වේයන්ගොඩ පල්ලේවෙල උපන් විමල් රූපසිංහ මහතා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. දිනපොත් කවර, ෆයිල් කවර යනාදිය සේම දේශීය ආහාර වර්ග විදෙස් රටවල් කිහිපයකට අපනයනය කරන ඒ මහතා ප්‍රමුඛ පෙළේ අපනයනකරුවෙකි. ඇමෙරිකාව, ඉතාලිය, එංගලන්තය, කැනඩාව, ජපානය හා ස්පාඤ්ඤය යන රටවලට තම නිෂ්පාදන අපනයන කරන ඒ මහතා මෙරට කර්මාන්තකරුවන්ට තිබෙන ප්‍රශ්න හා ඒවාට ඔහු දකින විසඳුම් මෙසේ ගෙනහැර දක්වයි.
තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය තමන් විසින්ම නිපදවාගත යුතු බවට චීන ව්‍යාපාර සංකල්පයක් තිබේ. ව්‍යාපාරිකයකු වශයෙන් මා දියුණු වූයේ ඒ සංකල්පය මත පිහිටා කටයුතු කළ නිසාය. එසේ කළ විට තෙවැනි පාර්ශ්වයකට ලාබයක් හෝ ආදායමක් නොලැබෙයි. එසේම තමන්ගේ භාණ්ඩවල නිෂ්පාදන වියදම් ඉහළ නොයාමෙන් සාපේක්‍ෂව අඩු මිලකට තම නිෂ්පාදන මිල කළ හැකිය. එසේ වූ කල වෙළෙඳපොළේ පවතින තරගකාරිත්වයට ඔරොත්තු දෙමින් ව්‍යාපාරය පවත්වාගෙන යා හැකිය. ඉහත කී චීන සංකල්පය මත කටයුතු කිරීම නිසාම දැන් මටද චීන භාණ්ඩ සමඟ තරග කරමින් වෙළෙඳපොළේ පැවතීමේ හෙවත් ව්‍යාපාර කරගෙන යාමේ හැකියාව ලැබී තිබේ.
මගේ ප්‍රධාන නිෂ්පාදන වන්නේ දිනපොත් කවර හා විවිධ ෆයිල් කවරය. ඒවාට මූලිකවම අවශ්‍ය වන අමුද්‍රව්‍ය වන්නේ කාඞ්බෝඞ්ය. ඒ අනුව මම මගේ ගෙදර වත්තේ (වේයන්ගොඩ පල්ලේවෙල) කාඞ්බෝඞ් නිෂ්පාදනය කරන කම්හලක් ආරම්භ කළෙමි. එතෙක් කාලයක් චීනයෙන් ෆයිල් කවර මිලදීගත් එංගලන්ත ගැනුම්කරුවකු 1991 සිට ඒවා මිලදී ගන්නේ මගෙනි. චීනයෙන් ගත් මිලට වඩා අඩුවෙන් ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදන මට කළ හැකි බව ඒ එංගලන්ත ගැනුම්කරුවාගේ විශ්වාසයයි. ඒ නිසාම ඔහු අදටත් මගෙන් විවිධ ෆයිල් කවර ඇතුළු බොහෝ දේ මිලදී ගනී.
මගේ සියලු නිෂ්පාදන සඳහා මා භාවිත කරන්නේ මගේ ෆැක්ටරිවල නිෂ්පාදනය කරන කාඞ්බෝඞ්ය. ඒ කාඞ් බෝඞ් මත පොලිඑතලීන් කෝටීන් තවරන්නේද මවිසින්ම කරනලද පර්යේෂණවලින් සොයාගත් ක්‍රමවේදයක් මතය. මා ඒ සඳහා භාවිත කරන්නේද චීනයෙන් ආනයනය කළ යන්ත්‍රයකි. ඒ චීන යන්ත්‍රයෙන් මට අවශ්‍ය ලෙස කාඞ්බෝඞ් මත පොලිඑතලින් තට්ටුවක් තවරන්නේ පර්යේෂණවලින් මා අනාවරණය කරගත් ක්‍රමවේදය මතය. චීන භාණ්ඩ සමඟ මට විදෙස් වෙළෙඳපොළෙත් තරග කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ එහෙයිනි. එහෙත් සෑම කර්මාන්තකරුවකුටම එවැනි පර්යේෂණ කිරීමේ හැකියාවත් නැත. පර්යේෂණ කිරීම සඳහා පිහිටුවා තිබෙන රාජ්‍ය ආයතනවලින්ද දේශීය කර්මාන්තරුවන්ට අවශ්‍ය මට්ටමේ පර්යේෂණ සිදුවේදැයි මට ඇත්තේ සැකයකි. මගේ දැනුමේ හා අවබෝධයේ හැටියට ඒ පර්යේෂණ ආයතනවල තිබෙන්නේ යල් පැන ගිය තාක්‍ෂණයයි.
අනෙක් පැත්තෙන් කර්මාන්තකරුවෝද නව නිර්මාණකරුවෝ විය යුත්තෝය. අලුත් අලුත් නිර්මාණ කළ යුතුය. අලුත් ක්‍රමවේද හඳුනාගත යුතුය. ලොව දැනට පවතින දේවල් කිරීම හා කොපි කිරීම හපන්කමක් නොවේ. නව නිර්මාණ හා නව නිෂ්පාදන කිරීම සඳහා පර්යේෂණ කළ යුතුමය. අනුන්ගේ තාක්ෂණය මතම යැපෙමින් අනුන්ගේ අමුද්‍රව්‍යම භාවිත කරමින් නිෂ්පාදනය කිරීමෙන් දියුණුවීම අපහසුය. එසේ කළවිට තම ආදායමෙන් හා ලාබයෙන් වැඩි කොටසක් යන්නේ අනුන්ටය. කර්මාන්ත කළ යුත්තේ තමන්ගේ හා තම රටේ දියුණුව සඳහා මිස අනුන් හෝ අනෙක් රටවල් පොහොසක් කිරීමට නොවේ. එතෙර භාණ්ඩ විශේෂයෙන් චීන හා ඉන්දියානු භාණ්ඩ සමඟ තරග කළ නොහැකි බව කියමින් හඬා දොඩා වැළපෙන්නෝ නව නිර්මාණ නොකරන පිරිස්ය. නව නිර්මාණ කිරීමට පර්යේෂණ කළ යුතුය. පර්යේෂණ කිරීමට උපාධිධාරීන් හෝ පශ්චාත් උපාධිධාරීන්ම අවශ්‍ය නොවේ. මා පර්යේෂණ කරන්නේ උපාධිධාරීන් සමග නොවේ. සාමාන්‍ය දැනුම හා ප්‍රායෝගික බුද්ධිය සේම ව්‍යවහාර ඥානය තිබෙන ගමේ කොල්ලන් සමගය. විදුලි ජනක යන්ත්‍රයක් නැති අපේ එක් කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණයන් විදුලිය නැති වෙලාවට නිෂ්පාදන කටයුතු සඳහා විදුලිය නිපදවා ගන්නේ රෝද හතරේ ට්‍රැක්ටරයක ආධාරයෙනි. ඔවුන් එසේ කරන්නේ න්‍යාය හා සංකල්ප දැනගෙන නොව ව්‍යවහාර ඥානය මතය. සියලු පර්යේෂණ ව්‍යවහාර ඥානය මතම කළ නොහැකි බවද මම පිළිගනිමි. ඇතැම් අවස්ථාවල න්‍යාය හා සංකල්ප දන්නා උගතුන් අවශ්‍ය බවද මම දනිමි. එහෙත් මා යළි යළිත් කියන්නේ දියුණුවීම සඳහා නව සිතිවිලි අවශ්‍ය බවය. අලුතින් සිතිය යුතු බවය. කොපි කිරීම හපන්කමක් නොවේ.
අතිවිශාල ප්‍රාග්ධනයක් නැති දේශීය කර්මාන්තකරුවන් අවබෝධ කරගත යුතු තවත් කාරණයක් වන්නේ අපනයනය කිරීමෙන් පමණක්ම කර්මාන්තයක් පවත්වාගෙන යා නොහැකි බවය. අපනයනය සඳහා පැනීමට තිබෙන කඩුලු රාශියකි. එසේම ඒ සඳහා ද යම් මුදලක් හා කාලයක් වැය වෙයි. අනෙක් අතට අපනයනය කළ භාණ්ඩවලට මුදල් ලැබෙන්නේද කාලයක් ගොසිනි. මුදල් ලැබෙන තෙක් ව්‍යාපාරයේ එදිනෙදා වියදම්, නඩත්තු, ජල, විදුලි බිල් සේම සේවක පඩි නඩි ද ගෙවිය යුතුය. ඒ සඳහා එදිනෙදාට මුදල් අවශ්‍යය. එසේ මුදල් උපයා ගත හැක්කේ තම නිෂ්පාදන දේශීය වෙළෙඳ පොළට ද දැමීමෙනි. ඒ න්‍යාය මත කටයුතු කරන අපි අපේ නිෂ්පාදනවලින් සියයට 50ක් තරම් ප්‍රමාණයක් දේශීය වෙළෙඳ පොළටද සපයමු. විදෙස් වෙළෙඳ පොළේ සේම දේශීය වෙළෙඳ පොළේ ද අප තරග කරන්නේ චීන භාණ්ඩ සමඟය. දිනපොත් කවර හා විවිධ ෆයිල් කවර හා ෆයිල් බොක්ස් නිපදවීමෙන් මා ලංකාවේ ප්‍රමුඛයා වී සිටින්නේ මගේ නිෂ්පාදනවලට අවශ්‍ය මූලිකම හා ප්‍රධානම අමුද්‍රව්‍ය වන කාඩ්බෝඩ් මා විසින්ම නිපදවා ගැනීමෙනි. ඒ නිෂ්පාදන අපනයනය කරන එකම ලාංකිකයා මාය.
දේශීය වෙළෙඳ පොළට භාණ්ඩ සැපයිය යුත්තේ ඒ වෙළෙඳ පොළේ තිබෙන ප්‍රශ්න ද මැනවින් අවබෝධ කරගෙනය. අපේ රටේ වෙළෙඳ පොළ ඉතා පුංචිය. ඒ වෙළෙඳ පොළට භාණ්ඩ සැපයීමේදී සිල්ලර වෙළෙන්දන්ට බඩු දීමට සිදුවන්නේ ණයට මිස අත්පිට මුදලට නොවේ. මුදල් ලබා ගැනීම සඳහා අවම වශයෙන් මාස තුනක්වත් කල් දිය යුතුය. දේශීය වෙළෙඳ පොළට අලුත් භාණ්ඩයක් හඳුන්වා දෙන සෑම අවස්ථාවකදීම එය හොඳ භාණ්ඩයක් නොවන බව කියමින් ප්‍රතික්‍ෂේප කිරීම මෙරට වෙළෙඳුන්ගේ පොදු ස්වභාවයකි. ඔවුන් එසේ කරන්නේ භාණ්ඩයේ තත්ත්වය බාල නිසා නොව ණය කාලය දිගු කර ගැනීමටය. සරලව කිවහොත් අපේ භාණ්ඩවලට මුදල් ගෙවීම හැකි තරම් ප්‍රමාද කිරීමටය. එසේම අපට අවශ්‍ය මිල නියම කිරීමටද නොහැකි වන අවස්ථා ද තිබේ. තමන් වෙළෙඳ පොළට සැපයූ භාණ්ඩවලට අදාළ මුදල් ලැබෙන තෙක් කර්මාන්තය කරගෙන යා හැකි නම් ඒ කර්මාන්තකරුවෝ දිනන්නෝය. බොහෝ කර්මාන්තකරුවන් උපන් ගෙයිම මිය යන්නේ තම භාණ්ඩ විකුණාගැනීමට සහ නිසි වෙලාවට මුදල් එකතු කර ගැනීමට නොහැකි වීමෙනි. ඒ නිසා නිෂ්පාදකයා ව්‍යාපාරිකයකු ද විය යුතුය. ව්‍යාපාරිකයකු නොවන නිෂ්පාදකයන්ට පැවැතිය නොහැකිය. එසේම ඒ ව්‍යාපාරිකයා මුදල් කළමනාකරණයෙහි දක්ෂයකු ද විය යුතුය.
ව්‍යාපාරික ලෝකය ජයගත හැක්කේ අලුත් භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙනි. එසේ නොකර වෙළෙඳ පොළේ දැනටත් තිබෙන භාණ්ඩ නිපදවන්නේ නම් තමන් නිපදවන භාණ්ඩයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය අනෙක් භාණ්ඩවලට වඩා ඉහළින් තිබිය යුතුය. කොපි කිරීමෙන් ව්‍යාපාරික ලෝකය ජයගත නොහැකිය. එමගින් වන්නේ තමන් සේම එතෙක් ඒ භාණ්ඩ නිෂ්පාදනය කළ කර්මාන්තකරුවන්ද වැනසී යාමය. විවෘත ආර්ථික ක්‍රමය යටතේ පැවැතිය හැක්කේ ගුණාත්මකතාවයෙන් හා ප්‍රමිතියෙන් ඉහළ නව භාණ්ඩ නිෂ්පාදනය කරන්නන්ටය. එසේ කළ නොහැක්කෝ වැනසී යති. සංවෘත ආර්ථික ක්‍රමය යටතේ ජය කොඩි නැංවූ එක්තරා සමූහ දේශීය ව්‍යාපාරයක් විවෘත ආර්ථිකය යටතේ වැසී ගියේ වෙළෙඳ පොළ තරගකාරීත්වයට ඔරොත්තු දෙන නිෂ්පාදන නොකිරීම හේතුවෙනි. ජංගම දුරතකතන නිපදවන සමාගම් අලුත් අලුත් විශේෂාංග සහිත අලුත් අලුත් මාදිලිවල දුරකතන නිපදවන්නේ එහෙයිනි. ජංගම දුරකතන හා ඇඳුම් පැළඳුම් රටා හා මෝස්තර තරම් නිතර නිතර වෙනස් වන වෙනත් භාණ්ඩ තිබේදැයි සිතෙන තරමට ජංගම දුරකතන හා ඇඳුම් මෝස්තර වෙනස් වෙයි. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි තවත් උදාහරණයක් වන්නේ වාහන ය. වාහන අතරින්ද කාර් විශේෂිතය.
ලංකාවේ ව්‍යාපාරිකයන්ට සේම කර්මාන්තකරුවන්ට තිබෙන බරපතළ ප්‍රශ්නයක් වන්නේ බැංකු පොලී අනුපාතයි. චීනය හා ජපානය වැනි රටවල බැංකු ණය පොලිය සියයට එකකි. එහෙත් අපේ රටේ බැංකු ණය පොලිය සියයට 14කි. බැංකුවලින් ණය නොගෙන ව්‍යාපාර හෝ කර්මාන්ත කළ නොහැකිය. ණය පොලිය අඩු වුවහොත් නිෂ්පාදන භාණ්ඩවල මිල ද අඩු කළ හැකි වෙයි. වැඩි පොලියට ගන්නා ණයෙන් කරගෙන යන කර්මාන්තශාලාවලින් නිපදවන භාණ්ඩවල මිල අඩුවෙන් තක්සේරු කළ නොහැකිය. මෙරටට ගෙන්වන චීන භාණ්ඩවල මිල ඉතා පහළ මට්ටමක පවතින්නේ එරට ණය පොලිය සියයට එකක් වන හෙයිනි. ලංකාවේ කර්මාන්තකරුවන්ටත් චීනයේ හා ජපානයේ පොලී අනුපාත මත ණය ලබාගත හැකිනම් අපේ කර්මාන්තකරුවන්ට ද ලෝක වෙළෙඳ පොළ ජය ගැනීම අපහසු නොවේ. අපනයන ඉහළ නැංවීම අපහසු නොවේ. අපනයනකරුවන්ට ද බැංකු ණය දෙන්නේ කාටත් දෙන පොලී අනුපාත මතය. රටට විදේශ විනිමය ගෙන එන අපනයනකරුවන්ටත් එකම හැන්දෙන් බෙදීම අයුක්ති සහගතය. රුපියලේ වටිනාකම ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වන නිසා ඩොලර් ණය ගැනීම ද ඉතා භයානකව තිබේ.
ණය පොලිය ඉතා ඉහළ මට්ටමක පැවැතීම ව්‍යාපාර වර්ධනයට බලපාන ප්‍රධාන කාරණයකි. ණය පොලිය ඉහළ නිසා භාණ්ඩ මිල ඉහළ යයි. භාණ්ඩ මිල ඉහළ ගිය විට අලෙවිය පහළ යයි. ඒ පසුබිම මත ගන්නා බැංකු ණය වාරික හා පොලිය ගෙවූ විට ව්‍යාපාර එක තැන පල් වෙයි. නැතහොත් ශීඝ්‍ර දියුණුවක් අත්පත් කර ගැනීමට නොහැකි වෙයි. ඇත්තෙන්ම පවතින ණය පොලිය මත පොහොසත් වන්නේ කර්මාන්තකරුවන් හෝ ව්‍යාපාරිකයන් නොව බැංකුය. අප දුක් මහන්සි වී පොහොසත් කරවන්නේ බැංකුය. එහෙත් බැංකු ඒ පිළිබඳව එතරම් තකන්නේ නැත. අවස්ථාව ලද වහාම ඇපකර පවරා ගන්නා අතර වහාම වෙන්දේසි ද කරයි. ඒ තත්ත්වය රටේ ආර්ථික වර්ධනයට බරපතළ ලෙස හානිකරය. බැංකු ණය පොලී අනුපාත ඉහළ යාමට මහ බැංකු බැඳුම්කර කොල්ලය ද හේතුවිය. බැඳුම්කර කොල්ලය නිසා එතෙක් සියයට අටක්ව පැවැති ණය පොලී අනුපාත එකවර සියයට 14ක් විය. ඒ අනුව බැංකු ණය පොලිය ඉහළ යාමට පැවැති යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපය ඍජුවම හේතු වූ බවද නොවළහා පැවසිය යුතුය.
කර්මාන්තකරුවන්ට ණය දීම සඳහාම වන සංවර්ධන බැංකුවක් නොතිබීම ලංකාවේ පවතින බරපතළ ප්‍රශ්නයකි. ඩී.එෆ්.සී.සී. හා එන්.ඩී.බී. බැංකු ආරම්භ කළේ ඒ අරමුණෙනි. එහෙත් කාලයක් යනවිට ඒ බැංකු ද අනෙක් බැංකු යන පාරෙම ගමන් කළේය. එනම් තැන්පතු ගැනීම හා ණය දීමේ ක්‍රියාවලියට යොමුවිය. එය සරලව විග්‍රහ කරන්නේ “සල්ලි රෝල් කිරීමක්” ලෙසිනි. සල්ලි රෝල් කිරීමෙන් රටක ආර්ථිකය වර්ධනය කළ නොහැකිය. ආර්ථික වර්ධනය සඳහාම කැපවූ සංවර්ධන බැංකුවක් යළි ආරම්භ කළ යුතුය. ඒ බැංකුවෙන් අඩු පොලියකට එනම් අවම වශයෙන් සියයට හතක අටක පොලියකට කර්මාන්තකරුවන්ට ණය දිය යුතුය. එසේ ණය නොදී කර්මාන්ත දියුණු කළ නොහැකිය. නව කර්මාන්ත ආරම්භ කළ හැක්කේත් තිබෙන කර්මාන්ත වැඩි දියුණු කළ හැක්කේත් කර්මාන්තකරුවන්ට අඩු පොලියකට ණය දීමෙනි. අද අපේ රට පවතින්නේ සුවිශාල විදේශ විනිමය හිඟයකය. විදේශ විනිමය ආදායම ඉහළ නැංවිය හැක්කේ අපනයන දිරි ගැන්වීමෙනි. එහෙයින් අපනයන කර්මාන්තවලට හෝ අඩු පොලියට ණය දිය යුතුය.
චීනය අපනයන කර්මාන්ත කරුවන්ට ලබාදෙන දිරිගැන්වීම් පුදුම සහගතය. එරට යම් කර්මාන්තකරුවකු යුවාන් ලක්‍ෂ දහයක අපනයන ආදායමක් ලබාගත හොත් දිරි ගැන්වීමක් ලෙස රජයෙන් ඔහුට යුවාන් ලක්ෂයක් පිරිනමයි, නොමිලේ දෙයි. චීන රජය එසේ කරන්නේ අපනයන කර්මාන්තකරුවන් දිරි ගැන්වීමටය. ඕනෑම රටකට විදේශ විනිමය ගෙනෙන්නෝ ඒ රටේ අපනයන කර්මාන්තකරුවෝය. එහෙත් අපේ රටේ පසුගිය කාලයේ නම් කිසිම දිරිගැන්වීමක් සිදු නොවිණි. වත්මන් රජය බලයට පැමිණි පසු කර්මාන්තකරුවන්ට ව්‍යාපාරිකයන්ට සේම පොදු ජනතාවට ද බදු සහන රාශියක් ලැබිණි. ඒ සහනවල ප්‍රතිලාභ රටේ ආර්ථිකයට ලැබීමට යම් කාලයක් ගත වෙයි. ඒ බදු සහන දුරදිග බලා හඳුන්වා දුන් සහන බව නිසැකය. එහි වාසි ලබා ගැනීමට මූලිකව ක්‍රියාත්මක විය යුත්තේ දේශීය ආදායම්, රේගු, සුරා බදු, මෝටර් රථ ප්‍රවාහන සහ ඉඩම් රෙජිස්ට්‍රාර් යන දෙපාර්තමේන්තුය. ඒ දෙපාර්තමේන්තුවල කාර්ය සාධනය මත බදු සහනවල වාසි තීන්දු තීරණය වෙයි.
ශ්‍රින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති
විමල් රූපසිංහ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සල්ලි රෝල් ණයෙන් මොන සංවර්ධනයද?
jaya Wednesday, 15 January 2020 07:36 AM
මේ මහතා රටේ නිෂ්පාදකයන්ට තිබෙන ප්‍රශ්න හා ඇතිවිය යුතු ආකල්ප ඉතා කෙටියෙන් හා පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. ඉතා වටිනා ලිපියක්
සමන් ඕස්ට්‍රේලියාව Wednesday, 15 January 2020 10:46 AM
ඉතා හොද ලිපියක් . ඒ ලිපියේ එකම අඩුව ඒ මහතා සම්බන්ද කර ගැනීමට විදියක් දක්වා නැති කමයි .
gamageMonday, 20 January 2020 12:58 AM
සියලු විස්තර වෙබ් අඩවියේ තිබෙනවා. සොයා බලන්න.
damayanthi peiris Wednesday, 15 January 2020 08:38 PM
ඉතා වැදගත් ලිපියකි.
ගරසරප Sunday, 19 January 2020 11:55 AM
සංවර්ධන බැංකු බිද දැමුවේ කාගේ වුවමනාවටද?