(කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය - ප‍්‍රියංග දුනුසිංහ)
බලයට පැමිණ තෙවසරක් වුවද මෙවර ඉදිරිපත් කරන්නේ යහපාලන රජයේ සිව් වැනි අයවැයයි. දින සීයේ ආණ්ඩුව පැවැති සමයේ ඉදිරිපත් කළ අතුරු අයවැය ද ඊට එකතු වීම ඊට හේතුවයි. පසුගිය අයවැය මගින් නිරාවරණය වූ ආර්ථික දර්ශනය වූයේ වෙළෙඳපොල මත පදනම් වූ ද පෞද්ගලික අංශය මගින් වැඩි කොටසක් මෙහෙයවනු ලබන්නාවූ ද ආර්ථිකයක් දිශාවට යෑමය. එහෙත් අපට අයවැයෙන් පසුව දකින්නට හැකිවුණේ එම ආර්ථික දර්ශනය මත පිහිටා සිදුකළ අයවැය යෝජනා පසුකාලීනව නැවත හකුලාගන්නා තත්ත්වයකි.
විශේෂයෙන්ම ආණ්ඩුවේ ආර්ථික මූලෝපාය ගැන හටගත් අවිනිශ්චිතභාවයට මුදල් ඇමැතිවරයාගේ යෝජනා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සංශෝධනයට හෝ මුළුමනින් ආපසු හැරවෙන මෙම තත්ත්වය බලපෑවේය. තවද ආර්ථිකය මෙහෙයවන්නේ කවුද යන ප‍්‍රශ්නය සියල්ලන් අතරේ පැන නැගිණි. මාගේ නිරීක්ෂණයට අනුව මේ රජයේ ආර්ථික ප‍්‍රතිපත්ති මෙහෙයවන ප‍්‍රධාන කඳවුරු තුනකි. ඒ මුදල් ඇමැති, ජනපති හා අගමැති වශයෙනි. මේ නිසා ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය කුමක්දැයි නිශ්චිතව හඳුනාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය විය.
රාජ්‍ය සේවක වැටුප රුපියල් 10 000 කින් වැඩිකිරීම රජයේ පොරොන්දුවක් විය. එසේම පැවැති රජය චීන සමාගම් සමඟ ආරම්භ කළ මහා පරිමාණ ව්‍යාපෘති නැවත සමාලෝචනය කිරීම ද තවත් පොරොන්දුවක් විය. මේ පොරොන්දු දෙක පමණක් විමසා බැලූව ද ආණ්ඩුව 2015 අයවැය දිගු දුර දැක්මකින් ඉදිරිපත් කළාදැයි යන සැකය ඇතිවේ. රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ පීඩනය රජය මත කෙටි කලෙකින්ම එල්ල වූ අතර රජයේ වියදම සමනය කරගැනීමට නැවත බදු පැනවීමට රජයට සිදුවිය. එසේම වරාය නගරය ඇතුලූ චීන ව්‍යාපෘති තාවකාලිකව නතර කළ රජයට සිදුවුණේ ආයෝජන වෙනුවෙන් චීනයට නැවත ආරාධනා කරන ස්ථාවරයකට පල්ලම් බහින්නටය.
කුරුණෑගල වොක්ස්වැගන් කම්හලත් හොරණ ටයර් කම්හලත් රජය තරමක් සංදර්ශනශීලී ලෙස හැසිරුණු අවස්ථා විය. එහෙත් ඒවා මුල්ගල්වලින් ඔබ්බට ගොස් මහා පරිමාණ ආයෝජන වනු රටවැසියා දුටුවේ නැත. ඒ වෙනුවට ඔවුන් දුටුවේ එකිනෙකට පරස්පර වූ ආර්ථික ප‍්‍රතිපත්ති සමඟ දුන් පොරොන්දු යථාර්ථයෙන් ඈත්වීමය.
අගමැතිවරයා පසුගියදා පැවැසුවේ පසුගිය වසර දෙකේදී ලක්ෂ හතරක රැකියා බිහිව ඇති බවයි. එහෙත් එය ඔප්පු කිරීමට තරම් සාක්ෂි ඇතැයි මම නොසිතමි. කෙසේ වෙතත් පොදුවේ ගත්කළ දැවැන්ත ආර්ථික කඩාවැටීමක් සිදුව ඇති නම් පැහැදිලිය. ඊට මූලික හේතුව නම් ආර්ථික ප‍්‍රතිපත්තිය දැක්මකින් තොරව ක‍්‍රියාත්මකවීමයි.
ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරි දර්ශන තුනක් අවස්ථා තුනකදී නිකුත් කරන්නට ආණ්ඩුව කටයුතු කළේය. ආර්ථක දර්ශනය පළමු වරට ඉදිරිපත් වුණේ මධ්‍යකාලීන ආර්ථික වැඩපිළිවෙල නමිනි. දෙවැනි වරට තවත් වැඩපිළිවෙලක් එළිදැක්වූවේ මේ වසරේම ජනවාරි 4 වැනිදාය. එහි නාමය ‘ තිරසර යුගයක ජාතික ආර්ථික සංවර්ධන සැලැස්ම බලගතු ශ‍්‍රී ලංකාවක් ’ විය. ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැන්වීම, රැකියා දස ලක්ෂයක් ඇති කිරීම මෙන්ම මධ්‍යම පන්තිය ප‍්‍රසාරණය කිරීම එහි අරමුණු විය. නව කාර්මික සංවර්ධන කලාප ආරම්භ කර දිවයින පුරා සංචාරක කර්මාන්තය පුළුල් කිරීමද මේ යටතේ සිදු වන්නේ යැයි ද එහි සඳහන් කර තිබිණි.
එහෙත් එයින් මාස අටක් ගතවෙද්දී තවත් වැඩපිළිවෙලක් එළිදැක්විණි. එහෙත් මේ කිසිදු වැඩපිළිවෙලක් සංයුක්තව ක‍්‍රියාවට නැගුණේද යන්න ප‍්‍රශ්නකාරීය. රැකියා දස ලක්ෂය මෙන්ම වාර්ෂිකව බිලියන පහක ආයෝජන ගෙනඒම, අපනයන බිලියන 20 දක්වා වැඩිකිරීම, ඒක පුද්ගල ආදායම් ඩොලර් 5000 දක්වා වැඩිකිරීම ආදී කරුණු ඊට උදාහරණය.
අසීමාන්තිකව විදේශ ණය ගැනීම පැවැති රජයට එල්ල වූ ප‍්‍රධාන චෝදනාවකි. විශේෂයෙන්ම වාණිජ හා සහනදායී නොවන ණයගැනීම් එහිදී ප‍්‍රමුඛය. මේ නිසා වාණිජ ණය මත පිහිටා සංවර්ධන යෝජනා දියත්කිරීමට අපේක්ෂා නොකරන්නේය යන්න මේ ආණ්ඩුවේ පිළිතුර විය. එහෙත් මේ වනවිට උදාවී ඇත්තේ ආණ්ඩුව විසින්ම සමාදන් වනු ලැබූ සීලය ආණ්ඩුව විසින්ම පවාරණය කරනු ලබන තත්ත්වයකි. මධ්‍යම අධිවේගී මාර්ගය ඊට හොඳම උදාහරණයකි. වැඩි පොලී අනුපාත මත විදෙස් ණය ලබාගැනීමට සිදුවන්නේම ආණ්ඩුවේ ආදායමට වඩා වියදම් ඉහළයාම හේතුවෙනි. මේ බොහෝ දේට බලපාන්නේ දේශපාලන තර්ක හා සිතුවිලිය.
අධිවේගී මාර්ගයක් රටට අවශ්‍ය බවට තර්කයක් නැතත් මේ උදා වී ඇත්තේ ඊට සුදුසුම මොහොතදැයි යන ප‍්‍රශ්නය ද විමසිය යුතුව තිබේ. ඇත්තෙන්ම අවශ්‍යතාවයටත් වඩා එවැනි වියදමක් අපට දැරිය හැකිද යන්න වඩාත් වැදගත් ප‍්‍රශ්නය යැයි මම සිතමි. දක්ෂිණ අධිවේගය ශ්‍රීලනිපයෙන් ඉදිකළ පලියට ඊට තරඟයට මෙන් තවත් අධිවේගී මගක් ඉදිකරන්නට යෑම දේශපාලනිකව වාසිසහගත වුවත් ආර්ථික විද්‍යාත්මකව පොදුවේ රටට අවදානම් විය හැකිය.
ආණ්ඩුව අදටත් ආර්ථික අර්බුදය විග‍්‍රහ කිරීමේදී රට මත ඇති ණයට දෙන්නේ රාජපක්ෂ ණය නමැති දේශපාලනිකව ව්‍යවහාරයකි. එහෙත් ආණ්ඩුව එසේ කියන අතරේම අනුගමනය කරන්නේ කවර පිළිවෙතක් ද? මේ නිසා රජය මෙවර අයවැයෙන් නව සංවර්ධන ව්‍යාපෘතිවලට යනවා නම් පලදායී යෝජනා පමණක් ඉදිරිපත් කිරීමට පරෙස්සම් විය යුතු බව නොකියාම බැරිය.
කොහොමටත් පවතින අතිඋද්ධමනකාරී වටපිටාව නිසා සාමාන්‍ය ජනතාවට සිය ක‍්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව පිළිබඳ විසල් ප‍්‍රශ්නයක් පවතී. රජය ද මේ බව හොඳින් දනී. ඉදිරියට එන්නට නියමිතව ඇත්තේ ආණ්ඩුවේ තෙවසරක ශේෂ පත‍්‍රය පරීක්ෂාවට ලක්කෙරෙන මැතිවරණ කාලපරිච්ෙඡ්දයකි. ඉතින් ජනතාව අමනාප කරගැනීම ආණ්ඩුවට හොඳ නැත. ඒ අර්ථයෙන් සලකා බලා හෝ යම් යම් සහන ප‍්‍රදානය කරන්නට ආණ්ඩුවට සිදුවේ. සුපුරුදු පරිදි ඒවා කෙටිකාලීන පිනවීම් වීමට ද වැඩි ඉඩක් පවතී. දේශපාලනයේ හැටි එහෙමය.
විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය මුල්ව ආණ්ඩුවක් පිහිටුවන විට තමන්ට හිතකර ආර්ථික ප‍්‍රතිපත්ති එළිදැක්වේ යැයි පෞද්ගලික අංශය තුළ විශ්වාසයක් තිබුණේය. එහෙත් පෞද්ගලික අංශයේ එම අපේක්ෂා යථාර්ථයක් වනු දකින්නට ලැබුණේ නැත. ඔවුන්ට ආණ්ඩුවෙන් ලැබුණේ එකිනෙකට මිශ‍්‍ර වූ සංඥාය. වරක් කොල වර්ණය දැල්වෙද්දී නොබෝ දිනකින්ම යළි දැල්වුණේ රතු වර්ණයයි.
ආයෝජන සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී පහසු වන ආකාරයේ ප‍්‍රතිපත්ති රාමුවක් නොවීම ඊට හොඳම උදාහරණයයි. ඒ වෙනුවට ගජමිතුරු ධනවාදී පිළිවෙත් ක‍්‍රියාවේ යොදන්නේදැයි යන පැනය මධ්‍යස්ථ පෞද්ගලික අංශ ආයෝජකයන්ට පැන නැංගේය. මේ වනවිට පෞද්ගලික අංශයට ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන්නේ දේශපාලන සුළං හමන අත නිශ්චිතව හඳුනාගත නොහැකි වීමයි. පෞද්ගලික අංශය විෂයෙහි ඇතැම් අවස්ථාවල චෝදනාභිමුඛව කතා කරන තැනකට පසුගිය කාලයේදී අගමැතිවරයා අවතීර්ණ වූයේ ද මෙම පසුබිමේය.
ආරක්ෂක පිරිවැය අයවැයවලදී වැඩිපුර කතාබහට ලක්වන අංශයකි. යුද්ධය පැවැති අවදියේදී නම් මෙය ඉතාමත් ඉහළ අගයක් ගැනීම සාමාන්‍ය කරුණක් විය. එහෙත් යුද්ධය නිමාවීමෙන් පසුව ද යුද වියදම් වැඩිවීමේ තත්ත්වයක් අයවැයට මුදල් වෙන්කිරීමේදී දැකිය හැකි විය. මෙය ඇතැමුන්ගේ ප‍්‍රශ්නකිරීම්වලට ද ලක්විණි. මහා පරිමාණ යුද්ධයක් අවසානවීමෙන් පසුව හමුදා භට පිරිස් ක‍්‍රමානුකූලව අඩුකිරීම ලෝක සම්ප‍්‍රදායයි. එහෙත් ලංකාවේදී එවැන්නක් දක්නට නොවුණි.
ඇතැම් විට යුද්ධ ජයග‍්‍රහණයක කොටස්කරුවන් සම්බන්ධයෙන් ආර්ථික තීන්දු ගැනීම දේශපාලනිකව රජයට අවාසිවීම ඊට හේතුවන්නට ද ඇත. ආයෝජන හා ඉදිකිරීම් විෂයෙහි හමුදාව යොදාගැනීම පසුගිය කාලයේදී අපි දුටුවෙමු. කෙසේ වෙතත් යුද්ධයක් අවසානවීමෙන් පසුව ජනතාව අපේක්ෂා කරන්නේ එතෙක් ආරක්ෂාවට යෙදු මුදල් වැඩි පංගුවක් සිවිල් ජනතාව වෙනුවෙන් යොදනු ඇත කියාය. මේ ආකාරයට ආරක්ෂක පිරිවැය ලෙසින් වෙන්වෙන මුදල් යෙදෙන්නේ කවර අංශවලටද යන්න හරිහැටි නිරීක්ෂණය කළ යුතුවේ.
උද්ධමනය දිගින් දිගටම ඉහළ යෑම ද ආණ්ඩුව ආර්ථික ලෝකයෙහි මුහුණ දෙන තවත් අභියෝගයකි. හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා උද්ධමනයට හේතුව මහ බැංකුව යැයි පසුගියදා පැවැසීය. එහෙත් උද්ධමනයේ සැබෑ හේතුව පැහැදිලි කරනු ලැබුවේ වත්මන් මහ බැංකු අධිපතිවරයා විසින්මය. පසුගිය කාලයේ පැනැ වූ අධික බදු උද්ධමනය ඉහළ යෑමට හේතුව යැයි කී ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එයින් නොකියා කීවේ යහපාලන රජය 2018 අයවැය සම්පාදනය කරමින් සිටින්නේ තීරණාත්මක මංසන්ධියක බවය. ණයක් ලබාගෙන ඒ ණය නිසි තැන ආයෝජන වුවහොත් ආදායම ඉහළ යන්නේය. එවිට එම ණය ගෙවීමට අමතර බදු ආදායමක් ලැබේ. එහෙත් දැන් සිදුව ඇත්තේ ආණ්ඩුව ණය වුවද ඊට සරිලන ප‍්‍රතිලාභ නොලැබීමය. එනම් ආදායමක් ජනනය නොවීමය. එවිට රජයට සිදුවන්නේ අලූතින් බදු පනවන්නටය. මෙයින් පැහැදිලි වන්නේ උද්ධමනය හා බදු ආණ්ඩුව ද මුහුණ දී සිටින ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවය.
ආහාර මිල ඉහළ යෑම මේ වනවිට පොදු ජනතාව මුහුණ දී තිබෙන තවත් ප‍්‍රධාන ආර්ථික පීඩාවකි. නියං තත්ත්වය ගංවතුර තත්ත්වය හා උද්ධමනය ඊට හේතු වී ඇති බව බොහෝ දෙනා කියති. එහෙත් ඊට අමතරව රජයේ ඇතැම් ප‍්‍රතිපත්තිවල අනිටු පලවිපාක ද ආහාර මිල ඉහළ යන්නට බලපෑවේය. කෙලින්ම කිවහොත් පොහොර සහනාධාරය මුදල් බවට හැරවීමයි. මම නුවර එළිය ප‍්‍රදේශයේ කළ පර්යේෂණයක් මගින් මේ බව දුටුවෙමි. පොහොර සහනාධාරය මුදල් බවට පත්වීම නිසා සිදුවුණේ ගෙවතු වගාවේ නිරතව සිටි සුළු පරිමාණ ගොවීන් වගාවෙන් ඈත්වීමයි. මේ නිසා කෘෂිකාර්මික නිෂ්පාදිතයේ සැපයුම විශාල වශයෙන් පහළ වැටුණේය. රුපියල අවප‍්‍රමාණවීම ද මේ අයුරින්ම රජයේ වැරැදි ආර්ථික පිළිවෙත් නිසා ඇති වූ විපාකයකි.
මේ ආණ්ඩුව බලයට පත්වන විට කී එක් කතාවක් වූයේ සෘජු හා වක‍්‍ර බදුවල ඇති විෂමතාව දුරලීමය. එහෙත් ඒ වෙනුවට පසුගිය කාලය පුරාම සිදුවූයේ සාමාන්‍ය ජනයා මත අධික ලෙස බදු පැනවීමය. අද වනවිට සාමාන්‍ය ජනතාව මත ආර්ථික තෙරපුම ඇතිකරන ප‍්‍රධාන සාධකයක් වී ඇත්තේ මේ අධික බදුය. මේ නිසා සමාජයෙහි අතිශය බහුතරයක් වූ පහළ මාලයේ වෙසෙන ජනතාවට ආර්ථික ක‍්‍රියාවලියට දායක විය නොහැකි තත්ත්වයක් දැන් උදා වී තිබේ.
මෙවැනි වටපිටාවක පොදුවේ ජනතාව අපේක්ෂා කරන්නේ සහනය. කෙලින්ම කිවහොත් බඩු මිල පහළ දැමීමය. එය බොහෝම සාධාරණ අපේක්ෂාවකි. මෙම පොදු ජන අපේක්ෂාව සමඟ රජය මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති බදු යම් පමණකට හෝ අඩු කිරීමෙන් ඒවායේ මිල පහළ දැමීමට යොමුවනු ඇතැයි මගේ විශ්වාසයයි. මේ අතරේ සාපේක්ෂව ගත්කළ විශාල සහන අන්තර්ගතව නැති වුවද මහා හ`ඩක් නගා ප‍්‍රකාශයට පත්කළ හැකි දේවල් සිදුකිරීමට ද ආණ්ඩුව පෙළඹීමේ ඉඩක් පවතී.
සංවර්ධන අයවැය, සහභාගීත්ව අයවැය, සරදියෙල් අයවැය ආදී වශයෙන් ලංකාවේ අයවැය ලේඛන සියල්ලම පාහේ සැකැසුණේ දේශපාලන පසුබිමකිනි. අයවැය සැකැසීමේදී සාර්ව ආර්ථික විචල්‍යතා වුවද දේශපාලන පිටිය මත සිට සැලැකිල්ලට ලක්කිරීමට සිදුවීම ඊට හේතුවයි. 2018 අයවැයේදී පමණක් එය එසේ නොවේ යැයි අපට කියන්නට බැරිය. එය කවරක් වුවද අවසාන විග‍්‍රහයේදී ජනප‍්‍රිය දේශපාලන තීන්දුවලට වඩා නිවැරැදි ආර්ථික දර්ශනයක් මත පිහිටා අයවැය යෝජනා ප‍්‍රතිපත්තිමය තීන්දුවලට පරිවර්තනය වන්නේ නම් වටිනේය. ආර්ථික අවකලමනාකරණයෙන් මිදී යළි නිවැරැදි පීල්ලට ආණ්ඩුව ගතහැක්කේ එවැනි මගකින් පමණි.
(බිඟුන් මේනක ගමගේ)
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උද්ධමනයේ පීඩනය මැද 2018 අයවැය
අනුර Wednesday, 08 November 2017 06:46 AM
හොඳ ලිපියක්
Anton austria Thursday, 09 November 2017 07:25 PM
මන් දැකපු කියවපු හොදම ලිපියෛ . මගේ රටේ මේවගේ මොලයක් තියෙන අය ගෙදර . නැත්තන් ඉන්න ඕන තැන නැ . ලබා දෙන්නත් අකමැති . එකී අපේ රට තවත් අගාදයට යන්නේ. සතුටු මට ඔබ වැනි අය සිටින එක .