IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ආචාර්යවරුන්ගෙන් තොර විශ්වවිද්‍යාල කුමකට ද?

බුද්ධි ගලනය අපේ රටට කවදත් තිබූ ගැටලු‍වක් විය. එහෙත්, මේ තරමට බරපතළ තත්ත්වයකට පත් බුද්ධි ගලනයක් පිළිබඳ මීට පෙර කිසි කලෙකත් වාර්තා වී නැත. උගත් තරුණ තරුණියන් පමණක් නොව ආචාර්ය, මහාචාර්යවරු ද වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු ද මේ හේතුවෙන් රටට දිනපතා අහිමි වෙමින් සිටින ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයක සිටිති.

එය කොතරම් සංකීර්ණ අර්බුදයක් බවට පත්වීදැයි කිවහොත්, රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ද රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා පද්ධතිය ද මේ හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ දෙමින් සිටී.

මේ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු එළි කොතරම් දැල්වුණ ද තවමත් ඒ සම්බන්ධයෙන් නිසි බලධාරීන් සිටින්නේ තමන්ගේ මධ්‍යම ස්නායු පද්ධතියම හිරිවැටුණු තත්ත්වයකිනි. මේ නිසාදෝ ඒ ගැන ඔවුන්ගේ අවධානය යොමු වී නැත.

අපගේ ලංකාදීප පුවත්පත පසුගියදා තම ප්‍රධාන සිරස්තලයෙන් මේ බැරෑරුම් තත්ත්වය රටේම අවධානයට යොමු කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන්, මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම ගැටලු‍වක් බවට පත්වී ඇති බවය.

උද්ගතව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක, මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කර තිබුණේ, 2022 ජනවාරි මාසයේ සිට මේ වසරේ මැයි මාසය දක්වා කාලය තුළදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ ආචාර්ය මහාචාර්යවරුන් 70 දෙනකු විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී, විදේශගත වී සිටින බවය.

ඒ අතර තවත් විශාල පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී සිටින බව ද මහාචාර්යවරයා කියා තිබිණි. වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා සහ දන්ත වෛද්‍ය යන පීඨවලට මේ හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ද එය එම සිසුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යාම ගැටලු‍ සහගත තත්ත්වයකට ඇද දමා තිබෙන බව ද නියෝජ්‍ය උපකුලපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

මෙවැනිම අවදානම් තත්ත්වයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ද කාලයක සිට බුබුළු දමමින් තිබේ. වෛද්‍යවරුන් 500ක පිරිසක් කෙටි කාලයක් තුළදී විදෙස්ගත වීමත්, ඒ සමග විශේෂඥ වෛද්‍යවරුන් ද වරින් වර සේවයෙන් ඉවත් වී, රට හැර යාමත් සිදුව තිබේ. ඇතැම් දුර බැහැර රෝහල්වල ළමා වාට්ටු සහ මහාචාර්ය ඒකක පවා තාවකාලිකව වසා දැමීමට එම තත්ත්වය හේතු වී ඇත. එහෙත්, බරපතළම ඛේදවාචකය, මේ අර්බුදය විසඳා දීමේ වගකීම බාරව සිටින බලධරයන් සියලු‍ දෙනා කනේ ඇඟිලි ගසාගෙන, දෑස් වසාගෙන සහ මුව ඇරීමකින් තොරවම කල් මරමින් සිටීමය. එයින් ගැටලු‍ව විසඳෙන්නේ නැත. සිදුවන්නේ, පවතින තත්ත්වය තවදුරටත් අසාධ්‍ය තත්ත්වයට පත්වීම පමණි.

විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ පුරප්පාඩුවලට පිටතින් ආචාර්යවරුන් ගෙන්වාගෙන, අධ්‍යයන කටයුතු අඩාල වීමට ඉඩ නොදී, පවත්වාගෙන යාමට හැකියාව තිබේ. එය සුදුසුම විසඳුම නොවුණත්, වෙලාවේ හැටියට හොඳ තාවකාලික විසඳුමකි. මේ වන විට පේරාදෙණියේ එය සිදු වෙමින් පවතින බව ද සඳහන්ය. එහෙත්, මේ අවනඩුවෙන් සිසුන්ට සිදුවන හානිය වළක්වා ගැනීමට එම විසඳුම ප්‍රමාණවත් නොවේ. පුරප්පාඩු වී ඇති තනතුරුවලට සුදුසුකම් ඇති ආචාර්ය, මහාචාර්යවරුන් බඳවා ගැනීම ද එකවරම කළ නොහැකිය. එහෙත්, විධිමත් සැලැස්මක් යටතේ ආචාර්යවරුන් බඳවා ගැනීම තවදුරටත් ප්‍රමාද කළ යුතු නැත.

අපේ රටේ උගත් බුද්ධිමත් කාර්යශූර බුද්ධිමතුන් මේ ආකාරයට රට හැර යන්නේ ඇයි? මේ ප්‍රශ්නය පසුගිය කාලය තුළ කොපමණ වරක් රටේ සාමාන්‍ය ජනතාව විමසන්නට ඇද්ද? එයට උත්තරයක් සැපැයීම ප්‍රමාද වන විට රටේ ජනතාව තේරුම් ගන්නේ ප්‍රශ්නයට උත්තරයක් නොමැති බවය. එහෙත්, එසේ කියමින් රටේ නම ඉහළටම ඔසවා තබන විශ්වවිද්‍යාලයක් වන පේරාදෙණියේ වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා පීඨ හෝදාපාළුවට යාමට ඉඩ දිය නොහැක. එසේ වීමට ඉඩ හැරීම ජාතික අපරාධයකි. උසස් අධ්‍යාපනය භාර අමාත්‍යවරයාගේ අවධානය මේ සඳහා වහාම යොමු විය යුතුය.

අපේ බුද්ධිමතුන් මෙසේ රට හැර යාමට හේතු ගණනාවක් බලපා තිබෙන බව නොරහසකි. ඒ අතුරින් වඩාත්ම බලපෑ හේතුව, රජය මගින් මාසික ආදායම රුපියල් ලක්ෂයට වැඩි සියලු‍ දෙනාට ක්‍රියාත්මක කළ මහා පරිමාණ බදු ගැසීම බව පිළිගත යුතු වෙයි. මේ බදු ගැසීම වඩාත් පීඩනයට පත් කර ඇත්තේ උගත් බුද්ධිමත් ප්‍රජාවය. අද විශ්වවිද්‍යාල සහ සෞඛ්‍ය සේවාව එම පීඩනයේ හානිකර ප්‍රතිඵල විඳිමින් සිටී. මේ ප්‍රතිඵල ඊළඟට වදින්නේ රටේ හදවතටමය. එවිට වැරැද්ද හදාගැනීමට තරම් කාලයක් ඉතිරි නොවන බව සහතිකය.

(***)



අදහස් (10)

ආචාර්යවරුන්ගෙන් තොර විශ්වවිද්‍යාල කුමකට ද?

kamal Monday, 07 August 2023 03:26 PM

ආදායමට සරිලන ආකාරයට බදු ගෙවන්නට සිදුවීම ඕනෑම රටක සිදුවන දෙයක්. මොවුන් විදේශගත වන රටවල ආදායම් බදු නොගෙවා සිටිය හැකිද? රටේ නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පොහොර සහනාධාර, මාර්ග නඩත්තුව ඉබේ සිදුවන දේ නොවේ. විද්‍යා පීඨ බොහෝමයක කටයුතු සිදු කරන්නේ ඉංග්‍රීසි බසින් වන බැවින්, මේ පුරප්පාඩු පිරවීම සඳහා SAARC රටවල ආචර්යවරුන්ට මේ රටේ සේවය කරන්නට ඉඩ දිය යුතුයි.

:       24       14

Mo77Tuesday, 08 August 2023 10:12 AM

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨවල ආචාර්යවරුන් ස්වල්ප දෙනෙක් පරීක්ෂණ කරන අතර අනෙකුත් දෙනා පරීක්ෂණ හෝ පර්යේෂණ පත්‍රිකා පළ කරන්නේ නෑ. ඔවුන්ට මේවා ප්‍රශ්නයක් නෑ. ඔවුන් විදේශගත වෙන්නේ නෑ. විදේශ විශ්විද්‍යාලයේ ඔවුන් ආචාර්යවරුන් ලෙස ලබා දවා ගන්නෙත් නෑ. ඔය කීප දෙනෙක් රට ගිහිල්ලා තියෙනවා ලොකු ප්‍රශ්නයක් තියෙන බවක් පේන්නෙත් නෑ. කලා හා කළමනාකාර පීඨවල කිසිම පරීක්ෂණ වලට අදාල වැඩක් කෙරෙන්නෙත් නෑ...

:       6       4

pakeer Monday, 07 August 2023 08:47 PM

ආදායමට සරිලන සේ බදු ගැසිය යුතුය. ඒත් නිසි ක්‍රියාවේ යෙදවිය යුතුයි.. මේ රටේ එම බදු යොදවන්නේ.... මහ එවුන්ගේ බඩකට පිරවීම සඳහාය. එහෙයින් එම බදු ගෙවනවාට වඩා පිටරටට ගොස්, බදු ගෙවා එම බදුවලට අදාළ සැප පහසුකම් විඳීම යෙහෙකි. කෙසේ වෙතත් තවත් අවුරුදු 50න් ලංකාවේ ඉතුරු වෙන්නේ අන්ධ මොට්ටයින් රෑනකි. ඒ මන්ද යත්... අප කවුරුවත් අවස්ථාව ආ සැණින් මේ රටින් සිහින මවමවා සිටින බැවිනි. තවද, අප කෙසේවෙතත් අපගේ දූ දරුවන්... අපි මේ රටින් පිටමන් කළ යුතුය. අනාගතයේ අපේ දරුවන් සිටිය යුත්තේ ලෝකයේ දියුණු රටවල මිස මෙවැනි හරක් මඩුවල නොවේ...!

:       0       0

Neela Tuesday, 08 August 2023 07:23 AM

රු ලක්ෂ 4ක් පඩි ගත් මහාචාර්යවරයකුගෙන් ලක්ෂයක් බදු කපා බඩු මිළද, 3 න් ගුණයක් වැඩිවූ විට අතට ලැබෙන මුදල ලක්ෂයකට සමානයි. එනම් 25% කි. $300 ට SAARC හෝ ඉතියෝපියාවෙන්වත් ආචාර්යවරු ගේන්න බෑ...

:       1       7

himalMonday, 14 August 2023 09:24 AM

ඔය ලක්ෂ හතරට වඩා ලැබෙනවා. ඇයි විභාග ප්‍රශ්න පත්‍ර හදනවාට, බලනවට, ඒ ශාලා රාජකාරී කරනවාට ගෙවනවා. යනඑන වෙලා සටහන් කිරීමක් නෑ. පිට වැඩ කරගන්න බාධාවක් නෑ. පශ්චාත් උපාධි පන්තිවල උගන්වනවාට වෙනම ගෙවනවා.

:       3       2

MO77 Tuesday, 08 August 2023 10:08 AM

ශ්‍රී ලංකාවේ පවතින්නේ යල්පැනගිය බඳවා ගැනීමේ පටිපාටියක්. ආචාර්යවරුන් බඳවා ගන්නේ ඔවුන්ගේ පළමු උපාධිය මේ ලෝකේ කොහෙවත් වෙන්නෑ. වෙනත් රටවල් වල ප්‍රමුඛ බඳවා ගැනීමේ අවශ්‍යතාවය වන්නේ PhD උපාධිය හා පරීක්ෂණ පත්‍රිකා උසස් ජන ලොල පළකිරීමයි. ශ්‍රී ලංකාව පළමු උපාධිය පමණක් ඇති තමන්ගේ පශ්චාත් උපාධි සඳහා, අධ්‍යයන නිවාඩු වැටුප් සහ ඔවුන්ගේ උපාධි නිබන්ධන පරීක්ෂණ සඳහා විශාල මුදලක් වියදම් කරනවා. වෙනත් රටවල් වලින් බඳවා ගන්නේ ඉහත අවශ්‍යතා සම්පූර්ණ කරපු පුද්ගලයින්... කළමණාකරන හා ශාස්ත්‍ර පීඨවල තත්වේ ඉතාමත්ම උග්‍රයි... කිසිඳු පරීක්ෂණයක් කරන්නේ නෑ. විදේශ රටවල සේවය කරන, සේවය කළ විශාල ආචාර්යවරුන් පිරිසක් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල වැඩ කිරීමට කැමැත්තෙන් පසුවෙනවා. එහෙත් මේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලට සම්බන්ධ ආචාර සමිති සම්පූර්ණයෙන්ම ඒවාට විරුද්ධයි.

:       1       4

අබරන්Tuesday, 15 August 2023 08:52 AM

විදේශ රටවල සේවය කරන ආචාර්යවරු? මොන පිස්සුද එව්වා බැහැ... මෙහේ කැම්පස්වල. ඔය යන්නේ එහෙම ආපු අය තමයි. ඉස්සරහටත් ඔය පිටරට වල ඉඳලා එන ඕන කෙනෙක්ට වෙන්නේ ඉක්ක්මනට යන්න තමයි. ඒවාට ක්‍රම සහ විදි තියෙනවා...

:       0       0

wedage Tuesday, 08 August 2023 11:28 AM

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය කඩාබිඳදමා රටම නැතිකිරීමේ පළමුවන අදියර මෙය වේ. රෝහල්, පාසල්වලට මුදල් නොයොදවා ආරක්ෂක බලඇණිවලට කාලය යොදවන්නේමේ නිසාය . රට තව ටික කාලයකින් නිකමුන් බිහිකරනු ඇත.

:       2       6

CHANDIMA Wednesday, 09 August 2023 08:01 AM

ආචාර්යවරු නැති වුණාට එව්වා වහලා බැහැනේ... වැහුවොත් ජෙප්පන්ට පෙළපාලි යන්න කවුරුවත් නැති වෙනවා.

:       5       5

අරැණ Tuesday, 15 August 2023 11:01 AM

මෙතන අදහස් පලකර ඇති බොහෝ දෙනෙකු මෙහි බරපතලකම තේරුම්ගෙන නැත. මෙහෙම ගියොත් රට වෙනිසුවේලාවක් වනු ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1285 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site