IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විදුලියෙන් බෙල්ලට තොණ්ඩු

විදුලි ගාස්තු මේ ජනවාරියේ දී සියයට 60 සිට 65 අතර ගණනකින් වැඩි කිරීමට පසුගිය සඳුදා (02) විදුලිබල ඇමැති කංචන විජේසේකර මහතා ඇමැති මණ්ඩලයට ගෙනා යෝජනාව පිළිබඳව තීරණයක් ගැනීම සතියකින් කල් ගොසිනි. එසේ සතියක් කල් ගෙන තිබෙන්නේ අනෙක් ඇමැතිවරුන්ට ඒ පිළිබඳව තම අදහස් ඉදිරිපත් කිරීමටය. ඒ අනුව විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ලබන සඳුදා (09) යළි ඇමැති මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

දෙසැම්බර් 27 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ද අමාත්‍ය විජේසේකර පැවසුවේ, විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවය. විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව එක පියවරකින්වත් පසුපසට ගෙන නොමැති බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියේ දැඩි අධිෂ්ඨානයකිනි.

අමාත්‍යවරයා එහිදී කී ලෙස විදුලි ගාස්තු මෙසේ යළි ඉහළ නංවන්නේ 2023 වර්ෂය සඳහා විදුලිය නිපදවීමට අවශ්‍ය රුපියල් කෝටි 27,800කට ආසන්න මුදල උපයා ගැනීමටය. ඒ ගාස්තු ඉහළ නැංවීමත් සමග දැනට රුපියල් 29.14කට ලබා දෙන විදුලි ඒකකයක මිල රුපියල් 48.42ක් වන බව ද අමාත්‍යවරයා කියයි. (2022 දෙසැම්බර් 28 වැනිදා ලංකාදීප)

ඇමැතිවරයා ඒ කියන හැටියට විදුලි ඒකකයක් රුපියල් 29.14ක් වන වර්තමානයේ රටේ පවතින්නේ කෙබඳු තත්ත්වයක් ද? 2022 දෙසැම්බර් 30 වැනිදා ලංකාදීප පුවතකින් අනාවරණය වූයේ ලංකාවේ ජනතාව කෑම බීම මිලදී ගැනීම සඳහාත් තම දේපළ විකුණන බවය.

2022 දෙසැම්බර් 29 වැනිදා ලංකාදීප වාර්තාවකට අනුව ලෝක ආහාර වැඩසටහන හෙළිකරන්නේ ලංකාවේ ජනගහනයෙන් සියයට 76ක් ආහාර අනාරක්ෂිතතාවෙන් පීඩා විඳින බවය. රටේ ජනගහනයෙන් සියයට 73ක් මිලෙන් සේම පෝෂණ ගුණයෙන් ද හීන ආහාර අනුභව කරන බව කියන ලෝක ආහාර වැඩසටහන, රටේ ජනගහනයෙන් සියයට 52ක් කෑමට ගන්නා ආහාර ප්‍රමාණය අඩුකර තිබෙන බව ද හෙළිකරයි.

ජනගහනයෙන් සියයට 40ක් කෑම වේල් සංඛ්‍යාව කපා හැරීමට පෙළඹී සිටින බව ද අනාවරණය කරන ලෝක ආහාර වැඩසටහන, ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන වැඩි පිරිසක් සිටින්නේ දකුණු පළාතේ බව ද හෙළි කරයි. ඒ වැඩසටහන කියන හැටියට විදුලිබල ඇමැති නියෝජනය කරන දකුණු පළාතේ සමස්ත ජනතාවගෙන් සියයට 48ක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙයි. එසේ පීඩා විඳින සමස්ත රටවැසියන් සංඛ්‍යාව ජනගහනයෙන් සියයට 76කි.

ජනතාවගේ ඒ පීඩනයට 2022 අගොස්තු මාසයේ දී විදුලිය ගාස්තු සියයට 75කින් ඉහළ නැංවීම ද හේතු වී තිබෙනු නිසැකය. යළිත් සියයට 60 සිට 65 අතර ගණනකින් ඉහළ නැංවීමට සැරසෙන්නේ මාස පහකට පෙර එසේ ඉහළ දැමූ විදුලි බිලය. ඇමැති කියන හැටියට දැන් රුපියල් 29.14ක් වන විදුලි ඒකකයක් රුපියල් 48.42ක් දක්වා ඉහළ නගියි. කෑම බීමත් නැතිව පීඩා විඳින රටවැසියන්ට එසේ විදුලි ගාස්තු ඉහළ නැංවීමෙන් සහනයක් සැලසෙයි ද?

ඇමැති කියන්නේ 2023 වසර සඳහා අවශ්‍ය විදුලිය නිපදවීමට රුපියල් කෝටි 27,800ක් වැය වන බවය. විදුලිය නිෂ්පාදනයට යන වියදම කෑම බීමත් නැතිව පීඩිතව සිටින ජනතාව මතම පැටවීම ආණ්ඩුකරණයක් නම් එසේ ආණ්ඩු කිරීමට නොහැක්කේ කාටදැයි නැගෙන්නේ සරල එහෙත් තර්කානුකූල ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නයට ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුව දෙන පිළිතුර කුමක් ද?

ඉහළ මිලක් වැය වන්නේ ඩීසල්වලින් විදුලිය නිපදවීම සඳහාය. එසේ නම් කළ යුත්තේ ඩීසල්වලින් විදුලිය නිපදවීම ක්‍රමයෙන් අඩුකර සම්පූර්ණයෙන්ම නවතා දැමීමය. එසේ කරගැනීමට හැකි වුවහොත් ජනතාවට දරාගත නොහැකි ලෙස විදුලි ගාස්තු වැඩි කිරීමට ද සිදු නොවෙයි. විදුලිය නිෂ්පාදනයට යන වැය බර ජනතාවට සේම ආණ්ඩුවට ද බරක් නොවිය යුතුය. 2023දී විදුලිය නිපදවීමට අවශ්‍ය ගල් අඟුරු සහ ඩීසල් ගෙන්වීමට රටින් පිටට යනු ඇතැයි අපේක්ෂිත මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1640කි.

ලංවිම මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ තම අවසාන දිගුකාලීන ජනන සැලැස්මේ සඳහන් වන්නේ 2023දී මෙගාවොට් 320ක් හදිසියේ මිලදී ගත යුතු බවය. එසේ හදිසියේ මිලදී ගැනීමට සිදුවන්නේ ඩීසල්වලින් නිපදවන විදුලියයි. ඒ සඳහා ගෙවීමට සිදුවන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 400ක් පමණ වනු ඇතැයි සඳහන්ය. එසේ වුවහොත් විදුලිය නිපදවීම සඳහාම 2023දී ඇමෙරිකන් ඩොලර් මිලියන 2040ක් (1640+400) රටින් පිටට යයි. එහෙයින් ආණ්ඩුව කළ යුත්තේ රටින් පිටට යන මේ මුදල අවම කර ගැනීමය. ඒ සඳහා කළ හැකි පිළියම් මොනවාද?

ඒ ඇතැම් පිළියම් සඳහා මුදල් වැය නොවෙයි. ආණ්ඩුව කළ යුත්තේ ප්‍රතිපත්ති තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමය. බලශක්ති විශේෂඥයන් ‘‘පවර් වීලින්’’ (Power Wheeling) නමින් හඳුන්වන්නේ එසේ ක්‍රියාත්මක කළ හැකි එක් ක්‍රමයකි. දැන් සියල්ල තීරණය කරන්නේ  විදුලිබල මණ්ඩලයයි. ලංකාවේ නිපදවන සමස්ත විදුලියෙන් සියයට 35ක් පමණ නිවාසවලට ද, තවත් සියයට 10ක් පමණ රාජ්‍ය ආයතනවලට ද සැපයෙයි.

ඉතිරි සියයට 55ක් පමණම භාවිත කරන්නේ කර්මාන්ත සඳහාය. එහෙයින් ඒ කර්මාන්ත හිමියන්ට අවශ්‍ය විදුලිය ඔවුන් කැමති නිෂ්පාදකයකුගෙන් මිලදී ගත හැකි ක්‍රමයක් ඇති කළ යුතුය. බලාගාරයේ සිට කර්මාන්ත ශාලාවට විදුලිය සම්ප්‍රේෂණය කිරීමට භාවිත කළ යුතුව තිබෙන්නේ ලංවිම සතු ජාතික පද්ධතියයි. ප්‍රේෂණය සඳහා ජාතික පද්ධතිය පාව්චිචි කරනවාට මණ්ඩලයට ගාස්තුවක් ගෙවිය යුතුය.

‘‘පවර් වීලින්’’ නමින් හඳුන්වන ඒ ක්‍රමයේ දී මහා පරිමාණයෙන් විදුලිය පාව්චිචි කරන කම්හල් හිමියන් වැනි අය විදුලිය මිලදී ගන්නේ තමන්ට අවම මුදලකින් මිලදී ගත හැකි බලාගාර හිමියකුගෙනි. ඒ සඳහා ඔවුන් දෙදෙනා අතර ගිවිසුමක් ඇතිවෙයි. දැන් ලංකාවේ පවතින්නේ විදුලිබල මණ්ඩලයේ ඒකාධිකාරියකි.

මණ්ඩලය කියන ගණනට විදුලිය මිලදී ගත යුතුය. එහෙත් ‘‘පවර් වීලින්’’ ක්‍රමය යටතේ විදුලි නිෂ්පාදකයෝ රැසක් බිහිවෙති. ඔවුන් අතර තරගයක් ඇති වෙයි. ලංවිම යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ විය යුත්තේද ඒ තරගය ඇති කිරීමය. විදුලිය නිෂ්පාදකයන් අතර තරගයක් ඇති වූ විට පාරිභෝගිකයන්ට අඩු මුදලකට විදුලිය මිලදී ගත හැකි වෙයි. විදුලිය නිෂ්පාදකයාට ද වාසිය. නිෂ්පාදකයාට ලංවිම කොන්දේසිවලට යටත්වීමට සිදු නොවෙයි. එසේම ලංවිමට විදුලිය සපයා මුදල් ලබා ගැනීමට අවුරුදු ගණනක් බලා සිටීමටද නොවෙයි.

ලංවිමට විදුලිය සැපයූ පුනර්ජනනීය බලාගාර හිමියන්ට දැන් අවුරුද්දක් තිස්සේ මුදල් ගෙවා නැත. පවර් වීලින් ක්‍රමය යටතේ විදුලිය නිෂ්පාදකයන්ට එසේ නොවෙයි. ලංවිම මුදල් නොගෙවන නිසා දැන් පුනර්ජනනීය බලශක්ති බලාගාර සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වන ආයෝජකයන්ට බැංකුවලින් ණය ද නොදෙයි. එහෙත් පවර් වීලින් ක්‍රමය යටතේ තම විදුලිය මිලදී ගන්නා කම්හල හෝ හෝටලය සමග ඇති කර ගත් ගිවිසුම පෙන්වා ආයෝජකයන්ට බැංකුවලින් ණය ගත හැකිය.

පවර් වීලින් ක්‍රමය සඳහා සුදුසු වන්නේ සුළං, සූර්ය සහ ජල විදුලි වැනි පුනර්ජනනීය බලශක්ති බලාගාරය. එහෙත් ඒ බලාගාරයක් ඉදිකිරීමට දැන් රාජ්‍ය ආයතන 26කින් අනුමැතිය ගත යුතුය. ඒ අනුමැතිය ගැනීමට පමණක් අවුරුදු පහක් පමණ ගත වෙයි. එහෙයින් මේ ක්‍රමය අකා මකා දමා සති දෙක තුනකින් තනි ආයතනයකින් පමණක් පූර්ණ අනුමැතිය (Blanket Approval) දෙන ක්‍රමයක් ඇති කළ යුතුය. වර්තමාන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාව සිටි 2002 වසරේදී එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කළ බව අපට මතකය. ඒ 2002 අංක 02 දරන පනතිනි.

අද රටට අවශ්‍යව තිබෙන්නේ ඊටත් වඩා බලගතු පනතකි. සුළං, සූර්ය හා ජල විදුලිබලාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය මුදල බැංකු ඇපකරයක් මගින් පෙන්වන පුද්ගලයන්ට පමණක් අනුමැතිය සමග ඉඩම් ලබාදිය යුතුය. ලබාදෙන නිශ්චිත කාලයේදී බලාගාරය ඉදි නොකළොත් බැංකු ඇපකරය රාජසන්තක කළ යුතුය. එසේ කළහොත් දැනට සිදුවන එල්.ඕ.අයි. (Letter of Intent) ලබා ගෙන ඒවා විකිණීමේ ජවාරම ද නවතා දැමිය හැකියි. දැන් බොහෝ දෙනෙක් කරන්නේ පුනර්ජනනීය බලාගාර ඉදිකිරීමට අවශ්‍ය බලපත්‍ර (L.O.I.) ලබාගෙන බලාගාර ඉදිනොකර ඒ බලපත්‍ර විකිණීමය. එය දැන් ප්‍රකට ජාවාරමකි.

ඉතා ඉක්මනින් එනම් උපරිම මාස හයකින් ඉදිකළ හැක්කේ හිරු එළියෙන් විදුලිය නිෂ්පාදනය කරන බලාගාරය. සූර්ය බලාගාර පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන හැටියට හිරු එළියෙන් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන්නේ රුපියල් 25 සිට 30 අතර මුදලකි. එසේම ලංකාව හිරු එළියෙන් අසීමිතව විදුලිය නිපදවිය හැකි රටකි.

එසේ තිබිය දී හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ ඒකකයක් රුපියල් 150ක් තරම් ඉහළ මිලකට ඩීසල් විදුලිය මිලදී ගැනීමට පිඹුරුපත් සැකසීමේ රහස කොමිස් කුට්ටි නොවේ දැයි ජනතා සිත්වල ප්‍රශ්න පැන නැගෙන්නේ නිරායාසයෙනි. එසේම සහේතුකවය. ඒ ප්‍රශ්‍නවලට ආණ්ඩු කරන අය දෙන පිළිතුරු මොනවාද? අඩු පිරිවැයකින් හා කෙටි කලෙකින් හිරු එළියෙන් විදුලිය නිපදවා ගැනීමට හැකියාව තිබියදී වහ වහා ඊට අවශ්‍ය ප්‍රතිපත්ති සහ සැලසුම් සම්පාදනය කර ක්‍රියාත්මක නොකර ‘‘හදිසි ඩීසල් විදුලිය’’ මිලදී ගැනීමට කෙළ හලන්නේ ඇයි ?

ලංකාවේ ආණ්ඩු කරන අය ‘‘ඉමර්ජන්සි පවර් සප්ලයි’’ කියමින් ගිනි ගණනට ඩීසල් විදුලිය මිල දී ගැනීමට ප්‍රතිපත්ති හා සැලසුම් සකසා ඒවා ක්‍රියාත්මක කළත්, අප ද අයත් ආසියාවේ අනෙක් රටවල් යන්නේ හිරු එළියෙන් විදුලිය නිපදවීමටය. න්‍යෂ්ටික බලශක්තියෙන් පොහොසත් ජපානය තීරණය කර තිබෙන්නේ වසර 2030 වන විට එරට සියලු නිවාසවල වහලවල් මත හිරු එළියෙන් විදුලිය නිපදවන සූර්ය කෝෂ පැනල තිබිය යුතු බවටය. එහෙත් තෝකියෝ නගර සභාව කියන්නේ තමන් 2030 වනතුරු බලා නොසිට 2024 අවසන් වීමට පෙර ඒ ඉලක්කය වෙත යන බවය. ඉන්දුනීසියාව තවත් උදාහරණයකි.

අවසන් ජී-20 සමුළුව පැවැත් වූයේ ඉන්දුනීසියාවේය. ඒ 2022 නොවැම්බර් 15 සහ 16 දිනවල ඉන්දුනීසියාවේ බාලි දූපතේදීය. ජී -20 සමුළුවේ සත්කාරක රට ලෙස ලෝකයට පණිවිඩයක් දීමට ඉන්දුනීසියාවට අවශ්‍ය වෙයි. ඉන්දුනීසියාව ලෝකයේ හොඳම ගල් අඟුරු නිපදවන හා භාවිත කරන රටකි. ලොව හොඳම ගල් අඟුරු තිබෙන අනෙක් රටවල් දෙක වන්නේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාවයි. ජී-20 සමුළුව අවසානයේ දී ඉන්දුනීසියාව අනාවරණය කළේ, දැනට සියයට 10ක් පමණ වන තම රටේ පුනර්ජනනීය බලශක්ති 2030 වන විට සියයට 34ක් දක්වා වර්ධනය කිරීමට තම රට තීරණය කර ඊට අවශ්‍ය ක්‍රමවේ ද දැනටත් හදා හමාර බවය. එසේම ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 20 ක් ආයෝජනය කරන බවය. ලොව හොඳම ගල් අඟුරු නිපදවන හා භාවිත කරන රටක් පුනර්ජනනීය බලශක්ති කරා යන්නේ එලෙසය.

තායිලන්තය තවත් උදාහරණයකි. එරට විදුලි ජනන අධිකාරිය සවුදි අරාබියේ ඇක්වා පවර් (Acwa Power) සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කර තිබෙන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ක ආයෝජනයකින් ග්‍රීන් හයිඩ්‍රජන් නිපදවීමටය. ඒ ග්‍රීන් හයිඩ්‍රජන් නිපදවීමට අවශ්‍ය විදුලි බලය ගන්නට යන්නේ සුළං බලාගාරවලිනි. ඉදිරි අවුරුදු පහේදි ග්‍රීන් හයිඩ්‍රජන්වලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක් ඇතිවන බව බලශක්ති විශේෂඥයන්ගේ පුරෝකතනයයි.

දියරමය ස්වභාවික ගෑස් (Liquefied Natural Gas – LNG) බලාගාරවලට ස්වභාවික ගෑස් වෙනුවට හයිඩ්‍රජන් මිශ්‍ර කළ හැකි බව බලශක්ති විශේෂඥයන්ගේ මතයයි. අනාගතයේදී නිෂ්පාදනය වන විශාල ට්‍රක් ධාවනය කෙරෙන්නේද හයිඩ්‍රජන්වලිනි. ඇක්වා පවර් ගිවිසුම මත තායිලන්තය අවුරුද්දකට හයිඩ්‍රජන් ටොන් 225,000 ක් නිපදවීමට නියමිතය. ඒ 2050 දී කාබන් වලින් තොර ලෝකයකට යාම සඳහාය. 

සිංගප්පූරුව තම රටට අවශ්‍ය විදුලියෙන් සියයට 85 ක් නිපදවන්නේ දියරමය ස්වභාවික ගෑස් (LNG) වලිනි. එරට දැන් සැලසුම් කරගෙන යන්නේ ස්වභාවික ගෑස් වලින් තොරව ග්‍රීන් හයිඩ්‍රජන් වලින් විදුලිය නිපදවීම සඳහාය. එහෙත් සිංගප්පූරුව ඇතුළේ ග්‍රීන් හයිඩ්‍රජන් නැත. තායිලන්තය ග්‍රීන් හයිඩ්‍රජන් නිපදවීමට සැරසෙන්නේ සිංගප්පූරු වෙළෙඳපොළ දෙස බලාගෙනය.

බලශක්ති විශේෂඥයන්ගේ තක්සේරුව අනුව ලංකාව ද ග්‍රීන් හයිඩ්‍රජන් නිපදවීමට හොඳ රටකි. මන්නාරමේ සුළං බලාගාර ඉදිකිරීමට ආයෝජනය කරන ඉන්දීය ව්‍යාපාරික අදානිගේ අරමුණු අතර ග්‍රීන් හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීමේ බලාපොරොත්තුවක්ද තිබෙන බව අපේ බලශක්ති විශේෂඥයන්ගේ අනාවරණයයි. ඒ සඳහා අදානි දැනටත් සිංගප්පූරුව සමග සාකච්ඡා කරගෙන යන බවද ඒ බලශක්ති විශේෂඥයෝ හෙළිකරති.

ආසියාවේම අපේ අසල්වැසි රටවල් එවැනි ගමනක් යද්දි කෑම බීමත් නැතිව නහය ළඟටම ගිලී සිටින ලංකාව ‘‘ඉමර්ජන්සි ඩීසල් පවර්’’ සරණ යමින් ඒ බර පරිපීඩිතව සිටින ජනතාව මතම පැටවීමට සැරසෙයි. එහි රහස නොදන්නෝ කවරහු ද?

සටහන - ගුණසිංහ හේරත්



අදහස් (2)

විදුලියෙන් බෙල්ලට තොණ්ඩු

M.H.Deeganatha Saturday, 07 January 2023 11:33 PM

සෑම ක්ශේස්ත්‍රයටම නව නිර්මාණ බිහිවෙනවාක් මෙන්ම , විදුලියටත් එය පොදු විය යුතුය. විදුලිය උත්පාදය , උත්පාදනය කරගත් විදුලිය පිරිමැස්ම, යටතේ නවෝත්පාදන නිතැතින් බිහිවිය යුතුය. සාමාන්‍ය ජනතාවට විදුලිය ගැන දැනුමක් නැතයි යන්න පිලිගත හැකිමුත් ,, ඒගැන හසල දැනුම ඇති අයගෙන් නවනිර්මාණ එළි නොදැක්වෙන්නේ, ජනතාවගේ කරුමය නිසාද , නැත්නම් හසල දැනුම තියෙනවයි කියන අයගේ බුද්දියේ අඩුපාඩුවක්ද ? ලංවිම , පර්යේශණ හා සංවර්දන නියෝජ්‍ය සාමාන්‍යාදිකාරී වෙතින් ප්‍රතිචාරයන් බලාපොරොත්තුවෙනි.

:       0       1

M.H.Deeganatha Monday, 09 January 2023 03:59 AM

උද්ගතව ඇති විදුලි අර්බුදය, දේශපාලුවන්ගේ සහ ලංවිම කීපදෙනෙකුගේ සැලසුම් සහගත ක්‍රියාවලියක් බව දකිමි. විදුලිය පාරිභෝගික ජනතාවට විදුලිය ගැන දැනුමක් නැතැයි පිළිගත හැකිමුත්, ඒ සඳහාම සුවිශේෂී හැකියාවන් ඇතැයි පෙන්වමින්, එම ක්ෂේත්‍රයට බැඳී සිටිනවුන්, මේ සිදුකරන්නේ කුමක්ද? විදුලිය උත්පාදන ක්‍රියාවලිය මෙන්ම, උත්පාදනය කරගත් විදුලිය, අනවශ්‍ය ලෙස වැයවීම වළක්වා ගැනීමද සිදුවිය යුතුයි. විදුලිය උත්පාදනය සෝලා ක්‍රමවේදයෙන් ඇතිකර ගැනීමට අකුල් හෙලා ඇත්තේ ඒ ගැන දැනුම ඇති අයද නැති අයද? මේ වනවිට විදුලිය පහසුකම් ලබාඇති සියලුම පාරිභෝගිකයින්ගේ පරිශ්‍රයන්හි පියස්, සෝලාර් පද්ධති ස්ථාපිත කරලීමට, ලංවිමට නිතැතින් හිමිවිය යුතුබවට කටයුතු සිදුවිය යුතුයි. දහවල් කාලයේදී, සියලු කර්මාන්ත අඛණ්ඩව ක්‍රියාත්මක වීමට ඉඩ සලසාදීම එහි අරමුණයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site