IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තරුෂි දිරිය දියණියට ජාතියේ සුබපැතුම්

 

පදක්කම් නියඟයට හසුව කේඩෑරි වී පුරන් වී තිබූ මලල කෙළිබිමට මල් වැස්සක්ව පතිතව ලක්මව රන් මලින් සැරසූ තරුෂි දිල්සරා කරුණාරත්න දිරිය දියණියට හදවතේ ගැඹුරුම තැනින් නිපැදෙන සුබාශිංසන රැගෙන එන ශ්‍රී ලාංකික ජනී ජනයා සමග අත්වැල් බැඳගනිමින් ලංකාදීපය ද ඇයට මෙසේ උණුසුම් සුබ පැතුම් එක්කරමු.

චීනයේ හංජෝ නුවර පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 800 කාන්තා ඉසව්ව විනාඩි 2 තත්පර 03.20 කදී ජයග්‍රහණය කරමින් රන් පදක්කම දිනා ගැනීමට තරුෂි සමත් වූවාය. ඒ ආසියානු මලල කෙළිබිමේ අණසක පතුරුවාගෙන සිටින ඉන්දියාව, චීනය ඇතුළු රටවල් හතක ක්‍රීඩිකාවන් අන්ත අසරණ කරමින් පරාජයට පත් කරමිනි. 19 හැවිරිදි සුහුඹුල් යෞවනිය තමන් මෙතරම් අවමන් සහගත පරාජයකට ඇද දමනු ඇතැයි සෙසු තරගකාරියන් නොසිතන්නට ඇත.

එහෙත් තරුෂි බිහි වූයේ මහනුවර නගරයෙන් එපිට සුන්දර කඳුවළල්ලකින් වට වූ මැණික්හින්න නගරයේ වළල මධ්‍ය මහා විද්‍යාලයෙනි. වළල මධ්‍ය මහා විද්‍යාලය යනු මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට තරු පොකුරු බිහිකළ පාසලකි. එහෙයින් ආසියානු ක්‍රීඩා උළෙලක දී වසර 21 කට පසුව රන් පදක්කමක් දිනා ගනිමින් ආසියාවේ අවධානය දිනාගත් යෞවනිය බවට පත්වීමට තරුෂිට හැකිවීම එක් අතකින් විමතියට කාරණාවක් ද නොවේ.

මලල ක්‍රීඩා උළෙලක මීට පෙර රන් පදක්කමක් දිනා ඇත්තේ පසුකාලයේ දී ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත් සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශා පමණී. ඒ වර්ණවත් යුගයෙන් පසුව මෙරට මලල ක්‍රීඩාව පදක්කම් ඉඩෝරයකට ගොදුරු විය. එහෙයින් පදක්කමක් දිනා ගැනීමට තව කල්ප කාලයක් බලාගෙන සිටීමට සිදුවේදැයි යන ප්‍රශ්නයට පදනමක් ද  තිබිණි. මෙම පරිසරය තුළ මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගි වන අපේ කණ්ඩායම මෙරටින් පිටව යන විට රළ ගසන බලාපොරොත්තු ද නොවීය.

එහෙත් තරුෂි එම ඉරණම වෙනස් කළාය. එය අහම්බයක් නොව දක්ෂතාව නිසාම දිනාගත් රන් පදක්කමකි. ඇය තරග වැදුණු ආකාරය ඒ තුළ වූ විද්‍යාත්මක ස්වරූපය අනුව ඒ බව පැහැදිලිය. එහෙයින්ම ඇයගේ ජයග්‍රහණයට සුබපතන අතරම ඇයගේ පුහුණුකරු වන වළල මැදි මහ විදුහලේ ප්‍රධාන මලල ක්‍රීඩා උපදේශක සුසන්ත ප්‍රනාන්දු මහතාට ද අපි අතට අත දී සුබපැතුම් එක්කරන්නෙමු.

රන් පදක්කම දිනාගත් මීටර 800 තරග ඉසව්ව නිමා වී පැයකටත් අඩු කාලයක දී පැවැති මීටර් 400 කාන්තා සහාය දිවීමේ තරගයට ද තරුෂි එක්වූවාය. එහිදී සයුරි මෙන්ඩිස්. ජයේෂි උත්තරා, නදීෂා රාමනායක සමග එම ඉසව්වේ ලෝකඩ පදක්කම මෙරටට දිනා දීමට තරුෂි සමත් වූවාය.

ක්‍රීඩා පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගණයට ඇතුල් වීමට අය කරන ලද මුදල ගෙවාගත නොහැකිව පුහුණුවීම් අත්හැර තරුෂිට ගෙදර යාමට සිදු වූ අවස්ථා ඉකුත් සමයේ පුවත්පත්වල පළවිය. ඇයට ක්‍රීඩාංගණයට ඇතුල් වීමට ඉඩ දීමට තරම් කාරුණික වූ මිනිස්සු එහි නොසිටියහ.

එකී සියලු නොසලකා හැරීම් දරා ගනිමින් යෝධබල යෝධ වීර්ය පිරුණු දෙපයින් දුවමින් රන් පදක්කමක් දිනා ගැනීමට තරුෂි සමත්වීම විශේෂිතය. අප රටට ජයග්‍රහණ ගෙනෙන බොහෝ දුවා දරුවන් එම ජයග්‍රහණ රැගෙන එන්නේ දහසක් බාධක, දුෂ්කර කොන්දේසි මැදය. තරුෂි ද එසේමය. මේ මැණික මැනවින් ඔප දමා හැඩ වැඩ දමා ගන්නේ නම්  අපට නැවතත් ඔලිම්පික් පදක්කමක් පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගත හැකිය.

ස්තූතියි! තරුෂි අපේ රටට අලුත් බලාපොරොත්තුවක් රැගෙන ආවාට. අප එසේ ලියන්නේ මෙම වසරේ දී අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලි තුනක දී රන් පදක්කමක් ඇතුළුව මුළු පදක්කම් 8 ක් දිනා ගැනීමට තරුෂි සමත්වීම නිසාය.

(***)



අදහස් (4)

තරුෂි දිරිය දියණියට ජාතියේ සුබපැතුම්

sudath Friday, 06 October 2023 12:01 PM

ඇයගේ ජයග්‍රහණයට සුබපතමි.

:       2       19

randil dunuwille Friday, 06 October 2023 12:29 PM

ලංකාවේ පිනට පහළ වූ අගනා දියණියක්...

:       1       20

බිමල් Saturday, 07 October 2023 11:00 AM

දැන් මේ දරුවාට නිදහසේ දුවන්න ඉඩ දෙන්න. මාධ්‍ය වරුණාවයි තෑගි පෝලිමයි වගේ නෙවෙයි ළමයාගේ ළමා මනස සහ ක්‍රීඩාවේ අරමුණ විනාශ වුණොත්... කරන උදව්වක් වැදගත් විදියට ළමයාගේ ආරක්ෂාව සහ දියුණුව පෙරදැරිව කරන්න. නැතිනම් පේන්නේ නැද්ද? ඒ දේවල් ගැන නොසිතා එකපාරට කඩන් වැටෙන ආශ්චර්යය පාලනය කරගන්න බැරිව ගිහින් පිටරටවල හිරේ විලංගුවේ නොවැටී යන්තම් ගොඩ ආපු සමහරු.

:       0       12

fairoos Thursday, 12 October 2023 12:38 PM

උණුසුම් සුබ පැතුම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 766 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site