IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කෝටි ගණන් මුදල් ගිලින උත්සව අවශ්‍යද?

රට මුහුණ දී සිටින පෙර නොවූ විරූ ආර්ථික කඩා වැටීම හමුවේ මේ වසරේ 75 වැනි නිදහස් දින සමරුව පැවැත්විය යුතුද නැද්ද යන්න පසුගිය දිනවල දේශපාලන කරළියේ සාකච්ඡා වූ ප්‍රධාන මාතෘකාවලින් එකකි. එම විවාදයම නිදහසෙන්  අප ලබා ගෙන ඇත්තේ කුමක්ද යන ප්‍රශ්නය මතු කරයි.

මීට පෙර ආර්ථික ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමේදී දේශපාලන පක්ෂ එකිනෙකාට ඇඟිලි දිගු කර ගත්හ. එහෙත් දැන් තත්ත්වය වෙනස් වී තිබේ. දැන් මෙතෙක් කල් රට පාලනය කළ පක්ෂවල නායකයෝ පවා පාසුගිය 75 වසරක කාලය තුළ සිටි සියලු පාලකයන් මෙම ආර්ථික විනාශයට වගකිවයුතු යැයි පවසති.

එම ප්‍රකාශයේද තමන්හට එල්ල වන චෝදනාවේ බරපතළ බව සැහැල්ලු කර ගැනීමේ උත්සාහයක් තිබුණද තමන්ද මේ තත්ත්වයට වගකිවයුතුය යන්නද ඉන් කියැවේ.

1948 දී නිදහස ලැබෙන විට මේ රට කිසිදු රටකට ණය වී සිටියේ නැත. නිදහස ලැබූ අලුත පළමු අගමැති ඩී.එස්. සේනානායක මහතාගේ ආණ්ඩුව බ්‍රිතාන්‍යයටද ණයක් දී ඇති බව කියවේ. එහෙත් ඉන් වසර 74ක් ඉක්ම ගිය තැන ශ්‍රී ලංකාව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී තමන් ගත් විදේශ ණය කිසිවක් ගෙවීමට තමන්ට නොහැකි බව ලෝකයට දැනුම් දුන්නේය. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු බොහෝ දෙනකු මේ තත්ත්වය හැඳින්වූයේ රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීමක් ලෙසය.

මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට දැන් කළ හැකි එකම දේ බවට පත්වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපකාරයෙන් කුඩා ණයක් ලබාගෙන අනෙක් රටවල් හා ආයතනවලින් ලබාගෙන ඇති ණය කල් දමා ගැනීම පමණි. ඊටද චීනය ප්‍රමාණවත් සහයෝගයක් දීමට දක්වන මැළිකම හමුවේ එම බලාපොරොත්තුවද ඇත්තේ අඩමාන තත්ත්වය කය. නිදහසේ 75 වැනි සංවත්සරය සැමරුවේ එවැනි තත්ත්වයක් යටතේ නම් අප නිදහසෙන් ලබා ගත්තේ කුමක්ද යන ප්‍රශ්නය මතුවේ.

මෙවර නිදහස් උත්සවය සැමරීම සඳහා රුපියල් කෝටි ගණනක් එම උත්සවය සඳහා වැය කරන්නට සිදුව තිබියදී ආණ්ඩුවට රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටද දුෂ්කර වී තිබේ. සේවකයන්ට එක් දිනෙකත් විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට තවත් දිනකත්  වැටුප් ගෙවීමට ආණ්ඩුව පසුගිය මාසයේ තීරණය කළේ ඒ නිසාය. එසේ තිබියදී මෙවර නිදහස් දින උත්සවය අවලංගු  කළ යුතු යැයි ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය ඇතුළු විරුද්ධ පක්ෂ ගණනාවක් පසුගිය සති ගණනාවක් තිස්සේ කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් අතකින් රජයේ ආයතන සිය වියදම්  අඩු කළ යුතු යැයිද ණයට සේවා හා භාණ්ඩ ලබා නොගත යුතු යැයිද උපදෙස් දෙන අතරේම තමන්ගේම වූ තර්කයකින් නිදහස් දින උත්සවය පැවැත්වීම සාධාරණීකරණය කළේය. නිදහස් දින උත්සවය සංවිධානය කිරීම  පිළිබඳව පසුගිය 26 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පැවැති රැස්වීමකදී ඔහු මෙසේ පැවසීය.

‘‘75 වැනි නිදහස් දින උත්සවය පැවැත්විය යුතුය. නැත්නම්, අපට අපගේ නිදහස් දින උත්සවය හෝ පැවැත්වීමට නොහැකිය යැයි ලෝකයා කියනු ඇති. එසේම අප සංචාරකයන් හා අයෝජකයන් අපේ රටට ආකර්ශනය කර ගත යුතුය. අපි අපගේ රට පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ලෝකයා හමුවේ ගොඩනැඟිය යුතුයි. ඒනිසා අපගේ වියදම් අඩු කරගෙන අපි නිදහස් දින උත්සවය පැවැත්විය යුතුයි.’’

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝකයා හමුවේ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැඟිය යුතු යන ජනාධිපතිවරයාගේ මතයට කිසිවකුටත් විරුද්ධ විය නොහැකිය. එහෙත් රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කොට නිදහස් දින උත්සවය පැවැත්වීමෙන් එම අරමුණ කොතෙක් දුරට ඉටු කරගත හැකි වේද යන්න ප්‍රශ්නයකි. සමහර විට ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් රටවල් සිය නිදහස් දින උත්සවය වසර ගණනාවක්ම විටින් විට අවලංගු කරද්දී අප එම උත්සවය පැවැත්වීම ප්‍රතිරූපයට හානිකර වීමටද ඉඩ තිබේ.

මේ රටේ ප්‍රතිරූපයට විශාල හානියක් වී ඇත්තේත්, ආයෝජකයන් දුර්මුඛ කොට ඇත්තේත් මෙහි සිදුවන මහා පරිමාණ හා අසාමාන්‍ය දූෂණය හා නාස්තියයි. පසුගිය කාලයේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ජාත්‍යන්තර ආයතන නිකුත් කළ නිවේදන සෑම එකකම පාහේ දූෂණය අවම කිරීම අවධාරණය කරනු ලැබ තිබිණි.

රටේ ප්‍රතිරූපය ගොඩ නඟනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා කරන නිදහස් දින උත්සවය සඳහා වූ වියදම්වලදී ද සිදුවී ඇති වංචා ගැන ජනාධිපතිවරයාම පසුගියදා හෙළි දරව්වක් කොට තිබිණි. මල් මාලාවක් සඳහා රුපියල් 97,000ක්ද  ජය මංගල ගාථා කියන දැරියන් සඳහා රුපියල් 18 ලක්ෂයක්ද වෙන් කොට ඇතැයි ඔහු ප්‍රකාශ කොට තිබිණි. මෙම වියදම් විශාල වශයෙන් අඩු කළ හැකිය යන්න ඔහුගේ මතයවී තිබුණි.

කෙසේ වෙතත් වියදම් සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂ ඉදිරිපත් කරන අදහස්ද තර්කානුකූල නොවේ. එය එසේ පෙනෙන්නේ ඔවුන් මාර්තු 9 වැනිදා  පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ හා නිදහස් දින උත්සවය සඳහා වූ වියදම් සමඟ  ආණ්ඩුවේ සමස්ත වියදම් ගැනද කතා කිරීමේදීය.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත්  පාලන මැතිවරණ කල් දමා ගැනීමට විවිධ උපක්‍රම යොදයි. විවිධ තර්ක ඉදිරිපත් කරයි. ඔවුන්ගේ තර්කවලින් ප්‍රධාන වන්නේ විශාල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක රුපියල් කෝටි දහසක් එනම් රුපියල් බිලියනව දහයක් වියදම් කොට ආණ්ඩු වෙනසක් ඇති නොකරන මැතිවරණයක් පැවැත්විය යුතු නැතැයි යන්නයි. 

ඊට පිළිතුරු  දෙන විපක්ෂය ආණ්ඩුවේ වියදම් සඳහා වෙන්කොට ඇති රුපියල් බිලියන 7000කට වැඩි මුදල සමඟ සන්සන්දනය කිරීමේදී මැතිවරණ සඳහා වැය කෙරෙන රුපියල් බිලියන 10 නොසැලකිය යුතු තරම් සුළු මුදලකැයි පවසයි.

එය සැබෑවක් වුවද ඒ ක්‍රමයටම තර්ක කරන්නේ නම් ආණ්ඩුවේ සමස්ත වියදම් සමඟ සන්සන්දනය කිරීමේදී නිදහස් උත්සවය සඳහා වැයවන රුපියල් බිලියන දශම දෙක කොහෙත්ම සැලකිය යුතු නොවේ.

කෙසේ වෙතත් ඇතැම් ආර්ථික විශේෂඥයෝද නිදහස් දින උත්සවය සඳහා වූ වියදම අනවශ්‍ය වියදමක් ලෙස සලකන බව පෙනේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා ඒ සඳහා ආදර්ශයක් වශයෙන් දක්වා තිබුණේ ටැන්සානියාවයි. ආර්ථික  අර්බුදය නිසා ටැන්සානියානු ජනාධිපතිනි සාමිය සුලුහු හසන් (Samia Suluhu Hassan) පසුගිය දෙසැම්බර් 10 වැනිදාට නියමිතව තිබූ එරට නිදස් දින උත්සවය අවලංගු කොට ඒ සඳහා වෙන් කරනු ලැබූ මුදල ආබාධිත දරුවන් සඳහා වූ නේවාසිකාගාර සඳහා වියදම් කරන ලෙස උපදෙස් දී තිබිණි.

එරට හිටපු ජනාධිපති ජෝන් මගුෆුලිද නිදහස් උත්සවය සඳහා වූ මුදල් 2015 දී අගනුවර මාර්ගයක් ඉදි කිරීම සඳහාත් ඖෂධ සඳහාත් වියදම් කරන ලෙසට උපදෙස් දී තිබිණි.

අනෙක් සෑම කරුණක් සේම නිදහස්  දිනයද ආරම්භයේ සිටම ශ්‍රී ලාංකිකයන් අතර දේශපාලනීකරණය වූ කරුණකි. වෙනකක් තබා ඇතැමුන් තමන් ප්‍රිය නොකරන පක්ෂයක් බලයේ සිටින කාලයේදී නිදහස් දිනයේදී තම නිවසේ හෝ වෙළෙඳපොළේ ජාතික කොඩියක් ප්‍රදර්ශනය කිරීමට පවා මැළිවෙති. පසුගිය කාලයේ බොහෝ වසරවලදී ඒ ඒ කාලයේ සිටි විරුද්ධ පක්ෂ නිදහස් දින උත්සවයට සහභාගි වූයේ නැත. පසුගිය වසරේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි වූයේ නැත.

කතෝලික ජනතාව මෙවර නිදහස් දින උත්සවයට සහභාගි නොවූ අතර ඒ බව පවසමින් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා ප්‍රබල තර්කයක් ඉදිරිපත් කළේය. රට බංකොලොත් භාවයට පත්ව තිබියදීත්, ජනගහනයෙන් සියයට 30ක් හාමතෙන් සිටියදී, වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 33.4ක් මන්දපෝෂණයෙන් පෙළෙද්දී, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර කඩා වැටෙද්දී, මානව හිමිකම්  තත්ත්වය පිරිහෙද්දී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නීති අවභාවිත  කරමින් මානව හිමිකම් උල්ලංඝනය වෙද්දී, ඉගෙන ගන්නා දරුවන්ට විදුලිය ලබාදීමට බලධාරීන් අසමත් වෙද්දී මෙවැනි උත්සවයකට කෝටි  20ක් මේ රට වියදම් කිරීමේ අර්ථය එතුමා ප්‍රශ්න කොට තිබිණි.

1948 නිදහස හා ඒ සඳහා උත්සව පැවැත්වීම ආරම්භයේ සිටම මතභේදයට ලක්වූ කාරණයකි. මුල් කාලයේ වාමාංශිකයන් 1948 නිදහස සැබෑ නිදහසක් ලෙස පිළිගත්තේ නැත. බ්‍රිතාන්‍ය කිරීටයේ නියොජිතයා වන අග්‍රාණ්ඩුකාරයා නිදහසින් පසුවත් මෙරට රාජ්‍ය නායකයා වීමත් දිවුරුම් දීම් රජුගේ  හෝ රැජිනගේ නමින් කිරීමත් එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලය මෙරට ඉහළ අභියාචනාධිකරණය ලෙස තවදුරටත් පැවතීමත් මීට ප්‍රධාන හේතු විය. මේ තත්ත්වය 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සම්මත කරන තෙක්ම පැවැත්විණි. 

ජනතා විමුක්ති පෙරමුණ 1960 ගණන්වලදී හා 1970 ගණන්වල මුලදී සිය නව ආධාරකරුවන්ට පැවැත්වූ පන්ති (දේශන) පහෙන් එකක් වූයේද ‘‘නිදහස නව යටත් විජිතවාදී  උපක්‍රමයකි’’යන්නයි. එහිදී ද ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කෙරුණේ අග්‍රාණ්ඩුකාරයා, ප්‍රිවි  කවුන්සිලය හා රැජිනගේ නමින් දිවුරුම් දීම වැනි කරුණුයි. එම තර්කය සැබෑ කරමින් 1971 කැරැල්ලට සහභාගි වූවන් හට එරෙහිව අපරාධ යුක්ති කොමිෂන් සභාව හමුවේ නඩු පවරනව ලද්දේ රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කිරීම යුද්ධ කිරීම යන චෝදනා යටතේය.

කෙසේ වුවද 1948 දී ශ්‍රී ලංකාව කිසිවක් අත්කර ගත්තේ නැතැයි කිව නොහැකිය. ශ්‍රී ලංකාව පමණක් නොව ඩොමිනියන් තත්ත්වයට  නිදහස ලැබූ රටවලට  ව්‍යවස්ථාමය ස්වාධීනත්වය ලැබිණි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අලුතින් සම්මත කරන අනපනත් එම තත්ත්වය ලැබූ පැරැණි යටත් විජිතවලට බලපෑවේ නැත. 1972දී බ්‍රිතාන්‍ය සමග පැවැති සියලු  පරිපාලනමය හා අධිකරණමය සබඳතා කඩා දමමින් පළමු ජනරජය ව්‍යවස්ථාව සම්මත කරනු ලැබුවේ එසේ 1948 දී ලැබුණු ව්‍යවස්ථාමය ස්වාධීනත්වය උපයෝගී කර ගෙනය. එනම් 1948 දී ලැබුණේ නිදහස නොව නිදහස ලබා ගැනීමේ නිදහසයි.

එහෙත් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ සංකේතය වන පොදුරාජ්‍ය මණ්ඩලයේ තවමත් සිටී. සටන් කළ කැප්පෙටිපොළ වැනි සියයකට ආසන්න පිරිසක් දේශද්‍රෝහීන් ලෙස නම් කරමින් බ්‍රිතාන්‍ය පාලනය විසින් නිකුත්  කරන ලද  ගැසට් පත්‍ර අහෝසි කරන ලද්දේ ද  2016දී හා 2017 දීය.

ශ්‍රී ලංකාව  සිය නිදහසේ ස්වර්ණ ජයන්තිය සැමරීම සඳහා වූ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වන්නට ආරාධනා කළේ වසර දෙසීයක් පමණ මේ රට යටත් කොට ගෙන සිටි බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයකු වූ එවකට කුමාරයකු වූ බ්‍රිතාන්‍යයේ වත්මන් චාර්ල්ස් රජුටය. එසේම නිදහසේ 75 වැනි සැමරුමට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ වත්මන් සංකේතය වන පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිශියා ස්කෙට්ලන්ඩ්ට ආරාධනා කරනු ලැබීය.

ආර්ථික නිදහසක් නැතිව දේශපාලන නිදහසින් ඵලක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා  ඉකුත්දා ත්‍රිවිධ හමුදා නිලධාරීන්හට සම්මාන පිදීමේ උත්සවයකදී ප්‍රකාශ කොට තිබිණි. ඒ ශ්‍රී ලංකාව සිය බංකොලොත් බව ලෝකයට ප්‍රකාශයට පත් කොට ඇති තත්ත්වයක් යටතේය. ශ්‍රී ලංකාව 75 වැනි නිදහස් සමරු උත්සවය පැවැත්වූයේ ඒ පසුබිම තුළය.

එම්.එස්.එම්.අයුබ්



අදහස් (0)

කෝටි ගණන් මුදල් ගිලින උත්සව අවශ්‍යද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 276 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1205 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 587 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1793 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1332 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site