ආර්ථික වර්ධනයට විශාල අහිතකර බලපෑමක් වන්නේ රටෙහි නිෂ්පාදන ආර්ථිකයක් නැතිකමය. එහිදී ඉතා වැදගත් වන්නේ අපනයනය මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමය. නිෂ්පාදනය කළ යුත්තේ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගෙනය. ඒ විදේශ විනිමය ඉපයීම ඉතා වැදගත් නිසාය. අපනයන සංවර්ධනයට අපනයන ඉලක්ක කරගත් ආයෝජන නැතිවම බැරිය. ඒවා නැතිව අපනයන ප්‍රවර්ධනය කළ නොහැකිය.
ඕනෑම ආයෝජනයකට වැදගත් සේම අත්‍යවශ්‍ය සාධක හතරකි. ඉඩම්, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය ඒ සාධක හතරය. ඒ සාධක හතරම එකතු වූ විට නිෂ්පාදනයක් කළ හැකිය. දේශීය හා විදේශීය පෞද්ගලික අංශයෙන් බලාපොරොත්තු වන්නේ නිෂ්පාදනය කිරීමට අත්‍යවශ්‍ය ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වයයි. ශ්‍රමය සහ ඉඩම් රටේ තිබෙන සම්පත් දෙකකි. කර්මාන්ත ශාලා ඉදිකිරීමට අවශ්‍ය ආයෝජකයන් මුහුණ දෙන විශාල ගැටලුවකි.
2016 දී කළ අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙන්නේ ලංකාවේ අපනයන කලාප 12ක ඉඩම් භාවිතය සියයට 94 ක් බවයි. ඉන් අනාවරණය වන්නේ ඒ අපනයන කලාපවල ආයෝජකයන්ට දීමට තවත් ඉඩම් නොමැති බවය.
ඒ අධ්‍යයනයට පෙර කළ සමීක්ෂණයකින්ද ඉඩම් නොමැතිකම ආයෝජකයන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් බව අනාවරණය විය.
මේ හේතුව නිසා රටට එන සහ රටේ සිටින ආයෝජකයන්ට ආයෝජනවලට නැතිනම් කර්මාන්ත ශාලා ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් ලබාගැනීමට අවුරුදු ගණන් බලා සිටින්නට සිදුවෙයි. ජපානයේ ව්‍යවසායකයකු සමග එක්ව ලංකාවේ ආයෝජනයකට පෙළඹුණු ලාංකිකයෙක් මට හමුවූයේ අපනයන සංවර්ධන මණ්ඩලයේදීය. අවුරුදු දෙකක් තිස්සේ බලා සිටියත් අවශ්‍ය ඉඩම නොලැබුණු බව ඒ ආයෝජකයා කියයි.
ජපන් ව්‍යවසායකයා දිගින් දිගට තව තවත් ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටියත් ආයෝජනයට අවශ්‍ය ඉඩම් ලබාගැනීමට අවුරුදු ගණන් බලා සිටින්නට වී තිබීම නිසා ඒ ජපන් ව්‍යවසායකයා ලංකාවේ ආයෝජන අදහස අතහැර දමන තැනට පත්ව සිටින බවද ඒ ලාංකිකයා මා සමග කීවේ දැඩි වේදනාවකිනි. ඉක්මනින් ඉඩම් ලබානොදීම නිසා ලංකාවේ ආයෝජනය කිරීමට කැමැති විදේශිකයන් පවා රට හැර යන තත්ත්වයක් දැන් උදාවී තිබේ.
ආසියාවේ බොහෝ රටවල් අපනයන සැකසුම් කලාප ගොඩනැගුවේ මේ අභියෝග ජය ගැනීම සඳහාය. අපනයන සැකසුම් කලාප පිළිබඳව විවාද නැතිවා නොවේ. කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට මාර්ග, විදුලිය සහ ජල පහසුකම් තිබිය යුතුය. අපනයන කලාපයක ඒ පහසුකම් සියල්ල තිබිය යුතුය. වර්තමානය වන විට ඒ කලාපයේ කසළ හා අප ජලය ප්‍රතිශක්තිකරණයද ඒ කලාපය ඇතුළේම සිදුවෙයි. එහෙත් අවුරුදු 20 ක් තිස්සේ ලංකාව අලුත් අපනයන සැකසුම් කලාප ඉදිකර නැත. එය ලංකාවේ දියුණුවට විශාල බාධාවක් බව අධ්‍යයනවලින් හඳුනාගෙන ද තිබේ.
දැන් අප මේ සිටින්නේ අලුත් අය වැයක් ඉදිරිපත්වීමට ඉතා ආසන්න පරිසරයකය. ඒ අය වැය කතාවලින් සුන්දර පොරොන්දු රැසක් රට හමුවේ තබයි. අපනයන සැකසුම් කලාප හදන බවට ද එවැනි සුන්දර පොරොන්දු දී තිබේ. 2017 හා 2018 අය වැය යෝජනා ඒ සම්බන්ධයෙන් උදාහරණ දෙකක් පමණකි.
2017 අය වැයේදී එවකට පැවැති ආණ්ඩුව මේ ගැටලුවට විසඳුම් ලෙස අධිවේගී මාර්ගවලට තදාසන්න ප්‍රදේශවල අපනයන සැකසුම් කලාප ඉදිකිරීමට යෝජනා කරයි. ඒ කලාපවලට අවශ්‍ය ජලය, විදුලිය සහ මාර්ග යනාදී මූලික යටිතල පහසුකම් ඉදිකිරීමට රුපියල් මිලියන 1000ක්ද වෙන් කරයි. එහෙත් ඉදිකෙරුනු අපනයන කලාපයක් නැත. 2018 අය වැය යෝජනා මගින්ද තවත් අපනයන සැකසුම් කලාපයක් ඉදිකිරීමට යෝජනා වෙයි. ඒ තායිලන්තයේ රෝජනා කර්මාන්තායතනයේ ඩොලර් මිලියන 500ක ආයෝජනයකිනි. ඒ අපනයන සැකසුම් කලාපය ඉදිකිරීමට යෝජනා කළේ මිල්ලනියේය. එහෙත් එයද යෝජනාවක් පමණක්ම වෙයි. 2014 සිටම කළ යෝජනා ක්‍රියාත්මක නොවුණු නිසා ඒ ගැන සොයා බැලූ විගණකාධිපතිවරයා ඒ පිළිබඳ තම වාර්තාව 2020දී ප්‍රකාශයට පත් කරයි.
ඒ වාර්තාවට අනුව 2002 සිට 2020 දක්වාම ලංකාවේ කිසිම නව අපනයන කලාපයක් බිහිවී නැත. ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් නොකර යටිතල පහසුකම් සැපයීම සඳහා ආණ්ඩුව රුපියල් බිලියන ගණනක් නාස්ති කර තිබෙන බවත් එය මුදල් අවභාවිතයක් බවත් ඒ විගණන වාර්තාවෙන් හෙළිවෙයි. එසේම ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් නොකළ නිසා පැමිණි විදේශ ආයෝජකයන් ද රටින් පිටව ගිය බව ඒ විගණන වාර්තාවෙන් අනාවරණය වෙයි.
2018 අය වැයෙන් යෝජනා කළ තායිලන්ත සමාගම ලංකාව හැර ගියේ ඉඩම් අත්පත් කර ගන්නේ නැතිව ආයෝජකයා ගෙන්වා ගැනීම නිසාය. තමන්ට අත්පත් නොවූ ඉඩමක ආයෝජනයට පුද්ගලයකු පෙළඹෙන්නේ නැති බව තේරුම් නොගැනීම ඛේදවාචකයකි.
ආණ්ඩු විසින්ම එසේ කරනු ලැබීම නිසා තවත් ආයෝජකයකු රටට ගෙන්වා ගැනීමට නොහැකි වෙයි.
මේ තොරතුරු ගෙනහැර දක්වන්නේ අපනයන සැකසුම් කලාප ඉදිකිරීමේ වැදගත්කම අවධාරණය කිරීමටය. කාර්මික ඉඩම් හා කලාප නැතිව විදේශීය ආයෝජන තබා දේශීය ආයෝජනවත් ආකර්ශනය කරගත නොහැකි බව කීමටය. ඉතා මෑතකදීත් ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ කර්මාන්තපුර ගොඩනැගීමට ඉඩම් ලබාදෙන බවය. ඒ ඉඩම් තිබෙන්නේ කොහේද, කොපමණ ප්‍රමාණයක්ද, ඒවා අත්පත් කරගෙන තිබේද, බලාපොරොත්තු වෙන්නේ කෙබඳු ආයෝජනද කියා කිසිම නිල ප්‍රකාශයක් හෝ වාර්තාවක් නැත. එය ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රකාශයක් පමණකි. ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ඒ ප්‍රකාශයෙන් අනාවරණය වෙන්නේ කලින් කළ වරද යළි යළිත් කිරීමට සැරසෙන බවද? එසේ කරන්නේ දැනුවත්වද? නොදැනුවත්වද?
අප කියන්නේ ව්‍යාපාර කිරීමට අවශ්‍ය පරිසරය රජය විසින් සකස් කරනු ලැබිය යුතු බවය. ව්‍යාපාර කිරීමට ආණ්ඩුවට සල්ලි නැත. එසේම ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුතුය.
ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුත්තේ ඇයිදැයි එයාර් ලංකා, තෙල් සංස්ථාව, ලංවිම වැනි රාජ්‍ය ව්‍යාපාර මගින් රටට මැනවින් ප්‍රදර්ශනය කර තිබේ. ඒ නිසා ආණ්‍ඩුව කළ යුත්තේ ව්‍යාපාර කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමය.
අපනයන ප්‍රවර්ධන කලාප අත්‍යවශ්‍යමය. ආයෝජකයන්ට තිබෙන්නේ ලංකාව පමණක් නොවන බව රටේ පාලකයන් මැනවින් අවබෝධ කරගත යුතුය. යම් පුද්ගලයකු ප්‍රාග්ධනය සහ ව්‍යවසාය ගෙනෙන්නේ තමන්ගේ ආයෝජන මගින් කරන අපනයන ඔස්සේ ලාබ ඉපයීමේ පරමාර්ථයෙනි. ඒ ආයෝජනයට අවශ්‍ය මූලික සාධක හා පරිසරය රටේ නැතිනම් ආයෝජකයෝ නොපැමිණෙති. අවුරුදු 10 සිට 40 දක්වා කාලයකට බදු සහන දෙන බවත් දිය හැකි බවත් ආණ්ඩු විටින් විට කියයි. එහෙත් ඒ සහනවලින් ප්‍රයෝජන ගන්නට ආයෝජකයන් ලංකාවට නොපැමිණෙන්නේ ආයෝජනයට අවශ්‍ය මූලික පරිසරය හා සාධක මෙරටෙහි නැති නිසාය.
ලංකාව විදේශ ආයෝජන පමණක් නොව දේශීය ආයෝජන ද ආකර්ශනය කර ගැනීමට අසමත් රටකි. ලංකාව දැන් සිටින්නේ ආසියානු කලාපය ඇතුළේම තරගකාරී තැනකය. ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය වැනි රටවල් සමග ලංකාව තරග කළ යුතුය.
ඒ නිසා ආයෝජකයන්ට සහ ආයෝජනවලට ක්ෂේම භූමි අතර ලංකාව ආකර්ෂණීය ක්ෂේම භූමියක් නොවේ. ඒ ආයෝජන ආකර්ෂණයට අත්‍යවශ්‍ය මූලික සාධක හා පරිසරයක් නැති නිසාය. ආයෝජකයන්ට අවශ්‍ය ඉඩම් ටිකවත් නිරවුල්ව නිදහස් කර නොදෙන රටකට බදු සහන දුන් පලියට ආයෝජකයෝ නොපැමිණෙති. ඒ බව පසුගිය කාලයේ ලංකාවට පැමිණ තිබෙන විදේශ ආයෝජන සංඛ්‍යාවෙන්ම ප්‍රත්‍යක්ෂ වෙයි. පහුගිය අවුරුදු දහයේදී මැලේසියාව සහ තායිලන්තය වසරකට ඍජු විදේශ ආයෝජන ඇමෙරිකන් ඩොලර් බිලියන 10කට වඩා ගෙන්වා ගැනීමට සමත්ව තිබේ. වියට්නාමය අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් බිලියන 15කට ආසන්න ආයෝජන ගෙන්වා ගනියි. මේ කාලයේදී ලංකාවට ලැබුණු විදේශ ආයෝජන අවුරුද්දකට ඩොලර් බිලියනයකටත් වඩා අඩුය. ඒ ආයෝජනවලින්ද බහුතරයක් අපනයන මූලික කරගත් නිෂ්පාදන සඳහා ලැබුණු ආයෝජන නොවේ. ඒ ආයෝජන බහුතරයක් පැමිණියේ ඉදිකිරීම් සහ සේවා අංශවලටය.
අපේ කලාපයේ අනෙක් රටවල් දැන් ගොඩ නගන්නේ පාරිසරික කාර්මික ජනපදය. පාරිසරික කාර්මික අපනයන කලාපය. ඒවායේ නිෂ්පාදන කෙරෙන්නේ පරිසරය වනසමින් නොව රැක ගනිමිනි. ලෝකයේ පවතින දේශගුණ විපර්යාස නිසා දියුණු රටවල් කියන්නේ සහ ඔවුන් මිලදී ගන්නේ පරිසර හිතකාමී ලෙස කරන නිෂ්පාදනය. ඒ නිසා ඉදිරියේදී අපනයනය සඳහා ලංකාවේ කරන නිෂ්පාදනද ඒ අභියෝගයට මුහුණ දෙයි. පාරිසරික කාර්මික කලාපවල නිෂ්පාදන කිරීමෙන් ඒ අභියෝග ජය ගැනීමට අපේ අපනයනකරුවන්ට හැකි වෙයි.
ලංකාවේ අපනයන වැඩියෙන් යන්නේ යුරෝපයේ රටවලටය. ඒ රටවල් දැන් දැන් මිලදී ගැනීමට කැමැත්තේ නිෂ්පාදන ක්‍රියාවලියේදී පරිසරයට කාබනික වායු මුදානොහරින නිෂ්පාදනය. ඒ නිසා ඒ ප්‍රමිතීන්වලට අනුකූලව නිෂ්පාදනය කිරීමට අපට සිදුවෙයි. එවැනි නිෂ්පාදන කිරීම අපේ රටටද හිතකරය. වියට්නාමය වැනි රටවල් දැන් එවැනි පාරිසරික අපනයන කලාප ගොඩනගමින් සිටියි. වියට්නාමය සමග බලද්දි ලංකාව සිටින්නේ ඉතාමත් පසුගාමී තැනකය. ඒ නිසා ලංකාව දැනට සිටින වළෙන් ගොඩඒමට නම් අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයන අපනයන ප්‍රවර්ධනය කළ යුතුමය.
ඒ සඳහා කළ යුත්තේ දෙස් විදෙස් ආයෝජනවලට අත්‍යවශ්‍ය පරිසරය හා පසුබිම සැකසීම මිස බදු සහන නොවන බව රටේ අය – වැය ඇතුළු ප්‍රතිපත්ති සම්පාදකයෝ තේරුම් ගත යුත්තෝය.
එහෙයින් 2024 සඳහා පැමිණීමට නියමිත අය වැය ලේඛනය සුරංගනා කතාවලින් නොපිරුණු ඉටුවන පොරොන්දු සහිත අයවැයක් වේවායි ප්‍රාර්ථනා කරමු. එසේම ඒ අය වැය යෝජනා ඉටු කිරීමට කැපවීමෙන් වගවන මැති ඇමැති හා නිලධාරි තන්ත්‍රයක් ගොඩනැගේවායිද අපි රට වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු.
වෙරිටේ රිසර්ච් පර්‌යේෂණායතනයේ ආර්ථික පර්‌යේෂණ අධ්‍යක්ෂ සුභාෂිණී අබේසිංහ
සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආයෝජන ප්‍රමුඛතා අනවබෝධය