ලංකාවට නිදහස ලබාගැනීම පිණිස සංවිධානය වූ කණ්ඩායමේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකි. උගතුන් බුද්ධිමතුන් දේශයට දායාද කළ දැවැන්ත ව්‍යාපාරයක හිමිකරුවෙකි. ලංකාවේ ප්‍රථම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ විද්වත් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකි. සුප්‍රසිද්ධ සමාජසේවකයෙකි. හේ නමින් දොන් රිචඩ් විජයවර්ධනයෝය. අද (23) එතුමන්ගේ 137 වැනි ජන්ම දිනයයි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහස ලබා වසර 75 ක් ගෙවී ඇති නූතනයේ-1948 න් පූර්ව පරාධීන යුගය පිළිබඳව අසා දැන ඇති තොරතුරු මිස, දැක ඇති පුද්ගලයන් විරලය. නිදහස නමැති වදනෙහි සුන්දර අර්ථයක් ඇතත්, එය ලබාගැන්මට කළ කැපවීම්, විඳි දුෂ්කරතා, ආදිය වර්තමානයේ ජීවත් වන අපට සිතාගත නොහැකිය.
අධිරාජ්‍යවාදී සපත්තුවට පෑගෙමින්, අදිරද නීතියට නතුවෙමින් තුවක්කුවට බයිනෙත්තුවට ළය පාමින්, ජීවිතය පිළිබඳව අල්ප මාත්‍රයක ආශාවක් ආදරයක් නොමැතිව, නිදහස සොයා, නිදහසේ නායකයන් පියමැන තිබුණේ මල් ඇතිරූ, විල්ලුද බුමුතුරුණු එලන ලද මාවත්වල නොවේ.
හෙට දවස පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැතිව, තමන් ඉදිරිපිටදීම හෙන්රි පේද්‍රිස් වැනි ප්‍රබලයන් තුවක්කුවට ළයදී, උණු රුහිරු වගුරා මියැදෙන විට, අසම්මත නීති තුළින් සගයන් කණ්ඩායම් පිටින් සිපිරි ගෙවල්වලට දක්කන විට, අප නායකයෝ නෑසූ කන්ව නොසිටියහ. බිය නොවූවෝය. තැබූ පියවර දශමයකින් හෝ පසුපසට නොගත්හ.
තමන්ගේ ඒකායන අරමුණ බිඳුවකින් හෝ වෙනස් නොකළහ. මෙලෙසින් නිදහස ලබාගැනීම පිණිස පිහිටුවාගෙන තිබූ සංවිධානයේ සාමාජිකයන් වූයේ, ප්‍රභූ පවුල්වල අධ්‍යාපනයක්, හික්මීමක්, තත්කාලීන ලෝකය පිළිබඳව දැනුමින් පොහොසත් කණ්ඩායමක් වීම, ලාංකිකයන් වූ අපගේ භාග්‍යයම විය.
ඩී.එස්. සහ එෆ්.ආර්. සේනානායක දෙසොහොයුරන්, හේවාවිතාරණ, ජේකොබ් ද මෙල්, සර්.ඩී.බී. ජයතිලක, සර් ජේම්ස් පීරිස්, ඊ.ඩබ්ලිව්. පෙරේරා, ඇලෙක්සැන්ඩර් විජයවර්ධන, ඩබ්ලිව්.ඒ. සිල්වා, සර් පොන්නම්බලම් අරුණාචලම්, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඊ.ඩබ්ලිව්. ජයවර්ධන ආදී තවත් තරුණ පිරිසක්, ජාතියටත්, දේශයටත් නිදහස ලබාගැනීමේ ඒකායන අරමුණ පෙරදැරිව, විවිධ කාර්යයන්හි නිරතවූහ. කිසිදු ලේ වැගිරීමකින් තොරව බුද්ධිමය සංවාද සහ සම්මන්ත්‍රණ, ලිපි ලේඛන ලිවීම මගිනුත්, අපේක්‍ෂිත කාර්ය සම්පූර්ණ කරගැනීම කණ්ඩායමේ අරමුණ වීය.
වර්තමානයේදී එවැනි වීරවරයන් සිහිපත් කරන්නේ ඔවුන් කළ ජාතික සහ සමාජ මෙහෙවර ස්මරණය කිරීම පිණිසය. දේශයට නිදහස ලබාගැනීම පිණිස කටයුතු කිරීමේදී, ඔවුන් තුළ තිබූ විශේෂ හැකියාවන් හා සංවිධාන ශක්තීන් ප්‍රධානය. ඉටුකළ කාර්යයේ ස්වභාවය, වගකීම සහ දුෂ්කරතාව අනුව, කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් ඇතැමෙක්, නිතැතින්ම ජාතියේ වීරත්වයට පත්වූහ. වීරවරයන් මියයන්නේ එක්වරකි. එහෙත් කෘතගුණ දත් මිනිස් හදවත්වල, ඔවුහු සදාකාලිකව ජීවත් වෙති.
අදින් වසර 137 කට පෙර 1886 පෙබරවාරි 23 වැනිදා ජන්ම ලාබය ලබා ඇති, දොන් රිචඩ් විජයවර්ධන ශ්‍රීමතාණන්, මෙරට ජනතා සිත්හි වීරවරයකු වන්නේ කෙසේ ද? ඉතා පැහැදිලි පැතිකඩ දෙකක් ඔස්සේ එතුමන් ශ්‍රී ලාංකේය විරුවන් ගොන්නට එකතු වීමට සුදුසුකම් ලබා ඇත. නිදහස දිනාදීම උදෙසා නිදහසේ බළමුළුව හා එක්ව, විවිධ බුද්ධිමය අරගලවලට ක්‍රියාකාරීව නායකත්වය සපයා සහභාගී වීමෙන් ලබාදී ඇති ශක්තිය මෙන්ම, තමන් ආරම්භ කළ පුවත්පත් ව්‍යාපාරය ඔස්සේ, පරාධීන බවින් දේශයත්, ජාතියත් මුදාගනු පිණිස ගෙන ගිය දැවැන්ත අරගලයේ නියමුවා වීම, ජාතික වීරවරයකු බවට එතුමන් පත්වීමේ ප්‍රධානතම සුදුසුකම් වෙයි.
රිචඩ් විජයවර්ධන තරුණයා මෙරට අධ්‍යාපනයෙන් පසුව, එංගලන්තයේ සුප්‍රසිද්ධ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඇත්තේ, අධිනීතිඥවරයකුවීමේ බලාපොරොත්තුවෙනි. 1900 ශතකය ආරම්භ වනවිට, මෙරට පාලකයන්ව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෝ විවිධ ලෙසින් දේශීය ජනතාවට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කළහ. මර්දනය විශේෂයෙන් එල්ලව තිබුණේ සාමාන්‍ය ජනතාව වෙත නොව, උසස් යැයි සම්මත පවුල්වල තරුණ කණ්ඩායම අරභයාය.
එයට හේතුව ඔවුන් බලමුළුගැන්වී, පාලක සුදු ජාතිකයන්ට එරෙහිව මෙරටෙහිත්, එංගලන්තයෙහිත් ගෙනගිය, ඇතැම් ක්‍රියාමාර්ග නිසාය. ඩී.ආර්. විජයවර්ධන මහතා, නිදහස ලබාගැනීමට පෙරමුණගත් ඒ කණ්ඩායම සමග එක්වන්නේ, 1912 දී ස්වකීය අධිනීතිඥ උපාධිය ලබා ලංකාවට පැමිණීමෙන් පසුවය. පරාධීන ජාතියක් ලෙස අප කටයුතු කළ වසර 133ක ඉතිහාසය තුළ, ජාතියක් , රටක් හා ආගමික වශයෙන්, අප විඳි ගැහැට, අයුතු අසාධාරණකම් බොහෝය. එහෙත් ඒවා එකින් එක අප මතකයට නොපැමිණෙන්නේ, කාලයේ වැලිතලාව ඒ සියල්ල, සිය වසඟයට ගෙන ඇති බැවිනි.
1948 පෙබරවාරි 04 වැනිදා සමස්ත ලාංකේය ජනතාවටම සුවිශේෂී දිනයකි. ඒ බ්‍රිතාන්‍ය පාලනය අප වෙත නිදහස ප්‍රදානය කළ දිනය වන බැවිනි. මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායකයන් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස අබිසෙස් ලැබුවත්, ජාතියටත් දේශයටත් එවැනි තතත්වයක් උදාකර ගැනීම වෙනුවෙන් අත්වැල් බැඳගත් ලාංකික අනන්‍යතාවයෙන් කටයුතු කළ පිරිසක් එතුමෝ පිටුපසින් වූහ.
දශක ගණනාවක් පැවති නිදහස් අරගලයේ අවසන් ප්‍රතිඵලය වූයේ ඩොමීනියන් පරිපාලන තන්ත්‍රයක් දිනාගැනීමය. එයට දායක වූ සියලු දෙනාටම ජාතියේ උපහාරය හිමිවිය යුතුය. ඔවුන් සියලු දෙනාම පාහේ සුදු ජාතිකයන්ගේ විවිධ වූ අසාධාරණ ක්‍රියාකාරකම්. ඉන් ජාතියට, දේශයට සිදුවන බලපෑම, රටේ ජනතාවට වටහාදී ඔවුන්ගේ අවධානයට යොමු කළෝය.
අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයේ අකටයුතුකම් නොබියව විග්‍රහ කොට, ජනතාව එක් මතයකට ඒකරාශී කිරීමට කටයුතු කළ කණ්ඩායමේ ප්‍රධාන චරිතය වූයේ, ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝය. එතුමෝ දක්‍ෂ කථිකයෙක් නොවූහ. පෙරළිකාර චරිතයක් ද නොවීය. එහෙත් නිදහස සඳහා වූ කණ්ඩායමේ වෙනත් කිසිදු සාමාජිකයකුට හැකියාවක් නොතිබූ ස්ථානයකට නිදහස් සටන රැගෙන යාමට, විජයවර්ධනයෝ සමත් වූහ. ඒ ස්වකීය පුවත්පත් මගින් නිදහසෙහි වටිනාකම පිළිබඳව ජනතාව සබුද්ධිකරණයට ලක්කිරීමෙනි. පුවත්පත් තුළින් දේශානුරාගයත්, දේශ වාත්ශල්‍යයත් වැපිරවීමෙනි.
විජයවර්ධනයෝ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි යුගයේදී පවා ලංකාව සහ එහි දේශපාලනයත්, සුදු අධිරාජ්‍යවාදී පරිපාලනයේ අමානුෂික ක්‍රියා පටිපාටි පිළිබඳවත් මනාව දැනුවත්ව සිටියහ. ඒ සිය පවුලේ සාමාජිකයන්ගෙන් සහ ලංකාවේ සිටි එතුමන්ගේ ආසන්නතම හිතෛෂීන් ගෙනුත්ය.
ශිෂ්‍යයකුව හිඳිමින්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කරුණු දැක්වීමට හැකියාවක් තිබූ විද්වතකු වන එෆ්.එච්.එම්. කෝබට් වැනි බුද්ධිමත්හු සමූහයක් එතුමා ඇසුරු කළහ. පසුකාලීනව ලංකාවට පැමිණ පුවත්පත් ව්‍යාපාරය පටන්ගැනීමට මූලික අදහස දී තිබුණේද බ්‍රිතාන්‍ය ජාතික කෝබට් මහතා බව විජයවර්ධනයන් පවසා තිබුණේය.
තමන් සමත්ව සිටි නීති උපාධියට අනුව, උසාවියේ පෙනී සිටිමින් විශාල මුදලක් උපයාගැනීමේ නිසග හැකියාව තිබුණත්, උපතින්ම හිමිව තිබූ දැවැන්ත ආර්ථික ශක්තිය, මුදල් පසුපස තවදුරටත් හඹායාමේ අවශ්‍යතාවයෙන් එතුමා අවුරවාලීය. සිය විශ්වවිද්‍යාලය තුළින්ම උසස් අධ්‍යාපනය ලබාගත් තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ චරිත වූ, සර් පොන්නම්බලම් අරුණාචලම්, සර් ජේම්ස් පීරිස් වැන්නවුන් පවා ජාතික නිදහස් සටනේ ඉදිරියෙන්ම සිටි ප්‍රබල චරිත විය.
ඔවුන් හා සමගාමීව ජාතික නිදහස් සටනට බට තරුණ විජයවර්ධනයන්ට සියරට පැමිණ වසරකින් පසුව එනම් 1913 ඔක්තෝබර් 13 වැනිදා නිදහසේ කණ්ඩායම සංවිධානය කළ සමිතියකට සහභාගීවීමට අවස්ථාව උදාවිය. ඒ කණ්ඩායම තම සමිතියේ ලේකම් ලෙස පත්කරගෙන තිබුණේ ඩී.ආර්. විජයවර්ධනයන්ය.
නිදහසේ අරුත පිළිබඳව ජනතාව සබුද්ධික කරවීම සමිතියේ මුඛ්‍ය පරමාර්ථය වූ අතර ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සමිතිය විසින් පවත්වනු ලැබූ රැස්වීමක ප්‍රධාන දේශකයාණන් ලෙස සම්බන්ධව සිටියේ සර් පොන්නම්බලම් අරුණාචලම් විද්වතාය. ‘‘අපගේ දේශපාලන ඕනෑකම්’’ නමැති ඓතිහාසික මාතෘකාව යටතේ සිය දේශනය කළ අරුණාචලම් මහත්මාට ඒ ආරාධනාව ලැබී ඇත්තේ ඩී.ආර්. විජයවර්ධනයන් ගෙනි.
ඩී.ආර්. විජයවර්ධනයන් උසස් අධ්‍යාපනයෙන් පසුව මව්බිමට පැමිණි යුගයේ මෙරට සාක්‍ෂරතාව පහත් අඩියක විය. එය පිටු දැකීම පිණිස 1914 දී, මහජන සේවක සමිතිය, නමින් ආරම්භ කළ සමිතියේ ලේකම් ලෙස පත්ව ඇත්තේද ඩී.ආර්. විජයවර්ධනයන්ය. එතුමෝ ස්වකීය සමිතියේ සාමාජිකයන් සමග රාත්‍රි පාඨශාලා අරඹමින් වැඩිහිටියන්ටත්, ළමා සහ තරුණ පිරිස්වලටත් කියවීමේ සහ ලිවීමේ හැකියාව ප්‍රගුණ කළෝය. එය ඉතාමත් ප්‍රසිද්ධියට පත්වූ අතර මෙහි වාසය කළ වියත්හු බොහෝ දෙනෙක් ස්වේච්ඡාවෙන්ම ඒ කර්තව්‍ය සාර්ථක කරගැනීමට සහයෝගය දුන්හ.
1915 උද්ගතව පැවති ජාතිවාදී කෝලාහල පිළිබඳව සුදු ජාතික පාලකයන්ගේ සම්පූර්ණ විරෝධය එල්ලවූයේත්, නීතිය ක්‍රියාත්මක කළේත් ජාතික නායකයන්ට එරෙහිවය. ඒ අනුව ඩී.එස්. හා එෆ්.ආර්. සේනානායක සොහොයුරන්, කිසිදා දේශපාලනයක නිරත නොවූ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ වැඩිමහල් සොයුරු දොන් පිලිප් ඇලෙක්සැන්ඩර් විජයවර්ධනයන්, සර් ඩී.බී. සහ ඩබ්ලිව්.ඒ. ද සිල්වා වැනි නායකයෝ සිරගත කරනු ලැබූහ. ප්‍රසිද්ධියේ වෙඩිතබා හෙන්රි පේද්‍රිස් තරුණයා ඝාතනය කළහ. එවැනි අප්‍රසන්න සිදුවීම් නිදහසේ කණ්ඩායම තවදුරටත් අරමුණ වෙනුවෙන් කුළුගැන්වීය.
සුදු පාලකයන් නිරන්තරව ජාතික නායකයන් අවි සංග්‍රාමයකට යොමු කිරීමට කැසකැවූවත් අපගේ නායකයෝ එකඑල්ලේම බුද්ධිමය සටනකට අවතීරණය වූවා මිස, ලේ සෙලවීමකට කිසිවිටෙකත් යොමු නොවූහ.
මේ කාලයේදී ඩී.ආර්. විජයවර්ධනයන් ස්වකීය පුවත්පත් ව්‍යාපාරය ආරම්භකොට තිබිණි. නිදහසේ කණ්ඩායම සමග සමිති සමාගම් මගින් ක්‍රියාකාරීව සම්බන්ධකම් පවත්වන අතරතුරම පුවත්පත් ව්‍යාපාරය තුළින් සුදු ජාතිකයන්ගේ පරිපාලනයේ අඩුලුහුඬුකම්, ඔවුන්ගේ පරිපාලන රහස්, උපක්‍රමශීලීව ලබාගෙන පුවත්පත් මගින් එතුමන් ඒවා ප්‍රසිද්ධ කළේ නිර්භීතවය. ලංකාවෙන් පැහැරගෙන එංගලන්තයට රැගෙන ගොස් තිබූ ලංකා ධජයේ මුල් පිටපත නැවත සොයාගැනීම පිණිස ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා සමග සමීපව කටයුතු කළේද අපේ කථානායකයාය.
යටත් ජාතියක්ව ශතවර්ෂයක් සපිරුණු 1915 මාර්තු 2 වැනිදා, සිංහලයේ අවසන් රජතුමාගේත්, අග බිසවගේත් ඡායාරූප සමග, ඔටුන්න සහ පළමු ජාතික කොඩියේ වර්ණ ඡායාරූපයක් ස්වකීය දිනමිණ පුවත්පතේ පිටකවරයේ අර්ථවත් කවියක් ද සමගින් පළකරවා, යටත් ජාතියක්වීමේ ආදීනව මෙරට ජනතාවට අභීතව සිහිපත් කොට දුන්නේද විජයවර්ධන ශ්‍රීමතාණෝය.
දේශීය නායකයන්ගේ උද්ඝෝෂණ හේතුවෙන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා වූ කණ්ඩායමක් මෙරටට එවීමට බ්‍රිතාන්‍ය පාලනයට සිදුවිය. 1927 දිවයිනට එවනලද ඩොනමොර් කොමිසමේ සාමාජික ජේ. බට්ලර් මහතා විජයවර්ධනයන්ගේ සමකාලීන කේම්බ්‍රිජ් මිතුරෙක් විය.
ඔහු මාර්ගයෙන් වඩාත් හිතකර දේශපාලන ප්‍රතිසංස්කරණ, බ්‍රිතාන්‍ය රජය වෙත යෝජනා කරවා ගැනීමට විජයවර්ධනයන්ට හැකි විය. 1944 වර්ෂයේ පැමිණි සෝල්බරි කොමිසමේ සාමාජිකයන් සඳහා, දියතලාවේ එතුමන්ට අයත්, ආකේඩියා මන්දිරයෙහි සියලුම පහසුකම් සහිතව සතියක නිවාඩුවක් ගතකිරීමට අවස්ථාව සලසාදී, විජයවර්ධනයන් කොමිසමේ විශේෂ මිතුරෙක් වීය. නායක සෝල්බරි සාමිවරයා, විජයවර්ධන මහතා මියයන තෙක්ම කුළුපග මිතුරෙක් විය.
බ්‍රිතාන්‍යයන් ලංකාවට විශ්වවිද්‍යාලයක් ප්‍රදානය කිරීමේදී, එය පිහිටුවන ස්ථානය පිළිබඳව බුද්ධිමතුන් අතර සංවාදයක් ඇතිවිය. යෝජිත සරසවිය අගනුවර පිහිටුවනවාද නැතිනම් ඉන් බැහැර පිහිටුවනවාද යන්න ඊට පාදක විය. ස්වකීය පුවත්පත් මගින් අර්ථාන්විත විග්‍රහයක් සමාජගත කර පේරාදෙණිය ප්‍රදේශයේ යෝජිත විශ්වවිද්‍යාලය පිහිටුවීමට කටයුතු කළ කණ්ඩායමේ - විජයවර්ධනයන් පළමුපෙළේ සාමාජිකයෙකි.
එහි ප්‍රථම උපකුලපති සර් අයිවර් ජෙනින්ග්ස් මහතාගෙන් අනර්ඝ සහායක් මේ සඳහා විජයවර්ධනයන්ට ලැබිණි. පේරාදෙණිය ප්‍රදේශය වැනි අතිශයින් මනස්කාන්ත නිශ්චල ප්‍රදේශයක විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් සිසු මනස අධ්‍යාපනිකව ඒකාත්මික වන බව විජයවර්ධනයෝ විශ්වාස කළහ. පසුව විශ්වවිද්‍යාලය පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටුවීමට කටයුතු යෙදිණි. විශ්වවිද්‍යාලය ඇරඹීමෙන් පසුව, උසස් අධ්‍යාපනය පිණිස එහි සැපත් වන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා සිය පෞද්ගලික ධනය වැය කරමින් ඉදිකොට තිබෙන සංඝාරාම සංකීර්ණය සතර දිගින් වඩින ශිෂ්‍ය භික්‍ෂූන්ට අගනා නේවාසික පහසුකමකි.
මෙය අදටත් ක්‍රියාත්මකය. එසේම විශ්වවිද්‍යාලයීය සිසුන් උදෙසා එතුමාගේ පෞද්ගලික මුදලින් මිලට ගෙන පරිත්‍යාග කොට ඇති ලංකාවේ සුවිශේෂී සාහිත්‍යධරයන් දෙපළක් වූ පර්ගියුෂන් සහ ඩබ්ලිව්.ඒ. සිල්වා සූරීන් සතුව තිබූ පුස්තකාල යුගළයේ ශ්‍රී ලංකාවේ පෞරාණිකත්වය, ඓතිහාසිකත්වය විදහා දක්වන අග්‍රගණ්‍ය සහ අති විරල පුස්තක විශාල සංඛ්‍යාවක් තිබී ඇත.
නොමසුරුව ඒ සියල්ල සිසුන්ගේ උසස් අධ්‍යාපනය උදෙසා එතුමන් විශ්වවිද්‍යාලය වෙත පරිත්‍යාග කළ බව පොත් පරිශීලනය කරන බොහෝ දෙනෙක් නොදනිති. විශ්වවිද්‍යාලයීය පාලක සභාව, විජයවර්ධන ශාලාව නමින් පිරිමි නේවාසිකාගාරයක් නම් කොට ඇත්තේ එතුමන්ගේ උදාරතර පරිත්‍යාගවලට උපහාර පිණිසය.
නිහඬ චරිතයක් ලෙසින් පසිඳුව සිටියද විජයවර්ධනයෝ අසාධාරණයක්, අයුක්තියක් දුටු විගස ඒවා පිටු දැකීමට මැලි නොවූහ. ලාංකිකයන් පහත් ජාතියක් ලෙස සලකා, නිරන්තර විරෝධයක සිටි බ්‍රිතාන්‍යයන්ට අයත් එක් හමුදා ආපන ශාලාවකට 1930 දශකයේ දිනයක විජයවර්ධනයෝ තම හිතවතකු සමගින් ගියෝය.
ඉංග්‍රීසි ආණ්ඩුව ස්වේච්ඡා හමුදා ලුතිනන් නිලනාමයක් එතුමාට ලබාදී තිබුණි. නිසි අවසරයකින් තොරව කඵ ජාතිකයන් එහි පැමිණ ඇතැයි භෝජනාගාරයේ පාලක සුද්දන් කෝපයෙන් ඒ දෙපළට පවසා තිබේ. ඉන් කිපුණු විජයවර්ධනයෝ එදිනම ස්වේච්ඡා හමුදා නිලයෙන් ඉවත් වූහ.
ලාංකිකයන් බොහෝ දෙනකු ඩී.ආර්. විජයවර්ධනයන් දැන හඳුනන්නේ ලේක්හවුස් ආයතනයේ හිමිකරු ලෙසිනි. ඉන් ඔබ්බට ගොස් එතුමන් ජාතියට සහ දේශයට දායාද කොට ඇති අමිල සම්පත් පිළිබඳව, දැනුමක් සමස්තයකට නොමැත. රමණීය මන්දිරයක් ඉදිකොට, ලේක් හවුස් නමින් තම පුවත්පත් ආයතනය එහි පිහිටුවා, ලාංකිකයකුට ශක්තිමත් ව්‍යාපාර ඇරඹීමේ හැකියාව සුදු ජාතිකයන්ට පෙන්වා දී තිබේ.
ලේක් හවුස් ආයතනය තුළින් මතුවූ පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ, ආදී සිංහල වියතුන් රැසක්ද, එස්.ජේ.කේ. ක්‍රව්දර්, ඔරයන්ද සිල්වා, ඩී.බී. ධනපාලයන් වැනි ඉංග්‍රීසි මාධ්‍ය කතුවරුන්ද එතුමා දැයට දායාද කළ උගතුන්ගෙන් කිහිප දෙනෙකි. සේවක අර්ථසාධක අරමුදල වැනි සේවකයන්ට ප්‍රතිලාභ ගෙනදෙන අරමුදලක් එතුමා තම ආයතනයේ පිහිටුවා තිබුණේ 1930 දශකයේදීය.
ශ්‍රීමත් දොන් රිචඩ් විජයවර්ධන මහතා, දේශයට නිදහස දිනාදීම වෙනුවෙන් අභියෝග රැසකට මුහුණ දුන් ජාතික වීරවරයෙකි. මහා ප්‍රාඥයෙකි, දක්‍ෂ ව්‍යාපාරිකයෙකි. උගතුන් සමූහයක් එක් ස්ථානයකට ගොනුකළ මහා නැණවතෙකි. ආගම කෙරෙහි නිරන්තර විශ්වාසයකින් හෙබි ආගමික ස්ථානවලට ආධාර උපකාර කළ පිරිසිදු බොදු බැතිමතෙකි. 1950 ජුනි 12 වැනිදා එතුමෝ දිවියෙන් සමුගන්නා විට, ආධ්‍යාත්මික සහ ලෞකික වශයෙන් ජීවිතය ජයගත් මහා යුග පුරුෂයෙක්ව සිටියහ.
නිමල් වික්‍රමසිංහ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිදහස් සටනට පුවත්පත අවිය කරගත් ඩී.ආර්.විජයවර්ධන
TD Friday, 24 February 2023 07:31 AM
ජනමාධ්‍ය කලාව, දේශපාලනය පිළිබඳව අතීත සැඟවුණු තොරතුරු වර්තමාන පරපුර වෙත ඉදිරිපත්කර ඇති වැදගත් ලිපියක්...!
තර්ස්වින් Friday, 24 February 2023 08:58 AM
රිචඩ් විජයවර්ධන තරුණයා මෙරට අධ්‍යාපනයෙන් පසුව, එංගලන්තයේ සුප්‍රසිද්ධ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඇත්තේ, අධිනීතිඥවරයකු වීමේ බලාපොරොත්තුවෙනි. 1900 ශතකය ආරම්භ වනවිට, මෙරට පාලකයන්ව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෝ විවිධ ලෙසින් දේශීය ජනතාවට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කළහ. මර්දනය විශේෂයෙන් එල්ලව තිබුණේ සාමාන්‍ය ජනතාව වෙත නොව, උසස් යැයි සම්මත පවුල්වල තරුණ කණ්ඩායම අරභයායි. මෙය අදටත් ක්‍රියාත්මකය. එසේම විශ්ව විද්‍යාලයීය සිසුන් උදෙසා එතුමාගේ පෞද්ගලික මුදලින් මිලටගෙන පරිත්‍යාග කොට ඇති ලංකාවේ සුවිශේෂී සාහිත්‍යධරයන් දෙපළක් වූ පර්ගියුෂන් සහ ඩබ්ලිව්.ඒ. සිල්වා සූරීන් සතුව තිබූ පුස්තකාල යුගළයේ ශ්‍රී ලංකාවේ පෞරාණිකත්වය, ඓතිහාසිකත්වය විදහා දක්වන අග්‍රගණ්‍ය සහ අති විරල පුස්තක විශාල සංඛ්‍යාවක් තිබී ඇත.