IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මෙහෙන් කවුරු හරි ගියොත් එහෙන් එන්නත් අය ඉන්නවා

සංවාද සටහන-  බිඟුන් මේනක ගමගේ

සංවත්සරයෙන් පසු ශ්‍රීලනිපය, කැරැලි ගසන්නන්ට එරෙහි පියවර, එජනිස ඉරණම, ඒකාබද්ධයේ අභියෝග, ආණ්ඩුවෙන් යන ඇමැතිවරු, නව ව්‍යවස්ථාව හා ශ්‍රීලනිප නිලධාරි මණ්ඩලයට එල්ල වන විවේචන ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතායි.

ප්‍රශ්නය - මෛත්‍රී මහින්ද ලෙස දෙපිල බෙදී තමයි 66 වැනි සංවත්සරයත් සැමරුණේ. දැන් පක්ෂ ප්‍රතිසංවිධානය කරන්නේ පක්ෂෙ දෙකට කඩාගෙන නේද?
පිළිතුර - මුලදී ඔවුන් දිගින් දිගටම කිව්වේ සංවත්සරයට ආරාධනා නොලැබුණා කියලයි. හැබැයි අපි පහුගිය 31 වැනිදා හිටපු ජනාධිපතිවරයාට අතේ ගෙනිහිනුත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට කුරියර් සේවයෙනුත් දෙවැනි වරටත් ආරාධනා පත් යොමු කළා. ඊටත් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට සහභාගී නොවෙනවා නම් එය ඔවුන්ගේ කැමැත්තයි. කැමැති නම් එන්න පුළුවන් වගේම අකැමැති නම් නෑවිත් ඉන්නත් පුළුවන්. එහෙත් ශ්‍රීලනිපය විදියට පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පටන්ගන්න මීට පස්සේ අපි සූදානම්.


ප්‍රශ්නය - පක්ෂ ප්‍රතිසංවිධානය කරන්නේ කාත් එක්කද?
පිළිතුර - අපි ප්‍රතිසංවිධාන කටයුතු කළයුත්තේ පක්ෂය සමඟ සිටින පිරිස සමඟයි.

ප්‍රශ්නය - පක්ෂය සමඟ නොසිටින පිරිසට වෙන්නෙ මොකද්ද?
පිළිතුර - පැහැදිලිවම ඔවුන් සම්බන්ධයෙන් පක්ෂ ව්‍යවස්ථාවට අනුව විනය පියවර ගැනීමට සිදුවෙනවා.

ප්‍රශ්නය -  හැබැයි ඔය කියන විනය පියවර පහුගිය කාලය පුරාම සෘජුව ගෙන නැති බව පේනවා?
පිළිතුර - එහෙම නෑ. පක්ෂ නායකත්වය ගත යුතු තැන නිසි පියවර ගෙන තිබෙනවා.

ප්‍රශ්නය - උදාහරණයකට සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විනය කමිටුවෙන් වැරැදිකරු කළත් ඊට අදාළ නෛතික ලියැවිල්ලට අස්සන යොදන්නේ නෑ. ඒක බොරුවක්ද?
පිළිතුර - පැහැදිලිවම මේ වෙනකොට වාර්තාවක් නිකුත් වෙලා නෑ. ඒ වාර්තාව තාම අපිට ලැබිලා නෑ. මාධ්‍ය මගින් වැරැදි ප්‍රචාරයක් තමයි එලියට ගිහින් තිබුණේ. අපට ඒ විනය කමිටුවේ වාර්තාව ලැබෙන්නේ අනිද්දායි. මට එය ලැබුණාම ඒක මධ්‍යම කමිටුවට ඉදිරිපත් කර එතැනින් තීන්දුව ගන්නවා.  

ප්‍රශ්නය - එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ එයින් ඉවත්වීමේ සූදානමක් තිබෙනවා. එවිට දේශපාලන වශයෙන් ඉතිරි වන සන්ධානය කෙබඳුද?
පිළිතුර -  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ කිසිවක් නිල වශයෙන් එවැනි ඉවත්වීමක් ගැන දැනුම් දී නෑ. හැබැයි අලුතින් අපිත් එක්ක එකතුවෙන්න නම් බොහෝ පාර්ශ්ව සාකච්ඡා කළා. මේ වෙනකොට රටේ අලුත්ම වැඬේ නිව්ස් ප්ලාන්ට් කරන එක. එක්කෝ පත්තරේක පොඩි නිව්ස් එකක් දාගන්නවා. නැත්නම් මයික් හතරක් පහක් දාගෙන මේ රටේවත් වෙලා නැති දෙයක් ගැන කට් එකක් දෙනවා. ඊට පහුවැනිදා පටන් ජනතාවත් ඒක ගැන කතාකරන්න ගන්නවා. අද රටේ තැන තිබෙන්නේ ප්ලාන්ට් කරපු නිව්ස්වලට.


ප්‍රශ්නය - පළාත් පාලන මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා නැතිව තරග කර එකම ඡන්ද කොට්ඨාසයක් හෝ ජයග්‍රහණය කර පෙන්වන්නැයි ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ට අභියෝග කරනවා. බාරගන්නවද?
පිළිතුර - මේ අයට වැරදිලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මන්ත්‍රීවරු දිනවන්නේ කියලා මේ අය හිතනවා. මේක ප්‍රායෝගික කාරණයක් නෙවෙයිනෙ. මහින්ද රාජපක්ෂ මහත්තයට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ හයිය තිබුණා. හැබැයි කොහොමද ඒ හයිය ලැබුණේ? ජනාධිපතිවරණයෙන් පැරදුණු මහින්ද මහත්තයාට අගමැති වෙන්න අවස්ථාව තිබුණා. මහින්දවාදියෝ ටිකක් පාර්ලිමේන්තුවට ආවොත් තමයි මට අගමැති වෙන්න පුළුවන් කියලා මහින්ද මහත්තයා කල්පනා කළා. එතකොට මෛත්‍රීවාදින් ආවොත් බෑ. ඒ නිසා මහින්ද මහත්තයා වේදිකාවෙදි හිතාමතාම දින සීයේ ආණ්ඩුවේ කටයුතු කළ හා මෛත්‍රීවාදින් යැයි විශ්වාස කළ හැකි සියලු දෙනා පරාජය කිරීමට වැඩ කළා. කට්ටියගෙ නම් කියද්දී දින සීයෙ එක්කෙනාගෙ නම එයාට අමතක වෙනවා. වේදිකාවට නගිද්දී හූව එනවා. එයා ඉතින් මගෙත් නෙවෙයිනේ වගේ කතා කියනවා. ඔහු තමන්ගෙ ජය වෙනුවෙන් කණ්ඩායමක් හැදුවා වගේම කණ්ඩායමක් පැරැද්දුවා. ඒක ඇත්ත. හැබැයි ප්‍රාදේශීය සභාවකට මහින්ද මහත්තයගෙ මිනිහෙක් දාලා මොනවා කරන්නද? එයාට ආණ්ඩුවක් තියෙනවාද? අනාගතයේ ආණ්ඩුවක් හදන්න පුළුවන් ද? මහින්ද මහත්තයට ජනාධිපති වෙන්න පුළුවන් ද? ප්‍රාදේශීය සභාවකින් ගමට නායකයෙක් අපි හදාගන්න යන්නේ පඩියක් දීලා නමක් දීලා මිනිහෙක් හදන්න නෙවෙයිනෙ. ඒ ගමට වැඩක් කරන්නයි. ගමට වැඩක් කරන්න නම් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප හෝ එජාප මන්ත්‍රීවරයෙක් පත් කරගත යුතුයි. එහෙම නැතිව වෙන කිසිම පක්ෂෙක කෙනෙක් පත්කළාට ගමේ සංවර්ධනයක් කරගන්න පුළුවන් කමක් නෑ. එතුමා අභියෝග කරනවා නම් ශ්‍රීලනිපය හැටියට අපි එය බාරගන්නවා.

ප්‍රශ්නය - ඔබ හිතන්නේ මෙය පහසු අභියෝගයක් කියලද?
පිළිතුර - මහින්ද රාජපක්ෂ මහතා නැතිව ජයග්‍රහණය කරන්න බෑ යැයි කියනවනෙ. දැන් ඕකම අනෙක් පැත්තට අරන් බලන්න. බැරි වෙලාවත් මහින්ද රාජපක්ෂ මහත්තයා ලෙඩ වුණොත් මළොත් මොකද වෙන්නේ? මේක කියන්න ඕනෑ. අපිට හොඳ පිට කොන්දක් තියෙනවා. ශ්‍රීලනිපයේ අපිට මාකට් කරන්න වෙන දේවල් ඕන නෑ.

අපි දේශපාලනය කරන්නේ ප්‍රතිපත්ති එක්කයි. ඔය කතා කරන බොහෝ දෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ජනප්‍රියත්වය එක්ක එලියට බැහැලා තියෙනවා මිසක් කෝ එතැන ප්‍රතිපත්තියක්? වැඩපිළිවෙලක්? කිසිම දෙයක් නෑ. නායකයෝ නැතිවෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. අලුත් වෙන්න පුළුවන්. ඒත් පක්ෂෙට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ.


ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ නමැති චරිතය දේශපාලන නායකත්වයක් දෙන තත්ත්වයක් තුළ කරට කර සටනක් දිය හැකිද?
පිළිතුර - මහින්ද මහත්තයා නැතිව දිනන්න බෑ කියලා ඔය හැමෝම හිතන් ඉන්නවනෙ. මේ දුමින්ද දිසානායක අගෝස්තු 17 මහින්ද මහත්තයා අගමැති කරනවා කියලා ඡන්දෙ ඉල්ලුවෙ නෑ. 2014 නොවැම්බර් 21 දරපු මතය තමයි අදත් දරන්නේ. මම ශ්‍රීලනිපයෙන් ඡන්ද ඉල්ලුවේ මගේ ප්‍රතිපත්තිය කියලයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක එලියට ගිය අය නව ආණ්ඩුව බිහිකිරීම සමඟ එක්සත් ජාතික පක්ෂය සමඟ මැතිවරණයට තරඟ කළත් මම ශ්‍රීලනිපයෙන්මයි තරඟ කළේ. මම මහින්ද මහත්තයගෙ වේදිකාවට නැග්ගෙ නෑ. මෛත්‍රීපාල මහත්තය වේදිකාවට ගෙන්නුවේ නෑ. මගේ පෝස්ටරේ හිටියෙ තාත්තයි මායි විතරයි. මහින්ද මහත්තයා අපිව පරද්දන්න උත්සාහ කරද්දිත් ඔහුව නැතිව පාර්ලිමේන්තුවටත් ගිහින් ඔප්පු කරලා තියෙනවා. ඉතින් සියලු මැතිවරණවලදි අපි ජනතාව හමුවට ගෙනියන්නේ පක්ෂයෙ වැඩපිළිවෙලයි. එහෙම නම් ප්‍රසන්න රණතුංග මහත්තයටත් ඒ මෑත ඉතිහාසයම මතක් කරදෙන්න ඕනෑ.

ප්‍රශ්නය - ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් දස දෙනෙකු විපක්ෂයට යන බව නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දුම කියනවා. ආණ්ඩුවේ බහුතර බලය නැති වෙන්නද යන්නේ?
පිළිතුර - එහෙම වෙන්නේ නෑ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ප්‍රධානීන් හමුවේත් එය පැහැදිලිවම කිව්වා. 2020 වනතුරු මේ ආණ්ඩුව ශක්තිමත්ව ගෙනියන බව එතුමා කිව්වා. එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් හැටියට ගත් තීන්දුවට පටහැනි ලෙස පුද්ගලිකව තීන්දු ගැනීමක් වේ යැයි තාමත් අපි විශ්වාස කරන්නේ නෑ.

ප්‍රශ්නය - යම් හෙයකින් ගියොත් ඊට පස්සේ?
පිළිතුර - යන කතාවක් අපි දන්නේ නෑ. හැබැයි ඒ පැත්තේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නම් අපිත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. මෙතැනින් යම් පිරිසක් අයින් වෙනවා නම් තවත් පිරිසක් මෙතැනට එන්න බලාගෙනත් ඉන්නවා. මට ඒක කියන්න පුළුවන්.

ප්‍රශ්නය - සිදු වෙන දේ මගින් තත්ත්වය උග්‍ර බව පැහැදිලියි. මහින්ද පාර්ශ්වයට වඩා මෛත්‍රී පාර්ශ්වය ශක්තිමත් යැයි ඔබ හිතනවාද?
පිළිතුර -  ඉතාමත් පැහැදිලි ලෙස මෛත්‍රී පාර්ශ්වය මහින්ද පාර්ශ්වයට වඩා දැන් බලවත්. අපි මෙච්චර දවස් මේවා ගැන කතා නොකළේ ශ්‍රීලනිපයේ සියලු දෙනාම එක තැනකට ගේන්න අපි බලාපොරොත්තු වූ නිසයි.

තවමත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ බලාපොරොත්තුව සියලු දෙනා එක නිවහනකට ගෙන ඒමයි. ඔය කණ්ඩායම අතරෙත් දැන් ප්‍රශ්න මතුවෙලා. මොකද අලුතින් පක්ෂයක් හදලා ඒ පක්ෂෙට මහින්ද රාජපක්ෂ මහත්තයගෙ රූපෙ භාවිතා කරමින් සාමාජිකයන් බඳවාගනිමින් නොයෙකුත් වැඩ කරගෙන යනවා. එක පක්ෂෙක ඉන්න ගමන් තවත් පක්ෂෙක ප්‍රවර්ධන වැඩ කරනවා නම් ඔවුන් අයත්වන්නේ දෙවැනි කී පක්ෂයටයි. හැබැයි පුදුමෙ කියන්නෙ තාමත් ඒ අය කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් ගැන වීමයි.


ප්‍රශ්නය - අවසානයේදි අර්බුදයට යන්නේ පාක්ෂිකයා නේද?
පිළිතුර - ගමේ ශ්‍රීලනිප පාක්ෂිකයන්ට දැන් මේක තේරෙනවා. අපි වෙන පක්ෂෙකට බැඳුණාම තවත් පක්ෂෙකට අයිතිවාසිකම් කියන්න බෑනෙ. මේ අයට ගමට ගියාම මේ ප්‍රශ්නෙ විසඳාගන්න වෙනවා. මේ පණිවුඩය අපි ගමට ගෙනිච්චාම මෛත්‍රී පිල තවත් ශක්තිමත් වෙන්නෙ කොහොමද කියලා ඉදිරියේදි බලාගතහැකියි. ඒ නිසා අපි ඔවුන්ට පැහැදිලිව කියන්නේ තමන් වෙනත් පක්ෂයක් නියෝජනය කරනවා නම් ඒක පැහැදිලිව කියන්න කියලයි. මේක කියන්නෙ නැත්තෙ ඇයි? ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී රටේ ජනතාව දෙන තීන්දුව අනුව ඒ අයට තමන්ගෙ නිවැරැදි තක්සේරුව හදාගන්න පුළුවන්.

ප්‍රශ්නය - නව ව්‍යවස්ථාවට අදාළ ශ්‍රීලනිප විකල්ප යෝජනා ඇතුළත් වාර්තාව පහුගිය දා පාර්ලිමේන්තුවට බාරදුන්නා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට වගේම ජනමත විචාරණයකට යන්නටත් පක්ෂය විරුද්ධයි. එතකොට පොදු අපේක්ෂකයා ජනතාවට කිව්වේ අසත්‍ය ද?
පිළිතුර -  විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දුන් පොරොන්දුව බොරුවට කී කතාවක් නෙවෙයි. ඒක පැහැදිලිව ජනතාවට දුන් පොරොන්දුවක්. එතුමා බලයට පත්වෙලා දින සීය ඇතුළත බලය අඩු කළා. පසුව එය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගියාම තීන්දුව වුණේ ජනාධිපතිවරයාට හිතෙන හිතෙන හැටියට එහෙම බලය අඩුකරන්න බෑ කියලයි. එතැනින් එහාට බලය අඩුකරනවා නම් ජනමත විචාරණයකට යා යුතු බවයි. එනිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට උත්සාහ කළේ නෑ කියලා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ඇඟිල්ල දිගු කිරීමට කාටවත් බෑ. නමුත් ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරද්දී අපිට 13 වැනි සංශෝධනය ගැනත් කතාකරන්න වෙනවා. සියලු ජාතින් එකමුතු වූ රටක් වෙනුවෙන් සංශෝධන කරන්න වෙනවා. එහිදී පළාත් සභාවලට පූර්ණ බලතල ලබාදීම ගැන සාකච්ඡා කරනවා.

පළාත් සභාවලට පූර්ණ බලතල දෙන්නේ විධායක ජනාධිපතිවරයකු සිටින නිසාය යන්න අධිකරණ තීන්දුවයි. එහෙම නම් පළාත් සභාවලට පූර්ණ බලතල දෙනවා නම් ඒවා පාලනයට විධායක ජනාධිපතිවරයකු සිටිය යුතුයි. ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දුවක් දුන්නා වගේම ඒ ප්‍රකාශයට අදාළව සාධාරණ උත්සාහයක් ගනිමින් ඊට මූලික අඩිතාලම දැම්මා.

ප්‍රශ්නය - ඒ කියන්නෙ පක්ෂයෙ මතය විධායක ජනාධිපතිවරයකු අවශ්‍යයි යන්නද?
පිළිතුර - විධායක බලතල සියල්ල තිබිය යුතු යැයි අපි කියන්නේ නෑ. පළාත් සභා පාලනයට අවශ්‍ය මට්ටමේ බලයක් ජනාධිපතිවරයාට තිබිය යුතුයි.

ප්‍රශ්නය - පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට මුල් වූ රාජිත සේනාරත්න, රවි කරුණානායක, දුමින්ද දිසානායක ආදී පෙරටු බලඇණියට මේ වනවිට විවිධ චෝදනා එල්ල වෙනවා. සමහරුන්ට ඇමැතිකමුත් අහිමි වෙලා. වෙනසට කැප වූ අයට මේ මොකද වෙන්නේ?
පිළිතුර - මහ බැංකු ප්‍රශ්නය පිළිබඳ රටේම අවධානය යොමු වුණා. කවුද හරි කවුද වැරැදි මොකද්ද වුණේ කියලා අවසානයේදී පැහැදිලි වේවි. ආණ්ඩුවට එල්ල වූ චෝදනාවලදී ආණ්ඩුව හැසිරුණු ආකාරය ගැන අපි සතුටු වෙනවා. කොහොම වුණත් මේ වෙනසට මුල් වෙච්ච නිසාම අපිත් එක්ක හතුරු වූ පිරිසක් ඉන්නවා. මම බැණුම් අහන ගොඩනැගිල්ල මගේ අවශ්‍යතාවයකට මගේ අමාත්‍යංශය මාරු කිරීමක් නෙවෙයි. පාර්ලිමේන්තුවට අලුත් කාරක සභා බිහිකිරීම එක්ක පාර්ලිමේන්තුවට ඉතාම ආසන්න බිල්ඩිම තෝරාගෙන මට වෙන තැනකට යන්න කිව්වාම යන්න වෙනවා. අමාත්‍යංශයක අවශ්‍යතාව සපුරාගෙන තමයි යන්න වෙන්නේ. ගොඩනැගිල්ලක් දුන්නාම ඒක හදාගන්නතුරු කියලා කාගෙන්වත් කුලිය අය නොකර ඉන්නේ නෑ. මේ දේශපාලනයේ තිබෙන කැතකම නිසා මේවා දැන දැනම වුණත් මඩ ගැසීම් වෙනවා. හැබැයි අපි ඒ සියලු දේවල්වලට මුහුණ දෙන්න ලෑස්තියි.


ප්‍රශ්නය - හැබැයි ඒකාබද්ධ විපක්ෂය නම් කියන්නේ මේ ඇමැතිවරුන්ටත් ආණ්ඩු වෙනස් වෙච්ච කාලෙක එෆ්.සී.අයි.ඩී ගානේ යන්න වෙයි කියලයි. එහෙම යන්නත් ලෑස්ති ද?
පිළිතුර - ඒක ඒකාබද්ධ විපක්ෂය කියන්න ඕනෑ නෑ. මමත් කියනවා. හොරකමට තිත තියන්න ඕනෑ යැයි අපි කිව්වේ මේ ආණ්ඩුවේ අයටත් එක්කයි. දේශපාලකයන්ටවත් නිලධාරින්ටවත් කාටවත් හොරකම් කරන්න බැරි ක්‍රමවේදයක් හදන එක තමයි අපේ වගකීම. ඒක කවුරුවත් අපිට මතක් කරන්න ඕනෑ නෑ.

ප්‍රශ්නය - තමන් තවමත් ශ්‍රීලනිප සභාපති යැයි මහින්ද රාජපක්ෂ මහතා කියනවා. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරි මණ්ඩලය හරියට පත්වුණාද?
පිළිතුර - ශ්‍රීලනිප නිලධාරි මණ්ඩලය සීයට සීයක් නිවැරැදිව හා නීත්‍යනුකූලව තමයි පත්වෙලා තිබෙන්නේ. සියලුම නිලධාරින් පක්ෂයේ විධායක සභාවෙන් අනුමත වෙලා තිබෙනවා. ඒ වගේම පක්ෂයක නිලධාරි මණ්ඩලයේ හැමදාම එකම පිරිසක් සිටිය යුතු නෑ. ශ්‍රීලනිපයේ ගත්තොත් ශ්‍රීලනිපය නායකයොත් එක්ක වයසට ගිහින් මැරෙන්න බෑනෙ. එය සංවර්ධනය විය යුත්තේ අතීත වැරැදි නිවැරැදි කරගෙන වර්තමානයට ගැලපෙන අනාගතයට සූදානම් පක්ෂයක් විදියටයි. ඒ සඳහා ජ්‍යෙෂ්ඨයන් තරුණයන් ඇතුලු සියලුම දෙනා තනතුරු නියෝජනය කළ යුතුයි. රටේ සිදු වූ දේශපාලන වෙනස අනාගතයේදිත් යථාර්ථයක් වීම සඳහා පක්ෂයත් දවසින් දවස අලුත් විය යුතුයි.  

ප්‍රශ්නය - ඔබ කියන මෛත්‍රී පාර්ශ්වයේ සිටින ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයාම කිව්වේ මහා සභාවේ යෝජනාවක් නැතිවම ඔබ ලේකම් තනතුරට පත් වුණා කියලයි.?
පිළිතුර - ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා එවැනි ප්‍රකාශයක් කරනු මාත් දුටුවා. හැබැයි මේ පත්කිරීම් කළ විධායක සභාවේ එතුමාත් සිටියා. අමතක වෙලා වෙන්න ඇති එතුමාට. මොකද මමයි තාම සභාපති කියලා මහින්ද රාජපක්ෂ මහත්තයත් කියනවනෙ.

ප්‍රශ්නය - ඩිලාන් පෙරේරා කියන්නෙ පක්ෂයෙ මාධ්‍ය ප්‍රකාශකවරයා. ඔහුටත් අමතක වෙලාද?
පිළිතුර - මම පක්ෂෙ ලේකම් හැටියට ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රකාශයට පිළිතුරු දෙන්නේ නෑ. මොකද ඇතුලෙ කතා කළ යුතු දේවල් කෙනෙක් එලියෙ කතා කළා කියලා ඒකට තවත් දේවල් කියන්න ගියාම පක්ෂෙ නිවැරැදි වෙන්නෙ නෑනෙ.

ප්‍රශ්නය - ගෙයි ගින්දර පිටතට නොදිය යුතුයි. එහෙමද?
පිළිතුර - නැහැ. කිසිම ගින්දරක් නෑ. ජනප්‍රිය වෙන්නත් දේවල් කියවනෙ. ඒවාට උත්තර දෙන්න අවශ්‍ය නෑ. ඒකයි මම කියන්නේ.

 



අදහස් (10)

මෙහෙන් කවුරු හරි ගියොත් එහෙන් එන්නත් අය ඉන්නවා

Ruwan Monday, 04 September 2017 06:18 AM

අනිවාර්යයෙන්ම ඔවුන්ගේ අතීතය බලලා ගන්න.

:       17       120

one srilankan Monday, 04 September 2017 08:01 AM

ඔබලා ඔළුගෙඩි හොය හොයා 2020 වෙනකම් අපි ඉන්නවා කිය කියා ඉන්න... ජනතා ප්‍රශ්න එහෙම්මයි. රටේ කෑලි කෑලි විකිණීම පමණයි වෙන්නේ...

:       0       82

siri Monday, 04 September 2017 08:16 AM

බයිලා තමයි. එන අය, යන අය ගැන ගැන ඉන්නවා මිසක් කිසිම වැඩක් නැහැ. අර ගොඩනැගිල්ලකට කෝටි ගණන් ගෙවා ගෙවා නිකන් තියාගෙන ඉන්නේ මහජන මුදල් නේද? අඳ බාලයින්ගේ වැඩ ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කරන පාලකයින් ගැන මොන විශ්වාසයක්වත් ජනතාවට නැහැ. මෙයාලා කයිවාරු ගහන්නේ හරියට කකුළුවා වතුර රත්වෙනකල් වගේ.

:       0       84

desilva Monday, 04 September 2017 09:12 AM

බොරු කියකිය වැඩක් නොකර මහජන මුදලින් නඩත්තු වෙන පක්ෂ විපක්ෂ ඔබල රටට බරකි , කොටි ගණනක් නිකරුනේ වියදම් කරමින් , වැඩක් කළහැකි ශ්‍රම බලකායක් බස්වල කොළඹ ගෙනත් රස්තියාදු කරන එක මහා කාලකන්නි කමකි , මගේ මේ ප්‍රකශය ශ්‍රී ල නි පෙ ට විතරක් නොව සියලු පක්ෂ වලට අදාලය , මම ඔය පක්ෂයේ නායකයා නම් සංවත්සරය සැමරීමට ඩෙංගු මර්ධනයට ශ්‍රමධනයක් කරනවා .එතකොට නිකරුනේ වැය කරන ඉන්ධන ඉතුරු වෙන අතර රටත් පිරිසිදු වෙනවා ,

:       0       20

raveendraMonday, 04 September 2017 11:58 AM

සිල්වා මයා වෙත, ඔබ විසින් ඉතා නිවැරදි අදහසක් ඉදිරිපත් කිරීම පිළිබඳව අප සතුටු වන්නෙමු. මෙම මුදල් නාස්තිය ගැන අපද පුන පුනා කීවද මෙම කොළ, නිල්, රතු රැළට ඇහුන්කන්දීමේ අඩුපාඩු උපන්දාසිටම ඇති බව පැහැදිලිය. තවද අනේකවිධ විවෘත්ත කිරීමේ මුල්ගල් තැබීමේ නම් ගම් ලියාගැනීම වැනි නාස්තිකාර වැඩ සදහා ඔබගේත් අපගේත් මුදල් යහමින් වියදම් කිරීම කිසිම හිරිකිතයක් නැතිබව මනාව පැහැදිලි වේ.

:       0       12

sadissa Monday, 04 September 2017 09:36 AM

හොරු වෙනුවට හොරු !! නේද?

:       0       13

raveendra Monday, 04 September 2017 09:56 AM

අර ගොඩනැගිලි හුටපටේ විස්තර වමාරලම වැඩ පටන් ගත්තොත් නම් ඇඟට හොඳයි.

:       0       31

බණ්ඩාර(කැකිරාව) Monday, 04 September 2017 10:23 AM

මෙතුමා හිතාගෙන ඉන්නේ එ.ජා.ප මන්ත්‍රීවරු එ්වි කියලා... අනේ පව්.. මොකුත් කරගන්න බැරිව බොරුවට කියවනවා...

:       0       22

pitigala Tuesday, 05 September 2017 06:34 AM

ඔබ තුමා ඇතුළු ආණ්ඩුවේ ලොක්කන්ගේ පිට කොන්ද ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හොරුන්ට බයේ වෙව්ලන හැටි රටටම පේනවා.ඒ පිට කොන්ද හයිය වැඩි වෙලා වෙන්න ඇති. 2020 චන්දෙ එනකොට ඔබ තුමාල අල්ලපු හොරෙකුත් නැහැ. හොරුන්ට අයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් චන්දෙට නාම යෝජනා දෙනවා. දැන් බොරු ෂෝ දානවා. එක නඩුවක් මාස හත අටකට කල් යනවා කියන්නේ දෙසරෙයක් කල් ගියාම 2020 චන්දෙ. මහා ලේකම් තුමෝ ලංකාවේ මිනිස්සුන්ට කන්න දෙයක් නැති උනත් තණ කොළ කන මිනිස්සු ලංකාවේ දැන් නැහැ. මතක තිය ගන්න.

:       0       0

sensa Wednesday, 06 September 2017 03:06 AM

අනේ මන්දා මේ කට්ටියත් එක්ක කොහොම ගමනක් යන්න කියලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 143 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1145 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site