිළිවෙළකි. අලුත් ආර්ථිකයක් ගොඩනගන්නට වෑයම් කළ යුතුය. බදු වැඩි කිරීම ජනතාවගෙන් අය කර අය වැය පියැවීම පහසුය. තෝරාගත යුතු පහසු මාර්ගය නොවේ. දුෂ්කර ඉතාම අසීරුවෙන් ගමන් කළ හැකි එහෙත් අවසානයේ දී ප්‍රතිඵල දැකිය හැකි මාවතකි.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කරන්නේ නම් කෘතඥවෙමි.

මිලින්ද මොරගොඩ



අදහස් (4)

අසීමිත බරක් : අනාගතය අවදානම්

yamuna Wednesday, 14 December 2022 10:41 AM

අදහස් හා යෝජනා ඉතාමත් හොඳයි.

:       2       1

සංකා Friday, 16 December 2022 07:12 AM

මේ හොරෙන් අටවා ගත්ත ආණ්ඩු වලට ලෝකෙන් තව ණය දෙන්නේ නැහැ. ඔය රාජපක්ස පරපුර තමයි රටේ පිච්චිය නැති වෙන්න හොරා කාල අද රටේ බඩු මිල හය හත් ගුණයකින් ඉහල ගිහින් මිනිස්සු ජීවත්වෙන්න බැරිව පොළොවේ පස් කන්නේ.

:       0       2

Nuwan Friday, 16 December 2022 06:25 PM

යුතුයි කියා කොපමණ ලියා ඇත්ද? කළයුත්ත දැන සිටියාද? කරන විදිහ කාටවත් කියන්නට බැරිය. රටේ තත්ත්වය බැලුවාම තරුණ ශ්‍රමය අපතේ යන අයුරු අදටත් දක්නට ඇත. රාජ්‍ය සේවය කුඩා කරන ගමන්ම කොන්ත්‍රාත් ක්‍රමයට පුද්ගලික අංශයෙන් රාජ්‍ය සේවය මිලට ගැනීම කාර්යක්ෂමතාව ඉහල නැංවීමට හේතුවේ. මේවා නීති කෙටුම්පත් මගින් සම්මත කරන්න ඕනෑ...

:       0       0

HARAMANISS Sunday, 18 December 2022 03:47 PM

මේ මහත්තයා ලංකාවේ බැංකු වකින් කෝටි 100 ක් අරගෙන ගෙවල නැතිව දැන් ලංකාවේ ආර්ථිකය ගැන ටෝක් දෙනවද? මිස්ටර් වාසුදේව කේස් එකකුත් ෆයිල් කළා මොනවා වුණාද දන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site