ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 22 වැනි ජාතික සම්මේලනය මෙම මස25, 26, 27 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිතය. එම සමුළුව පක්ෂයේ ඉදිරි ගමන්මග හා වත්මන් දේශපාලන වටපිටාව පිළිබඳ ‘රජවීදියෙන්’ මෙවර අදහස් දැක්වීමට එක්වන්නේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතාය.
ප්‍රශ්නය – ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය 22 වැනි සම්මේලනය පවත්වන්නේ රටක් ලෙස අර්බුදයකට පත්ව තිබෙන මොහොතකයි.
පිළිතුර – පසුගිය කාලේ රටේ තිබුණු වාතාවරණය අනුව අපට සමුළුව නියමිත පරිදි තැබීමට නොහැකි වුණා. පක්ෂ සමුළුව කියන්නේ අපේ දේශපාලන කැලැන්ඩරයේ ඉතාම වැදගත් කටයුත්තක්. මේ සමුළුව හරහා තමයි ඉදිරි අවුරුදු තුන සඳහා පක්ෂයේ ගමන් මග සකස් කර ගන්නේ. ඒ නිසා පක්ෂයේ බලවත්ම සහ වැදගත්ම කටයුත්ත එයයි. ඒ නිසා එය ඉතාම සාර්ථකව පවත්වමින් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය – ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය කියන්නේ ලංකා දේශපාලන ඉතිහාසයේ කීර්තිමත් පක්ෂයක්. ඔබ පක්ෂයට එදා තිබුණු වලංගුභාවය අදටත් එලෙසම පවතිනවා යැයි විශ්වාසයක් තිබෙනවාද?
පිළිතුර – දේශපාලන ලෝකයේ ඉහළම කීර්තියක් අත්පත් කරගෙන සිටින පක්ෂයක් ලංකා සම සමාජ පක්ෂය 1935 දී නිර්මාණය කරද්දී අපි 1943 අපේ පක්ෂය හදනවා. ලංකා සමසමාජ පක්ෂ ආරම්භ කළ නායකයන් අපේ පක්ෂය ආරම්භයේදීත් හිටියා. ඒ නායකයන් ඉදිරි පෙළ දේශපාලනය තුළ කටයුතු කළා. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ එවැනි ඉදිරි පෙළ නායකයෙක්. ඔහු අධ්‍යාපනය අවසන් කරලා 1929 ලංකාවට පැමිණි පසු 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වෙනවා.
ඔහු එදත් මාක්ස්වාදී බුද්ධිමතෙක් ලෙස කටයුතු කළා. ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ලංකාවේ නිදහස වෙනුවෙන් සෞඛ්‍ය වෙනුවෙන් කටයුතු කරමින් පැමිණ සූරියමල් ව්‍යාපාරය වගේ සංවිධාන ආරම්භ කළා. ඒවා හරහා තමයි ලංකා සම සමාජ පක්ෂය 1935 බිහිවන්නේ. ඒ පක්ෂය තුළ ඇතිවන දෘෂ්ටිමය මතවාදයක් නිසා තමයි 1943 ජුලි 03 වැනිදා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය බිහි කරන්නේ. සම සමාජ පක්ෂය වගේම අපේ පක්ෂයේත් ආරම්භක තේමා පාඨය වුණේ නිදහස හා සමාජවාදය. නිදහස් අරගලයට අපේ පක්ෂය ලබා දුන් දායකත්වය තමයි කම්කරු ව්‍යාපාරය ඊට සම්බන්ධ කිරීම. 1944 ට මෙහා තිබුණු සෑම නිදහස් අරගලයකටම අපි පක්ෂයක් ලෙස සම්බන්ධ වුණා. 1948 අපි ලැබූ නිදහස වගේම 1956 බණ්ඩාරනායක මහතාගේ ජයග්‍රහණයට හේතු වෙන්නේත් වමේ සහ ප්‍රගතිශීලීන්ගේ එකමුතුව.
1972 දී ජනරජ ව්‍යාවස්ථාවට පාර කපන්නත් අපේ පක්ෂය මැදිහත් වුණා. දේශපාලන නිදහස අපේ රටට සම්පූර්ණයෙන් ලැබෙන්නේ ඒ හරහා. ඉතිහාසයේ සමාජ ප්‍රතිසංස්කරණවලට විශාල ලෙස ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය දායක වුණා. අපේ රටේ වැඩ කරන ජනතාව භුක්ති විඳින නිදහස හා ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත් අපේ පක්ෂය විශාල ලෙස මදිහත් වුණා. පැය අටේ වැඩ නීතිය, විශ්‍රාම වැටුප් අයිතිය, සේවක අයිතිවාසිකම් අරමුදල, නිවාඩු අයිතීන්, අතිකාල දීමනා අයිතීන් කොමිනිස්ට් සහ සම සමාජ පක්ෂ ඒකාබද්ධව කළ අරගලවලින් මේ රටට ලැබුණු දේවල් සේවක අර්ථසාධක හිමිකාරිත්වය 1958 රටට ලැබෙන්නේත් ඒ කළ අරගලවල ප්‍රතිඵලයක් විදියට.
සමාජවාදී රටවල් සමඟ මිත්‍රකම් ඇතිකර ගන්න අපි විශාල විදියට බලපෑම් කළා. සමාජවාදී චීනය, සමාජවාදී සෝවියට් සංගමය සමඟ සම්බන්ධතා ඇති කරලා විශාල ලෙස මේ රටට ප්‍රතිලාභ ගේනවා. ඒ සම්බන්ධතා හරහා තමයි අපට නිල විදේශ ප්‍රතිපත්තියක් ඇතිකර ගන්න හැකියාව ලැබුණේ. ඒ රටවල් සමඟ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමට හැකි වුණා. සමාජවාදී රටවල සම්බන්ධතා නිසා තමයි 1977 ට පෙර ලංකාවේ කාර්මික පදනමක් ඇති වූයේ. ඔරුවල වානේ, කැලණිය ටයර්, මෝදර පිටි, කන්තලේ, සමනලවැව යෝජනා ක්‍රමය, ඇඟලුම් වැනි විශාල කර්මාන්ත ගණනාවක් ඇතිකර ගැනීමට අවස්ථාව ලැබුණා. ලංකාවේ කාර්මික පදනමක් සකස්කර ගැනීමට විදේශ දායකත්වය අපට ඒ ආකාරයට ලබා ගැනීමට හැකිවුණා.
නිදහස් අධ්‍යාපනය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා දිනා දුන් බව ඇත්ත. එතුමා ඒ පනත ගෙන ආවට ඊට මුල්ම අදහස පළ කරන්නේ දොස්තර වික්‍රමසිංහ මහතා. මේ හරහා තමයි නිදහස් අධ්‍යාපනය අපේ රටට ලැබෙන්නේ. සෝවියට් සංගමය සමඟ අපේ තිබුණු සම්බන්ධතා නිසා තමයි රුසියානු සහ සෝවියට් සාහිත්‍ය අපේ රටට ලැබෙන්නේ.
ලියෝ තෝල්ස්යිතෝයි, ඇන්ටන් චෙකොෆ්, මැක්සිම් ගෝර්කි වැනි විශ්ව සාහිත්‍යයේ දැවැන්ත කෘතී සිංහලට, දෙමළට පරිවර්තනය කරලා ලබා ගැනීමට හැකිවුණා. අද කවුරු හෝ රුසියන් සාහිත්‍ය කියවනවානම් ඒ අපි මැදිහත් වෙලා මේ රටට ගෙනදුන් පොත්, ලංකාවේ සාහිත්‍යයට කලාවට අපි ඒ ආකාරයෙන් දැවැන්ත සේවාවක් කර තිබෙනවා. අමරදේව, කේමදාස, චිත්‍රසේන, වජිරා වැනි කලාකරුවන් ලෝක වේදිකාවට ගෙන යන්න අපේ පක්ෂය දායක වී තිබෙනවා. අපි තමයි සෝවියට් සමාජවාදී සංගමයට ඒ අය හඳුන්වා දුන්නේ.
අපේ පක්ෂයේ නායකයන් විශාල සේවාවක් සිදුකර තිබෙනවා. අපේ පක්ෂයේ නායකයෝ කවදාවත් හොරකමට දූෂණයට සම්බන්ධ වෙලා නැහැ. මිනිමැරීම්වලට සම්බන්ධ වෙලා නැහැ. කිසිම දිනක රාජ්‍ය බලය නොතිබුණු පක්ෂයක් වුවත් පිවිතුරු පක්ෂයක් ලෙස කටයුතු කරන්න අපට හැකි වී තිබෙනවා. දේශපාලන හා සමාජමය වශයෙන් රටේ ප්‍රගතියට අපි විශාල ලෙස දායකවී තිබෙනවා. මේ වන විට අපි පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන සන්ධානය සමඟ ඒකරාශී වී සිටිනවා. මාතර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයෙක් අපට සිටිනවා.
එහෙත් කනගාටුවට කරුණ තමයි මේ ආණ්ඩුව සන්ධානයක් ලෙස කටයුතු කළ යුතු වුවත් එසේ නොකරමින් සිටීම. සන්ධානයේ නායකයන් එකට එකතු වෙලා සාකච්ඡා කරලා තීන්දු තීරණ ගන්නා ආකාරයක් පෙනෙන්නට නැහැ. දේශපාලන සන්ධානයක් ලෙස එහි නායකයන් එකට එකතු වෙලා සාකච්ඡා කළ යුතුව තිබෙනවා.
ප්‍රශ්නය – ඔබ පක්ෂය අතීතයේ සිටම විවිධ දේශපාලන කණ්ඩායම් සමඟ සන්ධාන ලෙස කටයුතු කර තිබෙනවා. එමගින් පක්ෂයේ අනන්‍යතාවයට හානි පැමිණෙනවා නේද?
පිළිතුර – අපි විවිධ සන්ධානවල කටයුතු කර තිබෙනවා. සන්ධාන පිළිබඳ න්‍යාය මේ රටට ඉදිරිපත් කරන්නෙත් අපේ පක්ෂය. සන්ධාන අපේ රටේ පමණක් නොවේ මුළු ලෝකයේම තිබෙනවා. ඉන්දියාව, නේපාලය ඊට හොඳම උදාහරණ. සන්ධානවලට අපි එකඟවෙන්නේ ඒ ඒ යුගයන්වල කළ යුතු කාර්යයන් මත. අපට මුලින් තිබුණා දේශපාලන නිදහස සම්පූර්ණ කර ගැනීමේ අරගලය. අපට වුවමනා වුණේ අධිරාජ්‍යවාදී බැඳීමෙන් මිදෙන්න. ඊට කැමැති කොමියුනිස්ට් පක්ෂය වගේම තව පක්ෂ තිබුණා. දේශීය ජාතික කොටස්, භික්ෂූන් වහන්සේ වැනි විවිධ පාර්ශ්ව හිටියා. ඒ අය පොදු අරමුණකට එකතු වෙලා කටයුතු කිරීමේ කිසිම වරදක් දකින්නේ නැහැ.
අපි අරමුණක් සකස් කර ගත්තාට පසු ඒ අරමුණින් බැහැරව කවුරු හෝ කටයුතු කරනවානම් ප්‍රශ්නය ඇතිවන්නේ එතැන. දැන් තිබෙන්නේ ඒ වගේ ප්‍රශ්නයක්. අතීතයේත් ඒවගේ ප්‍රශ්න නොතිබුණාම නොවෙයි. සමගි පෙරමුණ ආණ්ඩුව කාලේත් ඇතිවුණු යම් යම් ප්‍රශ්න මත සම සමාජ පක්ෂයටත් කොමියුනිස්ට් පක්ෂයටත් ඉවත් වීමට සිදු වුණා. සන්ධානවලට ඇතුළු වීමේ වරදක් නැති වුවත් එය රඳා පවතින්නේ ඊට දායක වන අයගේ අරමුණු මත මේ මොහොතේ රටේ පවතින අර්බුදයෙන් අත්මිදීම සඳහා වෙනත් මත දරන දේශපාලන ප්‍රවාහ මේ රටේ තිබෙන බව අපි තේරුම් ගත යුතුයි. ඒ සමාන මත දරන අය ගොනු වුණාට කිසිම වරදක් නැහැ. අපේ පක්ෂයේ අනන්‍යතාවට යම් හානියක් එතනදී වෙන්න ඉඩ තිබෙනවා. අපි ඓතිහාසිකව පැවැරුණු වගකීම ගැන තමයි එතනදී හිතන්නේ. කිසිම විටක සමාජවාදී අපේ ප්‍රධාන අරමුණෙන් අපි බැහැර වෙන්නේ නැහැ. අපේ පක්ෂයේ තිබෙන සුවිශේෂී ගුණය තමයි එහෙම වැරැදි අඩුපාඩු සිදුවුණොත් ස්වයං විවේචනයකට ගිහින් එය නිවැරදි කර ගැනීමට හැකියාව ලැබෙනවා.
ප්‍රශ්නය - කොමියුනිස්ට් පක්ෂයේ මෙවර සම්මේලනය අන් කවරදාටත් වඩා සුවිශේෂීත්වයක් ගෙන තිබෙනවා. මෙවර තේමාව සහ වැඩපිළිවෙළ අපි කතා කරමු.
පිළිතුර – ලංකාව මේ මොහොතේ විශාල අර්බුදයක ඉන්නේ කියන එක රහසක් නොවෙයි. ජාත්‍යන්තරවත් විශාල අර්බුදයක් ඇති වී තිබෙනවා. අධිරාජ්‍යවාදී රටවල්වල යම් දුර්වලවීමක් අපි දකිනවා. ඒ කඳවුරුවල රටවල් අතර යම් බෙදීමක් ඇති වී තිබෙනවා. ඒ අතරේ චීනයේ නැගිටීමක් තිබෙනවා. ලෝක ආර්ථිකයෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයකට දායක වෙන්නේ ආසියාව ආසියානු ආර්ථිකයේ එංජිම බවට චීනය පත්ව තිබෙනවා. අවුරුදු 500 කට පස්සේ තමයි ආසියාව ලෝක ආර්ථිකයේ පෙරගමන්කරු බවට පත්වී තිබෙන්නේ. චීනය සහ රුසියාව අතර ඇතිවී තිබෙන මිත්‍රත්වය ප්‍රබල සාධකයක් වී තිබෙනවා.
ලෝකයේ විවිධ බල කේන්ද්‍ර ඇතිවී තිබෙනවා. අධිපතිවාදී ආර්ථික ක්‍රමයක් ඇතිවී තිනෙවා. නව ලිබරල්වාදය අර්බුදයකට ගොස් තිබෙනවා. විශාල සමාජ අසමානතාවක් ඇති වී තිබෙනවා. දුප්පත්කම වැඩි වී තිබෙනවා. ලෝකයේ වමට සහ සමාජවාදයට නැඹුරුකම් දක්වන රාජ්‍ය බිහි වීම තමයි මේ සියල්ලේම ප්‍රතිඵලය. ලෝකයේම සමාජවාදී රැල්ලක් තිබෙනවා. මේ සමස්ත සංදර්භය උඩ තමයි අපි මෙවර අපේ සම්මේලනය පවත්වන්නේ. ජාතික දේශපාලනය තුළ අපේ කාර්ය භාරය අපි සිදු කරමින් සිටිනවා. නව ලිබරල්වාදී මොඩලය තුළ තමයි අපිත් කටයුතු කරමින් සිටින්නේ. අද වන විට ආහාර අර්බුදයක වගේම භාණ්ඩ හා සේවා ගෙන්වා ගැනීමට අර්බුදයක සිටිනවා. බඩු මිල ඉතාම ඉහළට ගමන් කිරීම වගේම විශාල කෘෂිකාර්මික ගැටලුවකට මුහුණදී තිබෙනවා.
ඉන්ධන, විදුලිය ප්‍රශ්න තිබෙනවා. ඩොලර් වගේම රුපියල්වල ප්‍රශ්න තිබෙනවා. ඩොලර් නැත්තේ අවුරුදු ගාණක් අපි ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තිය නිසා. අපට තිබෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් නොවෙයි. දශක ගණනක් මේ අර්බුදය තිබෙනකොට රටට ඩොලර් නැතිවෙනවා. මේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ අපි විශාල ලෙස පහළට වැටී තිබෙනවා. බදු ප්‍රතිපත්තියක් අපේ හරි හැටි නැහැ. බදු ආදායම ලෙස ගන්නේ සාමාන්‍ය ජනතාවගෙන් පමණයි. රාජ්‍ය ආදායම සියයට 24 සිට සියයට 5 දක්වා පහළ බැස තිබෙනවා. අපි කරන්නේ ණය ගන්න එක. අපි බිලියන ගණන් ණය අරන් තිබෙන්නේ. ඒවා ගෙවන්න තව ණය ගන්නවා. අපේ සමළුවේදී අපි සම්පූර්ණ අවධානය යොමු කරන්නේ ආර්ථික ප්‍රශ්නය විග්‍රහ කරගන්න. ඊට අනුව දේශපාලන තීන්දු ගන්නවා. රටේ අර්බුදයක් තිබෙන බව අපි හඳුනාගෙන නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට විකල්ප ඇතිකර ගත යුතුයි. විකල්ප සංවර්ධන වැඩපිළිවෙළක් මේ රට හඳුන්වාදීමේ අධිෂ්ඨානයක් අපට තිබෙනවා. නව ලිබරල්වාදී මර උගුලෙන් මිදීමට එක මිටකට පැමිණිය යුතුයි කියන එක තමයි අපේ අරමුණ.
ප්‍රශ්නය – යුගදනවි බලාගාරය, කොතලාවල පනත, 20 වැනි සංශෝධනය වැනි කාරණාවලදී ඔබේ පක්ෂය විරුද්ධ වී පසුව පාර්ලිමේන්තුවේ ඡන්ද ලබා දෙනවා. මෙය දෙබඩි පිළිවෙතක් නොවේද?
පිළිතුර – 20 වැනි සංශෝධනය එන්නේ ජනාධිපතිවරයා බලයට පත්වූ විගසම වාගේ. ඒ අවස්ථාවේ ඔහු ඉදිරිපත් කරන ඔර්ජිනල් පනතට අපි විරුද්ධ වෙනවා. අපේ විරෝධය එක්ක එහි කාරණා ගණනාවක්ම වෙනස් වුණා. පාර්ලිමේන්තුව විසුරවීමේ බලය අවුරුද්දකට අඩු කරන්න හදද්දී අපි විරුද්ධ වුණා. ද්විත්ව පුරවැසියකුට මෙහි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තිබූ අයිතියට එකඟ වන ලෙස අපෙන් බැගෑපත්ව ඉල්ලීමක් කළා. අවුරුද්දක් ගිහින් ඒවා වෙනස් කරන්න පොරොන්දු වුණත් එය ඉටු වුණේ නැහැ. 19 තිබූ අවුල් සහගත බව තරමක් 20 හරහා විසඳී තිබෙනවා.
අමිල චින්තක ගමගේ
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාව බරපතළ අර්බුදයක