වර්තමාන ආර්ථික අර්බුදයේ මූලය පවතින්නේ පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහිය. එබැවින් ආර්ථික අර්බුදය එම දේශපාලන පදනමෙන් වියුක්ත කළ නොහැකිය. නිදසුනක් ලෙස නව මහ බැංකු අධිපතිවරයා එම ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු සහභාගී වූ පළමු මාධ්‍ය හමු කිහිපයකදීම සඳහන් කළේ විදේශ විනිමය අර්බුදයක් ඇති වන බව නිලධාරීන් දැන සිටි බවත් ඔවුන් ඒ පිළිබඳව දේශපාලනඥයන් දැනුම්වත් කර තිබූ බවත්ය. කෙසේවෙතත් මෙම උපදෙස් ගණනකට නොගෙන දේශපාලන තන්ත්‍රය ඩොලරයේ අගය පාලනය කිරීමටත් ණය ගෙවිම සඳහා පැවති විදේශ විනිමය යොදවා ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.
දේශපාලනඥයන් දිගින් දිගටම ප්‍රකාශ කළේ ප්‍රමාණවත් තරම් මුදල් රජය සතුව ඇති බවය. උදාහරණයක් ලෙස චීනයෙන් ගෙන්වන ලද අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට සිදු වූ අවස්ථාවේ ඇතැම් අමාත්‍යවරුන් කියා සිටියේ අදාළ මුදල් ගෙවීම රජයට ප්‍රශ්නයක් නොවන බවය. මෙලෙස උත්සන්න වෙමින් තිබූ ආර්ථික අර්බුදය දේශපාලනඥයෝ සමාජයෙන් වසන් කළහ. දේශපාලනඥයන් එසේ කළේ ඇයිදැයි විමසා බැලීම වැදගත්ය.
දේශපාලන සංස්කෘතිය
ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වන විටත් ආර්ථික අර්බුදයක ලකුණු ඔහු නොදැන සිටියා විය නොහැකිය. කෙසේවෙතත් බලයට පත් වූ පසු උපාධිධාරීන් නොවන ලක්ෂයකට පමණ රැකියා ලබා දුන් අතර උපාධිධාරීන් හැට දහසක් පමණ රැකියාගත කිරීම ද කළේය. ඊට අමතරව රජයට අතිවිශාල ආදායමක් අහිමි කරමින් බදු කප්පාදු කරන ලදී.
මෙයින් පැහැදිලි වන්නේ දේශපාලනඥයන් විසින් ආණ්ඩුකරණය සිදු කරනු ලබන්නේ සිය බලය තර කර ගැනීමට මිස රාජ්‍යයේ දීර්ඝ කාලීන සුබසිද්ධිය පිණිස නොවන බවය. මා දකින ආකාරයට ලංකාවේ පවතින දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන අර්බුදය ද එයයි. පැහැදිලිවම එම තත්ත්වය ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේදී ආරම්භ වූවක් නොවුවද, රාජපක්ෂවරු මෙම දේශපාලන සංස්කෘතිය ඉතා සාර්ථකව පවත්වා ගෙන ගියහ.
මෙම දේශපාලන සංස්කෘතිය ඇතුළත ශ්‍රී ලාංකිකයන් ක්‍රියාකරන්නේ පුරවැසියන් වෙනුවට ඡන්දදායකයන් ලෙසය. එනම් රාජ්‍ය සහ සමාජය, අනග්‍රාහක සේවාදායක පදනම මත නිර්මාණය වී තිබීමය. ඡන්දයක් ළං වන විට බොහෝ පුද්ගලයන් විවිධ භෞතික ප්‍රදාන ලබා දෙන දේශපාලනඥයන් වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පුරුදුව සිටින්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙසය.
පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීම්, රැකියා ස්ථානයේ උසස් වීම් ලබා ගැනීම් වැනි පෞද්ගලික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා පුද්ගලයෝ මැතිවරණ උපයෝගී කර ගනිති. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ලංකාවේ බලයට පත් වූ කිසිදු ආණ්ඩුවකට අවශ්‍ය නොවීය.
දේශපාලනය, ලංකාවේ වෘත්තියක් බවට පත් කර තිබේ. ලාබය මත පදනම්ව තීරණ ගැනීම (Cost-benefits analysis) නමැති ආර්ථික විද්‍යාවේ එන මූලධර්මයට අනුව මෙරට දේශපාලනයේ තීන්දු තීරණ ගැනෙන්නේද දේශපාලනයේ පවතින මේ වෘත්තීය නැඹුරුව නිසාය. ඡන්දදායකයා තීන්දු තීරණ ගන්නේ ද එම පදනමේ සිටය. දේශපාලනඥයන් සහ පුරවැසියන් ගන්නා තීරණ සමපාත වන්නේ එම දෙකොට්ඨාසයටම ප්‍රතිලාභ ලැබෙන සහ රාජ්‍යයට ප්‍රතිලාභ නොලැබෙන අවස්ථාවකය.
ඡන්දදායක පුරවැසි වෙනස
මාර්තු සිට ජූලි මාසය දක්වා ක්‍රියාත්මක වූ මහජන අරගලය වනාහී දකුණු ආසියාතික කලාපයේ හටගත් සුන්දරතම ප්‍රජාතාන්ත්‍රීය සිදුවීමයි. රටේ සාතිශය බහුතරය මහ මගට බැස පශ්චාත් යටත් විජිත ලංකාවේ බිහි වූ ප්‍රබලම රාජ්‍ය නායකයකු වශයෙන් සැලකිය හැකි ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට කටයුතු කළහ. එහෙත් ලංකා ජන සමාජයේ පුරවැසි ඥානය තවමත් පවතින්නේ අඩු මට්ටමකය. අපේ සමාජයේ වැඩිවශයෙන් තිබෙන්නේ ඡන්දදායක ඥානයයි. පුරවැසි ඥානය සහ ඡන්දදායක ඥානය යනු දෙකකි.
ඡන්දදායක ඥානය වනාහී මැතිවරණවලදී තම පෞද්ගලික උපයෝගීතාව උපරිම වන පරිදි ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පවතින පොදු අවබෝධයයි. එවැනි සන්දර්භයක ඡන්දදායකයා කටයුතු කරන්නේ පුරවැසියකු වශයෙන් නොවේ. පුරවැසියා යනු පොදු පරිමණ්ඩලයේ ජීවත් වෙමින් පොදු යහපත සහ අභිවෘද්ධිය ගැන තාර්කිකව සිතන කෙනෙකි.
ලංකාවේ පවතින දේශපාලන සංස්කෘතිය සහ නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය විසින් නිර්මාණය කරනු ලැබ තිබෙන්නේ පුරවැසියන් නොව ඡන්දදායකයන්ය. ගෝඨා ගෝ හෝම් සහ කපුටු කාක් යන ප්‍රකාශවලින් ඔබ්බට දිවෙන ගැඹුරු අරගලයක් බවට එම මහජන අරගලය පත් නොවුයේද එබැවිනි. රාජපක්ෂවරුන් එළවා දැමීමෙන් පසු සිදු කරන දෑ ගැන එහි සාකච්ඡාවක් ද නොවීය. එහෙත් ඉදිරියට එවැනි සාකච්ඡා බිහි නොවන්නේ යැයි එයින් අදහස් නොවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූර දේශපාලන කියැවීමක් සහිත දේශපාලනඥයෙකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමත් සමග අරගලයේ තිබූ ප්‍රධාන හේතුව අහෝසි වන බව ඔහු දැන සිටියේය. වික්‍රමසිංහ එම අවස්ථාව භාවිත කරමින් පාර්ලිමේන්තුවෙන් පිටත සක්‍රීය වෙමින් තිබූ පුරවැසි දේශපාලනය යළි පාර්ලිමේන්තුව ඇතුළට ගොනු කළේය. ව්‍යවස්ථානුකූලව ප්‍රශ්න විසඳීම යන වාක්‍ය ඔහු ඒ සඳහා යොදා ගත්තේය. ජනාධිපතිවරයාගේ එම උපායමාර්ගය නිසා ජනඅරගලය යම් පමණකට පසුබැස ඇති බව අපිට පිළිගැනීමට සිදු වේ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාව
පවතින අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගොස් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආණ්ඩුවේ අදහස වී තිබෙන බව පෙනී යයි. එසේනම්, මුල්‍ය අරමුදල යෝජනා කරන පරිදි ණයවල තිරසරභාවයක් ඇති කර ගැනීමත් ප්‍රාථමික ගිණුම් ශේෂයේ පවත්නා අර්බුදය විසඳා ගැනීමත් කඩිනමින් කළ යුතුය. එසේම විදේශ සංචිත ඉහළ නංවා ගැනීමද කළ යුතුය. මේ සියලු දෑ කිරීමට නම්, ඉතා අපහසු සහ වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට සිදු වේ.
මෙවැනි ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ඕනෑම දේශපාලන නායකත්වයකට ඉහළ දේශපාලන සුජාතභාවයක් තිබිය යුතුය. එනම්, පුරවැසියන් අණ්ඩුව සඳහා ඉහළ සහයෝගයක් පෙන්නුම් කළ යුතුය. මෙයින් ගම්‍ය වන්නේ වේදනාකාරී ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීම තනි පක්ෂයකට කළ හැකි කාර්යභාරයක් නොවන බවය.
මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 90 ක් පමණ වේ. සාමාන්‍ය උද්ධමනය සියයට 60 ඉක්මවා තිබේ. ලොව අධිඋද්ධමනය සහිත රටවල් අතර ශ්‍රී ලංකාව පස් වැනි තැන පසු වේ. මෙවැනි පසුබිමක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ඉදිරියට ගෙනයමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලින් සැදුම්ලත් ආණ්ඩුවක් බිහිකිරීම අවශ්‍යය.
එවැනි ආණ්ඩුවක ප්‍රමුඛ කර්තව්‍ය විය යුත්තේ පවතින අර්බුදයෙන් එළියට පැමිණිය හැකි මංපෙත් සෙවීම මිස දේශපාලනය කිරීම නොවේ. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළේ ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය දියත් කිරීම වෙනුවෙන් පවතින අර්බුදය භාවිත කිරීමය. තමන්ගේ නායකත්වය යටතේ සහ තමන්ගේ න්‍යායපත්‍රයට එකඟ වන පක්ෂවල නියෝජිතයන් ඇතුළත් කර ගනිමින් පිහිටුවන ආණ්ඩුවක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස රනිල් වික්‍රමසිංහ දකියි. රනිල් වික්‍රමසිංහගේ සර්ව පාක්ෂික යෝජනාවෙහි හරය කූට එකකි. එය සෙසු දේශපාලන පක්ෂවලට ආකර්ෂණීය එකක් නොවේ. විපක්ෂය මේ අවස්ථාවේ කටයුතු කරන්නේ ද දේශපාලන අරමුණු පෙරදැරි කරගෙනය.
ජනාධිපතිවරයාත් ඇතුළු දේශපාලනඥයන් සාර්ව පාක්ෂික ආණ්ඩුව නමැති මල්වට්ටියට අතගැසීමට ඉදිරිපත් නොවන්නේ වර්තමාන අර්බුදය විසඳීමට ඇති හැකියාව පිළිබද ඇති අවිශ්වාසය නිසා වන්නට පිළිවන. එසේම අප අමතක නොකළ යුතු කාරණය නම්, මෙම කලාපයේ දේශපාලනඥයන්ගේ පැවැත්ම බොහෝදුරට තහවුරු වන්නේ ප්‍රශ්න විසඳීමෙන් නොව දිග්ගැස්සීමෙන් බවය. එබැවින් මෙවැනි විපත් වනාහි ඇතැම් දේශපාලනඥයන්ට දිනුම් ඇදෙන ලොතරැයි හා සමානය.
මේ තත්ත්වය යටතේ අර්බුද විසඳීම දේශපාලනඥයන්ගේ ප්‍රධාන අභිප්‍රාය නොවීම පුදුම වීමට හේතුවක් නොවේ. එසේම මේ අර්බුදය පහසුවෙන් විසඳිය හැකි එකක් ද නොවේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවූවත් නැතත් මේ වන විට පාර්ලිමේන්තුව සුපුරුදු බල තරගය ක්‍රියාත්මක කරන තැනක් බවට පත්ව අවසන්ය. රාජ්‍ය අමාත්‍ය ධුර හෝ ලබා ගනිමින් සිය දේශපාලන පැවැත්ම ශක්තිමත් කරගනිමින් මීළඟ මැතිවරණයට අවශ්‍ය පදනම සකසා ගැනීම මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂාවයි.
විය යුත්තේ කුමක්ද සහ වන්නේ කුමක්ද යනු දෙකකි. විය යුතු දෙය නම්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ මාස හයක් වැනි අවම කාලයක් සඳහා එකට එකතු වී රට මේ අර්බුදයෙන් ගොඩ ගැනීමට උත්සාහ කිරීමය. එහෙත් මේ වන විට සිදු වෙමින් තිබෙන්නේ එහි ප්‍රතිවිරුද්ධ අන්තයයි. ඉදිරියේදී වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු වන විට මිනිසුන් නැවත පාරට බසිනු ඇත. එවැනි තත්ත්ව හමුවේ දේශපාලන ප්‍රයෝජන ලබා ගැනීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් උත්සාහ කරනු ඇත. දැනට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් දේශපාලන බලය පවත්වා ගනිමින් සිටින ජනාධිපතිවරයාට ඉතා අසීරු අවස්ථාවලට මුහුණ දීමට සිදු වේ.
අලුතින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගෙන ජනාධිපතිවරයා ආණ්ඩුව ඉදිරියට ගෙන යනු ඇත. එසේම මේ දේශපාලන අර්බුදය අඛණ්ඩව පවත්වා ගැනීම හරහා තමන්ට නැවත වතාවක් බලය ලබා ගත හැකි බවට රාජපක්ෂවරුන් විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ.
ජනාධිපතිවරයා වත්මන් අර්බුදය ආර්ථික සහ දේශපාලන වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. දේශපාලන අර්බුදය සඳහා ඔහු ගනිමින් සිටින විසඳුම් වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කිරීම, අරගලයේ නායකයන් මර්දනය කිරීම යනාදියයි. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව කීවද එය අපැහැදිලිය. එමගින් විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කරනු ඇතැයි මම නොසිතමි. දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙන එනු ඇතැයි සිතිය නොහැකිය. ආර්ථික අර්බුදය සමග ගනුදෙනු කිරීමේදී නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වේගවත්ව ක්‍රියාත්මක කරනු ඇත. සමාජ අසමතුලිතතාව වර්ධනය වන ආකාරයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඇති ඉඩ ඉහළය.
මේ අනුව වර්තමාන පාර්ලිමේන්තුව ඇතුළත සිදු වන දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මගින් සැලකිය යුතු සාර්ථකත්වයක් අපේක්ෂා කළ නොහැකිය. සිවිල් පුරවැසියන් වන අප, වර්තමාන අර්බුදය විසඳීමේ වගකීම සම්පූර්ණයෙන්ම පවතින දේශපාලන නායකත්වය වෙත පැවරීම අමනෝඥ ක්‍රියාවකි.
එමෙන්ම අර්බුදයේ සීමා මායිම් මෙන්ම එහි විසඳුම් මාවත් පිළිබඳ ගැඹුරු කතිකාවකින් තොරව ජනතාව පාරට කැඳවීම හෝ පවතින නායකත්වයට ගෙදර යන්නැයි කීම ඵල රහිතය. එම නිසා මේ අවස්ථාවේ විදවතුන්ගේ සහ සිවිල් පුරවැසියන්ගේ කාර්යභාරය විය යුතුව ඇත්තේ වර්තමාන දේශපාලන නායකත්වය ඉදිරිපත් කරන දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංසකරණ සමාජ කතිකාවකට බඳුන් කිරීමත් ඒවායෙහි ඇති සමාජ විරෝධී මූලයන් ගැන ජනතාව දැනුම්වත් කිරීමත්ය. එමගින් ඉදිරියේදී එන අරගලයක් අරාජකත්වයක් කරා ගමන් ගනු වෙනුවට ගැඹුරු ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සඳහා යොමු කළ හැකිය.
(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ප්‍රදීප් පීරිස්
සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශපාලන අර්බුදයේ යථාර්ථය