IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් පෙළගැසෙති


සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගයේ නායකත්වයට පත්වූයේ ද අනතුරුව විපක්ෂ නායකධූරයට පත්වූයේ ද, කිසිසේත්ම සුමට සහ සන්සුන් කාලපරිච්ඡේදයක නම් නොවේය යන්න පිළිගත යුතු කාරණයකි. පක්ෂ නායකයා ලෙසත්, විපක්ෂ නායකවරයා ලෙසත් භූමිකා දෙකකට පණ පෙවීමට ඔහුට සිදුව ඇත්තේ රටම කෝවිඩ්-19 වසංගත තත්ත්වයෙන් වෙළී තිබෙන අවස්ථාවකය. 

ඔහුගේ නායකත්වයේ අගය කළ යුතු අවස්ථා කිහිපයක්ම තිබෙන අතර කෝවිඩ්-19 ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට රජය එකල අනුගමනය කළ දැඩි ප්‍රතිපත්තියට එරෙහිව ඔහු කන්තලේ සුසාන භූමිය ඉදිරිපස දී සිදුකළ විරෝධතාවය එයින් එකකි. මෙය රටේ සිංහල ප්‍රජාවේ ඇතැම් කොටස්වල විමතියට පවා හේතු විය.

රජය සිය තීරණය හකුළා ගත්තේ පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුවය. 

කෝවිඩ්-19 ආසාදනයව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීම සදහා තෝරාගත් නැගෙනහිර පළාතේ ඔට්ටමාවඩිහි එම ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ පිරී ගොස් ඇත. අනෙක් පසින්, එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කිරීම සිහිකරමින් පසුගිය මස පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පැවැති විජයග්‍රහණයේ සමරුවට සහභාගීවීම හමුවේ, ප්‍රේමදාස මහතා දෙමළ ජාතිකයන්ගේ (විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ) විරෝධයට ලක්ව සිටී. එසේ කිරීම හරහා, දෙමළ සමාජයේ සැළකිය යුතු පිරිසක් අමනාප කරගැනීමට ඔහු සමත්ව ඇතැයි ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවෝම පවා පිළිගන්නෝය.

සමගි ජනබලවේගයේ නායකයා ලෙස ප්‍රේමදාස මහතා ගෙවා තිබෙන දින සහ මාස කිහිපය සැළකිල්ලට ගැනීමේ දී සන්ධානයේ අනෙක් නායකයන්ගේ අදහස් නොසළකා හරිමින් විවිධ තනතුරු සදහා පුද්ගලයින් පත්කර ඇතැයි යන්න ඔහුට දොස් එල්ලවන චෝදනා අතරින් එකකි. 

විදේශ ප්‍රතිපත්ති ගැටලු සම්න්ධයෙන් වන ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ප්‍රේමදාස මහතා එසේ අනෙක් අයගේ අදහස් නොවිමසා පුද්ගලයෙක් පත්කර තිබීම එක් උදාහරණයක් වන අතර, එසේ පත්කර තිබෙන පුද්ගලයාට ඇත්තේ විදේශ සබඳතා සම්බන්ධයෙන් ඔහුගේම පෞද්ගලික න්‍යාය පත්‍රයක් මිස සමගි ජනබලවේගයට අදාළ දෙයක් නොවන බවට පක්ෂයේ ඇතැම් කොටස් පැමිණිලි කරයි. 

මෙය තහවුරු කිරීමට කාරණයක් ගෙනහැර දක්වන්නේ අන් කිසිවෙක් නොව ප්‍රේමදාස මහතාමය.

ඉන්දු - ලංකා නියෝජිතයන්ගේ ගනුදෙණුව 

2009 වසරේ දී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව තිබූ යෝජනාවක් ශ්‍රී ලංකාවට පක්ෂව දිනාගැනීමට හැකිවීම එසේ ගෙනහැර දක්වන ඔහු, එයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ මෙකී පුද්ගලයා එකල ජිනීවාහි ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කිරීමය. එම යෝජනාව ශ්‍රී ලංකාවට පක්ෂව දිනාගැනීමෙහි ලා ඔහු ජිනීවාහි සිටින ඉන්දියාවේ නිත්‍ය නියෝජිතයා සමග ගනුදෙනුවක් ඇතිකරගෙන තිබෙන අතර එම ගනුදෙනුවේ ඔහුගේ පාර්ශවයෙන් දී ඇති පොරොන්දුව වන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවය.

අනෙක් පසින් ඉන්දියාව, එම යෝජනාව ඉදිරිපත්වන අවස්ථාවේ දී, ශ්‍රී ලංකාවට පක්ෂව පෙනී සිටිනවා පමණක් නොව ශ්‍රී ලංකාවට පක්ෂව සහාය දීම සදහා අනෙක් සාමාජික රටවල් ද පොළඹවා ගැනීමට කටයුතු කළ යුතු විය. 

මෙම ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස එම යෝජනාව ශ්‍රී ලංකාවට පක්ෂ ආකාරයට සම්මත කරගැනීමට හැකිවුනි. ගෙවුණු මාස කිහිපය ඇතුළත දී ජනතාව අමතමින් කළ දේශනවල දී, ප්‍රේමදාස මහතා මෙකී සිදුවීම නැවත නැවතත් ගෙනහැර දක්වමින් එය ජයග්‍රහණයක් ලෙස පෙන්වාදීමට වෑයම් කළේය. නමුත්, ඔහු එවැනි අවස්ථාවල නොකී කාරණය නම් එය ඔහුගේ නොව එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයක් වූවේය යන්නය. එකල නගරය වටා ප්‍රදර්ශනය කැරුණු දැන්වීම් පුවරුවල ද එය සදහන් විය.

මෙකී ජ්‍යෙෂ්ඨ උපදේශකයා 2024 පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත්වන්නේ යැයි අදහස් දක්වා තිබීම ද පක්ෂයේ ඇතැම් සාමාජිකයන්ගේ කෝපයට හේතුවී ඇත. එම ජයග්‍රහණය ඔහු සමාන කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 6 න් 5ක ප්‍රමාණයක් හිමිවූ 1977 පාර්ලිමේන්තු මැතිවරණයටය. 

කෙසේවුවත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ජගත් මානව හිමිකම් කවුන්සිලය දක්වාම ගිය ප්‍රථම අවස්ථාව එය බව ප්‍රේමදාස මහතා නොදන්නවා හෝ මෙතෙක් අවබෝධ කරගෙන නැති හෝ සෙයකි. එය ක්‍රියාත්මක කරන බවට කලින් පැවැති රාජපක්ෂ පරිපාලනය අන්තර්ජාතික ව්‍යුහයක් හමුවේ පොරොන්දුවී තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කෙරෙන තැනට කටයුතු කළ සහ පසුව සැළකිය යුතු ආධාරකරුවන් පිරිසක් සමග සමගි ජනබලවේගය හා එක්වූ පුද්ගලයෙක් මෙසේ දැඩිව විවේචනයට ලක්වෙමින් සිටින තවත් අයෙකි. පාලක සන්ධානයේ දේශපාලඥයින් සමග සබදතා පවත්වාගනිමින් සිටින්නේයැයි ද තොරතුරු හුවමාරුවේ යෙදෙන්නේ යැයිද මෙම පුද්ගලයාට එරෙහිව චෝදනා නැගෙතත්, ඔහු ඒවා තරයේම ප්‍රතික්ෂේප කරයි. 

සමගි ජනබලවේගයේ මුල් පෙල සාමාජිකයන් මේ ආකාරයේ ගැටලු නොයෙක් වර මතුකළ ද, අනිටු ප්‍රතිවිපාක අත්වනු ඇතැයි බියෙන් ඒවා ප්‍රසිද්ධියේ නොකියා සිටීමට ඔවුහු අදිමදි කරන්නෝය. මෙවන් තත්ත්වයක ප්‍රේමදාස මහතාට විශ්වාසය පළකරමින් යෝජනාවක් සම්මත කරගැනීම පක්ෂයේ මතුව තිබෙන බෙදීම් සමනය කරන්නේ නොවේ. 

පදනමක් ඇති වේවා හෝ නොමැති වේවා, එසේ විශ්වාසය පළකිරීමේ යෝජනාවක් සම්මත කරගැනීමට තීරණය කිරීම, ප්‍රේමදාස මහතාගේ නායකත්වයට එරෙහි කුමන්ත්‍රණයක් පවතින්නේය යන්න පිළිගැනීමකි. මෙම තත්ත්වය ඔඩුදිවීමට ඉඩ හැරීමෙන්, පසුව එය තමාට විශාල අභියෝගයක් වන ගැටලුවක් බවට පත්වන්නේය යන්න ප්‍රේමදාස මහතාම දනී. 

එය විශේෂයෙන්ම, එක් එක් කාල පරාසයන් ඇතුළත තමාට ලැබෙමින් තිබෙන බුද්ධි තොරතුරු ඔහු දැඩිව විශ්වාස කරන පසුබිමකය. සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම පිළිවෙත, ඔහුගේ පියාණන් වන නැසීගිය රණසිංහ ප්‍රේමදාස මහතාට හාත්පසින්ම වෙනස්ය. 

බිම් මට්ටමේ හෝ පක්ෂයේ ඉහළ තලයේ හෝ කුමක් සිදුවෙමින් පවතින්නේද යන්න පිළිබඳව තොරතුරු දැනගැනීම සදහා තමන්ම ගොඩනගා සංවර්ධනය කළ යාන්ත්‍රණයක් හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාට තිබිණ. ඔහු කිසිදු අවස්ථාවක බාහිර මුලාශ්‍රයක් මත රදා පැවතුනේ නැත. මෙසේවී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජනබලවේගයට එක්වූ පළාත් පාලන ආයතන සාමාජිකයන් පිරිසක් අතරමංව සිටින අවස්ථාවකය. 

ඔවුන් පක්ෂයෙන් ඉවත්වීම නිසා, එක්සත් ජාතික පක්ෂය එම සාමාජිකයන්ව නෙරපා දමා ඇත. සමගි ජනබලවේගය යටතේ මැතිවරණයට තරග කළ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන සාමාජිකයන් 69 දෙනෙක්, සිය එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කටයුතු කළේය. 

පක්ෂයේ සිටියදීම, වෙනත් පක්ෂයක් යටතේ මැතිවරණයකට තරග කිරීම එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි. පෙත්සම විභාගයේ දී, ඉදිරිපත් වූ මූලික විරෝධතා සැළකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය එය ඉවත දැමූ අතර, විජිත් මළල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්.තුරෙයිරාජා යන විනිසුරුවරුන්ගෙන්, විනිසුරු මඩුල්ල සමන්විත වුනි. 

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා මූලික විරෝධතාවයන් මතුකරමින්, පෙත්සම නිසි ආකාරයෙන් ගොනුකර නැතැයි පැවසුවේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ෆායිස් මුස්තාපා මහතා, පෙත්සම් නැවත ගොනුකර ඉදිරිපත් කිරීමට අවසර දෙන්නැයි තර්ක කළේ ය.එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස නම් කර තිබිණ. 

මීට පෙර අවස්ථාවක හිටපු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් පිරිසක්, සිය එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි නොකරන්නැයි ඉල්ලා රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ගොනුකළ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. පෙත්සම්කරුවන් අතර, ගම්පොළ නගරසභාවේ සභාපති අනුර සම්පත් කුමාර මහතාත් වූ අතර 2020 මැතිවරණයට සමගි ජනබලවේගය යටතේ තරග කළේ යැයි ඔහුව පක්ෂයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය කටයුතු කර තිබිණ.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමග, පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූ සාමාජිකයන් වෙනුවට නව සාමාජිකයන් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව හිමිවේ. මේ හරහා අඩුම තරමින් පළාත් පාලන ආයතන මට්ටමින් හෝ එක්සත් ජාතික පක්ෂයට යම් නියෝජනයක් පවතිනු ඇත.

යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවලිය

ක්‍රියාකාරී විපක්ෂයක් නොමැති යැයි පාලක සන්ධානයට පහසුවක් ඇත්තේ ද නැත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් බරපතල ගැටලු මතුවෙමින් පවතින අතර ඒ අතරින් අලුත්ම ගැටලුව නැගී තිබෙන්නේ යුරෝපයෙන්ය. 

ගෙවුණු බ්‍රහස්පතින්දා, ලක්ස්ම්බර්ග්හි යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ දී, එක්තරා යෝජනාවලියක් සම්මත විය. මෙයත් සමග ශ්‍රී ලංකාවට යුරෝපයෙන් හිමිකර දී, තිබෙන ජීඑස්පී බදු සහනය අහිමි කැරෙනු ඇතැයි බිය පළව තිබේ. 

පෙර අවස්ථාවක ජීඑස්පී ප්ලස් බදු සහනය ඉවත් කිරීමට (පසුව මෙම බදු සහනය නැවත ලබාදෙන ලදී) තුඩුදුන් සිදුවීම් කිහිපයක්, නැවත වරක් සිදුව තිබෙන සෙයක් මෙහි පසුබිම අධ්‍යනය කිරීමේ දී, හදුනාගන්නට ඇත. කෙසේවුවත්, එදාට වඩා අද, වෙනසක් පවතී. එදා, යම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූයේ නම් එය පළමුව බ්‍රසල්ස්හි පිහිටි යුරෝපා සංගම් මූලස්ථානයට ඉදිරිපත් කළ යුතු විය. නමුත් අද එසේ නැත. එදා සිට අද දක්වා ගෙවී තිබෙන කාලය ඇතුළත, තනිව ක්‍රියාකාරී විය හැකි වන සේ යුරෝපා පාර්ලිමේන්තුව බලගන්වා තිබේ.

මෙම යෝජනාවලිය, යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයන් 704 දෙනාගෙන්, 628 දෙනෙකුගේ (එනම් තුනෙන් දෙකක බහුතරයකින්) ඡන්දයෙන් සම්මත විය. යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව ඉදිරියට මෙවැනි යෝජනාවක් ඉදිරිපත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය දැන සිටියේ ද? යන්න මෙතැන ඇති ගැටලුවයි. 

විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරංචි මාර්ගයකට අනුව, බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම යෝජනාවලිය දෙමළ ඩයස්පෝරාවේ මෙහෙවීම මත සකස්ව ඇති එකක් යැයි මෙරට බලධාරීන්ට දැනුම් දී තිබෙන අතර එය දවාල ගෙවී රැය නිසැකවම එළැඹෙන්නා සේම අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එම පණිවුඩය ලබා දී තිබෙන්නේ ද යෝජනාවලිය සම්මත කරගැනීමෙන් පසුවය. 

යුරෝපා සංගම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයන්ට කරුණු දැක්වීමට බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනුගමනය කර තිබෙන පියවරයන් මොනවා ද?, යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රී ලංකා හිතවත් සාමාජිකයන් සමග නැවතත් සබඳතා ගොඩනගා ගැනීමට බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර නොමැති බවත්, මෙහිදී සදහන් කළ යුතුය. 

මෙතෙක් එම සබඳතා ඉදිරියට ගෙන ගියේ ජෙෆරි වැන් ඕර්ඩන් සහ කොළඹ බලයට පත්වන සෑම රජයක් සමගම පාහේ සබදතා පවත්වාගෙන ගිය නිරන්ජන් දේවාදිත්‍ය යන දෙදෙනාගේ සුසංයෝගයේ පිහිටෙනි. බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කල්තියා සූදානමින් සිටිය යුතුව තිබිණ. 

මෙම සිදුවීමෙන් නැවත වරක් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයේ වර්තමානයේ පවත්නා අතිශය ඛේදනීය තත්ත්වයයි.එය දිනෙන් දිනම වඩ වඩාත් අකාර්ශක්ෂම මෙන්ම අලුත්ම තොරතුරුවලින් යාවත්කාලීන නොවන තැනකට පත්වෙමින් තිබේ.

යෝජනාවලියෙන් ගෙනහැර දක්වා ඇති හේතු

1. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් 2013 දෙසැම්බර් මස 11 වැනිදා නිකුත් කැරුණු යෝජනාවලියට අදාළව

2. ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට ගනිමින්, 2021 මාර්තු මස 23 වැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී, සම්මත වූ යෝජනාවලියට අදාළව

3. 2021 අප්‍රේල් මස 13 වැනිදා ජනපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට නව රෙගුලාසි ඇතුළත් කළේය. මේ අරබයා අදහස් දක්වා තිබෙන මානව හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින කණ්ඩායම්වලට අනුව, මෙකී නව රෙගුලාසි නිශ්චිතව යමකට අදාළ කරගත හැකි භාවයෙන් තොරය. එමෙන්ම මෙම රෙගුලාසි හරහා, විරුද්ධ මත දරන්නන්ට සහ රටේ ජාතික සහ ආගමික සුලුතරයට අයත් ජන කොටස්වලට එරෙහිව නීතිය අවියක් ලෙස භාවිතා කිරීමට හැකියාව ලැබෙන බවටත්, ඔවුන් අනතුරු අගවා තිබේ.

4. ශ්‍රී ලංකාවේ සිවිල් රාජ්‍ය පාලන කටයුතු මිලිටරිකරණය කෙරෙමින් පවතින බව ඉතාම පැහැදිලිව හදුනාගන්නට තිබේ. කෘෂිකර්මය, ප්‍රවාහනය, සංචාරක අංශය වැනි ආර්ථික කටයුතුවලට අදාළ ක්ෂේත්‍රයන්වල එදා සිට අද දක්වාම මිලිටරියේ යම් නියෝජනයක් පවතින අතර 2020 සිට සැළකීමේ දී අඩුම තරමින් දැනටමත් සේවය කරන හෝ හිටපු හෝ මිලිටරි සහ බුද්ධි අංශවලට අනුයුක්ත පුද්ගලයින් අවම වශයෙන් 28 දෙනෙකුවත් පරිපාලනමය වශයෙන් ප්‍රධාන යැයි සැළකිය හැකි තනතුරුවලට පත්කර තිබේ. එම පත්කිරීම් අතර, යුද සමයේ අවසන් භාගයේ දී යුද අපරාධ සහ මිනිස්කමට තරම් නොවන අපරාධ සිදුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවලින් චෝදනා නගා තිබෙන ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් අවම වශයෙන් දෙදෙනෙකුවත් සිටිති. එමෙන්ම යුද්දය පැවැති කලාපවල ආරක්ෂක අංශ වඩ වඩාත් ගැවසෙමින් සිටින බවටත්, මුර කපොලු ප්‍රමාණය වැඩි කෙරෙමින් පවතින බවටත් වාර්තා පළවේ.

5. ඝාතනයන්ට සහ අතුරුදන් කරවීම්වලට අදාළ ඉහළ පෙලේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පැවැති විමර්ශනවලින් අත්පත් කරගෙන තිබෙන ප්‍රගතියත්, යුද අපරාධ සම්බන්ධයෙන් නැගී තිබෙන චෝදනා විමසුමට ලක් කිරීම සදහා පැවැති රජයෙන් ලබාදුන් පොරොන්දු මෙන්ම සංහිදියාව ගොඩනැංවීම සදහා යුද්දයට පෙර සහ පසු පවතින ගැටලුවලට විසදුම් සෙවීමට දුන් පොරොන්දු, ශ්‍රී ලංකාවේ නව රජය ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 30.1 යෝජනාවලියට අනුග්‍රහය දක්වන්නේ නැතැයි නිල වශයෙන්ම ප්‍රකාශ කර තිබීම හමුවේ ආපස්සට ගොස් තිබෙන බව පෙනේ. එමෙන්ම, අතුරුදන්වූවන් දැනට සිටින ස්ථානයන් සොයාගැනීමත්, අවැසි උපකාර ආදිය ලබාදීමටත් වෙනුවෙන් පසුගිය රජය සමයේ දේශීය මට්ටමින් පිහිටැවුනු කාර්යාලයන් දෙකෙහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ද, පවතින්නේ සහතිකයක් ලබාදිය නොහැකි තත්ත්වයකි.

6. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා ඉතාම මෑතක නිකුත් කර තිබෙන වාර්තාවක, ත්‍රස්ත විරෝධී පණත කටතේ කැරෙන නව අත්අඩංගුවට ගැනීම්, අන්තර්ජාතික වශයෙන් පිළිගත් පිළිවෙත් මත ගොඩනැගෙන නව පණතකින් එය ප්‍රතිස්ථාපනය කැරෙන තෙක් අත්හිටුවිය යුතු බව නැවත වරක් අවධාරණය කර තිබේ.

සාමාජිකයන් 17 දෙනාගේ යෝජනාවලිය 

1. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙමින් පවතින, රජයේ සිවිල් කටයුතු සීඝ්‍රයෙන් මිලිටරිකරණය වෙමින් පවතින, අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට පවතින ආයතන සෝදාපාලුවට ලක්වෙමින් තිබෙන, අපරාධ සහ මානව හිමිකම් කඩකිරීමේ චෝදනා නැගී තිබෙන අයවලුන්ට රැකවරණය මෙන්ම දේශපාලන නියමයෙන් එකී අයවලුන් සම්බන්ධයෙන් වන විමර්ෂණ කටයුතු අඩපණ කැරෙමින් පවතින, සුලුතර ජන සහ ආගමික කොටස් නියෝජනය කරන ජනතාව තවදුරටත් ආන්තීකරණය කැරෙන ප්‍රතිපත්තීන් හදුන්වාදෙමින් පවතින, සිවිල් සමාජය ආවේක්ෂණය කැරෙන සහ බිය ගැන්වෙමින් පවතින, මාධ්‍ය නිදහස මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිළෙමින් පවතින, ප්‍රවණතාවක් පසුගිය වසර පුරාවට ශ්‍රී ලංකාවේ හදුනාගන්නට පවතින අතර, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ,

2. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ හෝ 2019 අංක 1 දරන හදිසි නීති රෙගුලාසි යටතේ හෝ යටත්වන හෝ අත්අඩංගුවට ගැනෙන පුද්ගලයින්- පුනරුත්ථාපනය යැයි හදුන්වාදෙන වැඩසටහනකට යොමු කැරෙන්නේ යැයි සඳහන් කැරෙමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතට නව රෙගුලාසි හදුන්වාදී තිබීම, එසේ රැඩිකල්කරණය කිරීමටැයි, පුනරුත්ථාපනය කිරීමටැයි සහ නැවත සමාජගත කිරීමටැයි යැයි මේ හා සමාන නීති යටතේ අතීතයේ හදුන්වාදී තිබෙන වෙනත් මධ්‍යස්ථානයන්වල- වධහිංසන පැමිණවීම්, ලිංගිකත්වය පදනම් වූ අඩත්තේට්ටම් සහ හිංසනයන් වැනි අතිශය බරපතල මට්ටමේ මානව හිමිකම් කඩවීම් සිදුවූ බව, යන කාරණා ඉතාම බරපතල ලෙසින් අවධානයට යොමු කෙරේ. එනිසා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, අන්තර්ජාතික වශයෙන් පිළිගත් තත්ත්වයන් හා අනුකූලවන සේ සංශෝධනය කිරීමට උත්සුක වන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

3. අතීතයේ සිදුවූ බරපතල මට්ටමේ උල්ලංඝණය කිරීම්වලට තුඩුදුන් ප්‍රතිපත්තීන් සහ පිළිවෙත් නැවත හදුන්වා නොදෙන සහ නැවත භාවිතයට නොගැනෙන බව සහතික කරනු වස් පසුගිය අවුරුදු කිහිපයේ දී තැබුණු, ඉතාම සීමාසහිත වුවත් ස්වභාවයෙන් ඉතාම වැදගත් පියවරයන් ආපසු හරවන තැනට තර්ජනයක් විය හැකි මෙවන් ප්‍රවණනතා මැඩපවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

4. ජගත් මානව හිමිකම් කවුන්සිල 30.1 යෝජනාවලියට සහ වෙනත් අදාළ යෝජනාවලීන්ට දැක්වූ සම-අනුග්‍රහකත්වය ඉවත් කරගැනීම සම්බන්ධයෙන් කණගාටුව පළකරන අතර, යුද සමයේ දී අන්තර්ජාතික මානව හිමිකම් සහ මානවවාදී නීතිය කඩව ඇතැයි නැගී තිබෙන චෝදනා අරබයා වගකීම් සහගතව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් උදක්ම ඉල්ලා සිටී. මානව හිමිකම් කඩකැරෙන සිදුවීම් නැවත සිදු නොවීමටත්, සුවය සහ සංහිදියාව ප්‍රවර්ධනය කිරීමටත් තුඩු දෙන පරිද්දෙන්, වගවීම සහතික කිරීමට සහ යුක්තිය පසිඳන බව සහතික කිරීම උදෙසා, අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුතු පිළිවෙතක් පෙරදැරිව අතීතයේ වූ සිදුවීම් විමසුමට ලක්කරන්නැයි ඉල්ලා සිටින අතර, එහිලා ගෙවුණු වසර කිහිපය ඇතුළත රටේ ස්ථාපිත කැරුණු ස්වාධීන ආයතනවල කාර්යභාරය සහ වැදගත්කම අවධාරණය කැරේ.

5. ආගමට සහ විශ්වාසයන්ට පවතින නිදහස පුලුල් කැරෙන බව තහවුරු කරනු වස්, සියලුම ජන කොටස්වලට තම තමන්ගේ ආගම් සහ විශ්වාසයන් නිදහසේ ඇදහීමට පවතින අවස්ථාව වඩ වඩාත් ප්‍රවර්ධනය කිරීමට උත්සුක වන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

6. කවුන්සිලයට, යුරෝපා පරිබාහිර සේවා අංශයට, කොමිසමට, රජයන්ට, සාමාජික රටවල පාර්ලිමේන්තුවලට සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට, මෙම යෝජනාවලිය යොමු කරන්නැයි සභාපතිවරයාට උපදෙස් දේ.

2017 වසරේ දී, එවක යහපාලන රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රස්ත මර්දන පණත ප්‍රතිස්ථාපනය කරන්නේයැයි මෙන්ම යුරෝපා සංගමය අපේක්ෂා කරන අනෙක් පියවරයන් ක්‍රියාවට නංවන්නේයැයි ද, මෙරටට පැමිණි යුරෝපා සංගම් දූත පිරිසකට සහතියක් දුන්නේය. දැන් මෙසේ යෝජනාවලියක් ඉදිරිපත්ව තිබෙන්නේ එසේ ලබාදුන් සහතිකය අනුව කටයුතු කර නොමැති නිසා යැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයක් සදහන් කළේ ය. අනතුරුව යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැති අතර, ඉන් මාස කිහිපයක ඇවෑමෙන් ජීඑස්පී පලස් බදු සහනය ඉවත් කරගැනීම සිදුවුනි. 

මෙවර නම්, බදු සහනය ඉවත් කරගැනීම දක්වා එතරම් කාලයක් ගතනොවීමට ඉඩ තිබෙන බව එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පැවසුවේය. මේ සම්බන්ධයෙන් කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය කුමන හෝ පියවර ගැනීමක් සිදුකර ඇතිදැයි යන්න තවමත් පැහැදිලි නොමැත. තිබෙන එකම වාර්තාව වන්නේ යුරෝපයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයකු (ඔහු සිටින රටට අමතර තවත් රටක තානාපතිවරයා ලෙස ද, පත්කර සිටින්නෙකි), එම රටවල දෙමළ කණ්ඩායම් පවත්වාගෙන යමින් සිටින සමාජ මාධ්‍ය ගිණුම් සහ පිටු විමසුමට ලක්කළ යුතුව ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් යම් යාන්ත්‍රණයක් සකස් කළ යුතුව ඇතැයි ද, යැයි යුරෝපා බලධරයින්ට ඉදිරිපත් කර තිබෙන යෝජනාවකි. 

එයට ලැබී තිබෙන ප්‍රතිචාරය සිනහවක් බැව් සැළය.මෙම තානාපතිවරයා වෙනත් කාරණා සම්බන්ධයෙන් දැනුම්වත්ව නොසිටි බව මින් මනාව පැහැදිලි වේ. මෙවැනි දේවලින් සිදුවන්නේ රට තවත් අපහසුතාවයට පත්වීම පමණකි.

18 වැනි පරිච්ඡේදය 

ශ්‍රී ලංකාව අරබයා චීනයේ භූමිකාව ක්‍රමයෙන් විශාලවෙමින් තිබීම සහ ඔවුන් ශ්‍රී ලංකාවේ කටයුතුවලට වඩාත් මැදිහත්වෙමින් සිටීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ.

චීනය හා ශ්‍රී ලංකාව අතර වර්ධනය වෙමින් පවතින සබඳතා අරබයා යුරෝපා කලාපයට පැවැති විරෝධය මෙතෙක් තිරය පසුපසට පමණක් සීමාවී තිබුණ ද, මෙම යෝජනාවලියෙන් එය අවසානයේ කරළියට පැමිණ ඇත. ඔවුන් මෙම සබඳතාවය- චීනයේ භූමිකාව ක්‍රමයෙන් විශාලවෙමින් තිබීම සහ ශ්‍රී ලංකාවේ කටයුතුවලට වඩාත් මැදිහත්වෙමින් සිටීම යැයි විස්තර කර තිබීම, යුරෝපා සංගමය කර ඇති නව නිරීක්ෂණයකි.

මීට පෙර අවස්ථාවක එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් කණ්ඩායමක්, එම කොංග්‍රස් මණ්ඩලයට යෝජනාවලියක් ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා රජයේ උත්සාහය වන්නේ එම යෝජනාව විවාදයට ගැනීමෙන් වළක්වාගැනීම බව පෙනෙන්නට තිබෙන නමුත් එවැනි උත්සාහයක් අසාර්ථක වන්නට තිබෙන ඉඩ වැඩිය. 

එක්සත් ජනපද ව්‍යවස්ථාවට අනුව, එරට සම්පූර්ණ ව්‍යවස්ථාදායක බලය හිමිව තිබෙන්නේ සෙනට් මණ්ඩලයෙන් සහ ජනතා නියෝජිතයන්ගේ මණ්ඩලයෙන් සැදුම්ලබන ඇමරිකා කොංග්‍රසයටය. නීතියක් සම්මත කැරෙන ආකාරය ද, වැඩිදුරටත් දක්වා තිබෙන එරට ව්‍යවස්ථාවට අනුව- පළමුව ජනතා නියෝජිතයෙකුගේ අනුග්‍රහය යටතේ පණතක් ඉදිරිපත් කෙරේ. එම පණත අධ්‍යනය කිරීම සදහා කමිටුවකට යොමු කෙරේ. එසේ යොමු කැරුණු පණත අධ්‍යනයෙන් පසුව නිදහස් කිරීමට එකී කමිටුව කටයුතු කළහොත්, ඡන්ද විමසීමට, විවාද කිරීමට හෝ සංශෝධනය කිරීම සදහා කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරනු වස්, දිනයක් වෙන් කෙරේ. 

ජනතා නියෝජිතයන්ගේ මණ්ඩලයේ සරල බහුතරයකින් (435 න් 218 ක්) පණත සම්මත වුවහොත්, එය සෙනට් මණ්ඩලය වෙත යොමු කෙරේ. සෙනට් මණ්ඩලයේ දී, පණත නැවතත් අධ්‍යනය සදහා කමිටුවකට යොමු කැරෙන අතර, අධ්‍යනයෙන් පසුව එය එකී කමිටුවෙන් ද, නිදහස් කැරුණහොත්, පණත විවාදයකට සහ ඡන්ද විමසීමකට ලක් කෙරේ. මෙතැන ද, සරල බහුතරයක් හිමිවුවහොත් (100 න් 51 ක්) පණත සම්මත වේ. 

අවසානයේ දී, ජනතා නියෝජිතයන්ගේ මණ්ඩලයේ සහ සෙනට් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් සම්මන්ත්‍රණ කමිටුවක් හමුවට මෙසේ සම්මත කරගත් පණත ඉදිරිපත් කැරෙන අතර, එහිදී ජනතා නියෝජිතයන්ගේ මණ්ඩලය හමුවේ සම්මත කර ගැනුණු සහ සෙනට් මණ්ඩලයේ සාමාජිකයන් ඉදිරියේ සම්මත කර ගැනුණු පණත්වල යම් යම් වෙනස්කම් පැවතෙතොත්, ඒවා සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණීම සිදුවේ.

එසේ සම්මත කර ගැනෙන පණත, අවසාන අනුමැතිය සදහා ජනතා නියෝජිතයන්ගේ මණ්ඩලය වෙත මෙන්ම සෙනට් මණ්ඩලය වෙතත් යොමු කෙරේ.එයින් පසුව එය මුද්‍රණයට යැවේ.පණත නීතියක් බවට පත්කිරීම සදහා සිය අත්සන යෙදීමට ජනපතිවරයාට දින 10ක කාලයක් ඇත.එය නිශේධනය කිරීමට ද, ඔහුට හැකිය.

මෙම යෝජනාවලිය කොංග්‍රසය හමුවට ඉදිරිපත් කිරීම සදහා සාමාජිකයන් 20 දෙනෙකුගේ අත්සන් අවැසිය. එසේ දැනටමත් එයට සිය අත්සන යොදා ඇති එක් අයෙක් වන්නේ ටොම් මලිනොව්ස්කි යැයි දැනගන්නට තිබේ. 

රාජ්‍යතාන්ත්‍රිකයෙක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු අයිතීන් සම්බන්ධයෙන් වන ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු හිටපු අතිරේක ලේකම්වරයෙක් ද, වන ඔහු, වර්තමානයේ ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ හතත්වැනි දිස්ත්‍රික්කය නියෝජනය කරන කොංග්‍රස් සභිකයකු ලෙස කටයුතු කරයි. මෙම සමස්ත ක්‍රියාවලිය පසුපස සිටින ප්‍රධාන චරිතය, උතුරු කැරොලිනා ප්‍රාන්තය නියෝජනය කරන කොංග්‍රස් සාමාජිකාවක බව, තානාපති රවිනාථ ආරියසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී තිබෙන අතර, එම ප්‍රදේශයේ සැළකිය යුතු කොටි හිතවාදීන් පිරිසක් සිටින බව කියැවේ. එහෙත්, වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම යෝජනාවලිය සම්බන්ධව දැනගෙන තිබෙන්නේ ටැමිල්නෙට් වෙබ් අඩවියෙන් ද? එසේ වේවා හෝ නොවේවා, ඉදිරිපත් කැරෙන තෙක්ම මේ සම්බන්ධයෙන් ඔවුන් කිසිත් නොදැන සිටි බව පැහැදිලිය.

එක්සත් ජනපද කොංග්‍රසය හමුවට ඉදිරිපත්ව තිබෙන යේාජනාවලියෙත්, ගෙවුණු බ්‍රහස්පතින්දා යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ යෝජනාවලියත්, සැළකිල්ලට ගැනීමේ දී, ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවලිය සම්මත වූ දිනයේ සිටම, බටහිර රටවල් මෙරටට එරෙහිව එක්ව පෙළගැසෙමින් සිටින බව හොදින්ම පැහැදිලි වේ. එය කිසිදු ලෙසකින්වත් අපේක්ෂා නොකෙරුණු තත්ත්වයකි. දැනට පවතින තත්ත්වය යටතේ, විදේශ කටයුතු අමාත්‍යංශයට මෙම තත්ත්වයට මුහුණදීමට තරම් හැකියාවක් තිබේ ද? යන්න ගැන කිසිවෙකුටත් විශ්වාසයක් නැත.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය කෝවිද ගුණසේකර

 



අදහස් (7)

ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් පෙළගැසෙති

chandima Thursday, 17 June 2021 09:59 PM

එච්චර කරද්දිනේ මේ අය ඒ අයටම දෙන්න යන්නේ... අම්මපා තව තේරිලා නැතිද? ඒ අය පෙළ ගැහැගැහී ලෑස්තිවෙන්නේ අපිටම කෙළින්න කියලා.. ඔහෙලගේ ජාත්‍යන්තර ප්‍රජාව නේද ඔය?

:       5       107

GAMUNU Thursday, 17 June 2021 10:18 PM

සජිත් සති කිහිපයකට පෙර බටහිර රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු මුණගැසීමේ ප්‍රතිඵලයක් නිසා ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් පෙළගැසෙති...

:       78       276

chandima Friday, 18 June 2021 02:19 AM

වයිබර් තාක්ෂණයෙන් ඒ ගොල්ලෝ පෙළගස්සලා තමයි සූත්තර පුංචා පාර්ලිමේන්තුවට එන්නේ. ඕක තේරෙන්නේ නැති ගොන්නු දැන් ලංකාවේ නෑ... එකපාරක් දෙපාරක් කරපු වැඩක් නෙමෙයිනේ. රටට හෙණ ගැහැව්වත් මිනිහා කාට කියලා රට රකින්නද?

:       20       107

මුණසිංහ Friday, 18 June 2021 06:50 AM

ලෝකෙම බලගතු බටහිර රටවල් මේ කරන්නේ ලංකාවේ අභ්‍යන්තර විශේෂයෙන් ජාතික ආරක්ෂාවට අත පෙවීමක්... ලංකාව චීනයට ලංවීමේ ප්‍රතිඵලයක් තමයි මේ. නමුත් ලංකාව බටහිර රටවල යටත් විජිතයක්ව පැවතිය යුතුද? අපි එයාලාට ඕන විදියටම ඉන්නවා නම් මේ කිසිවක් නැහැ. පසුගිය යහපාලන රජය කලේ ඒ ටික. නමුත් අපිට ආර්ථිකව නැගිටින්නට බටහිර රටවල් උදව් කලේ නැහැ. ණයක් දුන්නේ එයාලාට ඕන දේවල් කර ගත්තා ඊටපස්සේ. මෙන්න මේ සත්‍ය අපේ දේශපාලකයන් සහ ජනතාව තේරුම් අරගෙන වැඩ කළ යුතුයි. තවද ඔය බටහිර රටවල් සහ විපක්ෂය කොතරම් දැඟලුවත් ලෝකෙම ඉහළම කොටස් වෙළෙඳ පොල වර්ධනය ලංකාවේ තිබෙනවා. ඒක අමතක කරන්න හොඳ නැහැ...

:       52       117

janahitha Friday, 18 June 2021 02:49 PM

ඔය කෙහෙල්මල් අපිට වැඩක් නැහැ. වහාම වගා සංග්‍රාමයක් දූෂණ විරෝධී, පවුල්වාදී නොවන නායකත්වයකට රට පෙළගැස්විය යුතුය.. සිරිමාවෝගේ ප්‍රතිපත්තිවලින් නැවත රට ගොඩගන්න පුළුවන්. නමුත් ඉතාම කම්මැලි, හිඟමනට, වංචාවට, කුඩුවලට ඇබ්බැහි වී සිටින ජනසමාජයක් මෙහෙය වන්න නම් හොඳ නායකයෙක් පත්කර ගත යුතුය.

:       19       49

d.n hettiarachchi Saturday, 19 June 2021 04:43 AM

නුඹලාත් ගිහින් පෝලිමේ ගිහින් හිටගන්න..

:       10       47

sam Sunday, 20 June 2021 09:18 PM

කරුමේ කියන්නේ සජිතුත් ඒ පෝලිමේ ගිහින් හිටගන්න එක... සජිත්ලා ඉන්න කාලේ තිබ්බ PTA එකම තමයි තවම තියෙන්නේ ආණ්ඩුවයි, විපක්ෂයයි, අනිත් පක්ෂයි එකතුවෙලා කිසිම දෙයක් කරන්න බැරි එකම රට මේක... 1815දී වගේම හැම කෙනාම ඔටුණු දාගෙන රජවෙන්න හදනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1721 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site