IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අර්බුදයට දස වැදෑරුම් විසඳුමක්

අද රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා කරති. එහෙත් මේ අර්බුදයට විසඳුම් මොනවා දැයි නොකියති. ලෙඩේට බෙහෙත් කළ යුත්තේ රෝග නිධානය හඳුනාගෙන බව මගේ අදහසය. එසේ නොවන තැනක ලෙඩ සුව වීමක් අපේක්ෂා කළ නොහැකිය.

කෙසේ වුවත් විසඳාගත යුතු මූලික ගැටලු දෙකක් අපට තිබේ. කාලයක් තිස්සේ අඩු කරගැනීමට නොහැකි වී තිබෙන අයවැය පරතරය ඉන් එකකි. එනම්, රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම වැඩි වීමය. කාලයක් තිස්සේ අපට පාලනය කරගැනීමට නොහැකිව සිටින ගෙවුම් ශේෂ හිඟය දෙවැනි ගැටලුවය.

වෙනත් ආකාරයකට කියන්නේ නම්, ලංකාවට ලැබෙන විදේශ විනිමයට වඩා වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිට වීමය. එසේ නම්, මේ ප්‍රශ්නවලට තිබෙන විසඳුම වන්නේ, රටේ ආර්ථිකය සක්‍රීය කර, ජාතික ආදායම වැඩි කරගැනීමය.

අවධානය යොමු විය යුත්තේ, ආර්ථිකය නිදහස් කොට රටේ ආදායම වැඩි කිරීමට මිස, ජනතාව සහ ව්‍යාපාර තලා පෙලා රජයේ ආදායම වැඩි කරගන්නට නොවේ. ජාතික ආදායමත්, රාජ්‍ය ආදායමත් වෙනස් කාරණා දෙකක් බව ද අමතක නොකළ යුතුය. රටක ජාතික ආදායම වැඩි වෙන්නට නම්, රට තුළ ආර්ථික ක්‍රියාකාරකම් වැඩි විය යුතුය. ඒ වගේම ගෝලීය වෙළෙඳපොළ සමග අපේ ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වීම ද අවශ්‍යය.

අයවැය පරතරය අඩු කරගැනීමට බලපාන රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් ලැබෙන්නේ, රට තුළ සිදුවන ආර්ථික ක්‍රියාකාරකම් මත පනවනු ලබන බදුවලිනි. රටේ ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වුවොත් එසේ නැති නම් දළ ජාතික නිෂ්පාදිතය වැඩි වුවොත්, බදු ආදායම ද වැඩි වන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු කාරණයක් නොවේ. මේ කාරණා කොතරම් දුරට වටහාගෙන ආර්ථිකය හසුරුවනවා ද යන්න වත්මන් ආර්ථිකය දෙස බලන විට පැහැදිලිය.

ගෙවුම් ශේෂ හිඟය අඩු කරගැනීමට බලපාන විදේශ විනිමය රට තුළට ගලා එන ක්‍රම කිහිපයකි. භාණ්ඩ අපනයනයෙන් ලැබෙන ආදායම්, සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම්, විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ, තොරතුරු තාක්ෂණය වැනි සේවාවලින් ලැබෙන විදේශ විනිමය, විදේශ ආයෝජන උදාහරණ වයෙන් පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවට ආර්ථික සංවර්ධනය ළඟා කරගැනීමට හොඳම අවස්ථාව පවතින්නේ, ගෝලීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් ආර්ථික සංවර්ධන මූලෝපාය තුළ බව අමතක නොකළ යුතුය.

ආර්ථික සංවර්ධනයට පෞද්ගලික ව්‍යවසායකත්වය තීරණාත්මක වශයෙන් වැදගත් බව වර්තමාන ලෝකයේ සංවර්ධිත යැයි සැලකෙන සෑම රාජ්‍යයක්ම පාහේ අවබෝධ කරගෙන ඇති ප්‍රායෝගික සත්‍යයයි. දැන්වත් අප අවබෝධ කරගත යුතු සත්‍යයත් එයමයි. විවිධ අත්හදා බැලීම්වලින් හා දැඩි නියාමනය හේතුවෙන් දශක ගණනාවක් පුරා මෙරට ආර්ථිකය හෙම්බත්ව තිබේ. එම ආර්ථිකය ගොඩ ගෙන යළි වේගවත් සංවර්ධන මාවතකට යොමු කිරීමට නම්, පෞද්ගලික ව්‍යවසායකත්වයට සහ වෙළෙඳපොළ තරගකාරීත්වය සඳහා උපරිම වශයෙන් ඉඩ ප්‍රස්ථා විවර කළ යුතුය.

කලාපයේ බොහෝ රටවලට කලින් එනම් මීට වසර 45කට පමණ පෙර ලංකාවේ ආර්ථිකය විවෘත කළේය. එසේ වුවත්, මේ දක්වා සිංගප්පූරුව, කොරියාව, මැලේසියාව වැනි රටවල් විසින් අත්පත් කරගනු ලැබ ඇති සාර්ථකත්වයට ළං වීමටවත් අපට නොහැකි වී තිබේ. එවන් තත්ත්වයකට පත්වී තිබෙන්නේ, ආර්ථිකය විවෘත යැයි කියූව ද පෞද්ගලික අංශය ප්‍රමාණවත්ව ආර්ථික ක්‍රියාවලියට දායක කරගැනීමට බලයට පත්වූ කිසිදු ආණ්ඩුවකට නොහැකි වූ නිසාය. ඒ වෙනුවට සෑම ආණ්ඩුවක්ම උත්සාහ කර ඇත්තේ, රාජ්‍ය බලපෑම ආර්ථිකය මත රඳවා ගැනීමටය.

රජය බූවල්ලෙක් මෙන් සෑම ක්ෂේත්‍රයක්ම වසාගෙන තිබේ. සෑම දෙයකටම රජයේ අනුමැතිය අවශ්‍යය. ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර බොහෝමයක තවමත් පවතින්නේ රාජ්‍ය ඒකාධිකාරයකි. අතිශයින් දේශපාලනීකරණය වූ, දූෂණය හා අකාර්යක්ෂමතාව රජයන, බලවතාට උදව් කරමින් දුබලයා පීඩාවට ලක්කරන ක්‍රමවේදය සමග අපේක්ෂිත සංවර්ධන ඉලක්ක කරා යන්නට බැරි බව රට බංකොළොත් වීමෙන් ඔප්පු වී තිබේ.

ආර්ථිකය සක්‍රීය වී, රටේ දළ ජාතික නිෂ්පාදනය වැඩි වන විට සාධාරණ බදු ප්‍රතිපත්තියකින් රාජ්‍ය ආදායම ද වැඩි වේ. බදු වැඩි කරනවා වෙනුවට රජයට ලැබිය යුතු බදු හරියාකාරව ලැබෙනවා ද යන්න ගැන සැලකිලිමත් විය යුතුය. පුළුල් විය යුත්තේ, බදු බර නොව බදු දැලය. රාජ්‍ය ප්‍රමුඛතාවක් ලෙස සලකා ආදායම් බදු, සුරා බදු හා රේගු දෙපාර්තමේන්තු ප්‍රතිසංස්කරණයට ලක්කොට, බදු එකතු කිරීමේ යාන්ත්‍රණය යාවත්කාලීන කර කාර්යක්ෂම කළ යුතු බව අපගේ අදහසය.

වැඩි වන රාජ්‍ය ආදායම සමග රාජ්‍ය වියදම ද ගුණාත්මකභාවයකින් තොරව වැඩි වුවහොත් එමගින් සාධනීය ප්‍රතිඵල අත්කරගැනීමට නොහැක. එනිසා රාජ්‍ය වියදම සම්බන්ධව විශේෂයෙන් සිතා බැලිය යුතුය. මේ සඳහා රාජ්‍ය අයවැය සැකසීමේදී ජාතික හා ආයතනික ප්‍රමුඛතා මත සෑම වියදමක්ම අලුතින් ගණනය කළ යුතුය. ඒ සෑම වියදමකින්ම සාධනීය ප්‍රතිඵල ලැබෙනවා ද යන්න අභියෝගයට ලක්කළ යුතුය.

නිදහසෙන් වසර 74කට පසුව ලංකාව බංකොළොත් රටකි. එයට බලපෑ ප්‍රධාන හේතුව වූයේ, රාජ්‍ය යාන්ත්‍රණයේ සෑම ක්ෂේත්‍රයකම පාහේ පැතිර ඇති දූෂණය හා වංචාවයි. එනිසා මේවාට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීම රාජ්‍ය ප්‍රමුඛතාව විය යුතුය. රජයේ විගණන විමර්ශන හරහා මොන තරම් වංචා, දූෂණ හෙළි කළත්, කොප් කමිටුවේ හෝ පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා කරනවා මිස, ඉන් එහාට ක්‍රියාමාර්ග ගන්නට නීතියෙන් ඉඩක් නැත.

මේ නිසා බොහෝ විමර්ශන වාර්තාවලට සීමා වී තිබේ. එනිසා විගණන පරීක්ෂණවලින් අනාවරණය කරගන්නා අක්‍රමිකතා, වංචා, දූෂණ සම්බන්ධයෙන් නීති කටයුතු ආරම්භ කිරීමේ බලය විගණන දෙපාර්තමේන්තුවට ලබා දිය යුතුය. වංචාව, දූෂණය පිටුදැකීමට නම්, විගණනය ශක්තිමත් කළ යුතුමය. එමෙන්ම දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ආයතනික ඉලක්ක සපුරාගෙන තිබේ ද යන්නත් විගණනය කළ යුතුව තිබේ.

අද අවශ්‍යව ඇත්තේ සැමට සමාන අවස්ථා ලබාදෙන, උත්සාහවන්තයාට තරග කොට දියුණු විය හැකි සැබෑ ආර්ථික නිදහසකි. එහෙත්, එය ධනවාදී ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වන රටවල මෙන්, ශක්තිවන්තයා පමණක් ජය ගන්නා, දුබලයා සම්පූර්ණයෙන් අමතක කරනු ලබන ආර්ථික ක්‍රමවේදයක් නොවිය යුතුය. වෙළෙඳපොළ ආර්ථිකයේ තරගකාරීත්වය තුළ පසුබසින සමාජ කණ්ඩායම් ආරක්ෂා කරගැනීම ශිෂ්ට සම්පන්න රාජ්‍යයක වගකීමකි.

එනිසා එසේ පසුබසින දුර්වල පිරිස් රැක ගන්නා ශක්තිමත් සමාජ ආරක්ෂණ වළල්ලක් ක්‍රියාත්මක කිරීමත් අපගේ වගකීමකි. ඒ වගේම තරගකාරීත්වය හරහා පාරිභෝගිකයා සූරාකන වෙළෙඳ ඒකාධිකාර ගොඩනැගෙන්නට ඇති අවස්ථා නියාමනයට ශක්තිමත් රාජ්‍ය පරිපාලනයක් ද අවශ්‍යය. එහෙත්, එය දූෂණයට එරෙහිව දැඩි නීතිරීති ක්‍රියාත්මක කරනු ලබන අද ලොවට ගැළපෙන ලෙස යාවත්කාලීන වූ කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් විය යුතුය.

ඕනෑම කෙනකුට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙන්ම එය වැඩි දියුණු කිරීමට සාධාරණ අවස්ථා ඇති කළ යුතුය. ආර්ථිකය නිදහස් කිරීමට සුදුසුම ක්‍රමවේදය එයයි. ඒ වගේම දූෂිත හා අසාධාරණ ක්‍රමවේද හරහා ව්‍යාපාර ගොඩනගන්නටත්, ව්‍යාපාර අවස්ථා අත්පත් කරගැනීමටත් පවතින ඉඩකඩ නැති කළ යුතුය. අද මෙරට ව්‍යාපාරයක් ගොඩනංවන විට මුහුණ දීමට සිදුවන බාධා රාශියකි. අනුමැතිය ලබාගැනීමේදී විවිධ අංශවලින් බලපෑම් කළ යුතුය. ඇතැම් විට විවිධ මට්ටම්වලින් අල්ලස් දීමට සිදුවන අවස්ථා පිළිබඳ පුවත් බොහෝය. සැබෑ ආර්ථික නිදහසක් ඇති වන්නේ මේ තත්ත්වය වෙනස් කිරීමෙනි. 

වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ ව්‍යවසායකයන් බෙහෙවින් අඩුය. තරුණ පරපුරට මෙන්ම හැකියාව ඇති ඕනෑම අයකුට වයවසායකයකු බවට පත්වීමට අවශ්‍ය පහසුකම් සැපැයිය යුතුය. ව්‍යවසායකත්වය ගෞරවාන්විත ජීවනෝපායක් බවට ආකල්පමය වෙනසක් සමාජයේ ඇති කිරීමට රජය මූලිකත්වය ගත යුතුය. තම හැකියාවෙන් ආදායම් ඉපැයීමේ අවස්ථාව දියුණු රටවල තිබේ. එයට යම් ව්‍යාපාරික දැනීමක් අවශ්‍යය. එනිසා මෙරට අධ්‍යාපනයේ මුල් අවධියේ සිටම දරුවන්ට තමන් ප්‍රිය කරන සහ දක්ෂතාවක් සහිත ක්ෂේත්‍ර තුළ ආදායම් ඉපැයීමට පහසු වන වෘත්තීය හා ව්‍යවසායකත්ව දැනුම ලබාදෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතුය.

ස්වයං රැකියා කරන්නන්ට හා ව්‍යවසායකයන්ට මුහුණදීමට සිදුවන බාධා, දුෂ්කරතා අවම කිරීමේ දැඩි අවශ්‍යතාවක් තිබේ. එසේ කරන අතර වෙළෙඳපොළ තරගකාරීත්වයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට රාජ්‍ය ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දිය යුතුය. ආණ්ඩු ව්‍යාපාර කිරීමේ අවශ්‍යතාවක් නැත. සාර්ථකව ව්‍යාපාර කිරීමේ හැකියාවක් ද ආණ්ඩු සතුව නැත. එනිසා ව්‍යාපාර කිරීමට පෞද්ගලික අංශයට ඉඩ දී රජය පහසුකම් සපයන්නෙක් විය යුතුය. උපායමාර්ගික වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල පමණක් රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යා යුතු අතර, එම ක්ෂේත්‍රවල පවා වෙළෙඳපොළ තරගකාරීත්වයට අවකාශ තිබිය යුතුය. රජය ව්‍යාපාර නොකළ යුතුය යන්නෙන් අදහස් කෙරෙන්නේ, ව්‍යාපාර කළමනාකාරීත්වයට රජය ප්‍රමාණය ඉක්මවා මැදිහත් නොවීම මිස, ව්‍යාපාරයක කොටස් අයිතිය රජය තබාගත යුතු නැත යන්න නොවේ.

රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකිණිය යුතු බව අපි නොකියමු. මෙරට පෞද්ගලීකරණ ඉතිහාසය දූෂිතය. ඒ නිසා ලාබ ලබන රාජ්‍ය ආයතන විකිණීමට වර්තමානයේ ගන්නා උත්සාහයට ඉඩ දිය යුතු ද? එහෙත්, රාජ්‍ය ආයතන වඩා හොඳ කළමනාකාරීත්වයක් යටතේ ප්‍රතිව්‍යුහගත විය යුතුය. බොහෝ රාජ්‍ය ආයතනවලට රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය හෝ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත පොදු සමාගම් ආකෘතිය වඩා සුදුසු විය හැකි බව අපගේ විශ්වාසයයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, බලශක්තිය, ජලසම්පාදනය, වරාය, ගුවන්තොටුපොළ, බැංකු, රක්ෂණ ආදී ක්ෂේත්‍රවල ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබිය යුතුය. ඒ, ඒවා උපායමාර්ගිකව මෙන්ම මහජන සේවාවට වැදගත් නිසාය.

රටේ ලොකුම ගැනුම්කරු වන්නේ රජයයි. එනිසා රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතුවල විනිවිදභාවය සහ සාධාරණත්වය රට තුළ ව්‍යවසායකත්වය ගොඩනගා ආර්ථිකය ශක්තිමත් කිරීමේදී අතිශයින් වැදගත්ය. ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කිරීමට යෙදවීම අපරාධයකි. එනිසා ප්‍රසම්පාදන කටයුතුවලදී පෞද්ගලික අංශයට ද සාධාරණ අවස්ථා ලබා දී මේ මුදල් යළි ජනතාව අතට පත්කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය. තම කාර්යක්ෂමතාව ඉහළ නංවා තරගකාරී සේවා සැපැයීමට රාජ්‍ය ව්‍යාපාරවලට වක්‍ර බලපෑමක් ද මේ හරහා සිදු කෙරේ. එනිසා මේ කාරණා කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

දේශීය හා විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කිරීම දිරිගැන්වීමට වෙළෙඳපොළ සීමා හැකිතාක් ලිහිල් කිරීම අවශ්‍යය. ඒ වගේම වෙළෙඳපොළ තරගකාරීත්වයට වර්තමානයේ බාධා පමුණුවන අනවශ්‍ය සහ යාවත්කාලීන නොවූ රෙගුලාසි, පාලනය ඉවත් කළ යුතුය. ලංකාවේ නිෂ්පාදකයන්ට ගෝලීය වෙළෙඳපොළ තුළ තරගකාරී වීමට මග විවර කරන ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ප්‍රමාණය සීමිත වීම විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේදී මතු වන ප්‍රශ්නයකි. මේ තත්ත්වය වෙනස් කරගත යුතුය. ආයෝජකයන්ට අනුමැතිය දීමේදී මතු වන ගැටලුවලට තිරසාර විසඳුමක් ලබා දිය හැක්කේ, ඇතිව තිබෙන ව්‍යාකූලත්වය විසඳන නව නීති සම්පාදනයෙනි.

රටේ ආර්ථිකය සක්‍රීය කිරීමට අවධානය යොමු විය යුතු ක්‍ෂේත්‍ර දහයකි. ව්‍යවසායකත්වය දිරි ගැන්වීම හා වෙළෙඳපොළ තරගකාරීත්වයට ඉඩ දීම, රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය, සේවා ක්‍ෂේත්‍රය දියුණු කිරීම, කර්මාන්ත ක්‍ෂේත්‍රය දියුණු කිරීම, කෘෂිකර්මාන්තය දියුණු කිරීම, ආයෝජන ප්‍රවර්ධනය, අපනයන ප්‍රවර්ධනය, ඉඩම් කළමනාකරණය, ප්‍රාග්ධන වෙළෙඳපොළ පුළුල් කිරීම, මූල්‍ය හා විනිමය අනුපාත ප්‍රතිපත්ති කළමනාකරණය එම ක්‍ෂේත්‍ර දහසයි. මේ ක්‍ෂේත්‍ර දහයට රජයේ පැහැදිලි ඉලක්ක තිබිය යුතුය. එකී ඉලක්ක සපුරා ගැනීමට කාලවකවානු හා සැලැස්ම නිශ්චිත විය යුතුය. පවත්නා ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකි වන්නේ, පූර්ණ චිත්‍රය වටහා ගත්තොත් පමණි.

ආචාර්ය නාලක ගොඩහේවා

සටහන – චමින්ද මුණසිංහ



අදහස් (0)

අර්බුදයට දස වැදෑරුම් විසඳුමක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 277 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 588 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1795 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1333 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site