අද ලංකාවේ නිර්මාණය වී තිබෙන අර්බුදය එක් රැයකින් උද්ගත වූවක් නොවේ. එය අප ගෙන ගිය අසාර්ථක ආර්ථික හා දේශපාලන වැඩපිළිවෙළෙහි කූටප්‍රාප්තියයි. මේ ආකාරයේ ආර්ථික අර්බුදයක් හට ගැනීමට බලපෑ සාධක කිහිපයකි. පළමුවැන්න නම් 2005න් පසු අසීමාන්තික ලෙස විදේශ ණය ගැනීමත්, සංවර්ධන ව්‍යාපෘති නමින් හැඳින්වූ එහෙත් ප්‍රතිලාභ නොදෙන ව්‍යාපෘතිවල යෙදවීමත්ය. නෙළුම් පොකුණ සම්මන්ත්‍රණශාලා ඊට දැක්විය හැකි උදාහරණ කිහිපයකි.
එම ණය ඵලදායී ව්‍යාපෘතිවල ආයෝජනය කළේ ද යන ප්‍රශ්නය පැන නගියි. යටිතල පහසුකම් නැංවීම අත්‍යවශ්‍යය. එහෙත් ඊට අදාළ ව්‍යාපෘති සංවර්ධනය සමග සම්බන්ධ කර නොගැනීම දුර්වලතාවකි. දෙවැනි සාධකය නම් සංවර්ධන ව්‍යාපෘති හා ඉදිකිරීම්වලදී සිදු වූ දූෂණ හා අක්‍රමිකතාය. ගත් ණය මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේදී සියයට 50ට වැඩි ප්‍රතිශතයකින් පාලකයන් මුදල් සොරකම් කළ බවටද චෝදනා නැගී ඇත.
තුන්වැනි සාධකය නම්, ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට අසමත් වීමය. යුද්ධය අවසන් වූ පසු ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට අවශ්‍ය තරම් අවස්ථා උදා විය. එහෙත් පාලකයන් රටට එන ආයෝජනවලින් ද කොමිස් මුදල් ඉල්ලා සිටීමත්, අනවශ්‍ය කොන්දේසි පැනවීමත් නිසා රටට ආයෝජන නොලැබිණි. මේ සියලු කාරණා මධ්‍යයේ අපේ ආර්ථිකය වර්ධනය වීමට අවකාශයක් නොවීය. කොවිඩ් 19 වසංගතයත් මේ තත්ත්වයට බලපෑවේය. එහෙත් එය තීරණාත්මක සාධකයක් නොවීය.
වත්මන් දේශපාලන අර්බුදය හට ගැනීමට බලපෑ ප්‍රධාන හේතුව රාජපක්ෂ පවුල් පාලනයයි. රාජපක්ෂවරුන් මේ රට පරිහරණය කළේ ඔවුන්ගේ පෞද්ගලික බූදලයක් ලෙසය. මගේ නිරීක්ෂණය අනුව මේ දේශපාලන අර්බුදයට වගකිව යුතු පාර්ශ්ව දෙකකි. එකක් නම්, කුමන ආකාරයකින් හෝ මහජනතාව රවටමින් බලය ලබාගත හැකිය යන ආකල්පයෙන් කටයුතු කරන රාජපක්ෂ කණ්ඩායමයි. දෙවැනි පිරිස වන්නේ, රාජපක්ෂවරුන් පිළිබඳ අන්ධ භක්තියෙන් කටයුතු කරමින් ඔවුන්ට ඡන්දය දෙන මහජනතාවය. විවිධ වාසි තකා ආණ්ඩුව වටා සිටින ව්‍යාපාරිකයෝ මේ ක්‍රමය පවත්වාගෙන යෑමට නන් අයුරින් දායක වෙති. දේශපාලන අර්බුදය උද්ගතව තිබෙන්නේ මෙම කණ්ඩායම් තුනෙහි ක්‍රියාකාරීත්වය නිසාය. පාලකයන්ගේ චර්යාව ප්‍රජාතන්ත්‍රවාදී බවින් තොර වීම ද ප්‍රශ්නයකි. විනිවිදභාවයක්, වගවීමක් ඔවුන්ගේ හැසිරීමෙන් දිස්වන්නේ නැත. දේශපාලනය මෙහෙයවන්නේ ඒ අවස්ථාවේ තමන්ගේ උද්ධච්ඡ මෝඩ මනසට අවබෝධ වන ප්‍රමාණයේ තරමටය.
රටේ ආර්ථිකය හා දේශපාලනය මෙහෙයවීම සඳහා මහජන ඡන්දයෙන් තේරී පත් වන ජනතා නියෝජිතයන්ට ඊට අදාළ විෂය දැනුම උපරිමයෙන් තිබිය යුතු යැයි මම නොකියමි. ඊට අවශ්‍ය දැනුම සමාජයේ තිබේ. උදාහරණයක් ලෙස පොහොර සම්බන්ධයෙන් ගත් ප්‍රතිපත්තිමය තීන්දුව දැක්විය හැකිය. එම වැරැදි ප්‍රතිපත්තිය නිසා සමස්ත කෘෂිකර්ම ක්ෂේත්‍රයම කඩා වැටිණි. අදාළ තීරණය ගැනීමේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටේ සිටින කෘෂි විශේෂඥයන්ගේ අදහස් සැලකිල්ලට ගත්තේ නැත. මේ පාලකයන්ට අවශ්‍ය වන්නේ අඛණ්ඩව බලයේ රැඳී සිටීමට මිස රට සංවර්ධනය කිරීමට නොවේ.
පශ්චාත් යුද ලංකාවේ දේශපාලන සංස්කෘතියේ දැකිය හැකි වූ විශේෂ ලක්ෂණයක් නම්, රාජපක්ෂවරුන් කුමන වැරැද්දක් කළ ද ඒවා නොසලකමින් ජනතාව ඡන්දය ලබා දීමය. රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 75කට වැඩි ප්‍රමාණයක් එම පවුලේ සාමාජිකයන් දැරූ අමාත්‍යාංශවලට වෙන් කරගත් බවට වාර්තා අදට ද පළ වෙයි.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයන් ආණ්ඩුවට දිගින් දිගටම කියා සිටියේ, ජනතා ප්‍රශ්න විසඳීම සඳහා කටයුතු කරන ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තහවුරු කළ යුතුය යන අවධාරණය ද එහි තිබිණ. එහෙත්, ආණ්ඩුව ඒවා කනකට නොගත්තේය. දේශපාලන පක්ෂ ක්‍රමය සම්බන්ධයෙන් වන මහජන විශ්වාසය බිඳවැටී තිබීම ද දැන් සමාජයේ මතුව ඇති මහජන නැගිටීම්වලට හේතුවක් වී තිබේ. දේශපාලන විද්‍යාවේදී අප දේශපාලන පක්ෂ නිර්වචනය කරන්නේ, විසුරුණු මහජන මතය සංවිධානය කරමින් බලය ලබා ගැනීමට ක්‍රියාකාරී වන කණ්ඩායමක් හැටියටය. දේශපාලන පක්ෂවල එම භූමිකාව තවදුරටත් ජනතාව විසින් පිළිගනු නොලබන තත්ත්වයකට රට පත්ව තිබේ. දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් තොර මහජන නැගිටීම් සෑම තැනකම දක්නට ලැබෙන්නේ ද එබැවිනි. පක්ෂ ක්‍රමය පිළිබඳ විශ්වාසය බිඳවැටීමක් ද සිදුව ඇති බව එයින් පැහැදිලිය.
රටේ මතු වන මහජන නැගිටීම් බලය යොදවා මර්දනය කිරීම ආණ්ඩුවේ උපක්‍රමය වී තිබේ. එබැවින් මේ තීරණාත්මක අවස්ථාවේ හමුදාව, පොලීසිය, ජනමාධ්‍ය, ආගමික නායකයන් එක් පවුලක් ආරක්ෂා කිරීම වෙනුවට ජනතාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කළ යුතුය.
ජනාධිපතිවරයාට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය. එසේ කිරීමට නම්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක පිරිසක් අනුමත කළ යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතුය. එහෙත් කිසිවෙක් පාර්ලිමේන්තුව විසුරුවන්නැයි නොඉල්ලති. වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කොට ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට ජනාධිපති ධුරයේ බලය වැඩි කිරීමට කටයුතු කළේය. ඒකාධිපති පාලකයකුට අවශ්‍ය සියලු ආකාරයේ බලය ජනාධිපතිවරයාට ලබා දීම සඳහා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 150කට වැඩි පිරිසක් අනුමැතිය දුන්හ. 20 වැනි සංශෝධනය අහෝසි කරන ලෙස ජනතාව එම පිරිසට බල කර සිටිය යුතුය. පාර්ලිමේන්තුවේදී හැර ව්‍යවස්ථා සංශෝධන කළ නොහැකි නිසාය.
දැන් ප්‍රශ්නය තිබෙන්නේ, මේ දේශපාලන අර්බුදය විසඳා ගන්නේ කෙසේ ද යන කාරණයෙහිය. පළමුව කළ යුත්තේ මේ ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ උදවිය පාලන තන්ත්‍රයෙන් ඉවත් කිරීමය. දෙවැනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළ හැකිය. ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස් විය හැකිය. එවැනි දෙයක් සිදු වුවහොත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙනි. මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාටම ජනතා කැමැත්තක් නැති බව ජනතා ප්‍රතිචාරවලින් මනාව පිළිබිඹු වේ. එබැවින්, මේ පාර්ලිමේන්තුවෙන් අනුප්‍රාප්තිකයකු පත් කරගැනුණ ද එසේ පත්වීම් ලබන තැනැත්තාගේ පිරිසුදුභාවය ප්‍රශ්න සහගත විය හැකිය.
තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරු පවසති. සැබෑවටම එවැන්නක් සිදු වන්නේ නම් එම මන්ත්‍රීවරුන්ට සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් සමග එකතුව දෝෂාභියෝග යෝජනාවක් ගෙනැවිත් ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපීමේ හැකියාව ද පවතියි. පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මාධ්‍ය ඉදිරියට පැමිණ පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කරන බව කීව ද ජනාධිපතිවරයා ධුරයෙන් පහ කරන යෝජනාවකට මේ අවස්ථාවේ ඔවුන් සහයෝගය දෙනු ඇතැයි සිතිය නොහැකිය.
අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ද යෝජනා ඉදිරිපත් වෙමින් තිබේ. මැතිවරණයකින් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවා ගන්නා තෙක් පාලන කටයුතු පවත්වාගෙන යෑම සඳහා බිහි කරන තාවකාලික විධිවිධාන සහිත ආණ්ඩුවක් අන්තර්වාර ආණ්ඩුවක් යනුවෙන් හැඳින්වෙයි. අප අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එය සිදු කරන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරුන් ඇතුළත් කරගනිමින් ද යන්න විමසිය යුතුය. රටේ දේශපාලනය හා ආර්ථිකය ගැන යම් පමණකට හෝ අවබෝධයක් තිබෙන මන්ත්‍රීවරු පිරිසක් ද සිටිති. එහෙත් සියයට 90කට වඩි පිරිසක් රටේ සිදුවන්නේ කුමක් ද යන්න ගැන අවබෝධයක් නැති අයය.
අන්තර්වාර ආණ්ඩුවක් ඇති කිරීමට නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය. අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ආර්ථිකය ආණ්ඩුකරණය සහ රටේ අනෙක් තීරණාත්මක ක්ෂේත්‍ර පිළිබඳ දැනුමක් සහිත පිරිසක් ඊට ඇතුළත් කරගත යුතුය. එවැනි පිරිසක් එක්සත් ජාතික පක්ෂයේත්, සමගි ජන බලවේගයේත්, ජාතික ජන බලවේගයේත් සිටින බව පෙනේ. ඔවුන් හා පාර්ලිමේන්තුවෙන් පිටත සිටින දැනුමැති, දූෂණයෙන් තොර පිරිස ද එවැනි අන්තර්වාර ආණ්ඩුවකට එක්කරගන්නේ නම් එය ප්‍රයෝජනවත්ය.
ඒ ආකාරයේ සංයුතියක් සහිත අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා රට ඉදිරියට ගෙන යෑමට සිදු වෙයි. ඒ අරබයා සමාජයෙන් ඉදිරිපත් විය යුතු ප්‍රබල කොන්දේසියක් තිබේ. එනම්, කිසිදු ආකාරයක වංචා දූෂණ චෝදනා එල්ලවූවන් ඊට ඇතුළත් නොකරගත යුතුය යන්නය. ඔවුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කළ අය විය යුතුය. එසේම බලයේ සිටියදී වගකීම් නිසි පරිදි ඉටු කර තිබේ ද යන්නත් විමසා බැලිය යුතුය.
පිහිටුවන අන්තර්වාර පාලනයකින් රටට ඔබින ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇති කරගැනීමට බල කළ යුතු යැයි ද අදහසක් ඉදිරිපත් වෙමින් තිබේ. මගේ අදහස වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම වැදගත් බවය. එය නොකරන්නේ නම් කඩිනමින් කළ යුතු දෙයක් හැටියට මා දකින්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කිරීමය.
ජනාධිපතිවරයා ඉවත් වනු යන සටන් පාඨයත් සමග බොහෝදෙනකු නගන ප්‍රශ්නයක් වන්නේ, ජනාධිපතිවරයා ඉවත් කළ පසු බලයට ගෙන එන්නේ කවුරුන් ද යන්නය. ඊට අදාළ මගේ පිළිතුර වන්නේ, පළමුව ජනාධිපතිවරයාත්, රාජපක්ෂ පවුලත් මේ පාලන තන්ත්‍රයෙන් ඉවත් කළ යුතු බවය. එහිදී රාජපක්ෂ පවුල යන්නෙන් මා අදහස් කරන්නේ, රාජපක්ෂ යන නම සහිත පවුලේ සාමාජිකයන් පමණක්ම නොව එම පවුල සමග එකතු වී මේ රටේ ජාතික ධනය කොල්ලකෑ වංචා දූෂණ සිදු කළ පරිවාර කණ්ඩායමය.
දේශපාලන පක්ෂ වශයෙන් සංවිධානය වූ පිරිසක් ද ව්‍යාපාරිකයෝ ද නිලධාරීහු පිරිසක් ද බුද්ධිමතුන් යැයි කියා ගන්නා පිරිසක් ද සිටිති. මේ සියලු දෙනා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය. වෙසෙසින්ම ඔවුන් උපයා ගත් මහා ධනස්කන්ධය ගැන විමර්ශනය කළ යුතුය. ආදායම් මූලාශ්‍ර හෙළි කළ නොහැකි සියලු දේපළ, වත්කම් රාජසන්තක කළ යුතුය. නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද වැදගත්ය. 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු ඒ දේවල් කරනු ඇති බවට ජනතාව අපේක්ෂා කළ ද එවැන්නක් සිදු නොවීය.
දෙවැනුව මේ පාලකයන් පන්නා දමා බලයට ගෙන එන්නේ කවුද යන ප්‍රශ්නයේදී ජනතාවට ඇති වගකීම භූමිකාව අතිමහත් බව මගේ අදහසයි. ඉදිරියේදී කුමන දේශපාලන පක්ෂයකින් ආණ්ඩුවක් බලයට පත් කළ ද එහිදී සලකා බැලිය යුත්තේ එම කණ්ඩායමට රට ගොඩනැගීමට ඇති හැකියාව පිළිබඳවය. පවතින තත්ත්වය හමුවේ තනි පුද්ගලයකුට හෝ පක්ෂයකට හෝ රට ගොඩනැගිය නොහැකිය. සියලු පාර්ශ්ව සහභාගි කරගන්නා පොදු වැඩපිළිවෙළකින් ඉදිරියට යා යුතුය. පාර්ලිමේන්තුවට පැවැරෙන ප්‍රධාන කාර්යයන් වන්නේ, රට පාලනය කිරීමට අවැසි නීති සම්පාදනය කිරීමත්, මූල්‍ය පාලනයත්ය. අප පාර්ලිමේන්තුවට පත් කර එවන ජනතා නියෝජිතයන් එම කර්තව්‍යයන් ඉටු කිරීමට සුදුසු ද යන්න ගැන විශේෂ අවධානයක් යොමු විය යුතුය.
දේශපාලනඥයන්ට බැණ වැදීමෙන් පමණක් ඵලක් වන්නේ නැත. ජනතාව ද වෙනස් විය යුතුය. රට දියුණු කරගැනීමට එය අත්‍යවශ්‍යය. මිනිසුන් විසින් මිනිසුන් සූරා කනු ලැබීම නැවැත්විය යුතුය. අනෙකාව ද ආරක්ෂා කරගනිමින් සාමූහික ගමනක් යන්නේ කෙසේ ද යන්න ගැන ජනතාව කල්පනා කළ යුතුය. තව ද මීළඟ මැතිවරණයකදී නියෝජිතයන් තෝරා පත් කරගැනීමකදී නැවත වතාවක් මේ දක්වා රට විනාශයට ගෙන ගිය කුමන පක්ෂයක හෝ කණ්ඩායම් බලයට පත් කරන්නේ නම් අපට තවදුරටත් සිදු වන්නේ මේ අර්බුදය සමග ජීවත් වීමටය.
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ මහේෂ් සේනානායක
සටහන උපුල් වික්‍රමසිංහ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාලක පාලිත වගකීම