IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කළ යුතු දේ නොකළ යුතු දේ තෝරාගැනීම

මේ දිනවල විපක්ෂයේ සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ පළාත් පාලන ආයතන මැතිවරණය කල් නොදමා පැවැත්විය යුතු බව ප්‍රකාශ කරමින් සිටී. ලබන වසරේ මාර්තු මස ප්‍රාදේශීය සභාවල සහ නගර සභාවල කාලය ඉකුත්වීමට පෙර අනිවාර්‌යෙන්ම මැතිවරණ පැවැත්විය යුතු බවත් එසේ නොවන්නේ නම් මහජනතාව පාරට බස්සන බවත් සමහර දේශපාලන පක්ෂවල නායකයන් විසින් ප්‍රකාශ කර ඇත.

කොවිඩ් ව්‍යසන කාලයේ සිට මැතිවරණ පැවැත්විය යුතුද නැද්ද යන ප්‍රශ්නය  පිළිබඳව මෙම දේශපාලන පක්ෂ නායකයන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින්, එක් වරෙක මැතිවරණ කල් තැබිය යුතු බවටත් තවත් වරෙක මැතිවරණ වහා පැවැත්විය යුතු බවටත් ප්‍රකාශ කළ ආකාරය රටේ බොහෝ දෙනෙකුට මතක ඇතැයි සිතමි. අද ද මැතිවරණ පැවැත්වීම පිළිබඳව අදහස් දක්වන බොහෝ අය විවිධ අවස්ථාවල මැතිවරණ කල් දැමීමට කටයුතු කර ඇති බවත් නියමිත කලට මැතිවරණ පැවැත්වීමට එරෙහි වී ඇති බවත් එම නායකයන්ගේ සහ පක්ෂවල ඉතිහාසය විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වේ.

ආසන්නම උදාහරණය වන්නේ 2017 වසරේදී මෙම පක්ෂ බොහෝමයක් එකතු වී පළාත් සභා ඡන්දය පැවැත්වීම කල් දැමීමට ගනු ලැබූ තීරණයයි. පළාත් සභාවල මන්ත්‍රීවරුන් තේරීමට අදාළව ගෙන එන ලද නීති සංශෝධනයට සමගි ජන බලවේගයේ දැන් සාමාජිකත්වය දරන සහ අද පළාත් පාලන ආයතන මැතිවරණය වහා පැවැත්විය යුතු යැයි කියන බොහෝ දෙනෙක් පක්ෂව ඡන්දය දුන්හ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද ජනතා විමුක්ති පෙරමුණේ ද මුස්ලිම් කොංග්‍රසයේ ද දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ද සහායෙන් එම පනත සම්මත කරවා ගැනීමට හැකි විය.

ඉන් පසු සීමා නිර්ණය පිළිබඳ පක්ෂ අතර එකඟතාවක් ඇති නොවීම හේතුවෙන් පළාත් සභා සඳහා මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ අතර අද වන විට ඒවා මහජන නියෝජිතයන්ගෙන් තොරව වසර පහකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වේ. පළාත් සභා පිහිටවන ලද්දේ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහාත් ජනවර්ග අතර සමඟිය ඇති කිරීම සඳහාත් ඒ ඒ ප්‍රදේශවල ජනතාවට තම කටයුතු පිළිබඳව තීන්දු තීරණ ගැනීමට ඉඩ ලැබෙන ආකාරයේ බලය විමධ්‍යගත කිරීම සඳහාත්ය. එය රටේ බලය විමධ්‍යගත කිරීම සඳහා අනුගමනය කළ ඓතිහාසික පියවරක් විය.

පළාත් සභා ඡන්දය කල් දමා දැන් අවුරුදු පහක් ගත වී තිබේ. බලය විමධ්‍යගත කිරීම සඳහා ඇති කරන ලද පළාත් සභා වෙනුවට දැන් ඒවා ජනාධිපතිවරයාගේ නියෝජිත ආණ්ඩුකාරවරයා විසින් පාලනය කරනු ලබන බලය කේන්ද්‍රගතවීමක් බවට පත්ව තිබේ. මතක ඇති කාලයක පළාත් සභා මැතිවරණ කල් තැබීම පිළිබඳ මෙම පක්ෂවල නායකයන් හෝ පක්ෂ හෝ එක අවස්ථාවක හෝ විරෝධය දක්වා අදහස් දැක්වූ බවක් හෝ ප්‍රකාශ නිකුත් කළ බවක් දැනගැනීමට නැත. උතුරේ බලය බෙදීම සඳහා උද්ඝෝෂණය කරන පක්ෂ පවා අඩු තරමින් මේ පිළිබඳව වචන මාත්‍රයක් හෝ ප්‍රකාශ කරන බවක් දැකගන්නට නැත.

එහෙත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම පිළිබඳව ජාත්‍යන්තර ආයතනවල මෙන්ම වෙනත් රටවල ද අවධානය යොමු වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මෙවර සැසිවාරයේ දී පළාත් සභා ඡන්දය නොපැවැත්වීම පිළිබඳ ඉන්දියාව තම කනගාටුව ප්‍රකාශ කළේය. පළාත් සභා පිළිබඳ ගෙන එන ලද ඉහත කී සංශෝධනයට අනුව ඒවායේ ඡන්දය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් පැන නැගී ඇති අතර ඡන්දය පැවැත්වීමට නම් සියලු‍ පක්ෂ එකතුව නීති සංශෝධනයක් කර ඡන්ද පැවැත්වීමට කටයුතු කළ යුතුව ඇත. 

වසර පහක් ගත වී ඇතත් ඡන්දයක් පැවැත්වීමට නොහැකි වී ඇති පළාත් සභා පිළිබඳව වගේ වගක් නැති විපක්ෂ දේශපාලන පක්ෂ තවමත් විසිරුවා හැර නැති ප්‍රාදේශීය සභා සහ නගර සභා සඳහා ඡන්දය පැවැත්වීමට බල කරයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටියදී 2015 වසරේ මැයි මස 15 වන දින සියලු‍ම පළාත් පාලන ආයතන විසිරුවා හැරියේය. ඒවාට මැතිවරණ පවත්වන ලද්දේ අවුරුදු තුනකට පසු 2018 වසරේ ජනවාරි මස 18 වන දිනදීය.

එදා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාව සිටි සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ නායකයන් මැතිවරණ පැවැත්වීම පිළිබඳව සිදුකරන අවස්ථාවාදී සහ දෙබිඩි ප්‍රකාශ වෙනුවට සැබෑ ජනමතය පිළිඹිබු වන ආකාරයෙන් මැතිවරණ පවත්වාලීමට විපක්ෂයට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ විසිරුවා ඇති පළාත් සභාවල මැතිවරණය මුලින් පවත්වා තවමත් විසිරුවා හැර නැති පළාත් පාලන ආයතන ඡන්දය ද ඒ හා සමාන අවස්ථාවකදී පැවැත්වීමට රජයට බල කිරීමය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ප්‍රාදේශීය සභාවල  සහ නගර සභාවල සීමා නිර්ණය සඳහා වූ කොමිසමක් පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව ප්‍රකාශ කළේ දැනට සිටින පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව අටදහසකට අධික බැවින් එය හාරදහස දක්වා අඩු කිරීමට සීමා නිර්ණය පිළිබඳ කොමිසමේ නිර්දේශ මත කටයුතු කරන බවයි. පසුගිය දිනවල රජය විසින් අලු‍තින් පිහිටුවන ඕනෑම ආයතනයකට විපක්ෂය විරුද්ධ වූ ආකාරය බොහෝ දෙනෙකුට මතක ඇතැයි සිතමි.

මෙවර අයවැය ලේඛනය මඟින් අලු‍ත් ආයතන කිහිපයක් පිහිටුවීමට කර ඇති යෝජනාව විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් විසින් හඳුන්වන ලද්දේ රජයේ අනුගාමිකයන්ට තනතුරු ලබාදීම සඳහා කරන වෑයමක් ලෙසයි. රාජ්‍ය ඇමතිවරුන් අලු‍තින් පත් කළ අවස්ථාවල දී ද විපක්ෂයේ නායකයන් සහ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ විවිධ චෝදනා සහ සමාජ මාධ්‍ය මඟින් නැගූ අනේකවිධ අවලාද ද බොහෝ දෙනෙකුට මතක ඇතැයි සිතමි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හාරදහසකින් අඩුකළ විට රටට අත්වන ප්‍රතිලාභ පිළිබඳ සුළුකොට තැකිය නොහැක. එක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට රුපියල් පහළොස් දහසක මාසික දීමනාවක් ලැබේ. ඒ අනුව එක් මාසයක් සඳහා වැය වන මුදල රුපියල් ලක්ෂ හයසීයකි. වසරක් සඳහා ලක්ෂ හත්දහස් දෙසීයකි. විපක්ෂයට දැන් හොඳම අවස්ථාවක් ලැබී තිබේ. රටේ වියදම වසරකට රුපියල් ලක්ෂ හත්දහස් දෙසීයකින් අඩු කර ගැනීම සඳහා කටයුතු කිරීමට එකඟ බව රටට ඔප්පු කිරීමටය. ඒ සඳහා අවශ්‍ය නීතිමය විධි විධාන ඇති කර ගැනීම සඳහා රජයට සහාය දී ඉන්පසු මැතිවරණයකට යාම විපක්ෂයේ වගකීමක් වනු ඇත.

රජය විසින් කවර හෝ වියදමක් දැරූ විට ඒ වෙනුවට මහජනතාවගේ කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉන්ධන වැනි අවශ්‍යතා සපුරාලීම සඳහා යොදා ගැනීමට ඉඩ තිබියදී එසේ වියදම් කිරීම බරපතළ වැරැද්දක් බව විපක්ෂය නිතර නිතර පෙන්වා දෙයි. එසේ වුවද මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම හේතුවෙන් රටට හා මහජනතාවට විඳීමට සිදුවන පීඩනය පිළිබඳව වචනයක්වත් ප්‍රකාශ කරන්නේ නැත.

ප්‍රාදේශීය සභා හා නගර සභා ඡන්දයට යන වියදම රුපියල් මිලියන දසදහසකට වඩා වැඩිවනු ඇතැයි බලාපොරොත්තු වේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ රාජ්‍ය වාහන ධාවනය කරවීම සඳහා ඉන්ධන වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවන අතර මැතිවරණය සඳහා යොදාගන්නා රජයේ නිලධාරීන් වෙනුවෙන්ද ඔවුන්ගේ දීමනා වෙනුවෙන්ද විශාල වියදමක් දැරීමට සිදු වේ.

මැතිවරණය සඳහා රාජ්‍ය නිලධාරීන් දෙලක්ෂයක් පමණ යොදාගැනීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත. රටේ මහජනතාවගේ උප්පැන්න - මරණ සහතික, විවිධ අයැදුම්පත් සහ සහනාධාර ඉල්ලු‍ම් කිරීම වෙනුවෙන් අවශ්‍ය ඉල්ලු‍ම්පත් මුද්‍රණය සඳහා අවශ්‍ය වන කඩදාසිවල මෙන්ම තීන්ත සහ අනෙකුත් මුද්‍රණ ද්‍රව්‍යවල ද හිඟයක් පවතී. එවැනි තත්ත්වයක් තුළ මැතිවරණ මුද්‍රණ කටයුතු පිළිබඳ ගැටලු‍ රැසක් පැන නගින අතර අධික වියදමක් දැරීමට ද සිදු වේ. මැතිවරණ කොමිසම ඇඟිලිවල තවරන තීන්ත ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව සඳහා ලබා දී ඇති ණය පහසුකම් යටතේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය යටතේ පළාත් සභා අක්‍රිය කර ඒවායේ ඡන්දය කල් දැමුවේය. තවමත් පළාත් සභා අක්‍රීයව පවතී. ප්‍රාදේශීය සභා හා නගර සභා මැතිවරණය වසර තුනකින් කල් දැමුවේය. ඒ අවස්ථාවේදී අද මහජනතාව පාරට බස්සන බවට ප්‍රකාශ කරන දේශපාලන පක්ෂ මහජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීම පිළිබඳව වචනයක හෝ විරෝධතාවක් නොදක්වා ඡන්දය කල් දැමීමට සහාය දුන් ආකාරය පිළිබඳව මහජනතාවට අමතකව ගොස් නැත. 

මේ වන විට රට අතිශය දුෂ්කර අවස්ථාවකට මුහුණ දී සිටී. මහජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටී. පසුගිය අත්දැකීම්වලින් පැහැදිලි වන්නේ මෙරට මැතිවරණ කාලය තුළදී රාජ්‍ය සේවාවන් අර්ධ වශයෙන් අක්‍රිය වන බවයි. අයවැය ලේඛනය මඟින් සෑම දිළිඳු පවුලකටම ලැබෙන සමෘද්ධි සහ අනෙකුත් දීමනාවන් සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීමට තීන්දු කර තිබේ. මැතිවරණ කොමිසම කොරෝනා පැවති කාලපරිච්ඡේදය තුළ දුගී ජනතාවට ලබාදුන් සහන පිළිබඳව යම් යම් විරෝධතා ප්‍රකාශ කළ අතර එවැනි සහනාධාර පිළිබඳව සීමාවන් පැනවූ අවස්ථා ද තහනම් කළ අවස්ථාවන් ද පැවතුණි.

රජය ලබාදෙන සහන මැතිවරණයට බලපෑම් ඇතිකරන බව සඳහන් කරමින් ඒවා නවතා දැමීමට නොයෙක් වර කටයුතු කළේය. මෙවැනි දුෂ්කර අවස්ථාවක මහජනතාවට විඳින්නට සිදුවන එවැනි පීඩනයන් පිළිබඳව විපක්ෂයට කිසිදු වගකීමක් නැති බව ඔවුන්ගේ ක්‍රියාකලාප තුළින් පැහැදිලි වේ. රට අස්ථාවර කිරීමත් මහජන පීඩා තවත් වැඩි කිරීමත් ඒ තුළින් තම ගොඩ වැඩි කර ගැනීමත් විපක්ෂයේ සෑම දේශපාලන පක්ෂයකම අදහස වී ඇති බව පෙනේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

(***)



අදහස් (1)

කළ යුතු දේ නොකළ යුතු දේ තෝරාගැනීම

KOLITHA KUMARASINGHE Wednesday, 28 December 2022 02:15 PM

මීට කලින් ඡන්දේ තිබ්බේ සල්ලි තිබිලාද? මහින්ද රාජපක්ෂ ඡන්දෙ කලින් තියෙද්දී ඇයි ඕවා කිව්වේ නැත්තේ...?

:       4       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37956 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site