IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මධ්‍යම පන්තිය දුප්පතාගේ ගොඩට

ලංකාවේ අන්ත දුප්පතුන් සංඛ්‍යාව සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති බව ලෝක බැංකු වාර්තාවකින් අනාවරණය වෙයි. ලෝක බැංකුව අන්ත දුප්පතුන් ලෙස සලකනු ලබන්නේ දවසකට ඇමෙරිකන් ඩොලර් 3.65 ක් නොහොත් දවසකට රුපියල් 1,330 කට අඩු ආදායමක් ලබන්නෝය. 

2021 දී සියයට 13.1 ක් වූ ඒ අන්ත දුප්පතුන් සංඛ්‍යාව 2022 නිමවන විට සියයට 25.6 ක් දක්වා ඉහළ ගොසිනි. 2023 දී කුමක් වෙයිද? මේ ඒ පිළිබඳව රුහුණ විශ්විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් කටුකුරුන්ද මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. 

ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 80කට වඩා ජීවිකාව සරිකරගත් කෘෂිකර්මාන්තයට කණකොකා හැඬුවේ එක රැයකින් රසායනික පොහොර තහනම් කළ මුග්ධ තීරණය නිසාය. ගොවිතැනින් වේල් තුන කෑ අතිවිශාල පිරිසකට දවසකට වේලක් හෝ දෙකක් කා දිවි රැක ගැනීමට සිදුවී තිබෙන්නේ ඒ මුග්ධ තීරණයේ මහිමයෙනි. රටේ පවතින මේ යථාර්ථය අද ජාත්‍යන්තරයද දනියි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර වැඩසටහන 2022 නොවැම්බර් 10 වැනිදා නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 30කට වැඩි පිරිසක් එනම් ලක්‍ෂ 63ක් පමණ ජනතාවක් ආහාර අනාරක්‍ෂිතභාවයෙන් පෙළෙන බවය. නැතහොත් ජනගහනයෙන් ලක්‍ෂ 63කට අවශ්‍ය තරමට ආහාර නොලැබෙන බවය. ඒ නිසා රටේ ජනගහනයෙන් ලක්‍ෂ 53 ක් කෑම වේල් ගණන අඩුකර හෝ අතහැර තිබෙන බව ඒ වාර්තාවේ සඳහන් වෙයි.

රටේ දරුවන්ගෙන් සියයට 70 කගේ පමණ වර්ධනය බාලවී ඇතැයි ද ඒ වාර්තාව කියයි. ඉන් හෙළිවන්නේ රටේ දරු පරපුරෙන් සියයට 70ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවය. එමගින් අනාගත මානව ප්‍රාග්ධනයට ඇතිවන බලපෑම සුවිශාලය. එහි දිගුකාලීන බලපෑම වන්නේ සෞඛ්‍ය සම්පන්න බවින් වැහැරුණු ලෙඩ රෝගවලින් පෘෂ්ඨිමත් ජනතාවක් රටට ඉතිරිවන බවය. 

ලෝක බැංකුව 2022 නොවැම්බර් 10 වැනිදා නිකුත් කළ වාර්තාවට අනුව ආහාර මිල උද්ධමනයෙන් (Food Price Inflation) ලොව ඉහළම රටවල් 10 අතර ලංකාවද සිටියි. එහි ලංකාවට හිමි වී තිබෙන්නේ හතරවැනි ස්ථානයයි. ලංකාවට ඉහළින් පිළිවෙළින් සිම්බාබ්වේ, ලෙබනනය සහ ඉරානය සිටියි. ලංකාවට පහළින් පිළිවෙළින් රුවන්ඩාව, හංගේරියාව, කොලොම්බියාව, උගන්ඩාව, තුර්කිය සහ උතුරු මැසිඩෝනියාව සිටියි.

පොදු උද්ධමන අනුපාතය ඉවතලා ආහාර උද්ධමනය අතින් පමණක් ලංකාව සිටින්නේ හතරවැනි තැනය. නාමික ආහාර උද්ධමන අනුපාතය හෙවත් පොදු උද්ධමන අනුපාතයත් ඇතුළත්ව බැලුවහොත් ලංකාව සිටින්නේ ලෝකයෙන්ම හයවැනි තැනය. ලංකාවට ඉහළින් සිටින්නේ පිළිවෙළින් සිම්බාබ්වේ, ලෙබනනය, වෙනිසියුලාව, තුර්කිය සහ ආර්ජන්ටිනාව, ඉරාකය, රුවන්ඩාව, සුරිනාම් සහ ලාඕසය ලංකාවට පහළින් සිටියි. ආහාර උද්ධමනය හෙවත් ආහාර මිල ගණන් අතින් ලංකාව සිටින්නේ ලෝකයේ කෙබඳු රටවල් අතරදැයි ඒ තොරතුරුවලින් අනාවරණය වෙයි.

ඍජු බදු වැඩි කිරීම, වක්‍ර බදු ඉහළ නැංවීම, විදුලිය සහ ජල ගාස්තු හිතුමතේ ඉහළ දැමීම, වෙළෙඳ පොළේ භාණ්ඩ සහ සේවාවල මිල ගණන් අයාලේ තීරණය වීමට ඉඩ හැරීම සහ ඒවා කිසිදු නියාමනයකට ලක් නොකිරීම යනාදියෙන් රටේ සමස්ත ජනතාවටම එල්ලවන පීඩනය සුවිශාලය. එසේම නිෂ්පාදන සහ ප්‍රවාහන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන ඛනිජ තෙල් මිල ඉහළ මට්ටමක පැවැතීම, ඇමෙරිකන් ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ වටිනාකම අවප්‍රමාණවීම, භාණ්ඩ හා සේවා මිල දිගින් දිගටම වර්ධනය වීම යනාදියෙන් උද්ධමනය ඉහළ නගියි.

එමගින් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ඉතාමත් පහත වැටෙයි. පොදු සහ සාමාන්‍ය ව්‍යවහාරයට අනුව අද ජනතාව පාන් කියන්නට බැරිව සිටින්නේ ඉහත දැක්වූ හේතු මතය. දැන් ලංකාවේ වාර්ෂික උද්ධමනය සියයට 65 සිට 75 අතර මට්ටමක පවතින බව මහ බැංකුවත් කියයි. මේ තත්ත්වය මත රටේ අඩු ආදායම් ලබන පවුල් ලක්‍ෂ ගණනක් තම මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකිව අන්ත අසරණව සිටියි. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් මධ්‍යම පාන්තිකයෝද දුප්පතුන් අතරට වැටී සිටිති. 

ලෝක බැංකුව 2022 ඔක්තෝබර් මාසයේදී නිකුත් කළ ‘‘ශ්‍රී ලංකාවේ ඩිවලොප්මන්ට් අප්ඩේට්’’ (Sri Lanka Development Update) නමැති වාර්තාව ඒ සම්බන්ධයෙන් අපූරු තොරතුරු රැසක් හෙළිකරයි. 2021 වසරට සාපේක්‍ෂව 2022 දී ලංකාවේ දුප්පතුන් සංඛ්‍යාව දෙගුණයක් වන බව ඒ වාර්තාව කියයි. ලෝක බැංකුවට අනුව ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාව වන්නේ ඇමෙරිකන් ඩොලර් 3.65 යි. ඉන් කියැවෙන්නේ දවසක ආදායම ඩොලර් 3.65 කට වඩා අඩු අය දුප්පතුන් බවය.

ඩොලරයක වටිනාකම රුපියල් 365 ක් නම් ඩොලර් 3.65 ක වටිනාකම වන්නේ රුපියල් 1,332 කි. 2021 දී ලංකාවේ ජනගහනයෙන් සියයට 13.1 ක දවසක ආදායම රුපියල් 1,332 කට අඩුය. ලෝක බැංකුව කියන හැටියට 2022 දී එය සියයට 25.6 දක්වා ඉහළ ගොසිනි. එසේ නම් එසේ දුප්පතුන් අතරට එකතු වූයේ නැතහොත් දුප්පතුන් ගොඩට වැටුණෝ මධ්‍යම පාන්තිකයෝ නොවෙද්ද? එසේ දුප්පතුන් ගොඩට වැටුණු ජනගහනය ලක්‍ෂ 27ක් බව ලෝක බැංකුවේ පුරෝකතනයයි.

ලෝක බැංකුවට අනුව ලංකාවේ සමස්ත දුප්පතුන් අතරින් සියයට 80 ක් දිවි ගෙවන්නේ ගම්වලය. 2021 සිට 2022 අතර කාලයේදී නාගරික දුප්පතුන් සංඛ්‍යාව සියයට 5 සිට 15 දක්වා තුන් ගුණයකින් ඉහළ යන බව ලෝක බැංකුවේ තක්සේරුවයි. ඒ වාර්තාවට අනුව ලංකාවේ වතුකරයේ තත්ත්වය ඉතාම ශෝකජනකය. 2021 වතුකරයේ දුප්පතුන් සංඛ්‍යාව සියයට 31 කි. 2022 දී එය සියයට 54 ක් වන බව ලෝක බැංකුවේ නිගමනය විය. වතුකරයේ ජනතාවට නැතුවම බැරි භූමිතෙල් සහ තිරිඟු පිටි මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම වතුකරයේ ඒ ශෝචනීය තත්ත්වයට හේතුවන බව ලෝක බැංකුව කියයි.

ලංකා ආර්ථිකයේ ප්‍රමුඛයෝ වන්නෝ ඉතා කුඩා, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝය. රටේ සමස්ත ව්‍යවසායකයන්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් ඉතා කුඩා ව්‍යවසායකයෝ වෙති. ජනගහනයෙන් විශාල පිරිසකට ජීවිකාව සලසන්නෝ ඒ ඉතා කුඩා ව්‍යවසායකයෝය. කොරෝනා වසංගතයත් සමග ඒ ව්‍යවසායකයෝ දැඩි පීඩාවකට පත්වූහ. ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටිණි.

වර්තමාන ආර්ථීක සහ සමාජ අර්බුදය හමුවේ ඒ ව්‍යවසායකයන්ගෙන් අතිවිශාල පිරිසක් අකර්මණ්‍යව සිටිති. ඒ ඔවුන්ගේ ව්‍යාපාර වසා දැමීමට සිදුවීම හේතුවෙනි. රටේ පවතින අධි උද්ධමනකාරී පසුබිම හෙවත් භාණ්ඩ සහ සේවා මිල දරා ගැනීමට නොහැකි තත්ත්වයක පැවැතීම මත නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු අනෙකුත් සම්පත් සපයා ගැනීමට නොහැකිවීම ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටීමට හේතුවයි.

අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා අවිධිමත් අංශ කරා යොමුවීම සියතින් ගෙල සිඳගැනීමකි. ඔවුනට තම නිෂ්පාදන සාධාරණ මිලකට අලෙවි කර ගැනීම සම්බන්ධයෙන්ද අතීතයේ සිටම ප්‍රශ්න පවතී. ඒ සඳහා ආණ්ඩුවේ අනුග්‍රහය නොමැති තරම්ය. චීනය, කොරියාව, සිංගප්පූරුව වැනි රටවල ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉතා කුඩා, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝ ප්‍රබලව දායක වූහ.

ඒ සඳහා ඔවුනට ඒ රටවල ආණ්ඩුවලින් ලැබුණු සහයෝගය ද ඉමහත්ය. එහෙත් ලංකාවේ ආණ්ඩු ප්‍රතිපත්ති සහ සැලසුම් සම්පාදනය කර ක්‍රියාත්මක කරන්නේ ඉතා කුඩා, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් නැත්තටම නැතිවන අයුරිනි. එය අදටත් සිදුවෙයි. 2023 සඳහා වන අය වැයෙහිද එවැනි යෝජනා පවතී. රටේ පවතින අධි උද්ධමනකාරී පසුබිම මත ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහත වැටී ඇති හෙයින් අප ඉහත කී අංශවල නිෂ්පාදනවලට තිබූ ඉල්ලුමද දැන් පවතින්නේ ඉතා පහළ මට්මකය.

භාණ්ඩ හා සේවා මිල තුන්ගුණයකින් හෝ ඊටත් වැඩියෙන් ඉහළ ගොස් තිබෙන නිසා ජනතාව අත තිබෙන රුපියල් 100ක සැබෑ වටිනාකම අද වනවිට රුපියල් 30ටත් අඩුය. එමගින් රටේ සමස්ත ඉල්ලුම හැකිළෙයි. රටේ ආර්ථීක වර්ධනයට ඉන් වන බලපෑම ඉතා දැඩිය, ප්‍රබලය. එහි ප්‍රතිඵල අප දැනටත් භුක්ති විඳින බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හෙළි කරයි.

ඒ දෙපාර්තමේන්තුව කියන හැටියට 2022 දෙවැනි කාර්තුවේදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.8 කින් පහත වැටී තිබේ. ඒ කාර්තුවේදී කෘෂිකාර්මික අංශයේ හැකිළීම සියයට 8.7 කි. කාර්මික අංශය සියයට 21.2 කින් සහ සේවා අංශය සියයට 2.6 කින් හැකිළී ගොසිනි.
පවතින ආර්ථීක හා සමාජ අර්බුදයෙන් විශ්‍රාමිකයෝද පීඩිතව සිටිති. විශ්‍රාම ගනිද්දී ලැබුණු අරමුල් බැංකුවල තැන්පත් කර ලැබෙන පොලියෙන් කරදරයකින් තොරව විශ්‍රාම දිවිය ගෙවීමට ඔවුහු සැලසුම් කළහ.

එහෙත් භාණ්ඩ සහ සේවා මිල ඉහළ යාමෙන් උද්ධමනය ඉහළ ගිය බැවින් ඔවුනට ලැබෙන පොලී ආදායමේ නියම වටිනාකම වාෂ්ප වී තිබේ. ඔවුන් අතට ලැබෙන රුපියල් 100ක සැබෑ වටිනාකම ද රුපියල් 30කට අඩුය. ඊට අමතරව ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්ති යටතේ පොලී ආදායම මත සියයට 5 ක බද්දක් පනවා තිබේ. එමගින් විශ්‍රාමිකයෝද කලබෙන් ළිපට වැටී සිටිති. ප්‍රතිපත්ති සම්පාදක පාලකයන් විශ්‍රාමිකයන්ටවත් සතුටින් මරණය කරා යන්නට ඉඩ නොදෙන බව නව බදු ප්‍රතිපත්තිවලින් හෙළිවෙයි. 

ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ආර්ථිකය හැසිරවීමට රජයට උපදෙස් දෙන විශේෂඥයන් නිතර නිතර කියන කතාවලින් අනාවරණය වන්නේ අදට වඩා හෙට නරක බවය. ජනතාව තව තවත් පටි තදකරගත යුතු බව ඔවුහු කියති, පෙන්වා දෙති. මහ බැංකු අධිපතිවරයා කියන්නේ ඝානතය කර තිබෙන ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වේදනාකාරී තීරණ ගැනීමට සිදුවන බවයි. ඉදිරියේදී ජනතාවට විශෘල වශයෙන් වේදනාකාරී අත්දැකීම් විඳීමට සිදුවන බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරයි. ආර්ථිකය ඝාතනය කළේ රටේ මහජනතාව විසින්ද නොඑසේනම් වෙනත් පාර්ශ්වයක් විසින් දැයි මහ බැංකු අධිපතිවරයා නොකියයි.

ඝාතකයෝ ජනතාව නම් ඔවුහු වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දිය යුත්තෝමය. එහෙත් ආර්ථීක ඝාතකයන් සැපසේ සුවසේ නිදැල්ලේ සිටිද්දී ඒ ඝාතනයට වචනයකින්වත් දායක නොවූ ජනතාව විත්තිකරුවන් කර ඔවුන් ආර්ථික පෝරකයට තල්ලු කිරීම අයුක්තිසහගතය, අසාධාරණය. පරිපීඩිත අසරණ ජනතාව පෝරකයට තල්ලු කිරීමට බුද්ධිමත් ප්‍රතිපත්ති සම්පාදකයකු ලෙස මහ බැංකු අධිපතිවරයා දැනුවත්ව සම්බන්ධවීම ජනතාව කිසිලෙසකින්වත් බලාපොරොත්තු නොවන්නකි. 

මහ බැංකු අධිපති සිටගත යුත්තේ පීඩිත ජනතාවගේ පැත්තේ මිස ආර්ථීක ඝාතකයන් සමග නොවේ. ආණ්ඩු කරන අයගේ ප්‍රතිපත්තිවල දිගුකාලීන අහිතකර බලපෑම් පිළිබඳව ඔවුන් දැනුවත් කර ජනතාවට රටට හා රටේ ආර්ථීකයට අවම බලපෑමක් වන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පෙන්වාදීම හා නිර්දේශ කිරීම බුද්ධිමත් ප්‍රතිපත්ති සම්පාදකයකුගේ වගකීමකි.

රට පාලනය කළ සියලු ආණ්ඩුවල අදූරදර්ශී ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවල මහිමයෙන් ආර්ථිකය කඩා වැටීමේ වගකීම ජනතාව පිට පටවන සියලු පව් ජනතාව මතින් සෝදා හැරීමට කටයුතු- කරන ආණ්ඩුවක් හෝ එවැනි දේට උපදෙස් දෙන සහ මඟපෙන්වන උගතුන්, බුද්ධිමතුන් තවදුරටත් ජනතා බදු මුදල්වලින් නඩත්තු කළයුතු දැයි බරපතළ ලෙස කල්පනා කළ යුතුව තිබෙන බව මගේ නිරීක්‍ෂණ නිගමනයයි.

රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සරත් කටුකුරුන්ද

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්



අදහස් (0)

මධ්‍යම පන්තිය දුප්පතාගේ ගොඩට

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site