IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පුංචි ඡන්දයේ ඡන්දදායක වගකීම

මාසික වැටුප රුපියල් ලක්ෂයකට ඉහළ සියල්ලන්ගෙන් ආදායම් බදු එකතු කිරීමට එරෙහිව කොළඹ සහ වෙනත් ප්‍රධාන නගරවල රජයේ සහ රාජ්‍ය සංස්ථා ක්ෂේත්‍රයේ විරෝධතා සංවිධානය වන්නේ පෞද්ගලික අංශයේද වෘත්තීය සමිතිවල සහාය ඇතිවය. පහළ මැද පංතිය හසු කෙරෙන ඒ ආර්ථික තෙරපීම ආණ්ඩු විරෝධයට අලුත් හඬක් හැඩයක් එකතු කරන්නේය. 

මේ වර්ධනය වන ආණ්ඩු විරෝධය සමග ලබන මාර්තු 09 වැනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ද ආණ්ඩු විරෝධයක් ගොනු කෙරෙන ප්‍රචාරක ව්‍යාපාරයක් බවට දේශපාලන පක්ෂ විසින් යොදා ගැනේ.

කොළඹ ආණ්ඩුව මාරු කිරීමේ කිසිම වගකීමක් පළාත් පාලන මැතිවරණයට අදාළ නැතත් මේ සැවොම මෙදා තරග කරන්නේද මෙතෙක් රට පාලනය කළ අයට දොස් කියමින්, රටේ අර්බුද සඳහා අනෙකුන්ට වරද පටවමින්, තම හැකියාව සුදුසුකම ගැන වර්ණනා කරමින්ය. 

පළාත් පාලන ආයතන පත් කෙරෙන්නේ විශේෂයෙන් වරිපනම් බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ සුව පහසුව වැඩි දියුණු කිරීමේ වගකීම හා කාර්යභාරය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජනයක් ලෙසින් ය. මේ කිසිවකුගේ මැතිවරණ ව්‍යාපාර වරිපනම් බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා, ඉල්ලීම් සම්බන්ධ මැතිවරණ ව්‍යාපාර නොවේ. මේ මැතිවරණ ව්‍යාපාර සියල්ලෙහි ඇත්තේ, (1) පවතින ආණ්ඩුවට ජනවරමක් නොමැති බව සනාථ කිරීම (2) මහ මැතිවරණයේ දී ආණ්ඩු බලය ගැනීම (3) දූෂණයෙන් තොර ආණ්ඩු හැදීම සහ (4) අනෙක් හැමෝම අසාර්ථක හෙයින් අපට එක් වරක් ආණ්ඩු බලය දී බලන්න වැනි, පළාත් පාලන මැතිවරණයකට කිසිසේත් අදාළ නොමැති වල් පල් කතා ය. ඒවායේ මහ මැතිවරණයකට අදාළ ජාතික අර්බුද සඳහා ඉදිරිපත් කෙරෙන විසඳුම් හෝ නැත.

පළාත් පාලන මැතිවරණයේ මායිම් තීන්දු කෙරෙන්නේ පනත් 03 කින් ය. මහ නගර සභා සඳහා 1947 අංක 29 දරන ආඥා පනතත් නගර සභා සඳහා 1939 අංක 61 දරන ආඥා පනත සහ ප්‍රාදේශීය සභා සඳහා වන 1987 අංක 15 දරන පනතත් ඊට අදාල වන පනත් ය. මේ පනත් මගින් මාර්ග හා කාණු පද්ධති, කසළ ඉවත් කිරීම, ප්‍රජා සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම, උද්‍යාන හා ක්‍රීඩා පිටි ඉදිකිරීම හා නඩත්තු කිරීම, වැසිකිළි වැනි පොදු පහසුකම් හා වෙළඳ සංකීර්ණ ඉදිකිරීම හා නඩත්තු කිරීම, කර්මාන්ත සඳහා පරිසර බලපත්‍ර නිකුත් කිරීම, ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදීම වැනි සැලකිය යුතු ප්‍රජා සේවා සහ නියාමන කටයුතු ප්‍රමාණයක් පළාත් පාලන ආයතන වෙත ලබා දී ඇත.

පළාත් පාලන ආයතන සම්බන්ධව කිසිවකු කතා නොකරන, බොහෝවිට කිසිවකු නොදන්නා, තම බල ප්‍රදේශවල පාසල් අධ්‍යාපනය දියුණු කිරීමේ පහසුකම් සැලසුම්කර ස්ථාපිත කිරීමේ බලය ද පනත් තුනෙහිම ඇත. එය ප්‍රාදේශීය සභා පනතෙහි කියවෙන්නේ, (19/අ සහ ආ වගන්ති) ගොඩනැගිලි, පුටු මේස, ක්‍රීඩාපිටි, නේවාසිකාගාර, ගුරු නිවාස, ක්‍රීඩා භාණ්ඩ සහ පුස්තකාල පහසුකම් සඳහා සැලසුම්කර අදාළ ආයතන වෙත ඉදිරිපත් කිරීමත්, බල ප්‍රදේශයේ පාසල් විවෘත කිරීම, වසා තැබීම, පාසල් ඒකාබද්ධ කිරීම, නම් කිරීම හා උසස් කිරීම අදාළ ආයතන වෙත නිර්දේශ කිරීමත් ලෙසින්ය.     

එවගේම මහ නගර සභා සඳහා මහේස්ත්‍රාත්වරයකු පත්කර ගැනීමේ බලය ද ඇත. එකී මහ නගර මහේස්ත්‍රාත්වරයාට මහ නගර සභා ආඥා පනත මගින් ආහාර හා ඖෂධ පනත, රථ වාහන පනත, සුරා බදු පනත, පොලිස් ආඥා පනත වැනි පනත් 32 ක් යටතේ නඩු අසා තීන්දු ලබා දීමේ අධිකරණ බලතල ද ඇත. 

එවන් බල තල සමග කටයුතු කළ හැකි පළාත් පාලන සභා පත්කර ගැනීමට නම් ඡන්දදායකයා ඒ පිළිබඳව දැනුවත් විය යුතුය. තමන්ගේ ඡන්දය වෙනුවෙන් පළාත් පාලන ආයතනයෙන් තමන්ට ලබා දෙන්නේ මොනවාදැයි අපේක්ෂකයන්ගෙන් අසන්නට තරම් සමාජ වගකීමක් ඇති ඡන්දදායකයකු විය යුතුය. තරග කරන පක්ෂ හා කණ්ඩායම් වලින් ඔවුන් අනුන්ට එරෙහිව නගන දූෂණ වංචා පිළිබඳ චෝදනා, රට අර්බුදයට පත් කළේ යැයි නගන චෝදනා පැත්තකින් තබා පළාත් පාලන බල ප්‍රදේශයේ වරිපනම් බදු ගෙවන්නන්ගේ සුව පහසුව, සේවා සහ පොදු පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ සැලසුම් ප්‍රකාශයට පත් කරන මෙන් ඉල්ලා සිටින ඡන්දදායකයකු විය යුතුය. 

කරුණු කාරණා ගැන අවබෝධයක් ඇති අපේක්ෂකයන් මේ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන්නේ ද නැත. එසේනම්, ඔවුන්ගේ අපේක්ෂකයන් කුමන වර්ගයේ අපේක්ෂකයන් ද? මේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ද දැකිය හැකි දේශපාලන පක්ෂ සතු ආවේනික බංකොලොත්කම ඇත්තේ එතැනය. මහ මැතිවරණ වේවා, පළාත් පාලන හෝ පළාත් සභා වේවා, දේශපාලන පක්ෂ මැතිවරණවල දී පෙනී සිටින්නේ ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීමේ සැලසුම් වෙනුවෙන් නොවේ. ඔවුන් තවමත් ඉන්නේ ඩොනොමෝ කොමිසම විසින් මීට අවුරුදු 92 ට කලින් 1931 දී සර්වජන ඡන්දය ලබා දුන් විට රාජ්‍ය මන්ත්‍රන සභා මැතිවරණයේ දී ඡන්ද එකතු කෙරුණු අයුරු කුලය, ජාතිය, ආගම අනුව ඡන්ද එකතු කර ගැනීමට ය.

ඔවුන් අපේක්ෂකයන් සොයන්නේ ඒ වෙනුවෙනි. දේශපාලන පක්ෂවලට ආසන සංවිධායකයන් පත් කිරීමේ දී හා නාමයෝජනා සැකසීමේ දී ප්‍රදේශයේ කුල ඡන්ද පදනම හා ජාතිය වැදගත් වන්නේ එබැවින්ය. දැන් වෙනසකට ඇත්තේ එවැනි අපේක්ෂකයන් සඳහා ජාවාරම්කාර අනුග්‍රාහකයන්ද සිටිය යුතු වීමය.

ඒ බංකොලොත් දේශපාලනයෙහි අනෙක් කොටස ඇත්තේ 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී පළමු සර්වජන ඡන්දය භාවිත කළ ඡන්දදායකයා තවමත් ඡන්දදායකයකුව සිටීමෙහිය. පැරණි කුලවාදී ජාතිවාදී ඡන්දදායකයා වෙනුවට සමාජ වගකීමක් ඇතිව ඡන්දය භාවිත කරන දියුණු, දැනුවත් ඡන්දදායකයන් හදා ගැනීමට කිසිදු සමාජ සංවාදයක් ගෙවුණු අවුරුදු 92 ක කාලයේ මේ රටේ නොපැවැත්විණ. සාධාරණ මැතිවරණ ගැන, අවංක උගත් පාර්ලිමේන්තු පත්කර ගැනීම ගැන කතා කෙරෙන්නේ පැරණි වැඩවසම් ඡන්දදායකයා සමගින්ය. ඒ ඡන්දදායකයා ලීවයිස් ඩෙනිමක් හැඳ අම්බරුවන් බැඳගෙන කුඹුරු හාන අතර, රිමෝට් සවනාධාර කනේ ගසාගෙන ඉණේ රඳවාගත් සුපිරි ජංගම දුරකතනයෙන් “ලංකාවට එහෙම වෙන්නේ නැහැ” යැයි සින්දු අසන ගොවියකු වැනිය. ඔවුන්ට හොඳ වර්ගයේ නාඹර අම්බරුවන් සොයන හැටි කියා දුන්නාට, ඔවුන් පුරුදු අම්බරුවන් අතහරින්නේ නැත.

මේ අතිශය පසුගාමී, වැඩවසම් සමාජයේ ආගම්වාදී ජාතිවාදය, කුලය මැතිවරණ වලදී නිශේධාත්මකව පමණක් නොව, අගතිගාමී ලෙස අනාගතයටද බලපාන්නට ඇති ඉඩ කඩ ගැන ඩොනොමෝ කොමිසම අනතුරු ඇඟවූයේ අවුරුදු 92 ට පෙර ය. ඔවුන් සර්වජන ඡන්දය නිර්දේශ කළද, පූර්ණ නිදහස නිර්දේශ නොකෙරුවේද පාලනයේ බහුතර ජාතිවාදය, වාර්ගික අඩුතරයට අවාසිදායක ලෙස ක්‍රියාත්මක වීමේ සියලු ඉඩ කඩ ඇති නිසා යැයි ඩොනොමෝ වාර්තාවෙහි සඳහන් වන්නේ ය. 

ඩොනොමෝ වාර්තාවෙහි කිහිප තැනක කිහිප ආකාරයකින් අවධානයට යොමු කෙරෙන මේ කාරණය “මූලික සලකා බැලීම්” නම් පරිච්ඡේදයෙහි සටහන් වන්නේ, “......අප කලින් දක්වා ඇති අයුරු, වාර්ගික නියෝජනයේ අගතීන් විසින් වාර්ගික වෙනස්කම් අඩුකර නැත. සිදුකර ඇත්තේ ඒවා වර්ධනය කිරීමය. එවගේම කුල අනන්‍යතා හැම විටම බරපතළය. කාලයත් සමග ඒවායේ ආත්මීය ආකර්ශනය අඩුවී නැත.

දේශපාලන පක්ෂ පදනම්වන පාලනයක රාමුව සකස් කිරීමේ නිත්‍ය බලපෑමක් කිරීමට මෙවැනි කඩතොලු සතු අවකාශය ගැන අපි බිය වන්නෙමු. වාර්ගික හෝ කුල අනුව දේශපාලන පක්ෂ බිහිවීම රටේ අනාගතයට බරපතළ අවදානමක් විය හැකි බව අප අමුතුවෙන් කිව යුතු නැත. දේශපාලන පක්ෂ මත පාලන තන්ත්‍රය තීන්දු කිරීමේ ආසන්න හැකියාවක් දැනට නැති වූවාට, ඉදිරියේ දී දේශපාලන පක්ෂ බිහිවීමේ දී ජනවර්ග හා කුල සඳහා විශේෂ සැලකීමක් තබා ගැනීම, නොසලකා හැරිය හැකි සාධකයක්ද නොවේ.” (පිටුව - 31) 

අප මෙතෙක් කටයුතු කර ඇත්තේ ඩොනොමෝ කොමිසමේ තිබූ බිය සැක නොකඩවා තහවුරු කිරීමටය. කුල, ජාති, ආගම් අනුව සමාජය බෙදා තබා ගන්නා දේශපාලන පක්ෂ හදා වඩා ගනිමින්ය. නිදහස් ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ සිටම ඡන්ද භාවිත වූයේ සිංහල-බෞද්ධ ආණ්ඩු පත්කර ගැනීමටය. 1948 නිදහස් ලංකාව බාර දුන් පළමු ආණ්ඩුව විසින් 1948 වසර අවසන් වන්නටත් කලියෙන් උඩරට වතුකරයේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ශ්‍රමිකයන්ගේ පුරවැසි අයිතිය හා ඡන්ද බලය අහෝසි කරමින් ඔවුන් සරණාගත ශ්‍රමිකයන් බවට පත් කළේය. එහෙත් ඔවුන්ගේ ශ්‍රමය අපගේ ආර්ථික වාසියට තබා ගත්හ.

කලින් 1952 මහ මැතිවරණයේ දී සියයට 15.5 ක් ඡන්ද ලබා ආසන 09 ක් දිනූ බණ්ඩාරනායකගේ නායකත්වයට 1956 මහ මැතිවරණයේ දී සියයට 39.5 ක් ඡන්ද ලැබී ආසන 52 ක් සමග ආණ්ඩුවක් හදන්නට හැකි වූයේ පැය 24 න් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට ලබා දුන් පොරොන්දුව නිසා ය.

ඩොනොමෝ කොමිසම කියූ පරිදි බහුතරයේ බලපෑමෙන් රාජ්‍ය හැඬවීම වැළකිය නොහැකි වූයේ බහුතර ඡන්දදායකයා විසින් පත් කෙරෙන ආණ්ඩු සිංහල-බෞද්ධ ආණ්ඩු වන නිසාය. ජයවර්ධන ජනාධිපතිගේ අනුග්‍රහය ඇතිව සිරිල් මැතිව් ඇමතිවරයා විසින් සිංහල-බෞද්ධ ජාතිවාදය මෘග ලෙස ලිහා දැමූ පසු රාජ්‍ය යාන්ත්‍රණය ද ඒ සිංහල-බෞද්ධ බලහත්කාරයට අනුගත වන්නට විය. 

රාජ්‍ය පරිපාලනයේ සිංහල-බෞද්ධ ආධිපත්‍ය පැහැදිලිව හඳුනාගත හැකි වූවත් ඊට වඩා සියුම් නමුත් බරපතළ අවදානමක් පවතින්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ කල්කිරියාවෙහිය. පසුගිය 2020 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ පක්ෂ, සන්ධාන අතරින් 12 ක්ම මැතිවරණ කොමිසම විසින් පිළිගත් වාර්ගික පදනම් සහිත නිල නාම භාවිත කරන්නා වූ පක්ෂ ය. සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග නියෝජනය කිරීමේ වාර්ගික අයිතිය වෙනුවෙන් පක්ෂ පිළිගැනීමෙන් මැතිවරණ කොමිසම ඔප්පු කරන්නේ ඔවුන් සතු සමාජ වගකීමක් හා ශිෂ්ට සමාජයක තිබිය යුතු සාදාචාරයක් නොමැති බව ය.

පක්ෂයක් පිළිගැනුමට මැතිවරණ දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි වීමේදී අනිවාර්යයෙන් භාර දිය යුතු පක්ෂ ව්‍යවස්ථාවෙහි සිය පක්ෂයේ ඒකායන අරමුණ ලෙස, “...සිංහල ජාතික දේශපාලනයක් තුළින් මැතිවරණ ජයග්‍රහණය කොට, පක්ෂය සිංහලදීපය තුළ ආණ්ඩුවක් පිහිටුවා සිංහලදීප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවා, සිංහල ජාතික රාජ්‍ය යළි ස්ථාපිත කිරීම, පක්ෂයේ අරමුණ වන්නේය” යනුවෙන් සපථකර ඇති පක්ෂයක් ද ඇත.

“වාර්ගික හෝ කුල අනුව දේශපාලන පක්ෂ බිහිවීම රටේ අනාගතයට බරපතළ අවදානමක්” යැයි ඩොනොමෝ කොමිසම බිය පළ කර ඇඟවූ අනතුර වර්ධනය කෙරෙන සේ කටයුතු කරන්නාවූ ස්වාධීන යැයි සැලකෙන මැතිවරණ කොමිසමක් සමගින් අපි “සාධාරණ, නිදහස් මැතිවරණ” යැයි ඡන්ද පවත් වන්නෙමු. ඒ මැතිවරණවල දී ඡන්දය භාවිත කරන මිලියන 16 ට වැඩි ඡන්දදායකයා තවමත් අවුරුදු 92 ට පෙර සිටිය කුලය, ජාතිය, ආගම අනුව සිය මන්ත්‍රීවරයා තෝරා පත් කර ගැනීමට ඡන්දය භාවිත කරන ඡන්දදායකයාගේ නවතම පිරිහීමකි.

දේශපාලන පක්ෂ දායක වන්නේද ඒ ඡන්දදායකයා නඩත්තු කිරීමටය. එබැවින් “සිස්ටම් චේන්ජ්” ගැන ලොකුවට පෙනී සිටින්නන් විසින් සියල්ලට පෙර කළ යුත්තේ මේ පළාත් පාලන මැතිවරණයේ ඡන්දදායකයාගේ සමාජ වගකීම් ගැන කතා කිරීමය. පළාත් පාලන බල ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් අපේක්ෂකයන් කියන්නේ කරන්නේ මොනවාදැයි ඇසීමට ජන්දදායකයා දැනුවත් කිරීමය. මහ මැතිවරණ කතා මේ පළාත් පාලන මැතිවරණ වේදිකාවෙන් පිටත වෙනම සංවාදයක් බව අපේක්ෂකයන්ට හා දේශපාලන නායකයන්ට කීමට, ඡන්දදායකයන් දැනුවත් කළ යුතුය.

අවසන් වශයෙන් කිව යුත්තේ ඒ ඒ මැතිවරණවලදී ඊට අදාලව ඡන්දය භාවිත කිරීමේ සමාජ වගකීම පිළිබඳ සංවාදයක් අවුරුදු 92 ට පසු දැන්වත් ආරම්භ නොකළහොත් මේ රට මහා අර්බුදයකට ගමන් ගැනීම, තරුණ මහලු යැයි ආණ්ඩු මාරු කිරීමෙන් නවතා ගත නොහැකි බවය.

කුසල් පෙරේරා



අදහස් (0)

පුංචි ඡන්දයේ ඡන්දදායක වගකීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site