මැතිවරණවලට බය නොවීම හෙවත් ඕනෑම වේලාවක මැතිවරණ පැවැත්වීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එදා කී කතාවකි. එහෙත් අද වනවිට මැතිවරණ පවත්වන්නේ කවදා ද යන්න ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ ප්‍රශ්නයක් වී තිබේ. මැතිවරණ පැවැත්වීමට අදාළ මැතිවරණ කොමිසම ආදී රාජ්‍ය සංස්ථා ඊට සූදානම් යැයි කීවත් ආණ්ඩුව පැත්තෙන් එවැනි සූදානමක් දකින්නේ නැත. විපක්ෂයේ පක්ෂ වුවත් මැතිවරණ ඉල්ලා සිටීමට ලොකු උනන්දුවක් ඇති බවක් නොපෙනේ. මෙම පරිසරයෙහි මැතිවරණ ගැන සාකච්ඡාව ජනමාධ්‍ය විසින් නඩත්තු කෙරෙන සාකච්ඡාවක් බවට ඌන වී ඇති සෙයකි. සර්වජන ඡන්ද බලයට වසර 90ක් යැයි වර්ණනා කෙරෙමින් සංවාද සිදුවන මොහොතක මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ මන්දැයි විමසා බැලීම වටී.
බලයේ සිටින පක්ෂය යම්කිසි දේශපාලන ගණන් බැලීමක් අනුව මැතිවරණ පැවැත්වීම දැන් කාලයක් තිස්සේම ලංකාවේ සිදුවන්නකි. කෙළින්ම කිවහොත් ජනමතය තමන්ට වාසිදායක යැයි තහවුරු නම් පමණි. මැතිවරණ පවත්වන්නේ කෙසේද යන්නත් යම් යම් උපායික තෝරා ගැනීම් අනුව කල්තියා සකස් කෙරේ. නිදසුනකට පළාත් සභා වැනි මැතිවරණයක් පළාත්වලට කඩා කොටස් වශයෙන් පැවැත්වීම දැක්විය හැකිය. පළමුව පවත්වන පළාතේ මැතිවරණය ඊළඟ පළාතේ ජනමතයට බලපෑම එහිදී නොවැළැක්විය හැකිය. එමෙන්ම මැතිවරණවල ප්‍රතිඵලයට ජනමාධ්‍යයෙන් කරන බලපෑම අතිවිශාලය. ඒවා සිදුවන්නේ ද යම්කිසි දේශපාලන හැසිරවීම් අනුවය.
දේශපාලන න්‍යායපත්‍ර සකස්කිරීම, ඉදිරියට පැමිණිය යුත්තේ කවර තේමා ද යටපත් කළයුත්තේ කවර තේමා ද ඉස්මතු කළ යුතු දේශපාලන ප්‍රතිරූප, යම් යම් දේශපාලන සංසිද්ධි ප්‍රධාන මාතෘකා බවට පත්කිරීම ආදී වශයෙන් ජනමාධ්‍ය කිසියම් දේශපාලන මෙහෙයවීමක් අනුව ක්‍රියා කරයි. ඒ අර්ථයෙන් ගත්කල පොදු ජනයා මැතිවරණ දේශපාලනයට සහභාගි වන්නේ යැයි කීවත් වත්මන් මැතිවරණ දේශපාලනය තුළ යථාර්ථයේ දී සිදුවන්නේ කල්තියා පිටපත ලියූ නාට්‍යක් රඟදැක්වීමකි. මා මෙය දකින්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් හැටියටය. මෙවැනි පරිසරයක මිනිසුන්ට මැතිවරණයෙන් දේශපාලන වෙනසක් කළ නොහැකි යැයි මම කියන්නේ නැත. මන්දයත් එවැනි පරිසරයක පවා පාලක පක්ෂය අපේක්ෂා නොකළ ප්‍රතිඵල ලබාදීමට මහජනයා තීන්දු කළ අවස්ථා ඇති බැවිනි.
එය වර්තමානයේ පවතින අර්බුදයේ තීව්‍රතාව කොතරම්දැයි කිවහොත් මැතිවරණ සම්බන්ධයෙන් විපක්ෂය පැත්තෙන් කරන්නේ ද ගණන් බැලීමකි. ආණ්ඩුව මෙන්ම පවතින දේශපාලන තත්ත්වය හා ජන මතය ගැන විපක්ෂ ද ගණන් බලයි. දේශපාලන විද්‍යා බසින් කිවහොත් මේ පරිසරයෙහි අපි සියලු දෙනාම මකියාවෙලියානු චින්තකයන් බවට පත්ව ඇත. මකියාවෙල්ලි නමැති දේශපාලන චින්තකයාගේ කාලයේ දී පාලන කලාවට අදාළව උපාය උපක්‍රම දැනගෙන සිටියේ රජුය.
එහෙත් වර්තමානයේ දී ආණ්ඩු පක්ෂය, විපක්ෂය, අනෙකුක් සිවිල් සමාජ කණ්ඩායම් පමණක් නොව මහජනයා පවා සිටින්නේ මකියාවෙල්ලියානු විෂයක ය. සියලු පාර්ශ්වවලට කිසියම් දේශපාලන ගණන් බැලීමක් තිබේ. එවැනි වටපිටාවක වර්තමාන විපක්ෂය ආණ්ඩු බලය ලබාගන්නා තැනකට යන්නේ වර්තමාන අර්බුදයට යම් කිසි ආකාරයට ඉක්මනින් විසඳුමක් දියහැකි නම් ය. එහෙත් ලංකාවේ දේශපාලන අර්බුදය බොහෝ දෙනකු සිතනවාට වඩා තීව්‍රතාවෙන් ඉහළය. එහිදී ආර්ථික අර්බුදය ප්‍රමුඛය. ඩොලර් සංචිතය සම්බන්ධයෙන් තිබෙන සීමාකම්, ආනයන ආර්ථිකයට ඇති ප්‍රශ්න මෙන්ම ආණ්ඩුව විසින් ම ගනු ලැබූ අදූරදර්ශී තීන්දු ඊට බලපා ඇත. නිදසුනකට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් තීන්දුවේ ප්‍රතිඵල බොහෝදුරට ලැබෙනු ඇත්තේ ලබන වසරේ ය. සරලවම කිවහොත් ආහාර සම්බන්ධයෙන් රටේ අවුල නගරයට දැනෙන්න ගන්නේ මේ කන්නයේ අස්වනු නෙළන කාලයට ය.
එවිට ලබන වසරේ මුල් භාගය වනවිට රට තුළ ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තිබේ. එය ගෝලීය සෞඛ්‍ය අර්බුදයට අමතරව ආණ්ඩුව විසින් නිර්මාණය කරගනු ලැබූ ප්‍රශ්නයකි. එය සෞඛ්‍ය අර්බුදයටත් වඩා බරපතළ වීමට ද බැරිකමක් නැත. මේ අර්බුදය ඔස්සේ තවත් දුරක් යා හැකි නම් ආණ්ඩුව වැඩි වැඩියෙන් අපකීර්තියට පත්වනු ඇතැයි ද එවන් තත්ත්වයක දී බලය ගන්නේ යැයි ද විපක්ෂය සිතනවා විය හැකි ය. එහෙත් අප විමසිය යුත්තේ ඒ අර්බුදයට විපක්ෂයට ඇති විසඳුම කුමක් ද කියා ය. ඇත්ත වශයෙන්ම ප්‍රධාන ධාරාවේ විපක්ෂයටත් මේ සංකීර්ණ අර්බුදයට විසඳුමක් ඇතැයි සිතිය නොහැකිය. මන්දයත් ඔවුන් ද යෝජනා කරමින් සිටින්නේ හා අනුගමනය කරමින් සිටින්නේ නව ලිබරල් නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයම වන බැවිනි. එහෙත් අර්බුදය විසින් වර්තමානය වනවිට ඉල්ලා සිටින්නේ මහජන සුබසාධනය, සෞඛ්‍ය, මිනිසුන්ගේ කුසගින්න පැත්තෙන් කිසියම් ආකාරයක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ගත් ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවයි. මැතිවරණ ඉල්ලා සිටීමට විපක්ෂය පසුබට වන ප්‍රධාන සාධකයක් බවටත් මේ පරස්පරය පත්ව තිබේ.
මිනිසුන්ගේ විරෝධය ප්‍රකාශ වීමට ඇති නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයට බාධා ඇති වුවහොත් සිදුවන්නේ එය වෙනත් ආකාරයකට ප්‍රකාශ වීම ය. පසුගිය සියවස් දෙකේ ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය විසින් එය අපට මැනවින් ප්‍රකාශ කරනු ලැබ තිබේ. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශන විධි සකස් කෙරුණේ මහජන විරෝධය ප්‍රචණ්ඩ ආකාරයට ප්‍රකාශවීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට ප්‍රකාශ විය යුතු නිසාය. ඊට බාධා ඇති කළ විට මිනිස්සු එය වෙනත් විධියකට ප්‍රකාශ කරති.
මේ වෙනත් ආකාරය යනු ඉතිහාසයේ මෙන් ප්‍රචණ්ඩ මාදිලියක් යැයි මම කියන්නේ නැත. ඒ යුගය දැන් අවසාන ය. වර්තමානයේ ක්‍රියාත්මක කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් එවැනි තැනකට යන්නේ නැත. සරලවම කිවහොත් දැඩි වාමාංශික අදහස් දරන පෙරටුගාමී සමාජවාදී වැනි පක්ෂයක් වුණත් ප්‍රචණ්ඩ දේශපාලන ක්‍රියාමාර්ග තෝරනු ඇතැයි මම සිතන්නේ නැත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ දිනවල මෙහෙය වන ‘මීළඟ බලය’ ජනාමන්ත්‍රණ වැඩසටහන්, ජනතා විමුක්ති පෙරමුණේ බහුජන සංවිධානාත්මක පෙළඹීම් වැනි දෙයින් පවා අපට එය තේරුම්ගත හැකිය.
පවතින දේශපාලන තත්ත්වයෙහි ගෝලීයව වුවත් එය යථාර්ථයක් වන්නේ නැත. 2008 මූල්‍ය අර්බුදයෙන් පසු ලෝකය පුරාවූ ප්‍රවණතාව ඊට වෙනස් දෙයකි. ආයුධ සන්නද්ධ දේශපාලනය වෙනුවට අප දකින්නේ ස්වෙච්ඡාවෙන් සිදුවන මහා පරිමාණ ජනතා නැගීසිටීම් ය. වෝල් ස්ට්‍රීට් අත්පත් කරගනු ව්‍යාපාරය, ලන්ඩන් නගරය අල්ලාගැනීම, ඉන්දීය ගොවීන්ගේ වීදි බැසීම්, බ්‍රසීලයේ මහජන වීදි විරෝධතා හා ලෝක වෙළෙඳ සංවිධානයට ගෝලීයකරණයට විරුද්ධව මහජන වීදි බැසීම් ආදිය ඊට නිදසුන්ය. ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ මහජන විරෝධය ආවේ කොරෝනා වසංගතය ද තිබිය දී ය. පසුව එය ලෝකය පුරාම ව්‍යාප්ත විය. මීට වෙනස් තත්ත්වයක් දැකිය හැක්කේ මියන්මාරයේ ය. හමුදා මැදිහත්වීම තුළ එහි සිවිල් යුද්ධයක තත්ත්වයකට ගැටුම පරිවර්තනය වෙමින් තිබේ. එහෙත් අනෙක් බොහෝ තැන්වල ඇත්තේ සෘජු ප්‍රචණ්ඩ නැගී සිටීම් නොවේ. අපට ඊට ජන අරගල දේශපාලනය යැයි කිව හැකිය. පෙනෙන දේවල් අනුව මැතිවරණ හා සන්නද්ධ දේශපාලනයටත් වඩා ඉදිරියට එමින් තිබෙන්නේ මේ ජන අරගල දේශපාලනයයි. ලංකාවේ ද මේ ප්‍රවණතාව ශක්තිමත් කිරීමේ දේශපාලන පස සරු ය.
මෙතෙක් කලක් රාජපක්ෂ පාලනය පැවතුණේ මහජනයාගේ කැමැත්ත ගොඩනැගීම මගිනි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය දියත් වුණේ මිනිසුන්ගේ සක්‍රීය කැමැත්ත සංවිධානය කිරීම මගිනි. නොඑසේව එය හුදෙක් මර්දනය හෝ ආධිපත්‍ය මගින් පවත්වාගෙන ගිය පාලනයක් නොවේ. මහජන කැමැත්ත ලබාගැනීමේ දෘෂ්ටිවාදී මෙවලම් ඔවුන් සතුව තිබිණි. නව රාජපක්ෂ ආණ්ඩුකරණයේ දී අද අර්බුදයට යමින් තිබෙන්නේ එයයි. විශේෂයෙන්ම වසංගතයට මුහුණදීම සඳහා මේ පාලනාධිකාරිය ගත් ක්‍රියාමාර්ග නිසාම මහජන සුජාතභාවය පිළිබඳ ප්‍රශ්න බරපතළ ආකාරයෙන් මතුවෙමින් තිබේ.
ගුරුවරුන්ගේ වැඩ වර්ජනය හා ගොවීන්ගේ විරෝධතා ව්‍යාපාරය ඊට හොඳම නිදසුන් ය. මේ විරෝධතා දෙකේ දී ම ඊට ගොනු වූයේ රාජපක්ෂ පාලනයට සක්‍රීයව සහාය දැක් වූ සමාජ ශ්‍රේණී ය. එයින් පෙනෙන්නේ මහජනයාගේ කැමැත්ත සංවිධානය කිරීමේ දෘෂ්ටිවාදී මෙවලම් ඔවුන්ට අහිමි වෙමින් තිබෙන බවයි. රාජපක්ෂවරුන් හමුවේ තිබෙන විශාලම අභියෝගය එයයි. මේ සම්බන්ධයෙන් යම්කිසි දැනුවත්භාවයක් ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා පැරැණි වාමාංශික පක්ෂ වැනි ආණ්ඩු පක්ෂ සන්ධානයේ සිටින හවුල්කාරින්ට ඇති බව පෙනේ.
මහජනයාගේ කැමැත්ත ගොඩනැගීමේ දෘෂ්ටිවාදීමය හෙජමොනිය බිඳවැටෙමින් ඇති බව ඔවුහු හොඳින් දනිති. පක්ෂ එකොළහක එකතුවෙන් මහජන මන්ත්‍රණ සභාව මැයෙන් ඔවුන් වෙන ම සංවිධානගත වූයේ ඒ යථාර්ථය නිසාය. එයින් ඔවුන් සොයමින් සිටින්නේ මේ පවතින ක්‍රමයේ බරපතළ වෙනසක් නොකොට මේ පාලනය ම පවත්වාගෙන යෑමේ මගකි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ රාජපක්ෂ පාලනය මෙතෙක් කල් මුහුණ නොදුන් බරපතළම අභියෝගයකට මුහුණ දෙමින් සිටින බවයි. මෙම පසුබිමෙහි ඉදිරියේ දී රාජපක්ෂ ආණ්ඩුවට අතිශය අර්බුදකාරී යුගයකට මුහුණදීමට සිදුවනු ඇත.
මෙය ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේ ම දැකිය හැකි තත්ත්වයකි. නිදසුනකට ඉන්දියාවේ එවැනි ප්‍රධාන ව්‍යාපාර දෙකක් පසුගිය කාලයේ දී දුටුවෙමු. පළමු වැන්න නම් සංශෝධිත පුරවැසි පනතට එරෙහිව ආ මහජන උද්ඝෝෂණයයි. එම විරෝධය පැමිණියේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලින් නොවේ. ප්‍රධාන විපක්ෂය වූ ඉන්දීය කොංග්‍රසය හරහාවත් ප්‍රාන්ත මට්ටමේ බලවත් පක්ෂවලින්වත් නොවේ. ඊට පරිභාහිරව තරුණ සහ ශිෂ්‍ය ව්‍යාපාරයක් වශයෙනි. ඊසාන දිග ඇසෑමයෙන් ආරම්භ වූ ඒ විරෝධය ගම් දනව් නගර සිසාරා ගියේ අධික වේගයෙනි. ගොවීන්ගේ උද්ඝෝෂණය ගත්තත් එසේය. ඉන්දියානු ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ යෝජනාවලට එරෙහිව සටන් වැදි ඉන්දීය ගොවි ජනයාගේ ට්‍රැක්ටර් හා පා ගමන්වලට මුහුණදෙන්නට ඉන්දීය ආණ්ඩුව සමත් වුණේ නැත.
ලංකාවේ දී අප දකින්නේ ද ඊට සමාන්තර තත්ත්වයකි. එහිදී විරෝධය කුළුගැන්වෙන්නේ පක්ෂ දේශපාලනය සමග සෘජු සම්බන්ධයක් නැති සමාජ ශ්‍රේණීන්ගෙනි. ඇතැම්විට ඒ ගුරුවරුන් විය හැකි ය. තවත් විටෙක සෞඛ්‍ය සේවකයන් විය හැකි ය. නැත්නම් ගොවීන් විය හැකි ය. කිසියම් ආකාරයකට එයින් අප දකින්නේ ස්වයං සිද්ධ ව්‍යාපාරවල වර්ධනයකි. ඊට එක් හේතුවක් නම් හැම ධාරාවක ම දේශපාලන නායකත්ව පිළිබඳ වර්ධනය වෙමින් තිබෙන පොදු කලකිරීම ය. මැතිවරණ කාලයට සමාජය ආමන්ත්‍රණය කළත් මැතිවරණ නොපවතින කාලයෙහි ජනසමාජය සංවිධානය කරන බහුජන පක්ෂ වශයෙන් සංවිධානය නොවීම ඊට බලපායි. ඒ අනුව සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන ස්වෙච්ඡාමය මහජන නැගී සිටීම්වලට ඉදිරියේ දී විභවතාවක් ඇත. එය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවූ මුළු ලෝකය පුරාම දියත් වන ක්‍රියාවලියකි.
සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ
කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - සුමිත් චාමින්ද
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අර්බුදයට විසඳුම් නැති දේශපාලනය