උපයන විට බද්ද (PAYE = Pay As You Earn) කලක පටන් පැවතිය ද එහි බදු අනුපාතය උපයන්නාට දැරිය හැකි එකක් විය. එහෙත් 2015 යහපාලනය ආණ්ඩුව විසින් එය ඉතා ඉහළ අනුපාතයකට ගෙන එන ලදී. එකල උද්ධමනය හා විනිමය අනුපාතිකය අඩු අගයක් ගත් බැවින් ද බදු නිදහස් ඉපයුම ඉහළ එකක් වූ බැවින් ද බදු ගෙවීම එතරම් දුෂ්කර නොවීය. 2019න් පසු වියත්මගේ අදුරදර්ශී පාලනය විසින් එම බදු අනුපාත ඉතා අඩු මට්ටමකට ගෙනවිත් බදු නිදහස් ඉපැයුම රුපියල් ලක්ෂ තුන දක්වා වැඩි කරනු ලැබීය. රාජ්‍ය ආදායම පිරිහීමට එය මහත් සේ බලපෑවේය.
එහෙත් 2023 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට යන බදු අනුපාතය වැටුප් ලබන්නාට ඉසිළිය නොහැකි ලෙස සියයට 36ක් දක්වා ඉහළ දමා තිබෙන අතර බදු නිදහස් ආදායම තුනෙන් දෙකකින්; එනම් මාසිකව රුපියල් ලක්ෂය දක්වා පහළ දමා බදු දැල පුළුල් කොට තිබේ.
එමෙන්ම අධි උද්ධමනය හා අධික බදු හේතුවෙන් භාණ්ඩ මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබීම නිසා මාසික ආදායමේ මුර්ත අගය තුනෙන් දෙකකින් පිරිහී තිබේ. නැතහොත් පසුගිය වසරේ මිල දී ගත් භාණ්ඩයක් මිල දී ගැනීමට දැන් එමෙන් තුන් ගුණයක මිලක් ගෙවීමට සිදු වී තිබේ. මෙවැනි අසීරු පසුබිමක ආණ්ඩුව පනවා තිබෙන උපයන විට ගෙවීමේ බද්ද නිසා පැන නගින ජීවන අරගලය හේතුවෙන් සේවක පන්තිය දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වීමට සැරසෙමින් සිටී.
උපයන විට බද්දෙහි ප්‍රතිවිපාක දෙකකි. එකක් රාජ්‍ය ආදායම් වර්ධන ප්‍රතිවිපාකය වන අතර අනෙක පුද්ගල ආදායම් හායන (depletion) ප්‍රතිවිපාකයයි. බදු අයකිරීමෙන් රාජ්‍ය ආදායම වර්ධනය වීම සාමාන්‍ය සංසිද්ධියක් වුව ද එමගින් පුද්ගල ආදායම දැඩි හායනයකට ලක්වීමෙන් ආර්ථික අවපාතයක් දක්වා එය ගමන් කරයි. නව බදු අනුපාතය ඔස්සේ සිදුවන දරුණු ප්‍රතිඵලය වන්නේ ආර්ථික අවපාතයට පාර කැපීමය. ආර්ථික අවපාතය නිර්මාණය වන්නේ වසර ගණනාවක් මුළුල්ලේ ආර්ථිකය ඍන වර්ධනයේ පැවතීම නිසාය. දේශීය පරිභෝජනයේ පිරිහීම දේශීය නිෂ්පාදනයේ පිරිහීමට අන්‍යොන්‍ය ලෙස බලපාමින් මාරක ළිඳේ පතුළට බසිනවාක් මෙන් ආර්ථික වර්ධනය වේගය ද නොකඩවා කඩා වැටීම නිසා ඍණ වර්ධනයක් අත්දැකීමට සිදුවේ.
රාජ්‍ය බදු ආදායම් ඉහළ නංවා ගැනීමේ ප්‍රතිවිපාකයේ ප්‍රයෝජනය කුමක්ද? රජය අයකරගන්නා බදු ඵලදායි නැතහොත් නිෂ්පාදන ප්‍රසාරණය කෙරෙහි යෙදවීමෙන් ආර්ථික වර්ධනයටත් සමාජ සුබසාධනය ඉහළ නංවා ගැනීමටත් හැකිවේ. නොර්වේ, ස්වීඩන් වැනි රටවල් ඉතා ඉහළ බදු ආදායමක් උපයා බදු ගෙවන්නන් ද ඇතුළු මහජනයාට ඉතා ඉහළ සමාජ සුබසාධනයක් ඉටුකරයි.
එහෙත් ලංකා රජය යොමුවනුයේ සුපුරුදු පරිදි අකාර්යක්‍ෂම අධික රාජ්‍ය සේවයක් නඩත්තු කිරීම, සැප සම්පතින් අනූන අධික දේශපාලන ප්‍රජාවක් නඩත්තු කිරීම, අධික හමුදාවක් නඩත්තු කිරීම, අධික විශ්‍රාමිකයන් සංඛ්‍යාවක් නඩත්තු කිරීම, අධික පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තු කිරීම, අධික සුබසාධන සේවා පවත්වා ගැනීම හා නිලධාරී පැලැන්තියේ සුඛෝපභෝගී ජීවිතය නඩත්තු කිරීම වැනි නාස්තිකාර වියදම් පිණිස විනා පලදායී කටයුතුවලට යොදා ගැනීමට නොවේ. එනම් ලංකාවේ බදු ක්‍රමය “සරදියෙල්” පන්නයේ ක්‍රියාවලියකි. එය ආර්ථික දියුණුවට උපස්තම්භක නොවේ.
පුද්ගල ආදායම් හායන ප්‍රතිවිපාකය නිසා සිදුවන්නේ ඍජු ලෙසම මාසික වැටුපෙන් සැලකිය යුතු බදු මුදලක් කපාගෙන ඉතිරිය සේවකයන් අතට ලැබීමට සැලැස්වීමය. සියයට 36ක් දක්වා ප්‍රතිශතයකින් අයකරනු ලබන මෙම බද්ද නිසා සේවක වැටුප් රුපියල් දහස් ගණනක සිට ලක්ෂ ගණනක් දක්වා වැටුපට අනුපාතිකව සේවකයන්ට මාසිකව අහිමිවේ. මාසික වැටුප් ලබන්නා යනු සිය වැටුපේ පරිමාව අනුව පරිභෝජන ක්‍රමය සකස් කරගෙන සිටින ප්‍රජාවකි. මොවුන්ට අපේක්ෂා බොහොමයක් පවතී. ඒ අනුව සිය දරුවන් හොඳ අධ්‍යාපනයක් ලබා දීම පිණිස නාගරික පාසල්වලටත්, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත්, විදේශ විශ්වවිද්‍යාලවලටත් යොමුකර තිබේ. ඒ වූ කලී මහත් වියදමක් දැරීමට සිදුවන කටයුත්තකි.
දෙවනුව ඔවුන් ඉඩමක් මිල දී ගැනීමටත් නිවසක් ඉදිකර ගැනීමටත් බැංකුවලට අධික ලෙස ණය වී සිටින පිරිසකි. තුන් වැනුව, ඔවුන් මෝටර් රථයක් මිල දී ගැනීම පිණිස ණයක් හෝ ලීසිං පහසුකමක් ලබාගත් පිරිසකි. එමෙන්ම සිය අර්ථසාධක අරමුදල උකසට තබා ණයගෙන එහි වාරික කපා ගැනීම නිසා අඩු වැටුපක් ලබන පිරිසකි. ඔවුන්ගේ මාසික වැටුපෙන් මේ වියදම් වෙනුවෙන් මුදල් වෙන් කිරීමෙන් පසු ජීවත් වීම සඳහා සැලකිය යුතු මුදලක් ඉතිරි නොවේ. මාසිකව රුපියල් ලක්ෂයක් ලබන්නාත් ලක්ෂ පහක් ලබන්නාත් අවසානයේ මුහුණ දෙන්නේ එකම ජීවන අරගලයටය.
නව බදු අනුපාතය විසින් කොතෙක් දුරට ආදායම් හායනයවේ ද යත් මධ්‍යම පාන්තික ප්‍රජාවට ඉහත කී වියදම් පියවා ගැනීමට නොහැකිව බැංකු ණය, ජීවිත රක්ෂණ වාරික, හා ලීසිං වාරික පැහැර හැරීමට සිදුවේ. නැතහොත් බැංකු ගිණුමට බැරවෙන වැටුපෙන් බැංකුව එම ණය වාරික කපාගත් විට ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට මුදලක් ඉතිරි නොවේ.
එසේ වූ විට ඔවුන් ද ජීවත් වීමට රජයේ සහනාධාර ලැබිය යුතු පිරිසක් බවට පත් නොවන්නේ ද? මධ්‍යම පාන්තිකයන් විසින් කරනු ලබන පරිභෝජනයෙන් දේශීය පරිභෝජනයේ අධිකතර කොටස සමන්විත වේ. එහෙත් මෙම බදු කරණකොට ගෙන දේශීය පරිභෝජනය අඩපණ කෙරේ. සිල්ලර කඩේ සිට සුපිරි වෙළඳසල දක්වාත් වඩු මඩුවේ සිට හාර්ඩ්වෙයාර් එක දක්වාත් තේ කඩේ සිට හෝටලය දක්වාත්, පැන්සලයේ සිට කොම්පියුටරය දක්වාත්, එළවළුවේ සිට මස්මාංශය දක්වාත් වශයෙන් සෑම අංශයකම ඉල්ලුම මෙම බද්ද නිසා පහත හෙළනු ලැබේ.
ඉල්ලුම පහළ යාමට සමගාමීව හෝ ඊටත් වැඩි වේගයෙන් නිෂ්පාදනය කපා හැරීමට නිෂ්පාදකයන් පියවර ගනී. ආයෝජන, නිෂ්පාදන, යෙදවුම් කපාහරිනවා පමණක් නොව රැකියා කප්පාදුව ඊටත් වැඩි වේගයෙන් සිදුවේ. ඒ අනුව දේශීය පරිභෝජනය හැකිලීමත් සමග දේශීය නිෂ්පාදනයත් හැකිලේ. නිෂ්පාදනය හැකිලීමත් සමග ආදායම් හැකිලේ. ආදායම් හැකිලීමත් සමග යළි පරිභෝජනය හැකිලේ. මේ වනාහී ආර්ථික අවපාතයේ මූලික අඩිතාලමයි.
ඉතුරුම් පිරිහීම, ආයෝජන පිරිහීම, ව්‍යවසායක අකර්මණ්‍යතාව යනාදිය විසින් දිගුකාලීන අඛණ්ඩ ආර්ථික වර්ධනයේ පිරිහීමක් නිර්මාණය කරනු ලබන අතර එය ආර්ථික අවපාතය ලෙස හඳුනා ගනු ලැබේ. ගත් ණය වෙනුවෙන් වාරික හා පොලී ගෙවා දැමීමේ අපහසුව නිසා බැංකුවලට එන ද්‍රවශීලතා තෙරපුම විසින් මුල්‍ය ක්‍රමය ද අභියෝගයට ලක්ව බැංකු පිළිබඳ විශ්වාසය ද බිඳ වැටීමට ඉඩ තිබේ. ආර්ථිකය අවපාතයට යන විට ආර්ථිකයේ නිෂ්පාදන හා උපකාරක වාණිජ සේවා යන සෑම අංශයක්ම ක්‍රමිකව පිරිහීමට පත්වනවා මිස යළි යථා තත්ත්වයට ගෙන එම අපහසුවේ.
නව බදු ප්‍රතිපත්තිය විසින් රජයේ නොදැනුවත් භාවය නිසා ලංකා ආර්ථිකය තුළ නිර්මාණය කිරීමට යන්නේ එවැනි දිගු කාලීන ආර්ථික අවපාතයකි. එබැවින් මෙතෙක් අප මුහුණ දුන් ආර්ථික දුෂ්කරතාවලට වඩා දරුණු දුෂ්කරතාවලට 2023 ජනවාරි මාසයෙන් පසුව මුහුණ දීමට සිදුවේ. එය වැළැක්වීමට ඇති එකම මග වන්නේ බදු අඩු කර රාජ්‍ය ආදායමට සරිලන ලෙස ආණ්ඩුවේ ප්‍රමාණය කුඩා කර ගැනීම ((Small Government)) පමණි.
මෙවර අයවැයෙන් ද ආණ්ඩුව කුඩා කිරීම පිණිස සැලකිය යුතු ක්‍රියාමාර්ග යෝජනා කර නොතිබුණි. රජය ව්‍යවසාය කටයුතුවලින් ඉවත්වීම, රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩුකර කාර්යක්ෂම සේවයක් පිහිටුවීම, නිලධාරීන්ට දෙන සැප කපා හැරීම, දේශපාලන ආයතන සංඛ්‍යාව අඩු කිරීම, අමාත්‍යංශ හා මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම, පොදු සුබසාධනය ප්‍රතිසංවිධානය කිරීම, සෞඛ්‍ය සේවය සඳහා මිලක් අයකිරීමට යෝග්‍ය වන රක්ෂණ ක්‍රම ඇතිකිරීම, නවීකරණ වැඩසටහනක් තුළ අධ්‍යාපනය, විශ්වවිද්‍යාල, ගොවිතැන, කර්මාන්ත සහ සමාජය නවීකරණය කිරීමෙන් ආණ්ඩුව කුඩා කරගැනීමට හැකිවේ.
ආණ්ඩුව ආර්ථිකය පිළිබඳ මිථ්‍යාවක ගිලී සිටී. එනම් රජයට මුදල් නැතත් මහජනයාට මුදල් තිබෙන බවට විශ්වාස කිරීමයි. රජය යනු මහජනතාවගෙන් සමන්විත ආයතනයක් බැවින් මහජනයාට මුදල් හිඟ වන විට රජයට ද මුදල් හිඟ වේ. එබැවින් රජයේ වියදම් සීමා කර ගැනීම විනා වෙනත් විකල්පයක් නැත. මහජනයා කරන්නේ ද සිය වියදම් සීමා කර ගැනීමය. රජය විදේශ ණය නොගෙවා සිටින්නේ ආදායම් හිඟ නිසාය. සේවකයන් බදු නොගෙවීමට සැරසෙන්නේ ද ආදායම් හිඟ නිසාය. රජයටත් ජනතාවටත් අත්වී තිබෙන්නේ එකම ඉරණම වුවද රජය සේවකයන් සූරා කෑමට ක්‍රියා කරයි.
සේවක වැටුපේ ක්‍රය ශක්තිය සියයට 70කින් පමණ පිරිහී ඇති බව රජය නොදනී! නියෝජ්‍ය මුදල් ඇමතිවරයා සියයට 10 විසින් සියයට 90 නඩත්තු කළ යුතු බවට මොකද්දෝ අපබ්‍රංශයක් කියවමින් සිටී. සියයට 10 ක් විසින් සියයට 90 නඩත්තු කරනවා යනු ශුද්ධ සුරාකෑමකි, අසාධාරණයකි. නොදන්නා සූත්‍රයක ඉල්ලී සිටීම නොව දැන් කළ යුත්තේ සියයට සියයට 90ක් පිනට නඩත්තු කිරීම නොව ඔවුන් පළදායි ආර්ථික කටයුත්තකට යොමු කරවීමයි. මෙම 10-90 මෝඩ චින්තනය ආර්ථිකයට මහත් හානියකි.
නව බදු ක්‍රමයට එරෙහිව දැනටමත් වෘත්තීය සමිති බලවත් විරෝධයක් පළ කොට තිබේ. ඉදිරියේ දී සංකේත වැඩ වර්ජනවලින් ද අඩුවක් නොවනු ඇත. එහෙත් රජය බදු අනුපාතය පිළිබඳ සිය ස්ථාවරය වෙනස් නොකරන්නේ නම් වැඩ වර්ජන රැල්ලක් පමණක් නොව ජාතික මට්ටමේ මහා වැඩ වර්ජනයක් ද නිර්මාණය වීමට ඉඩ ඇත. මක් නිසාද යත් ඉහළ මට්ටම්වල සෑම සේවකයකුම මෙම බද්දෙන් පීඩාවට පත්වන බැවින් වැඩ වර්ජන කෙරෙහි යොමු වුවහොත් රජයේ සෑම ආයතනයකම ඉහළ මට්ටම අකර්මණ්‍ය වන බැවිනි.
මෙම බද්ද නිසා හටගන්නා ආර්ථික අවපාතයේ බැරෑරුම් කම වැඩ වර්ජන නිසා තවත් තීව්‍ර කරවයි. ආර්ථිකය අදට වඩා හෙට අඳුරු කරවයි. අවසානයේ දී අවපාතයෙන් ගොඩ ඒමට රජයට තෝරා ගැනීමට සිදුවන්නේ ජනතාව අතර වැඩිපුර මුදල් ගැවසීමට සලස්වා ඉල්ලුම වර්ධනය කර ගැනීමයි. එමගින් දේශීය පරිභෝජනය හා නිෂ්පාදනය ප්‍රසාරණය කරගත හැකිවේ. ඒ සඳහා බදු ඉවත් කිරීම හා මහජනයා අතර මුදල් සුලබ කිරීමට ආණ්ඩුවට සිදුවේ. ඇමෙරිකානු ආර්ථික අවපාතයෙන් ගොඩ එන මග හැටියට ජෝන් මේනාර්ඩ් කේන්ස් පෙන්වා දුන්නේ ද මේ ටිකමය.
පළමුව වරදක් කොට ටික කලක් ගතවීමෙන් පසු එය නිවැරදි කරනවා වෙනුවට වරද පෙන්වා දුන් විට එම වරද නොකර සිටීමෙන් ආර්ථිකය අවපාතයට යා නොදී තබාගෙන එය වර්ධනය කෙරෙහි ද යොමු කළ හැකිය. ලංකා ආණ්ඩුව තීරණ ගන්නේ ආර්ථික විග්‍රහයන් ඔස්සේ නොව මනෝමූල කාරණා ඔස්සේ හෝ ජාතන්තර ආයතනවල වුවමනාවටය. මෙම බදු යෝජනාව IMFයෝජනාවක් ලෙස පෙනෙන අතර එමගින් රජයේ බදු ආදායම සියයට 11 සිට සියයට 17 දක්වා වර්ධනය කරගත යුතු බව ද නිර්දේශ වී තිබේ. ආර්ථිකය යථාපරිදි ක්‍රියාකරන අවස්ථාවල බදු ආදායම වර්ධනය කර ගැනීමට අපහසු නොවුණ ද අද පවතින බිඳුණු ආර්ථික තත්ත්වය අනුව එය කළ යුතු වන්නේ ඉතා සෙමිනි පරෙස්සමිනි.
IMFයනු මුල්‍ය සමාගමක් වැනි ආයතනයකි. මුල්‍ය සමාගම් හා ගනුදෙනු කිරීම ඇඟට ගුණ නැතැයි කියමනක් තිබේ. එමෙන්ම IMFසරණ පැතූ රටවල් විනාශ වූ බවට ද චෝදනා එල්ල වී තිබේ. ශ්‍රී ලංකා ආර්ථිකය අවපාතයක් කරා යොමු නොකිරීමට නම් බදු පිළිබඳ ආර්ථික විද්‍යා පරිචය ආණ්ඩුවට අවශ්‍ය වේ. ආර්ථික විද්‍යා නිර්දේශ නොසලකා ෆිනෑන්ස් කොම්පැනියක ආකාරයෙන් හිතුමතේ ආර්ථිකය හැසිරවීමට යාමෙන් ආර්ථිකය අබ්බාගාතයකු බවට පත්වේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න විසිනි
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“සරදියෙල්”සිස්ටම් එකේ බද්දෙන් දියුණු වෙන්න පුළුවන්ද?
DNM DISSANAYAKE Wednesday, 11 January 2023 08:32 AM
නන්ඳලාල් කියන්නෙ එහෙම එක්කෙනෙක් නෙමෙයි.?
pakeer Friday, 13 January 2023 08:58 AM
නිෂ්පාදනයක් නැති, විදේශ විනිමයක් උපයන්නේ නැති, උපයන දේට වඩා වියදම් කරන රටක්... කවදා දියුණු වෙන්නද? දවල් හීන තමයි මේවා...
චන්දිම ෆොන්සේකා Sunday, 15 January 2023 06:54 PM
රටේ බොහෝ දේශපාලකයින් හැසිරෙන්නේ දේශපාලුවන් ලෙසයි. මේ අය මිනිස්සුන්ට කැප කිරීම් කරන්න කියමින් බොහෝ වැදි බණ සහ නරිවාදන් දොඩවති. බෙදාගන්න කොට හැන්ද අතට අරන් ජනතාව අමතක කර තනිවම තමන්ට බෙදා ගන්නවා. මෑතදී තමන්ගේ රක්ෂණ වරප්‍රසාදත් හොරෙන්ම වැඩි කර ගත්තා. අඩුම තරමේ අද කාලේ අඩු මුදලට ගන්න පුළුවන් දුරකථන පැකේජ තිබෙද්දී මේ ගොල්ලෝ මාසෙකට රුපියල් 50,000 ක දුරකථන දීමනා පවා ගන්නවා. ජනතාවට තමයි කියන්නේ පඩියෙන් හරි බදු ගෙවපල්ලා කියලා. තමන් හොඳට රසට කාලා බිලා සැප විඳලා කිසිම බද්දක් නොගෙවා ජනතාවට කියනවා එන්නලු තිත්ත බෙහෙත් බොන්නලු... කන්න බොන්න තියෙන පඩි සල්ලි ටික හරි ඒ ගොල්ලන්ට බදු විදියට දීලා රට ගොඩ ගන්න එකතු වෙන්නලු....