IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අපත් රටත් දුප්පත්ද?

ලංකාව රටක් මිස රාජ්‍යයක් නොවන බව ‘කිවි දා දැක්ම’ ලිපි පෙළේ කීප විටක් ම සඳහන් කළේ සහ පැහැදිලි කළේ ඇයිද යන්න මේ වනවිට අපගේ පාඨක සහෝදර සහෝදරියන්ට මනාව වැටහී ඇතැයි සිතමි. කලින් කලට ජනයාගේ පරමාධිපත්‍ය පැහැරගන්නා කණ්ඩායම් ආණ්ඩු පිහිටු වූ බව ඇත්තකි. එහෙත් ඒ කිසිම කණ්ඩායමක් රට රාජ්‍යයක් කිරීමට උත්සාහ ගත්තේ නැත. අසාර්ථක වුවද එවැනි ප්‍රබල සහ සවිඥානික උත්සාහයක් ගත් එකම ආණ්ඩුව වුණේ 1970-75සමඟි පෙරමුණේ ආණ්ඩුව ය. 

එහෙත් 1977 දී රටේ ජනයාගේ බලය ලබාගත් කණ්ඩායම සහ එහි අසහාය නායකයා කළේ දලුලමින් තිබූ රාජ්‍ය ව්‍යුහය කුඩුපට්ටම් කොට පරිභෝජන පෙරේතවාදය විසින් වැටි වැටී නඩත්තු කරන වෙළඳපොළක් බවට රට පත්කිරීම ය.

කලක් යනවිට සියල්ලම පරිභෝජන පෙරේතවාදීන් බවට පත්කළ 77 මෙහෙයුම විසින් රට ජාතිය සහ ජාතික රාජ්‍යය යන ඒවා ජනයාගේ හිතට දෛනිකව සහ ඉබේ දැනෙන කාරණා වීම අත්හිටුවනු ලැබීය. 

දෛනික ජීවිතය පරිභෝජනය තුළටම ගාල් කරගත් ජනයාත් ඔවුන් ඒ තත්ත්වයට ඇද දැමූ පාලක කල්ලිත් රට ජාතිය සහ ජාතික රාජ්‍යය යන ඒවා තම දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික න්‍යාය පත්‍රවලින් මකා දමමින් හුදු ආත්මාර්ථකාමී කල්ලි සහ පවුල් කේන්ද්‍රීය මෙහෙයුමක පමණක් නිරත විය. රට සතිපොළක් බවට පත්වුණේ සහ රාජ්‍යයක් පිළිබඳ සියලු‍ අපේක්ෂා සුන් වුණේ බඩජහරි ජනයා පරම්පරා ගණනින් මෝඩයන් බවට පත් කරමින් සහ පාලක කල්ලිවල සුබසෙත ලෝකයේ දියුණු රාජ්‍යවලින් සලසා ගනිමිනි.

මේ මෝඩ ජනයා දිස්ත්‍රික්ක ආසන සහ වසම් මට්ටමේ ඇති ඡන්ද කූඩුවල දමා හිරකර ඇත. එසේ සිර කොට  ඡන්දයක් ළං වනවිට කෑමට සහ ලෑමට යමක් කූඩුවලට සහ කූඩු අසලට එනම් දිස්ත්‍රික්ක ආසන වසම් යනාදී වශයෙන් ඇති ඡන්ද කූඩුවලට වීසි කරති. පාලකයන් සහ ඔවුන් සමඟ සහචරයන් ලෙස අත්වැල් බැඳගත් ජාවාරම්කාරයන් සහ බලවත් නිලතල දරන පාදඩයන් එසේ ක්‍රියාකරන්නේ රාජ්‍යය ගැන වගේ වගක් නොමැතිවය. මේ ක්‍රීඩාවේ වයස දැනට අවුරුදු 74 කි. 

මේ තත්ත්වය වඩාත් බරපතළ වූයේ උග්‍ර වූයේ 1977 න් පසුවය. 77 න් පසු රටේ ආණ්ඩු පිහිටු වූ කිසිම කල්ලියක් රට ගැන ජාතිය ගැන ජාතික රාජ්‍යය ගැන සිතුවේ නැත. සිතුනේත් නැත. ඔවුන් කොයි තරම් මේ රට ජාතිය සහ රාජ්‍යය ගොඩනැගීම නොතකා හැරියාද කියතොත් මේ පාලක කල්ලිවලට බෙහෙත් මේ රටේ නැත. ඉස්පිරිතාල නැත. වෛද්‍ය ප්‍රතිකාර නැත.

නිවාඩු ගන්නට තැන් නැත. තම දරුවන්ට ඉගෙනගන්නට තරම් සුදුසු පාසල්, විශ්වවිද්‍යාල මේ රටේ නැත. ඇත්තේ මංපහරන්නා සේ ජනයා සතු බලය පොදු දේපොළ සහ පොදු අවකාශ පැහැර ගැනීමේ වුවමනාව අශීලාචාර ලෙස ඉටුකරගත හැකි දඩබිමක් පමණක් ය. මෙරට තුළ ජනයා කූඩු කරන සහ රාජ්‍යය ගොඩ නොනගන පාලක සුබසෙත හැම විටම නො රටක ය.

සිරගත වන අය, නිදොස් කොට නිදහස්වන අය සහ රටින් පිටවීම තහනම් වන ඇතැම් පාලකයන් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටින්නේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදේශගත වීමට අවසර දෙන ලෙස ය. ඔවුන්ගේ ඉස්පිරිතාල සහ වෛද්‍ය ප්‍රතිකාර ඇත්තේ පිට දේශවල ය. පාර්ලිමේන්තුවේ ඉන්නා අති බහුතරයකට හදිසියකටවත් රට ජාතිය රාජ්‍යය හැඟීම්බර ලෙස සිහියට එන්නේ නැත. ඔවුන් දිවා රෑ කල්පනා කරන්නේ තම පුද්ගලික බල ව්‍යාපෘතියට එන තර්ජන සහ අභියෝගවලින් ගැලවී ස්වාර්ථය සලසා ගන්නා ආකාරය ගැන ය. ඒ සඳහා රට ජාතිය ජාතික රාජ්‍යය කූටෝපායික ලෙස පාවිච්චි කරන ආකාරය ය. ඇත්තටම න්‍යායික භාෂාවකින් කියනවානම් පාර්ලිමේන්තුවේ ඉන්නා විශ්වවිද්‍යාල උගතුන්ද ඇතුළු 225න් සියයට 99 කටම ජාතික රාජ්‍යය යන්න දෘෂ්ටිවාදී පදනමක් නොවේ ය.

හැඟීම්බර සමාජ දේශපාලන සිතිවිල්ලක් නොවේ ය. එසේම ජනතාව යන්න වගකීමක් නොවේ ය. ඔවුන් රටටවත් ජනයාටවත් වග වෙන්නේ නැත. එනම් වගඋත්තර බඳින්නේ නැත. ඉතින් එහෙව් රටක රාජ්‍යයක් ශක්තිමත්ව ගොඩනගන්නට මේ කල්ලිවලට උනන්දුවක් වුවමනාවක් තිබෙන්නට විදිහක් නැත. නො තිබීම පුදුමයක් ද නොවේ ය. අද පවතින ආර්ථික සමාජ දේශපාලන අර්බුදය සහ සිඟමන වනාහි එකී ක්‍රියාවලියේ ප්‍රතිවිපාකයෝ වෙති.

අප සිතා සිටියේ දුප්පත් අප පමණක් කියා ය. දැනට වසර කීපයකට පෙර ලෝක ජල දින ජාතික උත්සවයේ ආරාධිත දේශනය කිරීමට  වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ගිය මා සමඟ එවක හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු  කීයේ වියලු‍වේ බදුලු‍ඔය ගොවි ජනපදය අතහැර දමන ලද (a neglected colony) කොලනියක් බවය. ඒ කොලනියේ ගොවියෙක් සහ ගෙවිලියක් වූ මගේ දෙමව්පියන් කී දෙයක් සිහියට නැගේ. පාසල් යන අපට ඔවුන් කීවේ ‘ගොයම් කැපුවම, ඉරිඟු‍ විකිණුවම, කමිසයක්, කවකටුපෙට්ටියක්, පාට පෙට්ටියක් අරන් දෙන්නම්’ කියා ය. ඉතින් අප ගොයම දෙස බලා සිටියේ ඒවා ඉක්මනට පස්සවන්නට ය. ඉරිඟු‍ බබාලා අතගාමින් ඒවායේ කොණ්ඩා ගෙතුවේ ඉක්මනට පස්සවා ගන්නට ය, ගලවා විකුණන්නට ය. හැබැයි වාසියකට තිබුණේ ගොයමත් ඉරිඟු‍ හේනත් ඇස් මානයේ පෙනෙන්නට තිබීමය.

එහෙත් දැන් අප පමණක් නොව රටම  දුප්පත් ය. අප බලාකියාගන්නට ආරක්ෂා කරන්නට පරිස්සම් කරන්නට රාජ්‍යයක් නැත. ඇත්තේ අපට වගනොකියන නිලතල දරන්නන් නොව නිලය ඇඳගෙන ඉන්නන් ඉන්නියන් සහ පාලකයන් පමණය. ඔවුන් අපට පෙන්නන්නේ මුහුද මැද තිබෙන නැව් සහ එනවා යැයි කියන එහෙත් තවම දියඹේ නොපෙනෙන නැව් ය.  ලැබෙනවා යැයි කියන නොව ලැබෙනවා යැයි හිතන ඩොලර් ය. රටම දැවැන්ත අසහනයක ය, කාංසාවක ය, බියකය, අසරණකමක ය, අපේක්ෂා භංගත්වයක ය. කලක් අප සතුටු වුණේ අප දුප්පත් වූවාට රට දුප්පත් නැත කියා සිතාගෙනය. එහෙත් දැන් පෙනෙන්නේ අපටත් වඩා රට දුප්පත් බවය. අප බොහෝ දෙනකුට අඩුම තරමින්ට හැප්පෙන්නට පොළොවක් සහ රස්සාවක්වත් තිබේ. දැන් රටට රස්සාවක් නැත. රාජ්‍යයක සේයාවක්වත් නැත. 

රට රාජ්‍යක් වී තිබුණානම් ආණ්ඩු කුමන විකාර නැටුවත් නටන්නට ගියත් එය රාජ්‍ය යාන්ත්‍රණ විසින් හික්මවනු ඇත, නියාමනය කරනු ඇත. එහෙත් වසර 74 ක් තිස්සේ වැඩි වාරයකම සිදු වුණේ රාජ්‍යය අඩපණ කොට ආණ්ඩු බලවත් කරන අත්තනෝමතික කල්ලිවලට ජන අනුමැතිය ලැබීමය. ඒ ආණ්ඩුවලට රටක් ගැන හිතක් නැත. රාජ්‍යයක් ගොඩනගනවා තබා ඒ ගැන බලාපොරොත්තුවක්වත් නැත. වැඩවලට ණය ගත්තා මිස ඒ ගත් ණය රාජ්‍යය ගොඩනැගීමේ කටයුත්තක් අරමුණු කොටගත් මුල්‍ය විනයක් සහ අරපරෙස්සමක් යටතේ කළමනාකරණය කළේ නැත. වැය කිරීමේ ප්‍රමුඛතා මිස ආයෝජනය කිරීමේ ප්‍රමුඛතා හෝ විධිමත් ඒකාබද්ධ ජාතික සැලැස්මක් දකින්නට ලැබුණේ නැත.

වාර්ෂික අයවැය ඉදිරිපත්කිරීම් වනාහි බොහෝ දේ සඟවන ලද දේශපාලන අරමුණු සඳහා සම්පාදනය වූ ඒවා ය. එක්කෝ තනි පුද්ගල මනාපය බලවත් විය. නැතහොත් ගෝලීය ආර්ථික දේශපාලන සහ ආරක්ෂක මූලෝපායවලට අනුව සම්පාදිත ඒවා ය. අපට රාජ්‍යයක් වුවමනා නැති ගානට සම්පාදිත ඒවා ය. බොහෝ දෑ නාස්තිකාර වියදම් ය. බොහෝ දෑ දූෂිත අරමුණු මුල් කරගත් වැය කිරීම් මිස රටට යහපතක් වන ආයෝජන නොවේ ය. 

ලෝක බැංකුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යාපන යෝජනා කිසිදු විචාරයකින් තොරව පිළිගන්නා මේ රටේ විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන පද්ධතිය ද පාසල් අධ්‍යාපන පද්ධතියද ධනයම ආත්මය කොටගත් කොම්පැනි නාලිකා ද නිලතල දරනවාට වඩා ඒවා ඇඳගෙන සිටින මේ රටේ රාජ්‍ය සේවය ද මේ සිදු වී ඇති විනාශයට දේශපාලකයන් තරමටම වගකිව යුතු ය. රට හිල් වී රාජ්‍යය කාන්දු වී ගියේ ඒ සියලු‍ අංශවල එනම් රට ජාතිය ජාතික රාජ්‍යය යන්න ගැන හැඟීමක් නැති පුද්ගලයන් සහ කල්ලිවල අකටයුතුකම් නිසා ය. ජාතික රාජ්‍යය යන්න දෘෂ්ටිවාදයක් නොවුණේ 77 වෙනස දිගටම නඩත්තු කරමින් පරිභෝජන පෙරේතවාදය සමාජ ආර්ථික දේශපාලන දෘෂ්ටිවාදයක් නැතහොත් මනෝභාවයක් බවට පත්කිරීමට ක්‍රියා කළ ඒ බලවේග නිසා ය.

එවැනි පසුබිමක මේ අර්බුදකාරී ව්‍යසනයට වගකිවයුතු වගඋත්තර බැඳිය යුතු පාලක කල්ලි එකිනෙකාට චෝදනා කරගැනීම මාරාන්තික විහිළුවකි. 1947 පාර්ලිමේන්තු නියෝජිතවරණයේ සිට මේ දක්වා බලයට පත්වූ එහෙත් 1956 සහ 1970 ආණ්ඩු දෙක හැර අනෙක් සියලු‍ ආණ්ඩු, නායකයන් සහ ඔවුන්ගේ වර්තමාන අනුප්‍රාප්තිකයන් සහ ඔවුන්ට උඩගෙඩි දුන් මෝඩ ජනයා මේ ව්‍යසනයට වගකිව යුතු ය. යේසුස් වහන්සේගේ ප්‍රකාශයක් වෙනස්කොට කීමට අවසර ඉල්ලමි. එනම් ‘ව්‍යසනයට වගකිව යුතු නැත්තෙක් වේ නම් පළමු ගල ගසන්න’.

එසේනම් දැන් කළ යුත්තේ මේ ජාතික අර්බුදයට සහ ජාතික ව්‍යසනයට මුහුණදීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සැකසීමය. එය කළ යුත්තේ නිල උගතුන් වියතුන් නොව මේ රට ගැන ජාතික රාජ්‍යය ගැන හැඟීමක් සහ හෘද සාක්ෂියක් ඇති අර්බුදයෙන් මිදීමේ මඟ, රාජ්‍ය ශිල්පය සහ රාජ්‍ය කළමනාකරණය දන්නා ප්‍රාමාණිකයන් ය. පාලකයන් සහ නිලධාරීන් ඊට නම්මවා ගැනීමේ වගකීම සමාජය බාරගත යුතුය. ඒ සඳහා ජන සමාජයට නව සිතීමක් අත්‍යවශ්‍යයය. ඒ සිතීම් විශ්වය තැනීම අප වැන්නවුන්ගේ වගකීමක් ය.

(***)



අදහස් (1)

අපත් රටත් දුප්පත්ද?

චන්දිම Wednesday, 16 March 2022 12:34 PM

යුද්දෙන් පස්සේ හොඳට හිතලා බලලා වැඩකළා නම් අපිට ගොඩ යන්න තිබුණා. දරාගන්න බැරිතරම් ණය අරගෙන ඒවායිනුත් පිල්ලි ගහගෙන වරායවල්, ගුවන් තොටුපලවල්, නෙළුම් කුළුණු වරාය නගර හැදුවාට ඒවා කළමනාකරණය කරගෙන ආදායම් උපයන විදිය ඔය මොන යකෙක්වත් දන්නේ නැහැ. හැම කෙනාම බැලුවේ අතයට ගහගන්න. අන්තිමේදී අපි පරාජය වුණා. හැමදේම අනුන්ට අයිති වුණා. විකුණපු සල්ලිත් කාට කොහේ ගියාද දන්නෙත් නැහැ. දැන් කරන මහම තක්කඩි වැඩේ තමයි එක එක්කෙනා එක්ක එකඑක ගිවිසුම් ගහනවා. මොනවා තියෙනවද කියලා රටේ ජනතාව දන්නෙත් නැහැ. රට විකුණනවා වගේ තමයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 277 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 588 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1795 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1333 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2065 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site