IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


83 කළුජූලියේ සුලමුල

1983 ජුලි 24 වැනිදා ද්‍රවිඩ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා නිදහසේ මුදාහළ දිනයයි. එදින අලුයම් කාලයේ යාපනයෙන් ඇරැඹි එම ප්‍රචණ්ඩතා එදිනම සවස් යාමයේ කොළඹ පුරා ද පැතිර ගියේය. ඉන් අනතුරුව එළැඹි දිනවල එය දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ද ව්‍යාප්තව ගියේය. එකී අදාළ දින ගෙවී ගොස් මේ වනවිට වසර තිස්අටක් ගත වී තිබේ. ඉතිහාසයේ කළු පැල්ලමකින් සනිටුහන් වුණු එම අමිහිරි මතකය 1983 ජුලි මාසයේදී ලංකාවේ දිවි ගෙවූ ද්‍රවිඩ ජනතාවගේ සිත්හි කාවැදී ඇත.

සතියක් පුරා නිදහසේ මුදාහළ ද්‍රවිඩ ප්‍රචණ්ඩතාව නිසා 4,000කට වැඩි දෙමළ ජනයා ජීවිතක්ෂයට පත්වූහ. දෙමළ යයි සිතා මරා දැමූ මුස්ලිම් ජනයා ද විය. දහස් ගණන් ජනයා තුවාල ලැබුවෝය. තුවාල ලැබූ ඇතැම් අය රෝහල තුළදී මළෝය. තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් අවතැන් වූ අතර, එකී නිවැසියන්ගෙන් 130,000කට අධික පිරිසකට තාවකාලික අනාථ කඳවුරුවල ඉන්නට සිදු වූයේය. සිල්ලර කඩවල සිට මහා කම්හල් දක්වා පරාසයක ව්‍යාපාරික ස්ථාන 2,500කට වඩා කඩා, ගිනිලා විනාශයට පත් කරන ලදී. කඩා විනාශ කරනු ලැබූ නිවාස හා වාහන සංඛ්‍යාව මෙතෙක් හරි හැටි ගණන් බලා නැත.

1983 ජුලියේ සිදු වූ ද්‍රවිඩ විරෝධී ප්‍රචණ්‍ඩතා සිංහල ජනතාව ද්‍රවිඩ ජනතාවට එරෙහිව දියත් කළ ජන කැරැල්ලක් නොවේ. ප්‍රචණ්ඩතා පැතිරී යන්නට පෙරාතුව දෙමළ ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම් පෘථූල ලෙස දියත් කර හරින්නට පූර්ව සැලසුම්ගත කුමන්ත්‍රණයක් තිබිණි. මහා පරිමාණයෙන් දෙමළ ජනයාගේ දේපොළ හා ජීවිත වනසා දමන්නට ඒ මගින් උත්සාහ කෙරිණි. ඒ සඳහා අවශ්‍ය වූයේ එවැනි ප්‍රහාරයක් යුක්ති සහගත කිරීමට තරම් වූ ප්‍රබල සිද්ධියකි. ජුලි 23 වැනි සෙනසුරාදා රාත්‍රියේ මුර සංචාරයේ ගිය හමුදා පිරිසකට එල්.ටී.ටී.ඊ.ය විසින් ප්‍රහාරයක් දියත් කොට සොල්දාදුවන් 13 දෙනකු මරා දමනු ලැබීය. එයින් පසු ජුලි 24 වැනිදා පටන් ප්‍රචණ්ඩක්‍රියා ඇරැඹිණි.

එම සිද්ධිය සිදු වූයේ මෙසේය. 1983 ජුලි 23 වැනි සෙනසුරාදා හමුදාවේ ‘ෆෝර් ෆෝර් බ්‍රාවෝ’ මාර්ග මුර සංචාර මතාගල් හමුදා මූලස්ථානයෙන් පටන් ගැනුණි. ජීප් රථයකත්, කුඩා ට්‍රක් රථයකත් ගමන්ගත් 15 දෙනකුගෙන් සමන්විත හමුදා පිරිසක් ඊට ඇතුළත් වූහ. ඒ සියලු දෙනා ශ්‍රී ලංකා සැහැල්ලු අවි දරන පාබල හමුදාවේ පළමු බළඇණියට අයත් අයයි. ඔවුන්ට අණ දෙනු ලැබුවේ ආදි ආනන්දියකු වූ දෙවැනි ලුතිනන් වාස් ගුණවර්ධනයි. සබ් මැෂින් ගිනි අවියක් ඔහු අතේ තිබිණි. රයිෆල් තුවක්කු (SLR) සහ අත් බෝම්බ අනෙක් අය සතුව තිබිණි.

ඒ අතර, යාපනය නගරයට සැතැපුම් දෙකක් පමණ ඈතින් පිහිටි තිරුනෙල්වෙලි (නැතහොත් තින්නාන්වෙලි) හිදී හමුදාවට ප්‍රහාරයක් දියත් කරන්නට එල්.ටී.ටී.ඊ.ය සැලසුම් කළේය. ඒ වනවිට අලුත පත්කළ කොටි හමුදාවේ අණ දෙන්නා වූ කලිවියන්කාඩු හි සෙල්ලක්කිලි හෙවත් සතාසිවම් සෙල්වනායගම්, ප්‍රභාකරන්ගේ සහයෝගය ඇතිව එම මෙහෙයුම සැලසුම් කොට අධීක්ෂණය කළේය. තෝරාගත් ස්ථානය වූයේ යාපනයේ පලාලි පාරේ තැපැල් පෙට්ටි හන්දියෙන් මීටර් 150ක් පමණ දකුණේ පිහිටි ස්ථානයකි. ඒ වනවිටත් දුරකතන සන්නිවේදන කේබල් එළීම සඳහා පාරේ කැණීම් සිදුකර තිබිණි. එම තත්ත්වය බිම් බෝම්බ වළ දැමීම සඳහා කොටින්ට පහසුවක් වූයේය.

බිම් බෝම්බ හතරක් එතැන වළලන ලදුව රැහැන් සම්බන්ධ කළේ පාරට මුහුණලා ඇති සිල්ලර කඩයක වහල මත සැඟව සිටි පුපුරුවා හරින්නා සමීපයටයි. හරි වෙලාව ආ විට බිම් බෝම්බ පුපුරුවා හැරීමේ කාර්යයට සූදානම්ව උන්නේ වහලය මත නැග සිටි සෙල්ලක්කිලි ය. අනෙක් කොටි සාමාජිකයෝ කණ්ඩායම් දෙකකට සෑදී පාර දෙපස ඇති ගඩොල් බිත්තිවලට මුවා වී සිටියහ. ඒ වනවිට එල්.ටී.ටී.ඊ.යට සිටියේ නායක ප්‍රභාකරන් ඇතුළු පූර්ණ කාලීන සාමාජිකයන් තිස් දෙනකු පමණි. එයින් 19 දෙනෙක් මෙම තින්නවෙල් ප්‍රහාරයට හවුල් වූහ. ඒ ප්‍රභාකරන්, සෙල්ලක්කිලි, පුලේන්ද්‍රන්, පොන්නම්මාන්, රෙජි, රන්ජන් ලාලා, කිට්ටු, සන්තෝෂම්, වික්ටර්, අප්පියාන්, ගනේෂ්, සුප්පන්නා, රාමු, ඥානම් සහ රඝු (කන්දප්පා) යන අයයි.

වාහන දෙක එතැනට පැමිණි විට බිම් බෝම්බ පුපුරුවා හැරිණි. ඒවා ජීප් රථයේ දකුණු පැත්තෙනුත්, ජීප් රථය හා ට්‍රක් රථය අතරමැදිනුත් පිපිරී ගියේය. ඉන් අනතුරුව කොටි වෙඩි තබන්නටත්, අත් බෝම්බ දමා ගසන්නටත් පටන් ගත්හ. හමුදා සොල්දාදුවෝ ද ප්‍රතිප්‍රහාර එල්ල කළහ. අවසානයේ ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු සොල්දාදුවෝ 13 දෙනෙක් මරණයට පත්වූහ. හමුදාවේ අයගෙන් දිවි ගැලවුණේ කෝප්‍රල් පෙරේරාගේ සහ ලාන්ස් කෝප්‍රල් සුමතිපාලගේ පමණි. කොටින්ගේ පැත්තෙන් මියගිය එකම තැනැත්තා අලුත පත් කළ හමුදා අණ දෙන්නා වූ සෙල්ලක්කිලිය.

සොල්දාදුවන් වියරු වැටීම

ප්‍රහාරය පිළිබඳව දැනගන්නට ලැබුණු විට ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබළු වියරු වැටුණෝය. ශ්‍රී ලංකා සැහැල්ලු පාබල හමුදාවේ අණ දෙන නිලධාරියාව සිටි ලුතිනන් කර්නල් උපාලි ධර්මරත්නට හෝ ඔවුන් පාලනය කරගත නොහැකි විය. සමස්ත යාපනයේ අණ දෙන ප්‍රධානි, බ්‍රිගේඩියර් ලයිල් බල්තසාර් හට ද තම බලය යොදවා හමුදාව අතර විනය පවත්වා ගන්නට නොහැකි විය.

කෝපයෙන් වියරු වැටුණු සොල්දාදුවෝ ප්‍රචණ්ඩතාව මුදාහැර තින්නවෙලි සහ ඒ අවට පුරවැසියන් 51 දෙනකු මරා දැමුවෝය. ඒ අතර මා දන්නා හඳුනන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වූ කාලා පරමේස්වරන් ද සිටියේය. කුඩා වෑන් රථයක ගමන් කළ හත් දෙනකු නවතා රියැදුරා සමග පෙළ ගස්වා අට දෙනාම අමු අමුවේ මරා දමන ලදී. ඒ අතර මානව හිමිකම් ක්‍රියාධරයකු වූත්, මනීදන් සඟරාවේ කතුවරයා වූත් මා මිත්‍ර විමලදාසන් ද උන්නේය. ඉන් අනතුරුව හමුදාපති, ජනරාල් තිස්ස (බුල්) වීරතුංග, ශ්‍රී ලංකා සැහැල්ලු පාබල හමුදාවේ පළමු බලඇණිය යාපනයෙන් පිටතට මාරු කර යැව්වේය. ලුතිනන් කර්නල් ධර්මරත්න වෙනුවට ලුතිනන් කර්නල් ඒ.එම්.යූ. සෙනෙවිරත්න පත් කරනු ලැබීය.

ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු එ.ජා.ප. රජය, එල්.ටී.ටී.ඊ.ය විසින් මරා දැමූ සොල්දාදුවන් 13 දෙනා උදෙසා බොරැල්ල කනත්තේ දැවැන්ත අවමංගල උත්සවයක් පවැත්වූයේය. ජුලි 24 වැනි ඉරිදා විශාල ජනකායක් එදින බොරැල්ල කනත්තට එක්රැස් වූවෝය. කනත්තේ සිට බොරැල්ල සහ තිඹිරිගස්යාය දෙසට ගිය ප්‍රචණ්‍ඩ කල්ලි දෙමළ කඩ සහ නිවාසවලට පහර දී ඒවා ගිනි තැබූහ. ඇසළ පුන් පොහොය දා පුරා හඳ, වළාකුළු රහිත අහසේ දිළිසෙද්දී ගිනිගෙන දැවුණු ද්‍රවිඩ ආයතනවලින් නැගුණු දුමාර වළාකුළු අහසට නැගුණේය.

 

ඉරිදා සිල්, සඳුදා කිල්

ඉන් අනතුරුව එළැඹි ජුලි 25 වැනි සඳුදා දිනයේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ලැව් ගින්නක් සේ පැතිර ගියේය. හොඳ කියුම් කෙටියෙන් කියන්නට දක්ෂයකු වූ වතුකරයේ ද්‍රවිඩ නායක සෞම්‍යමූර්ති තොණ්ඩමන් පොහොය දාට පසුව ඉරිදා සිදු වූ ප්‍රචණ්ඩතා ‘සන්ඩේ සිල්-මන්ඩේ කිල්’ යනුවෙන් පසුව විස්තර කළේය.

පොලිස්පති රුද්‍රා රාජසිංහම් ඇඳිරිනීතිය පනවන ලෙස පුන පුනා ඇවිටිලි කළ ද ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඇඳිරිනීතිය පැනවීම සඳුදා සවස දක්වා ප්‍රමාද කළේය. ඇඳිරිනීතිය පැනවීමෙන් අනතුරුව පවා තුන් දිනක් තිස්සේ පැවැති ප්‍රචණ්‍ඩ ක්‍රියා ජුලි 27 වැනිදා උච්ඡ අවස්ථාවට පත්විය. ජුලි 28 වැනිදා වනවිට එය නිමා වෙන සෙයක් පෙනී ගියේය. ජුලි 28 වැනි බ්‍රහස්පතින්දා ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඉන්දියානු විදේශ අමාත්‍ය පී. නරසිංහ රාඕ ඇගේ විශේෂ දූතයකු ලෙස කොළඹට එව්වාය.

ජුලි 29 වැනි සිකුරාදා කොළඹත්, තදාසන්න ප්‍රදේශත් කොටි කොළඹ පැමිණ ඇතැයි යන කටකතාවලින් බියෙන් සළිත වූයේය. කොටි දවස යනුවෙන් හැඳින්වූ එදා, දාමරික කල්ලි, කොටි නගරයට පැමිණ නැති බව දැනගත් පසු නැවත වරක් දෙමළ සංහාරය ඇරැඹුවෝය. අවසානයේ ජුලි 30 සහ 31 වනවිට ප්‍රචණ්ඩක්‍රියා කෙමෙන් පහව ගියේය. අගෝස්තු මාසය වනවිට ප්‍රචණ්‍ඩක්‍රියා දුරුව ගොස් තිබුණු අතර, අන්තර්ජාතික පීඩනය ජේ.ආර්. ජයවර්ධන රජය වෙත එල්ල වූයේ සියල්ල යථා තත්ත්වයට පත් කරන ලෙස බල කරමිනි.

 

ඉන්දිරා ගාන්ධි-නරසිංහ රාඕ

පොදුවේ ඉන්දියාව සිදුකළ කාර්ය කොටසත්, එරට අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි ඉටු කළ කාර්ය කොටසත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා නවතා දැමීමේදී තීරණාත්මක මෙහෙවරක් ඉටු කළේය. ඉන්දිරා ගාන්ධි තමිල්නාඩුව වෙත කලින් යොදාගෙන තිබුණු සංචාරය අවලංගු කර දැමුවාය. ඒ වෙනුවට ඈ කළේ ජුලි 28 වැනි බ්‍රහස්පතින්දා ජනාධිපති ජයවර්ධන දුරකතනයෙන් අමතා ඇගේ විදේශ අමාත්‍ය නරසිංහ රාඕ (පසුව අග්‍රාමාත්‍ය) හවස් වනවිට විශේෂ දූතයකු ලෙස කොළඹට එවීමයි.

නරසිංහ රාඕ, ජනාධිපති ජේ.ආර්., අගමැති ප්‍රේමදාස, විදේශ අමාත්‍ය ඒ.සී.එස්. හමීඩ් යන අය හමුවී සාකච්ඡා කළේය. විපක්ෂ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම්ව ද ඔහු දුරකතනයෙන් ඇමතුවේය. එසේම කැබිනට් අමාත්‍ය සෞම්‍යමූර්ති තොණ්‍ඩමන් සමග ඔහු නිල නොවන හමුවක් පෞද්ගලිකව පැවැත්වූයේය. ඔහු නැවත නවදිල්ලියට යෑමට පෙරාතුව ශ්‍රී ලංකා පොලිසියට හා හමුදාවට ද්‍රවිඩ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා නවතාගත නොහැකි නම් ශ්‍රී ලංකාව තුළ නීතිය හා සාමය පවත්වා ගැනීමට ඉන්දියානු ආරක්ෂක නිලධාරීන් එවන්න දැයි, මෙරට විදේශ අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. රාඕගේ පිටත්ව යෑමෙන් පසු සැබෑ වෙනසක් දිස්වූයේය. සංවිධානාත්මක ද්‍රවිඩ විරෝධී සාහසික ක්‍රියා නිවී යන අතරතුර පුදුම සහගත අයුරින් නීත්‍යනුකූල පැවැත්මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නට ගත්තේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා පාලක එ.ජා.ප. රජයේ අනෙක් සාමාජිකයෝ කළු ජූලි ත්‍රස්තවාදය, යාපනයේ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරවලට සිංහල ජනතාවගේ නිරායාස ප්‍රතිචාරය ලෙස විග්‍රහ කරන්නට යත්න දැරුවෝය. සිංහල ජනතාව, ප්‍රචණ්‍ඩක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් ඔහුගේ ආණ්‍ඩුවටත් පොදුවේ දොස් තැබුවෝය.

 

සිංහල ජනතාවට දෝෂාරෝපණ එල්ල කිරීම

කෙසේ වුව ද 83 කළු ජූලියේ සමස්ත සිදුවීම් උදෙසා දෝෂාරෝපණය සිංහල ජනතාව මත පටවනු ලැබුවේය. වරද සිදු කළ අය සිංහල යන්නත්, ඊට ගොදුරු වූ අය දෙමළ යන්නත් සැබෑය. එහෙත් එය කිසිම අයුරකින් දෙමළ ජනතාවට එරෙහිව සිංහල ජනතාවගේ නැගී සිටීමක් නොවීය. එසේ වූයේ නම් මේ කතාව කීමට ඉතිරි වන්නේ දෙමළ මිනිසුන් ස්වල්ප දෙනකු පමණි.

සිදු වූ දේ දැක බොහෝ සිංහල මිනිස්සු භීතියට පත්ව අසරණව බලා උන්හ. ඒ අතර ඔවුන්ගේ වර්ගයාගෙන් සුළුතරයක් රට ජාතිය නාමයෙන් මහත් ව්‍යසනයක් සිදු කළහ. තවත් කොට්ඨාසයක් ප්‍රචණ්‍ඩක්‍රියාවලට සහභාගි නොවී නිහඬව සිටිමින් ඊට අවසරය දුන්නෝය.

එහෙත් බහුතර සිංහල ජනතාව එවකට සිදු වූ දේට විරුද්ධ වූවෝය. පෞද්ගලිකව අවදානමට මුහුණ දෙමින් සිංහල ජනතාව ද්‍රවිඩ ජනයා ආරක්ෂා කළ ආකාරය අමතක කළ නොහැකිය. එම අඳුරු දිනවල බොහෝ මුස්ලිම්වරු ද තම අසල්වාසී ද්‍රවිඩ ජනයාට ආරක්ෂාව ලබාදුන්නෝය. එම කරදරකාරී දිනවල මගේම පවුලේ සාමාජිකයන්ටත් නෑයන්ට හා මිත්‍රාදීන්ටත් වැදගත් සිංහල හා මුස්ලිම් පවුල්වල උදවිය උපකාර කළහ.

1983 ජුලි මාසයේ පැවැති දෙමළ විරෝධී ප්‍රචණ්‍ඩ ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉටුකළ දේශපාලන ක්‍රියාකාරකම් දැඩි ලෙස විවේචනයට ලක් වූවේය. තත්ත්වය දරුණු අතට පෙරළීම පිළිබඳව ජේ.ආර්. වගකිව යුතු බව ද කියමින් බොහෝ දෙනා ඔහුව හෙළා දුටුවෝය. සොල්දාදුවන් 13 දෙනාගේ අවමංගල්‍යය කොළඹ කනත්තේ පැවැත්වීමේ තීරණය නිසාත් පමා වී ඇඳිරිනීතිය පැනවීම නිසාත් මහත් ව්‍යසනයක් සිදු වූයේය. 1983 ජුලි මාසයේදී ජේ.ආර්. කළ දේ හා නොකළ දේ සම්බන්ධ චෝදනා පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාගැනීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති රාමචන්ද්‍ර සුන්දරලිංගම් මා වෙත එවූ ඊමේල් පණිවිඩයක් මම ඔබ ඉදිරියේ තබන්නෙමි.

 

නියෝජ්‍ය පොලිස්පති සුන්දරලිංගම්

සුන්දරලිංගම් හෙවත් අප දන්නා හඳුනන සුන්දා ශ්‍රී ලංකාවේ මගේ පරපුරේ පුවත්පත් කලාවේදීන්ගේ හොඳ මිතුරකු විය. නීතිමය පැවැත්ම පිළිබඳ හොඳ කතා පුවතක් අපට දැනගන්නට ඕනෑ වූ විට අපට කළ යුතුව තිබුණේ ඔහුව සම්බන්ධ කරගැනීමයි. 1983 ජුලි ද්‍රවිඩ විරෝධී ප්‍රචණ්‍ඩ ක්‍රියා සිදු වුණු සමයේ සුන්දරලිංගම් ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස අංශ රාශියක් භාරව ක්‍රියා කළේය. සුන්දා පසු කලෙක පැරිසියේ (ඉන්ටර්පෝල්) ජාත්‍යන්තර පොලිසියේ තනතුරක් දරමින් මත්ද්‍රව්‍ය වෙළෙඳාම මර්දනය කිරීමේ විශේෂඥයකු ලෙස ප්‍රසිද්ධියට පත් වූයේය. විශ්‍රාම ගැනීමෙන් පසුව හෙතෙම තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ පදිංචි වූයේය. මම සුන්දා සමග 2018 දෙසැම්බරයේ ඔහු මියයන තුරුම නිරන්තරයෙන්ම ඊමේල් හා දුරකතනය ඔස්සේ ද සබඳතා පවත්වා ගත්තෙමි.

මෙම ලිපියට අවශ්‍ය විමර්ශන කටයුතු කිරීමේදී සුන්දා 2017 ජුලි මාසයේ එවූ ඊමේල් පණිවිඩයක් මගේ අවධානයට නතු විය. ඔහුට 1983 ජුලි කලකෝලාහල ගැන මා සමග කතා කරන්නට අවශ්‍ය වී මට දුරකතන ඇමතුමක් ගෙන තිබිණි. මා එවේලේ නිවසේ නොසිටි නිසා එම ඇමතුමට පිළිතුරු දෙන්නට නොහැකි විය. එවිට සිතට ආ දේ කියා ගන්නට නොහැකිව ඉවසා ගන්නට බැරි වූ සුන්දා මා වෙත ඊමේල් පණිවිඩයක් මගින් එම සිතිවිලි එවා තිබිණි. කෙසේ වුව ද ඊමේල් පණිවිඩයේ සඳහන් දේ ගැන සවිස්තර සංවාදයක් අප අතර ඇති නොවූයේය. එවකට සිදු වූ දේ පිළිබඳව කරුණු හෙළිදරව් කරන නිසා එම ඊමේල් පණිවිඩය මෙහි නැවත සඳහන් කරන්නෙමි.

 

සුන්දාගේ ඊමේල් පණිවිඩය

දයාබර ඩී.බී.එස්.,

අපට දුරකතනයෙන් එකිනෙකා අමතන්නට නොහැකි වූ නිසා මෙසේ ලියා එවමි. මේ 1983 ජුලි මාසයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වූ අඳුරු කාලපරිච්ඡේදය ගැන කෙටි විස්තරයකි.

1. 1983 ජුලි 23 වැනිදා තින්නවේලි LTTE ප්‍රහාරයෙන් සොල්දාදුවන් 13 දෙනෙක් මරණයට පත්වූහ. ජනාධිපති ජේ.ආර්. ජනරාල් ආටිගල හරහා හමුදාපති වීරතුංගට වහාම යාපනයට යන ලෙස නියෝග කළ බව යුද හමුදා මූලස්ථානයට දැනුම් දෙන ලදී.

2. නියෝජ්‍ය පොලිස්පති (උතුරු පළාත බාරව සිටි) රාජගුරු, පොලිස්පති රුද්‍රා රාජසිංහම් සහ මා වෙත ඇමතුමක් දෙමින් හමුදාවේ අය වියරු වැටී ඇති බවත් පොලිසිය ද අසරණව සිටින බවත් කියා සිටියේය.

3. යාපනයේත්, සෙසු ප්‍රදේශවලත් සිදුවන දේ විපරම් කිරීම පිණිස ආරක්ෂක මණ්ඩල රැස්වීමක් පැවැත්වුණේය. හමුදා ප්‍රධානි හැරුණු විට ඒ වනවිට යාපනයට පැමිණ සිටි ගුවන් හමුදා හා නාවික හමුදා ප්‍රධාන අණදෙන නිලධාරීහු ඊට සහභාගි වූහ. සියලුම නියෝජ්‍ය පොලිස්පති බලප්‍රදේශ භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මා ඊට සහභාගි වෙමින් උතුරු ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පති රාජගුරුගේ කාර්යය අධීක්ෂණය කළ යුතු බව පොලිස්පති රුදා රාජසිංහම් දන්වා සිටියේය.

4. ජනරාල් ආටිගල ප.ව. 3 සිට ප.ව. 7 දක්වා හමුදාපති වීරතුංග සමග සාකච්ඡා කළේය. හමුදා කැරැල්ලක් නිසා යාපනයේ තත්ත්වය නරක අතට හැරී දේපොළ හානි හා කිහිප දෙනකුට තුවාල සිදු වී තිබිණි. හමුදාපති වීරතුංගට එම තත්ත්වය කිසිසේත් පාලනය කරගත හැකි නොවූයේය. එවකට පැවැති තත්ත්වය ගැන ජනරාල් ආටිගල ජේ.ආර්. දැනුවත් කළේය. ඊට පිළිතුරු ලෙස ජේ.ආර්. ජනරාල් ආටිගලට දන්වා සිටියේ යුදමය තත්ත්වයක් යටතේ හමුදා සොල්දාදුවන් 13 දෙනාගේ මරණය සිදු වූ නිසා ඔවුන් යාපනයේ මිහිදන් කළ යුතු බවයි. එම පණිවිඩය ජනරාල් වීරතුංගට දැනුම් දුන් විට ඔහු එකෙනෙහිම කියා සිටියේ, ‘සර්, එහෙම නම් මාත් මෙහෙම වැළලෙනවා. සර්, එයාලගෙ ගම් ප්‍රදේශවලට මිනී ගෙනියන්න සූදානම් කර දෙන්න’ යනුවෙනි.

5. මියගිය සොල්දාදුවන්ගේ මෘත දේහ ගුවන් මගින් කටුනායක ගුවන් හමුදා කඳවුරට ගෙන යන්නට ආරක්ෂක මණ්ඩලය තීරණය කළේය. ඉන් පසු ඔවුන්ගේ මෘත දේහ ගම් 13 ට යවන්නට කටයුතු සූදානම් විය. යාපනයේ සිට එම මෘත දේහ කටුනායකට ගෙන ආ විට වායුසමීකරණය කළ ගිලන් රථ 13 ක් සූදානම් කර තබන ලෙස පොලිසියට උපදෙස් දෙන ලදී. කටයුතු එසේ කළ යුතු බවට ජනරාල් ආටිගල ජේ.ආර්. සමග කළ සාකච්ඡාවකින් පසු ජේ.ආර්. එය අනුමත කළේය. එසේ කටයුතු සිදුවෙනු මම දෑසින් දුටුවෙමි.

6. ගිලන් රථවලට අදාළ සැලසුම අවලංගු කළ යුතු බවට පොලිස් මූලස්ථානයට නියෝග ලැබිණි. පොදුවේ කරනු ලබන භූමදාන කටයුතු සඳහා කනත්තට ගෙන යනු පිණිස ගුවන් මගින් එම මෘත දේහ රත්මලානට ගෙන එන්නට නියම විය. ඒ අතර වාරයේ කොළඹ ආතතිය ඉහළ නැගුණු අතර, විශාල ජනකායක් කනත්ත දෙසට ඇදෙමින් සිටියහ.

7. පොලිස්පති රුද්‍රා රාජසිංහම්, නියෝජ්‍ය පොලිස්පති අර්නස්ට් පෙරේරා සමග මම ද කනත්තට ගියෙමි. මහත් ආතතියක් දසත පැතිර ඇති බව පෙනී ගියේය.

තත්ත්වය බැරෑරුම් වග මට දැනෙන්නට ගත්තේය. නියෝජ්‍ය පොලිස්පති පෙරේරා සමග මම පොලිස්පති රුද්‍රා රාජසිංහම් හට කියා සිටියේ, කඩිනමින් ජනාධිපති හමුවී ප.ව. 9.00 වනවිට ඇඳිරිනීතිය පනවන ලෙසය. එසේ නොකළහොත් තත්ත්වය පාලනය කරගත නොහැකි වන බව ද කියා සිටින ලෙස අපි කීවෙමු.

පොලිස්පතිවරයා, වෝඩ් පෙදෙසේ සිටි ජේ.ආර්. මුණගැසීම සඳහා කනත්තෙන් ඉවත්ව ගියේය. ඊළඟ දිනයේ හවස් වරුව වනතුරු ඇඳිරිනීතිය පැනවීමක් සිදු නොවූ අතර ඒ දක්වා කාලය ඇතුළත දෙමළ ජනයාට තදබල ප්‍රහාර එල්ල කොට මොවුන්ගේ දේපොළ හානි කර තිබුණේ මෙරට ඉතිහාසයේ පෙර කිසි දිනක නොවූ ආකාරයටයි. ජේ.ආර්. ට මෙම තත්ත්වය වළක්වාගත හැකිව තිබුණි. එහෙත් ඔහු ඇඳිරිනීතිය පනවන්නට අපොහොසත් වූයේය. මෙහිදී ලොකුම ප්‍රශ්නය වූයේ මෘත දේහ කනත්තට ගෙනවිත් සියල්ල එකට භූමදානය කිරීමේ තීරණය ගත්තේ කවුද යන්නයි. එම තීරණය ගත්තේ සිරිල් මැතිව් බව අමාත්‍ය තොණ්ඩමන් මට කීවේය. කනත්තේම පොදුවේ මෙම මිහිදන් කිරීම කළ යුතුය යන මතයේ ඔහු තරයේ පිහිටා සිටියේය. ඒ සියල්ල දැන් ඉතිහාසයට ගොසින් හමාරය.

 

සංවිධිත ප්‍රචණ්ඩතාව

1983 ජුලි ප්‍රචණ්ඩ ක්‍රියා හොඳින් සංවිධානය කළ ක්‍රියාවලියක් යන්න මෙහි ඇති වැදගත් කාරණයයි. සිය කැමැත්තෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලුණු කිහිප දෙනකු සිටියා විය හැකිය. එහෙත් විවිධ තැන්වල එය ක්‍රියාත්මක කිරීම උදෙසා සිතාමතාම සැලසුම්කොට රඳවා තැබූ මෙහෙයුම් කණ්ඩායම් සිටියහ. ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වෙද්දී මෙම මූලික කණ්ඩායම්වලට සෙසු අය එකතු වූහ. මෙම කණ්ඩායම්වලට පූර්ණ මුක්තිය හිමිව තිබූ අතර එවකට බලයේ සිටි එ.ජා.ප. ආණ්‍ඩුවේ වැදගත් සාමාජිකයන්ගේ ආරක්ෂාව ද ලැබුණේය.

එම ප්‍රචණ්‍ඩ කල්ලි සතුව දෙමළ ජනයාට හිමි නිවෙස් හා ව්‍යාපාරික ස්ථානවල ලයිස්තු තිබිණි. ඒවායේ හිමිකාරිත්වය පිළිබඳ සවිස්තර තොරතුරු ද ඔවුන් සතු විය. යම් පරිශ්‍රයක් සිංහල අයට හිමිව තිබූ විට ගිනි තබනු ලැබුවේ දෙමළ පදිංචිකරුවන්ට හිමි ගෘහ භාණ්‍ඩ සහ අනෙකුත් දේ පමණකි. එවිට ගොඩනැගිල්ල ගිනි තැබීමක් හෝ හානියක් සිදු නොවුණි.

බොහෝ කල්ලිවලට නායකත්වය දෙනු ලැබුවේ එ.ජා.ප. වෘත්තීය සමිතිය වූ ජාතික සේවක සංගමයේ උදවියයි. එ.ජා.ප. නගර සභා, මහ නගර සභා සභිකයන් ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද ඊට හවුල් වූහ. වඩාත් ප්‍රමුඛ සහයෝගය සහ ශක්තිය ලැබුණේ ඊට හවුල් වූ කැබිනට් අමාත්‍යවරුන්ගෙනි. පොලිසියට නියෝග දෙනු ලැබුවේ එ.ජා.ප. දේශපාලනඥයන්ය. බොහෝ අවස්ථාවල අත්අඩංගුවට ගැනීම් නොකරන ලෙස ඔවුහු පොලිසියට කීවෝය.

බොහෝ සිද්ධිවලදී රජය සතු ගමනාගමන මණ්‍ඩලයේ රථවලින් මැර කල්ලි ප්‍රවාහනය කරනු ලැබීය. ඊට අමතරව අර්ධ රාජ්‍ය ආයතනවලට අයත් වාහන ද ඒ සඳහා යොදා ගැනුණේය. එම කණ්‍ඩායම් අතර කෑම පාර්සල් සහ මත්පැන් ද පිළිවෙළකට බෙදාහරිනු ලැබුවේය.

ෂෙල්ටන් රණරාජා සහ රේණුකා හේරත් වැනි වැදගත් එ.ජා.ප. නායකයන් මහනුවර පොලිසිය ලවා මැර කල්ලි අත්අඩංගුවට පත්කළ විට ඔවුන් සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක යන අමාත්‍යවරුන් විසින් මුදාගෙන ඔවුන් ආරක්ෂා කළෝය. සිරිල් මැතිව් සහ ඔහුගේ දේශපාලන ගෝල බාලයන් ප්‍රචණ්ඩක්‍රියාවලදී ඉටුකළ කාර්ය කොටස හොඳින් ප්‍රසිද්ධියට පත්විය. ඒවාට හවුල් වූ ඇතැම් අය අද පවා දේශපාලනයේ රැඳෙමින් ඉහළ තනතුරු දරති.

 

ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ ප්‍රතිචාරය

1983 ජුලි මාසයේ සිදු වූ සංවිධිත ඝාතනවලින් අනතුරුව සිදු වූ එක්තරා හෙළාදැකිය යුතු අංගයක් නම් ජේ.ආර්. ජයවර්ධන සහ ජ්‍යෙෂ්‍ඨ අමාත්‍යවරුන් රූපවාහිනිය ඔස්සේ දැක්වූ පිළිකුල් සහගත ප්‍රතිචාරයයි. ප්‍රචණ්‍ඩක්‍රියාවලට ගොදුරුවූවන්ට අනුකම්පාව දක්වන එකම වචනයක් හෝ එම ප්‍රතිචාරවලදී තෙපලනු නොලැබිණි. ජේ.ආර්., වරද සිදුකළ සිංහල උදවියට වක්‍රව දෝෂාරෝපණය කළ ද එම ප්‍රචණ්ඩක්‍රියා සාධාරණීකරණය කරමින් කියා සිටියේ එය සිංහල ජනයාගේ නිසඟ ප්‍රතිචාරයක් ලෙසයි. ප්‍රචණ්‍ඩක්‍රියාවලට ගොදුරු වූ ජනයා ගැන කියනු වෙනුවට ජේ.ආර්. කළේ, පක්ෂයෙන් බිඳී යාම වැළැක්වීම සඳහා ව්‍යවස්ථාපිත නීතියට සංශෝධන ගෙන ආ යුතු බව නිවේදනය කිරීමයි.

රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් සැඟවුණු විදේශ හස්තයක් ගැන කියමින් විදෙස් හස්තය ඊට වගකිව යුතු බව කියා සිටියේය. එය සිංහල, දෙමළ, සිංහල-මුස්ලිම්, බෞද්ධ-ක්‍රිස්තියානි ජනයා එකිනෙකා කුපිත කරවනු පිණිස කළ කුමන්ත්‍රණයක් බව ද ඔහු කීවේය.

ඉඩම් හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක දෙමළ ජනතාවට අනතුරු හඟවමින් කියා සිටියේ, ඉන්දියානු හමුදා පැමිණ ඔවුන් බේරාගන්නට පැය 14ක් ගත වුව ද සිංහල ජනතාවට විනාඩි 14කින් ද්‍රවිඩ ජනයා වනසා දැමිය හැකි බවයි.

වෙළෙඳ හා නාවික අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ප්‍රචණ්ඩක්‍රියා නිසා අත්‍යවශ්‍ය භාණ්‍ඩ මිලදී ගන්නට මිනිසුන්ට පෝළිම්වල ඉන්නට සිදුවීම ගැන කනගාටුව ප්‍රකාශ කළේය. මුදල් අමාත්‍ය රොනී ද මැල් සේන සහ ගුත්තිග රජවරු ගැන ඉතිහාසයට සම්බන්ධ දේශනයක් දුන්නේය. කර්මාන්ත හා විද්‍යා කටයුතු භාර අමාත්‍ය සිරිල් මැතිව් ඉන්දියානු භූතයා ඔසවා තබමින් 83 ජුලි කෝලාහල පිටුපස කුමන්ත්‍රණයක් ඇති බව කීවේය. ඔහුගේ කැබිනට් සගයකු වූ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය සෞම්‍යමූර්ති තොණ්‍ඩමන් එය ප්‍රතික්ෂේප කරමින් රජය තුළ හෝ රජයට සමීප බලවේග ඊට වගකිව යුතු බව පැවැසුවේය.

 

පෝල් සීගාර්ට්

එවකට ජනාධිපති ජයවර්ධන මෙම සංහාරයේ වගකීම සිංහල ජනතාවට පවරා ඔවුන්ගේ හොඳ නම කැළල් කළ ද අන්තර්ජාතික නීතිවේදීන්ගේ කොමිසමේ (International Commission of Jurists) නිරීක්ෂකයකු වූ ගෞරවයට පාත්‍ර පෝල් සීගාර්ට් මෙම සංහාරයේ සැබෑ තතු හෙළි කළේය.

සීගාර්ට් ඉදිරිපත් කළ වාර්තාවේ (Sri Lanka Amounting Tragedy of Errors) ඔහු  මෙසේ සඳහන් කළේය. ‘‘පැහැදිලිවම මෙය සිංහල ජනයා තුළින් මතු වූ ජාතිවාදී වෛරය නිසා හටගත්තක් නෙවේ. මෙය පෙර දින දෙමළ කොටින් විසින් සොල්දාදුවන් 13 දෙනා මරා දැමීමට ප්‍රතිචාර ලෙස නිරායාසයෙන් හටගත් ජන නැගිටීමක් බව ඇතැමුන් කීව ද මෙම කැරැලි ආරම්භ වනතුරු ඒ ගැන පුවත්පත්වල පවා වාර්තා වී නොතිබිණි. මෙය නිශ්චිත සැලසුමක් සහිතව කල් තියා සංවිධානය කොට ක්‍රියාවට නගන ලද්දකි.’’

 

සැලසුම් කළ සංවිධිත ඝාතනය

1983 ජුලියේදී සිදු වුණේ නිරායාස ජන නැගීටීමක් නොව සැලසුම් කළ සංවිධිත ඝාතන රැසකි. සංවිධිත ඝාතනය යන්නට දෙන අර්ථ කථනය නම්, රජයේ හෝ හමුදා බලධාරීන්ගේ අකැමැත්තෙන් හෝ අනුමැතිය ඇතිව එක්තරා සමූහයකට එරෙහිව ඔවුන් ජනවාර්ගික, ආගමික හෝ වෙනයම් සමූහයක් වේවා දියත් කරනු ලබන ප්‍රචණ්ඩ ප්‍රහාරයයි. එහිදී මරා දැමීම්, නිවාස ව්‍යාපාරස්ථාන, දේපොළ විනාශයන්, ආගමික මධ්‍යස්ථාන විනාශ කිරීම් ද සිදු විය හැකිය. සංවිධිත ඝාතනය හඳුන්වන ඉංග්‍රීසි වචනය වන Pogrom යන්න රුසියානු බසින් බිඳී ආවකි. වනසා දැමීම, කඩා බිඳ දැමීම හා ප්‍රචණ්ඩ ලෙස සුනුවිසුනු කර දැමීම එයින් අර්ථවත් වේ.

 

(***)

2021 ජුලි 24 වැනි දින DailyMirror පුවත්පතේ පළවූ JR Jayawardane and The July 1983 Anti-Tamil Violence ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ



අදහස් (9)

83 කළුජූලියේ සුලමුල

Bamunuarachchi Thursday, 12 August 2021 08:54 AM

මම නම් ඒ ගැන දුක්වෙන්නේ නැහැ. සිංහල දෙමළ ප්‍රශ්නය තිබෙන්නේ ක්‍රි පු 130 පමණ කාලයේ සිට. මම 1983 දකින්නේ ක්‍රි පු 130 ඉතිහාසය නැවත සිදුවීමක් ලෙසයි. අනාගතේ නැවත ඒවි එදාටත් ජේ ආර් කෙනෙක් රටට ඕනැ වෙයි.

:       36       6

උපතිස්ස Thursday, 12 August 2021 03:56 PM

තක්කඩි විධිහට හිතන්න එපා....

:       0       1

නලීන්Thursday, 12 August 2021 04:03 PM

බමුණු ආරච්චි = බමුණුආරච්චි.... නමේ බමුණු කොටසක් තිබෙනවා කියන්නෙ ඔබට ඉන්දියානු සම්බන්ධයක් තියෙනවා කියන එක නේද ? පූජක බමුණන් පවුල් කාලා සමාජයට ආවම ඔවුන්ට උඩරට රජුන් කලේ ආරච්චි වගේ තනතුරක් දීම. ඒ ඔවුන් හිටපු තැනට වඩා පහතට වැටෙන ජීවිකාවක් කරනව දකින්න රජුටත් වඩා ඉන්දියානු බිසොවුන්ලා අකැමැති වූ නිසා. ඔබටත් දමිළ සම්භවයක් තියෙනවා බමුණුආරච්චි මහත්මයෝ...

:       0       1

CHANDIMAThursday, 12 August 2021 10:41 PM

එදාට ජේ.ආර්. කෙනෙක් නෙමෙයි... එයාගේ බෑණා කෙනෙක් ඉන්නේ.. හැබැයි ජේ.ආර්. කරපුවායින් 1% ක් වත් කරගන්න බැහැ...

:       0       4

pakeer Thursday, 12 August 2021 08:50 PM

බමුණුආරච්චි වැනි අය සිටින රටක..., ජාතියක ඉපදීමට මා කළ පව කුමක්ද?

:       3       12

BamunuarachchiMonday, 16 August 2021 12:38 PM

මදුරුවාට ගහල අඹරන එකයි බණ අහන කාටත් ඇසෙන්නේ, පෙනෙන්නේ, මදුරුවා විදින එක පෙනෙන්නේ නැහැ නේද?.අනේද කියන්නේ

:       1       2

BamunuarachchiMonday, 16 August 2021 05:26 PM

පකීර්ට උපදින්න තැනක් නැහැ. මොකද මොන ජාතිකයාත් තමන්ගේ ජාතිය රැකගන්න විජාතිකයා නසනවා..

:       1       1

Cisco Friday, 13 August 2021 03:58 PM

83 කළු ජූලිය තනිකරම JR ප්‍රමුඛ එජාප ආණ්ඩුව ඇතිකල කෘතිම ව්‍යවසනයකි. ජනමත විචාරණ අවස්ථාවේ සිදුකළ මැතිවරණ දූෂණ පිළිබඳ ඡන්ද පෙත්සම රෝහණ විජේවීර ප්‍රමුඛ අය විසින් ඉදිරිපත්කරන ලද අතර එහි තීන්දුව පැවැති එජාප රජයට අහිතකර ලෙස ලැබීමට නියමිතව තිබුණි. සොල්දාදුවන් 13 දෙනාගේ මරණ වෙස්වලාගත් ආශිර්වාදයක් වූ අතර 83 ජූලි කලබල ඇතිකිරීමට සැලැසුම් කලායයි කියමින් ජවිපෙ තහනම් කළේය. සෙබළුන් සියලු දෙනාම බොරැල්ලට නොගෙන ගම්පළාත්වලට යවන්න යයි අගමැති ප්‍රේමදාස කොතරම් ඉල්ලීම් කළත් JR එයට එකඟ නොවුණි. ජවිපෙ නායකයින් සැඟවුණු බැවින්ම නඩුව ඉදිරියට ගෙනයාමට නොහැකිව ඉතිරි ටික විභාග කර තීන්දුවක් නොදී අයින් කෙරුණි. එක බූරු වැඩක් වහගන්නට එජාප ගෝලයින් රට පුරා දෙමළ විරෝධී කලබල ඇතිකළ අතර ජවිපෙ තහනම් විය. එහි තවත් අතුරුඵලයක් ලෙස 87-89 භීෂණයද ඇතිවිය. අහෝ රටකට කළ විපතක්...

:       0       15

RaveendraSaturday, 14 August 2021 07:11 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මෙම අතීතය අද රටේ වැඩිම පිරිසක් නොදන්නෝය. සිංහලයින්, ද්‍රවිඩයින් අතර භේදභින්න කිරීමට ඍජුවම දායකවූයේ ආසියාවේ පරිණතම දේශපාලුවා යයි තමන්ගේම ඇම්බැට්ටයන් විසින් පමණක් වාර්තාකළ "JR" ප්‍රමුඛ එජාපය බව නොරහසකි.. අද එහි සිටින්නේද එවැනිම මුග්ධයින් පිරිසකි. එදා විජේවීර උන්නැහේගේ දැක්ම වැඩි පිරිසක් තේරුම් නොගත්තේය. අද ජේවීපී කාරයින් යනු විජේවීර උන්දැගේ නමටත් කැලලක්.. එක එකාගේ පඹයින් වී සිටින දියබරියන් මෙන්ම... හැමදේටම විරුද්ධ ගොන් න්‍යායෙන් පරිපූර්ණ "ලොන්ත බූරුවන්" රැලකි..

:       2       9

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 279 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1207 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1797 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1337 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site