IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මැයි රැලි

(පරිවර්තනය - කෝවිද ගුණසේකර)

සභාග රජයේ හෝ විපක්ෂයේ නායකයෝ කිසිවෙක් හෝ කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තබනු ඇතැයි කිසිසේත්ම නොසිතූහ.

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට සුළු ජනසහභාගීත්වයක් පවතිනු ඇතැයි සිතූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ ඉල්ලීම අනුව රැලිය පැවැත්වීම සදහා කොළඹ කොටුව ආසන්න මුහුදු තීරය ඔස්සේ දිවෙන සුවිශාල බිම් කඩක් වන ගාලුමුවදොර පිටිය ඒකාබද්ධ විපක්ෂය වෙත ලබාදුන්නේය. ඊට අමතරව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය මාර්ගයෙන් අවශ්‍ය ඉහළම පියවර ගැනීමට ඔහුට අවැසි විය.

අගමැතිවරයා හමුවේ දෙවැනි තැනට පත්වීමට අකැමැති වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන දින කිහිපයකට පසු අගමැතිවරයා හා එකගවෙමින් අදහස් දක්වා සිටියේ මෙවර මැයි දින රැලියට සැලකිය යුතු මට්ටමේ ජන සහභාගීත්වයක් තහවුරු කිරීමට ඒකාබද්ධ විපක්ෂයට හැකියාවක් නොමැති බවය. එමෙන්ම ජනපතිවරයා අවධාරණය කර සිටියේ ගාලුමුවදොර පිටිය ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය පැවැත්වීම සදහා ලබාගැනීමට අනුමැතිය දුන්නේ තමා බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායම සහ පළාත් සභා ඇමැතිවරුන් කිහිපදනෙකු සහභාගීව සිටි රැස්වීමක දී ඔහු මේ බව කීවේය. ගාලුමුවදොර පිටියේ හිස් තැන් රැසක් පවතිනු ඇතැයි දෙදෙනගේම විශ්වාසය විය. එනිසා දෙදෙනම උත්සාහ කළේ එය හුවා දක්වා රාජපක්ෂ අපහසුතාවට පත්කිරීමට සැලසුම් කළේ තමන් බව පෙන්වාදීමට ය.

රජයේ බුද්ධි අංශවලින් වාර්තා ලබා ගැනීමට සහ බිම් මට්ටමේ පක්ෂ ක්‍රියාකාරීන්ගෙන් තොරතුරු විමසීමට ජනපතිවරයා හා අගමැතිවරයා යන දෙදෙනාටම අවස්ථාව තිබුණ ද, ඔවුන් දෙදෙනම ඒකාබද්ධ විපක්ෂයේ ශක්තිය අවතක්සේරු කර තිබිණ. ඒකාබද්ධ විපක්ෂය මේ සා ශක්තිමක් වීම පුදුමයට කාරණයක් ද නොවේ.

රජය බලයට පත්ව වසර දෙක හමාරක් ගතව ඇතත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායමේ නිලනොලත් නායකයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මේ දක්වාම රටේ පවතින බරපතළ අර්බුදයක් අරබයා රජයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර නොමැත. ප්‍රසිද්ධ වේදිකාවන් හි රජය විවේචනය කිරීම හැරෙන්නට ඔහු කළ දෙයක් නැත. එසේවුව ද, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන පරිසරය ඔහුට වාසි වන අයුරින් සකස්ව තිබෙනු හදුනාගත හැකිය. රජයේ නොයෙක් අකටයුතුකම්, අතපසුකිරීම්, ඉහළ යන ජීවන වියදම, වංචා හා දුූෂණ ගැන නැගෙන චෝදනා, ආදිය රාජපක්ෂ සහ ඔහුගේ කණ්ඩායමට ජනතාවගෙන් බෝනස් ලකුණු හිමිකර දී ඇත. දේශපාලන කොටස් වෙළෙඳපොළේ ඒකාබද්ධ විපක්ෂයේ කොටස්වලට දැන් ඉහළ වටිනාකමක් හිමිය.

රාජපක්ෂ පාලන සමය හා සමානවම රාජපක්ෂ හිතවාදීහු අදටත් ක්‍රියාත්මක බව රාජ්‍ය විමර්ශන අංශවල ඇතැම් ප්‍රධානීහු පවසන්නෝ ය. බරපතළ වංචා හා දුූෂණ චෝදනා එල්ල වූ හිටපු රෙජීමයේ ප්‍රබලයන් සම්බන්ධයෙන් වත්මන් රජය මේ දක්වා ගෙන ඇති පියවර පිළිබදව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකිය. මෙය දැන් ජනතාව ද අවබෝධ කරගෙන සිටිති. හිටපු රජයේ නායකයන්ට චෝදනා පිට චෝදනා එල්ල කළ ද, ඒ හා සමානව එම චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට අපොහොසත්ව තිබීම හමුවේ ජනතාවගේ හැගීම වන්නේ එදා මැතිවරණ වේදිකාවේ සිදුව ඇත්තේ මඩ ගැසීමේ ව්‍යාපාරයක් බවය. එනිසාවෙන්ම හිටපු රජයේ නායකයන් ඔවුන්ගේ අනුකම්පාව දිනාගෙන ඇත. මෙවන් තත්ත්වයක් ඇතිවීමට ප්‍රධානම හේතුව වන්නේ රජයේම ඇතිව තිබෙන බෙදීම්ය. කිසියම් පුද්ගලයකු සම්බන්ධයෙන් පියවර ගැනීමට එක් පාර්ශවයකට දැඩි වුවමනාවක් තිබුණ ද අනෙක් පාර්ශවය ඊට අකැමැතිය.

කෙසේවුව ද, රැලියේ ජන සහභාගීත්වය පිළිබදව රාජපක්ෂට තිබුණේ ද සැකයකි. මෙනිසා ඔහුට අවැසි වූයේ ජනතාව සුළු ප්‍රමාණයක් හෝ රැස්වුව ද එය විශාල ප්‍රමාණයක් ලෙස පෙනෙන අයුරින් ගාලුමුවදොර පිටිය මැදට වන්නට වේදිකාව ඉදිකර, එය දෙපසට ජනතාව එක්රැස් කිරීමට ය. එහෙත් පොලිසිය ඊට අකමැති විය. ඔවුන් දැඩිව කියා සිටියේ වේදිකාව පිටියේ එක් අන්තයක ඉදිකළ යුතුම බවය.

සදුදා රැය වන විට ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියේ ජන සහභාගීත්වය පිළිබදව ලැබුණු පුවත් හමුවේ රජයේ නායකයෝ තැතිගත්හ. අමුතුවෙන් නොකිව යුතු හේතු නිසාවෙන්ම නමින් තමන් හදුන්වාදෙනවාට අකමැති වූ එක්තරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයකු සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ මෙලෙසය.

“නොහිතපු විදිහට ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට අති විශාල ජනකායක් සහභාගී වෙලා හිටියා. ඒකෙන් පැහැදිලි වෙන්නේ ජනතාව අතර රජය විරෝධී හැගීමක් තිබෙනවාය කියන එක. අප එය පිළිගත යුතුම වෙනවා.

මේක ඇත්තටම අපට, අපේ ඉදිරි කටයුතු ගැන හොදට හිතන්න අවස්ථාවක්. මේ තත්ත්වය අප කිසිසේත්ම අවතක්සේරු කළ යුතු නැහැ. විශාල ජනසහභාගීත්වයක් තහවුරු කිරීමටත්, හොද මාධ්‍ය භාවිතයක් පවත්වාගැනීමටත් ඒකාබද්ධ විපක්ෂයට තිබෙන හැකියාවෙන් හොදින්ම පෙනී යනවා ඔවුන් සුළුකොට නොතැකිය යුතු බලවේගයක් බව. එක එක්කෙනා විවේචනය කරගන්නේ නැතිව දැන්වත් අපේ කට්ටිය එකතුවෙලා වැඩකළ යුතුව තිබෙනවා....“

මිනින්දෝරු ජනරාල් පී.එම්.පී. උදයකාන්ත මහතාට අනුව ගාලුමුවදොර පිටියේ (යාබද මාර්ග ද ඇතුළත්ව) මුළු වපසරිය අක්කර 18කි. එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය පැවැති කැම්බල් පිටියේ මුළු වපසරිය අක්කර 3කි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය පැවැති මහනුවර ගැටඹේ නගරසභා ක්‍රීඩාංගණයේ වපසරිය අක්කර 2.5කි. මේ අනුව එක් එක් රැලියට කොපමණ ජනතාවක් සහභාගීවන්නට ඇතිදැයි යම් අදහසක් ගත හැකිය. ඒකාබද්ධ විපක්ෂයට ගාලුමුවදොර පිටිය ලබාදීමේ අගමැති  - ජනපති යටි අරමුණ ද මෙයින්ම පැහැදිලි වේ.

රජයේ බුද්ධි අංශවල ඇස්තමේන්තුවලට අනුව ගාලුමුවදොර පිටියේ මැයි රැලියට ලක්ෂයකට අධික ජනතාවක් සහභාගීව ඇත. එය 2015 වසරේ ලෝක කතෝලික සභාවේ නායක ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ අංගයක් ලෙස උන්වහන්සේ ගාලුමුවදොර පිටියේ පැවැත්වූ විශේෂ දිව්‍ය පූජාවේ ජන සහභාගීත්වය පරදන තරමේ ප්‍රමාණයකි. දේව මෙහෙය අවස්ථාවේ ගාලුමුවදොර පිටිය ආසන්න මාර්ග උන්වහන්සේගේ ආරක්ෂක රථ වෙනුවෙන් වෙන්කර තිබූ අතර, ඒකාබද්ධ විපක්ෂ රැලිය අවස්ථාවේ දී එම මාර්ගය ද අත්පත් කරගෙන සිටියේ ජනතාවය. බුද්ධි අංශ ඇස්තමේන්තුවලට අනුව කැම්බල් පිටියේ එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ ජන සහභාගීත්වය 45000කට ආසන්නය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගැටඹේ රැලියේ ජන සහභාගීත්වය 40000ක් පමණය.

එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට ජන සහභාගීත්වය තහවුරු කිරීමට මනා වැඩපිළිවෙළක් දියත් කර තිබෙනු හදුනාගත හැකිවිය. රැලියට ජනතාව රැගෙන ආ බස්රථ සෑම එකකම සවිකර තිබුණේ එකම පාඨය රැගත් බැනරය. ඒවා වෙනස් වූයේ ජනතාව නියෝජනය කරන ප්‍රදේශයට අදාළ වන සංවිධායකවරයාගේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම්වලින් පමණක්ය. එසේවුවද මීගමුව ප්‍රදේශයෙන් පැමිණි බස්රථ රැසක ආසන අඩක්ම පාහේ හිස්ව තිබෙනු දැකගත හැකිවූ අතර එයට ප්‍රධානම හේතුව විය හැක්කේ එම බස්රථ කොළඹට පිවිසීම සදහා අධිවේගී මාර්ගය භාවිතා කිරීමය. අධිවේගී මාර්ගය භාවිතා කිරීම සදහා එම බස්රථවලින් ගාස්තු අයකිරීමක් සිදුනොවීය. කිසියම් හේතුවක් නිසා ඇතිවූ අසංවිධානාත්මක තත්ත්වයක් හමුවේ ගැටඹේ රැලියේ ජන සහභාගීත්වය අපේක්ෂිතව සිටි මට්ටමට වඩා අවම විය. පෙර අවස්ථාවක පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා ජනතාව ගෙන ඒමට තමා බස්රථ 2000ක් සදහා ගෙවීම් සිදුකළ බවට කර තිබූ ප්‍රකාශය පදනම් විරහිත බව ඒ හමුවේ පැහැදිලි විය. ඒ අයුරින්ම ඔහු කටයුතු කර තිබුණේ නම්, රජයට තමන් සන්තකයේ ඇති සම්පත් සලකන විට පහසුවෙන්ම ලක්ෂයකට අධික ජනතාවක් ගැටඹේ රැලියට සහභාගීකරවීමට හැකියාව තිබිණ. අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ මෙයයි.

රජයේ නායකයෝ කලබලයට පත්ව සිටින්නේ ගාලුමුවදොර පිටියේ ජන සහභාගීත්වය නිසා පමණක්ම නොවේ. රැලියක ඉහළ ජන සහභාගීත්වයකින් එම පක්ෂයට මැතිවරණයක දී හිමිවන ඡන්ද ප්‍රමාණය නිරූපණය නොවන බව එදා ඔවුන්ගේ මතය විය. එහෙත් පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අමාත්‍යවරයකු සදහන් කළ පරිදි රටේ රජය විරෝධී ජනමතයක් ඇතිවෙමින් තිබෙන පැහැදිලි සලකුණු දැන් හදුනාගත හැකිය. තවත් වචන වලින් කියතොත් සිරිසේන - වික්‍රමසිංහ දීගය ගැන ජනතාවගේ වැඩි මනාපයක් දැන් නැත. එමෙන්ම ජන පදනමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නින්දාවට ලක්වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැන් ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස එහි පදනම සකසා ගැනීමට සමත්ව සිටී. ඒ හමුවේ ජනපති සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පල්ලම් බැස ඇත. ඉදිරි සති කිහිපයේ සිදුකිරීමට සැලසුම් කර තිබෙන පක්ෂයේ ආසන සංවිධායකයන් මාරු කිරීමේ කටයුතුවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දී තිබෙන මෙම තත්ත්වය බැරෑරුම් ලෙස සැළකිල්ලට ගැනෙනු දැකගත හැකිවනු ඇත. උද්ගතව තිබෙන අර්බුදය හමුවේ එක්සත් ජාතික පක්ෂයට ශක්තිමත්ව සිටීමට හැකිනම්, අභ්‍යන්තර ගැටලුවලට සාර්ථකව මුහුණදිය හැකිනම්, වත්මන් දේශපාලන කෙත් ඵලදාව නෙළා ගනු ඇත්තේ ඔවුන්ය.

ගාලුමුවදොර රැලියට ජනතාව පැමිණ සිටියේ පෞද්ගලිකව කුලියට ගෙන තිබූ බස්රථවල සහ වෙනත් කුඩා වාහනවලිනි. රජයේ වාහන කුලියට ලබාගැනීම සදහා අවකාශයක් ඒකාබද්ධ විපක්ෂයට නොතිබීමට මෙයට හේතුව විය. ඒකාබද්ධ විපක්ෂයේ නැගීම හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද කලබලයට පත්ව සිටිති. ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පෞද්ගලිකව අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට පක්ෂ නායකත්වය හමුවීමට පවා අවස්ථාව නොලැබෙන බවය. මේ අතර හිටපු රජයේ ඉහළ අමාත්‍යාංශයක් හෙබ වූ, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු ඔහුගේ හිතෛෂීන් සමග පසුගිය සතියේ කියා තිබුණේ උද්ගතව තිබෙන තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් තමා දේශපාලනයෙන් ඉවත්වන බවය.

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට රජය දැක්වූ ප්‍රතිචාරය කිසිවකුත් අපේක්ෂා නොකළ මට්ටමේ විය. රාජපක්ෂගේ ආරක්ෂාව තහවුරු කිරීමට අගමැති වික්‍රමසිංහට වුවමනා වූවා නම්, ජනපති සිරිසේන අනුගමනය කළේ ඊට හාත්පසින්ම වෙනස් පිළිවෙතකි. රාජපක්ෂගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි නියෝජ්‍ය පොලිස් සාමාන්‍යාධිකාරවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 42 දෙනකු ඉවත් කිරීමට ජනපතිවරයා කටයුතු කළේය.

“ඇමැති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා ලිපියක් එවා තිබුණා පොලිස් නිලධාරීන් ඉවත් කරගන්නා බව දන්වලා. ලියුම ආවේ අගහරුවාදා සවස පහත් පහුවෙලා. පහුවෙනිදා උදේ නවය වෙනකොට මගේ ආරක්ෂක කටයුතුවලින් ඉවත් වෙන ලෙස එම නිලධාරීන්ට දන්වලා තිබුණා. මම මගේ පෞද්ගලික ආරක්ෂක කටයුතු ගැන ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න කැමැති නැහැ. ඒත් මැයි දිනයට පස්සේ මගේ ජීවිතයට තියෙන තර්ජන අඩුවෙලා කියලා රජය තීරණය කළේ නොහොම ද? මට නම් තේරෙන්නේ නැහැ. එකම දෙය මේ නම් දේශපාලන පළිගැනීමක් තමයි.“ හිටපු ජනපතිවරයා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.

ගාලුමුවදොර පිටියේ මැයි රැලිය පසුගිය අගහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ ප්‍රධාන මාතෘකාව විය. එය මෙහෙයවූයේ ජනපති සිරිසේනය. අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියේ දී තමා පිළිබද සදහන් කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නොමනා අදහස් දැක්වීමක නිරතව තිබෙන බවට චෝදනා කළේය. අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙන බව ජනපතිවරයාගේ අවධානයට ලක්විය.

කැම්බල් පිටියේ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් රාජිත සේනාරත්න පවසා සිටියේ මෙයයි.
“මේ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍ය බලතල සරත් ෆොන්සේකාට ලබාදෙන බව ජනපතිවරයා මෑතක දී පවසා තිබෙනවා. එන්නේ සරත් කියලා දැනගත්තහම, රාජපක්ෂලා බය වුණා. ඒ එක්කම ඉන්නවා ජෝන්. අපේ ජෝන් අමරතුංග නෙවෙයි. මම මේ කියන්නේ අනෙක් පැත්තේ ඉන්න ජෝන් ගැන. එයා කලබල වුණා. ඊට පස්සේ එයා යනවා රත්නපුර. ගිහිල්ලා කියනවා තවත් මාසයකින් මහින්ද එක්ක එකතුවෙන බව. එයා කැබිනට්ටුවට එනවා. ඒත් එක කකුලක් තියාගෙන ඉන්නේ අනෙක් පැත්තේ. අපි ඒ වගේ අය සම්බන්ධයෙන් කටයුතු කරනවා..“

සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය මෙවැනි විය.
“කොටි සංවිධානය පරාජය කරලා සති දෙකක් ගියාට පස්සේ යුද අපරාධ චෝදනා ලබලා ඉන්න අයට දඬුවම් කරන බවට එදා එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් එක්ක රාජපක්ෂ එකගතාවකට පැමිණියා. ඊට පස්සේ එයා කියන්න ගත්තා ආරක්ෂක අංශවල එක සාමාජිකයෙකුට හරි යුද අපරාධ චෝදනා එල්ල කළොත් තමන්ම විදුලි පුටුවට යනවා කියලා. ඒ කරපු ද්‍රෝහිකම්වලට හරිනම් විදුලි පුටුවට නෙවේ යවන්න ඕනෑ. රාජපක්ෂ එල්ලන්න ඕනේ. එයාගේ සාටකයෙන්ම.“

රාජපක්ෂ සමග හෝ එම කණ්ඩායම සමග හෝ තමාට කිසිදු සබදතාවක් නොමැති බව ජෝන් සෙනෙවිරත්න පැවසුවේ ය. සේනාරත්නගේ ප්‍රකාශය පදනම් විරහිත බවත් තමා සිටින්නේ රජය සමග බවත් ඔහු අවධාරණය කළේය. මාස කිහිපයකට පෙර සිදුකරන ලද හෘද සැත්කමක් සම්බන්ධයෙන් පසුවිපරමක් සිදුකිරීම සදහා සිංගප්පූරුව බලා ගොස් සිටි බැවින් සේනාරත්න කැබිනට් හමුවට සහභාගීව නොසිටියේ ය. අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද අදහස් දක්වමින් පෞද්ගලික මට්ටමෙන් එල්ල කෙරෙන ප්‍රහාර වහාම නැවතිය යුතුව තිබෙන බව පැවසුවේය. එහිදී හඬ අවදි කළ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා, රජයේ අවධානය රාජපක්ෂ කෙරේ නොව කළ යුතුව තිබෙන දේ ගැන පමණක් යොමුවිය යුතු බව පෙන්වා දුන්නේය.

සෙනෙවිරත්නගේ අදහස් දැක්වීම හමුවේ ගාලුමුවදොර රැලිය සම්බන්ධයෙන් ඒ වන විටත් සිතුවිලි අතර පැටලී සිටි ජනපති සිරිසේන තවත් සිත්තැවුලට පත්විය. රජයේ ප්‍රධාන පාර්ශව දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම මෙලෙස එකිනෙකාට චෝදනා නගා ගනිමින් සිටිනු ඇතැයි ඔහු බිය විය.

සමරවීර හා එකගවෙමින් අදහස් දැක්වූ ජනපතිවරයා එකිනෙකා විවේචනය කිරීමෙන් අත්වන කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව අවධාරණය කළේය. වත්මන් රජය ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් බවත්, එකිනෙකා විවේචනය කරගැනීමෙන් සිදුවන්නේ මහින්ද රාජපක්ෂ කදවුර තවත් ශක්තිමත් වීම බවත් ඔහු කීවේය.

ගැටඹේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට සැලකිය යුතු ජනතාවක් සහභාගීව සිටි බව ජනපතිවරයා පැවසුවේය. පසුගිය වසරේ ගාල්ලේ පැවැති මැයි රැලියට වඩා වැඩි ජනතාවක් මෙවර සහභාගීව සිටි බව ඔහුගේ අදහස විය. සමරවීර අදහස් දක්වමින් මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට ද පසුගිය වසරට වඩා වැඩි ජනතාවක් සහභාගීව සිටි බව කීවේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට අතිවිශාල ජනතාවක් පැමිණි බවත්, රැස්වීම පැවැත්වෙන අතරවාරයේ පවා අන්ත දෙකකින් ජනතාව රැස්වීම් භූමියට පැමිණි බවත්, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ ය. අනතුරුව නැවත වරක් හඩ අවදි කළ ජනපතිවරයා, සේනාරත්න සහ ෆොන්සේකා යන අමාත්‍යවරුන් දෙපළගේ ප්‍රකාශ ගැන තමා අතිශයින් කනගාටු වන බව කියා සිටියේ ය. වහාම හඩ අවදි කළ එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා, තමන් හෝ තම පක්ෂය හෝ එම අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ වෙනුවෙන් පෙනී නොසිටින බව අවධාරණය කළේ ය. සිත් රිදවීමක් සිදුවිණි නම් පක්ෂය වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බව සමරවික්‍රම පැවසුවේ ය. එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මණ්ඩල හමුවේ දී සමරවික්‍රම මෙම කරුණ ඉස්මතු කළේ ය. ඒ දක්වාම සේනාරත්නට හා ෆොන්සේකාට ඔවුන්ගේ ප්‍රකාශ හමුවේ උද්ගතව තිබූ තත්ත්වය පිළිබද දැනුම් දීමක් සිදුකර නොතිබිණි.

එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කවුන්සිලයක් දෙපාර්ශවය අතර ඇති වෙනස්කම් හා ගැටලු පිළිබද සාකච්ඡා කරන බව ජනපති සිරිසේන දනී. මෙම සාකච්ඡා ඇතැම් අවස්ථාවල දී දෙපාර්ශවයම එකග නොවන ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් ද පැවැත්වේ. ඊට අමතරව ජනපතිවරයා සෑම කැබිනට් මණ්ඩල රැස්වීමකට පෙරම අගමැති වික්‍රමසිංහ හමුව සාකච්ඡාවක යෙදේ. දැන් ජනපතිවරයාගේ වුවමනාව වන්නේ තෙවැනි යාන්ත්‍රණයක් ද මේ අතරට ගෙන ඒමය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් අතර රැස්වීම් පැවැත්වීම ඔහුගේ සැලැස්මයි. මෙලෙස රැස්වීම් පැවැත්වීමෙන් දෙපාර්ශ්වය අතර ගැටලු හදුනාගැනීමටත්, ඒවාට විසදුම් සොයාගැනීමටත් මනා අවකාශයක් ලැබෙනු ඇතැයි ජනපතිවරයාගේ විශ්වාසයයි. වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් අතර රැස්වීම් පැවැත්වෙනුයේ වෙන වෙනමය.

රටේ නැගෙමින් පවතින වැඩ වර්ජන රැල්ල පිළිබදව අදහස් දැක්වූ අමාත්‍ය සරත් ෆොන්සේකා, එවන් කටයුතු පිළිබදව අධ්‍යයනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල උපකමිටුවක් පිහිටුවීම සුදුසු බවත්, එහි සාමාජිකයකු හෝ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට තමා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන බව කියා සිටියේ ය. එයට පිළිතුරු දුන් ජනපතිවරයා එසේ නොව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරු හෙබවීමට කැමැතිදැයි ෆොන්සේකාගෙන් විමසා සිටියේ ය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර හොබවන්නේ ආරක්ෂක අංශ වල ජ්‍යෙෂ්ඨතම හා උසස්ම සාමාජිකයා වන අතර, ඔහු යටතට යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ මෙහෙයුම් කටයුතුවල අවශ්‍යතාව අනුව පොලිසිය ද, අයත්ය. අතීතයේ කිසිදු අවස්ථාවක දේශපාලනඥයකුට මෙම තනතුර ලබා දී නැත.

විහිළුවක් පමණක් විය හැකි වුව ද, එසේ නොවිය හැකි වුව ද, ජනපතිවරයාගේ අදහස වන්නේ ආන්දෝලනාත්මක චරිතයක් වන හිටපු හමුදාපතිවරයා ලවා හෝ වැඩ වර්ජන, උද්ඝෝෂණ සහ එම කටයුතු මෙහෙයවන පුද්ගලයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම බව පෙනී ගියේ ය. අනතුරුව ගැනුණු පියවර කිහිපය සැලකීමේ දී ජනපතිවරයාගේ ප්‍රකාශය විහිළුවක්ම නොවන බව පැහැදිලි විය. අමාත්‍යවරුන්ගෙන් සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවත් ඇති කිරීමට අමාත්‍ය මණ්ඩලය අවසානයේ තීරණය කළේ ය. එයට පත්වන්නේ කවුරුන් ද යන්න ජනපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදේශනය යටතේ තීරණය කැරෙනු ඇත. වැඩ වර්ජන අවස්ථාවක දී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගැනීම මෙම කමිටුවේ වගකීමයි. පසුගිය සෙනසුරාදා පැවැති පුවත්පත් සාකච්ඡාවක දී අමාත්‍ය මහින්ද සමරසිංහ මෙම කමිටුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කළ අතර, කමිටුව සදහා තවමත් නමක් හදුන්වා දී නොමැති බවද ඔහු කීවේ ය.

එහෙත් රාජිත සේනාරත්න තවත් දුරකට ගියේ ය. කැබිනට් මණ්ඩල හමුවෙන් පසු පැවැති මාධ්‍ය හමුවේ දී සරත් ෆොන්සේකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කිරීමට තීරණය කෙරුණු බව ඔහු කියා සිටියේ ය. ෆොන්සේකා ද මෙය සැබෑවක් ලෙස සැලකූ බව පෙනී ගියේ වැඩ වර්ජන හා උද්ඝෝෂණ වැනි ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුදුස්සා ලෙස ඔහු තමන්වම මාධ්‍ය ඔස්සේ හදුන්වාදීමට පටන් ගත් නිසාය.

මෙයත් සමග ආරක්ෂක අංශ, පොලිසිය, කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සහ විපක්ෂ දේශපාලන පක්ෂ අන්දුන්කුන්දුන් විය. බොහෝ දෙනා එය යහපත් තීරණයක් ලෙස නොසැලකූහ. එහෙත් කිවයුතුම දෙයක් ඇත. එනම් එදා එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කළ පසු මහින්ද රාජපක්ෂ රජය සරත් ෆොන්සේකා හදුන්වාදුන්නේ ලොව හොදම හමුදාපතිවරයා ලෙස බවය.

ජනපති සිරිසේන ද සරත් ෆොන්සේකා ලෝක වාර්තාවක තත්ත්වයට ගෙන ගොස් තිබෙන බව දන්නෝ අල්පය. ෆීල්ඞ් මාර්ෂල් තනතුරක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන ලොව එකම පුද්ගලයා වන්නේ ඔහුය. වෙනත් කිසිදු ප්‍රජානත්ත්‍රවාදී රටක මෙවැනි තනතුරක් නොමැත.
කැබිනට් මණ්ඩල හමුව අවසන් වූ වහාම අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් කැදවූයේ ය. රැස්වීම පැවැත්වුණේ අරලියගහ මන්දිරයේය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළකර තිබූ අදහස් සම්බන්ධයෙන් විමසුමක යෙදීම මෙම රැස්වීමේ අරමුණ විය.

රාජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතා පළමුවෙන්ම අදහස් දැක්වූයේ ය. පක්ෂය කිසිදු අයුරකින් සූදානම්ව නොසිටි බව ඔහු කීවේ ය. මේ දක්වාම කිසිදු සංවර්ධන කටයුත්තක් හෝ, මැතිවරණ කොට්ඨාස මට්ටමින් රැකියා ලබාදීමක් හෝ සිදුව නොමැති බව ඔහු පෙන්වා දුන්නේ ය. නිසි ක්‍රමවේදයක් තිබුණි නම් මැයි රැලියට ජනතාව කැදවාගෙන ඒමේ කිසිදු ගැටලුවක් නොමැති බව පැවසූ ඔහු, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයක් පවතී ද, නොපවතී ද යන්න පවා තමා දැන් නොදන්නා බව කීවේ ය. මැයි රැලියේ ඡායාරූප පවා ඉතා ප්‍රාථමික මට්ටමේ පවතින බව පැවසූ ඔහු මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් පරාජය වීමට දැන් තියාම සූදානම් වී සිටිම සුදුසු බව පැවසුවේ ය. රාජපක්ෂ නැවත වරක් ජයග්‍රහණය කළහොත් එහි ප්‍රතිවිපාක සියලුම දෙනාට විදින්නට වනු ඇති බව ඔහු අවධාරණය කළේය.

වැරැදි දේ ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටිය යුතු බව හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ ය. දස ලක්ෂ ගණනක් රැකියා ලබාදෙන පවසා බලයට පත්වුව ද අඩුම තරමේ රැකියා 10ක්වත් ලබාදීමට පක්ෂයට නොහැකිව තිබෙන බව ඔහු කීවේ ය. තමා කනගාටුවට පත්ව සිටින බවත්, නමුත් පක්ෂය තවමත් පරාජයට පත්ව නොමැති බවත්, සුජීව සේනසිංහ මහතා පැවසුවේ ය.

“මැතිවරණය පරාද වේවි කියලා අපි බයවෙලා ඉන්නේ,“ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා කීවේ ය. ඒ ඇසූ අගමැති වික්‍රමසිංහ අතිශයින් කෝපයට පත්විය. බයවෙලා නම් ඉන්නේ තවත් බලන් ඉන්න එපා. ඔයාට දැන්ම යන්න පුළුවන්. ඔහු පැවසුවේ ය. ගාලුමුවදොරට අති විශාල ජනතාවක් පැමිණි බව සියයට සියයක්ම පිළිගත යුතුව ඇති බවත්, රාජපක්ෂ කිසිසේත්ම අවතක්සේරු නොකළ යුතු බවත්, විදේශ අමාත්‍ය මංගල සමරවීර එහිදී පැවසුවේය. “අපි බය විය යුතු නැහැ,“ යැයි කී ඔහු, විපක්ෂය රජය අර්බුදයකට තල්ලු කිරීමේ ව්‍යායාමයක නිරතව සිටින බව පැවසුවේ ය. එවන් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාකාරකම්වලට පිළිතුරු දිය යුත්තේ සැළසුමක් හා අරමුණක් ඇතිව වැඩ කිරීමෙන් බව සමරවීර අවධාරණය කළේය. ඔහුගේ ප්‍රකාශය අවසන්වත්ම මහත් අත්පොළසන් හඩක් නැගිණි.

ඒකාබද්ධ විපක්ෂ මැයි රැලියේ ජන සහභාගීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන බවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා සන්ඬේ ටයිම්ස් වෙත පොරොන්දුවී සිටිය ද, අදහස් විමසීම සදහා ඔහුව සම්බන්ධ කරගැනීමට නොහැකි විය. දුරකතන ඇමතුම්වලට හා කෙටි පණිවුඩවලට ඔහු පිළිතුරු දුන්නේ ද නැත. එහෙත් එක්සත් ජාතික පක්ෂ නායකයා සිටියේ උද්යෝගයෙනි. ඕනෑම මැතිවරණයකට මුහුණදීමේ ශක්තිය එක්සත් ජාතික පක්ෂය සතුව ඇති බව කී ඔහු, ජනතාව රජය වෙත තවත් කාලය ලබාදිය යුතුව තිබෙන බව කීවේ ය. ආර්ථිකය නගා සිටුවීමට රජයට නොහැකි වනු ඇතැයි රාජපක්ෂවරුන් සිතා සිටි බවත්, වෙසක් පොහෝ දින දෙකේ දී, සියවස් දෙකකටවත් රාජපක්ෂවරුන්ට ළගාකර ගත නොහැකි තරමේ බලයක් තමා රට වෙනුවෙන් දිනා දෙන බවත්, අගමැතිවරයා පැවසුවේ ය.

හැකිනම් ගාලුමුවදොර පිටිය පුරවා පෙන්වන ලෙස රජය තමාට අභියෝග කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවසුවේ ය.

“අපි ඒ අභියෝගය බාරගත්තා. ඒ වගේම පෙන්නුවා අපට ඒක කරන්න පුළුවන් බව. සිංහල ජනතාව, මුස්ලිම් හා දෙමළ ජනතාව එක්ක එකතුවෙලා සාමයෙන් සහ සහයෝගයෙන් අපේ රැලියට සහභාගීවෙලා හිටපු ආකාරය දැකලා මම ඇත්තටම සතුටු වුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, ගණකාධිකාරවරුන්, ඇතුලුව සමාජයේ පුළුල් පැතිකඩක් නියෝජනය කරමින් ජනතාව අපේ රැලියට සහභාගීවෙලා හිටියා. එයින් පෙනෙනවා රජය ඔවුන්ට දැරිය නොහැකි තරමේ බර පටවා තිබෙන බව. ආර්ථිකය ඉතා දරුණු මට්ටමක තිබෙන බව.“
“හරිනම් රජය මගේ අභියෝගය පිළිගෙන පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්විය යුතුයි. ඒත් ඔවුන් එය කරන්නේ නැහැ. අපි ඉල්ලීම කරනකොට ඔවුන් වෙව්ලනවා. ඒ මදිවට රජය රටේ ජාතික සම්පත්, මිීට ඉස්සෙල්ලා අහන්න දකින්න නොලැබුණු තරමින් විකුණමින් ඉන්නවා.“ යැයි ඔහු වැඩිදුරටත් කිවේ ය.

ගාලුමුවදොර ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියේ ජන සහභාගීත්වය අරබයා එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොසන්සුන්ව සිටින බව පැහැදිලිය. එය එම පක්ෂවල සාමාජිකයන් දක්වන අදහස්වලින්ම පැහැදිලිව දැකගත හැකිය.

වහාම ගතයුතු පියවර රැසක් දැන් ජනපති සිරිසේන අභිමුඛයෙහි ඇත. කැබිනට් මණ්ඩල තනතුරු වෙනසක් සහ රාජ්‍ය ආයනත තනතුරු වෙනසක් සිදුකිරීම ඒ අතරින් ප්‍රධානය. සති දෙකට පෙර පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ ඔහු කියා සිටියේ වෙසක් පොහොය දිනට පෙර එම වෙනස්කම් සිදුකිරීමට තමන් කටයුතු කරන බවය. වෙසක් උත්සවය බදාදා සහ බ්‍රහස්පතින්දා යෙදී තිබෙන මෙම සතියේ, පොරොන්දු වූ ආකාරයටම කැබිනට් මණ්ඩල තනතුරු වෙනසක් සිදුකරන්නේ නම් ඒ සදහා ජනපතිවරයාට ඇත්තේ අද (සදුදා) සහ හෙට (අගහරුවාදා) දින දෙක පමණකි. එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය මත මෙවර වෙසක් උත්සවය අරබයා අන්තර්ජාතික සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබිය දී සහ, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සහභාගීවීමට තිබිය දී, ජනපතිවරයා කැබිනට් මණ්ඩල වෙනසක් සිදුකරනු ඇතිදැයි ගැටලුවකි. පවත්නා තත්ත්වය හමුවේ ඔහු එවැනි පියවරක් අනුගමනය නොකරනු ඇතැයි රජයේ ඇතැම් පාර්ශවයන්ගේ මතයයි.

කැබිනට් වෙනසක් සිදුකිරීමට ජනපතිවරයාට තිබූ අවශ්‍යතාව මැයි දින රැලියට පෙර සිටම තිබූවකි. එහි අරමුණ ද පැහැදිලිය. ඇතැම් අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය ගැටලු සහගත වීමත්, වංචා හා දුෂණ චෝදනා නැගී තිබීමත්, ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව එවන් චංචා හා දුෂණ චෝදනා එල්ලවී තිබෙන පුද්ගලයන් පිළිබදව නිසි පියවර ගැනීම සිදුකළ යුතු වීමත්, ජනපතිවරයා කැබිනට් මණ්ඩල වෙනසක් සිදුකිරීමට ගත් තීරණය පසුපස ඇති ප්‍රධාන හේතු කාරණාය.

ගැටඹේ මැයි දින රැලියේ දී, ජනපතිවරයා තම නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට පත්ව ඇති බව කිවේ ය. එදා තමා අමාත්‍ය මණ්ඩල සාමාජිකයකුව සිටිය දී තිබුණේ හඩ වසා තිබූ අමාත්‍ය මණ්ඩලයක් බවත්, අද එවැනි තත්ත්වයක් නොමැති බවත් ඔහු පැවසුවේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් රජවරුන්ගේ හෝ කුමාරවරුන්ගේ හෝ පක්ෂයක් නොවන තැනට තමන් පත්කර තිබෙන බව ජනපති සිරිසේන කීවේ ය. වංචාවෙන් හා දුෂණයෙන් තොරව, දේශීය දැක්මක් යටතේ, පිරිසුදු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස, ඉදිරියට යාම යන මූලික හරයන් මත දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියාත්මක වන බව ජනපතිවරයා පැවසුවේ ය.

ජනපතිවරයා අත තිබෙන අනෙක් වැදගත් වගකීම වන්නේ දරාගත හැකි ණය බරක් පවත්වාගැනීම සදහා සිදුකළ යුතු ආර්ථිකමය වෙනස්කම් හා සංශෝධනය. මෙම වෙනස්කම් හා සංශෝධන මධ්‍ය කාලීන සිට දීර්ඝ කාලීන සැළසුම් යන ස්වරූපයන්ගෙන් වන අතර, ඒවා බොහෝමයක් රජයේ දේශපාලනික ජනප්‍රියත්වයට හානිදායකය. ඒ හමුවේ උපායමාර්ගික නොවන, පූර්ණ වශයෙන් භාවිතයට ගෙන නොමැති රාජ්‍ය සම්පත් විකිණීම විකල්පයක් ලෙස ගතහැකි වුවත් එය තවත් අතිශය ආන්දෝලනාත්මක ක්ෂේත්‍රයකි. මහ බැංකුවේ මහජන ණය දෙපාර්තමේන්තුවට අනුව 2020 වසර දක්වා වසරකට ඩොලර් බිලියන 4කට වැඩි මුදලක් ණය ලෙස ගෙවිය යුතුය.

සමස්තයක් වශයෙන් ගත්විට සිරිසේන - වික්‍රමසිංහ රජයට එල්ල වන අභියෝගවල වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නොමැත. ආර්ථිකය සංවර්ධනය කිරීම සමගම ජනතාවගේ සිත දිනාගැනීම කෙරෙහි රජයේ වැඩි අවධානය යොමුවනු ඇති බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත. ගැටලුව වන්නේ මෙම අන්ත දෙක අතර පරතරය කොයි තරම් දුරකට පටු කිරීමට පවත්නා තත්ත්වය යටතේ රජයට හැකිවේද යන්නය.

 



අදහස් (4)

මැයි රැලි

thilina Monday, 08 May 2017 08:52 AM

ඉතාමත් නිවැරුදි විග්‍රහයක් .... දවසින් දවස වල පල්ලට යන රටක ඛේදාන්තය තමයි..

:       0       510

මංගල Monday, 08 May 2017 11:15 AM

රනිල් මහත්තයාට හැඟීමක් නැහැ. එහෙම එකක් ගෑවිලාවත් තියෙනවානම් තමන්ගෙ පක්ෂය වෙනුවෙන් රස්සාවල් නැතිකරගත්තු රාජ්‍ය සහ අර්ධ පෙෳද්ගලික ආයතනවල සේවකයින්ගේ දේශපාලන පලිගැනීම් වලට විසඳුම් දෙන්න මෙච්චර ප්‍රමාද වෙන්නේ නැහැ.

:       0       22

Chandra Tuesday, 09 May 2017 01:18 AM

රුපියල් 2000.00 දීල සෙනග ඇද්දේ කව්ද ? කාටද මෙච්චර සල්ලි තියෙන්නේ ? ඇයි මේවා ගැන අවදානය යොමු කරන්නේ නැත්තේ ?

:       10       0

achira Thursday, 11 May 2017 06:04 PM

තණ්හාව නම් හොඳ නෑ.. මහින්ද මහත්තයාට නම් දෙයියන්ගේම පිහිටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 146 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1146 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site