සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා කවිය, කෙටිකතාව, නවකතාව, නාට්‍ය ඇතුළු සාහිත්‍ය කලා ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශාස්ත්‍රීය විමර්ශන කෘති රැසක් සිංහල සාහිත්‍යයට දායාද කළ අයෙකි.
‘සමකාලීන සාහිත්‍ය විචාර ලේඛන’ කුමාරසිංහ මහතාගේ නවතම විමර්ශන ග්‍රන්ථයයි. අද්‍යතන දේශීය හා විදේශීය සාහිත්‍ය හා සාහිත්‍ය විචාරය අරබයා කතුවරයා විසින් ලියනු ලැබූ ලිපි සමුච්චයක් මෙම කෘතියට ඇතුළත්ය. මතු දැක්වෙන්නේ මේ පිළිබඳව කුමාරසිංහ මහතා සමග අප කළ සංවාදයක සටහනකි.
• නිර්මාණ සාහිත්‍යය හා සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් ඔබ ලියූ ශාස්ත්‍රීය ලිපි පෙළක් මේ සමකාලීන සාහිත්‍ය විචාර ලේඛන කෘතියට ඇතුළත්. මෙම කෘතියේ අන්තර්ගතය සම්බන්ධයෙන් මුලින්ම කතා කරමු.
මෙහි වැඩි වශයෙන් ඇතුළත්වන්නේ දේශීය විදේශීය සාහිත්‍ය විචාර පිළිබඳව විවරණාත්මක ලේඛන පෙළක්. ඊට අමතරව නූතන සිංහල නවකතාවත් කෙටිකතාවත් ජපන් නවකතා සාහිත්‍යයත් මූලික කොටගත් ලේඛනත් ඇතුළත්. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන්ගේත් ජේම්ස් ද අල්විස්ගේත්, ඒ.එම්.ජී. සිරිමාන්න මහතාගේත් විචාර ක්‍රමවේද පිළිබඳව මෙහි විමර්ශනයක යෙදෙනවා. එසේම ධ්වනිවාදය හා ප්‍රායෝගික විචාරය පිළිබඳවත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය කේන්‍ද්‍ර කොටගෙන විකාශනය වූ සාහිත්‍ය විචාරය පිළිබඳවත් ඉංග්‍රිසි සාහිත්‍ය විචාරයේ සමාරම්භය පිළිබඳවත් මෙම කෘතියේ අවධානය යොමු කොට තිබෙනවා. සාහිත්‍ය ක්ෂේත්‍රය හා වැදගත් වන මීට අමතර ලිපි කීපයකුත් මෙහි ඇතුළත්.
• ධ්වනිවාදය හා ප්‍රයෝගික විචාරය යන විචාර මාර්ග දෙක යම් තුලනාත්මක දෘෂ්ටියකින් පැහැදිලි කිරීමට ඔබ මෙහි උත්සාහ ගන්නවා. මේ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු වූ විශේෂ කරුණු මොනවාද?
මම හිතන්නේ ප්‍රායෝගික විචාරයත් ධ්වනිවාදය තරමටම අපට සමීප සංකල්පයක්. ධ්වනිවාදය සංස්කෘත කාව්‍ය විචාරය තුළ අදටත් වලංගු කාරණයක්. ඒවා යල්පැන ගිය විචාර විධි හැටියට කොහොමවත් සලකන්න බෑ.
ප්‍රායෝගික විචාරය විසිවැනි සියවසේ බටහිරින් බිහිවූ එකක්. අයි.ඒ. රිචර්ඩ්ස් මේ සංකල්පය සම්බන්ධයෙන් විටින් විට පර් යේෂණ කෘති කිහිපයක් රචනා කළා. කාලයක් තිස්සේ කරන ලද දීර්ඝ පර් යේෂණවල ප්‍රතිඵලයක් හැටියටයි රිචර්ඩ්ස් ප්‍රායෝගික විචාරය කෘතිය රචනා කරන්නේ. අද වුණත් බටහිර සාහිත්‍යයේදී කෙටි පද්‍යයක් විචාරය කිරීමේ දී ‘ප්‍රායෝගික විචාර’ සංකල්පය වැඩි වශයෙන් භාවිතයට ගැනෙනවා. ප්‍රායෝගික විචාර සංකල්පයේදී හඳුන්වාදෙනු ලබන ප්‍රධාන කාරණා පෙරදිග ධ්වනිවාදයේ මතු කෙරෙන කාරණාවලට යම් සමීපතාවක් පෙන්නුම් කෙරෙන බවයි මා මෙහිදී මතු කරන්නේ.
• ධ්වනිවාදයේත් ප්‍රායෝගික විචාරයේත් එකිනෙකට සමපාත වන කාරණා සඳහා උදාහරණ මොනවාද?
ධ්වනිවාදයේදී මතු කරන කාරණා අතර වාච්‍යාර්ථ, ලක්ෂ්‍යාර්ථ සහ ව්‍යංග්‍යාර්ථ මූලික තැනක් ගන්නවා. වාච්‍යාර්ථය යනු මතුපිට අදහසයි. එය එම වචනවලට සීමාවන්නක්. ලක්ෂ්‍යාර්ථය යන්නෙන් අදහස් කරන්නේ වාක්‍යයක වචන පරිසරය වෙතින් වාච්‍යාර්ථය ඉක්මවා නැගෙන ද්විතීය අර්ථයයි. තනි වචනයකින් ලක්ෂ්‍යාර්ථය පැන නඟින්නේ නෑ. ඊළඟ කාරණය වචනයකට හෝ යෙදුමකට හිමි වාච්‍යාර්ථය හෝ ලක්ෂ්‍යාර්ථය තියෙද්දී ඊට පරිබාහිර ලෙස ප්‍රතීයමාන වන අර්ථ සමුදාය ව්‍යංග්‍යාර්ථ හැටියට දක්වන්න පුළුවන්.
ප්‍රායෝගික විචාරය පැත්තෙන් කතා කළොත් එහි මූලික විචාර සංකල්ප හතරක් මතු කොටගත හැකියි. ඉන් එකක් නම් ‘උද්දේසය’යි. මේ නමින් හැඳින්වෙන්නේ සාහිත්‍ය නිර්මාණයකට පාදක වන අත්දැකීම් ක්ෂේත්‍රය හෙවත් වස්තු විෂයයි. මෙම සංකල්පය පෙරදිග ධ්වනිවාදයේ ‘වාච්‍යාර්ථයට’ බෙහෙවින් සමීපයි.
ප්‍රායෝගික විචාරයේදී මතු කරන ඊළඟ කාරණය වන්නේ ‘භාවාකල්පයයි.’ සාහිත්‍යකරුවා නිර්මාණය කිරීමට උපයෝගී කරගන්නා අත්දැකීම් අරභයා පාඨක සිත්සතන්වල විවිධ හැඟීම් හෙවත් භාවයන් ඇතිවෙනවා. ඒ හැඟීම් ප්‍රකාශ කිරීමට වචන උපකාර වෙනවා. එම වචන මඟින් පාඨක සිත්වල හටගන්නා භාව හෙවත් හැඟීම් තමයි භාවාකල්ප ලෙස හැඳින්වෙන්නේ. මේ කියන කාරණයත් පෙරදිග ධ්වනිවාදයේ ඉගැන්වෙන ධ්වනිතාර්ථ නැතහොත් ව්‍යංග්‍යාර්ථ සංකල්පයට බෙහෙවින් සමීපයි.
ප්‍රායෝගික විචාරයේ දී මතුකෙරෙන තවත් කරුණක් වන්නේ ‘ස්වරය’ යන සංකල්පයයි. ‘ස්වරය’ ලෙස මෙහිදී අදහස් කෙරෙන්නේ සාහිත්‍ය කෘතිය කියවන පාඨකයා විෂයයෙහි ලේඛකයා හෙළන ආකල්පය නැතහොත් අදහසයි. එයද ධ්වනිවාදය හා සමපාතවන්නක්.
ඊළඟ කාරණය අභිප්‍රායයි. එනමින් ප්‍රායෝගික විචාරයේදී මතු කරන්නේ සමස්ත නිර්මාණයෙන් ලේඛකයා ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නා මූලික අර්ථය හෙවත් ඔහු ඉටුකරගැනීමට අපේක්‍ෂිත වන මූලික අරමුණයි. මෙන්න මේ කියන කාරණ ධ්වනිවාදයේදීත් ප්‍රායෝගික විචාරයේදීත් තුලනාත්මක වන අන්දම විමසා බැලීමටයි මා උත්සාහ ගත්තේ.
• ඔබේ විග්‍රහයෙන් පෙනෙන්නේ ඇතැම් බටහිර විචාර සංකල්ප පෙරදිග විචාර සංකල්ප සමඟ ගළපා ගත හැකි බවයි. එහෙත් ඇතැම් නූතන විචාරකයන් බටහිර විචාර වාද පෙරට ගනිමින් පෙරදිග විචාර සංකල්ප නොතකාහරින බවක් පෙනෙන්නට තිබෙනවා නේද?
අයි.ඒ. රිචර්ඩ්ස් පෙරදිග විචාර සංකල්ප හොඳින් අධ්‍යයනය කළ කෙනෙක්. ඔහුගේ විචාර සංකල්පවල බහුවිධ ගුණයක් දක්නට ලැබෙනවා. පෙරදිග විචාරවාදයේ ධ්වනිවාදය පවා ඔහු අධ්‍යයනය කරන්න ඇති කියලයි මා නම් සිතන්නේ.
වර්තමානයේ ඇතැම් විචාරකයන් බටහිර විචාර වාද මතම යැපෙන බව පෙනෙනවා. එහෙත් කාව්‍ය විචාරයේදී බටහිර වගේම පෙරදිග විචාරවාද එකිනෙකට බද්ධ කරගන්න පුළුවන්. එහිදී අපට පෙරදිග සංකල්පය කොහොමවත් බැහැර කරන්න බෑ. ප්‍රායෝගික විචාර සංකල්පය මෙරටට හඳුන්වාදුන්නේ ඊ.එෆ්.සී. ලුඩොවයික් මහතායි. ඊට පස්සේ එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ‘සාහිත්‍ය විද්‍යාව’ වැනි කෘති හරහා මේ විචාර සංකල්පය යම් පමණකට මතු කරනවා. ඒත් මා හිතන්නේ රිචර්ඩ්ස් මහතාගේ මූලික විචාර සංකල්ප බහුල වශයෙන් සරච්චන්‍ද්‍රයන් වුණත් භාවිත කළ බවක් පෙනෙන්නට නැහැ.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකුව සිටි එම්.ජී. සිරිමාන්න මහතා සාහිත්‍ය විචාරයේදී ‘භාවිත විචාරය’ සංකල්පය මතු කොට දැක්වූවා. එහිදී ඔහු සම්පූර්ණයෙන්ම මතු කරන්නට උත්සාහ ගත්තේ රිචර්ඩ්ස්ගේ ‘ප්‍රායෝගික විචාර’ සංකල්පයයි. ඔහු එම විචාර සංකල්ප පෙරදිග විචාරය හා සංසන්දනය කිරීමටද උත්සාහගත්තා. අද එම භාවිත විචාරය අපේ සාහිත්‍ය විචාරය තුළ බොහෝදුරට භාවිත වෙනවා. සිරිමාන්න මහතා උත්සාහ කළේ එම භාවිත විචාර ක්‍රමය අපේ සාහිත්‍යය තුළ තහවුරු කිරීමටයි. පසුකාලීනව යම් යම් විචාරකයන්ටත් මේ විචාර ක්‍රම බලපෑ බව පෙනෙනවා.
• ඒත් සිරිමාන්න මහතා ‘භාවිත විචාරයේ’ සංකල්ප පාවිච්චි කරමින් අපේ ඇතැම් පුරාණ පද්‍ය සම්බන්ධයෙන් පළ කළ මතවාද බොහෝ දෙනාගේ විවේචනයට ලක් වුණා නේද?
ඔව්. එහි සතත්‍යතාවක් තිබෙනවා. සිරිමාන්න මහතා හංස සංදේශය, කාව්‍යශේකරය වැනි කෘති භාවිත විචාර සංකල්පය අනුව විමර්ශනය කරමින් විවේචනයට ලක් කළා. ඔහු කියා තිබුණේ හංස සංදේශයේ ඇත්තේ එකම එක කවියක් පමණක් බවයි. අනෙක් ඒවා කවි නොවන බව ඔහු කියා සිටියා. එම ආන්දෝලනාත්මක විචාර සම්බන්ධයෙන් සමාජය තුළ විරෝධයක් මතු වුණා. හංස සංදේශය, කාව්‍යශේකරය වැනි කෘති ලියැවුණේ අලංකාරවාදී සංකල්ප මූලික කරගෙන. සිරිමාන්ත මහතා ඒ බව අමතක කොට විචාරයේ යෙදුණ බවකුයි පෙනෙන්නේ. ඒත් සිරි ගුණසිංහගෙත් ගුණදාස අමරසේකරගෙත් කවි පිළිබඳව සිරිමාන්න මහතා පරිපූර්ණ විචාර ඉදිරිපත් කළ බව පෙනෙනවා.
• නූතන ඇතැම් සාහිත්‍ය විචාරයන් පෙරදිග බටහිර සාහිත්‍ය විචාර සංකල්ප පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් තොරව උඩින් පල්ලෙන් විචාර කාර්යයෙහි යෙදෙන බවට චෝදනාවක් තිබෙනවා. මේ ගැන මොකද හිතන්නේ?
විචාර සිද්ධාන්ත පිළිබඳ පැහැදිලි අධ්‍යයනයකින් තොරව විචාර කාර්යයේ යෙදෙන්න බෑ. යෙදුණත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. විචාර සිද්ධාන්ත දැනගත යුත්තේ ඒ සිද්ධාන්තවලට නිර්මාණය ග්‍රහණය කරගන්න නොවෙයි. නිර්මාණයේ ගුණ අගුණ අනුවයි විචාර සිද්ධාන්ත භාවිත කළ යුත්තේ. ඒ සාහිත්‍ය කෘතියට අනුරූප වන ලෙසයි විචාරය ගොඩනැගෙන්න ඕනේ. ඒ නිසා විචාර සිද්ධාන්ත දැනගත් පමණින් විචාරකයෙක් වෙන්නත් බෑ. එහෙම වුණොත් බිහිවෙන්නේ අච්චු සාහිත්‍ය විචාරයක්. කොහොමත් දැන උගත් බුද්ධිමත් පිරිසක් සාහිත්‍ය විචාර කාර්යයට එළැඹීම සිදුවිය යුත්තක්. එත් උගතුන් සාහිත්‍ය විචාරයෙන් ඈත්වීම කණගාටුවට කරුණක්.
සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උගතුන් සාහිත්‍ය විචාරයෙන් ඈත්වීම කනගාටුවක්