IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


මාලිමාව රට හදන්නේ මෙහෙමයි

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.

එමගින් ඔවුන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකා ඇති අතර, එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විද්‍යාව හා තාක්ෂණය සඳහා වැඩි ඉඩක් ලබා දී ඇත. තවත් වැදගත් ක්ෂේත්‍ර රාශියක් කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමුව ඇත.

නිෂ්පාදන ආර්ථිකයක් සැලසුම් කිරීමේ සිට ප්‍රතිලාභ බෙදීයාම දක්වා වූ ක්‍රියාවලියේ දී සියලු‍ ජාතිකයන් එහි කොටස්කරුවන් කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධාන කොටස් 4කි. පිටු 230කි.

01. පරිසමාප්ත ජීවිතයක් - සුවපහසු රටක්

ශිෂ්ටසම්පන්න පුරවැසියෙක් - දියුණු මානව සම්පතක්

ජාතික ජනබලවේගය සිය අධ්‍යාපන ප්‍රතිපත්තිය අරමුණ කරගෙන ඇත්තේ දියුණු මානවවාදී හා වගකීම් සහිත පුරවැසි සමාජයක් ගොඩනැගීම සඳහාය.

එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට රාජ්‍ය ආයෝජන ඉහළ දැමීමටත් දැනට වෙන්කරනු ලබන ප්‍රමාණය ක්‍රමයෙන් සියයට 6 දක්වා වැඩි කිරීමටත් අපේක්ෂාව බව ද පෙන්වා දී තිබේ.

අවුරුදු 03 සිට 05 දක්වා වන සියලු‍ දරුවන් සඳහා විධිමත් මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනයක් ලබාදීමත් සෑම දරුවකුටම සිය නිවසේ සිට හෝ මවුපියන්ගේ සේවා ස්ථානයේ සිට කි.මී 02ක් ඇතුළත මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලබාදීමටත් පියවර ගෙන ඇත.

දරුවන්ගේ කායික හා මානසික තත්වයට ගෝචර වන පරිදි හා සමාජ ජීවිතයට පිවිසීමට අවශ්‍ය වන යහපත් පුරුදු, ආකල්ප හා ආචාරධර්ම වර්ධනය කරන ක්‍රියාකාරකම් ඇතුළත් වන වැඩසටහන් මෙන්ම මව් භාෂාවට අමතරව කථන සන්නිවේදන භාෂා ලෙස ඉංග්‍රීසි ඇතුළු අනෙකුත් ජාතික භාෂා වැඩසටහන් ද ඇතුළත්ය.

නිරෝගී ජීවිතයක් - සෞඛ්‍ය සම්පන්න ජනතාවක්

එහි සෞඛ්‍ය සඳහා වන රජයේ වියදම් කෙටි කාලයක් ඇතුළත අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට3ක් ඉලක්ක කරගනිමින් ක්‍රමිකව වැඩි කිරීමට ද අපේක්ෂා කර තිබේ.

සුවපහසු නිවසක් - සනීපාරක්ෂක ජීවිතයක්

නාගරීකරණයත් සමග ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම පාහේ නිවාස ප්‍රශ්නය උග්‍රව පවතින බැවින් සීමිත ඉඩම් ප්‍රමාණය මනාව කළමනාකරණය කරමින් හා ජනතා අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් හැකි සෑමවිටම මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම අපේක්ෂාව වී තිබේ.

ජවසම්පන්න පුරවැසියෙක් - ජයග්‍රාහී ජනතාවක්

දේශපාලනීකරණය වූ සියලු‍ ක්‍රීඩා ආයතන සහ ක්‍රීඩා එයින් මුදා ක්‍රීඩාවේ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන ස්වාධීන සහ දියුණු ආයතන බවට පත්කිරීමත් ඔවුන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂා කර තිබේ.

උදාර සංස්කෘත ජීවිතයක් - සහකම්පනීය ජනතාවක්

කලා සංස්කෘතික අවකාශය යනු සමාජයක අතිසංවේදී කලාපයක් බැවින් එම අඩවිය මානව සමාජය වෙත කරන බලපෑම සන්නිවේදනය වන්නේ කල්ගත වී වුවද වර්තමාන ලාංකේය සමාජ පරිහානියේ විශාල පදාසයක් මතුවන්නේද මෙම කලාපයේ දුබල බව නිසාවෙන් බව එහි සඳහන් ය.

තිරසර ජෛව ලෝකයක් - සදාහරිත ජීවිතයක්

සියලු‍ ජීවීන්ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසරයක් දැක්ම කරගත් පරිසර ප්‍රතිපත්තිය සමාජ ආර්ථිකය සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි ස්වාභාවික සම්පත් භාවිතය, තිරසර කළමනාකරණයේ දී සහභාගීත්ව ප්‍රවේශය, දේශගුණික විපර්යාසවලින් ඇතිවන පීඩා අවම කිරීම, දැනුම කුසලතා ආකල්ප හා මනෝභාවයන් මගින් ගොඩනැගෙන නිරෝගී ජන සමාජයක් සහ තුලිත පරිසරයක් උදෙසා ප්‍රමුඛතාව ලබාදීම ඔවුන් මෙමගින් අපේක්ෂා කර ඇත.

නිදහස් ජනමාධ්‍ය කර්මාන්තයක් - සමබර තොරතුරු සමාජයක්

ජනමාධ්‍ය අවභාවිතය වළක්වමින් සුභාවිත ජනමාධ්‍යක් මගින් සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ ගාමික බලවේගයක් ලෙස ජනමාධ්‍යය ද, එහි නිරත මාධ්‍යකරුවා ද, එහි බලපෑමට ලක්වන ග්‍රාහක සමාජය ද මෙහෙයවමින් වඩාත් ප්‍රශස්ත ජනමාධ්‍ය භාවිතයකට අවශ්‍ය තාක්ෂණික පහසුකම්, පුහුණුව මෙන්ම වෘත්තිය අභිමානය සුරක්ෂිත කරලීමට ඔවුන් අපේක්ෂා කරනු ලබයි.

එහිදී සියලු‍ ක්ෂේත්‍රවල මාධ්‍යකරුවන් ඇගයීමට හා ජන සම්භාවනයට පාත්‍ර කිරීම සඳහා විධිමත් සම්මාන උළෙලක්, මාධ්‍යවේදීන්ට අවශ්‍ය මාධ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා අඩු පොලී ණය පහසුකම් සැපයීමට ද ඔවුන් අපේක්ෂා කර ඇත.

02. ගෞරවනීය ජීවිතයක් - සුරක්ෂිත රටක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් වෙනුවෙන් වූ යෝජනා කිහිපයක් ද මෙහි සඳහන් වේ.

■ සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක්.

■ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නව වැඩිහිටි සත්කාර මධ්‍යස්ථාන.

■ වැඩිහිටියන් රැක බලා ගැනීම සඳහා වෘත්තීය පුහුණුව, සුළු සහ මධ්‍යපරිමාණ ව්‍යවසාය සඳහා රජය මගින් දිරි ගැන්වීම්.

■ සේවක අර්ථසාධක අරමුදල් වැනි අරමුදල් වඩා ඉහළ ප්‍රතිලාභ සහිත සහ ආරක්ෂිත ආයෝජනය.

■ විශ්‍රාම වැටුප් අරමුදල් සුරක්ෂිතව ආයෝජනය කර අඛණ්ඩ ප්‍රතිලාභ ලබාදීමට මූල්‍ය සහ රක්ෂණ සේවා දිරිගැන්වීම.

■ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සාමාන්‍ය බැංකු පොලී අනුපාතයට වඩා සියයට5%ක වැඩි පොලී ප්‍රතිශතයක්.

ආබාධ සහිත පුද්ගලයන් සඳහා අර්ථවත් සහ තෘප්තිමත් ජීවිතයක් උදෙසා වූ යෝජනා කිහිපයක් ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඇතුළත් වේ.

■ විෂය විශේෂඥයන් විසින් සකසන රට තුළ සිටින ආබාධ සහිත පුද්ගලයන්ගේ සවිස්තරාත්මක දත්ත පද්ධතියක්.

■ අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුද්ගලයන් සඳහා මසකට රුපියල් 10,000ක මූල්‍යාධාරයක්.

■ ආබාධ සහිත පුද්ගලයන්ට අධ්‍යාපනය, පුහුණුව, රැකියා සහ ජීවනෝපාය අවස්ථා සඳහා පහසුකම්.

■ කාන්තා මූලික පවුල්, තනි මාපිය පවුල් සහ ගෘහස්ථ හිංසනයෙන් පීඩාවට පත්වූ කාන්තාවන් සඳහා සමාජ ආරක්ෂණය.

■ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ඔවුන්ගේ ආදායම් මට්ටම් මත පදනම්ව මූල්‍ය ආධාර.

■ අවශ්‍යතා සහ ඉල්ලීම් මත පදනම්ව නීති ආධාර සහ උපදේශන සේවා.

■ අවශ්‍ය අවස්ථාවලදී විකල්ප නවාතැන් පහසුකම්, රැකියා සහ වෙනත් ආධාර.

■ වැන්දඹුභාවය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආදිය නිසා පීඩාවට පත් කාන්තාවන්ට සමාජීය සහ චිත්තවේගීය සහය සහතික කිරීම සඳහා යාන්ත්‍රණයක්.

■ අවශ්‍යතා ඇති නිදන්ගත රෝගී පුද්ගලයන්ට අවම වශයෙන් මසකට රුපියල් 10,000ක මුල්‍යාධාරයක්.

සියලු‍ම පුරවැසියන්ට විශ්‍රාම වැටුපක්

■ රටේ සියලු‍ම අංශවල ශ්‍රමිකයන්ට අදාළ වන පරිදි විශ්‍රාම වැටුප් පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම.

■ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සහ මහ බැංකුවේ අධීක්ෂණය යටතේ විශ්‍රාම වැටුප් අරමුදලක්.

■ දැනට රාජ්‍ය අංශයේ හෝ විධිමත් ආයතනික අංශයේ රැකියාවක් නොකරන ගොවීන්, ධීවරයන් ඇතුළු සෑම පුරවැසියකුම විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධවීමට දිරිමත් කිරීම.

■ හදිසි ආපදා/ආබාධ අවස්ථාවක දී හෝ විශ්‍රාම ලැබීමෙන් පසු මෙම විශ්‍රාම වැටුප් අරමුදල රක්ෂණ අරමුදලක් ලෙස ද ක්‍රියාත්මක කරවීම.

කාර්යක්ෂම ශ්‍රම සම්පතක් - ගෞරවනීය වෘත්තීය ජීවිතයක්

වැටුප් විෂමතා අවම කරන හා සේවකයා දිරිගන්වන ජාතික වැටුප් ව්‍යුහයක්, සියලු‍ ශ්‍රමිකයන් ආවරණය වන පරිදී සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට ඔවුන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂා කර ඇත.

කාන්තාවන්ට විධායක හා කළමනාකරණ ක්ෂේත්‍රවල ඵලදායී ලෙස රැකියාවේ නියැලීමට ඇති බාධා ඉවත් කිරීමට මෙන්ම රැකියා අවස්ථා තෝරා ගැනීමේදී වෙනස්කොට නොසැලකීම හා සැමට සම අවස්ථා ලබාදීමටත් ඔවුන් අපේක්ෂා කර තිබේ.

දැනට පවතින විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමවල ඇති විෂමතාව ඉවත් කිරීමටත් අපේක්ෂා කර තිබේ.

රාජ්‍ය අංශයේ බඳවා ගැනීම්, උසස්වීම් සහ ස්ථාන මාරුවීම් සඳහා දේශපාලන මැදිහත්වීම්වලින් තොරව සුදුසුකම් සහ නිපුණතා මත කටයුතු කිරීමත් මෑන්පවර් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව සහිත සාධාරණ වැටුප් සහතික කිරීමත් ඔවුන් අපේක්ෂා කර ඇත.

මේ වනවිට ප්‍රබල මාතෘකාවක් බවට පත්ව ඇති විරැකියාව සම්බන්ධව ද ඔවුන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අවධානය යොමු කර තිබේ.

ඒ අනුව එහි සඳහන්ව ඇත්තේ රැකියා විරහිත උපාධිධාරීන් විධිමත් ක්‍රමවේදයක් යටතේ රැකියා ලබා දීමට පියවර ගන්නා බවත් ඒ අනුව 20,000ක් ගුරු සේවය සඳහා ද විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, ගණිත උපාධිධාරීන් (STEM) 3000ක් සහ STEM නොවන උපාධිධාරීන් 9000ක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයටත් බඳවා ගැනීමට අපේක්ෂා කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ විදේශ සේවාවට මෙන්ම සංචාරක කර්මාන්තයට තවත් 3000ක පිරිසක් බඳවා ගැනීමට ද ඔවුන් අපේක්ෂා කර තිබේ.

නිදහස් ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් - සාධාරණ මිනිස් අනන්‍යතාවක්

ස්ත්‍රීන් යනු සමස්ත සමාජ ව්‍යහයේ බැහැර කළ නොහැකි ප්‍රධාන කොටසක් වුවද ඔවුන්ට නිරතුරු හිමිවන්නේ අසමාන ස්ථානයක් බැවින් සියල්ලන්ටම සියලු‍ අයිතීන් දිනා ගනිමින් සාධාරණ සමාජයක් නිදහස් ස්ත්‍රියක් යන අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට එම සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂා කරයි.

සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ජන කොටස්වලට යුක්තියේ ප්‍රවේශය අහිමි වී ඇති බැවින් සියල්ලන්ට ම එකසේ සමානාත්මතාවෙන් යුතුව සලකන සාධාරණ සමාජයක් තුළ කිසිදු ජන කණ්ඩායමක් ඔවුන්ගේ අනන්‍යතාව හෝ ලිංගික දිශානතිය හේතුවෙන් ආන්තිකරණයට ලක් නොවිය යුතු බවත් ඔවුන් එමගින් පවසා තිබේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව උදෙසා ආර්ථික සාධාරණත්වය, වැටුප් නොලබන ස්ත්‍රී ශ්‍රමය ආර්ථිකයට සිදුකරන දායකත්වය අගයන රාජ්‍ය ප්‍රතිපත්ති ඇතුළු මූලධර්ම කිහිපයක් කෙරෙහි ඔවුන් සිය අවධානය යොමු කර තිබේ.

එමගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ඉපැයුම් අතර පරතරය ඇතිවන අවස්ථා හඳුනාගනිමින් එය අවසන් කිරීමට පියවර ගැනීමට ද අපේක්ෂා කර තිබේ.

ස්ත්‍රීන් බහුලව මුහුණ දී සිටින අධික පොලී අයකරගන්නා අයුක්ති සහගත ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් ඔවුන් නිදහස් කිරීම සඳහා කටයුතු කිරීමට ද ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අවධානය යොමු කර ඇත.

03. නවීන ජීවිතයක් - පොහොසත් රටක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන

දුප්පත් හා අසරණභාවයට පත් කොට ඇති ජනතාව එම තත්වයෙන් මුදාගැනීම සඳහා වඩාත් ශක්තිමත් හා නිවැරදි වැඩපිළිවෙළක අඩංගුව හා එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරීම.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති ආදායම් පාදක වියදම් කළමනාකරණ යෝජනා නැවත සමාලෝචනය කිරීම සඳහා කාර්යක්ෂම බදු පරිපාලනය හා ආණ්ඩුවේ වියදම් කළමනාකරණය පිළිබඳ නව යෝජනා ඉදිරිපත් කිරීම.

ණය තිරසර බව පවත්වා ගැනීම හා දරාගත හැකි මට්ටමක ණය පොලී තබා ගැනීම ඉලක්ක කරගනිමින්, අවශ්‍යතාව අනුව ණය සමාලෝචන කටයුතුවල දී භාවිත කිරීම සඳහා විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් පිළියෙළ කිරීම.

රාජ්‍ය මුල්‍ය විනිවිදභාවය සහ ආණ්ඩුවේ වගවීම සහතික කිරීමට හා ණය අවභාවිතය සිදුකළ පුද්ගලයන්ට එරෙහි නීතිමය පියවර ගැනීම සඳහා ආණ්ඩු විසින් ලබාගත් විදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක ණය විගණනයක් කඩිනමින් සිදුකිරීම.

රටේ සහ බැංකු පද්ධතියේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ගැනීම සඳහා රාජ්‍ය මුල්‍ය හා මුල්‍ය විනය වැඩි දියුණු කිරීම.

ජාත්‍යන්තර ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ අංශයක් සහිතව බදු ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා නව ඒකකයක් පිහිටුවීම.

බදු පරිපාලනය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සිදුකිරීම.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල පුහුණුව සහ ධාරිතා සංවර්ධනය කිරීම.

හිඟ බදු කඩිනමින් අය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග ජාලගත කිරීම.

රාජ්‍ය සේවා ලබාගැනීම හා රජය සමග කටයුතු කිරීමට සෑම පුරවැසියෙකුටම නිශ්චිත ඩිජිටල් හඳුනාගැනීමේ කේතයක් ලබාදීම.

පුද්ගලයන් සඳහා වන වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 24දක්වා වැඩිකිරීමට සහ බදු කාණ්ඩ (Tax Brackets) හා බදු අනුපාත (Tax Rates) සාධාරණ ලෙස සංශෝධනය කිරීම.

බදු මූලධර්මවලට අනුකූලව බදු පදනම (Tax Base) පුළුල් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම.

වැට් (VAT) බදු එකතු කිරීම විධිමත් සහ කාර්යක්ෂම කිරීම සඳහා පොයින්ට් ඔෆ් සේල්ස් (POS) යන්ත්‍ර සහ ඩිජිටල් ඉන්වොයිසින් ක්‍රම හඳුන්වාදීම.

දේශීයව නිෂ්පාදනය කරන කිරි, බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර, ළදරු කිරි, ඖෂධ, පාසල් පොත් හා උපකරණ, සඟරා, පුස්තකාල සේවා, කෘෂි උපකරණ, පොහොර, සූර්ය පැනල සහ උපාංග, පුනර්ජනනීය බලශක්ති ජනන යන්ත්‍ර, ආබාධ සහිත පුද්ගලයන් භාවිතා කරන වාහන උපකරණ පරිපථ, දේශීය නිෂ්පාදන මෘදුකාංග, තොරතුරු තාක්ෂණ සේවා, පර්යේෂණ හා සංවර්ධන සේවා සඳහා වැට් බද්ද සියයට 0 අනුපාතයට ගෙන ඒම.

වැට් බද්දට අදාළ භාණ්ඩ වර්ගීකරණය කොට ඒ ඒ කාණ්ඩය සඳහා වෙනස් බදු අනුපාත හඳුන්වා දීම.

ආදාන වැට් බද්ද (Input VAT) මත වන අපනයන සංවර්ධන බදු අපනයනකරුවන්ට කඩිනමින් ආපසු ලබාදීම.

බදු තක්සේරු කිරීම, බදු වාර්තා ගොනුකිරීම, බදුගෙවීම හා අතිරික්ත බදු ආපසු ගෙවීම සඳහා ජංගම දුරකථන මඟින් ගෙවීමේ පහසුකම් ද සහිත මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දීම.

ආනයන හා අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ කරමින් තනි සේවා කවුළුවක් පිහිටුවීම.

සාධාරණ ලෙස රේගු බදු ආදායම වැඩි කර ගැනීම සඳහා පවතින සංකීර්ණ තීරුබදු අනුපාත ව්‍යුහය සරල කිරීම.

ජාත්‍යන්තර ගනුදෙනු සහ හුවමාරු මිල මත සිදුවන බදු කාන්දුවීම්, බදු පැහැර හැරීම්, ඌන ඉන්වොයිසින් හා අධි ඉන්වොයිසින් වැළැක්වීමට රටවල් අතර ස්වයංක්‍රීය තොරතුරු හුවමාරුව වැනි ක්‍රියාමාර්ග හඳුන්වා දීම.

ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුකූලව සහ අදාළ මාර්ගෝපදේශ අනුව ජාත්‍යන්තර ගනුදෙනු මත අවම ගෝලීය බද්දක් පැනවීම.

ඩිජිටල් රාජ්‍යකරණය

එහි ප්‍රධාන කරුණු කිහිපයකි.

■ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන සහ විසඳුම් සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය අලෙවිකරණ ව්‍යාපාරයක් දියත් කිරීම.

■ ප්‍රතිචාරාත්මක රාජ්‍ය අංශයක් බිහි කිරීම සඳහා ප්‍රධාන රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම.

■ සදාචාරාත්මක AI භාවිතය.

■ 2030 වනවිට තොරතුරු තාක්ෂණ ශ්‍රම බළකාය 200,000 දක්වා වැඩිකිරීම

මූල්‍ය ප්‍රතිපත්ති

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ආර්ථික කටයුතු යථාතත්වයට පත්කිරීම හා හිඟ ණය සඳහා සහන සැලසීමට නව සහන බැංකුවක් ස්ථාපිත කිරීම.

ව්‍යවසායකයන් සඳහා දිගුකාලීන මුල්‍යකරණය, නව ව්‍යාපාර ආරම්භ කිරීම සහ ව්‍යපාර ප්‍රසාරණය කිරීම සඳහා නව ජාතික සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම.

කුඩා පරිමාණයේ ගොවියන්, නිෂ්පාදකයන්, ව්‍යවසායකයන් සහ ආයෝජකයන් සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට සමුපකාර, සමෘද්ධි හා ප්‍රාදේශීය සංවර්ධන බැංකු කාර්යක්ෂම ලෙස මෙහෙයවීම.

නීතිමය විධිවිධාන සහ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ලබාදී ඇති ක්ෂුද්‍ර මුල්‍ය ණය පිළිබඳ සමාලෝචනය කොට අගතියට පත් පාර්ශ්වලට සහන සැලසීම ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කිරීම දිරිගැන්වීම සහ එම කටයුතු අධීක්ෂණය විධිමත් කිරීම.

විදේශ විනිමය වෙළෙඳපොළ ඇතුළු මූල්‍ය වෙළඳපොළවල ස්ථාවරත්වය සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික ස්ථායී කිරීම.

බැංකු මුදල් සහ ඉතුරුම් නිෂ්පාදන ආර්ථික ක්‍රියාකාරකම්වල විධිමත්ව ආයෝජනය කිරීමට නව මූල්‍ය යෝජනා ක්‍රම හඳුන්වා දීම.

රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය විධිමත් කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ශක්තිමත් කිරීම.

ස්ථාවරත්වය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය (Recapitalization) කිරීම.

04. අභිමානවත් ජීවිතයක් - නොසැලෙන රටක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් - ශ්‍රී ලාංකේය ජාතික සාමාග්‍රියක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර එය මහජනතාව වෙත ඉදිරිපත් කර, සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදුකොට ජනමත විචාරණයක් ද සමග සම්මත කර ගනු ඇත.

සමාජ හා ආර්ථික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුකූළ අයිතීන් මූලික අයිතිවාසිකම් ලෙස පිළිගනිමින් බලාත්මක කිරීම.

ළමා, කාන්තා සහ ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ ආණ්ඩුක්‍රම නීතිය ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුකූල වන ලෙස පුළුල් කිරීම.

රැකියා සඳහා රට තුළ සහ රටින් පිටත සංක්‍රමණික පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම.

ජාතිකත්වයන් අතර අසමගිය සහ ආගමික වෛරය ඇති නොකරන, ස්ත්‍රී පුරුෂභාවය හෝ වෙනත් කරුණු මත වෙනස් කොට නොසැලකීම යන කොන්දේසිවලට යටත්ව භාෂණයේ නිදහස තහවුරු කිරීම.

■ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම.

■ නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම.

■ ජනාධිපති නිල නිවාස එකකට පමණක් සීමා කිරීම.

■ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ කාලාත්‍රයන්ට දී ඇති විශ්‍රාම වැටුප්, විශේෂ දීමනා හා වරප්‍රරසාද අහෝසි කිරීම.

■ විද්‍යාත්මකව වෙන්කරන ලද අමාත්‍යාංශ 25කට ඇමතිවරුන් 25ක් සහ අනුරූපී නියෝජ්‍ය ඇමතිවරු පත්කිරීම සහ රාජ්‍ය ඇමති ධුර අහෝසි කිරීම.

■ සෑම අමාත්‍යාංශයකටම විෂය පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩල පිහිටුවීම.

■ සිය වගකීම ඉටු නොකරන්නේ නම් හා දූෂණයේ යෙදෙන්නේ නම් මහජන නියෝජිතයා ආපසු කැඳවීමේ බලය ඡන්දදායකයාට ලැබෙන විධිවිධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පවුලේ ඥාතීන් බඳවා නොගැනීම වැනි දේ අඩංගු ආචාරධාර්මික පද්ධතියක් හඳුන්වා දීම.

■ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සැසිවාරයට සහභාගීවීම වෙනුවෙන් ගෙවන දීමනා අහෝසි කිරීම.

■ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05කින් පසුව ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම.

■ මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය ඉවතට.

■ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ධුර කාලය තුළදී එක් වාහනයක් පමණක් ලබාදීම.

නීතිය මත පාලනයක් - සමප්‍රවේශී අධිකරණ පද්ධතියක්

අධිකරණය මගින් ස්වාධීනව හා කාර්යක්ෂමව යුක්තිය පසිඳලීම මෙන්ම මහජනයාට ඒ ක්‍රියාවලිය පිළිබඳව ඇති විශ්වාසයත් නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරිමෙහිලා අතිශය වැදගත් වේ.

එහෙත් අද ලංකාවේ මෙම ක්‍රියාවලිය අධික මිල සහිත, මහජනතාවගෙන් ඈත් වූ සහ ජනතා විශ්වාස පළුදු වූවකි.

ස්වාධීන, කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් හා මහජනතාවට දැරිය හැකි අධිකරණ පද්ධතියක් ඇති කිරීමෙන් ඒ පිළිබඳව බිඳීගිය ජනතා විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට ජාතික ජන බලවේගය අපේක්ෂා කරයි.

අධිකරණය

නීති විශේෂඥ කමිටුවක් මගින් පවතින නීති සමලෝචනය කොට අවශ්‍ය නීති යාවත්කාලීන කිරීම.

අධිකරණ ක්‍රියාවලියට නවීන තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගැනීම සහ විනිශ්චයකාරවරුන්ට හා කාර්ය මණ්ඩලයට ඒ සම්බන්ධ නිසි පුහුණුව ලබාදීම ආදියෙන් අධිකරණ ක්‍රියාවලිය වඩා සුමට හා කාර්යක්ෂම කිරීම.

සුහුරු අධිකරණ ශාලා ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීම සහ අධිකරණ වාර්තා මෘදු පිටපත් පවත්වාගෙන යාම.

ඉහළ හා පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ට සහාය වීමට පර්යේෂණ නිලධාරීන් පත් කිරීම දකුණු ආසියානු කලාපයේ ජාත්‍යන්තර වාණිජ ගනුදෙනු පදනම් කරගෙන හටගන්නා ගැටලු‍‍ බේරුම්කරණය සහ සමථකරණය කිරීම සඳහා ජාත්‍යන්තර බේරුම්කරණ සහ සමථකරණ මධ්‍යස්ථානයක්.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ශාඛා පළාත්බදව පිහිටුවීම.

අල්ලස් හා දූෂණ

සොරාගත් වත්කම් නැවත අයකරගැනීමට අදාළව සොරකම් කරන ලද වත්කම් ප්‍රතිෂ්ඨාපනය සහ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාර්යාලය ආදී ජාත්‍යන්තර ආයතනවල තාක්ෂණික සහ උපදේශන සේවා ලබාගැනීමට රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවීම.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 34 වැනි වගන්තිය අනුව සොරාගත් වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධීකරණය හා දූෂණය වැළැක්වීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ බලධරයා වන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සම්පූර්ණ බලය පැවරීම සහ අවශ්‍ය පහසුකම් ලබාදීම.

මුල්‍ය අපරාධ, අල්ලස් හා දූෂණ චෝදනා නඩු කාර්යක්ෂම කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කිරීම සෑම දිස්ත්‍රික්කයකම දූෂණ විරෝධී කොමිසමේ කාර්යාලයක් පිහිටුවීම.

දූෂණ විරෝධී කොමිසම වෙත ලැබෙන පැමිණිලි මාස හයක් ඇතුළත විමර්ශනය කිරීම හෝ එසේ නොකරන ලද පැමිණිලි පිළිබඳ වාර්තාවක් සෑම මාස හයකට වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

රාජ්‍ය මුල්‍ය දූෂණ චෝදනාවලට ලක්වූවන්ට රැකවරණ ලබාදෙන්නන්ද අදාළ වැරැද්දට සම්බන්ධ අයවලු‍‍න් ලෙස සලකා නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා අවශ්‍ය නීති සකස් කිරීම.

මූල්‍ය අවභාවිතයන්, අල්ලස්, කොමිස් වැනි දූෂිත ක්‍රියාවන් වැළැක්වීම අරමුණු කරගනිමින් නීතිරීතී සම්පාදනය කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කිරීම.

දූෂණ, වංචා, අල්ලස් වැනි දෑ පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමට හා ඒවාට එරෙහිව මහජනතාව බලගැන්වීමේ ව්‍යාපාරයක් රාජ්‍ය අනුග්‍රහයෙන් ස්ථාපිත කිරීම.

අල්ලස් කොමිසම හා නීතිපති මගින් ඉල්ලා අස්කර ගන්නා ලද නඩු නැවත සමාලෝචනයකට ලක්කර සුදුසු නඩුකර නැවත පැවරීමට කටයුතු කිරීම.

නීතිපති දෙපාර්තමේන්තුව

රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව පළාත්බද රජයේ ප්‍රධාන අභිචෝදක කාර්යාල පිහිටුවීම.

නඩු පැවරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුව මගින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ලේඛනගත කිරීම.

විමර්ශන ක්‍රියාවලියෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු නොපැවරීමට කටයුතු කරන්නේ නම් ඊට හේතු අතෘප්තියට පත් පාර්ශ්ව වෙත දැනුම් දීම.

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව අගතියට පත්වන පාර්ශ්වයට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට විශේෂ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයකු පත්කිරීම.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ පළාත්බද කාර්යාල පිහිටුවීම.

පොලීසියේ කටයුතු විධිමත් කිරීම

පොලිස් සේවය ස්වාධීන, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම තම අරමුණ බව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙයි.

■ පොලිස් මහජන සබඳතා කමිටු පිහිටුවීම.

■ පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධයෙන් පැය 24ක් තුළ සැකකරුගේ ඥාතීන්ට දැනුම්දීම.

■ පොලිස් ස්ථානයකින් යම් සැකකරුවෙක් එළියට ගෙනයන්නේ නම් මහෙස්ත්‍රාත්ට දැනුම්දීම.

■ පැමිණිලි ඉක්මනින් විමර්ශනය.

■ පොලිස් සේවයේ ස්ථාන මාරු පොලිස් කොමිසම හරහා උසස් වීම් පටිපාටි විධිමත් කිරීම.

■ පොලිස් සේවයේ වැටුප් සහ දීමනා රාජ්‍ය සේවකයන්ට සමානුපාතිකව ඉහළ දැමීම.

 



අදහස් (6)

මාලිමාව රට හදන්නේ මෙහෙමයි

මංගල Wednesday, 28 August 2024 03:49 PM

අභියෝගාත්මක ප්‍රතිපත්ති මාලාවක් කරන්න පුළුවන් ජනතා සහයෝගය ඇතුව... විශේෂයෙන්ම අධ්‍යාපනය හා විශ්‍රාම වැටුප සෑම පුරවැසියෙකුටම අනිවාර්ය කළයුතුයි. එවිට රාජ්‍ය අංශය සඳහා ඇති අනවශ්‍ය ඉල්ලුම නැතුවම යයි.

:       3       17

AC Wednesday, 28 August 2024 06:42 PM

රාජ්‍ය ආයතන digital කරනවා කිව්වට basic concept එකක් වෙන පැමිණිම සටහන් කරන්න fingerprint machines සවි කරන්න යෝජනාවක් ඉදිරිපත් කරපු වෙලාවේ එක එපා කියලා වැඩවර්ජන කරන්න රෙද්ද උස්සගෙන ආවේ මොවුන්ගේ පක්ෂයේ වෘත්තීය සමිති. මේවා නිකම් බොරු බයිලා විතරයි...

:       10       76

Rohana Wednesday, 28 August 2024 10:21 PM

මේ පොරොන්දු ඉටුකිරීම බලයට පත්වන ඔබලාගේ වගකීමයි. එසේ නොවුණොත් ගෝඨාභය ගිය ගමනම යන්න වෙනබවත් මතක තබාගත්තොත් හොඳයි. පොරොන්දු ඉටුකිරීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

:       1       7

Nishan Thursday, 29 August 2024 06:44 AM

මෙයාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තවත් එක සුන්දර පොරොන්දු පත්‍රිකාවක් විතරයි. මේ පොරොන්දු ඉෂ්ඨ කරන්න සල්ලි ගස්වලින් කඩන්න වෙනවා. පොරොන්දු දේශපාලනය විවේචනය කරපු අය දැන් ඒකේ එල්ලිලා අනිත් අයටත් වඩා හොඳට. මෙයාලගේ සියළු වැඩ මෙහෙම තමයි. පළාත් සභාවට ගිය අයව හොය හොයා මරපු අය අන්තිමට ගිහින් ඒකේ වාඩි වුණා.

:       2       16

Prabath Thursday, 29 August 2024 08:56 AM

මේවා ඔක්කොම දැනටමත් ආණ්ඩුව කරන ඒවා. සමහර ඒවා කරන්න අපහසුයි ආර්ථිකය හරියනකම්. මේකේ සල්ලි හොයන හැටි නැහැ. මංකොල්ල කාලද සල්ලි හොයන්නේ. ඒක හරියට කියන්න. අපි දන්නවා මුන් හිතන් ඉන්න විදිහ. ඒක කියන්නේ නැහැ ඡන්දෙ අඩුවෙයි කියලා. දැන්වත් මුන්ට ඡන්ද දෙන්න හිතන් ඉන්නවා නම් ඒක නැති කරගන්න.

:       1       0

Sarath chandra Thursday, 29 August 2024 08:58 AM

විදෙස්ගතව සිටින ශ්‍රාමිකයන් සඳහා යමක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 912 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 513 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1014 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1676 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1268 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3476 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2132 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 986 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site