IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


පරිසරය වනසන හෝටල්

ඇසෙන හා කියැවෙන කතා අනුව සංචාරක කර්මාන්තයද ප්‍රශ්න පිරුණු ක්ෂේත්‍රයකි. ඒ ප්‍රශ්න සේම ඒවාට කළයුතු පිළියම්ද මැනවින් දන්නෝ එහි නියුත්තෝය. නිල්මින් නානායක්කාර මහතා වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ එහි නියුතු වන්නෙකි. එන්. කාර් ට්‍රැවල්ස් ඇන්ඞ් ටුවර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඒ මහතා අවුරුදු 39 ක් තිස්සේ විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වන අතර මෙරට සංචාරකයන් විදෙස් රටවලට යවයි.

සංචාරක අමාත්‍යංශයේ හිටපු උපදේශකයකු සේම සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු ද වන ඒ මහතා සංචාරක කර්මාන්තයේ පවතින ප්‍රශ්න සහ ඒවාට කළයුතු පිළියම් මෙසේ ගෙනහැර දක්වයි.

ලංකාවේ සංචාරක කර්මාන්තය අද සිටින තැනින් ගොඩගැනීම කළ නොහැකි දෙයක් නොවේ. ඒ සඳහා විශ්වකර්මයන් අවශ්‍ය වන්නේද නැත. විදේශික උපදේශකයන් පසුපස වන්දනාවේ යායුතු ද නොවේ. සංචාරක කර්මාන්තය තැබිය යුතු තැන හා එය කළ හැකි ක්‍රමය මැනවින් දන්නා මේ ක්ෂේත්‍රයේ අවුරුදු 35 ක් 40 ක් පමණ දිගු කාලයක සිට අත්දැකීම් ලබන පරිණත පුද්ගලයෝ ලංකාවේ එමට සිටිති. ඒ පුද්ගලයන් එකතු කරගෙන සංචාරක කර්මාන්තයෙන් අප යා යුත්තේ කොතැනටදැයි ඔවුන් සමඟ සාකච්ඡා කර දිගුකාලීන සැලැස්මක් සකස් කළ හැකිය.

  මගේ විශ්වාසය වන්නේ ලංකාවේ සංචාරක කර්මාන්තයේ නියුතු විශේෂඥයන්ට ඉතා ඉහළ ප්‍රායෝගික දැනුමක්, ඥානයක්, බුද්ධියක් හා අවබෝධයක් තිබෙන බවයි. කර්මාන්තයෙහි ඔවුන්ට සවන් දුන්නොත් ඉතා විශාල ප්‍රයෝජනයක් ගත හැකිය.

ස්වාභාවික සෞන්දර්ය අතින් පමණක් නොව වනජීවී සම්පත පැත්තෙන් ගත්තද අපේ රට මේ මහ පොළවේ සිටින විශාලතම සතා දැකිය හැකි රටකි. අලින් සේම තල්මසුන්ද එසේ දැක බලාගත හැකිය. එලෙසම විදෙස් රටවල අභය භූමිවලට සාපේක්ෂව යාල අභය භූමියේදී දිවියන් වැඩි ගණනක් දැක බලාගත හැකිය. අපේ වනෝද්‍යානයක් ඇතුළට යන සංචාරකයන්ට විවිධාකාර සතුන් දැකබලාගෙන එළියට පැමිණිය හැකිය. එලෙසම අද වනතුරුත් නම් නොකළත් අපේ සීගිරිය ලෝක පුදුමයක් ලෙස නම් කළ යුතු එසේ විය යුතු දෙයකි. එසේම ලෝකයේ පැරැණිම වාර්තාගත වෘක්ෂය වන ශ්‍රී මහා බෝධිය තිබෙන්නේද ලංකාවේය. ලොව ශ්‍රේෂ්ඨ ආගමික නායකයකු, ශාස්තෘවරයකු, දාර්ශනිකයකු වූ බුදුපියාණන්ගේ දන්ත ධාතුව තිබෙන්නේද අප රටේය. එසේම පැය දෙක තුනක් ඇතුළත විවිධ පරිසර පද්ධති හා විවිධ කාලගුණ රටා පවතින ප්‍රදේශවල ගමන් කළ හැක්කේද මේ අපේ රටේදීය. මෙය සුන්දර වෙරළක්ද පවතින රටකි. කෙටියෙන් කිවහොත් රටවල් කීපයකට ගොස් දැක බලාගත යුතු දේවල් දැකිය හැකි රටකි. රටවල් කීපයකට ගොස් ලබාගත යුතු සුන්දර අත්දැකීම් රැසක් එකම රටකදී ලබාගත හැකි රටකි.

අපේ රට එවැනි තැනක තිබියදී ඇතැමුන් මාරාන්තිකව දඟලන්නේ ලංකාව කැසිනෝ පාරාදීසයක් කරමින් කැසිනෝ ටුවරිසම්වලට ඇද දැමීමටය. සංචාරක කර්මාන්තය ගැන දෙස් විදෙස් අත්දැකීම් රැසක් තිබෙන පුරා අවුරුදු 40 ක් පමණ එහිම නියැලෙන අපි ඒ මතය නොපිළිගනිමු. ඒ සිහින අපට පිළිකෙව්ය. හිරිකිතය, සංස්කෘතික අතින්ද අපේ රට විවිධාකාරය. ජාතීන් හා ආගමික අතින් අපේ රටේ තිබෙන මේ බහුවිධත්වය ලොව අන් කිසිම රටක නැත්තේය. එසේම ඒ බහුවිධත්වය අතර පවතින සහජීවනයද ලොව අන් රටක නැත. ජාතීන් හා ආගම් අතර වරින් වර විවිධ ගැටලු ඇතිවූයේද පාලන තන්ත්‍රවල වරදින් මිස ජනතාවගේ වුවමනාව මත නොවේ. ඒ සියල්ල දෙස බැලූ විට අප පළමුව උත්සාහ කළ යුත්තේ අපේ ඉතිහාසය, සංස්කෘතිය හා උරුමයන් රැකගැනීමටය. ඒ සියල්ල මැනවින් රැකගත්තොත් අපේ සංචාරක කර්මාන්තය තවත් ඉහළට ඔසවා තැබීම අසීරු නොවේ. විදෙස් සංචාරකයන් ලක්ෂ ගණනින් දැනටත් පැමිණෙන්නේ අපේ ඉතිහාසය ජාතික උරුම, සංස්කෘතිය හා ස්වාභාවික පරිසරය ඇතුළු ඒ සම්පත් දැක බලාගෙන අත්දැකීම් ලැබීමට මිස කැසිනෝ ගැසීමට නොවේ.

ටුවරිසම් කියන්නේ අද රුපියල් මිලියන ගණනක් හම්බ කර හෙට රට විනාශ කිරීමට නොවේ. මා කතා කරන්නේ පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කරන හා සම්පත් ක්ෂය වීම වළක්වන එනම් චිරස්ථායි  (Sustainble) සංචාරක කර්මාන්තයක් පිළිබඳවය.

පරම්පරා ගණනකට සංචාරක කර්මාන්තය කළ හැකි ක්‍රමයක් ගැනය. ඒ පිළිබඳව නිතර කල්පනා කරන මට බරපතළ සිත් වේදනා දෙන කාරණයක් තිබේ. අපේ රටේ වෙරළ තීරයේ පොල් ගහකට වඩා උස ගොඩනැගිලි, හෝටල්, ගෙවල් හෝ නිවාස සංකීර්ණ ඉදිකිරීමට ඉඩ නොදෙන බවට දිගු කලෙක සිට මෙරටෙහි අලිඛිත නීතියක් තිබිණි. ඒ නීතිය ඉන්දියාවේ තවමත් ක්‍රියාත්මක වෙයි.

ලංකවේ මේ නීතිය කෙලෙසීම ආරම්භ වූයේ වැලිගමිනි. වැලිගම මුහුද අයිනේ ගැසූ ඒ හෝටලය තට්ටු 10 කට වඩා උසය. එතැනින් ඇරඹුණු විනාශය අද මුළු බටහිර වෙරළ තීරය පුරාම ක්‍රියාත්මක වෙයි. දැන් බටහිර වෙරළ තීරයෙහි තට්ටු ගණන් උස නිවාස සංකීර්ණ තොග ගණනින් ඉදිවෙයි. ඒවාට ඉඩදීම එහි ද්‍රෝහි හා දේශද්‍රෝහි ක්‍රියාවකි. නැවකින් මේ රටට එනවිට මේ සුන්දර දූපත ලස්සනට පෙනෙන්නට තිබිය යුතුය. මෙය හොංකොං, පල්මාමයොක්කා, ඉබ්ම්ස්සා වගේ කොන්ක්‍රීට් වනාන්තරවලින් පුරවන්නේ ඇයි? මේ දිවයිනේ සුන්දරත්වය අකාමකා දැමීම දේශද්‍රෝහි ක්‍රියාවක් නොවේද?

අපේ එසේ කළ යුත්තේ අපට ඡන්ද දායාද, ජාතික උරුම හෝ ප්‍රවේණියක් (heritage) නැතිනම් පමණකි. එසේත් නැතිනම් මේ ඡන්ද දායාද මගින් ඉහළ ආදායමක් ලබාගත නොහැකි නම් පමණකි. මගේ මේ ප්‍රහාරය හා විවේචනය පවතින ආණ්ඩුවට පමණක් එල්ලවන්නක් නොවේ. පැවැති ආණ්ඩුවලටද මේ ප්‍රහාරය හා විවේචනය අදාළය. සංචාරක කර්මාන්තය නියම මාවතේ ගමන් කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අවසන් ආණ්ඩු සමය නිමවනතුරු පමණක් බව මගේ විශ්වාසයයි. එතැනින් පසු සංචාරක කර්මාන්තය යන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ මනස්ගාත මත යන ගමනකි. දෙවියන්ගේ නාමයෙන් හෙට දවසේ හෝ මේ ගමන වෙනස් වෙනවා නම් එය මටත් රටටත් සැනසීමකි. දැන් මා සිටින්නේ මගේ කාලය අවසන් වෙමින් යන සමයකය. එහෙත් මම තවමත් මගේ හදවතේ ගැඹුරුම තැනින් සංචාරක කර්මාන්තයට ආදරය කරමි. මා කියන කාරණය අවබෝධ කරගැනීමට, තේරුම් ගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ට මොළය පහළ වේවා යි මම දිවා රෑ දෙකේ ප්‍රාර්ථනා කරමි.

සංචාරක කර්මාන්තය ගැන කතා කරන විශේෂඥයන් හා පණ්ඩිතයන් තම ප්‍රමුඛ අවධානය යොමු කරන තවත් කාරණයක් වන්නේ සංචාරකයන් කෙතරම් පිරිසක් ගෙන්වනවාද යන්න පිළිබඳවය. මා දකින චිරස්ථායි සංචාරක කර්මාන්තය (Sustainable tourism) අනුව නම් වඩා වැදගත් වන්නේ රටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව නොව එන පිරිසෙන් රටට ලැබෙන ආදායමය. අපේ රට කුඩා දූපතකි. මට හිතෙන හැටියට මෙරටෙහි ජනගහනය දැනටත් රටට ඔරොත්තු නොදෙයි. දැන් රටේ ජනගහනය මිලියන 21 කි. ඇතැම් පළාත්වල ජනගහනය වර්ධනය ඉතා අධිකය. රටේ ඇතැමුන් ජනගහනය වර්ධනය පාලනය කරන විට තවත් පිරිසක් වර්ධනය වැඩි කරති. මේ කාරණය අප තේරුම් ගත යුත්තේ ලාංකිකයන් ලෙස මිස ජාති හෝ ආගම් ලෙස කල්පනා කිරීමෙන් හා කටයුතු කිරීමෙන් නොවේ. ජනගහනය බිලියන 21 ක් මේ රටට දැනටත් වැඩිය. ඒ අතරට සංචාරකයන්ද මිලියන 10 ක් පමණ ගෙන්වා ගතහොත් අප ඔවුන්ට සැප පහසුකම් සලසන්නේ කෙසේද? මගේ කල්පනාවේ හැටියට මේ රටට අවුරුද්දකට විදෙස් සංචාරකයන් ගෙන්වා ගත යුත්තේ බිලියන පහකට අඩුවෙනි. මගේ දැනුම පුංචි බවට කෙනකුට විවේචනය කළ හැකිය. පණ්ඩිතයන් කියන කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. වැඩියෙන් ඇනගන්නේ එවැනි පණ්ඩිතයන් බව අපේ අත්දැකීමයි.

වසරකට ගෙන්වා ගන්නා සංචාරකයන් සංඛ්‍යාව බිලියන පහ ඉක්මවීම ඉතා භයානකය. දැනටත් රටේ ජනගහනය බිලියන 21 කි. අපේ පාලන තන්ත්‍රයට බිලියන 21 කසල කළමනාකරණය කරගත නොහැකිව තිබේ. පානීය ජල ප්‍රශ්නය දැන් ලංකාවේ සෑම පළාතකම තිබේ. ඇතැම් හෝටල් හිමියන් දැනටත් වතුර සපයා ගන්නේ බව්සර්වලිනි. කොළඹ දිස්ත්‍රික්කයේ සෑම නගරයකම පාහේ තට්ටු දෙකේ නිවෙස්වල වතුර ටැංකිය දැනටත් දිවා කාලයේ පුරවා ගත නොහැකිය. විදුලිය සැපයීමෙහිද දැන් රටේ පවතින්නේ බරපතළ ප්‍රශ්නයකි. වාහන තදබදය අගනුවර පමණක් නොව අවශේෂ නගරවලද බරපතළ තවත් ප්‍රශ්නයකි. දුම්රිය සේවයේ තිබෙන්නේ ප්‍රශ්න රාශියකි. බස් පාලනයේ ද ඇත්තේ ප්‍රශ්නය. අසීමාන්තික ත්‍රීවිල් තවත් ප්‍රශ්නයකි. හිසේ සිට දෙපතුල දක්වා ප්‍රශ්න රැසක් තියාගෙන ඒවාටත් විසදුම් නොදෙන පසුබිමක විදෙස් සංචාරකයන් බිලියන 8 ක් 10 ක් ගෙන්වා ගත්තොත් ඉතා ඉක්මනින් වෙන්නේ දැනට එන ටිකක් අහිමි වී යාම නොවේද? අවුරුද්දකට සංචාරකයන් බිලියන පහකට වඩා ගෙන්වා නොගතයුතු බවට මා කරුණු දක්වන්නේ ඉහත හේතු මතය.

අද රටේ සිදුවන අනෙක් විනාශය වන්නේ රටේ සුන්දරම ප්‍රදේශ බලපුළුවන්කාරයන් විසින් නතුකරගනු ලැබීමය. දේශපාලකයන් දේශපාලන බලයෙන්ද මුදල් තිබෙන අය සල්ලි බලයෙන්ද එසේ කරති. එහෙත් ඇත්තෙන්ම විය යුත්තේ රටේ සුන්දරම තැන් හා ප්‍රදේශ කාටත් පොදු ස්ථාන බවට පත් කිරීමය. එහි සුන්දරත්වය සියලු දෙනාටම විඳීමට ඉඩ සලසා දිය යුතුය. ලොකු මුදලක් ගෙවන සුළු පිරිසකට පමණක් සුන්දරත්වය අත්විදීමට ඉඩ දීම අපරාධයකි. හෝටල් ඉඳිකළ යුත්තේ ඒ ප්‍රදේශ අවටය. සෑම ප්‍රදේශයකම හෝටල් ඉදිකළ යුත්තේ ඒ ප්‍රතිපත්තිය මත පිහිටාය. මේ යන ගමනේදි සීගිරිය ද වැහෙන මහතඩි හෝටල් ඉදිකිරීමට ඉඩ දෙනු නිසැකය. එදාට මේ රටට මොකද වෙන්නේ? මා කියන්නේ මහ තඩි හෝටල් හෝ නිවාස සංකීර්ණ අනවශ්‍ය බව නොවේ. වෙනස් වන පරිසරයට හා කාලයේ තාලයට අනුව ඒවා අත්‍යවශ්‍යය.

එහෙත් ඒවා ඉදිකළ යුත්තේ රටේ සුන්දරත්වය හා ඓතිහාසික උරුමයන් රැකගනිමිනි. ආරක්ෂා කර ගනිමිනි. අනාගත පරපුරට රට රැක දෙමිනි. මා යළි යළිත් කියන්නේ කරන සංවර්ධනයක් කළයුත්තේ රටේ සුන්දරත්වය රැක ගනිමින් සම්පත් ක්ෂය වීම වළක්වමින් පාරිසරික සමතුලිතතාව රැක ගනිමින් බවය. දැන් හඹා යන්නේ සල්ලි පසු පසය. සියලු දෙනා සියලු තීන්දු ගන්නේ රුපියල් ශත මතය. ඕනෑම පාලන තන්ත්‍රයක් කටයුතු කළ යුත්තේ තම පාලන තන්ත්‍රය රැක ගැනීමට නොව සංචාරක කර්මාන්තය හා රට රැක ගැනීම සඳහාය. ඒ සඳහා පළමුව මා පෙර කී අලිඛිත නීතිය දැන්වත් ලිඛිත නිතියක් කළ යුතුය. ඒ නීති නැවීමට හා හිල්වලින් රිංගීමට හෙංචයියන්ට ඉඩ නොදිය යුතුය. රට ගැන සිතන්නේ නම් කිසිම පාලන තන්ත්‍රයකට ඒවා නොකර සිටිය නොහැකිය.

අනුමැතිය දීමද දැන් බරපතළ ප්‍රශ්නයකි. හෝටල්, ගෙස්ට් හවුස්, සංචාරක නිවාස යනාදියට අනුමැතිය දීමේදී ආරක්ෂාව, සෞඛ්‍ය, පාරිභෝගික හෝ සේවාදායක අවශ්‍යතා පිළිබඳව මැනවින් සලකා බලා අනුමැතිය දෙන්නේද යන්න අද බරපතළ ප්‍රශ්නයකි. ලෝකයේ හොදම ආරක්ෂක හා සෞ්‍ය ප්‍රමිති පවත්වාගෙන යන්නේ යුරෝපයේ රටවලය. අපද එවැනි ප්‍රමිති පවත්වාගෙන යා යුතුය. එවැනි ප්‍රමිති තිබෙන්නේ නම් එය ප්‍රවර්ධන කටයුතුවලටද ඉවහල් වෙයි. අපේ රටේ එවැනි ප්‍රමිති පවත්වාගෙන යා නොහැකිව තිබෙන්නේ සංවර්ධන කටයුතු ඒ ඒ පුද්ගලයන්ට. නායකයන්ට හා දේශපාලන හෙංචයියන්ට අවශ්‍ය පරිදි කිරීම හේතුවෙනි. මෙරට සංවර්ධනයට පිළිගත් පොදු සම්මතයක් නැත. තිබුණත් ධනය හා බලය මත නීති නැමෙයි.  අපේ හෝටල්, ගෙස්ට් හවුස්, සංචාරක නිකේතන හා සංචාරකයන්ට නවාතැන් දෙන පෞද්ගලික නිවාසවල පවා යුරෝපයේ පවතින ආරක්ෂක හා සෞඛ්‍ය ප්‍රමිති ක්‍රියාත්මක වන බව අපට කිවහැකි නම් එය ප්‍රවර්ධන කටයුතුවලදී අපට මහා වාසි අත්පත් කරගත හැකි තත්ත්වයකි. එවැනි තත්ත්වයක් පැවැතීම අප ලබන ජයග්‍රහණයකි. ඒ ජය ලැබිය හැක්කේ මිල අධික උපාංග සවි කිරිමෙන් නොව ප්‍රමිති පවත්වා ගැනීමෙනි.

ඊළඟට ගෙන්වන සංචාරකයන් සංඛ්‍යාව තීන්දු කළ යුත්තේ රටේ සිදුවන සංවර්ධනයට සාපේක්ෂවය. සංවර්ධනය යනුවෙන් මෙහිදී මා අදහස් කරන්නේ යටිතල පහසුකම්වල දියුණුවය. එහිදී මහා මාර්ගවල සිදුවන දියුණුව ප්‍රධානය. දකුණු අධිවේගී මාර්ගය මහා ආශිර්වාදයකි. එලෙසම මහනුවරට යන අධිවේගී මාර්ගයද හැකි ඉක්මනින් ඉදිවිය යුතුය. දැන් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ ‘මං අනුමැතිය දෙන්නම් - ගහපන් පුතා හෝටල්” යන පිළිවෙතය. මගේ මේ විවේචනය පැවැති හා පවතින සියලු ආණ්ඩුවලට අදාළය. “උඹලා හෝටල් ගහපල්ලා - අපි සංචාරකයන් ගෙන්වන්නම්” කියන ප්‍රතිපත්තියෙන් සංචාරක කර්මාන්තයෙහි චිරස්ථායි දියුණුවක් (Sustainble development) ඇති කළ නොහැකිය. “අපේ කාලයේදී සංචාරක හෝටල් මෙච්චර හැදුවා - ඒවායේ කාමර මෙච්චර හැදුණා - සංචාරකයන් මෙච්චර ආවා” කියන්නෝ පම්පෝරිකාරයන් මිස මොළයක් ඇත්තෝ නොවෙති. ඒ කතා කියන්නෝත් පිළිගත්තොත් ළිං මැඩියෝමය. ළිං මැඩියන්ට රටක් හෝ කර්මාන්තයක් දියුණු කළ නොහැකිය. එය කළ හැක්කේ පොතේ ගුරුන්ටද නොවේ. ප්‍රායෝගික බුද්ධිමතුන්ටය. එවැන්නන් ආනයනය කළ යුතු නොවේ. මේ රටේම සිටිති. ඔවුහු මෙහි භූමි පුත්‍රයෝය. ඒ භූමි පුත්‍රයන් මේ මවුබිමට දක්වන ආදරය, ගෞරවය හා භක්තිය සුවිශාලය. ප්‍රශ්නයකට ඇත්තේ පාලකයන්ටද ඉහත කී භූමිපුත්‍රයන්ගේ වටිනාකම ගැන නිවැරැදි තක්සේරුවක් නැතිකමය. එය රටේ කරුමයක් ලෙස හදුන්වනවාට මා විරුද්ධය.


සාකච්ඡා සටහන

ගුණසිංහ හේරත්



අදහස් (5)

පරිසරය වනසන හෝටල්

rim Wednesday, 11 September 2019 10:33 AM

මේ වගේ අයව උපදේශකවරුන් හැටියට පත්කර ගත්තා නම් මොනතරම් සේවයක් ලබාගන්න පුළුවන්ද? ඇයි පාලකයෝ මේ ගැන නොහිතන්නේ...? එ්කත් අපි කළ කරුමයක්ද?

:       0       17

chandimaWednesday, 11 September 2019 10:45 PM

ඔයා මේ විකාර කතාකරනවද? මෙයාව උපදේශක තනතුරුවලට දාලා හරියනවද? සැම ශාස්ත්‍රයකම කෙල පැමිණි කට්ටියනේ ඇමතිලා වෙලා තියෙන්නේ. පෙනෙන්නේ නැතිද ඒ ගොල්ලන් අද වෙද්දී රට සුඛිත මුදිත කරලා තියෙන තරම... ඒ උත්තමයෝ මෙයට උපදෙස් දෙනවා මිසක් මෙයාගෙන් උපදෙස් ගනියිද?

:       0       2

chandima Wednesday, 11 September 2019 06:36 PM

මෙතුමාගේ ව්‍යාපාරික සේවාව අද මෙන්ම එදාත් ඉතාම උසස් මට්ටමක තිබුණා. මා මුලින්ම විදේශ ගතවුනේ මෙතුමාගේ සංචාරක ආයතනයෙන් ටිකට් පතක් අරගෙනයි, ඒ 1991 වසරේ. මීට වසර 28කට පමණ පෙරයි. එතුමාගේ සාර්ථක ව්‍යාපාරයට මගේ සුබපැතුම්...!!!

:       0       19

de silva Friday, 13 September 2019 07:40 AM

දැනට ලංකාවේ තිබෙන සංචාරක හෝටල් ප්‍රමාණය හොඳටම ඇති... කළයුත්තේ අලුතෙන් හැදීම අවුරුදු 5කට පමණ නතරකර, තිබෙන ඒවගේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, උදාහරණයකට ගන්නවා නම් තංගල්ල ප්‍රදේශයේ, රෙස්ටුරන්ට් 350කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේවාගෙන් බොහොම ප්‍රමාණයක් දිනට එක සංචාරකයෙක්වත් එන්නේ නැත. නමුත් ඔවුන් විදුලි ආලෝක දල්වාගෙන සංගීත දමාගෙන සිටිති. මින් ඇතිවන තරගකාරීත්වය මට මේවගේ ආහාරවල මිලගණන් ඉතා පහළ වැටි ඇත. එමනිසා කිසිදු ලාභයක් නොලබති. එකපාරක (මෙම පාර වෙරළට මුහුණලා පිහිටා නොමැත) එහි වෙසෙන වැසියන් සෑම නිවසක් ඉදිරියේම රෙස්ටුරන්ට් එකක ඉදිකිරීම නිසා ප්‍රදේශයම අවලක්ෂණ වී ඇත. රටේ හතුපිපෙන්නාක් මෙන් හොම්ස්ටේ ඉදිවීම නිසා අපේ සංස්කෘතියට සහ පවුල්වලට වැටී ඇත්තේද මරු පහරකි. මෙවැනි කුඩා ලැගුම්හල්වල ලගින්නේ හිපියන් වැනි සංචාරකයන් කරන මත්ද්‍රව්‍ය, මත්පැන් සහ දුරාචාර දකින අපේ කුඩා දරුවන් ඒවා කිරීමට පෙළඹෙති. ඉස්සර සංචාරකයින් සිටියේ හෝටල්වලයි. හොම්ස්ටේ නිසා රටට විශාල අාදායමක් නොලැබෙන අතර අපේ සංස්කෘතිය විශාල ලෙස පරිහානියට පත්වේ...

:       52       16

lalithm Saturday, 14 September 2019 09:25 AM

අපේ රටේ හෝටල්වල ගාස්තු හරිම වැඩියි. ප්‍රවාහනයටත් එසේමයි. උදාහරණයක් ගත්තොත් අපිට වඩා ජීවන මට්ටම වැඩි මැලේසියාවේ තරු දෙක, තුන මට්ටමේ හෝටල් අපිට වඩා අඩු මිලට සේවා ලබාදෙනවා. ඒ වගේම සංචාරකයින්ට ඕනෙනම් පොදු ප්‍රවාහන මාර්ග භාවිතාකර අඩුවියදමින් ගමන් කල හැකියි. ආහාර ලබාගන්න ඕනේතරම් හොඳ තැන් සාධාරණ මිලට තියෙනවා. අපේ රටේ අපිට වුණත් කන්න තියෙන්නේ මොනවද?. යන්න පුළුවන් පොදු ප්‍රවාහන සේවා තියෙනවද? සංචාරකයෝ ඔක්කොම මෙහෙ එන්නේ කැසිනෝ ගහන්නයි විකෘති වැඩවලටයි නොවේ. රටවල් බලාගෙන මෙහෙ තියෙන ආහාර අනුභව කරලා මිනිසුන් එක්ක ගැවසිලා විනෝදයක් ලබාගන්නයි. ඒත් අපි ටාගට් කරන්නේ කැසිනෝ ගහන සල්ලි විසි කරන පිස්සන් වගේ උන්මත්තකයන් දිහා බලාගෙනයි. පොදු පහසුකම් දියුණු කරනවා නම් සංචාරකයන් ඇවිත් සාමාන්‍ය මිනිසුන් වගේම තරු පන්තියේත් ඉඳලා රටට සල්ලි දේවි.

:       48       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 279 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1209 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1797 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1337 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 567 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2160 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site