IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ආයුර්වේදයෙන් ලෝකය ජයගැනීම

ලංකාවේ දේශීය වෙදකම ජාත්‍යන්තරයට රැගෙන යා යුතු බවත් එමඟින් විදේශ විනිමය ඉපයිය හැකි බවත් නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. ජනපති එසේ කීවේ අලුත් ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය දිවුරුම්දීමෙන් පසුව ඒ ඇමැතිවරුන් අමතමිනි.

ජනපතිගේ ඒ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට කළ යුත්තේ කුමක්දැයි අප විමසුවේ සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක හෙට්ටිගොඩ මහතාගෙනි. ඊට හේතුව ඒ සමාගම දැනටත් ජර්මනිය, චෙක් ජනරජය හා ස්ලෝවැකියාව යන රටවල සිද්ධාලේප වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යාමය. එසේම ඇමෙරිකාව, ජපානය, චීනය, කොරියාව, තායිවානය, ඉන්දියාව ඇතුළු රටවල් 25කට අධික සංඛ්‍යාවකට සිද්ධාලේප ඖෂධ අපනයනය කරයි. එසේම ආයුර්වේද රෝහල් හා හෝටල් ද පවත්වාගෙන යයි.

අශෝක හෙට්ටිගොඩ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. හෙතෙම මිනිස් දැනුම කොම්පියුටර්වලට කැවීම සම්බන්ධයෙන් වන (Artificial Intelligence) සිය ප්‍රථම උපාධිය (BSC) ලබාගෙන ඇත්තේ ඇමෙරිකාවේ නෝර්ත්  වෙස්ට්‍රන් විශ්වවිද්‍යාලයෙනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (M.B.A.) ලබාගෙන තිබෙන හෙතෙම දේශීය වෙදකම ජාත්‍යන්තරයට ගෙනයාමට කළ යුතු හා නොකළ යුතු දේවල් ගැන මෙසේ අදහස් දක්වයි.

අපේ සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකමේ ඉතිහාසය රාවණා රජුගේ මුත්තා වන පුලතිසිගේ කාලය දක්වා ඈතට දිවයයි. හෙළ වෙදකම ගැන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පවත්වා ඇත්තේ පුලතිසිය. ඒ වෙදකම දියුණුවට පත්වූයේ රාවණා රජුගේ කාලයේය. අපේ වේදිකාවේ ප්‍රසිද්ධ සිද්ධාන්ත වන වා, පිත්, සෙම්, චක්‍ර ක්‍රම සේම රස බෙහෙත්ද ප්‍රචලිත කරන්නේ රාවණා රජුය, ඇත්තෙන්ම අපේ හෙළ වෙදකමේ පියා ලෙස සැලකෙන්නේ රාවණ රජුය. එහෙත් අපේ ඉතිහාසය ලියූ උදවිය කියන්නේ ලාංකික ශිෂ්ටාචාරය ඇරඹෙන්නේ විජය රජුගෙන් පසු බවය. එය පට්ටපල් බොරුවක් බව පුරා විද්‍යා පර්යේෂණවලින් අනාවරණය වී තිබෙන බව යළිදු සිහිපත් කළ යුතුය. ඇත්තෙන්ම වෙදකම, මේ ලෝකයේ ආගම් බිහිවීමටත් පෙර බිහිවූවකි.

ඉන්දියාවට ගියේද අපේ හෙළ වෙදකමය. අපේ වෙදකමේ සඳහන් චක්‍ර සංකල්පය ඉන්දියාවට ගියේ ලංකාවෙනි. අපේ වෙදකමේ තිබෙන වැදගත්ම බෙහෙත් පන්තිය වන රස බෙහෙත් ඉන්දියාවට ගියේද ලංකාවෙනි. රාමයනයේ සඳහන් තොරතුරුවලින්ද ඒ බව අනාවරණය වෙයි. එකල ග්‍රීසියේ සිට මොංගෝලියාව දක්වා රටවල් පාලනය කළේ රාවණා රජ්ජුරුවෝය. එතුමන්ගේ වැදගත්කම වටිනාකම බාල කරන්නට ඇතැමුත් කියන්නේ රාවණා දඬු මොනරයකින් ගිය බවය. එය පට්ටපල් බොරුවකි. දඬු මොනරය දෙදෙනකුට යා හැකි යානයකි. එහෙත් රාවණා ගොස් ඇත්තේ අභ්‍යාවකාශ යානා (Spacecraft) වලිනි. රාවණ කියන්නේ එවැනි දියුණු පුද්ගලයෙකි. අපේ සිංහල වෙදකම පැවැත එන්නේ එවැනි පුද්ගලයකුගෙනි. රාමායනයේ සඳහන් වන්නේ ලංකාව ඔසු උයනක් (Land of Medicinal Plant) බවය. රාමායනය ඉන්දියාවේ ලියූ ග්‍රන්ථයක් මිස ලංකාවේ ලියැවුණු පොතක් නොවේ.

අවුරුදු 200 ක් පුරා සිංහල වෙදකමේ නිරත වූ අපේ පරම්පරා ගණන 06 කි. මේ කාලයේදී අපි අපේ වෙදකම ලංකාවේ පමණක් නොවෙ විවිධ රටවල ප්‍රචලිත කළෙමු. පළමුව අප ගියේ ජර්මනියටය. ඒ මීට අවුරුදු 15 කට පෙර 2004 දීය. එරටෙහි අපේ වෙදකම ගොඩනැගුවේද සිද්ධාලේප නමින්මය. අපේ වෛද්‍ය මධ්‍යස්ථානය ගොඩනැගුවේ ජර්මනියේ සිටි අවසන් රජු වන කයිසර්ගේ මාලිගාවේය. එතැනට යා හැක්කේ කීයෙන් කී දෙනකුටද? දැනට ජර්මනියේ තැන් තුනක සිද්ධාලේප වෛද්‍ය මධ්‍යස්ථාන තිබේ. චෙක් ජනරජයේත් - ස්ලෝවැකියාවේත් සිද්ධාලේප වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. අපේ මේ වෙදකම හා අපේ මෙහෙවර ලංකාව ඇතුළේදී ඇගැයීමට ලක් නොවූවාට සිංහල වෙදකමට ළැදි එය විශ්වාස කරන රටවල් අපේ මෙහෙවර අගය කර තිබේ. බටහිර ඖෂධ මාෆියාව ගැන දන්නා ලොව දියුණු රටවල වැටහීම වන්නේ අප කර තිබෙන්නේ ලෙහෙසියෙන් - පහසුවෙන් කළ හැකි දෙයක් නොවන බවය. ස්වල්ප දෙනකුට පමණක් කළ හැකි කටයුත්තක් බවය. ජර්මනියේ සිටි අවසන් රජුගේ මාලිගාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කළ හැක්කේ කාටද? අප එය කළේ එරට රජයේ සහයෝගයෙනි. එහෙත් මෙරට රජයකින් අපට එවැනි පිළිගැනීමක් හෝ සැලකිල්ලක් ලැබී නොමැත. ඒ ගැන අපට දුකක්, කනගාටුවක්, තැවුලක්, සන්තාපයක් නැත. මක් නිසාද යත් ලංකාවේ ස්වභාවයත් අපේ ආණ්ඩුවල ස්වභාවයත් අප හොදින් දන්නා බැවිනි.

ජර්මනියේ අපේ වෛද්‍ය මධ්‍යස්ථාන ආරම්භ කරන අවස්ථාවලට සහභාගි වූයේ එවකට ජර්මනියේ සිටි චාන්සලර් හෙල්මුට් කෝලය.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික සෞඛ්‍ය කමිටුවේ සාම්ප්‍රදායික ඉන්දියානු විද්‍යා අංශය මගින් මා සහ අපේ පවුල වෙදකමට කළ සේවය මෙහෙවර ගැන අධ්‍යයනයක් කර තිබේ. ඒ මෙහෙවර අගයා මටත් අපේ පවුලටත් බුහුමන් දැක්වූයේ පසුගිය නොවැම්බර් 05 වැනිදාය. ඒ ඇගැයීමේ එක් අංගයක් වූයේ විනාඩි 15 කට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතීමට අවස්ථාව හිමිවීමය. ඒ කාලය මට ලබා දුන්නේ මා සහ අපේ පවුලේ සාමාජිකයන් සිංහල වෙදකම ප්‍රචලිත කිරීමට කළ සේවය ගැන පමණක් කතා කළ යුතුය යන කොන්දේසිය මතය. එවැනි අවස්ථාද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසයේ දුලබය. ඒ කතාවෙන් අනතුරුව මට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් “ආයුර්වේද රත්න” නමැති ගෞරව සම්මානය පිරිනැමුවේය.

එය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් පිරිනැමෙන ඉහළම සම්මානයකි. ඉන් නොනැවතී හෙට්ටිගොඩ වෙද පරම්පරාව අපේ දේශීය වෙදකම ලෝකයට ගෙනයාමට කළ සේවයට තවත් සම්මානයක්ද පිරිනැමිණි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ එවැනි ගෞරව සම්මානයට ලක්වීම මටත් අපේ පවුලටත් ආඩම්බරයකි. ඇත්තෙන්ම එය මට හා අපේ පවුලට පමණක් නොව මේ රටටද ආඩම්බරයකි. අප ඔස්සේ ඇගයීමට ලක් වූයේ අපේ සිංහල වෙදකමය. මම බ්‍රිතාන්‍ය පුරවැසියෙක් නොවෙමි. ගෞරවණීය ලාංකික පුරවැසියෙක්මි. එහෙත් මටත් අපේ පවුලටත් එසේ සම්මාන දුන්නේ බ්‍රිතාන්‍ය රජයයි. ලංකාවේ රජයෙන් අප එසේ සම්මානයට ලක්වී නැත. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සමයේදී මගේ පියාට “දේශබන්ධු” ගෞරව නාමයක්, සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ අතින් “විශ්ව ප්‍රසාදිනී” ගෞරව නාමයද ලැබී තිබේ. එහෙත් ඒ ගෞරවනාම පිරිනමා තිබෙන්නේ දේශීය වෙදකමට කළ සේවය සඳහාම නොවේ.

දැන් අපේ රටේ තිබෙන්නේ අලුත් ආණ්ඩුවකි. ඉන්​ෙන් සෞඛ්‍ය ඇමතිවරියකි. අලුත් සංචාරක ඇමැතිවරයෙකි. අලුත් ජනාධිපතිවරයෙකි. දේශීය වෛද්‍ය ක්‍රමය ගැනම ක්‍රියාත්මක වීමට වෙනම ඇමැතිවරයෙක් ද සිටියි. ඒ සියල්ලන් එකතු වී අපේ දේශීය වෙදකම ලොව පුරා ප්‍රචලිත කිරීමට අලුත් මෙහෙයුමක් දියත් කළ යුතුය. අපේ වෙදකමට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය වගා කරන්නේ කොළඹ නොව පිටිසර ගම්මාන වලය. ඒ නිසා අපේ වෙදකම ලොව පුරා ව්‍යාප්ත කළහොත් ඉන් ලැබෙන ආදායම ගලා යන්නේ ඒ ගම්මාන වලය. අදටත් අපේ රටේ ගැමි ජනගහනය සියයට 80 ට වැඩිය. දැන් මෙරට නාගරික ජනගහනය සියයට 18.5 කි. නාගරික ජනගහනයට ජීවත් වීමට විවිධ ක්‍රම තිබේ. එහෙත් ග්‍රාමීය ජනතාවට ජීවත් වීමට තිබෙන ක්‍රම ඉතා සීමිතය. ඇතැම් ප්‍රදේශවල ජීවන මාර්ගයක් ඇත්තේම නැත. එවැනි ප්‍රදේශ හා එහි ජනතාව නගා සිටුවීම රජයේ වගකීමකි. ඒ සඳහා රජයකට බොහෝ දේවල් කළ හැකිය. එහෙත් කළ හැකි බොහෝ දේවල් කෙරී නැත. මෙතෙක් කිසිවෙක් නොකළ දේවල් නව රජයෙන්වත් විය යුතුය.

මුළු ලංකාවේම ගැමි ආර්ථිකය තිබෙන්නේ නොදියුණු මට්ටමකය. වියළි කලාපයේ තත්ත්වය ඉතා බරපතළය. ගංවතුර හා නියඟයට අමතරව දැන් වන සතුන්ගෙන් වන හානි නිසා ද ගැමි ආර්ථිකය වැනසෙයි. ගැමියන්ගේ කෘෂි භෝගවලින් සියයට 40ක් වන සතුන්ගෙන් වැනසෙන බව අනාවරණය වී තිබේ. ඒ නිසා ගැමි ආර්ථිකය දියුණු කිරීමට නව මං සොයාගත යුතුව තිබේ. ඖෂධ උයන්, ඖෂධ ගම්මාන, ඖෂධ නිෂ්පාදන ගම්මාන වැනි නව ව්‍යාපෘති මඟින් ගැමි ආර්ථිකය දියුණු කළ හැකිය. එවැනි ව්‍යාපෘති ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිය. අවශ්‍යවන්නේ නව දැක්මක් පමණකි. ගැමියන් වවන හදන බෙහෙත් විදෙස් රටවලට යැවූ විට ඒ රටවලින් ලැබෙන ඩොලර් යන්නේ අපේ දුප්පත් ගම්මානවලටය.

2019 ඔක්තෝබර් 05 වැනිදා අපි ලංකාවේදී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පැවැත් වූයෙමු. හිටපු ජනපති හා හිටපු සෞඛ්‍ය ඇමැති සේම හිටපු සංචාරක ඇමැති ද ඊට ගෙන්වූයෙමු. ඒ සම්මන්ත්‍රණයට අප ගෙන්වූයේ ආයුර්වේද හා බටහිර වෙදකම කරන වෙනත් රටවල ආචාර්ය, මහාචාර්යවරුන්ය. ඒ උගතුන් පැමිණියේ ජර්මනිය, එංගලන්තය, ජපානය හා රුසියාව වැනි රටවලිනි. ඒ සෑම රටකින්ම පැමිණි සෑම ආචාර්ය මහාචාර්යවරයකුම සඳහන් කළේ ලංකාවේ දේශීය වෙදකම ජාත්‍යන්තරයට රැගෙන නොයන්නේ ඇයි ද යන්න ඔවුන්ට සිතාගත නොහැකි බවය. ඔවුන් එසේ කීවේ අපේ රටේ ජනපති, සෞඛ්‍ය ඇමැති හා සංචාරක ඇමැති ඉදිරිපිටදීය. ඇමෙරිකාවේ හා යුරෝපයේ රටවල වැඩිහිටි ජනගහනය එන්න එන්නම ඉහළ යයි. ඔවුන් දරුවන් නොහදන නිසා ඒ රටවල ජනගහන වර්ධන වේගයෙහි ඇත්තේ සෘණ අගයකි. ඒ රටවල සෞඛ්‍ය සේවය දියුණු නිසා ඔවුහු වැඩි කාලයක් ජීවත් වෙති. අපේ සම්මන්ත්‍රණයට සහභාගි වූ ජර්මන් මහාචාර්යවරියක සඳහන් කළේ එරට වැසියන් වැඩි කාලයක් ජීවත් වුවත් ඔවුන් එසේ ජීවත් වන්නේ වේදනා කැක්කුම් සමග බවය. ඒ මහාචාර්යවරිය එහිදී අනාවරණය කළේ ජර්මනියේ බර්ලින් නුවර පිහිටි චරිටේ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කළ පරීක්ෂණයකින් ආතරයිටිස්වලට ලෝකයේ තිබෙන හොඳම ප්‍රතිකාර ක්‍රමය පවතින්නේ ලංකාවේ දේශීය වෙදකමේ බව අනාවරණය කරගෙන තිබෙන බවය.

ලංකාවේ මෙච්චර දියුණු වෛද්‍ය ක්‍රමයක් තියෙද්දී බටහිර වෙදකම් කරන රෝහල් වැඩියෙන් තියෙන්නේ ඇයිදැයි ඒ ජර්මන් මහාචාර්යවරිය එහිදී අපෙන් ප්‍රශ්න කළාය. අපේ වාසනාවකට ඇය එසේ ප්‍රශ්න කළේ අපේ ජනපති හා සෞඛ්‍ය ඇමැති සිටි සභාවකදීය. ඒ නිසා මේ අපේ වෙදකම දෙස බලන ආකල්පවල ලොකු වෙනසක් විය යුතුය. විශේෂයෙන්ම ඒ වෙනස ඇතිකර ගත යුත්තේ මැති ඇමැතින් හා ඉහළ නිල බලධාරීන්ය. උදාහරණයකට අපි මෙරට “පේයාව” නැමැති ඖෂධීය පානය ගනිමු. එය වා පිත් සෙම් කිපීමෙන් ඇතිවෙන උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත රුදාව හා හිසරදය සමනය කරන ඖෂධීය පානයකි. එය බීමෙන් ඒ සියලු ලෙඩ සනීප වෙන්නේදැයි විදේශිකයකුට ප්‍රශ්නයක් මතු විය හැකිය. ඒ ප්‍රශ්නය නිරාකරණය කළ යුත්තේ රජයේ මැදිහත් වීමෙන් ඒ ඖෂධය ගැන ජාත්‍යන්තරයට පිළිගත හැකි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පර්යේෂණයක්කිරීමෙනි. එවැනි නිසි පර්යේෂණයක් කළොත් ඒ බෙහෙතේ ගුණ ගැන අප කරන වර්ණනා සනාථ කරගත හැකිය. එසේම එහි අතුරු ආබාධ නැති බව ද ශරීරයේ සැඟවී තිබෙන ශක්තීන් ඉස්මතු වන බව ද ඒ පර්යේෂණයෙන් අනාවරණය වනු නියතය. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ එවැනි පර් ​ෙය්ෂණවලට අපේ රජය හෝ පර්යේෂණ ආයතනය යොමු නොවීමය.

අපේ රට නියෝජනය කරන මහ කොමසාරිස්වරු හා තානාපතිවරු විවිධ රටවල සිටිති. එසේම අපේ මැති ඇමැතිවරු ද රජයේ ඉහළ නිලබලධරයෝද විවිධ රටවලට යති එති. ඔවුන් යන විදෙස් සම්මන්ත්‍රණවලදී විදෙස් රාජ දූතයන් හමුවන අවස්ථාවලදී විනාඩි 5ක් අපේ වෙදකම ගැන කතා කළ යුතුය. එහි ප්‍රතිලාභ අපට නොව රටටය. උණක්, හිසරදයක්, ඇඟපත අමාරුවක් හෝ සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුණම මම බොන්නේ අපේ රටේ නිෂ්පාදනයක් වන පේයාවයි කියා ඒ මැති ඇමැතිවරුන්ට ඒ විදෙස් සම්මන්ත්‍රණවලදී කිව නොහැක්කේ ඇයි? එසේ නොකර අපට අපේ වෙදකම ප්‍රවර්ධනය කළ නොහැකිය. අප එසේ නොකරන්නේ ධීන මානසිකත්වය නිසාය. එහෙත් සුද්දෝ එසේ නොකරති. ඔවුහු ලංකාවේ දේශීය වෙදකම ගැන පර් යේෂණ කරති. එසේම ඒ තොරතුරු ලොව පුරා ප්‍රචලිත කරති. අප ඉහත කී ජර්මන් මහාචාර්යවරිය ඊට කදිම නිදසුනකි. එසේ නම් මේ ප්‍රශ්නය තිබෙන්නේ කළු සුදු කමෙහි නොවේ ද?

යුරෝපීයයන් එසේ කරන්නේ ඔවුන් සුද්දන් නිසාය. එහෙත් අපේ අය එසේ නොකරන්නේ ඔවුන් කළු සුද්දන් නිසාය. දේශීයත්වය හා දේශීය දේ පහත හෙළීම ඊට නිගරු කිරීම කළු සුද්දන්ගේ ජන්ම ගතියකි. මේ ආකල්පය වෙනස් කරගත යුතුමය. අප සිතිය යුත්තේත් කටයුතු කළ යුත්තේ වැටී සිටින වළෙන් ගොඩ යාමටය. අධිරාජ්‍යවාදීන්ට බැණ බැණ අප අපේ දේවල්වලට ගැරහීම හා ඒවා පාගා දැමීම දැන්වත් නවතා දැමිය යුතුය. ලංකාවේ සෞඛ්‍ය වැය ශීර්ෂයෙන් සියයට 95 ක් බටහිර වෙදකමට දී සියයට පහක් පමණක් දේශීය වෙදකමට දෙන්නේ ලාංකිකයන්ම මිස අධිරාජ්‍යවාදීන් නොවේ. අපේ උරුමය විනාශ කරන්නේ කව්දැයි මේ අනුව කාටත් අවබෝධ කරගත හැකියි.

අපේ වෙදකමට වින කටින රාජ්‍ය ආයතන ද තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලය ඊට කදිම උදාහරණයකි. ඔවුන් අපේ වෙදකම හඳුන්වන්නේ සිංහල පාරම්පරික හෝ ආයුර්වේද යන නම් වලින් නොව “වෙල්නස් මෙඩිසින්” නමිනි. අපේ වෙදකම අර නම් වලින් හැඳින්වීම ඔවුන්ට ලැජ්ජාවකි. ඔවුන් කියන්නේ අර නම්වලින් හැඳින්වූවාට විදේශිකයන් ආකර්ෂණය කරගත නොහැකි බවය. ඒ මණ්ඩලයේ නිලධාරීන් කියන හැටියට විදේශිකයන් දේශීය වෙදකමට ආකර්ෂණය කරගත හැක්කේ අපේ වෙදකම ඉංග්‍රීසි නමකින් හැඳින්වීමෙනි. ඒ නිලධාරීන් කියන හැටියට අවුරුදු 200 ක් තිස්සේ මේ වෙදකමහි නිරත මෙය දැනටත් ජාත්‍යන්තරයට ගෙන ගිය අපට තිබෙන්නේ පටු දැනුමකි. පුළුල් දැනුමක් තිබෙන්නේ අපේ වෙදකමට නිග්‍රහ කරන ඔවුන්ටය. අපේ වෙදකමට විදේශිකයන් ආකර්ෂණය කරගත හැක්කේ එවැනි පුළුල් දැනුමක් තිබෙන ඔවුන්ටය.

නව රජය අපේ මේ උරුමය විනාශ වීමට ඉඩ නොදිය යුතුය. වෙදකමේ දේශීය අනන්‍යතාව ප්‍රදර්ශනය වන්නේ දේශීය නමකින් එය හැඳින්වීමෙන් මිස ඉංග්‍රීසි නමකින් හැඳින්වීමෙන් නොවන බව ඒ නිලධාරීන්ට තේරුම් කර දිය යුතුය. මේ නම් වෙනස් කළ නොහැකි අයුරින් නව නීති සම්මත කරගත යුතුය. දැනට තිබෙන නීති ක්‍රියාත්මක කළ යුතුය. මේ නිලධාරීන් වනසන්නේ අපේ රටේ ජාතික උරුමයයි. අපේ අනන්‍යතාව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පියවර ගැනීම නව රජයේ වගකීමකි. සුද්දන් මට දුන්නේ “ආයුර්වේද රත්න” නමින්ම හඳුන්වන සම්මානයකි. එහෙත් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ගේ තක්සේරුවට අනුව ආයුර්වේදය ගැන මා දන්නා කෙංගෙඩියක් නැත. සුද්දන්ගේ සහ කළු සුද්දන්ගේ වෙනස මගේ ඒ අත්දැකීමෙන්ම රටටම අවබෝධ කරගත හැකිය.

මීට මාසයක පමණ පෙර ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් ඉන්දියාවට පැමිණියාය. ඇගේ ඒ සංචාරය ගැන ඉන්දීය පුවත්පත් හැර ලොව අන් හැම රටකම පුවත්පත්වල පළ වූයේ ඇන්ජෙලා මර්කල් ඉන්දියාවේ සංචාරයක නිරත වූ බවය. එහෙත් ඉන්දීය පුවත්පත්වල පළවූයේ එතුමිය ඉන්දීය අගමැති සමග ආයුර්වේද වෙදකම ගැන සාකච්ඡා කළ බවය. ජර්මනිය යුරෝපයේ දියුණුම රටයි. අනාගත ලෝකයේ ආයුර්වේදයට ලැබෙන තැන යුරෝපයේ දියුණුම රට මැනවින් දනියි. ඒ රටේ ප්‍රධාන පුරවැසියා සේම රාජ්‍ය නායිකාව ද වන එරට චාන්සලර්වරිය ආයුර්වේද වෙදකම ගැන ඉන්දීය අගමැති සමග කතාකරන්නේ එහෙයිනි. දියුණු රටවල් බලන්නේ  අනාගතය ගැනය. ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය කරන්නේ අනාගතය ගැන සිතාය. ලංකාවේ කිසිම රාජ්‍ය නායකයකු අපේ වෙදකම ගැන විදෙස් නායකයන් සමග කතාකළ බවක් මම අසා නැත්තෙමි. එහෙත් දැන් ඒ සඳහා කාලය පැමිණ තිබෙන බව මගේ අවබෝධයයි, වැටහීමයි, තක්සේරුවයි. දැන් රටේ සිටින්නේ අලුත් නායකයෙකි. ඒ නායකයා යා යුත්තේ අලුත් ගමනකි.

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්



අදහස් (2)

ආයුර්වේදයෙන් ලෝකය ජයගැනීම

Harith Gunasekara Wednesday, 04 December 2019 12:08 PM

මම ආයුර්වේද චිකිත්සක කෙනෙක්. මට ආයුර්වේද මධ්‍යස්ථානයක් ජර්මනියේ තියෙනවා. මම සිද්ධාලේප තෙල් /ලින්ක් ආයුර්වේද බෙහෙත් මෙහෙ විකුනනවා. අපේ සිංහල වෙදකම ඉතා හොඳයි. මෙය අනිවාර්යයෙන්ම දියුණු ක‍රන්නේ ඕනේ. මෙහෙ අය දැන් හොයන්නේ හුඟක් ස්වභාවික බෙහෙත්. අසෝක හෙට්ටිගොඩ මහතා සමගග මම හුඟ කලක් වැඩ ක‍ර තියෙනවා. ඔහු ඉතා දක්ෂ මහත්මයෙක්.

:       23       120

chitrawick Wednesday, 04 December 2019 11:26 PM

අසෝක හෙට්ටිගොඩ මහත්මය කතාව ඇත්ත.

:       0       15

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 279 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1209 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1797 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1337 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site