IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හිංසනයෙන් බැහැර වන්නෝ සැප ලබන්නෝය

තථාගතයන් වහන්සේ දේශිත සැපය පිළිබඳ ඉගැන්වීම තරම් අවධානයට ලක්වූ වෙනත් ඉගැන්වීමක් පිළිබඳ අසන්නට නොලැබේ. දුක පිළිබඳව ද බුදුන්වහන්සේගේ දර්ශනය තරම් වෙනත් ඉගැන්වීමක් පිළිබඳ ජගත් දාර්ශනික ඉතිහාසය තුළින් අසන්නට හෝ දකින්නට නොලැබෙන බව අවිවාදිත වූවකි. බුදු දහම සැපය ප්‍රතික්ෂේප කරන දුක පමණක් හුවා දක්වන දහමක් ලෙස ඇතැමුන් දරන මතය ඉතා සාවද්‍ය වූවක් ලෙස වැටහෙනුයේ සැපය සඳහා බුදු දහම ලබාදෙන දිරිගැන්වීම් තුළිනි. ලෝකය මුළුමනින්ම පිහිටා ඇත්තේ දුක මතය යන ඉගැන්වීම මෙන්ම එවන් වූ දුක පිළිකුල් කිරීම මනුෂ්‍ය ස්වාභාවය බව ‘දුක්ඛ පටික්කූලා’ යන යෙදුම්වලින් පැහැදිලි වේ. 

එසේ දුක ප්‍රතික්ෂේප කරන්නේ නම් පුද්ගලයාගේ අපේක්ෂාව වනුයේ සැපය බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ලොව පහළ වූ විවිධ දාර්ශනිකයන්, ආගම් කර්තෘවරුන් මතු නොව දේශපාලනික මත දරන්නන් මෙන්ම විවිධ චින්තකයන් ද තම මතිමතාන්තර මෙන්ම විවිධ චින්තාවන් ඉදිරිපත් කර ඇති බව ප්‍රකට කරුණකි.

භාග්‍යවතුන් වහන්සේ පහළ වූ භාරතයෙහි මෙම සංකල්පය ‘කාම සුඛල්ලිකානු යෝගය හා අත්තකිලමතානු යෝගය’ වශයෙන් හැඳින් වූ අතර එහි අපේක්ෂාව වූයේ දුකෙන් සැප ලැබීම හා සැපෙන් සැප ලැබීමයි. බුදුරදුන් තම ප්‍රථම ධර්මදේශනයේ දීම එම පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලදී. ප්‍රථම රහත් හැට නම ධර්ම චාරිකාවේ යොදවමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දේ තමාට මෙන්ම අන්‍යන්ටත් සදේවක ලෝකයාටමත් සැප පිණිස තම උතුම් චතුරාර්ය සත්‍ය උතුම් ධර්මය දේශනා කරන ලෙසයි.

පටිච්චසමුප්පාද දර්ශනයට අනුව වේදනා හෙවත් විඳීම සැපය ලෙස පමණක් නොව දුක ලෙස ද හඳුන්වා දේ. එහි ප්‍රධාන අවස්ථා තුනක් පිළිබඳවද සඳහන්ව ඇත්තේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා වශයෙනි. මෙය සාමාන්‍ය සමාජයෙහි ප්‍රීතියෙන්, සතුටින්, සොම්නසින් යුතුව ජීවත් වීම සැපය වශයෙන් සිතන සමාජ සත්ව චින්තාව ඉක්මවා යන පුළුල් ඉගැන්වීමකි. ත්‍රිවිධ වූ වේදනා අතර උසස්ම වින්දනය හෙවත් පරම සුවය පිළිබඳ දහමින් පෙන්වා දී ඇත්තේ ‘නිබ්බානං පරමං සුඛං’ යනුවෙනි. එම සැපයෙහි ස්වාභාවය ලෙස දක්වා ඇත්තේ අජාත වූ අඛත වූ අසංඛත වූ අභූත අවේදයික සුවයක් ලෙසයි.

අලෞකික වූ මෙම උතුම් සැපය සඳහා එළැඹීම පිණිස සමත්කම් අපේක්ෂාවෙන් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් නිසා එම උතුම් සැපයට ලංවීම වෙනුවට දුරස්වීමේ ප්‍රවණතාවක් සියලු දෙසින් දක්නට ලැබීම එම උතුම් ඉගැන්වීම අපහරණය කිරීමක් ලෙස හැඳින්වීමෙහි ද වරදක් නැත.

තම සුවය හා තම ආසන්නතමයන්ගේ සුවය හා සැප සඳහා විවිධ හිංසන ක්‍රියාමාර්ග මෙන්ම අසම්මත ක්‍රියාවල යෙදෙන බොහෝ දෙනා ලබන සැපය සැපයක් නොවන්නේ ඒ සඳහා ක්‍රියාත්මක වී ඇත්තේ අකුසල චේතනාවන් මුල්කොට ගෙන ඇති බැවිනි. වත්මන් සමාජයෙහි ඇතැම් අය තම සැප පහසුකම් සඳහා නොකරන අපරාධයක් නැත. ස්වකීය මවුපියන්ගේ ද තම නිවසින් බැහැරකොට මහමග දමා යාමට තරම් කුරිරු වී ඇති ආකාරය අතිශය ඛේදජනකය. බෞද්ධ ශීල ප්‍රතිපදාවේ ප්‍රාථමික අවස්ථාව වූ පංචශීල ශික්ෂාපද අතර ප්‍රමුඛ වූ ප්‍රාණඝාතය තුළින් මුළුමනින්ම මානව අයිතිවාසිකම් ඡේදනය කරමින් සිදුකරන මිනිස් ඝාතන, පැහැරගෙන යෑම්, බියගැන්වීම් ආදී සියලු හිංසන ක්‍රියා සිදුකරනුයේ තමාගේ සුවපහසුව සලසා ගැනීම සඳහා බව රහසක් නොවේ.

සොරකම් කිරීම ද තම සුව පහසුව පිණිස මුදල් හෝ වෙනත් යම් යම් දේ සොර සිතින් යුතුව පැහැර ගැනීම පමණක් නොව ඒ තුළින් සුව පහසුකම් සලසා ගැනීම බව නොරහසකි. වර්තමාන සමා‍ජයෙහි අසීමාන්තිකව පැතිර පවත්නා වැරදි කාමසේවනය ද අසම්මත සමාජ ව්‍යසනයක් වන්නේ මතුනොව එය සාමාන්‍ය සිදුවීමක් තරමට සරල වී ඇති අයුරු දක්නට ලැබේ.

වැරදි ආකාර කම්සුවයක් සඳහා එළැඹීමේ අවසන් ප්‍රතිඵල දිනපතා අසන්නට ලැබේ. එනිසා විනාශව ගිය පවුල් සංඛ්‍යාව ගණනය කළ නොහැකි තරම්ය. අනාථ වූ දරුවන්, විනාශ වූ ජීවිත හා දේපළ මෙන්ම සදාචාර විනාශය ප්‍රමාණ කළ නොහැකි තරම්ය. තමාට සුවසහනයක් අපේක්ෂාවෙන් බොරුවෙන් පුද්ගලයන් පමණක් නොව සමාජය ද එමතු ද  නොව දේශ දේශාන්තරව රවටන පුද්ගලයන් බොහෝවිට දැකගත හැකි වේ.

විශේෂිත වශයෙන් තමන්ගේ බලය තරකර ගැනීම හා රැක ගැනීම තුළින් සැපවත් ජීවිත ගතකරන දේශපාලකයන් පිළිබඳව බොහෝ කරුණු ප්‍රකාශ වීම සුලබව දක්නට ඇත. එමෙන්ම මානසික සුවය හා ශාරීරික සුවය පමණක් නොව විවිධ අවශ්‍යතා සපුරා ගැනීමෙන් ලබන සුවපහසුව සඳහා යොමුවී සිටින පුද්ගලයන් අඩුවක් නොවන අතර ඒ නිසා අත්විඳීමට සිදුවන ගැටුම්කාරී තත්ත්ව මෙන්ම රෝග පීඩාදියෙහි ද අඩුවක් නොවේ. තම සුව පහසුකම් සඳහා තවත් කෙනෙකුගේ සුවපහසුකම් පමණක් නොව අයිතිවාසිකම් පැහැර ගැනීමේ කිසිදු අයිතියක් කිසිවකුටත් නොමැති අතර ඒ සඳහා සත්වයන් පුද්ගලයන් තලා පෙලා ලබන සැපය සැපයක් නොවන බව ධර්මයෙන් පෙන්වා දෙනු ලැබේ. මෙම උතුම් ඉගැන්වීම ධම්මපද පාලියෙහි දණ්ඩ වග්ගයෙහි සඳහන්ව ඇත්තේ මෙසේය.

සුඛ කාමානි භූතානි - යෝ දණ්ඩේන විහිංසති
අත්තනෝ සුඛ මේසානෝ - පෙච්චසෝ න ලභතේ සුඛං
සුඛ කාමානි භූතානි - යෝ දණ්ඩේන න හිංසති
අත්තනෝ සුඛ මේසානෝ - පෙච්චසෝ ලභතේ සුඛං 

මින් ප්‍රකාශ වන්නේ සැප ලබන තැනැත්තා සහ සැප නොලබන තැනැත්තා පිළිබඳව පමණක් නොව නියම සැපයක් ලැබීම සඳහා සැප අපේක්ෂිතයා විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතයි. මෙහි ‘සුඛ ඒසානෝ’ යන යෙදුමෙන් සැප කැමැති තැනැත්තා යන්න ප්‍රකාශ වන අතර කයට සහ මනසට ඉහලෝක පරලෝක වශයෙන් ලබාගත හැකි සුවය ලෙස සඳහන් වේ. එසේ කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් සුවයක් අපේක්ෂා කරන්නා අන්‍යයන්ගේ සුවය පැහැර ගැනීමකින් තොරව ඔවුනට ද සුවසේ ජීවත්ව ක්‍රියා කිරීම සඳහා අවස්ථාව ලබාදිය යුතුය.

වෛරී චේතනාවෙන් යුතුව පලිගැනීම සඳහාත් ඇතැම් විට ඊර්ෂ්‍යා සහගතව යමෙක් විඳින සම්පත් නොරුස්නා නිසාත් ඇතැම් කෙනෙක් ජීවිත හානිකිරීම් ආදී වශයෙන් සිදුකෙරෙන පීඩාවන් මින් අදහස් කෙරේ. එමෙන්ම තමාගේ ජීවිතාරක්ෂාව පිණිස විවිධ සර්පයන් ආදී සත්වයන් මරා දැමීම මෙන්ම විනෝදය පිණිස සහ ආහාර පිණිස විවිධ මෘග පක්ෂීන් ආදී සත්වයන් මරා දැමීම ද එම සත්වයන්ගේ හා පුද්ගලයන්ගේ සැපය වනසා දැමීමක් වශයෙන් සඳහන් කළ හැකිව තිබේ. මේ නිසා ‘සුඛං න ලභතේ’ යන්නෙන් එබඳු පුද්ගලයන් පරලොව දී දුකට පත්වීම මිස කිසිදු සැපයක් නොලබන බව ප්‍රකාශ කෙරේ. එමෙන්ම ‘න හිංසති’ යන යෙදුමෙන් ඉහත ආකාරයේ තැලීම්, පෙලීම්, නැසීම් නොකිරීම පිළිබඳව සඳහන් වන අතර ‘සුඛං ලභතේ’ සැප ලැබේ යන අරුතින් ප්‍රකාශ වන්නේ කරුණාබර මෙත් සහගත සිතුවිලිවලින් යුතු වූවෝ දෙලොවම සැප ලබන්නන් වන බවයි.

මා මෙන්ම සියලු සත්වයෝම සැපයට ඉතා කැමති අතර තමා උපමාකොට සිතා බලා කිසිදු සත්වයෙකුට හිංසා පීඩා නොකොට කරුණාබරිතව මෛත්‍රී සහගතව ක්‍රියාකරන ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් ළමා පිරිසකට දේශනා කරන ලද මෙම දහම් දෙසුම බොහෝ දෙනාගේ ජීවිත සුවපත් කර ගන්නට මහෝපකාරී වන්නකි. භාග්‍යවතුන් වහන්සේ තම උතුම් ධර්මය දෙව් මිනිසුන් පමණක් නොව විවිධ සමාජයීය සත්ව පුද්ගලයන් අරමුණුකොට දේශනා කරන ලදහ.

තරුණ තරුණියන් හා ළමයින් අරමුණු කරගෙන ද දේශනා කොට ඇති බවට මේ සඳහා පාදක සිදුවීම සාධකයක් වනු ඇත. භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස හැසිරීම පමණක් නොව ධර්ම චාරිකාවේ හැසිරීමේ දී මුණගැසෙන විවිධ පුද්ගලයන් ආමන්ත්‍රණය කර ඇති ආකාරය ධර්ම සාහිත්‍යයෙන් මනාව ප්‍රකාශ වේ. එක් දිනක් පිඬු පිණිස හැසිරෙන තථාගතයන් වහන්සේ ගල් මුල් දඬු මුගුරු අතින් ගෙන නොසන්සුන්ව හැසිරෙමින් සත්ව හිංසනයක යෙදෙන ළමයින් පිරිසක් දැක සමීපව ඔවුන්ගෙන් කරුණු විමසන ලදහ.

එවිට ඔවුන්ගේ පිළිතුර වූයේ පහර දී මරා දැමීමට යත්න දරනුයේ ඉතා දරුණු නාගයකු බවයි. තමන්ට එම නයා දෂ්ඨ කළහොත් එම විස ශරීරගතව මරණයට පත්වන බැවින් සර්පයා මරා දැමීමට උත්සාහ ගන්නා බවයි. එවිට තථාගතයන් වහන්සේ ඔවුන් අමතා නාගයාට නොතලන ලෙසත් හිංසා නොකරන ලෙසත් එසේ වූ විට නැවත කැලයටම ඇදී යනු ඇති බවත් දේශනා කළහ. එසේම තමාගේ සිරුරට යමකින් ගසා තලා පෙළා හිංසා කරමින් රිදවනවාට තමන් කැමති දැයි විමසන ලදහ. ඊට ඔවුන් අකමැති බව ප්‍රකාශ කරන ලද්දේ ඒ නිසා තමන්ට දුක් වේදනා ඇති බවද ප්‍රකාශ කරමිනි. එසේ නම් ඔබ මෙන්ම මෙම සත්වයා ද වේදනා විඳීම සඳහා නොකැමති බව එම ළමා පිරිසට පෙන්වා දෙන ලද්දේ මෙවන් සංවාදශීලී ආකාරයකිනි.

ළමා මනසට ඉතා ගැළපෙන ආකාරයෙන් දේශිත මෙම උතුම් අවවාදයට අවනතව ක්‍රියා කළ එම ළමා පිරිස මගඵලලාභීන් වූ බව ධර්ම සාහිත්‍යය මගින් අනාවරණය කර ඇති ආකාරය ඉතා රමණීය වූවකි. මෙම සරල සිදුවීමෙන් පෙනී යන සුවිශේෂි කරුණක් වනුයේ බුදුරදුන් දහම් දෙසීමේ දී වැඩිහිටියන් පමණක් නොව දරුවන් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකොට ඇති බවයි.

මෙම උතුම් බුද්ධානුශාසනාවට අවධානය යොමු කරන අද නවම් පුර පොහෝ දිනය වන අතර ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවී ඇති දිනයකි. සම්බුදු සසුනෙහි ප්‍රථම සඟ සමුළුව පැවැත්වීමත් එහිදී සැරියුත් මුගලන් මහතෙරුන් වහන්සේට අග තනතුරු ප්‍රදානය කිරීම මෙන්ම ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනය සිදුකිරීම ද, බුදුරදුන් ආයු සංස්කාරය අත්හැරීම ද ප්‍රමුඛතම සිදුවීම් ලෙස දැක්විය හැකිය.

එමෙන්ම රත්නත්‍රයට කෙරෙන උපහාරයක් වශයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය ගල්බොඩ ඥානිස්සර නාහිමියන්ගේ සංකල්පයක් වූ කොළඹ නවම් මහ පෙරහැර ආරම්භකොට මැනවින් පවත්වාගෙන යාම ද අද දිනයෙහි සිදුවී ඇති සිහිකටයුතු ශාසනික සංසිද්ධියකි. මෙම සියලු සිදුවීම් සිහිපත් කරමින් හිංසනයෙන් තොරව දිවි ගෙවමින් උතුම් නිවන් සුව සාධනය සඳහා උත්සුක විය යුතුව ඇත.

කොළඹ හැව්ලොක් සිටි, සාම විහාරාධිපති අතපත්තුකන්දේ ආනන්ද නා හිමි



අදහස් (0)

හිංසනයෙන් බැහැර වන්නෝ සැප ලබන්නෝය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site