IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මන්දපෝෂණය පිටුදැකීමට ඉක්මනින් පිළියම් යොදමු

 

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 05ට අඩු දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වෙමින් තිබේ. එක් වාර්තාවකින් දැක්වෙන්නේ ශ්‍රී ලාංකික දරුවන්ගෙන් සියයට 15.1ක් මන්දපෝෂණයේ ගොදුරු බවට පත් වෙමින් සිටින බවය. එය ආසියානු කලාපයේ මන්දපෝෂණයට ගොදුරු වූ එම වයස් කාණ්ඩයේ දරුවන්ගේ ප්‍රතිශතය වන සියයට 8.9ට අනුව ඉහළ අගයකි. එසේම ගෝලීය වශයෙන් සැලකීමේදී ද ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය පවතින්නේ ඉහළ මට්ටමක බවද පෙනී යයි.

පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබුණේ ලංකාවේ අවුරුදු 05ට අඩු ළමයින් මෙන්ම කාන්තාවන්ද ලක්ෂ 10කට ආසන්න පිරිසක් මන්දපෝෂණයට ගොදුරුව සිටින බවට සමීක්ෂණයකින් හෙළිවී ඇති බවය. සංඛ්‍යාලේඛන අනුව මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් පිරිස 300,746කි. කාන්තාවෝ 671,142ක්ද මේ තත්ත්වයෙන් පීඩා විඳිති. පළාත් අනුව සැලකීමේදී වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

ආදායම ප්‍රමාණවත් නොවීම, ආහාර ලබාගැනීමට තිබෙන දුෂ්කරතා, නුසුදුසු ආහාර ගැනීමේ පුරුදු සහ විවිධ කායික සහ මානසික ගැටලු‍ මන්දපෝෂණයට ප්‍රධාන හේතු වශයෙන් දැක්වෙයි. ශ්‍රී ලාංකික දරුවන්ට මේ අතුරින් වඩාත්ම බලපා තිබෙන්නේ ආදායම පහළ බැසීම බව හඳුනා ගැනීම අපහසු නැත. ඒ සමඟ ආහාර ලබාගැනීම දුෂ්කර වීම බලාපොරොත්තු විය යුතුය.

මෙරට මන්දපෝෂණ තත්ත්වය සැලකීමේදී වඩාත් විශ්මය දනවන කාරණය වන්නේ බස්නාහිර පළාතෙන් වැඩි පිරිසක් වාර්තා වීමය. ජනගහනය අතින් වඩාත් ඉදිරියෙන් සිටීම එයට හේතු වන්නට ඇතැයි කිව හැකි වුවද ආර්ථික වශයෙන්ද වඩාත් ඉදිරියෙන් සිටින්නේත් බස්නාහිර පළාතය. එවැනි තත්ත්වයකදීත් මන්දපෝෂණයෙන් පීඩා විඳින වයස අවුරැදු 05 ට අඩු දරුවන් අධික සංඛ්‍යාවක් බස්නාහිරෙන් වාර්තා වන්නේ කෙසේදැයි සොයා බැලීම අවශ්‍යය.

මන්දපෝෂණ තත්ත්වයට රටේ ආර්ථික අර්බුදයේ බලපෑම තදින්ම හේතු වී ඇති බව මේ අනුව පැහැදිලිය. මේ අර්බුදය සමඟ රටේ ජනතාවගෙන් බහුතරයකට තමන් ගෙවමින් සිටි එදිනෙදා ජීවිතය අහිමි විය. එහි උපරිමය වූයේ දිනකට ගන්නා ප්‍රධාන ආහාර වේල් සංඛ්‍යාවද සීමාවලට කොටුවීමය. එහිදී වඩාත්ම පීඩනයට මුහුණ දුන්නේ දරුවන් බව නොරහසකි.

මවුපියන්ට ආහාර ලබාගැනීම දුෂ්කර වෙද්දී එය දරුවන්ට බලපාන බව අප දන්නා සත්‍යයයි. එසේ ලබාගන්නා ආහාරද ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් යනවිට අවසානයේ ඇතැම් දරුවන්ට ආහාර අහේනිය හේතුවෙන් පාසල් කාලය තුළදී කලන්තය සෑදුණු බවත් වාර්තා විය. එහිදී දේශපාලනඥයන්ගේ නම් පිළිතුර වූයේ එවැනි දෙයක් තමන්ගේ බල ප්‍රදේශවල පාසල්වල සිදු නොවූ බව කීම පමණි. එහෙත් එවැනි පාසල්වල ගුරු දෙගුරුන් එකතු වී පාසල්වල ආහාර පෙට්ටි නම් සංකල්පයක් ගොඩනංවාගෙන කන්න නැති දරුවන්ට හැකි පමණ ආහාර පාර්සල් සකස් කර ලබාදෙන තුරු සමහරුන්ගේ ඇස් ඇරුණේ නැත. දැන් එවැනි තත්ත්වයක් නැති වුවද මන්දපෝෂණයෙන් පීඩා විඳින දරුවන් සහ කාන්තාවන් පිළිබඳ තොරතුරුවලින් පෙනෙන්නේ මන්දපෝෂණයට හේතුවන සෙසු කාරණා කෙසේ වුවත් අපේ රටේ ආහාර අහේනිය එකී තත්ත්වයට වඩාත්ම හේතු වී තිබෙන බවකි.

මේ අප දකින්නේ ආර්ථිකය කඩා වැටී වසරක් ඉක්ම යන කාලසීමාවේදී ඇතිවී තිබෙන තත්ත්වයකි. මේ තත්ත්වය පිළිබඳ අවබෝධයකින් කටයුතු කරමින් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සහ කාන්තාවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසීම අවශ්‍යය. සමෘද්ධිය, අස්වැසුම වැනි දිළිඳුකම දුරලන වැඩසටහන් තිබියදී පවා මෙසේ මන්දපෝෂණ තත්ත්වයක් පිළිබඳ කරුණු හෙළිවීම එක් අතකින් කනගාටුවට කරුණකි. රටේ ආධාර අවශ්‍යම වන ඉතා පහළම ස්ථරයේ සිටින අන්ත දිළිඳු පිරිසකට ප්‍රමාණවත් ජීවන ආධාරයක් නොලැබීම මෙයට හේතුව දැයි සොයා බැලිය යුතු නොවේද?

රජයේ පමණක් නොව විපක්ෂයේද අවධානය මේ බරපතළ ගැටලු‍වට පිළියම් යෙදීම සඳහා යොමුවිය යුතුය. මන්දපෝෂණය දේශපාලන සටන් පාඨයක් කරගත යුතු නැත.

(***)



අදහස් (0)

මන්දපෝෂණය පිටුදැකීමට ඉක්මනින් පිළියම් යොදමු

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 357 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1286 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 745 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1087 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1903 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1444 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 551 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 451 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site