IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අයවැයෙන් අර්බුදය විසඳේවිද

නොවැම්බර් 12 වැනිදා මුදල් අමාත්‍යවරයා 2022 වර්ෂය සදහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ලංකා ඉතිහාසයේ කවරදාකවත් නොතිබූ ආර්ථික අර්බුද රැසකට රට මුහුණ දී සිටියදීය. මේ ඒ අයවැය යෝජනා පිළිබඳ දෙස් විදෙස් පතළ ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය ඩැනී අතපත්තු සමඟ කළ සාකච්ඡාවක සටහනකි. මහාචාර්ය අතපත්තු රුහුණු විශ්වවිද්‍යාලයේහි ආර්ථික විද්‍යා අංශ ප්‍රධානී සේම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපතිවරයා ද වෙයි. මෙදා අයවැය යෝජනාවල රුව ගුණ ඒ ආර්ථික විද්‍යාඥයා මෙසේ ගෙන හැර දක්වයි.

අද අපේ රට තිබෙන්නේ බරපතළ ආර්ථීක අවපාතයකය. එක් පැත්තකින් කොරෝනා වසංගතය නිසා නිෂ්පාදන කටයුතු කඩා වැටී පවතී. අනෙක් පැත්තෙන් විදේශ විනිමය හිඟය නිසා ආනයන නැවතී කර්මාන්ත අඩපණ වෙමින් පවතියි. රුපියලේ වටිනාකම ක්‍ෂයවීමෙන් ඩොලරයේ වටිනාකම් ඉහළ ගොස් ආනයන වියදම සමග භාණ්ඩ හා සේවා මිල ද පවතින්නේ ඉහළ යමිනි. ජාත්‍යන්තරව ගතහොත් ඛනිජ තෙල් මිල ඉහළ යාම සහ නැව් ගාස්තු ඉහළ යාම මගින් අපේ ආර්ථීකයට බරපතළ ප්‍රශ්න ඇති කරයි. කෙසේ වුවත් අප මුහුණ දී සිටින අර්බුදවලට තරම් බරපතළ ප්‍රශ්නවලට අනෙක් රටවල් ගොදුරු වී නොසිටියි. ඒ අර්බුද මැද යමක් කිරීමට මුදල් අමාත්‍යවරයා උත්සාහ කරයි. 

අද අපේ රටේ පවතින ආර්ථික ප්‍රශ්න කොරෝනා වසංගතය නිසාම ජනිත වූ දේවල් නොවේ. ඒවා කාලයක් තිස්සේ පවතින ප්‍රශ්නය. ලංකාව පහළ මැදි ආදායම් රටක් ලෙස ලෝක බැංකුව විසින් වර්ග කරනු ලැබුවේ 1997 දීය. ලෝක බැංකු වර්ගීකරණය අනුව අඩු ආදායම්, මැද ආදායම් හා ඉහළ ආදායම් ලෙස රටවල් වර්ග තුනකි. මැද ආදායම් රටවල් අතර ද පහළ මැද සහ ඉහළ මැද ලෙස රටවල් වර්ග දෙකකි. පහළ මැද ආදායම් ලබන රටවල් අතරට අප එකතු වූයේ 1997දීය. අවුරුදු 24 ගත වී තිබියදීත් අප තවමත් සිටින්නේ 1997 දී පටන් ගත් තැනමය. 

ඉහළ ආදායම් ලබන රටවල් අතරට යාමට නම් අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 12,000 ක් පමණ විය යුතුය. එහෙත් දැනටත් අපේ රටේ ඒක පුද්ගල ආදායම පවතින්නේ ඇමෙරිකන් ඩොලර් 3,500 සිට 3,600 අතරය.

ඉහළ ආදායම් ලබන රටවල් අතරට යාමට නම් ලංකා ආර්ථීකයේ ප්‍රතිසංස්කරණ විය යුතුය. සංවර්ධනයට දියුණුවට අහිතකර ලෙස බලපා තිබෙන බාධක හඳුනගෙන ඒවා ඉවත් කිරීම ආණ්ඩු කරන අයගේ වගකීමකි. ආණ්ඩුකරණය කියන්නේ එයටය. ඒ සඳහා කෙටි, දිගු හා මධ්‍ය කාලීන සැලසුම් ආණ්ඩුවකට තිබිය යුතුය. අය වැය ලේඛනය ද එහි කොටසකි. අයවැය ලේඛනය කෙටි කාලීන සැලැස්මයි. ඉහත කී සැලැස්මට අදාළ කරුණු අය-වැය ලේඛනයේ ඇතුළත් විය යුතුය. 

අය-වැයෙහි තිබිය යුත්තේ ඒ කෙටි කාලීන සැලැස්මය. රාජ්‍ය ප්‍රතිපත්තිය. එහෙත් මෙවර අය-වැය ලේඛනයට එවැනි දැක්මක් තිබෙන බවත් මට නොපෙනෙයි. 

රටේ ආර්ථිකය දැනට මුහුණ දී සිටින තත්ත්වයන් මත යම් යම් සමාජ කොටස් හා විපතට පත්ව සිටින ඇතැම් පිරිස්වලට සහන සැපයීමක් වැනි අතිශය සරල කරුණු කීපයකට මෙවර අය-වැය කොටුවී, පටුවී තිබේ. දෙනවාය කියන සහන හැම දෙනාටමත් නොලැබෙයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ජීවන වියදම ඉහළ යාමේ ප්‍රශ්නයකින් රටේ ජනතාවගෙන් අති විශාල බහුතරය පෙළෙයි. එසේම මෙතෙක් රැකියා කළ අයගේ රැකියා ද අහිමි වී විරැකියාව ඉහළ ගොස් පවතී. ඒ කිසිවකට මෙවර අය-වැයෙන් පිළියම් නොලැබෙයි. ත්‍රිරෝද රථ රියැදුරන්, පාසල් බස් රථ රියැදුරන් වැනි පිරිස්වලට සහන සලසා තිබේ. ඊට අමතරව ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද කියයි. ඒ සඳහා වැය කරන මුදල් සැලැස්මකට අනුව වෙන්කළ බවක් නොපෙනෙයි. ග්‍රාම සේවා වසමකට රුපියල් ලක්‍ෂ 30 ක් දෙයි. එහෙත් එය දෙන්නේ කුමකට ද කාටද කියා අපැහැදිලිය. බැලූ බැල්මට පෙනෙන්නේ ඒ මුදල් ප්‍රාදේශීය දේශපාලකයන් අතට යන බවකි. ඒ මුදල්වලින් ඔවුන් කැමැති දෙයක් කර ගැනීමට දෙන බවක් පෙනෙයි. එය එසේ කරන්නේ තවත් ඡන්දයක්, මැතිවරණයක් ඉලක්ක කරගෙන දැයි සැක සිතෙයි. 

රටේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,021 කි. එසේම පළාත් පාලන කොට්ඨාසයකට රුපියල් ලක්‍ෂ 40 බැගින් බෙදීමට ද යෝජනා කරයි. පළාත් පාලන කොට්ඨාස 4,917 ක් රටේ පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටත් පක්‍ෂ බේදයකින් තොරව, රුපියල් ලක්‍ෂ 150 බැගින් බෙදන බවද මුදල් අමාත්‍යාංශවරයා කියයි. ප්‍රාදේශීය ලේකම්වරුන්ට ද එසේ මුදල් බෙදන බව මුදල් ඇමැති කියයි. එහෙත් ඒ සල්ලි බෙදන්නේ කුමක් අරමුණු කරගෙන ද කවර සැලසුමක් මත ද යන්න අපැහැදිලිය. එසේ මුදල් බෙදා දෙන්නේ කවර ව්‍යාපෘති සඳහා ද යන්න ද අවිනිශ්චිතය. සෑම කොට්ඨාසයකටම සමාන මුදලක් බෙදීම ද අදහාගත නොහැකි ක්‍රියාවකි. ඒ ඒ කොට්ඨාසවල තිබෙන ප්‍රශ්න විවිධය, විසමය. එහෙත් මුදල් දෙන්නේ සමානවය. එයින් පෙනෙන්නේ මෙය යටි අරමුණකින් සල්ලි බෙදීමක් මිස සැලසුම් සහගතව රටට ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් කරන ක්‍රියාවක් නොවන බවය. එසේ බෙදන මුදල් භාවිතයේ දී දූෂණ වංචා හොරකම් ඉහළ යනු නියත බව ලාංකික කාටත් ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. 

රට කොයි අතකට ගමන් කරනවාද කියා විධිමත් මාර්ග සිතියමක් මේ අය-වැයෙහි නොපෙනෙයි. පෙනෙන්නේ තාවකාලික පැලැස්තර විසඳුම් කිහිපයකි. 

අය-වැය ලේඛනයට පෙර ඉදිරිපත් කළ විසර්ජන පනතින් අනාවරණය වන්නේ ප්‍රමුඛතා මත අමාත්‍යංශවලට මුදල් වෙන්කර නොමැති බවයි. මා ඉන් අදහස් කළේ ප්‍රමුඛතාව පිරිනැමිය යුත්තේ මොනවාටද කියා රජය හඳුනාගෙන නොමැති බවය. ඉතා විශාලම මුදල එනම් රුපියල් බිලියන 373 ක් වෙන්කර තිබෙන්නේ ආරක්‍ෂක අමාත්‍යංශටය. ලංකාවේ හමුදාවල සිටින සංඛ්‍යාව 3,17,000 කි. බග්ලාදේශයේ එය 2,27,050 කි. එංගලන්තයේ 1,48,450 කි. ජපානයේ සිටින හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 2,61,150 කි. ලංකාවේ ජනගහනයෙන් 1.46 ක් හමුදා සාමාජිකයෝය. ආරක්‍ෂක වියදම් ඉහළ යාමට ප්‍රධාන හේතුව මෙයයි. මෙය රටේ ආර්ථිකයට දිගු කාලීනව බලපාන ප්‍රශ්නකි. මේ හමුදා සාමාජිකයන් වගකීම වැනි නිෂ්පාදන කටයුතුවලට යොමු කළ යුතු බව මගේ යෝජනාවකි. 

එසේ නොකර හමුදාවලට තව තවත් බඳවා ගැනීම, බරපතළ කරණයකි. 

සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන්කර තිබෙන්නේ බිලියන 153 කි. අධ්‍යාපන අමාත්‍යංශයට බිලියන 127 කි. රටේ ආර්ථීකයට දිගුකාලීන බලපෑමක් කළ හැක්කේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවලටය. කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට මීට වඩා දැඩි අවධානයක් යොමු කළ යුතුමය. මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යමය. ඒ සඳහා ආණ්ඩුව යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ද සිටියි. එහෙත් ඒ ගැන අය වැයෙහි කිසිවක් සඳහන් නොවෙයි. අවශ්‍ය තරම් මුදල් ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන්කරලාත් නැත. අධ්‍යාපනයට හා සෞඛ්‍යය වෙන්කර තිබෙන මුදල රුපියල් බිලියන 280 කි. එහෙත් ආරක්‍ෂක අමාත්‍යංශයට පමණක් රුපියල් බිලියන 373 කි. රට ආර්ථීක අර්බුද රැසකට මුහුණ දී සිටියදී රජය මෙසේ ප්‍රමුඛතා හඳුනා නොගෙන මුදල් වෙන් කිරීම අදහාගත නොහැකි කාරණයකි. 

අනෙක් කාරණය රටේ ණය බර ලිහිල් කර ගැනීමට ගන්නා කිසිම උත්සාහයක් මෙම අය – වැය ලේඛනයෙන් නොපෙනීමය. රටේ ණය බර දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 101 දක්වා ඉහළ ගොසිනි. ණය බර ඉහළ යන්නේ අය-වැය පරතරය ඉහළ යන හෙයිනි. 

අය-වැය අඩු කර ගැනීමට ආදායම් වැඩි කරගෙන වියදම් අඩුකර ගත යුතුය. ආදායම් වැඩි කර ගැනීමට මේ අය-වැයෙන් විශාල මෙහෙවරක් නොවෙයි. ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ වහාම බදු සහන දී රජයට තිබූ ආදායමත් නැතිකර ගත්තේය. වර්ෂයකට රුපියල් ‘‘මිලියන 2000 ලාබයක් උපයන අයගෙන් එකවරක් පමණක් අය කරගන්නා බද්දක් මේ අය – වැයෙන් පනවා තිබේ. ඒ බද්ද අය කරගත හැකි පුද්ගලයන් 70 ක් පමණ සිටින බව මුදල් අමාත්‍යවරයා කියයි. ආණ්ඩුව එයින් බලාපොරොත්තු වන්නේ බිලියන 100 ක පමණ ආදායමකි.

මුදල් ඇමැති කියන්නේ ඒ අයගේ ලාබයෙන් 25% ක බද්දක් අයකරන බවය. මෙය අතළොස්සකගෙන් එක් වරක් පමණක් අය කරන බද්දකි. කෙටියෙන් කිව හැක්කේ බලයට පත් වූ වහාම බදු සහන දීමෙන් අහිමි කරගත් රජයේ ආදායම යළි අත්පත් කරගැනීමේ වුවමනාවක් ආණ්ඩුවට නොමැති බව මේ අයවැයෙනි මැනවින් ප්‍රදර්ශනය වන බවය. රජයේ බදු ආදායම වැඩි කරගැනීමට පැහැදිලි දර්ශනයක්, සැලැස්මක් රට හමුවේ නොතැබීම මේ අය වැයෙන් බරපතළ දුර්වලතාවයකි. 

රජයේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් බදු විය යුතු වුවත් ඒවා මහජනයා මත පනවන බදු නොවිය යුතුය. ඒ සඳහා වක්‍ර බදු අඩුකර ඍජු බදු වැඩි කළ යුතුය. එහෙත් වර්තමාන රජය මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරයි.

රජය බදු බර වැඩියෙන් පටවන්නේ මහජනතා මතය. ධනවතකුගෙන් හා ධනවත් සමාගම්වලින් බදු අය කරගැනීමට රජය අකැමැති බව දිගින් දිගටම ප්‍රදර්ශනය කරයි.

එසේම බදු ක්‍රමයෙන් ක්‍රමවත්භාවයක් ඇති කිරීමේ වුවමනාවක් රජයට නැති බවද රජයේ කටයුතුවලින් ප්‍රදර්ශනය වෙයි. අයවැයෙන් ද ඒ බවට ප්‍රදර්ශනය කරයි. රජයේ මේ ප්‍රතිපත්තිය ආයෝජනවලට ද බලපායි. විදේශ ආයෝජකයන් නොපැමිණෙන්නේත් දේශීය ව්‍යවසායකයන් ආයෝජනයට නොපෙළඹෙන්නේත් එවැනි සාධක නිසාය. ආයෝජනයට අවශ්‍ය පරිසරයක් නොමැති නිසා රජය ගැන ලොකු විශ්වාසයක් ඇති නොවෙයි.

හදිසියේ අක්‍රමවත් බදු (Adhoc Tax) පැනවීම ආයෝජකයන්ට හිරිහැරයකි. ඍජු බදු ආදායම වැඩිකර ගැනීමට රජය සාධනීය පියවර නොගැනීම නිසා අය-වැය පරතරය ද දිගින් දිගටම ඉහළ යයි. එවිට ඒ පරතරය පියවා ගැනීමට රජයට තව තවත් ණය ගැනීමට සිදුවෙයි. 2022 අයවැය ලෝඛනයෙහි ද අය වැය පරතරය ඉතා විශාලය. ප්‍රමාණාත්මකව එය රුපියල් බිලියන 1,628 කි. 

මුදල් ඇමැති කියන හැටියට 2022 දී රජයේ මුළු ආදායම රුපියල් බිලියන 2,284 කි. මුළු වියදම රුපියල් බිලියන 3,912 කි. ඒ අය-වැය පරතරය පියවා ගැනීමට බලාපොරොත්තු වන්නේ දෙස් විදෙස් ණය ගැනීමෙනි. ලංකාව ණය වාරික ගෙවීමටත් ණය ගනියි. තව තවත් ණය ගැනීමෙන් අර්බුද වඩාත් තිව්‍ර වෙයි.ඇත්තෙන්ම මේ අර්බුද තීව්‍ර වෙනවා නොව තීව්‍ර කර ගනියි. 

එය කරගන්නේ රජය විසින්මය. ඒ වැරැදි ආර්ථීක ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙනි. එක් අර්බුදයකින් ගොඩ ඒමට වැරැදි පිළිවෙතක් අනුගමනය කිරීමෙන් තවත් අර්බුදයක් නිර්මාණය වෙයි. අවසානයේ අවුල් ජාලයක පැටලෙයි. බලයට පැමිණි වහාම ධනවතුන්ට හා ධනවත් සමාගම්වලට බදු සහන නොදී සිටියා නම් රජයේ ආදායම අඩු නොවෙයි. රජයේ ආදායම අඩු නොවුණා නම් වැඩි වැඩියෙන් ණය ගැනීමට සිදු නොවෙයි. 

රජය මහ බැංකුවෙන් වැඩි වැඩියෙන් ණය ගන්නා විට මහ බැංකුව වැඩි වැඩියෙන් මුදල් අච්චු ගසයි. මහ බැංකුව එසේ කිරීමෙන් රුපියලේ වටිනාකම බාල්දු වෙයි. එමගින් උද්ධමනය ඉහළ යයි. මේ සියල්ල එකිනෙක බැඳුණු හා පැටලුනු දේවල්ය. ආරම්භයට වරද්දා ගත්විට පඹගාලක පැටලෙයි. වර්තමාන ආණ්ඩුවට වී තිබෙන්නේද එයමය. ඒ අනුව ආණ්ඩුව මුහුණ දී සිටින ආර්ථීක අර්බුද සියල්ල ආණ්ඩුව විසින්ම නිර්මාණය කරගත් ඒවා ලෙස කෙනෙකුට අර්ථ දැක්විය හැකිය. 

සංචාරක කර්මාන්තයට කිසිම සහනයක් නොදීම මෙවර අයවැයෙන් බරපතළ ප්‍රශ්නයකි. රටේ පවතින විදේශ විනිමය සංචිත හිඟය නිසා රජය ද ඒ කර්මාන්තය කෙරෙහි විශාල බලාපොරොත්තු තබාගෙන සිටියි. එසේ නම් ඒ කර්මාන්තයට හා එහි නියුතු අයට යම් සහන හෝ දිරිගැන්වීම් දිය යුතුය. එහෙත් එවැන්නක් සිදු නොවීම ඛේදවාචකයකි. සංචාරක කර්මාන්තය සඳහා අයවැයෙන් වෙන්කර තිබෙන්නේ රුපියල් මිලියන 923 ක් තරම් සොච්චමකි. ඒ කියන්නේ රුපියල් බිලියනයකටත් අඩු ප්‍රමාණයකි. සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ඍජු හා වක්‍ර රැකියා කරන පිරිස ලක්‍ෂ 30ක් බව කර්මාන්තයේ නියුතු අය කියති.

ඒ අනුව සංචාරක කර්මාන්තයෙන් යැපෙන පිරිස රටේ සමස්ත ජනගහනයෙන් 13.76% කි. එවැනි කර්මාන්තයක් අයවැයෙන් නොසලකා හැරීම ඛේදවාචකයක් විනා අන් කුමක් ද? 

අය-වැය ලේඛනය ඔස්සේ ආණ්ඩුව රට හමුවේ තබා ඇත්තේ ද ව්‍යාජ සංඛ්‍ය ලේඛන බවට මතයක් පවතී. ආණ්ඩුව තමන්ගේ ඇත්ත වියදම අයවැයෙහි සඳහන් කර නොමැති බව එක් චෝදනාවකි. ආණ්ඩුවට ගෙවීමට තිබෙන ණය, රජයේ සමස්ත වියදමෙහි ඇතුළත් කර නොමැති බවට චෝදනා එල්ල වෙයි. ආණ්ඩුව ඇතුළත් කර තිබෙන්නේ පොලිය පමණකි. ණය මුදල මුළු වියදමෙහි ඇතුළත් කර නැත. එය සඟවා ගැසීමකි. ඉලක්කම් විජ්ජාවකි. රජය 2022 දී ගෙවීමට තිබෙන මුළු විදෙස් ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,531 කි. එය ඇතුළත් කළහොත් රටේ මුළු වියදම ආණ්ඩුව කියන රුපියල් බිලියන 3,912 ට වඩා ඉතා ඉහළය. ඒ අනුව අයවැය පරතරය අය වැයෙන් කියනවාට වඩ ඉතා විශාලය. මා මේ පෙන්නුම් කිරීමට උත්සාහ කරන්නේ අනාගතයේ දී මූල්‍යමය වශයෙන් රටෙහි ඉතා විශාල අස්ථාවර භාවයක් ඇතිවන බවය. 

රටේ සංවර්ධනයට වෙන් කරන මුදල් ප්‍රමාණය ද මෙවර අය වැයෙන් විශාල වශයෙන් අඩුකර තිබේ. රජයේ වියදම් අඩු කර ගැනීම සඳහා ප්‍රාග්ධන වියදම් අඩු කරයි. එය රටේ සංවර්ධනයට අහිතකර ලෙස බලපායි. ඇත්තෙන්ම ඉන් සිදු වන්නේ සවංර්ධනය ඇණ හිටීමය. රජයේ වියදම් අඩු කරගැනීම ඉන්ධන, දුරකතන, විදුලි බිල් අඩු කරගන්නා බව කියයි. ඒ ලැයිස්තුව දැන් කාලයක සිට හැම අයවැයකටම ඇතුළත් කරන මෝස්තරයක් බවට පත්ව තිබේ. 2021 වසර සඳහා ඉදිරිපත් කළ අය වැයෙන් යෝජනා කළ දේවල්වලින් සියයට 70 ක්ම ක්‍රියාත්මක කර නොමැති බව ඇඩ්වකාර්ටා පර් යේෂණායතනය කියයි. මේ 2022 අය වැයට ද ඒ ඉරණ මම අත්වන බවට පුරෝකතනය කිරීම අපහසු නොවේ. එසේ පුරෝකතනය කිරීම පහසුවෙන් දිගු කාලීන දැක්මක් මේ අය-වැය ලේඛනයෙහි දක්නට නොමැති හෙයිනි.

රටටත්, රාජ්‍ය භාණ්ඩාගාරයටත්, ජනතාවටත්, අය-වැය ලේඛනයටත් මහා බරක්ව තිබෙන ලංගම, ලංවීම, තෙල් සංස්ථාව සහ එයාර් ලංකා වැනි රාජ්‍ය ව්‍යවසායන් ඒ තත්ත්වයෙන් මුදා ගැනීමට කිසිම ක්‍රමයක් මේ අයවැයෙන් යෝජනා නොකිරීම උභතෝකෝටික ප්‍රශ්නයකි. දිගින් දිගටම අලාබ ලබන ඒ රාජ්‍ය ව්‍යවසායන් එලෙසින්ම පවත්වාගෙන යාම අසංවේදී පිළිවෙතකි. පාඩු ලබන තම ගුවන් සේවය සම්බන්ධයෙන් ඉන්දියාව ඉතා මෑතක දී ගත් පියවර අපේ රටේ ආණ්ඩු කරන්නෝ නොදනිත්දැයි මට තිබෙන්නේ සැකයකි. මේ අය වැය ලේඛනය රටේ තිබෙන බරපතළ ආර්ථික ප්‍රශ්නවලට ආමන්ත්‍රණය නොකළ අයවැයක් බව මා කියන්නේ එහෙයිනි.

ආණ්ඩුවේ ආදායම් වැඩිකර ගැනීමට ආණ්ඩුවට වුවමනාවක් නොමැති බව අයවැයෙන් ප්‍රදර්ශනය කිරීම අදහාගත නොහැකිය. 2022 දී රජයේ ආදායම දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10ක් වනු ඇතැයි රජය අපේක්‍ෂා කරයි. එය දැනට පවතින්නේ සියයට අටකය. එහෙත් මෑත අතීතයේ එය පැවැතියේ සියයට 14 සීට 18 අතරය. ඉන්දියාවේ රාජ්‍ය ආදායම දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශයක් ලෙස දැනටත් 18 %කි. තායිලන්තයේ 20.6% ක. චීනයේ 25.3% කි. සිංගප්පූරුවේ 17.6% කි. මැලේසියාවේ 20.2% කි. අප සමීපව ගනුදෙනු කරන ආසියානු කලාපයේ රටවල පවතින්නේ එවැනි තත්ත්වයකි. අප එතැනට යන්නේ කවදා ද? තිබෙන ප්‍රශ්නය එයයි. එහෙත් වර්තමාන රජයේ දිගු කාලීන දැක්මක් සැලැස්මක් නැති වැඩ නිසා අපට එතැනට යා නොහැකි බව මගේ පුරෝකතන යයි.

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්

රුහුණූ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සාමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සම්මානිත මහාචාර්ය - ඩැනී අතපත්තු



අදහස් (0)

අයවැයෙන් අර්බුදය විසඳේවිද

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 277 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 588 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1795 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1333 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site